මාක්ස්වාදය හා මහා යුදෙව් සංහාරය (හොලොකෝස්ට්)

Marxism and the Holocaust

Nick Beams, 15 May 2010

මතු දැක්වෙන්නේ අපේ‍්‍රල් 29 වැනිදා සැන් ඩියේගෝ ප‍්‍රාන්ත රාජ්‍ය විශ්ව විද්‍යාලයේදී "අධිරාජ්‍යවාදය හා මහා යුදෙව් සංහාරයේ දේශපාලන ආර්ථිකය” යන මැයෙන් නික් බීම්ස් විසින් පවත්වන ලද දේශනයට අතිරේකයකි. එම දේශනය මුලින් පල විය.

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රයන්ගේ බිඳ වැටීමත්, 1990 ගනන්වල ආරම්භයේ සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග ධනේශ්වර දේශපාලන හා ශාස්ත‍්‍රීය කවයන් හරහා විජයග‍්‍රහනවාදයේ රැල්ලක් පැතිර ගියේය. මෙය, සමාජවාදයේ අවසානය ද මාක්ස්වාදයේ මරනය ද ඉතිහාසයේ පවා අවසානය යයි ද කියන ලදී. මෙම තන්ත‍්‍රයන් සමාජවාදී නොවූ බව ද සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය සිය බලය තහවුරු කර ගත්තේ මාක්ස්වාදී බුද්ධිමතුන් පරම්පරාවක්ම සමූලඝාතනය කිරීම තුලින් බව ද - මෙය, හිට්ලර් සිදුකරන ලද සමූලඝාතනයට වඩා පරිමානයෙන් විශාල විය - කම්කරු පන්තිය විසින් බලයෙන් පහ නොකලහොත් ස්ටැලින්වාදීන් රුසියාව තුල ධනවාදය යලි ස්ථාපිත කරනු ඇති බව ද 1930 ගනන් වලදී මාක්ස්වාදීන්, අන් සියල්ලටමත් වඩා ලියොන් ට්‍රොට්ස්කි අනාවැකි පලකොට තිබුනේය යන්න ද ඇතුලු සියල්ල සැලකිල්ලට ගත යුතු ඒවා නොවීය.

මෙම තකතිරු ජයඝෝෂා රැල්ලේ පිලිබිඹුව "වාම” ශාස්ත‍්‍රීය හා මාක්ස්වාදී කවයන් තුල, විශේෂයෙන්ම හොලොකෝස්ටය පිලිබඳව අධ්‍යයනයේ යෙදෙන්නන් අතර දැකගත හැකි විය. මොවුන් කියා සිටියේ, මේ මහා ව්‍යසනය පිලිබඳව ප‍්‍රබුද්ධත්වයේ දෘෂ්ටියක් මත පදනම්වූ මාක්ස්වාදයට, යුරෝපීය යුදෙව්වන් ක‍්‍රමානුකූලව සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් හේතු දැක්විය නොහැකි වූ බවය. මේ ඓතිහාසික ව්‍යසනය පිලිබඳව භෞතිකවාදී විශ්ලේෂනයක් සැපයිය හැක්කේ කෙසේ ද? "අවසාන විග‍්‍රහයේදී” පවා එයට පාදකවූ ආර්ථික අභිපේ‍්‍රරනය පැවතියේ කොහි ද? පන්ති විශ්ලේෂනයකට අනුව හොලොකෝස්ටය පිලිබඳ පැහැදිලි කිරීමට නම්, ඊට වඩා මූලික යමක්, එනම්, මානව තත්වය හා ප‍්‍රචන්ඩත්වයට ඇති නැඹුරුව හා හැකියාව පිරික්සීම අවශ්‍ය විය. මාක්ස්වාදයට එය සැපයිය නොහැකි විය.

මේ ස්ථාවරයන් පිලිබිඹු කලේ හොලොකෝස්ටය වටහා ගැනීමෙහි ලා මාක්ස්වාදයේ අඩු ලුහුඬුකම්වලට වඩා මාක්ස්වාදය වටහා ගැනීමට - එහි විවිධ යාන්ත‍්‍රික විකට රූපවලට ප‍්‍රතිවිරුද්ධව - එම කතුවරුන් අපොහොසත් වීම හා ඔවුන් විටෙක දැරූ සමාජවාදී අදහස් වලින් ඉවත්ව ධනේශ්වර දේශපාලනය කරා ඇදී යාමයි. තත්වයේ හදිසි මාරුවක් ඉදිරියේ බුද්ධිමතුන් ගනනාවක් පසු පාදයට ගිය ප‍්‍රථම අවස්ථාව මෙය නොවන්නා සේ ම, නිසැකව ම අවසාන අවස්ථාව ද නොවනු ඇත. ඔවුන් තරයේ කියා සිටියේ, මාක්ස්වාදය හොලොකෝස්ටය පැහැදිලි කිරීමට අපොහොසත් වූවා පමනක් නොව, එම සිදුවීම ම සමාජවාදය නැඟී ආවේ අති මූලික ඓතිහාසික හා ආර්ථික ක‍්‍රියාවලීන් තුලින්ය යන මාක්ස්වාදී සංකල්පය ප‍්‍රශ්නයට බඳුන්කර තිබෙන බවයි. යුදෙව් සංහාරය යාන්ත‍්‍රීකරනයට ලක් කිරීම පෙන්නුම් කලේ, මෙය ව්‍යාජ සංකල්පයක් බවය. නූතන සමාජයේම වර්ධනය සමාජවාදයට මග පාදනු වෙනුවට ම්ලේච්ඡත්වයෙන් අවසන්වීමට ඉඩ ඇත.

මෙම ගුරුකුලයේ නියෝජිතයන් දෙදෙනෙකු වන එන්සෝ ට‍්‍රැවර්සෝ හා නෝමන් ජෙරාස් පිලිබඳව විමසා බැලීම මේ දේශනයට විෂය වූ ඇතැම් මූලික කරුනු පැහැදිලි කර ගැනීමට ඉවහල් වනු ඇත. පසුගිය වසර කිහිපය තුල හොලොකෝස්ටය පිලිබඳ නිශ්චිත මාක්ස්වාදී ප‍්‍රතිචාරයක් ගොඩනැඟීමෙහිලා මේ කතුවරු දෙදෙන වැදගත් ප‍්‍රතිපදානයක් කල බවට බි‍්‍රතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ ප‍්‍රමුඛ න්‍යායාචාර්යවරයා වන ඇලෙක්ස් කැලනිකෝස් 2001 වසරේ පලකරන ලද ලේඛනයක සඳහන් කලේය. (1) ඇත්ත වශයෙන්ම සිදුවූයේ ඊට සපුරා වෙනස් දෙයකි: මාක්ස්වාදය ගොඩනගනු වෙනුවට ඔවුන් උත්සුක වූයේ එයට යටින් වල කැපීමටයි.

1957 වසරේ ඉතාලියේ උපත ලැබූ එන්සෝ ට‍්‍රැවර්සෝ ඊනියා "අතිවාම” දේශපාලන සංවිධානයක සාමාජිකයෙකු වශයෙන් සිය තරුන වියේදී දේශපාලනයට පිවිසියේය. 1985 වසරේ ප‍්‍රන්සයේ පදිංචියට යෑමෙන් පසුව ඔහු, ලීග් කොමියුනිස්ට් රෙවලූෂනර් සංවිධානයේ සාමාජිකයෙකු විය. ඔහු, නැසී ගිය අර්නස්ට් මැන්ඩෙල්ගේ ප‍්‍රබල අනුගාමිකයෙකු විය. කලෙක මැන්ඩෙල්, 1950 ගනන්වල මුල් භාගයේදී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය ජාත්‍යන්තර පැබ්ලෝවාදී ප‍්‍රවනතාවයේ න්‍යායික නායකයා විය. ඓතිහාසික විශ්ලේෂනයේ විධික‍්‍රමයක් ලෙස හා දේශපාලන ඉදිරිදර්ශනයේ පදනම ලෙස මාක්ස්වාදය කෙරෙහි සිය ගැඹුරුවන විරෝධය, Understanding the Nazi Genocide: Marxism after Auschwitz (නාසි ජන සංහාරය වටහා ගැනීම: අවුෂ්විට්ස් වලින් පසු මාක්ස්වාදය) නමැති සිය කෘතිය තුලින් ට‍්‍රැවර්සෝ පැහැදිලි කරයි.

එම කෘතියේ හැඳින්වීමෙහි ඔහු මෙසේ ලියයි: "යුරෝපීය යුදෙව්වන්ගේ විපරීතයන් හා තුවාල තුලින් තරමට ම, විමුක්තිය හා මිනිස් සංහාරය අතර, නූතනත්වයේ එකිනෙකට වෙනස් මුහුනුවර අධ්‍යයනය කිරීම සඳහා විශිෂ්ට රසායනාගාරයක් අපට දැකිය හැකිය. එක් අතකින් එහි බලාපොරොත්තු මෙන්ම විමුක්තියේ අභිලාෂයන් ද අනෙක් අතට, එහි විනාශකාරී බලවේගයන් ද වේ. ඉතිහාසය පෙන්නුම් කරන්නේ බුද්ධි ප‍්‍රබෝධය හා මාක්ස්වාදය ද ඇතුලු එහි උරුමක්කරුවන්ගේ අර්ථ ශුන්‍ය බව හා නූතන ශිෂ්ඨාචාරය පිලිබඳ ම්ලේච්ඡත්වයේ ආන්තික ස්වරූපයන්ය.” (2)

යුදෙව් ජනයාට එරෙහි අපරාධ පිලිබඳ වගකීම "නූතනවාදය” මත පටවන මෙම ප‍්‍රවේශය - යමෙකුට, යුදෙව් ජන සමූහය මත එල්ල කරන ලද ප‍්‍රහාරය මිනිස් සංහතියට එරෙහි අපරාධයකැයි ද කිව හැකිය - ඉතා වැදගත් දේශපාලන භූමිකාවක් ඉටු කරයි. ඇත්ත වශයෙන්ම එයට වගකිවයුතු හා එහි අවශ්‍යතා වෙනුවෙන් ක‍්‍රියාත්මකවූ දේශපාලන බලවේග හා සමාජ පන්ති එමඟින් වසං කරයි. නූතනත්වය වූ කලී හිස් වියුක්තකරනයකි. එය පන්ති බෙදීම්වලින් හා පන්ති ගැටුම් වලින් ඉරිතලා ඇත.

යුදෙව්වන්ගේ විමුක්තිය පිලිබඳව සලකන තාක් දුරට යුරෝපා ඉතිහාසය පෙන්නුම් කරන්නේ ප‍්‍රන්ස විප්ලව සමයේ සිට 19 වැනි සියවසේ පලමු කාර්තු තුන තුල බටහිර යුරෝපයේ යුදෙව්වන් විවිධ හැල හැප්පීම් මධ්‍යයේ සිය ප‍්‍රජාතන්ත‍්‍රීය හා සිවිල් අයිතීන්ගේ පුලුල් වීමක් අත්විඳි බවයි. එහෙත් එම සියවසේ අවසන් කාර්තුවේ පටන් 1873 වසරේ ඇරඹි මහා අවපාතයේ වර්ධනය හා අධිරාජ්‍යවාදයේ හා යුදවාදයේ නැඟීමට සම්පාතව, පැහැදිලි වෙනසක් ඇතිවූ බව අපට පෙනීයයි. ආගමික ධර්මතාවන්ට වඩා වාර්ගික හා ජාතිකවාදී මතවාදයන් මත පදනම්වූ නව හා "නූතන” යුදෙව් විරෝධයක නැඟී ඒම මෙසේ සිදුවිය. පූර්ව වකවානුවේදී ලිබරල් ධනේශ්වරය පුරාන තන්ත‍්‍රයේ ඉපැරනි සීමාවන් ඉවත් කරත්ම එහි වර්ධනයවූ බලය සමඟ විමුක්තිය එකට බැඳී තිබුනි. නව යුදෙව් විරෝධය බැඳී තිබුනේ ධනේශ්වරය මුහුන දෙන තත්වයේ වෙනස්වීම් සමග ය. එනම් එය, නැඟී එන කම්කරු ව්‍යාපාරය හා මාක්ස්වාදයේ වර්ධනය කෙරේ ධනේශ්වරයේ ගැඹුරුවන බිය හා සතුරුකම්වල පිලිබිඹුවක් වූ බවයි. යුදෙව්වන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දැන් වඩ වඩාත්ම පෙනී සිටියේ සමාජවාදී කම්කරු ව්‍යාපාරයයි.

හොලොකෝස්ටයේ වරද "නූතනත්වය” මත පැටවීම ට‍්‍රැවර්සෝගේ විශ්ලේෂනයේ මුඛ්‍ය පාර්ශවයක් විය. අවුෂ්විට්ස්-බිර්කන’ව් මුදාගැනීමේ 60 වන සංවත්සරය වෙනුවෙන් ලේ මොන්ඬේ ඩිප්ලොමැටික් පුවත්පතේ 2005 පෙබරවාරි 15 දින පලකරන ලද ලිපියක ඔහු මෙසේ සඳහන් කරයි. නාසීන්ගේ ”අවුස්සන ලද ජාතිකත්වය හා ජීව විද්‍යාත්මක වර්ගවාදය, අධිරාජ්‍යවාදයේ සංස්කෘතිය හා භාවිතය මඟින් ස්ථාපිත කරන ලද පූර්වාදර්ශ - ලෙබන්ස්රොම් හෙවත් හුස්ම ගැනීමේ ඉඩකඩ- සාරභූතවම ආසියාවේ හා අප‍්‍රිකාවේ අනෙකුත් බලවතුන් ක‍්‍රියාත්මක කල යටත්විජිත ආධිපත්‍යයේ ආකෘතිය පැරනි ලෝකය මත ප‍්‍රතිස්ථාපනය කිරීමකි. සෝවියට් සංගමය විනාශ කිරීම හා යුදෙව්වන් මුලුමනින්ම ඉවත් කිරීම, තනි යුද්ධයකින් එලි දක්වන අනුපූරක අරමුනක් වීය යන්න කෙරේ ඔහු අවධානය යොමු කරයි.

එහෙත් වචන 1,700 න් යුත් රචනාව තුල "ධනවාදය” යන වචනය එක් වරක් හෝ යොදා නොමැත. නාසිවාදය, "නූතන ලෝකය, ඉතිහාසය, සංස්කෘතිය හා තාක්ෂනය තුල මෙන්ම සංවිධාන, නිෂ්පාදනය හා ආධිපත්‍යයේ නූතන ආකෘතීන් තුල ගැඹුරින්ම මුල්බැසගෙන තිබුනු” බව ඔහු සඳහන් කරයි.

ට‍්‍රැවර්සෝ ආරම්භයේදීම කුමන හෝ පන්ති විශ්ලේෂනයක් මුලුමනින්ම පාහේ බැහැර කරයි. "අවුෂ්විට්ස්හිදී අප දකින්නේ පෙලඹවීමේ එකම හේතුව වාර්ගික වෛරය බවට පත්වූ මිනිස් සංහාරයකි. එය සිදු කරන ලද්දේ කිසිදු ආර්ථික, දේශපාලන හෝ මිලිටරිමය හේතුවක් සැලකිල්ලට ගෙන නොවේ.” (3)

මීට කලින් එලි දක්වන ලද කෘතියක මේ කාරනයම වඩා පුලුල් පරාසයක පිහිටුවමින් ට‍්‍රැවර්සෝ මෙසේ ලිවීය. "ජාතික සමාජවාදී පද්ධතියට පාදකවූ නෛසර්ගික ආර්ථික තර්කනයක් පිලිබඳ මතය 1960 ගනන්වල සිට ඇතැම් මාක්ස්වාදී ඉතිහාසඥයින්ගේ විවේචනයට ලක්වූ බව සිහියට නඟාගත යුතුය. ටිම් මේසන්ට අනුව නාසි පද්ධතියේ මූලික තෝරාගැනීම් හා සමස්ත මෙහෙයුම පැහැදිලි කල හැක්කේ "දේශපාලනයේ ප‍්‍රමුඛතාව” තුලින් පමනි. එහෙත්, ජාතික සමාජවාදයේ පොදු ගතිකයන් පිලිබඳ මෙම අර්ථ කථනය තරමක් දුරට ගැටලු සහගත සේ පෙනී යන්නේ නම්, ෂොආ ගේ මුලයන් කරා පිවිසීමේ මාධ්‍යයක් ලෙස එය, භෞතිකවාදී පැහැදිලි කිරීම් වලට වඩා ප‍්‍රයෝජනවත් වේ. යුදෙව්වා බැංකු කරුවෙකු, නය හිමියෙකු හා ජනතාව බඩගින්නේ තබන්නෙකු ලෙස සලකන පුරාවෘත්ත මත පදනම්වූ (මෙය අතීතයේ නොයෙකුත් දේශපාලන තන්ත‍්‍රයන් විසින් මහා පරිමානයෙන් ප‍්‍රයෝජනයට ගන්නා ලද යුදෙව් විරෝධී වර්ගයේ තර්කයකි) සම්ප‍්‍රදායික වර්ගයේ ආර්ථික යුදෙව් විරෝධය, සාර්වාදී අධිරාජ්‍යයේ සංවිධිත ඝාතනවලට මග පෑදිය හැකිව තිබුනු නමුත්, එය රජය විසින් සංවිධානය කරන ලද යාන්ත‍්‍රික සමූලඝාතනයක් බවට පත්ව නොතිබුනි. යුදෙව් සංහාරය අධ්‍යයනය කරන ඉතිහාසඥයන්ට පෙනීයන හා ඔවුන් තිගැස්සීමට පත්කරන අංගයක් වී ඇත්තේ එහි සාරභූත ආර්ථික විරෝධී ස්වභාවයයි. පිරිමින්, ගැහැනුන්, වයස්ගතවූවන් හා ලමුන් දශ ලක්ෂ හයක් මරා දැමීම සඳහා යුද කාලපරිච්චේදයේදී පැවති තත්වයන් තුල පරිපාලන පද්ධතියක්, ප‍්‍රවාහන ජාලයක් හා සම්පූර්න විනාශකාරී කඳවුරු පද්ධතියක් නිර්මානය කල තන්ත‍්‍රයක ආර්ථික තර්කනය කොතැනක තිබුනි ද? මේ පද්ධති ගොඩනැඟීම සඳහා යොදවන ලද භෞතික හා මානව සම්පත් නිසැකවම කර්මාන්තවල හා වැඩි වැඩියෙන් ක්ෂයවන යුද බිම්වල වඩා පලදායී ලෙස යෙදිය හැකිව තිබුනි.” (4)

ඉතා පටු සන්දර්භයක් තුල සලකා බලන්නේ නම් මේ ප‍්‍රකාශ සත්‍ය ඒවා බව පෙනී යන්නට පුලුවන. එහෙත් රාමුව පුලුල් කල යුතුය. යුදෙව් සංහාරය හා අවුෂ්විට්ස් වධකාගාර ස්ථාපනය කිරීම සිදුවූයේ, නාසි තන්ත‍්‍රය විසින් යුරෝපයේ ජර්මානු අධිරාජ්‍යයක් පිහිටුවීම සඳහා දියත් කල මෙහෙයුමේ ප‍්‍රතිපලයක් වශයෙනි. මේ ඉදිරිදර්ශනයේ මුඛ්‍ය පාර්ශවයක් වූයේ ජර්මානු ආධිපත්‍යය පැතිරුනු ප‍්‍රදේශවලින් යුදෙව්වන් ඉවත් කිරීමයි. ඒ, ඔවුන්ගේ පැවැත්මේ ස්වභාවය නිසාම ඔවුන් ප‍්‍රතිරෝධයක විභව මූලයන් වීමේ ශක්‍යතාව සැලකිල්ලට ගැනීමෙනි. අවුෂ්විට්ස් වූ කලී ලෙබන්ස්රෝම් හෙවත් හුස්ම ගැනීමේ ඉඩක් සඳහා අවකාශ සැලසීම සඳහා ගෙනගිය මෙහෙයුමේ නිමැවුමකි. ලෙබන්ස්රෝම් සඳහා නිශ්චිත ආර්ථික අභිපේ‍්‍රරනයක් තිබුනි. එම අභිපේ‍්‍රරනය මුල්බැස තිබුනේ ලෝක වෙලඳපොල තුල ජර්මානු ධනවාදයේ බිඳවැටීම හා ඇමරිකානු ආර්ථික ආධිපත්‍යයේ වර්ධනයට එරෙහිව නැඟී සිටීමට ගත් උත්සාහයේදී එය මුහුනපෑ අර්බුදය තුලය.

Understanding the Nazi Genocide (නාසි සංහාරය වටහාගැනීම) නමැති සිය කෘතිය හඳුන්වා දෙමින් ට‍්‍රැවර්සෝ සඳහන් කලේ ඔහුගේ ඇතැම් රචනාවලට මාක්ස්වාදී සම්ප‍්‍රදාය පිලිබඳ "ඉතා කර්කෂ” විවේචන ඇතුලත්වූ බවය. "සිය දිශානතිය කුමක් වුවත්" මාක්ස්ගේ චින්තනය හා අනන්‍යවූවන්ට හා න්‍යායාචාර්යවරුන්ට අවුෂ්විට්ස්, "දැඩි තීරනාත්මක පරීක්ෂනයක්ව” තිබේ. නූතන යුගයේ විමුක්තිකාමී චින්තනයේ ඉතා බලගතු හා ජවසම්පන්න සම්ප‍්‍රදාය සතු මාක්ස්වාදය, පලමුව යුදෙව් සංහාරය හඳුනාගැනීමටත් පසුව එය වටහා ගැනීමටත් දැක්වූ අසමත්කම, 20 සියවසේ අභියෝගයන්ට එය සපයන පිලිතුරු අදාල වන්නේ ද යන්න සම්බන්ධයෙන් බලවත් සැක මතු කරයි.”

පලමුවෙන්ම කිව යුත්තේ මෙය මුලුමනින්ම මුසාකරනයක් බවය. වාම විපාර්ශවය ලෙසින් ද ඉන්පසු හතරවෙනි ජාත්‍යන්තරය ලෙසින් ද ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී ව්‍යාපාරය, නාසි ජයග‍්‍රහනයේ ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් අනතුරු අඟවා ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඞී) හා ස්ටැලින්වාදීන් නායකත්වය දුන් තුන්වන ජාත්‍යන්තරයේ විනාශකාරී ප‍්‍රතිපත්ති ආපසු හැරවීමේ අරගලයක යෙදෙමින් නාසි ජයග‍්‍රහනය වැලැක්වීමට සටන් කලේය. නාසි තන්ත‍්‍රයේ යුදෙව් විරෝධය ගැඹුරු වෙත්ම, ප‍්‍රධාන ධනේශ්වර රටවල් යුදෙව් සරනාගතයන්ට සිය දොරවල් වසත්ම, යුරෝපීය යුදෙව්වන් මුහුනදෙන අන්තරායන් පිලිබඳව ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය.

1938 දෙසැම්බරයේදී ඇමරිකානු යුදෙව්වන්ට ආයාචනයක් කරමින් ඔහු මෙසේ ලිවීය. "අනාගත ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ යුදෙව්වන්ට සිදුවන්නට යන දෙය වැඩි අමාරුවක් නැතිව උපකල්පනය කල හැකිය. එහෙත් යුද්ධයකින් තොරව වුව ද ලෝක ප‍්‍රතික‍්‍රියාවේ ඊලඟ වර්ධනය නිසැකවම ඇඟවුම් කරන්නේ යුදෙව්වන්ගේ කායික විනාශයයි.”

1940 මැයි මාසයේ පලකරනලද සිය අවසාන ලියවිලි අතර ප‍්‍රධාන ලේඛනයක්වූ "අධිරාජ්‍යවාදය හා යුද්ධය පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රකාශනය” තුල යුදෙව්වන් මුහුනපාන තත්වය කෙරේ ට්‍රොට්ස්කි යලිත් අවධානය යොමු කලේය. "සිය නැඟීම ඇතිවූ අවධියේදී ධනවාදය යුදෙව්වන් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවතට ගෙන ඔවුන් සිය වෙලඳ කටයුතුවල ප‍්‍රසාරනය සඳහා මෙවලමක් ලෙස යොදා ගත්තේය. අද දින දිරාපත්වන ධනවාදය යුදෙව්වන් සියලු සිදුරුවලින් මිරිකා හැරීමට යත්න දරයි. ලෝක ගෝලයේ බිලියන දෙකක් වන ජනගහනයෙන් සාමාජිකයින් මිලියන 17 කට එනම් ජනගහනයෙන් සියයට එකකට නොවැඩි පිරිසකට අපගේ ග‍්‍රහලෝකය තුල තව දුරටත් වාස භූමියක් සොයාගත නොහැකිවී ඇත. මිනිසා සඳහා පෘතුවිය මෙන්ම උඩු ගුවන ද ජයගත්, අතිවිශාල භූමි භාගයන් හා තාක්ෂනයේ විශ්මය ජනක වර්ධනය හමුවේ ධනේශ්වරය, අපගේ ග‍්‍රහ ලෝකය ජුගුප්සා ජනක සිපිරි ගෙයක් බවට පත්කොට තිබේ.” (6)

ට‍්‍රැවර්සෝගේ දෘෂ්ටිය පසුගිය දශක හතරේ සිදුවීම් මාලාව සමඟ එකට බැඳී ඇත. 1960 ගනන්වල අග හා 1970 ගනන්වල රැඩිකලීකරනය වී ඉන් පසු කාල පරිච්චේදයේදී කලකිරීමට පත්ව සිය ගැටලුවල මූලයන් පවතින්නේ මාක්ස්වාදයේ අසාර්ථකත්වය තුල බව සොයා ගත් එකම පුද්ගලයා ඔහු පමනක් නොවේ.

සිය පරිනාමය පැහැදිලි කරමින් ට‍්‍රැවර්සෝ මෙසේ ලියයි. "දේශපාලන හා බුද්ධිමය ලෝකය තුල මා මගේ මුල් පියවර තැබුවේ 1970 ගනන්වල මුල ඉතාලියේදීය. එකල මා කල්පනා කලේ මා ජීවත් වූයේ යුරෝපයේ මෙන්ම වියට්නාමයේ හෝ ලතින් ඇමරිකාවේ විප්ලවයේ අපේක්ෂාවන් දැල්වුනු අවධියක් තුල බවය. 20 සියවසේ අධිකාරවත් අංඟ ලක්ෂනය ම්ලේච්ඡත්වය බව වඩා මෑතදී මට ඒත්තුගොස් තිබේ. එතුලින් මගේ පිලිගැනීම් හා ඒත්තුගැනීම් අත්හැර දැමීම කරා මා මෙහෙයවා නැති නමුත් ඒ වෙනුවට මගේ ක්ෂිතිජය නවීකරනය කිරීමට මගක් පෑදී ඇත. ම්ලේච්ඡත්වය පවත්නා කාලයක් තුල ජීවත්වීම පිලිබඳ අවබෝධය ලෝකය වෙනස්කිරීමේ කාර්යය වඩාත් අනුල්ලංඝනීය කෙරේ නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ එම පරිවර්තනය ඉතිහාසයේ ගලායාමට අනුව සිදුවන්නක් නොව දියවැලට එරෙහිව පිහිනීමක් වන බවය. ඉතිහාසය අවබෝධකර ගැනීමේ පසුබිම මේ ප‍්‍රවේශය මඟින් වෙනස්කොට ඇත.” (7)

මේ වනාහි වල්මත්වූ රැඩිකල්වාදියෙකුගේ දෘෂ්ටියයි. මම විප්ලවය සෙව්වෙමි. එහෙත් එය හමුවූයේ නැත. විප්ලවය සිදු නොවූයේ මන්දැයි විමසා බලනු වෙනුවට ට‍්‍රැවර්සෝ, - ඔහු අයත්වූ අර්නස්ට් මැන්ඩෙල්ගේ පැබ්ලෝවාදී ප‍්‍රවනතාව ද ඇතුලු කම්කරු පන්තියේ නොයෙකුත් නායකත්වයන්ගේ භූමිකාව පිරික්සීම ඒ සඳහා අවශ්‍ය වේ - වර්තමාන යුගයේ ආධිපත්‍ය දරන්නේ ම්ලේච්ඡත්වය බවත්, මෙය හඳුනාගැනීමට නොහැකිවීමේ වරද මාක්ස්වාදය පිට පැටවෙන බවත් නිගමනය කරයි. සමාජවාදය කෙරේ ඇති ඔහුගේ කැපවීම එලෙසම පවත්නා නමුත්, ලෝකයේ පරිනාමය සිදුවිය හැක්කේ "දියවැලට එරෙහිව පිහිනීම” තුලිනි. මෙහි අර්ථය වන්නේ, සමාජවාදී පරිනාමය යන්න සැබවින්ම මනෝරාජික ඉදිරිදර්ශනයක් වෙනුවෙන් කරන සටනක්ය යන්නයි. ධනවාදයේ ඓතිහාසික වර්ධනය තුලම එය සොයාගැනීමට වෛෂයික පදනමක් ඇත්තේ නැත.

ට‍්‍රැවර්සෝට අනුව මූලෝත්පාටනයේ කඳවුරු සෑම අතින්ම "තාර්කික” "විද්‍යාත්මක” හා "නූතන” විය. "මාධ්‍යයන්ගේ (කඳවුරු පද්ධතිය) ප‍්‍රබලතම තාර්කිකත්වය එක් පසෙකිනුත් අරමුනුවල පූර්න අතාර්කිකත්වය අනෙක් පසෙනුත් ගත් කල 20 වන සියවස සංකේතවත් කරන සහ සම්බන්ධය අවුෂ්විට්ස් මඟින් පරිසමාප්තියට පත් කලේය” "නූතන සමාජයේ සැඟවුනු සම්භාව්‍යතාවන්” අවුෂ්විට්ස් අනාවරනය කලේය.

එහෙත් "නූතන සමාජය” සතුව සමාජ ව්‍යුහයක් ඇත. එය පන්ති සමාජයකි. ධනවාදයේ සමාජ සම්බන්ධතා යටතේ -එය තුල ජීවත්වීම සඳහා නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකරුවන්ට නිෂ්පාදකයන් (ශ‍්‍රමිකයන්) සිය ශ‍්‍රම ශක්තිය විකිනිය යුතුවේ. මිනිසුන් සැලකෙන්නේ අරමුන සඳූහා යොදාගතහැකි මෙවලම් වශයෙනි. එය ශ‍්‍රම ක‍්‍රියාවලිය තුල අතිරික්ත වටිනාකම එක්රැස් කිරීමකි. ධනවාදය පදනම් වන්නේ සමාජ සම්බන්ධතා පද්ධතියක් මතය. මෙය තුල අවශ්‍ය නිෂ්පාදනය කරගෙන යන්නේ මිනිස් උවමනාකම්වල අවශ්‍යතාවන් මත නොව ප‍්‍රාග්ධනයේම තර්ක ශාස්ත‍්‍රයට අනුවය. ප‍්‍රාග්ධනය මිනිසුන් පාලනය කරයි. මිනිසුන් නිෂ්පාදන ක‍්‍රමවලින් වෙන් කෙරේ. ප‍්‍රාග්ධනයේ තර්කනයට අනුව අවශ්‍ය නම් ජීවිතයෙන්ම ද වෙන්වෙයි. අතාර්කිකත්වය ලාභ පද්ධති ව්‍යුහයේ අංගයකි. නිදසුනක් වශයෙන්, මේ පද්ධතිය යටතේ මානව ප‍්‍රගතියේ පදනම වන ශ‍්‍රම පලදායිතාවේ වැඩිවීමක් හේතුකොටගෙන ලාභානුපාතිකයේ හීන වීමක් ඇතිවිය හැක. එහි ප‍්‍රතිපලය පසුබැස්ම, සේවා වියුක්තිය හා අවසාන වශයෙන් යුද්ධයට මඟ පාදන ආර්ථික අර්බුදයකි.

අනෙක් බොහෝ දෙනෙක් මෙන්ම ට‍්‍රැවර්සෝ ද හොලොකෝස්ටයේ අද්වීතීය ස්වභාවය අවධාරනය කරයි. සෑම ඓතිහාසික සිද්ධියක්ම පැනනඟින ස්වභාවය අනුව, ඊට පෙර සිදු නොවූ හා හරියටම එම ස්වරූපයෙන්ම එවැන්නක් යලි සිදුවීමට නොහැකිතාක් දුරට, එය අද්වීතීය වෙයි. මේ මට්ටමින් සලකා බලන කල එම ප‍්‍රකාශය නොවැදගත් එකකි. එහෙත් මේ මතය ඉදිරිපත් කරන්නන්ට ඊට වඩා යමක් කීමට අවශ්‍යව ඇත. මහා යුදෙව් සංහාරය කෙතරම් බිහිසුනු සිද්ධියක් වී ද යත්, මාක්ස්වාදය ඇතුලූ ඓතිහාසික විශ්ලේෂන විධික‍්‍රමයන්ට එය හසු නොවන බව යෝජනා කිරීම ඔවුන්ගේ අරමුනයි.

හොලොකෝස්ටයේ පෙර නොවූ විරූ ප‍්‍රචන්ඩත්වය පැන නැං‍ගේ, ජර්මානු හා ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදය තුල මුල්බැසගත් ක‍්‍රියාවලීන් දෙකක් සම්පාත වීමෙන් යයි දේශනයේ ප‍්‍රධාන කොටසේදී අපි නිගමනය කලෙමු. සෝවියට් සංගමයට එරෙහි විජිතකරනයේ යුද්ධය, එනම් මෙතෙක් ආසියාවේදී හා අප‍්‍රිකාවේදී යොදාගත් ක‍්‍රමෝපායන් යුරෝපා මහාද්වීපයට යොදා ගැනීම, හා සමාජ ප‍්‍රතිවිප්ලවය, එනම් 1917 ඔක්තෝබර් විප්ලවය තුලින් ස්ථාපිත කරන ලද දේපල සබඳතා පෙරලා දැමීමයි.

ට‍්‍රැවර්සෝට අනුව "එසේ වුව ද යුදෙව් ජන සංහාරයේ ඓතිහාසික අද්වීතීය බව සමන්විත වූයේ රැඳවුම් කඳවුරු ක‍්‍රමය තුල නොව, වාර්ගික සමුලෝත්පාටනය තුලය. අවුෂ්විට්ස් යනු ජීව විද්‍යාවේ හා නූතන තාක්ෂනයේ සම්මිශ‍්‍රනයක නිමැවුමකි. මෙය අව්‍යාජ ශිෂ්ඨත්වයේ බිඳීමකි. එය මෙතෙක් මෙම ග‍්‍රහලෝකය තුල මානව පැවැත්මට පාදකවූ ප‍්‍රාථමික මානව සහයෝගිතා ව්‍යුහය ඉරා දැමීය.” (8*)

ට‍්‍රැවර්සෝ, හොලොකෝස්ටය, එයට පූර්වයෙන් පැවති ඓතිහාසික ක‍්‍රියාවලියෙන් හා එය ශක්‍ය කල කොන්දේසි වලින් වෙන්කිරීමට වෑයම් කරයි. සංහාරයට මඟ හෙලිකල වාර්ගික ජීව විද්‍යාවේ හා නූතන තාක්ෂනයේ සම්මිශ‍්‍රනය ආරම්භ කලේ හිට්ලර් හා නාසීන් විසින් නොවේ. එහි මූලයන් රැඳී පැවතියේ විජිතකරනයට විරෝධය දැක්වූ ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් මරා දැමීමට මැක්සිම් තුවක්කුව පාවිච්චි කල 19 වන සියවසේ අග වසර කිහිපය තුලය. සුඩානයේ කාර්ටුම් නගරයට නුදුරුව සිදුවූ ඔම්දුර්මාන් සටනේ "ප‍්‍රථමික මානව සහයෝගිතා ව්‍යුහය” පැවතියේ කොහිදැයි යමෙකුට ඇසිය හැකිය. එහිදී 1898 සැප්තැම්බර් 02 දා පෙරවරු 11.30 වන විට බි‍්‍රතාන්‍ය හමුදාවන්ට ප‍්‍රතිරෝධය දැක්වූ මාදි ගෝත‍්‍රික ජනතාව 11,000 ක් පමන මරාදමන ලද අතර තුවාලකරුවන් සංඛ්‍යාව 16,000 ක් විය. බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් (පසුව සාමි පදවියක් ලත්) කිච්නර් එය හැඳින්වූයේ "සතුරා මනා ලෙස අතුගා දැමීමක්” ලෙසය.

සොල්දාදුවෙකු හා මාධ්‍ය වේදියෙකු ලෙස මෙම කුරිරු ඝාතනයට දායකවූ වින්ස්ටන් චර්චිල් පසු කලෙක මෙසේ ලිවීය. "ම්ලේච්ඡයින් අභිබවා විද්‍යාවේ ආයුධ වලට ලැබුනු විශිෂ්ඨතම ජයග‍්‍රහනය මෙයයි. පැය පහක කාල පරාසයක් තුල නූතන යුරෝපීය බලවතෙකුට එරෙහිව එතෙක් පෙලගස්වන ලද ඉතාමත් භක්තිමත් හා හොඳින් සන්නද්ධව සිටි කුරිරු හමුදාව, අවම දුෂ්කරතාවකින් හා සාපේක්ෂව කුඩා හමුදාවක් සහිතව ද ජයග‍්‍රාහකයින්ට සැලකිය යුතු හානියකින් තොරව ද විනාශ කර විසුරුවා හරින ලදී.” (9)

20 වන සියවස ආරම්භයේදී නිරිතදිග අප‍්‍රිකාවේ හෙරිරෝ ජනතාවට එරෙහිව ජර්මානු අධිරාජ්‍යවාදීන් විසින් ගෙනයන ලද මිනීමරු ව්‍යාපාරය තුල "ප‍්‍රාථමික මානව සහයෝගිතා ව්‍යුහය” පැවතියේ කොහි ද? 1904 ඔක්තෝබර් 2 දා වෝටර්බර්ග් සටනින් අනතුරුව හෙරිරෝ වරුන් පලායාමට උත්සාහ කල විට ජර්මානු හමුදා ප‍්‍රධානී ජෙනරාල් ලෝනාර් වොන් ලෝහා ප‍්‍රකාශයක් නිකුත් කලේය. "හෙරිරෝ ජනතාව රටින් ඉවත් විය යුතුය. ජනතාව එසේ නොකරන්නේ නම් ගෲවේ රෝර් හෙවත් කාලතුවක්කු යොදාගෙන මම ඔවුන් බලෙන් ඉවත් කරමි. ජර්මානු මායිම් තුල තුවක්කුවක් අතැතිව හෝ නොමැතිව, ගවයන් ඇතිව හෝ නැතිව සිටින සෑම හෙරිරෝ වැසියෙකුටම වෙඩි තබනු ඇත. මම තව දුරටත් ස්ත‍්‍රීන් හා ලමුන් භාර නොගන්නෙමි. සිය ජනතාව වෙත මම ඔවුන් හරවා යවන්නෙමි. නොඑසේනම් මම ඔවුන්ට වෙඩි තැබීමට ඉඩ හරිමි.”

වෙඩිතබා මරා නොදමන ලද අය කාන්තාරයට එලවා දමන ලදී. එහිදී පිපාසයෙන් දහස් ගනන් මරනයට පත්විය. නිල වාර්තාවට අනුව "වන සතෙකු බාගෙට මැරෙන තෙක් ලුහුබඳින්නාක් සේ සතුරා එක් ජල උල්පතකින් තවෙකකට එලවා දමන ලදී. මෙසේ ඔහුගේ අධිෂ්ඨානය බිඳ වැටෙන තෙක්ම පන්නන ලදුව ඔහු අවසානයේදී තමාගේම පොලවේ ස්වාභාවික ගොදුරක් බවට පත්විය. එලෙස ජර්මානු ආයුධ වලින් ඇරඹූ කටයුත්ත ජලය නොමැති ඔමහේකේ (කාන්තාරය) විසින් ඉටුකරන ලදී. එනම් හෙරීරෝ ජනතාව වනසා දැමුනි.” (10)

වර්ගවාදී දෘෂ්ටිවාදය හා නිලධාරි තන්ත‍්‍රය එක්තැන් කිරීම අරඹන ලද්දේ ද හිට්ලර් විසින් නොවේ. හැනා අරෙන්ට් සඳහන් කල පරිදි "අධිරාජ්‍යවාදයේ මුල් දශක කිහිපය තුල දේශපාලන සංවිධානය සඳහා හා විදේශීය ජනතාව පාලනය කිරීම සඳහා නව උපක‍්‍රම දෙකක් සොයාගන්නා ලදී. ඉන් එකක් වූයේ, දේශපාලන දේහකායේ මූලධර්මයක් ලෙස වර්ගවාදය යොදාගැනීමයි. අනෙක විදේශීය ආධිපත්‍යයේ මූලධර්මයක් වශයෙන් නිලධාරි තන්ත‍්‍රයයි.”(11) හිට්ලර් තන්ත‍්‍රය යටතේ නැගෙනහිර සඳහාවූ බර්ලිනයේ පිහිටි අමාත්‍යාංශය ගොඩනඟන ලද්දේ බි‍්‍රතාන්‍ය ඉන්දියා කාර්යාලයේ ආකෘතිය මත පිහිටාය.

ට‍්‍රැවර්සෝ, මාක්ස්වාදී ඉදිරිදර්ශනයේ පදනම වන ධනේශ්වර සමාජ සම්බන්ධතා පෙරලා දැමීමේ ඓතිහාසික අවශ්‍යතාව අවධාරනය කිරීමට හොලොකෝස්ටය හේතු කාරක නොවූ අතර මාක්ස්වාදයේ ශක්‍යතාව ප‍්‍රශ්නයට බඳුන් කිරීමට හොලොකෝස්ටය හේතු කාරක වූ බව කියා සිටියි.

"අවුෂ්විට්ස්හි සෙවනැල්ල යට සිදුවූ ව්‍යසනයට පසුව මාක්ස් යලි කියවීම අර්ථ විරහිත දෙයක් නොවේ. මන් ද යත්, මාක්ස් පුරෝගාමිත්වය දැරූ බුද්ධිමය සම්ප‍්‍රදාය පිලිබඳව ගෑස් කුටි තුලින් ප‍්‍රශ්න මතු කෙරෙන බැවින්ය. සමාජවාදී චින්තනයේ ඇතැම් සුසුමාදර්ශ අවුෂ්විට්ස් මඟින් ප‍්‍රශ්නයට බඳුන් කරයි. ඉන් සමහරක් මාක්ස්ගේම පෙල පොත්වල අඩංඟු වෙයි. තවත් සමහරක් ඔහුගේ කෘතිවල හිස් තැන්වලින් අරඹා ගොඩනඟන ලද හා වර්ධනය කරන ලද ඒවාය.” (12)

මානව වර්ගයා මුහුන දෙන අනාගතය එක්කෝ සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය වනු ඇතැයි පලමුවන ලෝක සංග‍්‍රාමය ආරම්භයේදී රෝසා ලක්සම්බර්ග් විසින් කරන ලද අනතුරු ඇඟවීම පිලිගැනීමට ට‍්‍රැවර්සෝට බලකෙරේ. එසේ වුව ද ඔහු මේ උපුටා දැක්වීම "මඟහරිනසුලූ, මංමුලා සහගත දුමාරයක්” ලෙස ක්ෂනිකව බැහැර කරයි. ඒ, එය "අවුෂ්විට්ස් යනු ම්ලේච්ඡත්වය යයි පිලිගැනීමෙන් තොරව ශිෂ්ඨාචාරයේ පිරිහීමක් පිලිබඳ අවතාරයක් කැඳවන බැවිනි. සියල්ලටත් වඩා වෝල්ටර් බෙන්ජමින් වැනි සුවිශේෂයන් කිහිපයක් හැරුනු විට මාක්ස්වාදීන් දරා සිටියේ මානව වර්ගයාගේ පරිහානිය අපගමනයක්, පූර්ව නූතනවාදයට හා පෞරානික සමාජ ආකෘතීන් කරා පවා පල්ලම් බැසීමකි." මේ හේතුවෙන් ”නූතන ම්ලේච්ඡත්වයක් ඉදිරියේ ඔවුහු නිරායුධ, මංමුලාවූ හා ඇතැම් විට අන්ධවූ පිරිසක් බවට පත්වූහ. මෙය ඓතිහාසික වර්ධනයේ අති මූලික හැඩගැසීම් වලින් අපසරනය හෝ ප‍්‍රතිවර්තනය වනු වෙනුවට ඒවා හා ගැලපී ගත්තේය. වෙනත් වචන වලින් කිවහොත්, තමන්ගේ මෙවලම් සහිත තාර්කිකත්වයකින් සංවිධානය කරන ලද හා මෙහෙයවන ලද තාක්ෂනික, කාර්මික ම්ලේච්ඡත්වයකි.” (13)

මේ තර්කය කිසිසේත්ම පිලිගත හැක්කක් නොවේ. රෝසා ලක්සම්බර්ගේ අනතුරු ඇඟවීම් පදනම් වූයේ, 19 වන සියවස අවසානයේ අධිරාජ්‍යවාදය තුලම මතුවූ ප‍්‍රවනතා පිලිබඳ විශ්ලේෂනයක් මතය. තව ද යුරෝපයේ හටගන්නා අනාගත යුද්ධයක් ගෙන එනු ඇත්තේ ඇදහිය නොහැකි ප‍්‍රචන්ඩත්වය යයි දශක දෙකකට පෙරාතුව ෆ්‍රෙඩ්රික් එංගල්ස් පෙන්වාදී තිබුනි. මිනිස් සංහතිය සිය වර්ධනයේ පෙර අදියරයකට ආපසු යෑමක් මාක්ස්වාදීහු පරිකල්පනය නොකල අතර තාක්ෂනයේ දැවැන්ත බලය ධනපති පන්තියේ ග‍්‍රහනයෙන් මුදා ගෙන මානව වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් උපයෝගීකර නොගතහොත් එහි මුලු මහත් බලය ශිෂ්ඨාචාරයේ අවිච්චින්නතාවට පවා විනාශකාරී ප‍්‍රතිපල ගෙන එන තර්ජනයක් එල්ල කරනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

ට‍්‍රැවර්සෝ මෙසේ අවධාරනය කරයි. ”අවුෂ්විට්ස් මඟින්, ප‍්‍රගමනය පිලිබඳ අදහස ද ඇතුලුව ඉතිහාසයේ ස්වාභාවික, ස්වයංක‍්‍රීය හා ගැලවීගත නොහැකි ප‍්‍රතිපලය ලෙස සමාජවාදය සදහටම ඉවත් කලේය.” (14)

මාක්ස්වාදයට කවර කලෙකවත් එවැනි ඉදිරිදර්ශනයක් තිබුනේ නැත. ධනවාදය "සෑම ආර්ථික ප‍්‍රගමනයක්ම සමාජ ව්‍යසනයක් බවට පත්කරන්නේය” යි මාක්ස් විසින්ම සටහන් කර තිබුනි. ඉංග‍්‍රීසීන් ඉන්දියාව අත්පත්කර ගැනීම "ධනේශ්වර ශිෂ්ඨාචාරයේ ගැඹුරු කුහක කම හා ආවේනික ම්ලේච්ඡත්වය” එහි වඩාත්ම නග්න ස්වරූපයෙන් අනාවරනය කලේ යයි The Future Results of the British Rule in India (ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය පාලනයේ අනාගත ප‍්‍රතිපල) යන හිසින් යුත් සිය ප‍්‍රකට ලිපිය තුල මාක්ස් පැහැදිලි කලේය. "මානව ප‍්‍රගතිය මරාදැමූවන්ගේ හිස් කබල් වලින් අමෘතය පානය කරන බියකරු මිසදිටු මූර්තියට පමනක් සමාන වීම අවසන් වන්නේ, ධනේශ්වර සංස්කෘතිය පොදු පාලනයකට යටත් කිරීමෙන් පසුව පමනකි.”

සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගයෙහි ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. "මීලඟ ඓතිහාසික අවධියේදී වත් සමාජ විප්ලවයක් සිදු නොවුනහොත් මානව වර්ගයාගේ සමස්ත සංස්කෘතියම මහත් විනාශයක තර්ජනයට මුහුන දෙනු ඇත.” මේ තත්වයට මුහුන දිය හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳාගැනීම තුලින් පමනක් බව ඔහු අවධාරනය කලේය. ට‍්‍රැවර්සෝට හා ඔහුගේ දෘෂ්ටිය සමඟ එකඟවූවන්ට නම් මේ ප‍්‍රශ්නය කිසි දිනෙකත් විමසා නොබැලිය යුත්තකි. ගැටලුව පවතින්නේ මාක්ස්වාදය තුලම බැවින්ය. අවුෂ්විට්ස්හි අර්ථය වන්නේ, "ඉතිහාසයේ ගමන් මගෙහි සවිඤ්ඤානක ප‍්‍රකාශනය හා රැල්ල සමඟ පිහිනන්නේ යයි විශ්වාස කල ක‍්‍රියාවලියක ප‍්‍රකාශිත චින්තන ක‍්‍රමයක් පිලිබඳ සරලමතික ශුභවාදය අතහැර දැමීමකි. තව ද එහි අර්ථය වන්නේ සමාජවාදයේ මනෝරාජික මානය ප‍්‍රකෘතිමත් කිරීමයි.” (15)

මාක්ස්වාදය හා කම්කරු පන්තිය තුල සිදුවී ඇතැයි කියන අසාර්ථකත්වයන් පිලිබඳව සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ ඇතැම් කොටස් වෙලාගත් අශුභවාදයට ඉඩ හරිමින් -ඇතැමුන් අති දක්ෂිනාංශික දිශාවකට මෙහෙයවමින්- මාක්ස්වාදය අවිඥානක ඓතිහාසික සන්තතියක සවිඥානක ප‍්‍රකාශනය වන්නේය යන සංකල්පය ට‍්‍රැවර්සෝ විසින් ප‍්‍රතික්ෂේප කරයි. කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමන "කිසියම් අනාගත සර්වලෝක ප‍්‍රතිසංස්කරනවාදියෙකු විසින් නිර්මානය කරන ලද හෝ සොයාගන්නා ලද සංකල්පනාවන් හෝ මූලධර්ම මත කිසිසේත්ම පදනම් නොවූ බව” මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුලින් පැහැදිලි කලේය. ඒ වෙනුවට එම නිගමන තුලින් හුදෙක්ම පොදුවේ ප‍්‍රකාශිත වූයේ "අප ඇස් පනාපිට ක‍්‍රියාත්මක වන ඓතිහාසික සංචලනයකින් පැන නඟින තථ්‍ය සබඳතාය.”

ඉතිහාසය හුදෙක් අප නිවැරදි යයි පිලිගන්නා බවක් මින් නොකියවේ. නොඑසේනම් අවසානයේදී ඓතිහාසික බලවේග ඒවා තුලින්ම ධනවාදයේ කඩාවැටීම සිදුකරනවා යන්න ද නොවේ. එසේ නැතුවා පමනක් නොවේ. රෝසා ලක්සම්බර්ග් මනාව පෙන්වාදුන් පරිදි කම්කරු පන්තියට ඉතිහාසය "වයා ඩොලරෝසා (via dolorosa) ” හෙවත් දුක් විඳීමේ මඟකි. ඉතිහාසයේ ජයග‍්‍රහනයන් පිලිබඳ පාඩම් හා සියල්ලටමත් වඩා එහි වේදනාකාරී පාඩම් ග‍්‍රහනය කර ගැනීමට කම්කරු පන්තිය සමත්වනතාක් දුරට පමනක් එයට ඓතිහාසික ක‍්‍රියාවලියට සවිඥානකව මැදිහත්විය හැකිය. ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කල හැක්කේ ද ධනවාදය පෙරලා දැමිය හැක්කේ ද එලෙස පමනි. ඉතිහාසය අවබෝධ කර ගැනීමේත් ඒ මත එය වෙනස් කිරීමේත් මෙම අරගලයට නායකත්වය සපයන්නේ මාක්ස්වාදී ව්‍යාපාරයයි. කම්කරු පන්තියට මුහුනපෑමට සිදුවන සියලූ ගැලුවල මූලාශ‍්‍රය ඉතිහාසයයි. ඒ සමඟම එවා විසඳීමේ මූලාශ‍්‍රය ද ඉතිහාසයයි. අනුමාන කරන පරිදි, කෙසේ හෝ පීඩිතයන්ගේ පරිකල්පනය උද්දීපනය කරන මනෝරාජික ක‍්‍රමවේදයන් තුලින් සමාජවාදය සඳහා අරගලය ජයගත නොහැකිය. ඒ වෙනුවට මාක්ස්වාදී ව්‍යාපාරය තමන් පසු කල ඓතිහාසික යුගයේ අත්දැකීම් විශ්ලේෂනය කිරීමට උත්සුක වේ. අන් සියල්ලටත් වඩා කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ ගැටලුව එය ග‍්‍රහනය කර ගන්නේය. ට‍්‍රැවර්සෝ එවන් ප‍්‍රවිෂ්ටයක් ප‍්‍රතික්ෂේප කරයි.

ඔහු මෙසේ ලියයි: "ධනවාදයේ වර්ධනය මාක්ස් පරිකල්පනය කලේ අපෝහක ක‍්‍රියාවලියක් ලෙසට ය. ඒ තුල ශිෂ්ටසම්පන්න කිරීමේ මෙහෙවර, එනම් නිෂ්පාදන බලවේගවල වර්ධනය හා පන්ති හා ජාතික පීඩනය වැනි අපගාමී සංසිද්ධීන් නොවෙන්කලහැකි සේ එකට බැඳී ඇත. ඔහුට අනුව මේ ද්විධාකරනය, විප්ලවීය ඛන්ඩනයක් ඇතිවන තෙක් ගඹුරුවනු ඇත. ඊට විපරීත ලෙස මේ අපෝහකයට නිෂේධනාත්මක ස්වරූපයක් ද අඩංගුව තිබිය හැකි යයි 20 වන සියවස පෙන්නුම් කලේය. ධනවාදී සමාජ සම්බන්ධතා නමැති යකඩ කූඩුව බිඳ දැමීම වෙනුවට, නිෂ්පාදන බලවේගවල වර්ධනය හා තාක්ෂනික ප‍්‍රගමනය, ෆැසිස්ට්වාදය, ජාතික සමාජවාදය හෝ වෙනත් ස්වරූපයකින් ස්ටැලින්වාදය වැනි නූතන ඒකාධිපති නිමැවුම් වලට පදනම විය හැකිය” (16)

ධනේශ්වරය වෙතින් බලය පැහැර ගැනීමට කම්කරු පන්තිය මෙතෙක් අපොහොසත්ව ඇත්තේ මන්ද යන්න පිලිබඳව කිසිදු විශ්ලේෂනයක් මේ තක්සේරුවෙහි ඇත්තේ නැත. ට‍්‍රැවර්සෝ විසින් ගොනුකරන මුලුමනින්ම ඒක පාර්ශවීය වූ අර්ථ කථනය වෙනුවට මාක්ස් ඇත්ත වශයෙන්ම ලිවූ දේ ගැන සලකා බැලීම මෙතැන්හිදී අවශ්‍ය කෙරේ.

සිය ප‍්‍රකට කෘතිය වන Preface to the Critique of Political Economy (දේශපාලන ආර්ථිකය පිලිබඳ විචාරයට සංඥාපනයක්) තුලින් මාක්ස්, ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂන විධික‍්‍රමය සැකිල්ලක් සේ ඉදිරිපත් කලේය. "වර්ධනයේ නිශ්චිත අදියරකදී සමාජයේ භෞතික නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමඟ ගැටුමට එලඹෙයි. නොඑසේනම් -මෙය ඒ දෙයම හුදු නෛතික භාෂාවෙන් ප‍්‍රකාශ කිරීමකි- එතෙක් එම බලවේග ක‍්‍රියාත්මකවූ රාමුව තුල පවත්නා දේපල සබඳතා සමග ගැටේ. මේ සබඳතා නිෂ්පාදන බලවේගයන්හි වර්ධනයේ රූපාකාරයන්හි සිට ඒවායේ විලංඟු බවට පත්වෙයි. එතැන් සිට ඇරඹෙන්නේ සමාජ විප්ලවයේ අවධියකි.

ට‍්‍රැවර්සෝ මේ සියල්ල නිකම්ම ගසා බසා දමන්නේ ඒවා ඔහුගේ තර්කයට නොගැලපෙන බැවිනි. ඔහුගේ තර්කය වන්නේ, ම්ලේච්ඡත්වය අවසානයේදී ලැගුම් ගන්නේ හේතුව පිලිබඳ ක‍්‍රියාවලිය තුලමය යන්නයි. අඩුම තරමින් එය තාක්ෂනය සංවිධානය කිරීම තුල සිය ප‍්‍රකාශනය අත්කර ගනියි. ගැටලූව වන්නේ මිනිසාම ය. මාක්ස් පැහැදිලි කල පරිදි, එක් අවධියකදී නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට හේතු සාධකවූ ධනවාදයේ සමාජ සම්බන්ධකම්, දැන් මානව වර්ගයා ද ඇතුලු ඒවා සමස්තයම විනාශ කිරීමට තර්ජනය කිරීම තුල නොවේ යයි ට‍්‍රැවර්සෝ නිගමනය කරයි.

සමාජ විප්ලවයේ වෛෂයික පදනම් ස්ථාපිත කිරීමෙන් පසුව මාක්ස්, මෙම පරිවර්තනය සිදු කෙරෙන මාවතට පිවිසෙයි. ස්වාභාවික විද්‍යාව සතු නිරවද්‍යතාවකින් තහවුරු කලහැකි නිෂ්පාදනයේ ආර්ථික තත්වයන්හි භෞතික පරිවර්තනය හා නෛතික, දේශපාලන, ආගමික, කලාත්මක හෝ දාර්ශනික, කෙටියෙන් කිවහොත් දෘෂ්ටිමය ‘ආකෘතීන්’අතර වෙනස හඳුනාගැනීම හැම විටම අවශ්‍යවන්නේ යයි ඔහු අවධාරනය කලේය. මේ ගැටුම පිලිබඳව මිනිසුන් සවිඥානකවීමට පටන් ගන්නේ ද එ් සඳහා සටන් වදින්නේ ද ඒ ආකාරයෙනි. (අවධාරනය ඈඳුනි) දේශපාලන ගැටුම් සමඟ පොරබැදූ ආකාරය දැක්වෙන 20 සියවසේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී හා අවශ්‍ය පාඩම් උකහා ගැනීම කරා යොමුවීමේදී ඒ පිලිබඳව අවධානය යොමුකල යුතුය. සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය වීමෙන් හා කම්කරු පන්තියට ධනවාදය පෙරලා දැමිය හැකි විප්ලවවාදී තත්වයන් ඉස්මතුවීමකින් තොරව 20 සියවස ගෙවී ගියේ නම්, ඇතැම්විට ට‍්‍රැවර්සෝගේ විශ්ලේෂනය යම් තරමකට වලංඟු වන්නට තිබුනි. ඉතිහාසය එවන් කොන්දේසි පැවති බව පෙන්නුම් කරයි. 1917 රුසියානු විප්ලවය සමඟ ආරම්භවී 1923 වසරේ අසාර්ථකවූ ”ජර්මානු ඔක්තෝබරය” දක්වා අඛන්ඩව පැවතුනු කාල වකවානුව, 1930 ගනන්වල පැවති කැලඹීම් මාලාව. 1936 ස්පාඤ්ඤ විප්ලවය මෙහි උච්ඡ අවස්ථාව සලකුනු කලේය. පශ්චාත් දෙවන ලෝක යුද්ධ නැඟිටීම් හා 1968 මැයි-ජූනි මාසවල ප‍්‍රංශයේ ආරම්භවූ සිද්ධීන් හා 1975 වසර තෙක් පැවති විභවාත්මක විප්ලවවාදී අරගල මාලාව. මේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ නිශ්චිතවම කම්කරු පන්තියට බලය අල්ලා ගැනීම සඳහා වෛෂයික තත්වයන් පැවති බවත්, අඩුවකට තිබුනේ විප්ලවවාදී නායකත්වයක් නොමැතිවීම බවත්ය.

ස්ටැලින්වාදය හා නාසිවාදය වැනි "ඒකාධිපති නිර්මානයන්” මාක්ස්වාදයේ සැලකිල්ල යොමු නොවූ කිසියම් "නිශේධක අපෝහකයක” ප‍්‍රතිපලයක් නොව, කම්කරු පන්තිය අත්විඳි පරාජයන්ගේ ප‍්‍රතිපලයකි. රුසියානු විප්ලවයේ ක්ෂනික ඉක්බිත්තෙහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් කම්කරු පන්තියේ විප්ලවකාරී අරගල පාවාදීම හේතුකොටගෙන ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය හුදෙකලා කෙරින. ලියොන් ට්‍රොට්ස්කි නායකත්වය දුන් මාක්ස්වාදී හා ජාත්‍යන්තරවාදී ප‍්‍රවනතාවේ දේශපාලන පරාජය තුලින් එම රාජ්‍යයේ පිරිහීමට හා අවසානයේදී ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රයට දේශපාලන බලය පැහැර ගැනීමට මග පෑදීය. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය මත "සමාජ ෆැසිස්ට්වාදය” නමැති විනාශකාරී න්‍යාය පැටවීමේ ප‍්‍රධාන වගකීම පැවරුනේ එවකට කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නායකත්වය දැරූ ස්ටැලින්වාදී තන්ත‍්‍රය මතය. හිට්ලර් බලයට ඒමේ මග විවෘත කිරීමේ තීරනාත්මක භූමිකාව ඉටුකරන ලද්දේ මෙ මඟිනි. එහි ප‍්‍රතිපලය වූයේ කම්කරු පන්තිය ලත් දැවැන්තම ඓතිහාසික පරාජයයි. ඔවුන්ගේම ක‍්‍රමයට අනුව ස්ටැලින්වාදය හා නාසි වාදය යන දෙක තාක්ෂනයේ හා නිෂ්පාදන බලවේගවල ප‍්‍රකාශනයක් නොව, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයෙහි ප‍්‍රකාශනයක් විය.

"ධනේශ්වර සමාජයට හා අධිරාජ්‍යවාදයට ආවේනික ප‍්‍රචන්ඩත්වය, හිට්ලර් යටතේ ජර්මනිය අන්තයකට තල්ලු කලේය.” යන්න අවධාරනය කිරීම සම්බන්ධයෙන් පෙර කලෙක සිය ගුරුවරයාවූ අර්නස්ට් මැන්ඩෙල්, ට‍්‍රැවර්සෝගේ විවේචනයට ලක් වෙයි. (17*) මේ මතය පිලිබඳව ගැටලුව වූයේ "ජර්මානු අධිරාජ්‍යවාදයේ භෞතික අවශ්‍යතා හා මිලිටරි ප‍්‍රමුඛතාවන් එසේ තිබියදීම, ‘අවසාන විග‍්‍රහයේදී’ යුදෙව් සංහාරය තීරනය වූයේ දෘෂ්ටිවාදය මඟින් බව "පිලිගැනීමට මැන්ඩෙල්ට දුෂ්කර වීමයි.” (18)

මහා ජර්මානු ප‍්‍රාග්ධනයේ පන්ති අවශ්‍යතාවන්හි කටයුත්තක් ලෙස යුදෙව් සංහාරය අවබෝධ කර ගත නොහැකිය. -‘අවසාන විග‍්‍රහයේදී’ ෆැසිස්ට්වාදය පිලිබඳ සියලු මාක්ස්වාදී න්‍යායන්ගේ අර්ථ නිරූපිත නිර්නායකය සත්‍ය වශයෙන්ම මෙය වේ. - එය ඉදිරිපත්කල හැක්කේ විකටරූපී ආකාරයකිනි. (19)

අවසානයේදී අපට ඉතිරිවන නිගමනය වන්නේ, සැබවින්ම වරද ඇත්තේ නාසීන් හා ඔවුන් අතරින් ප‍්‍රමුඛයා වූ හිට්ලර් අත බවයි. මේ සියලූ පශ්චාත් නූතන, පශ්චාත් මාක්ස්වාදී වෙහෙස මහන්සිය. ‘අවසාන විග‍්‍රහයේදී’ මං පාදන්නේ කොතැනකට දැයි අපට පෙනී යයි. යුදෙව් සංහාරයට ජර්මානු අධිරාජ්‍යවාදය වගකිවයුතු නොවේ. වගකිව යුත්තේ නාසීන් හා හිට්ලර්ය. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් මත ද වරද පැටවිය නොහැක. මන් ද යත්, නූතන තාක්ෂනයේ හා නිෂ්පාදන බලවේගයන්ගේ හා මානව බුද්ධියේම විනාශකාරී අතාර්කිකත්වය තුල මිනිස් සංහාරය ආවේනිකවූ බැවින්ය.

අප සටහන් කර ඇති පරිදි, ප‍්‍රශ්නය ඉතා පටු ආකාරයෙන් සලකා බලන්නේ නම් යුදෙව්වන් සමූලඝාතනය, ජර්මානු අධිරාජ්‍යවාදයේ ආසන්නතම ආර්ථික හා මිලිටරි අවශ්‍යතාවන්ට එරෙහිවී යයි පහසුවෙන්ම පෙන්වාදිය හැකිය. එහෙත් පටු ඉදිරිදර්ශනයක් මත පිහිටා ප‍්‍රශ්නය විමර්ෂනය කිරීම ම ගැටලුව වී තිබේ. අප දර්ශන පථය පුලුල් කරන්නේ නම්, යටින් පැවති අවශ්‍යතා දැකගත හැකිය. හොලොකෝස්ටය පැනනැංගේ සෝවියට් සංගමයට එරෙහි යුද්ධය හා යුරෝපයේ ආධිපත්‍යය සඳහා වූ ජර්මානු අධිරාජ්‍යවාදයේ සැලසුම් තුලිනි. මේ කාර්යයන් ඉටුකිරීම සඳහා ජර්මානු ප‍්‍රාග්ධනය බලයේ තෝන් ලනුව නාසීන් අතට පත්කරනු ලැබින. සත්තකින්ම යුද්ධයට පෙර සිදුවූ පරිදි, ඔවුන්ගේ ඇතැම් කටයුතු ජර්මානු ව්‍යාපාර ලෝකයේ ආසන්න කෙටිකාලීන ආසක්තයන් හා ගැටුනි. -යුදෙව්වන් සමූලඝාතනය පිලිබඳව ප‍්‍රභූව තුලින් පැනනැඟුනු විරුද්ධත්වයක් වාර්තාවී නැති නමුත්- එහෙත්, නැගෙනහිර කලාපයේ ලෙබන්ස්රෝම් හෙවත් හුස්ම ගැනීමේ ඉඩක් සඳහා නාසීන්ගේ මෙහෙයුම හා ජරමානු අධිරාජ්‍යවාදයේ ලාභාපේක්ෂාවන් හා ආසක්තයන් අතර සෘජු සම්පාතයක් පැවතුනි.

ජර්මානු ජාලක ප‍්‍රභූව විසින් බලයේ තෝන් ලනුව නාසි ව්‍යාපාරය වෙත පැවරුවේ, සංවිධිත කම්කරු පන්තිය හා සමාජවාදී ව්‍යාපාරය වනසා දැමීමේ හැකියාවක් ඇති වෙනත් පක්ෂයක් නොතිබුන බැවින්ය. නාසීන්ගේ ඇතැම් "ප‍්‍රමානය ඉක්මවා ගිය හැසිරීම්” සීමා කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ඔවුහු සහතිකවම අපේක්ෂා කලහ. එහෙත්, සෑම අදියරයකදීම ඒ සඳහා ගෙවීමට සිදුවූ මිල විශාල විය. නාසීන් සමඟ ඇතිවන ගැටුමකදී පහලින් ව්‍යාපාරයක් අවුලුවනු ඇති බවට අනතුරක් හැමවිටම තිබුනි. මේ අනුව, අවසානයේදී "පමන ඉක්මවා ගිය හැසිරීම්” වෙනුවෙන් ගෙවීමට සිදුවූ මිල පිලිගැනීමට ඔවුන්ට සිදුවිය.

නාසි නායකත්වයේ සිතුම් පැතුම් අන් සියලු ප‍්‍රශ්නවලට වඩා වර්ගවාදයත්, යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ අයාසයත් ප‍්‍රමුඛත්වය ගත්තා විය හැකිය. එහෙත් ප‍්‍රශ්නය එයින් නිරාකරනය වන්නේ නැත. අර්ථශාස්ත‍්‍රයේ ප‍්‍රමුඛත්වය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අවසාන විග‍්‍රහයේදී, සෑම දේශපාලන නායකයෙකුගේම තීරන පිටුපස, දෘෂ්ටිවාදය වසංකිරීම සඳහා භාවිතයට ගන්නා ආර්ථික අභිපේ‍්‍රරනයක් ඇතැයි මාක්ස්වාදය කියා සිටින්නේ නැත. එහි අර්ථය වන්නේ, ආර්ථික ලාභාපේක්ෂාවන් හා -පාලක පන්තීන්ගේ භෞතික ලාභාපේක්ෂා- දේශපාලනයේ පුලුල් පරාසය තීරනය කරන බවයි. හොලොකෝස්ටය සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් වූ සමාජවාදී හා කම්කරු ව්‍යාපාරයේ විනාශය හා සෝවියට් සංගමය ජයගෙන එය යටත්විජිතයක් බවට පත්කිරීමේ යුද්ධය -යුද්ධය ඇතිවූයේ ඒවා තුලින්ය - යන කරුනු දෙකම තීරනය වූයේ "මහා ජර්මානු ප‍්‍රාග්ධනයේ පන්ති අවශ්‍යතා” තුලින්ය යන්න ගැන ප‍්‍රශ්නයක් තිබිය නොහැකිය.

ජර්මානු අධිරාජ්‍යවාදය තුල හා වඩාත් පොදුවේ ධනවාදී පද්ධතිය තුල හොලොකෝස්ටයේ මූලයන් ස්ථානගත කිරීම පිලිබඳ අදහස සම්බන්ධයෙන් ට‍්‍රැවර්සෝ මෙන්ම නෝමන් ජෙරාස් ද ප‍්‍රශ්න මතු කරයි. පැහැදිලි කිරීමක් සැපයීමට, වඩාත් මූලික යමක් අවශ්‍ය වේ. ජෙරාස් එය සොයාගන්නේ, අනර්ථය සඳහා මානව වර්ගයාගේ ඇති විභවය තුලය.

ජෙරාස්ගේ විකාශනය පෙන්නුම් කරන්නේ, හොලොකෝස්ටය පිලිබඳ මාක්ස්වාදී විශලේශනයක් කෙරෙහි ඔහුගේ විරෝධය තුලින් ප‍්‍රකාශිත වන සමකාලීන දේශපාලන පීඩනයයි. කලෙක නිව් ලෙෆ්ට් රිවීව් සඟරාවේ කතෘ මන්ඬලයේ සාමාජිකයෙකු ද රෝසා ලක්සම්බර්ග් අගය කරන්නෙකු ද තමා මාක්ස්වාදියෙකු බව විවෘතව ප‍්‍රකාශ කලාවූ ද ජෙරාස්, එක් අවධියක රැඩිකල්වාදයේ බොහෝ දෙනෙකු මෙන් ඉරාකයට එරෙහි එක්සත් ජනපදය නායකත්වය දුන් යුද්ධය හා "ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” පිටුපස පෙලගැසුනේය. "හොලොකෝස්ටයට පෙර මාක්ස්වාදීන්” යන හිසින් නිව් ලෙෆ්ට් රිවීව් 1997 ජූලි-අගෝස්තු කලාපයේ පලකරන ලද ලිපියක් තුලින් යුදෙව් සංහාරය පිලිබඳ ජෙරාස්ගේ ස්ථාවරය ඉදිරිපත් කෙරේ. එම ලිපිය හොලොකෝස්ටය පිලිබඳ අර්නස්ට් මැන්ඩෙල්ගේ විශ්ලේෂනය පරීක්ෂාවට ලක්කිරීම සඳහා කැප කෙරේ. ජෙරාස්ට අනුව "ඔහු (මැන්ඩෙල්) හො‍‍ලොකෝස්ටය තවමත් විස්තර කරන්නේ ධනවාදයේ නිමැවුමක් ලෙසය. එහි ගෝලීය අඥානත්වයේ නිමැවුමක් ලෙසය. එහි පාර්ශවිය (කාර්ය බද්ධ) බුද්ධිමත්කම හා වර්ගවාදී මතවාදය ජනිත කෙරෙන්නේ, එහි අධිරාජ්‍යවාදී ස්වරූපයන් ගෙන්ය.” එහෙත් මේ අනුව ගොඩනඟන ලද කිසිදු අර්ථ කථනයක් ප‍්‍රමානවත් නොවනු ඇතැයි ඔහු අවධාරනය කරයි.

හොලොකෝස්ටය කරා පිවිසෙන විට "නූතනත්වයට සම්බන්ධ නොවන යමක් එහි ඇති බව පිලිගත යුතුය. ධනවාදයට සම්බන්ධ නොවන යමක් ඇත. එය මනුෂ්‍යත්වය පිලිබඳවය.” මෙම "රැඩිකල් දුෂ්ඨත්වයේ අරූපිතාවට මුහුන දීමට මාක්ස්වාදීන් පසුබටවී ඇතැයි” ඔහු කියා සිටියි.

කිසි දිනෙක ජයගගත නොහැකි දුෂ්ටත්වයේ න්‍යෂ්ටියක් මනුෂ්‍ය වර්ගයා තුල පැලපදියම්වී ඇති හෙයින් අවසානයේදී සමාජවාදය හා ශිෂ්ඨාචාරයේ දියුනුව සිදුවිය නොහැකි දෙයක්ය යන තර්කය කරා මේ මඟින් අපව මෙහෙයවයි. සිය ලිපියේ අවසානයට ලඟාවන විට ජෙරාස් මෙසේ ලියයි. "සමාජවාදය මුදුන්පමුනුවා ගැනීමෙන් තොරව, යුදෙව් ප‍්‍රශ්නයට සතුටුදායක විසඳුමක් සොයාගත නොහැකි වන්නේ යයි එම ප‍්‍රශ්නය ගැන ලියන විට මැන්ඩෙල් හා ට්‍රොට්ස්කි යන දෙදෙනාම තර්ක කලේය. මෙතෙක් මා විසින් ලියන ලද සියල්ලෙන් එම සූත‍්‍රයේ මා දකින අඩු ලූහුඬුකම් එලි දැක්වෙතැයි මම සිතමි.”

හොලොකෝස්ටය යථාර්තයක් බවට පත්කල "මිනිසුන් ලක්ෂ ගනනකගේ නිවට සහභාගිත්වය හා විවේචනාත්මක විනිශ්චයක් නොමැතිකමේ” ප‍්‍රශ්නය වෙත ද භැඅ ඛැඓ ඍැඩසැඅ (නිව් ලෙෆ්ට් රිවීව්) ලිපියෙන් ජෙරාස් සිය අවධානය යොමු කරයි.

1998 වසරේදී පලකරන ලද කෘතියක මේ ප‍්‍රශ්නය ගැන ඔහු තව දුරටත් පැහැදිලි කලේය. "මෙය අපරූපීන්ගෙන් හා ම්ලේච්ඡයන්ගෙන් පමනක් සැදුම්ලත් ලෝකයක් නොව -නොඑසේ නම්, අපරූපීන්ගෙන් හා ම්ලේච්ඡයන්ගෙන් පමනක් පිරුනු ලෝකයක් නොව, මන් ද යත්, කිසියම් අවශ්‍ය හා තවමත් භාවිතාකල හැකි අර්ථයකින් මෙවැන්නක් ඕනෑවටත් වඩා තිබීම නිසා - පහසුවෙන් හඳුනාගත හැකි ගති ලක්ෂනවලින් පිරි, එමෙන්ම මානව දුසිරිත් හා දුබලතා ද පොදු දුර්වලකම් ද ඇති, නිශ්චිතව මිනිසුන් වන සත්වයන්ගෙන් පිරුනු ලෝකයකි.

"එය වඩාත් පහසුවෙන් හඳුනාගත හැකිය. සමූලඝාතන ක‍්‍රියාවලියට සෘජුවම දායක නොවුන ද එය නවතාලීමට කිසිවක් නොකර එය ඉවසා සිටි අය, නොදන්නා බව ආරූඪකර ගන්නා අය නොවේ නම් සිදුවන දේ දැන ගැනීමට උනන්දුවක් නොදැක්වීමේ හේතුවෙන් කරුනු සොයා නොගන්නා අය, නොඑසේ නම් කරුනු දැන ගෙන ද ඒ ගැන සැලකිල්ලක් නොදක්වන අය, උදාසීන මිනිසුන්, එසේත් නැත්නම් තමන් ගැන හෝ අනුන් වෙනුවෙන් බය බිරාන්තියට පත්වූ අයයි. නැතහොත් තමන් දුබල යයි හැෙඟන අයයි. නොඑසේ නම් (අප බොහෝ දෙනෙකු මෙන්) සිය ජීවිතවල අරමුනු පසුපස හඹායෑමේ බරින් පරිපීඩිත, වික්ෂිප්ත, හෝ නිකම්ම පරලවූ පුද්ගලයන්ය. යුරෝපීය යුදෙව්වන්ගේ ඛේදවාචකයට පසුබිම සැකසුනේ එවැනි පුද්ගලයන්ගෙන්ය. ලොකු කුඩා අනෙකුත් ඛේදවාචකයන් ඇතිවීමට තුඩු දුන් හා ප‍්‍රබලවූ නමුත් වැලැක්විය හැකිව තිබූ ඛේදවාචකයන්හිදී ද ඔවුහු සන්තාපයට කොන්දේසියක් හැම තැනම සෙවූහ. සහභාගී නොවී බලාසිටින්නන්ගේ සාර්වත‍්‍රික වර්නනාව අන් අයගේ ඉමහත් දුක් කම්කොටලූ මධ්‍යයේ සුවදායක ලෙස දිවි ගෙවීමට අප වර්ගයාගේ සාමාජිකයන් තුල ඇති අපූර්ව හැකියාව පිලිබඳව සත්තකින්ම සාක්ෂි දරයි.” (20)

ඉතින් අවසානයේදී වගකිව යුත්තේ යක්ෂාවේශ වූවන් පමනක් නොවේ. වරද පැටවිය යුත්තේ මුලු මහත් මිනිස් සංහතියම මතයි.

මේ ප‍්‍රශ්නය වඩා සමීපව විමසා බලමු. මන් ද යත් එසේ කිරීම තුලින් අපගේම අවධිය සඳහා හොලොකෝස්ටයේ ඇතැම් වැදගත් දේශපාලන හා ඓතිහාසික පාඩම් ඉන් උකහාගත හැකිවන හෙයිනි.

සිදුවූ දෙයින් හා අන් සියල්ලටත් වඩා එය වැලැක්වීම සඳහා කිසිවක් නොකර "සහභාගී නොවී බලා සිටින්නන්ගේ” ප‍්‍රතිචාරයෙන් අපි ස්වාභාවිකවම බියට හා තැතිගැන්මට පත්ව සිටින්නෙමු. එහෙත් මුඛ්‍ය ප‍්‍රශ්නය වන්නේ, එයින් අප උකහා ගන්නා පාඩම කුමක් ද යන්නය. ට්‍රොට්ස්කි නිතර නිතර සිහිපත්කල ස්පිනෝසාගේ වැකියක සඳහන් වන පරිදි මෙහිදී අපගේ කර්තව්‍යය විය යුත්තේ සිනහවීම හෝ ඇඬීම නොව වටහාගැනීමයි.

ජෙරාස්ට අනුව අසංවේදී උදාසීනත්වයේ මූලයන් ඇත්තේ, අවැඩක් කිරීම සඳහා ඇති රැඩිකල් නැමියාව සමඟ එන මිනිස් ස්වභාවය තුලය. මාක්ස්වාදී විශ්ලේෂනය පැමිනෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්වූ නිගමන වලටය. හිට්ලර් හා නාසීන් බලයට එ්මේ මාර්ගය විවෘත කල ජර්මානු කම්කරු ව්‍යාපාරයේ ඓතිහාසික පරාජයෙහි දැවැන්ත ඛේදවාචකය වූයේ මහා යුදෙව් සංහාරය ශක්‍යතාවක් බවට පත්කිරීමට තුඩුදුන් විශ්මයජනක උදාසීනත්වයයි.

දේශපාලන ක්ෂේත‍්‍රයේ ද සමාජ ප‍්‍රශ්න හෝ ඒ නිසාම කලා ක්ෂේත‍්‍රයේ ද විවේචනාත්මක මහජන මතය, පුද්ගලයින් වශයෙන් පුද්ගලයන්ගේ තීරන හා වාදයන්ගේ ම ප‍්‍රතිපලය නොවේ. පුද්ගල දර්ශනයේ හැඩගැසීම ම සමාජ ක‍්‍රියාවලියකි. මෙහිදී මුඛ්‍ය ප‍්‍රශ්නය වූයේ සමාජවාදී කම්කරු ව්‍යාපාරය නාසීන් විසින් විනාශකර කුඩු පට්ටම් කිරීමයි. මෙම ව්‍යාපාරය, මානව චින්තනයේ හා සංස්කෘතියේ ඉහලම ජයග‍්‍රහනයන් දරා සිටියේය. එය විනාශකිරීමත් සමඟ වෙනත් ක‍්‍රියාවලීන් සමාජය තුලට කාන්දු විය. ට්‍රොට්ස්කි පෙන්වාදුන් පරිදි "සමාජයේ සාමාන්‍ය වර්ධන ක‍්‍රියාවලිය තුල සංස්කෘතික කුනු කන්දල්වල ස්වරූපය ගන්නා ජාතික ශරීර ස්කන්ධයෙන් විරේක කල යුතු සියල්ල දැන් උගුරෙන් පහලට වේගයෙන් ගලා එයි. ධනේශ්වර සමාජය දිරවා නොගත් ම්ලේච්ඡත්වය වමනය කරයි. ජාතික සමාජවාදයේ භෞතවේදය එවැනිය. (21)

වර්තමානයට මෙයින් ගතහැකි පාඩම කුමක් ද? හොලොකෝස්ටයට මඟපෑදූ තත්වයන් දැන් නිශ්චිතවම අප විසින් පසුකරගොස් ඇති බවත්, එවන් මහා ව්‍යාප්තියක් යලි කිසි දිනෙක සිදුවිය නොහැකි බවත්, කුමන අන්දමේ ගැටලුවලට මුහුනදුන්නත් මිනිස් සංහතිය කෙසේ හෝ ගොඩ එනු ඇති බවත්, අපට කොහාමටවත් අපේක්ෂා කල හැකි ද? එවැන්නකට ඉඩක් නැති තරම්ය.

20 සියවසේ මුල්භාගය තුල, තිස් වසරක යුද්ධයට මඟපෑදුවා වූ ද ඒ තුලින් හොලොකෝස්ටය නැඟී ආවා වූ ද අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිවාදීකම් හා එදිරිවාදිකම් දැන් දැන් වඩාත් විද්‍යමානවේ. එමෙන්ම, ධනවාදයේ ආර්ථික විසංවාදයන් ජයගන්නවා වෙනුවට ඒවා පුපුරාගොස් ඇත. සමාජ හා ආර්ථික අසමානකම් වර්ධනය වත්ම ආර්ථික අවිනිශ්චිතතාවන් ලෝකය පුරා බිලියන ගනන් වැඩකරන ජනතාවගේ ජීවිත වසාගනියි.

මෙම විසංවාද කම්කරු පන්තියේ ජනතා නැඟිටීමක් නිර්මානය කරනු ඇත. මේ පිලිබඳ සලකුනු දැනටමත් පහල වෙමින් තිබේ. එහෙත් එයම ප‍්‍රමානවත් නොවේ. දේශපාලන තත්වයේ ප‍්‍රධාන ලක්ෂනය නම් ස්වාධීන පොදු සමාජවාදී ව්‍යාපාරයක් නොමැති කමයි. මේ තත්වය දිග්ගැස්සෙන තාක් කල් ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික අර්බුදය දේශපාලනිකව තව තවත් දුස්සාධ්‍ය රූපයක් ගනු ඇත.

අපගේ ඉදිරිදර්ශනය කුමක් ද? සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම තුලින් නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමයි. අපගේ ව්‍යාපාරයෙහි ආරම්භක ලියවිල්ල දක්වන පරිදි -මේ වාක්‍ය අද දිනයේ ඒවා ලිවූ කාලයටත් වඩා දැවැන්ත වැදගත්කමක් දරා සිටියි- "මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය, විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට ලඝුවී තිබේ.”

සටහන්

1. ඇලෙක්ස් කැලනිකෝස්, “Plumbing the Depths: Marxism and the Holocaust” in The Yale Journal of Criticism, Vol.14, No. 2, (ගැඹුරට හෑරීම: මාක්ස්වාදය හා හොලොකෝස්ටය, යේල් ජර්නල් ඔෆ් කි‍්‍රටිසිසම්, 14 වෙලූම, අංක 2),-2001.

2. එන්සෝ ට‍්‍රැවර්සෝ, Understanding the Nazi Genocide: Marxism after Auschwitz (නාසි ජන සංහාරය වටහාගැනීම, අවුෂ්විට්ස්වලින් පසුව මාක්ස්වාදය), ප්ලූටෝ මුද්‍රනාලය, ලංඩනය, 1999, පිටු 2-3

3. එම, 3 පිටුව

4. එන්සෝ ට‍්‍රැවර්සෝ, The Jews and Germany (යුදෙව්වන් හා ජර්මනිය), නෙබ්‍රෙස්කා විශ්ව විද්‍යාලයේ ලින්කන් මුද්‍රනාලය, 1995- 127 පිටුව

5. ට‍්‍රැවර්සෝ, Understanding the Nazi Genocide (නාසි ජන සංහාරය වටහා ගැනීම), 4 පිටුව

6. ලියොන් ට්‍රොට්ස්කි, On the Jewish Question (යුදෙව් ප‍්‍රශ්නය පිලිබඳව), මෙරිට් පත‍්‍රිකාව, නිව් යෝර්ක්, 29-30 පිටු

7. ට‍්‍රැවර්සෝ, Understanding the Nazi Genocide (නාසි ජන සංහාරය වටහාගැනීම), 5 පිටුව

8. එම, 17 පිටුව

9. වින්ස්ටන් චර්චිල්, The River War (ද රිවර් වෝ), කෙසිංගර් ප‍්‍රකාශකයෝ, 2004, 161 පිටුව, මේ ප‍්‍රශ්නවල සමකාලීන අදාලත්වය අහෝසිවී නැත. ඔබ ඇමසන් ඩොට් කොම් වෙබ් අඩවියට පිවිසෙන්නේ නම්, චර්චිල්ගේ කෘතිය පිලිබඳව නිව්ට් ගින්ග‍්‍රිච් විසින් ලියන ලද සමාලෝචනයක් ඔබ දකිනු ඇත. මෙය ලියා ඇත්තේ 2002 ජූලි 22 දා ය, එනම් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමනය කිරීම හා ඉරාකයට එරෙහි යුද්ධය දියත්කිරීම අතරතුර කාලය තුලදීය. "21 සියවසේ තුන්වන ලෝකයේ ව්‍යාකූලතාවන් හා එහි පවත්නා දුප්පත්කම, ප‍්‍රචන්ඩත්වය, අස්ථාවරත්වය හා රුදුරු හා සොච්චම් පාලකයන් පිලිබඳ ගැටලු සම්බන්ධයෙන් අප මෙනෙහි කරන විට එය ප‍්‍රයෝජනවත් කෘතියකි” ගින්ග‍්‍රිච් එසේ ලියා ඇත.

10. “The birth of the Ostland out of the spirit of colonialism: a post colonial perspective on the Nazi policy of conquest and extermination” in Patterns of Prejudice (අගතියේ රටාවන් යන කෘතියෙහි පලවූ ජාර්ගන් සමරර්හි උපුටා දක්වන ලද ”යටත්විජිතවාදයේ ජීවය තුලින් ඔස්ට්ලන්ඞ්ගේ උපත, ජයගැනීම හා සමූලෝත්පටනය පිලිබඳ නාසි පිලිවෙත සම්බන්ධ පශ්චාත් යටත්විජිත ඉදිරිදර්ශනය”) 39 වෙලුම, අංක 2, 2005, 209-210 පිටු

11. හැනා අරෙන්ද්ට්, The Origins of Totalitarianism (ඒකාධිපතිවාදයේ මූලයෝ), හාකෝට් බ්‍රේස් සහ සමාගම, 1979, 185 පිටුව

12. ට‍්‍රැවර්සෝ Understanding the Nazi Genocide (නාසි ජන සංහාරය වටහාගැනීම), 19 පිටුව

13. එම, 20 පිටුව

14. එම, 28 පිටුව

15. එම,

16. එම, 28 පිටුව

17. එම, 54 පිටුව

18. එම, 59 පිටුව

19. එම, 60 පිටුව

20. නෝමන් ජෙරාස්, The Contract of Mutual Indifference: Political Philosophy After the Holocaust (අන්‍යොන්‍ය උදාසීනත්වයේ ගිවිසුම, හොලොකෝස්ටයෙන් අනතුරුව දේශපාලන දර්ශනවාදය), වර්සෝ ලංඩන්, 1998 96 පිටුව

21. ලියොන් ට්‍රොට්ස්කි, What is National Socialism?” in The Struggle Against Fascism in Germany (ජර්මනිය තුල ෆැසිස්ට්වාදටෙ එරෙහි අරගලය- ජාතික සමාජවාදය යනු කුමක් ද?) පෙන්ගුයින් හාඩ්මන්ස්වර්ත්, 1995, 413 පිටුව