ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි
By W.A. Sunil, 31 December 2011
රට පුරා ඉදිකර ඇති හමුදා කඳවුරු කිසිසේත් ඉවත් කර නො ගන්නා බවට අය-වැය විවාදයේ පිලිතුරු කතාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කල අවධාරනය කම්කරු පන්තිය හා පීඩිත ජනතාව වෙත කෙරුනු බරපතල අනතුරු ඇඟවීමකි.
"සෑම දිස්ත්‍රික්කයක ම හමුදා කඳවුරු පිහිටුවීම ජාතික වැදගත් කමක් ගන්නවා. ඒවා පිහිටුවූයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අදහසින්" යයි රාජපක්ෂ කියා ඇත. රට පුරා පතුරුවා හැර ඇති හමුදා කඳවුරු ජාලය පවත්වා ගෙන යාම යුක්ති සහගත කිරීම සඳහා විනිවිද පෙනෙන තර්කයක් ලෙස ඔහු සඳහන් කලේ "නිදහසෙන් පසු සියලු ම ආන්ඩු අනුගමනය කල ප්‍රතිපත්තිය ඒකයි" යන්න ය.
දෙමල සුලුතර ජනයාගේ ප්රජාතන්ත්ර අයිතීන් ද රට පුරා කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අයිතීන් ද තලා දැමීම සඳහා යොදාගත් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි තිස් අවුරුදු යුද්ධය ගෙන ගියේ "ත්‍රස්තවාදය" මැඩ "ජාතික ආරක්ෂාව" තහවුරු කිරීමේ ව්‍යාජය තොරොම්බල් කෙරෙන දෙමල විරෝධී වර්ගවාදය අවුස්සමිනි. 2009 මැයි මස එල්ටීටීඊය පරාජය කර අවුරුදු තුනකට ආසන්න කාලයක් ගතවූ පසු ඊනියා ජාතික ආරක්ෂාවේ ප්රශ්නය මතු වී ඇත්තේ කෙෙස් දැයි රාජපක්ෂ පැහැදිලි කලේ නැත.
ඇත්ත තත්වය නම් යුද්ධයට පසු උතුරු නැගෙනහිර මෙන් ම ලංකාවේ අනෙකුත් පලාත්වල ද මිලිටරි කඳවුරු විශාල වශයෙන් පිහිටුවා ඇති බවයි. උතුරු පලාතේ විශේෂයෙන් යුද්ධයෙන් පරිපූර්නව වැනසූ වන්නියේ තවත් කඳවුරු ඉදි වෙමින් පවතී. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වෙසෙන වතුකරය මධ්‍යයේ තලවාකැලේ විශාල හමුදා කඳවුරක වැඩ පටන් ගෙන ඇත. අති විශාල භූමිභාග අල්ලා ගෙන උතුරු නැගෙනහිර පලාත්වල පිහිටුවා ඇති අධිආරක්ෂක කලාප ඉවත් කරන බවට ආන්ඩුව කලින් කල ප්‍රකාශ බොරුවක් බව ජනාධිපතිගේ ප්‍රකාශයෙන් තහවුරු වේ.
වෙන රටවල යුද්ධයක් අවසන් වූ අවස්ථාවල කෙරෙනවාක් මෙන් හමුදා භටයන් "අනිවාර්ය විශ්‍රාම යැවීම" ලංකාවේ දී තමන් නොකලේ යයි රාජපක්ෂ පුරසාරම් දෙඩී ය. දැනට මත් ත්‍රිවිධ හමුදාවල 400,000කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටිති - එනම් ජනගහනයෙන් සෑම 200කට ම එක් භටයෙක් බැගිනි. තව තවත් භටයන් ද පොලීසියට ද බඳවා ගැනෙමින් මිලිටරිය ශක්තිමත් කෙරෙමින් පවතී.
දෙසැම්බර් 19 දා සම්මත කෙරුනු ආරක්ෂක වැය ශීර්ෂය රුපියල් බිලියන 230 කි. එය මෙරට ඉතිහාසයේ වාර්තාගත ඉහල ම ආරක්ෂක වියදම් වෙන් කිරීමයි. වැටුප් ගෙවීම හා යුද්ධ කාලයේ ගෙන්වූ ආයුධවලට ගෙවීමට අමතරව නව හමුදා කඳවුරු පිහිටුවීම, ප්‍රහාරක ගුවන් යානා හා නාවික උපකරන ගෙන්වීම, සෑම ප්‍රධාන නගරයක ම හා විශ්වවිද්‍යාල ඇතුලු රාජ්‍ය ආයතනවල සූක්ෂ්ම නවීන කැමරා පද්ධති සවි කිරීම ඇතුලු දේවල් මේ දැවැන්ත වියදම්වලින් කරන්ට ආන්ඩුව බලාපොරොත්තු වෙයි.
යුද්ධයෙන් පසු මිලිටරිය තර කිරීම එවැනි ය. "රනවිරුවන්" ජාතික ආරක්ෂාව සඳහා කල මෙහෙය "සුලු කොට තැකීම" හා ආරක්ෂක අංශ ගැන විපක්ෂය කල සීමිත "විවේචන" ගැන රාජපක්ෂ අවවාද මුඛයෙන් කතා කලේ ය. "ජාතික ආරක්ෂාවේ" නමින් රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමේ පන්ති යුද්ධය සඳහා යි.
සංවර්ධනය ඉලක්ක කර ගත්, ජන ප්‍රසාදය දිනා ගත් එකක් ලෙස රාජපක්ෂ අය-වැය ඔජ වැඩවූයේ ය. මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සඳහා නිකුත් කෙරන ලංකාවේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය කල සමීක්ෂනයකින් සියයට 64ක් පමන දෙනා අය-වැය රටට හිතකර එකක් බව සඳහන් කර ඇතැයි කී රාජපක්ෂ අයවැයට "ජනවරමක්" ලැබී ඇතැයි පම්පෝරි ගැසුවේ ය. මවාපෑම්වලට පිටුපසින් ලෝක අර්බුදයේ බලපෑමෙන් ආර්ථිකයට වල කැපෙන බව ද කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල පුපුරා ඒ යයි ද රාජපක්ෂ මෙන්ම ධනපති පන්තියේ කොටස් භීතියෙන් සිටිති.
මැයි මාසයේ කටුනායක කම්කරුවන්ගේ අරගලය, සිසුන්ගේ නොකඩවා යන විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි විරෝධතා මෙන් ම එලවලු ගොවියන් හා සුලු ව්‍යාපාරිකයන් අතරින් මේ මස පුපුරා ගිය විරෝධතා එලඹෙන අරගල පිලිබඳ පෙර ඇඟවුම් ය.
වැටුප් වැඩි කර ගැනීම සඳහා අවුරුදු ගනනාවක් තිස්සේ කම්කරු උද්ඝෝෂන යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි ආන්ඩුව වැටුප් කැටිකිරීම දිගටම ගෙන යමින් අයවැයෙන් දුන්නේ වැටුපෙන් සියයට 10ක සොච්චම් දීමනාවකි. අයවැයෙන් පැනවූ බදු බර ක්‍රියාත්මක ෙවන්නේ ජනවාරි මස සිට ය. රුපියලේ අගය සියයට තුනකින් අව ප්‍රමානය කිරීම ද සමග බදු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාන්ඩ මිල තවත් ඉහල යාමට කම්කරුවන් ද දුගීන් ද මුහුන දීමට නියමිත ය. කොලඹ නගරයෙන් පවුල් 75,000ක් ඉවත් කිරීමේ සැලසුම් එලෙසින් ම රුදුරු ලෙස කඩාපාත් කෙරෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව අලාභදායී ආයතන ප්‍රතිසංවිධානය වේගවත් කිරීමට නියමිත ය. ඒවා ක්‍රියාත්මක වනු ඇත්තේ පුද්ගලීකරනය, රැකියා කප්පාදුව හා වැඩ වේගවත් කිරීම ලෙස ය. දුගීන්ට දෙන සොච්චම් පොහොර සහනාධාරය අහෝසිය ද වැඩි ඈතක නොවේ.
මහ ව්‍යාපාරිකයන් ද විදේශ ආයෝජකයන් ද පිනවීමට බදු හා අනෙකුත් දොල පිදේනි දෙන තතු තුල ව්‍යාපාරික හා ඉහල මධ්‍යම පන්තිකයන්ගෙන් අයවැයට ජනවරමක් ලැබීම පුදුමයක් නො වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට ලමින් ගෙන යන පිලිවෙත් මොනම අයුරකින් වත් සාමකාමීව ක්‍රියාවට දැමිය නොහැකි බව දන්නා ආන්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතීන් තව දුරටත් තලා දමමින් පොලිස් රාජ්‍යයක් තහවුරු කිරීමේ යෙදී සිටියි. රාජපක්ෂගේ අයවැය විවාදයට පිලිතුරු කතාවේ අනතුරු ඇඟවීම එය ය. පසුගිය අවුරුදු තිහක යුද්ධය මෙහි පෙර සනාථයකි.
අයවැය ගැන බොරු විවේචනවල යෙදෙන යූඇන්පියට හෝ ජවිපෙට ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති, මහ ව්‍යාපාරිකයන් සඳහා වන වැඩ පිලිෙවල ගැන මූලික මතභේදයක් නැත. යුද්ධයට මුලු සහයෝගය දුන් මේ පක්ෂ දෙක ආරක්ෂක අමාත්‍යංශයට යෝධ මුදල් වෙන් කිරීම ගැන අනුමැතිය විමසන අවස්ථාවේ ඡන්දය දීමෙන් වැලකී නිහඬව ඊට අනුමැතිය පල කලහ.
දෙමල ධනපතින්ගේ මූලික සංවිධානය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දුන්නේ ය. විවාදයේ දී එහි මන්ත්‍රීන් උතුරු- නැගෙනහිර පලාත්වලින් හමුදා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලී ය. හමුදා පාලනයක් උතුරු -නැගෙනහිර පවතින බව ඔවුහු පෙන්වා දුන්හ.
එහෙත් මේ විවේචන හා ඉල්ලීම් ටීඑන්ඒය ඉදිරිපත් කලේ උතුරු-නැගෙනහිර ශක්තිමත් කෙරෙන හමුදා වාඩිලා ගැනීම ගැන දෙමල ජනයා අතර වැඩෙන විරුද්ධත්වය වාෂ්ප කර දැමීමයි. ඔවුන් මෙම විවේචන ඉදිරිපත් කරන්නේ දෙමල ධනපති පන්තියට උතුරු-නැගෙනහිරට සීමිත පාලනයක් ලබා ගැනීම සඳහා කොලඹ ආන්ඩුවට බලපෑම් දැමීමේ කොටසක් ලෙස ය.
ධනපති දේශපාලන පක්ෂ මෙන්ම වෘත්තීය සමිති ද රාජපක්ෂ ආන්ඩුව විසින් පොලිස් රාජ්‍ය සැලසුම් හා මිලිටරිකරනය මගින් කම්කරු පන්තිය මුහුන දී සිටින අන්තරාය ගැන මුලුමනින් ම නිහඬ ය. අය-වැයට පෙරාතුව වැටුප් ඉල්ලීම් මත ප්‍රෝඩාකාරී උද්ඝෝෂනවල නිරත වූ වෘත්තීය සමිති දැන් ආන්ඩුවේ කාප්පාදු පිලිවෙත් පිලිගෙන ඇතුවා පමනක් නොව; එහි පොලිස් රාජ්‍ය හා පන්ති යුද්ධයේ සැලසුම්වලට එරෙහිව මොන ම අරගලයක්වත් සංවිධානය කිරීමට සුදානම් නැත.
Follow us on