දිසානායක ආන්ඩුව පාසල් සංවර්ධන නිලධාරීන්ට එරෙහි රාජ්‍ය දඩයම තීව්‍ර කරයි

දෙසැම්බර් 2 වනදා, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයක දී පොලිස් අත්අඩංගුවට ගැනුනු පාසල් සංවර්ධන නිලධාරීන් (පාසනි) සිවුදෙනෙකු, දින හතක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටීමෙන් අනතුරුව, දෙසැම්බර් 10 දා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින්, ශරීර ඇප මත මුදා හැරුනි. නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථ වාහන ධාවනයට බාධා කිරීම සහ පොලීසියට තුවාල කිරීම යන අභූත චෝදනා ඔවුනට එරෙහිව එල්ල වී ඇත.

2024 දෙසැම්බර් 2 දින, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිටත පාසල් සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ නියැලෙමින් [ඡායාරූපය පාසංනි විරෝධතාකරුවෙකුගෙනි] [Photo by SDO protester]

දිවයිනේ නන් දෙසින් පැමිනි 1000 පමන පාසල් සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂනයේ යෙදී සිටියේ, සිවු වසරක් පුරා ගුරු භූමිකාවේ යෙදී සිටින 16,000 ක් පමන වූ පාසල් සංවර්ධන නිලධාරීන් “ගුරු සේවයට” අන්තර්ග්‍රහනය කරන ලෙස ඉල්ලමිනි. මෙම යුක්තියුක්ත උද්ඝෝෂනයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කරමිනි. පාසනි සිවුදෙනා අත්අඩංගුවට ගැනුනේ මෙම ප්‍රහාරය මධ්‍යයේ ය.

කෙසේ නමුත්, “පොලීසියේ තිදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරීම” යන චෝදනාව මත, පාසනි ට එරෙහි පොලිස් දඩයම ඉදිරියටම ගෙනයමින් පවතී. සමාජ මාධ්‍ය තුල පල කෙරුනු ඡායාරූප සහ වීඩියෝ දර්ශන මත, “තුවාල සිදුකල පාසල් සංවර්ධන නිලධාරීන්” හඳුනාගෙන ඇතිබව පවසන පොලීසිය, එසේ “හඳුනාගත්තවුන්” හඹාගොස් අත්අඩංගුවට ගැනීමේ කුරිරු මෙහෙයුමක් දියත් කර ඇත. මේ අනුව තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් පොලීසිය, දෙසැම්බර් 13 දා ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාක් අධිකරනයට ඉදිරිපත් කලේය. ඉන් දෙදෙනෙකු ශරීර ඇප මත මුදා හැරුනු අතර, එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

“ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂනයේදී පොලිස් නිලධාරීන්ගේ පිට කැපූ ප්‍රධාන සැකකරු හඳුනා ගැනෙයි” යන හිසින්, දෙසැම්බර් 17 දිනමින පුවත්පතේ පල වූ වාර්තාවක් කියා සිටින්නේ, “පොලිස් නිලධාරීන් තිදෙනකු තියුනු ආයුධයකින් කපා තුවාල කල ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමට පොලීසිය සමත්ව” ඇති බවයි. “පුද්ගලයා පොලීසිය මගහැර සිටින බැවින් ඉදිරියේදී එම සැකකරුගේ ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව” විමර්ශන භාර පොලිස් නිලධාරියෙකු පැවසූ බව ද වාර්තාව පවසයි.

වර්ධනය වන සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ, පාසනි ට එරෙහි රාජ්‍ය දඩයම වඩාත් තීව්‍ර කිරීමට දිසානායක ආන්ඩුව තීරනය කර ඇති බවයි.

ආන්ඩුව මෙම තීරනය ගෙන ඇත්තේ, උද්ඝෝෂනය අතරතුර ප්‍රකෝපකරනයක් නිර්මානයකොට පාසල් සංවර්ධන නිලධාරීන් දඩයම් කිරීම සඳහා කල්තියා සැලසුම් කර තිබූ බව හෙලිදරවු වෙමින් පවතින තතු තුලයි. උද්ඝෝෂනය මධ්‍යයේ ඔවුන් අතර ගැවසුනු ආගන්තුක පුද්ගලයෙකු පිලිබඳ සැක පහල කල පාසල් සංවර්ධන නිලධාරීහු, ඔහු පොලීසියට භාර දී අනන්‍යතාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටියහ.

එහෙත් පොලීසිය ඒ වෙනුවට කලේ, ඔහු ආරක්ෂා සහිතව ඉවතට ගෙනයාම බව සමාජ මාධ්‍ය තුල මුදාහැර ඇති වීඩියෝ දර්ශන වලින් ප්‍රකට වේ. ඔහු හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු බව තහවුරු වී ඇති බවත්, ප්‍රකෝපකරනයක් නිර්මානය කිරීමේ අරමුනෙන් ඔහු විසින් පොලිස් නිලධාරීන්ට කැපුම් තුවල සිදුකල බවට සෑම සැකයක්ම මතුවන බවත් සංවර්ධන නිලධාරීහු කියා සිටිති.

අත්අඩංගුවට ගත් පලමු සිවුදෙනා වෙනුවෙන් අධිකරනයේ පෙනීසිටි නීතීඥවරුන්, ඉහත ආගන්තුක පුද්ගලයාගේ අනන්‍යතාව සහ උද්ඝෝෂනය තුල ඔහුගේ භූමිකාව අනාවරනය කරන ලෙසත් කල ඉල්ලීමට අනුව, ඒ පිලිබඳ පරීක්ෂනයක් සිදුකොට එහි වාර්තාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කලේය. කෙසේ නමුත්, අදාල සාක්ෂි කිසිවක් පාසල් සංවර්ධන නිලධාරීන්‌ගෙන් විමසා නොමැති තතු යටතේ, එවන් පරීක්ෂනයක් සිදුවූ බවට කවර හෝ සලකුනක් නොමැත.

ආගන්තුක පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට තලංගම පොලිසීය පිලිගත් බවට පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා පල විය. නඩු විභාගයෙන් අනතුරුව නීතීඥයන් පවා සඳහන් කලේ අදාල පුද්ගලයා හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බව තලංගම පොලීසිය උසාවිය තුලදී පිලිගත් බවයි.

තතු එසේ පැවතියදී, දෙසැම්බර් 11 දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ, පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකලේ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට ‘කිසිදු තොරතුරක්’ අනාවරනය වී නොමැති බවයි. මේ සියල්ල සිදු කෙරී ඇත්තේ, මීට පෙර මේ හා සමාන සිදුවීම් වලදී සිදුවූවා මෙන්ම සැබෑ සිද්ධිය යටගසා, පාසනි ට එරෙහි දඩයම තීව්‍ර කිරීමට බව ඉතා පැහැදිලිය.

මෙම රාජ්‍ය දඩයම, පාසනි පමනක් නොව, දිසානායක ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට සපථ වී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිසීමට නියමිත ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ත්‍රස්ත කිරීමේ සැලසුම්ගත මෙහෙයුමකි. එමෙන්ම මෙම කැත ප්‍රකෝපකරන උපාය ඉදිරියේදී මතුවන පන්ති අරගල මැඩීමට දිසානායකගේ ආන්ඩුව යොදාගනු ඇත.

කම්කරු පන්තිය පහත කරුනු හෙලිදරව් කරගත යුතුය. උද්ඝෝෂකයන් අතර සැරිසැරූ ආගන්තුක තැනැත්තා කවරෙකු ද? ඔහු කවරෙකුගේ නියෝග ක්‍රියාවට දැමුවේ ද ? එවන් පුද්ගලයින් තවත් එහි සිටියේ ද ? ඔහු එහි පැමිනියේ කුමන කටයුත්තකටද?

එවන් විමර්ශනයක් යට ගැසීමට ජාතික ජන බලවේග (ජාජබ) / ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. මේ පිලිබඳව හෙලිදරව් වූ තතු තුල විරෝධතාවයට පසුවදාම ජවිපෙට අයත් ලංකා ටෲත් වෙබ් අඩවිය සඳහන් කලේ “ආන්ඩුව අප්‍රසාදයට ලක් කරවීමේ අරමුනින් පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර බරපතල ගැටුමක් සාදා ගැනීම සඳහා සංවිධානාත්මකව එම පිහි ප්‍රහාර එල්ල කර ඇති බවට සැකයක් මතු වී තිබෙන” බවයි.

පාසනි ට එරෙහි මෙම රාජ්‍ය දඩයම, තම කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩෙන ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීමට සූදානමින් සිටින බවට ආන්ඩුව දෙන පනිවිඩයකි. ජාමුඅ නියෝග යටතේ දැනටමත් ආන්ඩුව රාජ්‍ය සේවයෙන් ලක්ෂ පහමාරක් දොට්ට දැමීම ඇතුලු කප්පාදු පියවරයන් නිවේදනය කර ඇත.

කම්කරු පන්තියේ වැඩෙන අරගල තලා දැමීම සඳහා ජනාධිපති දිසානායක ආඥාදායක පාලන ක්‍රම වෙතට මාරු වෙමින් සිටී. ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල සහිත “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” අහෝසි කරන බවට දුන් මැතිවරන පොරොන්දුව බලයට පත් සැනින් කඩකල ආන්ඩුව, එම පනත යටතේ, “මහ විරු දිනය” ආශ්‍රිතව තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කලේය.. ආන්ඩුවේ ප්‍රමුඛ මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් නිපුනාඅරච්චි වැඩ වර්ජන සහ විරෝධතා සංවිධානය කිරීමට කම්කරු පන්තිය සතු අයිතිය අහෝසි කරන බවට ඇඟවුම් කරමින් සිය ආන්ඩුව යටතේ වෘත්තිය සමිති “අහෝසි” වන බව සඳහන් කලේය.

පසුගිය මහ මැතිවරනයේදී ජවිපෙ/ජාජබ “ශක්තිමත් ආන්ඩුවක්” ඉල්ලා සිටියේ මේ සඳහා අවශ්‍ය මර්දන නීති, අන පනත් සම්මත කරගනිමින් ආඥාදායක පාලනයක් ගොඩනගා ගැනීමටයි. ඒ අනුව ආන්ඩුව, කම්කරු පන්තියට එරෙහිව, පොලීසිය, අධිකරනය, හමුදා, එහි බුද්ධි අංශ ඇතුලු ධනපති රාජ්‍යයේ සෑම උපකරනයක්ම පන්ති අරගලවලට එරෙහිව යොදාගනු ඇත. සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂනයට ආන්ඩුව දැක්වූ ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ එයයි.

ලංකාවේ මිලිටරියට සහ එහි බුද්ධි අංශ වලට පසුගිය තිස් වසරක වර්ගවාදී යුද්ධය සමයේදීත් ඉන් පසුවත් මේ ආකාරයේ ප්‍රකෝපකාරීත්වයන් ඇවිලවීම සහ ආන්ඩුවේ විරුද්ධවාදීන් දඬු ගැසීමට ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් පවතී. මහින්ද රාජපක්ෂගේ පාලනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම ඇතුලු ප්‍රචන්ඩ ක්‍රියාවන් සමග සම්බන්ධ බවට හෙලිදරව් වී ඇත. වර්ගවාදී යුද්ධයේදී ලේවැකි ක්‍රියාකලාපයක් ඉටු කල හමුදා නිලධාරීන් පිරිවරා ගනිමින් ජාජබ/ජවිපෙ පිහිටුවා ඇති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයන්, අවශ්‍ය විටෙකදී කම්කරු පන්තියට එරෙහි පැරා මිලිටරි කන්ඩායම් ලෙස යොදා ගැනීමේ සෑම හැකියාවක්ම පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාර එල්ල කිරීම සහ ආඥාදායක පාලන ක්‍රමයන් කරා ධනපති පාලක පන්තියේ යොමුව ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. එය ලෝක ධනවාදය මුහුන දී සිටින ගැඹුරු අර්බුදයෙන් ගලා එන්නකි. ඇමරිකාවේ ජනාධිපතිවරනයෙන් ජයගත් ට්‍රම්ප් සංක්‍රමනිකයන් මත ප්‍රහාර එල්ල කිරීමට පිඹුරුපත් සකසමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතුගා දැමීමට කටයුතු කරමින් සිටී. පසුගිය සතියේදී දකුනු කොරියාවේ ජනාධිපති ඔහුට එරෙහිව විරෝධතා වැඩෙන තතු තුල ඒවා මැඩීමට යුද නීතිය පැන වීය.

මෙම සියලු වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ, ගෝලීය ධනවාදයට සහ ධනපති ආන්ඩුවලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් තොරව කම්කරු පන්තියට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කිසිවක් ආරක්ෂා කරගත නොහැකි බවයි.

Loading