ශී‍්‍ර ලංකා ආන්ඩුවේ අඛන්ඩ මාධ්‍ය මර්දනයට එරෙහි විරෝධතාවක්
By W.A. Sunil , 4 February 2012
ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අඛන්ඩ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යවේදීන් ඇතුලු 200කගේ පමන සහභාගිත්වයෙන් පසුගිය ජනවාරි 25 දා කොලඹ ලිප්ටන් වට රවුමේ දී විරෝධතාවක් පැවැත්වුනි. ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනය හා දෙමල මාධ්‍ය සන්ධානය ඇතුලු මාධ්‍ය සංවිධාන 7 ක එකතුවක් වූ මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂනයට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රමුඛත්වය දරන "නිදහසේ වේදිකාවේ”, ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳුන ජන අරගල කන්ඩායමේ හා ලංකා ගුරු සංගමය ඇතුලු වෘත්තීය සමිතිවල නියෝජිතයෝ ද එකතුව සිටියහ.
සංවිධායකයන් විසින් පෝස්ටර් මගින් කල් තියා ප්‍රචාරය කර තිබූ මෙම උද්ඝෝෂනයට විරුද්ධව ආන්ඩුවේ මාධ්‍ය ප්රකෝපකාරී අවලාද ව්‍යාපාරයක් කල් ඇතිව ම දියත් කර තිබුනි. එය "විදේශීය කුමන්ත්රනයක” කොටසක් බවත්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මෙහෙයවීමෙන් ගෙන යන ව්‍යාපාරයක් බවටත් අභූත චෝදනා නගමින් ප්‍රචාරයක් ගෙන යන ලදි.
කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ විරෝධතාවට එරෙහිව සීමා පනවමින් පොලීසිය උසාවි නියෝගයක් ලබා ගෙන තිබුනි. එමෙන් ම පොලු මුගුරුවලින් සන්නද්ධ දහසකට වැඩි ආන්ඩුවේ මැර කන්ඩායමක් එදින කොටුව දුම්රිය පොල ඉදිරිපිට රැස්වී සිටියේ ය. මෙම තතු යටතේ සිය විරෝධතාව ලිප්ටන් වට රවුමේ පැවැත්වීමට සංවිධායකයෝ තීන්දු කලහ. කෙසේවෙතත් මැරයෝ දුම්රිය පොල ඉදිරිපිට මාර්ගය අරක් ගනිමින් කිසිදු බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ගේ උද්ඝෝෂනය හෙලා දකිමින් පෙලපාලි දැක්වූහ.
"කලු ජනවාරිය” ලෙස නම් කෙරුන මාධ්‍යවේදීන්ගේ උද්ඝෝෂනයේ අරමුන වූයේ රාජපක්ෂ ආන්ඩුව යටතේ 2006 සිට 2010 දක්වා සෑම ජනවාරි මාසයක සිදු කෙරී ඇති මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම හා ආන්ඩුවේ පිටුබලය යටතේ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පෑම ය.
2005 රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ප්‍රහාරයට ලක්වූ ප්‍රථම මාධ්‍යවේදියා වුයේ, සුඩර් ඔලි පත්‍රයේ සුබ්‍රමානියම් සුගිර්ධරාජන් ය. "නාඳුනන තුවක්කුකරුවෙකු” විසින් 2006 ජනවාරි 24 දා ත්රිකුනාමලයේ දී ඔහු ඝාතනය කරන ලදී. එම ජනවාරි 2 දා පොලීසියේ විශේෂ කාර්යසාධක බලකාය විසින් ත්රිකුනාමලයේ දී ඝාතනය කල දෙමල ශිෂ්‍යයන් 5 දෙනාගේ ඡායාරූප දෙමල මාධ්‍යවලට සම්පාදනය කිරීම ඔහුගේ ඝාතනයට හේතු වූ බවට සැක කෙරේ.
ඉන්පසුව 2009 ජනවාරි 6 දා සිරස මාධ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ජනවාරි 8 දා සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුනි. 2010 ජනවාරි 24 දා කාටුන් ශිල්පියෙකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් විය. මෙම ප්රහාරයන්ගේ සියලු සලකුනු මගින් පෙන්නුම් කෙරෙන්නේ ඒවා ආන්ඩුවේ අනුදැනුම ඇතිව සිදු කෙරුන බවය.
රාජපක්ෂ 2006 දී එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි ඇරඹීමත් සමග යුද්ධය පිලිබඳ කිසිදු විවේචනයක් හෝ ඒ පිලිබඳව සත්‍ය තොරතුරු පල කිරීම ආන්ඩුවේ අතිශය උදහසට හේතු වූ කාරනයකි. ජනවාරි මාසවල සිදු වූ ප්‍රහාරවලට අමතරව තවත් දුසිමකට වැඩි සංඛ්‍යාවක් මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ඝාතනයන්ට හා ප්‍රහාරවලට ලක් වූ අතර මාධ්‍ය ආයතන ගනනාවකට ද මෙම වසර කීපය තුල ප්‍රහාර එල්ල විය.
මෙම අපරාධ සම්බන්ධව පරීක්ෂන කරගෙන යන බව ආන්ඩුව කියා සිටියත් අපරාධකරුවන්ට දඩුවම් කිරීම තබා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ද ආන්ඩුව අසමත්ව ඇත. එම අපරාධකරුවන් මේ දක්වා ම එලෙස නීති මුක්තියක් භුක්ති විඳීම, ආන්ඩුව හා එකී ප්‍රහාර අතර ඇති සම්බන්ධය තවදුරටත් තහවුරු කරයි.
"ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර හා මෙම අපරාධ ගැන නිසි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ආන්ඩුව දිගටම පෙන්නුම් කරන නොතැකීම පිලිගත නොහැකි” බව දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ආසියානු-පැසිපික් අධ්යක්ෂ ජැක්කුවෙලින් පාර්ක් මෑත දී නිකුත් කල ප්‍රකාශයක සඳහන් කලේය.
මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර අඛන්ඩව වර්ධනය වී ඇත. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුවත්, ආන්ඩුවේ ප්‍රහාර තීව්ර වීම නිසා පසුගිය වසර දෙක හමාර තුල දුසිමකට වැඩි මාධ්‍යවේදීන්ට රට හැර යාමට සිදුවිය. මාධ්‍ය ආයතන කිහිපයකට ද ප්‍රහාර එල්ල විය. "පුද්ගල චරිත ඝාතන” හා "ආන්ඩුවේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ ප්රවෘත්ති පල කරන” බවට චෝදනා කරමින් වෙබ් අඩවිවලට සීමා පැනවීමට හා ඇතැම් වෙබ් අඩවි තහනම් කිරීමට ආන්ඩුව පියවර ගෙන තිබීම මාධ්‍ය මර්දනය තව දුරටත් ඉදිරියට ගෙන යාමක් සනිටුහන් කරයි.
මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු-පීඩිත මහජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයේ කොටසකි. ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස ආන්ඩුවේ ආර්ථික දේශපාලන අර්බුදය වඩ වඩා තීව්ර කෙරෙන තතු තුල මහජනතාවගේ කවර හෝ ප්රජාතන්ත්ර අයිතියක් ඉවසා සිටීමට ආන්ඩුවට නො හැකිය. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුයමින් ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව බරපතල මහජන විරෝධයක් හා පන්ති අරගල වර්ධනය වීමේ කොන්දේසි යටතේ ආන්ඩුවේ පිලිවෙතට එරෙහි විරුද්ධත්වයන් මැඩලීමට වඩ වඩා පොලිස් රාජ්‍ය විධික්රම යොදා ගැනීමට ආන්ඩුව නැඹුරුවී ඇත්තේ එහෙයිනි.
කෙසේවෙතත්, ජනවාරි 25 දා විරෝධතාව සංවිධානය කල මාධ්‍ය සංවිධානවලට ආන්ඩුවේ මාධ්‍ය මර්දනය ඇතුලු පොලිස්-රාජ්‍ය සැලසුම්වලට එරෙහිව සටන් වැදීමේ වැඩපිලිවෙලක් නැත. එදින ඔවුන්ගේ සැලැස්ම වී තිබුනේ, පිකට් උද්ඝෝෂනයකින් පසුව අරලියගහ මන්දිරය දක්වා පෙලපාලියකින් ගොස් වරදකරුවන්ට දඬුවම් පමුනුවන ලෙස බල කෙරෙන පෙත්සමක් ජනාධිපති රාජපක්ෂට බාර දීම ය. එලෙස ආන්ඩුවට ආයාචනා කිරීමෙන් මාධ්‍ය මර්දනය ඇතුලු ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි ප්‍රහාර නතර කල නොහැකිය.
අනෙක් අතට දක්ෂිනාංශික එජාපය, සහ ජන අරගල කන්ඩායම සමග පෙලගැසීමෙන් මාධ්‍ය මර්දනය පරාජය කල නොහැකිය. එජාප සම්බන්ධයෙන් ගත හොත්, බලයේ සිටි කාල පරිච්ඡේදවල දී, මාධ්‍යවේදීන් ඝාතනය ඇතුලු මාධ්‍ය මර්දනය ද පොදුවේ ප්රජාතන්ත්ර අයිතීන්ට ද කම්කරු-පීඩිත ජනයාට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාර ද සම්බන්ධ කුප්‍රකට ලේවැකි වාර්තාවක් එයට පවතී. එජාපය දැන් රාජපක්ෂ ආන්ඩුවේ මර්දනයට ලක්ව ඇති මාධ්‍යවේදීන් ගැන කිඹුල් කඳුලු හෙලන්නේ, ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අතෘප්තිය සිය දේශපාලන වාසියට ගසා කෑමේ වුවමනාවට ය.
ජන අරගල කන්ඩායම, එකල ජවිපෙ කොටස්කරුවන් ලෙස, 2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමට මුලු වැර යොදා වැඩ කල අතර ඔහු එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි ඇරඹූ පසු යුද්ධයේ පෙරමුනේ කසකරුවන් ලෙස, ආන්ඩුවේ මාධ්‍ය මර්දනයට ද මුලුමනින්ම සහාය දුනි. යුද්ධය ගැන යම් ආකාරයක හෝ විවේචනය කල ඒ ගැන යම් සත්‍ය තොරතුරු පල කල මාධ්‍ය ආයතන "මාධ්‍ය කොටි” ලෙස හංවඩු ගසමින් එකල ජවිපෙ රාජපක්ෂ ආන්ඩුව සමග විවෘතව පෙලගැසුනි.
එජාප හා ජන අරගල කන්ඩායම සමග පෙලගැසීමෙන් මාධ්‍ය සංවිධාන එම දක්ෂිනාංශික ප්රතිගාමී බලවේගවලට ප්රජාතන්ත්රවාදී සලුපිලි අන්දවයි.
Follow us on