ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එරෙහි ප්‍රහාරයක්

A blow against the Post-Soviet School of Historical Falsification

By Wolfgang Weber, 31 December 2011

රොබට් සර්විස් විසින් 2009දී රචිත ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානයේ ජර්මානු සංස්කරනය, සූර්කාම්ප් වර්ලැග් ආයතනය මගින් ප්‍රකාශයට පත්කිරීමට විරෝධය පල කරමින්, ජර්මනියේ ද ඔස්ට්‍රියාවේ හා ස්ව්ට්සර්ලන්තයේ ඉතිහාසඥයින් හා දේශපාලන විද්‍යාඥයින් 14 දෙනෙක් විවෘත ලිපියක් යවා ඇත.

ලිපියේ එක් කතුවරයෙක් වන, මෑන්හෙයිම්හි සමකාලීන ඉතිහාසය පිලිබඳ මහාචාර්ය හර්මන් වෙබර්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග පැවැත්වූ සාකච්ඡාවක දී සිය මැදිහත්වීම මෙසේ යුක්ති සහගත කලේ ය. “එය ට්‍රොට්ස්කිගේ දේශපාලන කටයුතු හා දෘෂ්ටීන්ට එරෙහිව තර්ක කරන නිසා නොව, එසේ කිරීමට ඕනෑම අයෙකුට සැබවින්ම නිදහස තිබේ, බොරු, මුසාකරන, සැකකටයුතු ප්‍රකාශ හා සමහර විට, යු‍ෙදව් විරෝධී අගතීන් පවා සර්විස් විසින් ගෙනහැර දක්වා ඇති බැවින්ය. සූර්කාම්ප් වැනි ලිබරල් සම්ප්‍රදායක් හා ඉතිහාසයක් තිබෙන ශාස්ත්‍රාලික ප්‍රකශන ආයතනයක් තුල එවන් කෘතීන් වෙනුවෙන් ඉඩක් නොතිබිය යුතුය.”

සිය ලිපියෙන් විද්‍යාඥයින් 14 දෙනා, සර්විස්ගේ කෘතිය සවිස්තරාත්මක හා ප්‍රවේශම් සහගත පරියේෂනාත්මක විවේචනයකට හසු කල ඩේවිඩ් නෝර්ත් එලඹී නිගමනය සමග එකඟ වෙති. (1) කීර්තිමත් ඓතිහාසික සඟරාවක් වන ද ඇමෙරිකන් හිස්ටොරිකල් රිවිව් හි 2011 ජූනි කලාපයේ පල කල ලිපියකින් එක්සත් ජනපද ඉතිහාසඥ බර්ට්‍රන්ඩ් එම්. පැටිනෝඩි ද ඒ අකාරයට ම නෝර්ත්ගේ විවේචනයට සහාය දැක්වී ය.

සර්විස්ගේ පොත පලකිරීම වසරකින් ම ප්‍රමාද කිරීමට පියවර ගැනීමෙන් සූර්කාම්ප් වර්ලැග් නියත වශයෙන් ම විවේචනයේ නිවැරදි බව පිලිගෙන තිබේ. මෙය හුදෙක්, සාපේක්ෂව ඉක්මනින් නිවැරදි කල හැකි කාරනාමය දෝෂ හා වැරදි අර්ථ කථන පිලිබඳ කාරනාවක් නොවන බව පිලිගැනීමකට සමාන ය. ඊට විපරීතව හිතාමතා ගොතන ලද මෙම කෘතියෙහි ස්වභාවය හුදෙක් “නිවැරදි කර දැමිය හැකි” නොවේ. එය, විද්‍යාත්මක ලෝකය තුල ප්‍රකාශකයා මෙන්ම ආයතනයේ පාඨකයින් ද එහි ම කතුවරුන් ද අපකීර්තියට පත්කිරීමට තර්ජනය කරයි.

මුලින් නිවේදනය කල පරිදි කෘතිය 2012 ජූලි මාසයේ දී එලි දකියි ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් එක් දෙයක් නිශ්චිතය: ඒ රොබට් සර්විස් විද්‍යාඥයෙකු ලෙස අපකීර්තියට පත්වී අවසාන බවය. ඒ දෙයම මාධ්‍ය තුල, විද්‍යාත්මක සඟරාවන්හි, හා විශ්ව විද්‍යාලවල ඔහුගේ පොත වර්නනා කල අයට ද වලංඟු ය. ඔවුන් එසේ කලේ, පුද්ගලයෙකු ලෙසත්, ලෝක ඓතිහාසික චරිතයක් ලෙසත් ලියොන් ට්‍රොට්ස්කි “සහමුලින්ම වනසා දැමීම” වන සර්විස්ගේ ප්‍රකාශිත අරමුන සමග ඔවුන් ද එකඟ වන බැවින්ය.

එබැවින් ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයට එල්ල වූයේ ද දැවැන්ත පහරකි. සෝවියට් සංඟමය බිඳ වැටීමෙන් ඉක්බිත්තෙහි මෙම ගුරුකුලයේ ඉතිහාසඥයෝ, ඔවුන් අතරට රුසියාවේ ඩිමිත්‍රි වොල්කොගොනොව්, එක්සත් ජනපදයේ රිචඩ් පයිප්ස්, බ්‍රිතාන‍්‍යයේ ජෙෆ්රි ස්වේන් හා ඉයන් තැචර් ද ගැනේ, ස්ටැලින්වාදයේ අතිශයින්ම තිරසාර මාක්ස්වාදී විරුද්ධවාදියාගේ අදහස්වලින් තරුන පරම්පරාව කපා හැරීම පිනිස ට්‍රොට්ස්කි පිලිබඳව පැරනි ස්ටැලින්වාදී බේගල් හා මුසාකරන ඔප දැමූහ.

සෝවියට් සංඟමයේ, නැගෙනහිර යුරෝපයේ හා චීනයේ ධනේශ්වර සම්බන්ධතා යලි හඳුන්වා දීමට විකල්පයක් නැතැයි යන මතය ගොඩනැඟීමේදී මෙය වැදගත් ක්‍රියා කලාපයක් ඉටුකරන ලදී. මොස්කව් හා බීජිං යන දෙවර්ගයේ ම විවිධාකාර හිටපු ස්ටැලින්වාදීහු ද ඇතුලු බොහෝ බුද්ධිමත්තු, මෙම රටවල ධනවාදය යලි හඳුන්වාදීම, ස්ටැලින්වාදීන්ගේ දශක ගනනාවක ප්‍රතිවිප්ලවවාදී කටයුතුවල ප්‍රතිපලයක් බව නොපිලිගනිති. බටහිර ආන්ඩු හා මාධ්‍යයේ තාලය අල්ලමින් ඔවුන් ද කියා සිටියේ මෙය “සමාජවාදයේ අසාර්ථකත්වයට” නිදසුනක් බවය. බටහිර බලවතුන් තම ප්‍රති කොමියුනිස්ට්වාදය පැලපදියම් කිරීමේ දී සේම ස්ටැලින්වාදීහු ද සිය පාලනය යුක්ති සහගත කිරීමේ මාධ්‍යයක් ලෙස ස්ටැලින්වාදය සමාජවාදය සමඟ අනන්‍ය කල 20 සියවසේ මහා බොරුව වමාරා කෑහ.

පොදු සමාජ පරිහානිය, කිව නොහැකි තරමේ සමාජ අසමානතාවය හා සාපරාධී ආර්ථික ව්‍යුහයන් සහිත මෙම රටවල ධනේශ්වර පුනස්ථාපනයේ අද දවසෙහි ප්‍රතිවිපාක, 1930 ගනන්වලින් මෙපිට ලෝක ධනවාදයේ ගැඹුරුතම අර්බුදය සමග සම්පාත වෙයි. නැගෙනහිර මෙන්ම බටහිර ජනගහනයේ පුලුල් ස්ථර සමාජ විකල්පයක් සොයමින් සිටිති. මෙම වාතාවරනය හමුවේ ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගැරුකුලය, තරුන පරම්පරාව සමාජවාදී ඉදිරිදර්ශනයකින් ඈත්කර තැබීම පිනිස වඩාත් වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කරයි.

වසර බොහෝ ගනනක් තිස්සේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම ගුරුකුලයට එරෙහිව ක්‍රමානුකූල න්‍යායික ප්‍රහාරයක් ගෙනගොස් තිබේ. සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිවාදී වාම විපාර්ශවයේ දැවැන්ත වැදගත්කම සවිස්තරාත්මකව ඉදිරිපත් කල, Was There An Alternative? (විකල්පයක් තිබුනේ ද?) යන වෙලුම් හතක කෘතියක් සම්පාදනය කල රුසියානු ඉතිහාසඥ වාඩිම් රොගෝවින් සමග සමීප සහයෝගයෙන් 1990 ගනන්වල එය, වොල්කොගොනොව්, පයිප්ස්, ස්වේන් තැචර් හා සර්විස්ගේ කෘතීන් ප්‍රවේශම් සහගත විවේචනයකට ලක්කර තිබේ.

දැන් මෙම ප්‍රහාරාත්මක ව්‍යායාමය දේශපාලන හා ඓතිහාසික විද්‍යා පිලිබඳ වෘත්තීය කවයන් තුල අනුනාදය වෙමින් තිබේ. ට්‍රොට්ස්කි කෙරෙහි එකිනෙකාගේ දේශපාලන ආකල්ප නොතකා ඉතිහාසඥයින් 14 දෙනෙක් ඓතිහාසික සත්‍යය, විද්‍යාත්මක ප්‍රමිතීන් හා ඉතිහාස ලේඛන‍ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකව සහභාගී වෙමින් මූලධර්මාත්මක ආස්ථානයක් ගැනීමට ඉදිරිපත්වීම, සමකාලීන බුද්ධිමය ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් පිලිබඳ වැදගත් ඇඟවුමකි.

විසි වසරකට පෙර සෝවියට් සංඟමය බිඳ වැටීමෙන් පසුව, බුද්ධිමය ජීවිතය හැඩ ගන්වනු ලැබුවේ, අතීතයේ ඓතිහාසික සත්‍යය සමග විවෘත ගැටුමකට යාම හා විශ්ව විද්‍යාල තුල මෙන්ම ගුරුකුලයන් තුලත් ඉතිහාසය පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයක යෙදීම දුෂ්කර කටයුත්තක් බවට පත් කල අතීශයින්ම ප්‍රතිගාමී වාතාවරනයක් මගිනි. ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය හා අනෙකුත් දර්ශනවාදී ගුරුකුලයන් හා ඉතිහාසය පිලිබඳ න්‍යායන් මාක්ස්වාදයට හා විද්‍යාවට මෙන්ම පොදුවේ බුද්ධි ප්‍රබෝධයට ද එරෙහිව යොමු කරන ලද අතර දැන් එහි පුනර්ජීවනයක් අත්දකිමින් තිබේ.

මෙම ගුරුකුලයන් 20 වන සියවසේ ව්‍යසනයන්හි හේතු, සමාජ ප්‍රජාතන්ත්‍ර හා ස්ටැලින්වාදී නිලධරයන්ගේ පිලිවෙත්වල ප්‍රතිපල වශයෙන් කම්කරු පන්තිය මුහුන දුන් පරාජයන් මගින් නිර්මානය කල දේ නොව, බුද්ධි ප්‍රබෝධයේ, ස්වභාව ධර්මයේ හා සමාජයේ විද්‍යාත්මක දැනුම සොයා යාම නිසා ඇතිවූ දේ බව විශ්වාස කලේය. වෛෂයික සත්‍යය හදුනා ගැනීමේ විද්‍යාවෙහි අරමුන හඳුන්වන ලද්දේ, “ඕනෑවට වැඩි දෙයක්” ලෙස ය. දුප්පත්කම, වසංගත, නූගත්කම හා සමාජ අසමානත්වය ජයගැනීමට නූතන විද්‍යාවේ හා තාක්ෂනයේ අසීමිත වර්ධනය හා භාවිතය යොදාගැනීම, “සමාජයට තර්ජනයක්” හා සමහර විට “ඒකාධිපති ආඥාදායකත්වයන් සඳහා පදනම” ලෙස පවා සලකනු ලැබුනි.

ස්ටැලින්වාදයට විකල්පයක් නොතිබුනේය හා 1917 විප්ලවය ස්ටැලින්වාදී ආඥාදායකත්වයට තුඩුදීම නොවැලැක්විය හැකිව තිබුනේ ය යන ප්‍රකාශ බැඳී තිබුනේ, විවේචනාත්මක ඓතිහාසික අධ්‍යයනයක් ප්‍රතික්ෂේප කිරීම හා වෛෂයික සත්‍යය හෝ වෛෂයික පොදු සම්බන්ධතා කියා දෙයක් නැතැයි යන සංකල්පයට ය.

හේඩ්න් වයිට් වැනි මෙම ගුරුකුලයේ චින්තකයින්, ඓතිහාසික සන්දර්භයන් පිලිබඳ විද්‍යාත්මක පිලිගැන්වීම් “මිත්‍යාවේ” ආකෘතියක් වන්නේ යයි විස්තර කලේය. රොගර් චාටියර්, ඉතිහාසය සමාජ සංවර්ධනයේ වෛෂයික යථාර්තයක් සමග කටයුතු නොකල බවත්, හරඹ කලේ ඉතිහාසයේ ආත්මීය සංකල්ප (නියෝජනයන්) සමඟ, එනම් එහි සාක්ෂිකරුවන්ගේ හා පසු පැවතෙන්නවුන්ගේ අර්ථකථනයන් සමග බවත් ප්‍රකාශ කලේය.

බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහචාර්ය වරයෙකු හා ජර්මනියේ මෙම ආත්මීයවාදී ගුරුකුලයේ කථිකයෙකු ද වන ජොර්ග් බාබරොව්ස්කි මෙම නිගමනයට එලඹුනේ ය. “අපට ඉතිහාසයෙන් ඉගෙනගත හැකිය යන කාරනය කල් යාමේදී මිත්‍යාවක් වන්නේය.... දේවල් සැබවින්ම පැවතියේ කෙසේ ද යන්න පෙන්වා දීමට ඉතිහාසඥයින් කරන ප්‍රකාශ, යථාර්තයේදී මිත්‍යාවක් වන බව සනාථ කෙරී තිබේ. මූලාශ්‍රයන් තුල ඉතිහාසඥයා මුහුන ‍ෙදන්නේ කුමකට ද යන්න අතීතය නොවේ...අතීතය වනාහි නිර්මානයකි.” වෙනත් තැන්වල ඔහු මෙසේ ලියා ඇත. “සත්‍යය වන්නේ මම හා අනෙකුත් අය සත්‍යය ලෙස ගන්නා දෙයයි. එසේම එකිනෙකාට සත්‍යය ලෙස වැටහෙන දෙයයි. එබැවින්, බහුවිධ යථාර්තයන් පවත්නා බව අප පිලිගත යුතුය, එය රඳා පවත්නේ, කවරු කා සමග, කුමක් අරභයා, කුමන තර්ක යොදාගෙන කථාකරන්නේ ද යන්න මතය. (2)

මෙම ප්‍රවිෂ්ටය, සිය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මූලාශ්‍ර හා ලිපි ලේඛන වෙනස් කල, මුසාකරනය කල හෝ ඒවා යටපත් කල ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරුකුලයේ න්‍යායාචාර්ය වරුන්ගේ අත් නිදහස් කර දුන්නේ ය. බාබරොව්ස්කිට නම් මෙය යෙදෙන්නේ, “අතීතය පිලිබඳ නිර්මානයක්” වන දෙයක් පවා “විවිධ යථාර්තයන් අතුරෙන් එකක්” හා “සත්‍යය” නම් අනෙකුත් “ඉතිහාසඥයින්” එය බෙදාහදා ගන්නා තාක් දුරට පමනකි යනාදී වශයෙනි.

ඓතිහාසික සත්‍යය පිලිබඳ මුග්ධත්වය හා සතුරුකමින් හෙබි මෙම වාතාවරනය තුල ලියොන් ට්‍රොට්ස්කිට එරෙහි සිය අපභාෂනය සුරක්ෂිත බවට හැඟීමක් රොබට් සර්විස් තුල ඇතිව තිබුනු අතර ම, එය උද්‍යෝගයෙන් පිලි නොගත්තත්, මාධ්‍ය හා අනෙකුත් ඉතිහාසඥයින්ගේ අගැයීමට ලක්ව “ඔහුගේ සත්‍යය” බාර ගැනෙනු ඇති බවට විශ්වාසයක් ඔහු තුල පැවතුනි. ඔහු හෝ ඔහුගේ ප්‍රකාශකයා ඔවුන්ගේ මුග්ධත්වය නිසාම ඩේවිඩ් නෝර්ත් විසින් විස්තීර්නව, ප්‍රවේශම් සහගතව ලියා ඉදිරිපත් කල විවේචනයට කිසිදු අයුරකින් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවක් නොපෙන් වීය.

එහෙත් සර්විස් පොට වරද්දා ගත්තේය. පශ්චාත් නිර්මානකරුවන් ද පශ්චාත් නූතනවාදීන් ද පශ්චාත් සෝවියට් කූටානුකරනවාදීන් ද ඉතිහාසයේ වෛෂයිකත්වය පිලිකෙව් කිරීමට කැමැත්තක් දක්වනවා විය හැකි නමුත් එයින් ඔවුන් ගල ග්‍රහනයෙන් ගැනීමෙන් ඉතිහාසය වලක්වන්නේ නැත. රොබට් සර්විස්ගේ කෘතිය මහා බ්‍රිතාන්‍යයේ ද 2009දී එක්සත් ජනපදයේදී ද 2010දී ස්පාඤ්ඤයේදී ද පලකරනු ලැබීමෙන් පසුව සිදුව ඇත්තේ කුමක් ද? එය අපේක්ෂා කල අවිවේචනාත්මක අගැයීමකට ලක්ව තිබේ ද?

දශක ගනනාවකට පසුව ප්‍රථම වතාවට 2011ආරම්භයේ පැනනැඟි ඊජිප්තු විප්ලවය දේශපාලන ක්‍රියාවලිය තුලට මැදිහත් වෙමින් යලි වතාවක් වැඩකරන ජනතාව ඉතිහාසයේ වේදිකාවට ගෙනැවිත් තිබේ. මෙය ලෝකය පුරා තරුන කම්කරු පන්තික කොටස් විරෝධතාවන්ට පෙලඹවූ අතර සමාජ අසමානතාවයට එරෙහි අරගලය තුල ඒකරාශී කර ඇත. බුද්ධිමය ජීවිතය තුලට ද නවමු සුලං රැල්ලක් හමා ගියේය. ලෝක සමාජවාදී විප්ලවයේ න්‍යායාචාර්ය වරයා ද විප්ලවවාදී ජනතාවන්ගේ නායකයා ද වන ලියොන් ට්‍රොට්ස්කි ඓතිහාසික මුසාකරනයන්ගෙන්, මඩ ගැසීමෙන් හා වර්ගවාදී මනෝගතීන් ඇවිස්සීමෙන් තවදුරටත් පෑගිය නොහැකිය.

සූර්කාම්ප් ප්‍රකාශන ආයතනය වෙත යොමුකල ඉතිහාසඥයින් 14 දෙනාගේ ලිපිය ලියොන් ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය හා සෝවියට් බලයේ නැඟීම හා වැටීම පිලිබඳ අවංක හා සවිස්තරාත්මක විමසුමකට දොර විවර කර ඇත. තරුනයින් හා කම්කරුවන් සඳහා එවන් කර්තව්‍යයක් තීරනාත්මක ය. අතීතය වටහා ගැනීම වර්තමානයේ දිශාවනතිය සකස්කර ගැනීමේ හා ප්‍රගතිශීලී ආකාරයකට අනාගතය හැඩ ගස්වා ගැනී‍ෙම් පදනමයි.

රොබට් සර්විස්ගේ කෘතිය පලකිරීමේ සැලැසුම් අතහැර දමන ලෙස අපි සූර්කාම්ප් වර්ලැග් වෙතින් ඉල්ලා සිටිමු. එසේම අපි ඉතිහාසඥයින් හා දේශපාලන විද්‍යාඥයින් 14 දෙනාගේ ලිපියට සහාය දක්වන ලෙස ශාස්ත්‍රාලිකයින්ගෙන් හා ශිෂ්‍යයින්ගෙන් ඉල්ලන්නෙමු. කරුනාකර psg@gleichheit.de වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සූර්කාම්ප් වර්ලැග් වෙත ඉදිරිපත් කිරීම පිනිස ප්‍රකාශ හා ලිපි යවන්න.

සටහන්:

1) බලන්න: ඩේවිඩ් නෝර්ත්, In defence of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා), මෙහ්රිංග් පොත් 2010.

2) Die Entdeckung des Unbekannten--Russland und das Ende Osteuropas in Geschichte ist immer Gegenwart (The discovery of the unknown--Russia and the end of Eastern Europe in History is Always Present) (අඥාතය සොයාගැනීම -- ඉතිහාසය තුල රුසියාව සහ නැගෙනහිර යුරෝපයේ අවසානය සැමවිටම සමකාලීනය), ස්ටුට්ගාර්ට් 2001, 10පි. ජෝර්ග් බබර්වොස්කි, Der Sinn der Geschichte (The Meaning of History) (ඉතිහාසයේ අර්ථය), මියුනිච්, 2005, 28 හා 30 පිටු.

Share this article: