තොල්ස්තෝයි: කලාකරුවා සහ කැරලිකරුවා

By Leon Trotsky

සිය අසූවෙනි ජන්ම දිනය පසුකල තොල්ස්තෝයි, දැන් අප අබියස සිටිනුයේ වෙනත් ඓතිහාසික ලෝකයකට අයත් පෙඳපාසි බැඳුනු, රලුපරලු පර්වතයක් මෙනි. සත්තකින් ම අපූරුය! කාල් මාක්ස් පමනක් නොව, තොල්ස්තෝයි හට වඩාත් සමීපස්ථ ක්ෂේත්‍රයකට අයත් වූවෙකු නම් කරතොත්, හයින්රිච් හයින්1 පවා දැනුදු අපගේ සමකාලීනයන් සේ පෙනේ. නමුත්, සියලු ම දේවල් අවච්ඡේදනය කොට දක්වන කාලයාගේ අප්‍රතිවර්ත්‍ය ගලායෑම විසින් යස්නායා පොල්යානාවෙහි2 අපේ ශ්‍රේෂ්ට සමකාලීනයාගෙන් දැනට මත් අප වෙන් කරනු ලැබ ඇත.

ප්‍රවේනිදාස ක්‍රමය රුසියාවෙන් තුරන් කෙරෙන විට මේ මිනිසා තිස් තුන් හැවිරිදිව සිටියේ ය. ‘දස මුතු පරම්පරාවකින් ශ්‍රමය නො හෙලූ’ පරපුරක උපත ලද ඔහු හැදී වැඩුනේත් හැඩ ගැන්වුනේත් චිරාගත වංශාධිපති වාතාවරනයක ය; අක්කර ගනනාවක් මැද පිහිටි පාරම්පරික සුවිසල් නින්දගම් වලව්වක, ලින්ඩන් තුරු සෙවනින් යුත් උයන් පෙත් අතර, ශාන්ත වූත් කුලීන වූත් පරිසරයක ය.

රදල පාලනයේ සම්ප්‍රදායන් ද, එහි විචිත්‍රත්වය ද, එහි කාව්‍යමය ගුනය ද, එහි කුදුමහත් ජීවන ශෛලිය ද තොල්ස්තෝයි නිතැතින් උකහා ගත් අතර එය ඔහුගේ අධ්‍යාත්මික හැඩගැස්මෙහි ඓන්ද්‍රීය අංගයක් බවට පත් විය. ස්වකීය සවිඥානික ජීවිතයේ මුල් අවදියේ පටන් අද දක්වා ම -තම සියලු පසුකාලීන අධ්‍යාත්මික අර්බුද නො තකා- ඔහුගේ නිර්මානශීලීත්වයෙහි ගැඹුරුතම හා වඩාත් ගූඪ අහුමුලුවල වංශවතෙක් සැඟවී සිටී.

තොල්ස්තෝයි පවුලට උරුම වූ වොල්කොන්ස්කි කුමරාගේ පරවේනි නිවාසයෙහි3, යුද්ධය හා සාමය කතුවරයා සරල හා චාම් දැව භාන්ඩයෙන් යුත් කුඩා කුටියක වෙසෙයි. එහි බිත්තියක එල්ලෙන අත් කියතකි; එක් මුල්ලක ලොකු දෑකැත්තකි; පසෙක පොරොවකි. එහෙත් මේ වාසස්ථානයෙහි ම ඉහල මාලයෙහි, එහි සම්ප්‍රදායන්හි මුර දේවතාවන් බඳු පරම්පරා කීපයක සත් කීර්තිමත් මුතුන් මිත්තෝ බිත්ති අතරින් රැකවල් කරත්. මෙහි සංකේතයක් ඇත. ගෙදර ස්වාමියාගේ හදවතෙහි ද මේ දෙමාලය ම අපට හමු වේ. එකම වෙනස එහි පිලිවෙල උඩුයටිකුරුව තිබීම ය. ඔහුගේ විඥානය මුදුනෙහි, සරල දිවි පෙවෙත හා ජනතාව තුල ස්වයං බිඳී යෑම පිලිබඳ දර්ශනය, තමන් වෙනුවෙන් කැදැල්ලක් තනාගෙන ඇත්නම්, එහි පාමුල -එනම් මනෝභාව, ලාලසාවන් හා අභිලාෂයන් ජනනය වන කලාපයෙහි සිට අප දෙස නුරුස්නා බැලුම් හෙලන මී මුතු සමූහයකි.

කෘතිමව වගා කොට ගත් රුචිකත්වයන් ඔජ වඩවන සහ ස්වකීය කුලීන අගතීන් ව්‍යාජ රමනීයත්වය පිලිබඳ චාටු බසින් වසාලන පාලක පන්තීන්ගේ නිෂ්ඵල හා පුහු ලෞකික කලාව තොල්ස්තෝයි මහත් පශ්චාත්තාපයෙන් හට ගත් කෝපයෙන් යුක්තව බැහැර කලේ ය. එහෙත් සිදු වූයේ කුමක් ද? පුනරුත්ථානය (Resurrection) නමැති සිය නවතම මහා කෘතියෙහි දී ද, තොල්ස්තෝයි, ධනවත් වංශවත් රුසියානු ඉඩම් හිමියා මත් ඔහු වටා බැඳුනු කුලීන ඥාති මිත්‍ර සබඳතා, පුරුදු හා ස්මෘතීන්ගෙන් යුත් රන් මකුලු දැලත් තම කලාත්මක අවධානයෙහි හරි මැද තබනුයේ, මේ ‘නිෂ්ඵල’ හා ‘පුහු ලෞකික’ විශ්වයෙන් එපිට කිසි වැදගැම්මක් හෝ රමනීයත්වයක් නොමැති ලෙසිනි.

වංශාධිපතියාගේ මන්දිරයෙහි සිට ගොවියාගේ පැල්පත කරා කෙලින් ම දිවෙන කෙටි මංපෙතකි. තොල්ස්තෝයි නමැති සුචරිතවාදියා එය මෝක්ෂ මාර්ගයක් බවට හරවා ගැනුමට පෙර සිට ම තොල්ස්තෝයි නමැති කලාකරුවා මහත් දයාවෙන් යුතුව එහි නිතර සක්මන් කිරීමට පුරුදුව සිටියේ ය. ප්‍රවේනිදාස ක්‍රමය අහෝසි කෙරුනු පසුව පවා ඔහු ගොවියා සැලකුවේ “තමාගේ”- තම දුව්‍යමය හා අධ්‍යාත්මික බඩු ලැයිස්තුවෙන් කපා හැරිය නො හැකි අයිතමයක් ලෙසිනි. තමා තුල ඇතැ’යි තෙමේ ම අපට කියනු ලබන “සැබෑ ලෙස ම ශ්‍රමය වගුරන ජනතාව කෙරෙහි කායික ප්‍රේමයෙහි” නිසැක බව පිටුපසින් ඔහු තුල සැඟවී ගත් සාමූහික කුලීන පුරාපුරුෂයා -හුදෙක් කලාකරුවෙකුගේ සුධීමත්භාවයෙන් ආලෝකමත් ව - නිසැකව ම අප‍දෙස අවඥාවෙන් බලා සිටී.

ඉඩම් හිමියා හා ගැමි ගොවියා -අවසන් විග්‍රහයේ දී, තොල්ස්තෝයි සිය නිර්මානාත්මක අභය භූමියට සපුරා වැද්ද ගනුයේ මොවුන් දෙදෙ‍න‍ා පමනි. නමුත්, ඔහුගේ අධ්‍යාත්මික අර්බුදයට පෙරත් ඉන් පසුවත් ඉඩම් හිමියා හා ගොවියා අතරමැද සිටින සියලු තැනැත්තන් කෙරෙහි, නැතහොත්, චිරාගත අනුපිලිවෙල අනුව, ශුද්ධ වූ ධ්‍රැවයන්ට එපිට ස්ථාන භජනය කරන තැනැත්තනු වන ජර්මානු අධිකාරිවරයා, වෙලෙන්දා, ප්‍රන්ස ගුරුවරයා, වෛද්‍යවරයා, ‘බුද්ධිමතා’ සහ අවසන් වසයෙන්, ඔරලෝසුවෙන් හා යදමින් බැඳුනු ෆැක්ටරි කම්කරුවා කෙරෙහි වූ කුලීන ජුගුප්සාවෙන් මිදී ගැනීමට ඔහු වෑයම් කලේවත් කිසි විටෙක් ඔහු සමත් වුනේවත් නැත. මෙකී චරිත ප්‍රවර්ග තේරුම් ගැනීමෙහි, ඔවුන්ගේ ආත්මයන් වෙත එබී බැලීමෙහි ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රශ්න කිරීමෙහි වුවමනාවක් තොල්ස්තෝයිට නො හැ‍ෙඟ්. ඔහුගේ කලාකාර ඇස ඉදිරියෙන් මොවුන් පියමං කරනුයේ කිසි වැදගැම්මක් නැති, බහුබූත ඡායාමාත්‍ර සමූහයක් ලෙසිනි. (එක් දහස් අටසිය) හෑත්තෑවේ නැතහොත් අසූවේ දශකවල විප්ලවවාදීන්ගේ ප්‍රතිරූප නිර්මානය කරන විට, නිදසුනක් ලෙස, පුනරුත්ථානයේ දී, ඔහු සිය ඉපැරනි ඉඩම් හිමියන්ගේ හා ගොවීන්ගේ ආදර්ශ සරලව ම නව රටාවකට අනුගත කරයි. නැතහොත්, මුලුමනින් ම ආගන්තුක, හාස්‍යොත්පාදක විකට රූප ලෙස පින්තාරු කරයි.

1860 දශකය ආරම්භයේ දී, යුරෝපීය නව අදහස් -වඩා වැදගත්, නව සමාජ සබඳතා ප්‍රවාහයක් රුසියාව සිසාරා හමා යන විට, මා කී පරිදි, ශත වර්ෂයකින් තුනෙන් කොටසක් ම තොල්ස්තෝයි පසුකොට ගොසිනි: එවකටත් ඔහු මානසිකව පදම් වී හමාර ය.

තොල්ස්තෝයි, සිය සමීපතම සගයා -ඉඩම් හිමියෙකු හා ශූර ගී පද රචකයෙකු වූ ද, ස්වභාව ධර්මය හා ආලය වෙත වහා නැඹුරුවනසුලු හදවතකින් යුතු වූ ද, වැඩවසම් ක්‍රමයෙහි කස පහර ඉදිරියේ දන්ඩ නමස්කාර කලා වූ ද, ෆෙට් (ශෙන්ශින්) මෙන් ප්‍රවේනිදාස ක්‍රමයෙහි ක්ෂමාලාපකයෙකු බවට පත් නො වූ බව නො කිවමනා ය. එසේ වෙතුදු, පැරනි තැන ගනිමින් තිබුනු නව සමාජ සබඳතා කෙරෙහි බද්ධ වෛරයක් තොල්ස්තෝයි තුලට කා වැදී ඇත. “පෞද්ගලිකව, සදාචාරයෙහි මොනයම් හෝ අභිවෘද්ධියක් දැකීමට මම අපොහොසත් වෙමි” යි ඔහු 1861 දී ලිවී ය: “ඒ අරබයා කවරෙකුගේ වදනක් වුව බාර ගැනීමට මම යෝජනා නො කරමි. නිදසුනක් ලෙස, කම්හල් හිමියා හා කම්කරුවා අතර සබඳතාව, ඉඩම් හිමියා හා ප්‍රවේනිදාසයා අතර සබඳතාවට වඩා මානුෂික බවක් මට නො පෙනේ.”

සෑම තැනක් ම, සෑම දෙයක් ම වටා පැවති කලබැගෑනිය හා අඬදබරයන් පැරනි වංශාධිපති පරපුර ගරා වැටීමත් ගොවි සමූහයා බිඳී විසිර යෑමත් විශ්වීය ව්‍යාකූලතාවයත් සුන්බුන් වූ ලටපට හා රොඩුබොඩුත් නාගරික ජීවිතයේ කඩිමුඩිය හා ගාලගෝට්ටියත් ගමේ සුරාව හා සිගරැට් පැතිරීමත් ජන ගීයෙහි තැනට ෆැක්ටරි බෙලෙක් හඬ පැමිනීමත් යන මේ සියල්ල විසින් තොල්ස්තෝයි නමැති කුලීනයා ද කලාකරුවා ද විකර්ෂනය කෙරින. ඔහු මේ අතිමහත් ක්‍රියාවලියට මානසිකව පිටු පෑ අතර එය කලාත්මකව පිලිගැනීම සදහට ම ප්‍රතික්ෂේප කලේ ය. වැඩවසම් වහල්භාවය ආරක්ෂා කිරීමේ අභ්‍යන්තර පෙලඹවීමකින් නො පෙලුන ද, පරිසමාප්ත කලා රූප පෙරලීමට තමාට හැකි වූ හා තමා ඥානාන්විත සරලතාවක් දුටු පැරනි සමාජ සබඳතාවන්ට ඔහු හද පත්ලෙන් ම පක්ෂපාතී විය.

ඔහුගේ මුලු හදවත ම ගැට ගැසී තිබෙනුයේ, එක් පරම්පරාවකින් අනෙකට, ශතවර්ෂයකින් ශතවර්ෂයකට, ජීවිතය නො වෙනස්ව ප්‍රතිනිෂ්පාදනය කෙරෙන්නා වූ දිශාවක ය; ශුද්ධ වූ අනිවාර්යතාව විසින් සියල්ල පාලනය කෙරෙන්නා වූ දිශාවක ය; සෑම තීරනයක් හා ක්‍රියාවක් ම අව්ව, වැස්ස, සුලඟ හා හරිත ගහකොල මත රඳා පවතින්නා වූ දිශාවක ය; කිසිවෙකුගේ තනි කැමැත්තෙන් හෝ තනි පුද්ගලයෙකුගේ කැරලිකාර ප්‍රයත්නයෙන් කිසිවක් නො පැවතෙන සහ එනිසා ම පුද්ගල වගකීම් නො පවතින්නා වූ දිශාවක ය. සියල්ල පූර්ව නිර්නිත ය. සියල්ල කල්තබා යුක්ති සහගත ද ජූජනීය ද කෙරී ඇත. කිසිවක් ගැන වගකීමක් නැත. සිතීමක් නැත. මිනිසා ජීවත් වනුයේ කන්දීමෙන් හා අවනත වීමෙන් පමනකැ’යි භූමි විජිතය Dominion of the land ලියූ අපූර්ව කවියා (ග්ලෙබ්) උස්පෙන්ස්කි පවසයි. මේ නිරන්තර කන්දීම හා අවනත වීම, නිරන්තර වෙහෙසීම බවට පෙරලී ජීවිතය නියත ලෙස හැඩගස්වන අතර එය මොනයම් හෝ බාහිර ඵලයකට තුඩු නො දුන්න ද එහි විපාකය ස්වාත්මය තුල ම දරා සිටී. අහා! ආශ්චර්යයකි! තෝරාගැනීමෙන් හෝ අවලෝකනයෙන් තොර, වැරදීම් හෝ බලවත් පසුතැවීම්වලින් තොර මේ වහල් ශ්‍රම පරාධීනත්වය ‘රයි කරල්’වල4 පරුෂ භාරකාරත්වය යට‍ෙත් පැවැත්මේ ශ්‍රේෂ්ට සදාචාරාත්මක “පහසුව” බිහි කරයි. ජන කාව්‍යයෙහි එන ගොවි වීරයා, මිකුලා සෙලැනෝවිච්5 තමා පිලිබඳව මෙසේ කියයි: “නැවුම් මිහිකතගේ ස්නේහවන්තයා මම වෙමි.”

දශක ගනනාවක් පුරා රුසියානු බුද්ධිමතුන්ගේ මනස් තුල රජකල රුසියානු ජනප්‍රියවාදයේ අඩංගු ආගමික මිථ්‍යාවන් එබඳු ය. එහි රැඩිකල් ප්‍රවනතාවන්ට නෑසූ කන්ව සිටි තොල්ස්තෝයි, පෞද්ගලිකව සෑම විට ම ජනප්‍රියවාදියෙකුව සිටි අතර ජනප්‍රියවාදී ව්‍යාපාරයේ කුලීන ගතානුගතික පාර්ශවය නියෝජනය කලේ ය.

නවතාව විසින් පලවා හරින ලද තොල්ස්තෝයිට තමා දැන සිටි, වටහාගෙන සිටි හා තමා ප්‍රේමයෙන් බැඳී සිටි රුසියානු ජීවිතය කලාත්මකව ප්‍රතිනිර්මානය කරනුව අතීතයට, එනම්, දහ නව වන ශතවර්ෂයේ ආරම්භය කරා ම ආපසු යාමට බල කෙරින. යුද්ධය හා සාමය (1867-69)6 එහිලාඔහුගේ අනර්ඝතම වූත් අනභිභවනීය වූත් කෘතිය යි.

ජීවිතයේ අඥාත විශාලත්වයත් එහි ශුද්ධ වූ වගකීම් රහිත බවත් - යුරෝපීය පාඨකය‍ාට යන්තමින් වැටහෙනසුලු වර්ගයේ සහ සෑම විටෙක ම ඔහු කෙරෙන් වඩාත් දුරස්ථ වූ - සිය කරාතියෙව් චරිතයෙන් මූර්තිමත් කොට දැක්වී ය:

‘කරාතියෙව්ගේ ජීවිතයට, ඔහු ම එය දු‍ටු පරිදි, පුද්ගල ජීවිතයක් වසයෙන් අරුතක් නො තිබිනි. එයට අරුතක් තිබුනේ, මහා සමස්තයේ ක්ෂුද්‍ර අංශුවක් වසයෙන් පමනකැ’යි ඔහුට නිරතුරුව ම හැඟුනි. බැඳීම්, මිත්‍ර සන්ථව හා ප්‍රේමය පිලිබඳව ඔහු වටහා ගත්තේ පියෙරි ඒවා වටහා ගත් පරිදි නො වේ. ඔහු ජීවිතය විසින් තමාට මුනගස්වන ලද සියලු දෙයට ප්‍රේම කල අතර ඒ සියල්ල සමග, විශේෂයෙන් ම, මිනිසුන් සමග ප්‍රේමයෙන් විසී ය... පියෙරිට හැඟුනේ, තමා කෙරෙහි නැඹුරු වූ ඔහුගේ සියලු දයාර්ද්‍ර බැඳීම් නො තකා, ඔවු‍න්ගේ විප්‍රයෝගය ගැන කරාතියෙව් මොහොතකුදු ශෝක නො වන බව යි.’

ඒ වනාහි, හෙගල් දැක්වූ පරිදි, චෛතන්‍යය අභ්‍යන්තර ආත්ම සවිඥානකත්වය එතෙක් සාක්ෂාත් කොට නො ගත්තා වූත් එනිසා ම එය ස්වභාව ධර්මය තුල වැඩ වසන චෛතන්‍යය හැටිය‍ට පමනක් ප්‍රකට වන්නා වූත් අවස්ථාව යි. යුද්ධය හා සාමය තුල කරාතියෙව් පෙනී සිටින අවස්ථා තරමක් විරල වුව ද ඔහු එහි කලාත්මක අක්ෂය නො වේ නම් දාර්ශනික අක්ෂය වේ; තොල්ස්තෝයි විසින් ජාතික වීරයෙකු බවට හරවන ලද කුතුෂොව්, සේනාධිනායක ධූරයේ දී පමනක් මේ කරාතියෙව් ම ය.

නැපෝලියන්ට ප්‍රතිවිරුද්ධව, කුතුෂොව්ට පුද්ගලික සැලසුම් හෝ පුද්ගලික අභිලාෂයන් නැත. ඔහුගේ අර්ධ සවිඥානික මූලෝපායයන්හි දී ඔහු මෙහෙයවන ලද්දේ බුද්ධිය විසින් නොව එය ඉක්මවා සිටින දෙයක් - භෞතික තත්ත්වයන් කෙරෙහි අඳුරු ඉවකින් හා මිනිසුන්ගේ අධ්‍යාත්මික අනුබලයන් විසිනි. සාර් ඇලෙක්සැන්ඩර්, සිහිබුද්ධියෙන් සිටින අවස්ථාවන්හි දී, කුතුෂොව්ගේ සෙබලුන් අතලොස්ස මෙන් ම භූමි විජිතය යටතේ සමතැන් දරයි... තොල්ස්තෝයිගේ කෘතියෙහි සම්මානනීය කරුනා රසය පවතිනුයේ මේ සදාචාරාත්මක එකමුතුවෙහි ය.

ඉතිහාසය විසින් වංශක්කාර උරුමය අහිමි කරන ලද, ධූරාවලීගත තානාන්තර සහිත මොනයම් හෝ දීප්තිමත් අතීතයකින් තොර, කුරුස යුද්ධ වලින් තොර, සිටුවර ප්‍රේමයෙන් හෝ සිටු පදවි තරඟාවලීන්ගෙන් තොර, අද්භූත මංපැහැරීම්වලින් පවා තොර මේ පුරාන රුසියාව, සැබවින් ම, කොතරම් කාලකන්නි ද? අභ්‍යන්තර ශෝභාව සැලකිල්ලට ගතහොත්, දරිද්‍රතාවත් දුඃඛිතභාවයත් කෙතරම් ද? අතිමහත් ගොවි ජනතාවක් අර්ධ තිරිසන් පැවැත්මකට හෙලන නිර්දය සූරාකෑමක තරම!

එහෙත්, සුධීමතෙකුගේ කුසලතාව පුනරාවතරනය වන අසිරිය! මේ ඔපයක් හා පැහැයක් නොමැති ජීවිත අමුද්‍රව්‍යයෙන් ඔහු එහි සැඟව පවතින වෛවර්න රමනීයත්වය පෙරා ගනී. හෝමර්ගේ දරු පෙමින් හා හෝමරියානු සන්සුන් බවින් යුතුව ඔහු හැම දෙයට මත් හැම දෙනාට මත් සිය අවධානය පුද කරයි. කුතුෂොව් වලව්වේ මෙහෙකරුවන්, යුද අශ්වයා, නාඹර සිටුවරිය, ගැමි ගොවියා, සාර් රජ, සෙබලෙකුගේ හිස ඔත් උකුනා, අන්‍යොන්‍යාධාර සමිති සාමාජිකයා - මේ අතරින් කිසිවෙකුට ඔහු වැඩි අනුග්‍රහයක්නො දක්වන අතර කිසිවෙකුට තම පංගුව නොදී හරින්නේ ද නැත. පියවරෙන් පියවර, (පින්සල්) පහරින් පහර, ඔහු, සියලු අංගෝපාංග අවියෝජනීය ලෙස අභ්‍යන්තර බැම්මකින් එකිනෙකට බැඳී පවතින සීමා රහිත පරිදර්ශනයක් නිර්මානය කරයි. සිය කාර්යයේ දී, තොල්ස්තෝයි, තමා චිත්‍රනය කරන ජීවිතය මෙන් ම කඩිමුඩියෙන් තොර ය. සිතීම පවා ත්‍රාසකර වුව, ඔහු සිය යෝධ ග්‍රන්ථය සත් වරක් ප්‍රතිරචනය කලේ ය... ඇතැම් විට, මේ දැවැන්ත නිර්මානශීලීත්වයෙහි ඉතා ම විස්මයාවභ කාරනාව නම්, කලාකරුවා තමාටවත් පාඨකයාටවත් කිසියම් පුද්ගල චරිතයකට බැඳී ගැනීමට‍ඉඩ නො තැබීම යි.

තොල්ස්තෝයි, තමාට ප්‍රියමනාප නො වූ තුර්ගිනීව් සිදු කල පරිදි, කිසි විටෙකත් සිය වීරයන් පුපුරන රතිඤ්ඤා සහ දැල්වෙන නිලා මැද ප්‍රදර්ශනය‍ට නො තබයි; ඔවුන්ට වාසිදායක වන එබඳු තත්ත්වයන් නො සොයයි; ඔහු කිසිවක් නො සඟවයි, කිසිවක් යටපත් නො කරයි. සිය අවිවේකී සත්‍ය ගවේෂකයා පියෙරි බෙසුකොව්, අවසානයේ දී ප්‍රීතිමත් ඉඩම් හිමියෙකු හා ආත්මතෘප්ත ගෘහ මූලිකයෙකු බවට පත් වූ සැටි ඔහු අපට‍පෙන්වයි. අඩ-ලදරු සංවේදීතාවෙන් යුත් මන බඳනා නතාශා රොස්තොව්, කිලිටි නැප්කින අතැ’තිව සිටින අඥාන කිරිමවක බවට හරවනුයේ දෙවියෙකු මෙන් ක්ෂමාවිරහිතව ය. නමුත්, කේවල භූමිකා පිලිබඳව දක්වන මෙන් පෙනී යන මෙකී නො සැලකිලිමත් අවධානය පිට‍ුපසින්, සෑම දෙයක් ම අභ්‍යන්තර අවශ්‍යත‍ාවයේ සහ සුසංයෝගයේ ජීවයෙන් ප්‍රානවත්ව සමස්තය ප්‍රබල ලෙස දේවත්වයට නැංවෙයි. මේ නර්මානාත්මක පරිශ්‍රමයට, සුන්දරත්වය හෝ අශෝභනත්වය ද, මහේක්ෂභාවය හෝ අල්පේච්ඡතාවය ද නො පවතින්නා වූ ‘සෞන්දර්යමය සර්වදේවවාදයක් මුසු වී ඇතැ’යි කීම නිවැරදි විය හැකි ය. මක් නිසා ද යත්, නිරන්තර පරිභ්‍රමනයේ දී සමස්ත ජීවිතයෙහි ම ප්‍රකට වීම් සුන්දර හා මහේක්ෂ වන බැවිනි. ස්වභාවයෙන් ම අනුකම්පා විරහිත ලෙස ගතානුගතික වූ පොලව සී සාන්නාගේ කෘෂක සෞන්දර්යය (agricultural aesthetic) නම් මෙය යි. එමෙන් ම, ඉලියඩ් හා පෙන්ටටාව් 7 සමග තොල්ස්තෝයිගේ වීර කාව්‍යයට ඇති ඥාතීත්වය ද ඉන් සැපයේ.

ඉතා නුදුරු ඓතිහාසික යටගියාවක -පලමුවෙනි පීටර්ගේ සමයෙහි සහ 1825 දෙසැම්බර්වාදීන්ගේ සමයෙහි - රාමුව ඇතුලත තමාට සමීපතම සබැඳියාවක් ඇතැ’යි හැඟී යන මනෝමය ප්‍රතිරූප හා “රමනීය ප්‍රභේද” සඳහා කිසියම් ඉඩ හසරක් සෙවීමේ අධ්‍යාශයක් වූ ඔහුගේ මෑත ප්‍රයත්නද්වය, මෙකී කාලාවධීන් දෙක ම ඉතා තදින් පැහැගන්වන විදේශ බලපෑම් කෙරෙහි කලාකරුවාගේ එදිරිවාදුකම හමුවේ සිඳීබිඳී ගියේ ය. නමුත් ඇනා කැරනිනා (1873)හි පරිදි, අපගේ ම යුගයට වඩාත් සමීප වන විට පවා, සමකාලයෙහි රජයන කලබැගෑනි හමුවේ අධ්‍යාත්මික වසයෙන් පරාරෝපිතව ඉතා මුරන්ඩු ලෙස තම කලාත්මක ආචීර්නකල්පිකභාවයෙහි එල්බ සිටින තොල්ස්තෝයි, තමාගේ ම නිම්වලලු සංකෝචනය කර ගනිමින් මුලු මහත් රුසියානු ජීවිතය අතරින් (නිරූපනය පිනිස) තෝරා ගන්නේ සත්පුරුෂභාවයේ නො නැසී ඉතිරි වූ කෙම්බිම් ද, සිය ඉපැරනි පරවේනි වලව්ව ද, මුතුන්මිත්තන්ගේ ආලේඛ්‍යයන් ද, සුවදායී ලින්ඩන් තුරු සෙවන යට‍, එක් පරම්පරාවකින් අනෙකට ඒවායෙහි නො වෙනස් රූපාකාරයන්ගෙන් යුතුව පුනර්කරනය වන උත්පත්තිය, ප්‍රේමය හා මරනය නමැති චක්‍රය ද පමනි.

එසේ ම, තොල්ස්තෝයි, සිය වීරයන්ගේ අධ්‍යාත්මික ජීවිතය සනිටුහන් කරනු‍යේ, ඔවුන්ගේ මාතෘභූමියෙහි එදිනෙදා ජීවිතයට අනුරූප වන අයුරිනි: සන්සුන්ව, කලබලයෙන් තොරව හා නිරාකූල දෘෂ්ටියෙන් යුක්තව ය. හෙතෙම, කිසිසේත් මනෝභාව, චින්තාවලී නැතහොත් සම්භාෂනයෙහි අභ්‍යන්තර සෙලවීම අභිබවා නො යයි. කොහි යතත් හේ ඉක්මන් නො වන්නා සේ ම කිසි විටෙක සුනංගු ද නො වෙයි. සිය දෑත ජීවිත සමූහයකගේ වරප‍ට දරා සිටිය‍ද ඔහුගේ හිස අයාලේ නො දුවයි. දැවැන්ත ව්‍යවසායයක සියලු බහු පාර්ශවයන් කෙරෙහි නිරන්තරව අවදියෙන් සිටින එහි හාම්පුතා මෙන් තොල්ස්තෝයි, නිරවද්‍ය ශේෂ පත්‍රයක් මනසහි තබා ගනී. ඔහුගේ සියලු කර්තව්‍යයන්, බැලූ බැල්මට, සොබා දහම විසින් සියල්ල ඉ‍ටු කෙරෙන අතර තොල්ස්තෝයිගේ කාර්යය සෝදිසියෙන් සිටීම වැන්න. සරු පසෙහි බීජයක් වපුරන ඔහු දක්ෂ උයන්පල්ලෙකු මෙන් එහි වෘත්තයට ස්වභාවිකව වැඩී පලබර වීමට සලස්වයි. මන්ද, මේ වනාහි ස්වභාව ධර්මයෙහි විධිනියාමයන්ට නිහඬව නමස්කාර කරන ප්‍රසන්නශීලී කරාතියෙව් බැවිනි!

මල් මොට්ටුවක පෙති බලාත්කාරයෙන් දිග හැරීමට කිසි විටෙකත් උත්සුක නො වන තොල්ස්තෝයි, හිරු රැස් පතිතව ඒවා කෙමෙන් විකසිත වීමට ඉඩ හරී. මහ නගර සංස්කෘතියේ සෞන්දර්යයට, එනම්, එහි ස්වාර්ථකාමී බඩජාරිකමට, එහි දුෂ්ට හා පීඩාකාරී ස්වභාවයට‍ පිටස්තරව ද දැඩි ලෙස එරෙහිව ද, සිටින ඔහු එයින් ඉල්ලා සිටිනුයේ සාරාර්ථයන් පමනි. සිය වෙව්ලන අතැඟිලි සායම් පලත්ත මත ගෙන යමින් ඔහු සොයනුයේ සූර්ය කිරන වර්නාවලියෙහි නො පවතින පැහැයන් ය.

තොල්ස්තෝයිගේ ශෛලිය ඔහුගේ සකල සුධීමත්භාවය සමග අනන්‍ය වේ: මසුරකු හෝ තවුසකු නො වන අතර ම සකසුරුවම් ය; උපශාන්ත ය; නො ඉක්මන් ය. ප්‍රබල ශෛලියක් වන එය ඉඳහිට නො ගැලපෙන සුලු ය, රලුපරලු ය. එය ඉතා සරල වන අතර එහි ප්‍රතිඵල සෑම විට ම අසමසම ය. යම් සේ ඔහු, ගීතවත්, කෝමල හා ජෝතිමත් ශෛලියකට හිමිකම් කියන සහ තම ශෛලියෙහි රමනීයත්වය මැනවින් දැන සිටින තුර්ගිනීව්ගෙන් ඈත් වී ද, එසේම ඔහු, ඉතා තියුනු, ඉතා ඇහිරුනු, ඉතා අසමතුලිත දොස්තයෙව්ස්කිගේ භාෂාවෙන් ද බොහෝ දුරස්ථ විය.

සිය එක් නවකතාවක දොස්තයෙව්ස්කි - නිලයක් හෝ ධූරයක් රහිත නගර වාසියා සහ අසාධ්‍ය ලෙස සිදුරු වූ ආත්මයක් සහිත සුධීමතා - කෲරත්වයෙහි හා දයානුකම්පාවෙහි මේ ශෘංගාරාත්මක කවියා, රදල අතීතයේ පරිසමාප්ත රූපාකාරයන්හි ගායකයා වූ තොල්ස්තෝයි සිටුවරයා සමග අභිනව, ‘අහඹු රුසියානු පවුල්’ පිලිබඳ කලාකරුවා වසයෙන් හෘදයංගමව හා තියුනු ලෙස තමා ප්‍රතිතුලනය කර ගනී.

දොස්තයෙව්ස්කි, තම එක් චරිතයක් දෙතොලට නංවමින් පවසන පරිදි, “මා ප්‍රතිභාපූර්න රුසියානු නවකතාකරුවෙකු නම්, නො වරදවා ම මගේ වීරයන් තෝරාගන්නේ රුසියානු වංශාධිපති පැලැන්තියෙනි. මන්ද, යටත්පිරිසෙයින්, රමනීය සංවේදනාවන්හි සහ රමනීය පර්යායෙහි සාදෘෂ්‍යයක්වත් පෙන්නුම් කිරීමට සමත් එකම රුසියානු ප්‍රවර්ගය මෙය බැවිනි... මෙලෙස පවසන කල්හි, මා කිසිසේත් විහිලු කරනවා හෙම නො වේ. ඇරත්, ඔබ ම දන්නා පරිදි, මම කොහෙත් ම වංශවතෙක් නො වෙමි... මා විශ්වාස කරන්න... මේ තාක් අප අතර සියලු දෙය, සත්‍ය වසයෙන් ම රමනීයත්වයෙන් යුක්ත වනුයේ මෙහි (වංශාධිපතිත්වයෙහි) ය. යටත්පිරිසෙයින්, මෙහි අප අතර හැම දෙයක් ම යන්තමින්වත් පරිසමාප්ත ය. මෙකී රමනීයභාවයෙහි නිරවද්‍යතාව හෝ සත්‍යතාව සමග නො වලහා එකඟ නිසා මා එසේ කියනවා නො වේ; එනමුත් මෙහි නිදසුනක් හැටියට, වංශාධිපතිත්වයට අමතරව දැනටමත් අප සතුව පවතින ගරුත්වයෙහි හා මෙහෙවරෙහි පරිසමාප්ත රූපයන් රුසියාවේ අන් කොතැනකවත් - පරිසමාප්තව තබා එයට මුලපුරා ඇති සෙයක්වත් පෙනෙන්ට නැත...” නම් සඳහන් නො කල ද දොස්තයෙව්ස්කි වැඩිදුරටත් මෙලෙස පවසනුයේ නිසැකව ම තොල්ස්තෝයි සිත්හි තබාගෙන ය: “එබඳු තත්ත්වයක දී අපේ නවකථාකරුවාගේ ස්ථාවරය මුලුමනින් නිශ්චිත විය යුතු ය. ඓතිහාසිකව හැරුනු කොට වෙනත් විධියකට ලිවීමට ඔහු නො සමත් වනු ඇත. අපේ ම යුගයේ දී, රමනීය ප්‍රවර්ගය තවදුර‍ටත් නො පවතින අතර යම් හෙයකින් විදේශයන්හි එහි ඉතිරිපහදු තිබේ නම්, මෙසමයෙහි රජයන ඒකමතික අදහස අනුව, ඔවුන් තමන් සඳහාවත් රමනීය කිසිවක් ඉතිරි කොට ගෙන නැත.”

‘රමනීය ප්‍රවර්ගය’ අන්තර්ධාන වූ කල්හි, කලාත්මක නිර්මානශීලීත්වයෙහි ක්ෂනික අරමුන මතු නොව තොල්ස්තෝයානු සදාචාරාත්මක දෛවවාදයෙහි පදනම් ද, ඔහුගේ සෞන්දර්යමය සර්වදේවවාදය ද ගරා වැටීම‍ට ප‍ටන් ගති. තොල්ස්තෝයානු ආත්මයෙහි ශුද්ධ වූ කරාතියෙව්වාදය වියැකිනි. අනභියෝගී සමස්තයක කො‍ටසක් ලෙස එතෙක් පිලිගැනුනු සියල්ල ම කීතු කීතු වී ගොස් ගැටලුවක් බවට පත් විය. තාර්කික වූ දෑ අතාර්කික දෑ බවට හැරුනි. තව ද, සෑම විට ම සිදු වන පරිදි, නියත වසයෙන් ම පැවැත්මෙහි පැරනි අර්ථය නෂ්ට වූ මොහොතේ, තොල්ස්තෝයි, පැවැත්මෙහි සාමාන්‍ය අර්ථය පිලිබඳව තමාගෙන් ම විමසීමට වනි. නව යෞවනයෙකුගේනොව පනස් විය සපිරි මිනිසෙකු‍ෙග් ජීවිතයෙහි (1870 දශකය අගභාගයේ) දැවැන්ත අධ්‍යාත්මික අර්බුදයක් හට ගැනුනි. දෙවියන් කරා ආපසු ගිය තොල්ස්තෝයි, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිලිගත් අතර ශ්‍රම විභජනය ද, ඒ සමග ම සංස්කෘතිය හා රාජ්‍යය ද ප්‍රතික්ෂේප කලේ ය; ඔහු කෘෂක ශ්‍රමයෙහි, සරල දිවි පෙවෙතෙහි හා බලය පා නපුර‍ට ප්‍රතිරෝධය නො දැක්වීමෙහි දේශනාකරු බවට පත් විය.

වඩා‍ත් ගැඹුරු වූයේ අධ්‍යාත්මික අර්බුදය යි - පනස් හැවිරිදි කලාකරුවා සිය කැමැත්තෙන් ම ස්වයං නාශක අදහස දිගු කලක් සිත්හි දරා සිටියේ ය - ඉතා පුදුම එලවන දෙය නම්, අවසන් ආරම්භක ලක්ෂ්‍යය වෙත ඉඳුරා ආපසු යෑම යි. කෘෂක ශ්‍රමය - යුද්ධය හා සාමයෙහි වීර වෘතාන්තය දිග හැරෙන පදනම මෙය නො වේ ද? සරල දිවි පෙවෙත, ප්‍රාථමික ජනතාව අතර ස්වයං කිඳී යෑම - කුතුෂොව්ගේ ශක්තිය රැඳී තිබෙනුයේ එහි නො වේ ද? බලය පා නපුර‍‍ට ප්‍රතිරෝධය නො දැක්වීම - දෛවවාදී යටත් වීම ඉවසා දරා සිටි පූර්න කරාතියෙව් නො වේ ද?

නමුත් එය එසේ නම්, තොල්ස්තෝයිගේ අර්බුදය සමන්විත වනුයේ කුමකින් ද? මින් කවරක් එතෙක් රහසිගතව හා අන්තර්භෞමිකව තිබී පෘෂ්ටය බිඳගෙන සවිඥානකත්වයේ ගෝලයට පිවි‍සේ ද? ස්වභාව ධර්මයෙහි වැඩ වෙසෙන චෛතන්‍යය, එය මූර්තිමත් කල එම ‘ස්වභාව ධර්මය’ ද සමග අතුරුදන්ව යත් ම, අධ්‍යාත්මය අභ්‍යන්තර ආත්ම සවිඥානකත්වය දෙසට තල්ලු කිරීමට ප‍ටන් ගනී. එකී ස්වයංක්‍රීය සුසංවාදය, ජීවිතයෙහි ම ස්වයංක්‍රීයවාදයට එරෙහිව නැගී ආ අතර එතැන් සිට එය සංරක්ෂනය විය යුත්තේ අධ්‍යාශයෙහි සවිඥානක බලය මගිනි. සදාචාරමය හා සෞන්දර්යමය ස්වයං-සංරක්ෂනය සඳහා වන මෙකී ගතානුගතික අරගලයෙහි දී, කලාකරුවා සිය ආධාරයට සුචරිතවාදී දාර්ශනිකය‍ා කැඳවා ගනී.

මෙකී තොල්ස්තෝයිලා දෙදෙනා‍‍ගෙන් කවරෙකු - කලාකරුවා නැතහොත් සුචරිතවාදියා - යුරෝපය තුල වැඩි ජනප්‍රියත්වයක් දිනා ගත්තේදැ’යි නීර්නය කිරීම දුෂ්කර ය. ඒ කෙසේ වෙතත්, යස්නායා පොල්යානාවෙහි වයෝවෘද්ධයාගේ අව්‍යාජ සුධීමත්භාවය කෙරෙහි ධනේශ්වර ප්‍රජාව දක්වන සරදම්ශීලී ගරුසරුව පිටුපස එක්තරා අරුමපුදුම සදාචාරමය තෘප්තියක් සැඟව තිබෙන බව නිසැක ය: සදාචාරාත්මක විනිශ්චයන් මත ගැමි කමිසයක් අඳින, ලී සපත්තු පලඳින, දර පලන නමුදු සුප්‍රකට කලාකරුවෙකු, කෝටිපතියෙකු, ‘අපේ ම කවයේ” එකෙකු, පාදාන්තය දක්වා ම කුලීනයෙකු වසයෙනි. එය වනාහි මුලු මහත් පන්තියක් හා මුලු මහත් සංස්කෘතියක් නිශ්චිතව ම පාපයෙන් මුදා ගැනීමක් බඳු ය. එහෙත්, සෑම ධනපති අමනයෙකු ම තොල්ස්‍තෝයි දෙස අවඥාවෙන් බැලීමත් ඔහුගේ පූර්න ප්‍රකෘතිමත්භාවය ගැන පවා සැක පහල කිරීමත් එමගින් නො වැලකේ. හොඳ ම නිදසුන නම්, මහලු හා අවංක සැමුවෙල් ස්මයිල්ස්ගේ8 දර්ශනය රැගෙන, ශ්වනවාදයෙන් (Cynicism) රස ගන්වා, විකට ඇඳුමින් සරසා, ඉරිදා තීරු ලිපි තුලින් එලි දක්වන, නාඳුනන කෙනෙකු නො වන මැක්ස් නොර්ඩාවු9 ය. ලොම්බ්‍රොසෝගෙන්10 උපුටා ගත් තම සැඳහුම් පඨිතය අතැතිව සිටින නොර්ඩාවු, තොල්ස්තෝයිගේ පරිහානියෙහි සියලු ම රෝග ලක්ෂන සොයා ගනී. මේ සියලු සිල්ලර වෙලඳුන්ට අනුව, උන්මාදය හට ගන්නේ ලාභය නතර වන තැනිනි. නමුත්, සිය ධනපති අනුගාමිකයන් තමා දෙස සැකමුසුව හෝ උපහාසාත්මකව බැලුව ද, නො එසේ නම්, තමාට අනුග්‍රහශීලීව සැලකුව ද, තොල්ස්තෝයි ඒ හැමට ම ගූඪ-මානසික ප්‍රහේලිකාවකි. ඔහුගේ කමකට නැති ගෝල ප්‍රචාරකයන් දෙදෙනෙකුගේ (මින් එක් තැනැත්තෙක් වන මෙන්ශිකෝව්11 දැන් රුසියානු හැමර්ස්ට්න්12 කෙනෙකුගේ චරිතය රඟපායි) ආශ්‍රය හැරුනු කොට, තොල්ස්තෝයි නමැති සුචරිතවාදියා පසුගිය තිස් වසර පුරා මුලුමනින් ම හුදෙකලාව සිටි බව යමෙකුට කිව හැකි ය.

සැබවින් ම, ඔහුගේ තත්ත්වය වනාන්තරයක් මැද හඬන වක්තෘවරයෙකුගේ ඛේදනීය තත්ත්වය ම විය. තම ආචීර්නකල්පික කෘෂක හිතපක්ෂපාතිත්වයෙහි පූර්න ආධිපත්‍යය යටතේ, තොල්ස්තෝයි, සෑම අතින් ම තර්ජනයට ලක් වූ සිය අධ්‍යාත්මික ලෝකය වෙහෙස නො තකා, අනවරතයෙන් විජයග්‍රාහීව ආරක්ෂා කලේ ය. තමා සහ ධනේශ්වර ලිබරල්වාදයේ සකලවිධ ප්‍රභේදයන් අතර සදහට ම ගැඹුරු අගලක් හෑරූ හෙතෙම, පලමු කෙ‍ාට ම, “අපගේ කාලයෙහි විශ්වය පුරා රජයන, ප්‍රගතිය පිලිබඳ මිථ්‍යා ලබ්ධීන්” නමැති පස් ඉවත් කලේ ය.

“විදුලි බලය, දුරකථන, ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග, රැඟුම් වැයුම් සහිත රමනීය උද්‍යාන සමග සියලු සුරු‍ට්ටු හා ගිනිපෙට්ටි, අවලම්බන යන්ත්‍ර හා මෝ‍ටර් යන මේ සියල්ල ඉතා කදිම ය. නමුත්, මගේ ප්‍රාර්ථනාව එහැම පමනක් නොව සියලු දුම්රිය මාර්ග ද, මෙලොව නිෂ්පාදිත සියලු කපු හා ලොම් රෙදි ද මූදුබත් වනු දැකීම යි” යනුවෙන් ඔහු ශෝක වෙයි: “මක් නිසා ද යත්, ඒවා නිපදවීමෙහි දී සෑම මිනිසුන් සියයකගෙන් අනූනවයක් ම වහල්භාවයට පත් වන බැවිනි; ඒවා නිපදවන කම්හල් තුල දහස් ගනන් ජනයා දිරාපත් වන බැවිනි.”

ශ්‍රම විභජනය මගින් අපේ ජීවිත ආඪ්‍ය හා අලංකාර නො කෙරේ ද? ‍එසේ වුව, ශ්‍රම විභජනය නිසා සජීවී මනුෂ්‍යාත්මය බෙලහීන වෙයි. ශ්‍රම විභජනය භංග වේවා! කලාව? අව්‍යාජ කලාව සියලු ජනයා දේව සංකල්පය මත සමගි කල යුතු විනා ඔවුන් භේද නො කල යුතු ය. අප‍ෙග් කලාව හුදෙක් ප්‍රභූ පැලැන්තියට සේවය කරන්නකි. ජනතාව කෙරෙන් වියෝ වූවකි. එනිසා එය බොරු ප්‍රෝඩාවකි. ශේක්ස්පියර්, ගර්තේ, වාග්නර්, බොයෙක්ලින්13 මතු නොව තමාගේ ම කලාව පවා ‘ව්‍යාජ’ ලෙස සලකා තොල්ස්තෝයි නිර්භීතව බැහැර කරයි.

ඔහු, වෙලඳ ව්‍යාපාර හා සමෘද්ධිය සමග බැඳුනු සියලු වස්ත්‍රාභරන උනා දමා ගැමි ඇඳුමින් සැරසෙනුයේ සංස්කෘතිය අත්හල බැව් සංකේතාත්මකව නිරූපනය කිරීමට මෙනි. එහෙත්, මෙකී සංකේතාත්මක රංගනය පිටුපස සැඟව තිබෙනුයේ කුමක් ද, එමගින් විරෝධය පාන ‘බොරුව’ කුමක් ද යත් ඓතිහාසික සන්තතිය යි.

තමාට ම මදක් ප්‍රචන්ඩ වීමෙන් පසුව, තොල්ස්තෝයිගේ සමාජ දර්ශනය සම්පින්ඩනය කෙරුනේ, ඔහුගේ ලියවිලි මත පදනම් වුවහොත්, මතු දැක්වෙන ‘පරිපා‍ටිමය ප්‍රවාදයන්’ තුල ය:

1. එය නීති සංග්‍රහයක් විනා මහජනතාවන් වහල්භාවයට පමුනුවාලන එක්තරා වර්ගයක අයෝමය සමාජ විද්‍යාත්මක නියාම සමූහයක් නො වේ.

2. නූතන වහල්භාවය රඳා පවතිනුයේ ව්‍යවස්ථා තුනක් මත ය: ඉඩම් පිලිබඳව, බදු පිලිබඳව හා දේපල පිලිබඳව.

3. රුසියානු රාජ්‍යය පමනක් නොව කිනම් රාජ්‍යයක් වුව, ප්‍රතිවිපාක නො විඳිමින් ඉතා සාහසික අපරාධ සිදු කරන්නා වූ ප්‍රචන්ඩ ආයතනයකි.

4. සැබෑ සමාජ ප්‍රගතියක් සාක්ෂාත් කො‍ට ගත හැක්කේ පුද්ගලයන්ගේ ආගමික හා සදාචාරමය ස්වයං-පරිපූර්නත්වය ඔස්සේ පමනි.

5. “රාජ්‍යයන්ගෙන් නිදහස් වනු පිනිස ඊට එරෙහිව බාහිර විධික්‍රම ඔස්සේ සටන් කිරීම අත්‍යවශ්‍ය නො වේ. අවශ්‍ය වනුයේ රාජ්‍යයට සහාය නො දීමත් ඊට හවුල් නො වීමත් පමනි.” ඒ කෙසේ ද යත්: (අ) සොල්දාදුවකුගේ නැතහොත් ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුගේ වේවා, ඇමතිවරයෙකුගේ නැතහොත් ගම්මුලාදෑනියෙකුගේ වේව‍ා, ජූරි සභිකයෙකුගේ නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වේවා හඬට කන් නො දිය යුතු ය. (ආ) ඍජුව හෝ වක්‍රව, රාජ්‍යයට ස්වේච්ඡාවෙන් බදු නො ගෙවිය යුතු ය. (ඇ) රාජ්‍ය ආයතනවලින් ප්‍රයෝජන ගැනීමත් ආන්ඩුවේ අරමුදල්වලින් පඩිනඩි හෝ විශ්‍රාම වැටුප් ලබා ගැනීමත් නො කල යුතු ය. (ඉ) රාජ්‍ය ප්‍රචන්ඩත්වය යොදා ගනිමින් යමෙකුගේ දේ‍පල ආරක්ෂා නො කල යුතු ය.

මෙකී සැලැස්මෙහි -ආගමික හා සදාචාරාත්මක ස්වයං-පරිපූර්නත්වය සැලකිල්ල‍ට ගනු ලබන හා පැහැදිලිව ම ඒ වෙනුවෙන් පෙනී සිටිනු ලබන - සිව්වැන්න බැහැර කල හොත්, එවිට, අපට ලැබෙනුයේ වඩා පූර්න අරාජකවාදී වැඩපිලිවෙලකි. මුලින් ම, අයහපත් නීති සම්පාදනයෙහි ඵලය වසයෙන් සමාජය පිලිබඳ තනිකර ම යාන්ත්‍රික සංකල්පයකි. අනතුරුව, පොදුවේ රාජ්‍යය හා දේශපාලනය පිලිබඳ විධිමත් නිෂේධයකි. කෙලවර, අරගල ක්‍රමය වසයෙන්, අක්‍රීය ජෙනරල් ස්ට්‍රයිකයක් හා විශ්වව්‍යාපී වර්ජනයකි. නමුත්, ආගමික-සදාචාරමය ප්‍රවාදය ඉවත ලෑමෙන් අප සැබවින් ම ඉවත් කරනුයේ එම සමස්ත හේතුඵලවාදී ව්‍යුහය එහි නිර්මාපකයා (ලියෝ තොල්ස්තෝයිලේ ආත්මය) සමග සම්බන්ධ කෙරෙන තනි ස්නායුව යි. ඔහුට‍අනුව, ස්වකීය පරිනාමයෙහි හා ස්ථාවරයෙහි සියලු කොන්දේසීන්ට පින් සිදු වන්නට, ධනේශ්වර පර්යාය වෙනුවට ‘කොමියුනිස්ට්’ අරාජකවාදය ස්ථාපිත කිරීම දවසේ කාර්යභාරයට කොහෙත් ම ඇතුලත් නො වේ. කාර්යභාරය වනුයේ ‘බැහැරින් එන’ විනාශකාරී බලපෑම්වලට එරෙහිව සාමූහික කෘෂක පර්යාය ආරක්ෂා කිරීම යි.

සිය ජනතාවාදයේ දී මෙන් ම සිය ‘අරාජකවාදයේ” දී ද, තොල්ස්තෝයි නියෝජනය කරනුයේ ආචීර්නකල්පික කෘෂක උවමනා-එපාකම් ය. ආර්ථික වෘද්ධියේ රල වේගය හමුවේ ස්වභාවිකව බිඳ වැටෙමින් තිබුනු, කුල සමිති අන්‍යොන්‍යාධාරයෙන් යුත් සමාජ සදාචාරය ප්‍රකෘතිමත් හා ශක්තිමත් කරනු වස් විඥානවාදී විධික්‍රම සෙවූ අතීත පරෝපකාරී සමිති සාමාජිකයන් මෙන්, තොල්ස්තෝයි, ප්‍රතිසංස්කරනය සොයනුයේ තනිකර ම ස්වභාවික ආර්ථිකයක් යටතේ ගෙවන දිවි පෙවෙත නමැති ආගමික සුචරිතවාදී අභිප්‍රාය අනුසාරයෙනි.

මෙකී මාර්ගය ඔස්සේ තොල්ස්තෝයි ගතානුගතික අරාජිකවාදියෙක් බවට පත් වෙයි. මන් ද යත්, පලමු කොටත් ප්‍රමුඛ කොටත් ඔහුට අවශ්‍ය වනුයේ මිලිටරිවාදයේ කස පහරින් ද, ෆෙඩරල් භාන්ඩාගාරයේ රුදුරු නුහුසුවන්ගෙන් ද යුත් රාජ්‍යය සමග සකල-ගැලවුම්කාර කරාතියෙව් කොමියුනයට සමාදානයෙන් විසීමට ඉඩ සැලසීම වන බැවිනි. දෙලොවක් - ධනවාදය හා සමාජවාදය - අතර පෘථිවිගෝලීය පරිමානයෙන් සිදු කෙරෙන්නා වූ අරගලය පිලිබඳව (එහි ප්‍රතිඵලය මත මනුෂ්‍යවර්ගයාගේ ඉරනම රඳා පවතී) හැඟීම් මාත්‍රයක්වත් තොල්ස්තෝයිට නැත. ඔහුට අනුව, සමාජවාදය සැම විට ම පැවතියේ ඔහුට එතරම් වැදගත් නො වන ලිබරල්වාදී ප්‍රභේදයක් ලෙසිනි. ඔහුට අනුව, ෆෙඩ්රික් බැස්ටියාට්14 මෙන් ම කාල් මාක්ස් ද ධනේශ්වර සංස්කෘතියෙහි එකම හා නො වෙනස් ‘සාවද්‍ය මූලධර්මයේත්” ඉඩම් රහිත කම්කරුවන්ගේත් රාජ්‍ය බලාත්කාරයේත් නියෝජිතයෝ වූහ. පොදුවේ, මානව සංහතිය වැරදි මාර්ගයට වරක් අවතීර්න වූ විට, ඒ මග දිවෙනුයේ ඈතට ද නැතහොත් මෑතට ද යන්න සැබවින් ම එතරම් වැදගත් නො වේ. මෝක්ෂය වෙත ලඟා විය හැක්කේ ආපසු හැරීමෙන් පමනි.

අපගේ ජීවිත තවත් දිගු කලක් ඉතා අයහපත් ලෙස ම ගෙවී යන අතර එය ‘ප්‍රගමනයෙහි ඓතිහාසික, සමාජ විද්‍යාමය හා සෙසු නියාමයන්ට අනුකූල වන’ බව පමනක් නොව අපේ ජීවිත ‘අවසානයේ දී එමගින් ම ඉතා යහපත් වනු ඇත’ යනුවෙන් කියා සිටින ශාස්ත්‍රයට පහර දීමට සමත් සාවඥ වදන් කෝෂයක අඩුව තොල්ස්තෝයිට ඇත.

දැන් සිට ම නපුරට දොර වැසීම අත්‍යවශ්‍ය ය; ඒ සඳහා නපුර, නපුර ලෙස වටහා ගැනීම සෑහේ. මිනිසුන් ඓතිහාසිකව එකට බැඳ තබන්නා වූ සියලු සදාචාරමය හැඟීම් ද, එකී බැඳීම් වලින් පැන නගින සියලු සදාචාරාත්මක -ආගමික සම්මුතීන් ද තොල්ස්තෝයි විසින් ප්‍රේමය, මිතාචාරය හා අක්‍රීය ප්‍රතිරෝධය පිලිබඳ අතිශය වියුක්ත අනපනත් බවට සිඳුවන ලදී. තව ද, මෙකී අනපනත් කිසිදු ඓතිහාසික අන්තර්ගතයකින් යුක්ත නො වන හෙයින් - එනිසා ම මොනයම් හෝ අන්තර්ගතයකින් තොර හෙයින් ඔහුට ඒවා පෙනී යනුයේ සියලු කල්හි ම සහ සියලු ජනයා විෂයෙහි යොදා ගත හැකි පරිද්දෙනි.

ඉතිහාසය කෙරෙහි තොල්ස්තෝයිගේ පිලිගැනීමක් නොමැති අතර එය ඔහුගේ සකල චින්තනයෙහි ම පදනම වේ. සිය පාරභෞතික නිෂේධයන්හි නිදහස මෙන් ම ඔහුගේ සියලු දේශනාවන්හි ප්‍රා‍යෝගික බෙලහීනත්වය ද රැඳී තිබෙනුයේ ඒ මත ය. ඔහු විසින් පිලිගැනෙන මනුෂ්‍ය ජීවිතය -එනම්, සමාරා පලාතෙහි අඩුවෙන් ජනාවාස වූ ස්ටෙප්ස් තන බිම්වල විසූ යුරල්-කොසැක් ගොවීන්ගේ අතීත දිවි පෙවෙත පැවතියේ ඉතිහාසයට එපිටිනි; එය අනවරතයෙන් වූයේ මී වදයක නැතිනම් කූඹි ගුලත ජීවිතය මෙනි. මිනිසුන් ඉතිහාසය යයි කියනුයේ මනුෂ්‍යත්වයෙහි සැබෑ අධ්‍යාත්මය විරූපී කලා වූ අඥානභාවයේ, රැවටිලිවල හා කෲරකම්වල නිපැයුමකට ය. නිර්භීතව හා තිරසරව, තොල්ස්තෝයි ජනේලයෙන් පිටතට ‍දේපල වීසි කරනුයේ ඉතිහාසයත් සමගිනි.

ඔහු පුවත්පත් හා සඟරා පිලිකෙව් කරනුයේ ඒවා අද්‍යතන ඉතිහාසය පිලිබඳ ලේඛන හැටියට සලකමිනි. පෘථිවි සාගරයෙහි සියලු තරංග මතින් ඔහු පිහිනා යනු ඇත. එහෙත්, සමාජ ගැටලු පිලිබඳ ක්ෂේත්‍රයට අවතීර්න වන කල්හි, ඉතිහාසය කෙරෙහි සිය අන්ධභාවය කරනකොටගෙන ඔහු ලදරුවෙකු මෙන් අසරන වේ. තොල්ස්තෝයිගේ දර්ශනය චීන සිතුවම් කලාවෙහි සාදෘශ්‍යයකි: ඉඳුරා ම වෙනස් යුගයන්හි අදහස් එකම දර්ශන පථයෙහි පිහිටියේ නැතත් ඒවා තනි හා එකම තලයක පිලියෙල වී ඇත. යුද්ධයට එරෙහිව තනිකර ම තාර්කික කරුනු ‍ගෙන හැර පාන ඔහු ඒවා ශක්තිමත් කරනු පිනිස එපික්ටේටස්ගෙන්15 මෙන් ම මොලිනාරි16 ගෙන් ද ලා ඔට්සේ17 ගෙන් මෙන් ම දෙවැනි ෆෙඩ්රික්18 ගෙන් ද, අනාගත වක්තෘ ඉසයියාහ්ගෙන් මෙන් ම පර්සියානු වෙලඳුන්ගේ ඉසිවර -තීරු ලිපි රචක හාර්ඩොයින්ගෙන් ද උපුටා දක්වයි. තොල්ස්තෝයිට අනුව, ලේඛකයන්, දාර්ශනිකයන් හා අනාගත වක්තෘන් නියෝජනය කරනුයේ තමන්ගේ ම යුගයන් නොව සදාතනික සදාචාරාත්මක ප්‍රවර්ගයන් ය.

තොල්ස්තෝයි සමග, කොන්ෆියුසියස් හා හාර්පගස්19 උරෙනුර ගෑවී සක්මන් කරති; තමා යේසුස් සමග පමනක් නොව මෝසෙස් සමග ද පයුරුපාසනයෙහි යෙදෙන බැව් ශෝපන්වර් පසක් කොට ගනී. ස්වකීය ඔව්-ඔව් නො ‍එසේනම් නෑ-නෑ න්‍යාය ඉතිහාසයෙහි අපෝහකයට ප්‍රතිපක්ෂව පිහිටුවමින් ගෙන යන මේ ශෝචනීය ඒකපුද්ගල සටනේ සෑම පියවරක දී ම අනපේක්ෂිත ස්වයං-ප්‍රතිරෝධයන් මතට ඇද වැටෙන තොල්ස්තෝයි සිය සුධීමත් මුරන්ඩුභාවයට මුලුමනින් සරිලන නිගමනයකට එලඹෙයි: “සත්‍යයේ නො වරදින සලකුන නම් මිනිසාගේ තත්ත්වය හා මිනිසාගේ සදාචාරමය ක්‍රියාකාරීත්වය අතර පවතින විසදෘශ්‍යය යි.” නමුත්, මෙකී විඥානවාදී අභිමානය එතුල ම එහි දඬුවම ද දරා සිටී. ඉතිහාසය තොමෝ, ඇය විසින් තොල්ස්තෝයි ප්‍රයෝජනයට ගැනුනු පරිදි, ඔහුගේ ම අභිමතයට එරෙහිව මෙතරම් කුරිරු ලෙස ප්‍ර‍යෝජනයට ගත් වෙනත් ලේඛකයෙකු ගැන සඳහන් කිරීම දුෂ්කර ය.

සුචරිතවාදියෙකු ද, ගූඪවාදියෙකු ද, දේශපාලනයෙහි හා විප්ලවයෙහි සතුරෙකු ද වන හෙතෙම සිය විවේචනයන් මගින් පෝෂනය කරනුයේ ජනප්‍රියවාදී නිකායන් බොහොමයක අලාමුලා වූ විප්ලවීය විඥානය යි.

යුරෝපීය හා ඇමරිකානු ධනේශ්වරයෙහි කාරුනික පිලිගැනීමට බඳුන් වුව ද සකලවිධ ධනේශ්වර සංස්කෘතිය පිටු දකින හෙතෙම සිය දේශනාවන් මගින් ඔවුන්ගේ ම නිෂ්ඵල මානවහිතවාදය සිතුවමට නගනුයේ, විප්ලවවාදී පෙරලිකාරීත්වයේ දර්ශනයට එරෙහිව මානසික පලිහක් ද සහිතව ය.

ගතානුගතික අරාජකවාදියෙකු හා ලිබරල්වාදයෙහි මාරක සතුරෙකු වන තොල්ස්තෝයි, සිය අසූවෙනි ජන්ම දිනයේ දී, රුසියානු ලිබරල්වාදයේ ඝෝෂාකාරී හා ප්‍රවනතාමය කලඑලි බැසීම වෙනුවෙන් තෙමේ ම යානයක් හා බැනරයක් වෙයි.

ඉතිහාසය ඔහු පරදවා ජයග්‍රහනය කල ද, ඔහු විනා‍ශ කිරීමට එය සමත් නො වීය. මෙකල වුව, එනම්, ඔහු ශාරීරිකව පිරිහෙමින් සිටින අවදියෙහි පවා සදාචාරමය අවඥාව උදෙසා සතු මහඟු කුලසලතාව නො සිඳී සංරක්ෂිතව ඇත.

සිය හනමුවා දැලින් අප රටෙහි සූර්යයා සහදට ම මුවා කිරීමට මාන බලන ප්‍රතිවිප්ලවයෙහි - වාර්තාගත පරිදි, දුෂ්ටතම හා ඉතා ම සාහසික ප්‍රතිවිප්ලවයෙහි20 රශ්මිය මැද, පරිහාසයේ හුස්ම හිර කරවන වාතාවරනය සහ බියසුලු නිල මහජන මතය මැද, ක්‍රිස්තියානි පොදු සමාවෙහි මේ අවසන් ධර්ම දූතයා, බයිබල් වක්තෘන් කෙරෙහි කෝපාග්නිය මොලවමින් මට නිහඬව සිටිය නො හැක (I cannot keep silent) නමැති පොත් පිංච දමා ගසනුයේ අලුගෝසුවන් ලෙස සේවය කරන්නන්ගේ හිස් මතට එල්ල ‍කෙරෙන ශාපයක් ලෙස හා නිශ්ශබ්දව සිටින්නන් හෙලා දැකීමක් ලෙසිනි.

අපගේ විප්ලවවාදී අරමුනුවලට අනුග්‍රහශීලීව සවන් දීම ඔහු ප්‍රතික්ෂේප කලත් ඒ මන්දැ’යි - ඉතිහාසය, ඇගේ විප්ලවීය මං පෙත් පිලිබඳව ඔහු‍ට අවබෝධයක් ලබා දීම පෞද්ගලිකව ප්‍රතික්ෂේප කල නිසා බැව් අපි දනිමු. අපි ඔහු හෙලා නො දකිමු. එසේ ම, මානව කලාව පවතින තාක් නො නැසෙනසුලු ඔහුගේ ශ්‍රේෂ්ට සුධීමත්භාවය පමනක් ම නොව උන්ගේ කුහක පල්ලියෙහි, උන්ගේ සමාජයෙහි හා උන්ගේ රාජ්‍යයෙහි ශ්‍රේනිධරයන් අතර යෙහෙන් වැජඹීමට තමාට ඉඩ හරිනු වෙනුවට, තමාට බුහුමන් දක්වන ගනන් නැති පිරි‍ස් අතරෙහි හුදෙකලාව විසීමට තීන්දු කල ඔහුගේ නො නැමෙනසුලු සදාචාරාත්මක චිත්ත ධෛර්යය ද කරනනොටගෙන අපි ඔහු සෑම කල්හි ම අගය කරමු.

සටහන්:

1. හයින්රික් හයින් (1797-1856): ජර්මානු කවීන්ද්‍රයෙකි; ගී පද රචකයෙකි.

2. තොල්ස්තෝයිගේ දේහය භූමදාන කෙරුනු, ඔහු පදිංචිව සිටි නිවාසය හා වතුයාය මෙනමින් හැඳින්වෙයි.

3. දැන් මෙය තොල්ස්තෝයි කෞතුක‍ාගාරයකි.

4. බෝග වැවීමෙහි කොඳු කැඩෙන මහන්සිය සිහි ගන්වන යෙදුමකි.

5. ග්ලෙබ් උස්පෙන්ස්කිගේ භූමි විජිතයෙහි චරිතයකි.

6. යුද්ධය හා සාමය ලිවීම සැබවින් ම ඇරඹුනේ 1864 දී ය.

7. පැරනි තෙස්තමේන්තුවේ පලමු පොත් පහ හඳුන්වන ග්‍රීක වදනකි.

8. සැමුවෙල් ස්මයිල්ස් (1812-1904): ස්වයං-අභිවෘද්ධිය පිලිබඳ ජනප්‍රිය කෘති රචනා කල ස්කොට් ජාතික ගත් කතුවරයෙකි. එම කෘතීන්හි දේශනා කෙරුනේ, ඒකපුද්ගල ව්‍යවසාය හා වික්ටෝරියානු “වැඩ පිලිබඳ දේව වාක්‍යය” යි.

9. මැක්ස් නොර්ඩාවු (1849-1923): සම්මත ව්‍යවහාරය අනුගමනය කල හංගේරියානු ලේඛකයෙකි; පරිහානිය (Degeneration) නමැති සිය නවකතාව මගින් සුධීමත්භාවය හා පරිහානිගත වීම අතර සබඳතාවක් පෙන්වීමට වෑයම් කලේ ය.

10. සෙ‍සාරේ ලොම්බ්‍රොසෝ (1836-1909): “අපරාධකරුවෝ, අඩක් අතීතාහරනය (atavism) හේතුවෙන් ද, අඩක් පරිහානිය හේතුවෙන් ද, සාමාන්‍යයෙන් නිශ්චිත කායික හා මානසික ගතිලක්ෂන පෙන්නුම් කරති” යන මතය දැරූ ඉතාලි රහස් පරීක්ෂකයෙකි.

11. ජනමාධ්‍යකරුවෙකු වූ ඒ. ඕ. මෙන්ශිකෝව් මුල දී මානවවාදී සදාචාරය පිලිබඳ ලිපි ලේඛන ලියූ නමුත් 1890 ගනන්වල දී ප්‍රතිගාමීත්වයෙහි හා සෙමිට් විරෝධයෙහි හොරනෑවක් විය.

12. බාරොන් හැමර්ස්ටීන්: ප්‍රතිගා‍මී රයිෂ්ටාග් නියෝජිතයෙක් ද, සෙමිට් විරෝධී පුවත්පතක කතුවරයා ද විය.

13. ආනෝල්ඩ් බොයෙක්ලින් (1827-1901): ස්විස් ජාතික භූමි දර්ශන සිත්‍තරෙකි.

14. ‍ෆෙඩ්රික් බැස්ටියාට් (1801-1850): නිදහස් වෙලඳ‍ාම වෙනුවෙන් පෙනී සිටි ප්‍රන්ස ආර්ථික-මාධ්‍යවේදියෙකි; සමාජවාදය ඇතුලු රාජ්‍යය මගින් පාලනය වන සෙසු ආර්ථික රූපාකාරයන්ට‍පහර දුන්නේ ය.

15. එපික්ටේටස් (ක්‍රි.ව. 55-135): ස්ටොයික ගුරුකුලයට අයත්ව සිටි රෝම දාර්ශනිකයෙකි.

16. දහනවවෙනි ශතවර්ෂයෙහි විසූ, මැන්චෙස්ටර් ගුරුකුලයට අයක් බෙල්ජියානු අර්ථශාස්ත්‍රඥයෙකි.

17. ලා ඔත් සේ (ක්‍රි. පූ. 16): පූර්ව-කොන්ෆියුසියානු යුගයෙහි චීන දාර්ශනික තා ඕ වාදයේ (Taoism) නිර්මාතෘවරය ය.

18. දෙවෙනි ෆෙඩ්රික් (1712-1786): ප්‍රශියානු අධිරාජයෙකි.

19. හාර්පගස් (ක්‍රි. පූ. 6): මීඩියානු අධිරාජ්‍යයේ අවසන් රජු ඇස්ටියගස් හට සේවය කල ජෙනරාල්වරයෙකි.

20. ට්‍රොට්ස්කි සඳහන් කරන්නේ, 1905 අසාර්ථක විප්ලවයෙන් අනතුරුව රුසියාව පුරා දියත් කෙරුනු මර්දනය පිලිබඳව ය.

Share this article: