ශ‍්‍රී ලංකාව: ජවිපෙ තවත් භේදයකට ගමන් කරයි

Sri Lanka: JVP heading for another split

By K. Ratnayake , 14 October 2011

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විරුද්ධ පක්ෂ දෙකෙන් එකක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තුල මූලික භේදයක් මතුව තිබේ. 1960 දසකයේදී ගම්බද සිංහල තරුනයන් මත පදනම් වූ සුලු ධනේශ්වර ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස නිර්මානය වූ පක්ෂය පසුගිය දසක දෙක තුල කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින් ම ඒකාග‍්‍ර වී ඇත.

සියලුම දේශපාලන පක්ෂවලින් කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් පුලුල්ව දුරස්ථ වීම අවබෝධ කරගනිමින් "ප‍්‍රතිසංස්කරනය” වී "මාක්ස්වාදී” මූලයන් වෙත යලි හැරෙන ලෙස පක්ෂය තුල විරුද්ධ කන්ඩායමක් ජවිපෙ ට කැඳවුම් කර තිබේ. පක්ෂ නායකත්වය එහි ක‍්‍රියාමාර්ගය වෙනස් කිරීමට අසමත් වුවහොත් "නව වමේ ව්‍යාපාරයක්” ගොඩ නැගීමට තුමු පක්ෂයෙන් භේද වන බවට මේ කන්ඩායම අනතුරු අඟවා ඇත. ආරම්භයේ සිටම ස්ටැලින්වාදයේ, කස්ත්‍රෝවාදයේ හා සිංහල ජනතාවාදයේ සම්මිශ‍්‍රනයක් මත පදනම් වුවා මිස ජවිපෙ කෙදිනකවත් මාක්ස්වාදී පක්ෂයක් නො වීය.

සේනාධීර ගුනතිලක, කුමාරන් ගුනරත්නම්, පුබුදු ජාගොඩ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර වැනි මධ්‍යම කාරක සභිකයන් හා පක්ෂයේ සතිපතා ලංකා පුවත් පතේ කතෘ චන්දන සිරිමල්වත්ත, ඇතුලු නවතම පුද්ගලයන් විසින් විරුද්ධ කන්ඩායම මෙහය වනු ලබයි. ජවිපෙ ශිෂ්‍ය හා තරුන කන්ඩායමේ නායකයන් කිහිප දෙනෙකු විරුද්ධ කන්ඩායමට සහය දෙන අතර පසුගිය සතියේ ජනරල නමින් ඔවුන්ගේ ම පුවත් පතක් ආරම්භ කලේය.

කන්ඩායම් දෙකම පක්ෂ මධ්‍යස්ථානය ඇතුලු සංවිධානයේ සම්පත් පාලනය කිරීමට තුච්ච අරගලයක පැටලී සිටිති. ජවිපෙ නායකයෝ එහි දේශපාලන කාර්යාලය වාඩිලාගෙන සිටි පක්ෂයේ මාධ්‍ය ඒකකය විසුරුවා ලූ හ. උසාවියේ හා පොලිසියේ සහයෝගය ඇතිව ජවිපෙ නායකයන් විසින් ලංකා පුවත්පත නතර කර ඇත.

"නව ලිබරල්වාදයට” එනම් නිදහස් වෙලඳපොල ප‍්‍රතිව්‍යුහකරනයට අනුගත වීම හා ධනපති පක්ෂ සමග සන්ධාන ගතවීම ගැන විරුද්ධ කන්ඩායම පක්ෂ නායකත්වයට චෝදනා කර තිබේ.

"වමේ අභියෝගය” නමින් සැප්තැම්බර් 28 වෙනි දා පැවති ප‍්‍රසිද්ධ දේශනයක දී ජවිපෙ අධ්‍යාපන ලේකම්, ජාගොඩ, පක්ෂ නායකත්වයට අභියෝග කලේය. "වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ පීඩනයට ගොදුරු වී ඇති අතර ලෝක පරිමානව ම ‘උපයෝගිතාවාදයට, තත්කර්යවාදයට හා අවස්ථාවාදයට’ යටත් වී ඇති බව” ඔහු ප‍්‍රකාශ කලේය.

"සමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සම්බන්ධ ප‍්‍රශ්නවලදී වඩා සමතුලනයක් තිබිය යුතුව තිබුනායයි කියමින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යට එරෙහි යුද්ධයේ දී පක්ෂයේ වාර්ගවාදී ආස්ථානය ජාගොඩ වටින්ගොඩින් විවේචනය කලේය. මුලුමනින් ම යුද්ධයට සහයෝගය දීමේ ප‍්‍රතිපලයක් ලෙස පක්ෂය සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් ලෙස පෘථුලව සැලකීම ගැන ඔහු අඳෝනා නැගීය. ඔහුගේ විවේචන සමූලව ම නරුම ය. ඔහු යුද්ධයට ද යුද්ධයේ වඩාත් උමතු සහායකයන් ලෙස ජවිපෙට පැවති දිගු කාලීන වාර්තාවට ද විරුද්ධ වූයේ නැත.

යුද්ධයෙන් පසුව චෝදනාවලින් තොරව දෙමල තරුනයන් දහස් ගනනක් "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස රඳවාගෙන සිටීම ගැන සිය දේශනයේ දී, ජාගොඩ විරෝධය පෑවේය. එහෙත්, ආන්ඩුව සහ මිලිටරිය විසින් සිදුකල සෙසු ම්ලේච්ච ක‍්‍රියාවන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම ගැන ඔහුට කීමට කිසිවක් තිබුනේ නැත.

2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ඇතුලු 300,000 ට ආසන්න දෙමල සිවිල් ජනයා වටලා ඊනියා සුබසාදන ගම්වලට ගාල්කර දැමීමට ජවිපෙ සහයෝගය දුන්නේ ය. එපමනක් නොව යුද්ධයේ අවසාන මාසවල දී දසදහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධ යුද අපරාධවලට වගකිව යුතු චෝදනාවලින් ආන්ඩුව සහ මිලිටරිය ආරක්ෂා කිරීමට ජවිපෙ ඉදිරිපත්විය.

පක්ෂයේ සෙසු නායකත්වය මෙන්ම, ජවිපෙ "වාම” කන්ඩායම ද වාර්ගික දේශපාලන මඩ ගොහොරුවක එරී සිටී. රැඳවුම් භාරයේ සිටින දෙමල තරුනයන්ගේ තත්වය පිලිබඳ එහි කල් පසු වූ උත්සුකය, විශේෂයෙන් ම තරුන ජනයා අතර සහයෝගය පක්ෂයට අහිමිවීම වලක්වා ගැනීමට දැරෙන මංමුලාසහගත ප‍්‍රයත්නයකි. එමෙන් ම, සංස්ථාපිත පක්ෂ සමග ජවිපෙ අවස්ථාවාදී සන්ධානයන් පිලිබඳ එහි විවේචන ද හුදෙක් ම, උපායාත්මක මිස මූලධර්මාත්මක නොවේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) සමග 2004 දී සභාග ආන්ඩුවකට ජවිපෙ ඇතුලු වීම "මෝඩ ක‍්‍රියාවක්” බව ජනරල, සමග සම්මුඛ සාකච්චාවක දී ගුනතිලක ප‍්‍රකාශ කලේය. එමෙන් ම, 2006 දී රාජපක්ෂගේ ආන්ඩුවට සම්බන්ධ වීමට උපදෙස් දීම නිසා සභාගවාදියෙක් යැයි පක්ෂ නායක සෝමවංශ අමරසිංහට ඔහු පහර ගැසුවේ ය. ජවිපෙ 2010 ජනාධිපති වරනයේ දී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ට සහයෝගය දීම ද "වැරැද්දක්” ලෙස ගුනතිලක විවේචනය කලේය.

ඔවුන් ගේ විරුද්ධවාදීන් මෙන් ම, ගුනතිලක ඇතුලූ විරුද්ධ කන්ඩායමේ සෙස්සෝ ද, ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනය ට ආබද්ධව සිටිති. පසු විපරමේ දී, ඔවුන් ධනපති පක්ෂ සමග විවිධාකාර සභාග "මෝඩ ක‍්‍රියා” සහ "වැරදි” ලෙස විස්තර කරන්නේ, එහි ආදීන වසයෙන් ජවිපෙට පැවති සහයෝගය අහිමි වීම නිසා පමනි. අර්ථභාරීව, "දේශපාලනයේ දී එවැනි අවස්ථාවන් පැනනගින බව මම ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ” යි ප‍්‍රකාශ කරමින් සම්මුඛ සාකච්චාවේ දී ගුනතිලක ඒ සමාන සන්ධානයන් ට දොර විවෘත කර තැබීය.

කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග ඔවුන් ගේ ගනුදෙනුවල දී වඩාත් සම්මුතිවාදී වූවා යැයි සැලකෙන අමරසිංහ, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පාර්ලිමේන්තු කන්ඩායම් නායක අනුර කුමාර දිසානායක ඇතුලු ජවිපෙ වර්තමාන නායකත්වය ඉවත් කල යුතු යැයි විරුද්ධ කන්ඩායම කියයි. මෙම නායකයෝ, පක්ෂය "ස්වයං-විවේචනයක්” කලයුතු යයි විරුද්ධවාදීන් කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලහ.

ජාගොඩ, ඔහු ගේ කොලඹ දේශනයේ දී "වමේ අභියෝගය සමාජවාදී මාවත සොයා ගැනීම” යැයි ප‍්‍රකාශ කලේය. ඔහු ගේ කන්ඩායම "අහිමි වූ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට” සහ පක්ෂයේ ආරම්භක නායකයා වූ රෝහන විජේවීර ගේ ඉගැන්වීම් දෙසට ආපසු හැරීම සඳහා පක්ෂය ට කැඳවුම් කරයි. පක්ෂයේ ඉතිහාසය සම්බන්ධයෙන් අවංකව වගවිභාග කර ගැනීමකට පක්ෂ නායකයන්ට මෙන්ම මෙම විරුද්ධවාදීන්ට ද කිසිදු හැකියාවක් නැත.

ජවිපෙ වර්ගවාදී දේශපාලනය පැනනැග ඇත්තේ සෘජුව ම විජේවීර ගේ ඉගැන්වීම්වලිනි. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක ලේකම් කීර්ති බාලසුරිය විසින් එය සවිස්තරාත්මක විවේචනයකට බඳුන් කෙරින. ගම්බද සුලු ධනේශ්වරය කෙරෙහි ජවිපෙ නැඹුරුව හා කම්කරු පන්තිය, විශේෂයෙන් ම, දෙමල වතු කම්කරුවන් කෙරෙහි එහි වර්ගවාදී හතුරුකම, අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයක දේශපාලන බීජ අන්තර්ගත කරගෙන තිබෙන බව බාලසුරිය පෙන්වා දුන්නේ ය. (බලන්න: ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය , කම්කරු මාවත ප්‍රකාශන).

ආරම්භයේ සිටම ජවිපෙ සන්නද්ධ අතිධාවනකාරීත්වය හා අවස්ථාවාදී උපාමාරු අතර පැද්දුනේ ය. එය 1971 දී ආරක්ෂක හමුදා විසින් 15,000 ක් තරුනයන් ඝාතනය කර මුර්ග ලෙස තලා දැමූ අසාර්ථක "කැරැල්ලක්” දකුනේදී මෙහය වී ය. විජේවීර ඇතුලු බොහෝ නායකයන් සිරගත කල අතර 1978 දී නිදහස් කලේ, මැතිවරනයේ දී ජවිපෙ වක‍්‍ර සහයෝගය සහිතව බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසිනි

.

1983 එල්ටීටීඊයට විරුද්ධ යුද්ධයට රට ඇද දැමීමේ ආන්ඩුවේ තීන්දුවට ජවිපෙ සහයෝගය දුන් අතර දක්ෂිනාංශික එජාපය සමග එය ගැටුමකට තල්ලු වූයේ ආන්ඩුව ඉන්දියාවත් සමග සටන් විරාමය සහ බලය බෙදීමේ පැකේජය අධීක්ෂනය කිරීමට "සාමසාධක හමුදා” එවීමේ ගිවිසුමකට අත්සන් කිරීමත් සමග ය. ජාතිය පාවාදීමක් ලෙස ජවිපෙ ඉන්දු-ලංකා ගිවිසුම හෙලා දුටු අතර එයට එරෙහිව ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයක් දියත් කලේය. ජවිපෙ, එහි විරෝධතා ව්‍යාපාරවලට හා වැඩ වර්ජනවලට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කල සිය ගනනක් කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන් හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කලේය.

දකුනේ වර්ධනය වන සමාජ නොසන්සුන්තාවයට මුහුන දීමත් සමග නව ජනාධිපති රනසිංහ පේ‍්‍රමදාස 1989 දී ගිවිසුමට විරුද්ධ වූ අතර ජවිපෙ සමග සන්ධානයකට යත්න දැරී ය. උත්සාහය අසාර්ථක වීමත් සමග විජ්වීර ඇතුලු ප‍්‍රධාන නායකත්වය ඝාතනය කරමින් ජවිපෙ මත කඩා පැන්න ඔහු සිංහල ගම්බද තරුනයන්ට විරුද්ධව ආරක්ෂක හමුදා මුදා හරියේ ය. හමුදා ඝාතක කල්ලි විසින් තරුනයන් 60,000 ක් ඝාතනය කරන ලදී.

1994 ජනාධිපතිකමට පත් වූ ශ‍්‍රීලනිපයේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් දේශපාලන අතෘප්තිය වාෂ්ප කර දැමීම සඳහා ප‍්‍රයෝජනවත් ආරක්ෂක කපාටයක් ලෙස ජවිපෙ පුනර්ජීවනය කලේය. කුමාරතුංග ආන්ඩුවට සහ එජාප විරුද්ධ පක්ෂයට විරුද්ධත්වයක් වර්ධනය වූ විට විරෝධතා ඡන්ද වාසියට හරවා ගනිමින් ජවිපෙ එහි ප‍්‍රථම පාර්ලිමේතු ආසන දිනා ගත්තේය. එල්ටීටීඊයට විරුද්ධව කුමාරතුංග දියත්කල යුද්ධයට එය මුලුමනින් ම සහයෝගය දුන්නේ ය.

2004 මැතිවරනයේ දී කුමාරතුංග ගේ ශ‍්‍රීලනිපය සමග සන්ධානයකට ඇතුල් වී ආසන 39 ක් දිනාගැනීම ජවිපෙ ලැබූ "ලොකුම ජයග‍්‍රහනය” යි. ආන්ඩුවට සම්බන්ධ වී ඇමතිකම් තුනක් ද ලබා ගත්තේ ය. කෙසේ නමුත් ප‍්‍රථම වතාවට ආන්ඩුවකට ඇතුලූ වීමෙන් ජවිපෙට පැවති සහයෝගය පහත වැටුනි. එය කුමාරතුංග ගේ සියලුම වෙලඳපොල ගැති පියවරයන්ට සහයෝගය දීම නිසා ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකට විකල්පයක් ලෙස එයට ඡන්දය දුන් අය ක්ෂනිකව ම බලාපොරොතු සුන් කර ගත්තේ ය.

ජවිපෙ 2005 ආන්ඩුවෙන් එලියට බැස්ස නමුත් ප‍්‍රකෘති තත්වයට පත් වුයේ නැත. 2005 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරනයට තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නො කැමති වූ ජවිපෙ රාජපක්ෂට සහයෝගය දීමේ මැතිවරන ගිවිසුමකට ඇතුල් වූ අතර යලි ආරම්භ කල යුද්ධය සඳහා උද්ඝෝෂනය කලේය. ආන්ඩුවට ඇතුල් වන්නේ ද නැද්ද යන්න පිලිබඳ මතභේද නිසා ජවිපෙ විරුද්ධ පක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුව තුල ආන්ඩුවට සහයෝගය දීම ගැන සහතික වී එහි අය-වැයවලට ඡන්දය දුන්නේ ය.

රාජපක්ෂ, කෙසේ නමුත්, ජවිපෙ ක‍්‍රියාමාර්ගය මුලුමනින් ම වාගේ ඩැහැ ගත් අතර 2006 මැද දී රට යලි යුද්ධයට ඇද දැමුවේ ය. ආන්ඩුව උපාමාරු සහ ගනුදෙනු මාලාවක් හරහා එහි පාර්ලිමේන්තු බහුතරය ලබාගත් නිසා එයට ජවිපෙ සේවය තව දුරටත් අවශ්‍ය වූයේ නැත. රාජපක්ෂ ආන්ඩුවට ඇතුල්වන්නේ ද නැද්ද යන්න පිලිබඳ ජවිපෙ අභ්‍යන්තර මතභේදයන් 2008 දී පක්ෂය අතිමහත් ලෙස දුර්වල කෙරුන භේදයක් ලෙස පුපුරා ගියේ, පාර්ලි මේන්තු මන්තී‍්‍රන් සෑහෙන පදාසයක් ම නව කාන්ඩ ගැසීමක් ඇති කර ගෙන පාලක සභාගයට ඇතුලු වීමෙනි. එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, 2010 ජනාධිපතිවරනයේදී හා මහ මැතිවරනයේදී ජෙනරාල් ෆොන්සේකා සමග සන්ධානයක් ඇතිකර ගනිමින් ජවිපෙ එක් උපාමාරුවකින් තවත් එකකට මාරුවෙමින් මඩ ගොහොරුවක එරුනි.

යන්තම් ආසන 5 ක් හැර 2010 පාර්ලිමේන්තු මතිවරනයේ දී ජවිපෙට එහි පාර්ලිමේන්තු ආසනවලින් බොහොමයක් අහිමි වූ අතර අනතුරුව පැවති පලාත් පාලන මැතිවරනවල දී එය කලින් පාලනය කල එකම පලාත් පාලන ආයතනයේ බලය ද ගිලිහී ගියේ ය. ජවිපෙ යුද්ධ කාල පරිච්චේදය තුල කම්කරුවන්ගේ සියලුම වැඩ වර්ජන සහ කාර්මික උද්ඝෝෂන පාවා දුන් අතර යුද ප‍්‍රයත්නයේ නාමයෙන් සියලුම ශිෂ්‍ය විරෝධතා හික්මවා පාලනය කලේය. එහි ප‍්‍රතිපලයක් ලෙස ජවිපෙ වෘත්තීය සමිතිවලට සහ ශිෂ්‍ය සංවිධානවලට තිබුන සහයෝගය බිඳ වැටෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අරගල වර්ධනය වීමේ සලකුනු මධ්‍යයේ ජවිපෙ තුල විරුද්ධ කන්ඩායමක් මතු වීම දේශපාලන මලමිනියකට පන දීමට දරන මංමුලාසහගත ප‍්‍රයත්නයකි. සුදානම් කරනු ලබමින් ඇත්තේ කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන ව්‍යාපාරයක් මතු වීම වැලක් වීම සඳහා කම්කරුවන්ට හා තරුනයන්ට උගුලක් ඇටවීම බව සසප අනතුරු අඟවයි. සමාජවාදය සඳහා අව්‍යාජ අරගලයක් ඉදිරියට ගෙන යා හැක්කේ ජවිපෙ ජාතිකවාදී හා වාර්ගික දේශපාලනයටත් කොලඹ සමස්ත සංස්ථාපිතයටත් ඍජුව විරුද්ධ වූ ජාත්‍යන්තර පදනමක පමනි.

Share this article: