කහටගහ මිනිරන් පතල් කම්කරුවෝ කප්පාදුවලට එරෙහි ව අරගලයට පිවිසෙති
කපිල ප්‍රනාන්දු සහ ඩබ්ලිව්. ඩී. සෝමසිරි විසිනි,2013 අපේ‍්‍රල් 25
දීමනා කප්පාදුව, පහල වැටුප් මට්ටම් හා රැකියා ස්ථිර නො කිරීමට එරෙහිව කුරුනෑගල, දොඩන්ගස්ලන්දේ පිහිටි රජයට අයත් කහටගහ මිනිරන් පතලේ 70ක් පමන කම්කරුවෝ පසුගිය 18 දා වැඩ නතර කර පතල තුල උපවාසයක් ආරම්භ කලහ. නිවෙස්වල සිටි කම්කරුවන් නැවත පතලට ඒම වැලැක්වීමට හා කම්කරුවන් බිය වැද්දීම සඳහා පාලනාධිකාරිය පතල් පරිශ්‍රයට පොලිසිය කැඳවීය. මාධ්‍යවලට ද පතල් පරිශ්‍රයට ඇතුලුවීමට ඉඩ නො දුන්නේ ය.
කප්පාදුවකින් තොර ව අවුරුදු දීමනාව ලබා දීම, වැටුප් වැඩි කිරීම හා සේවය ස්ථිර කිරීම වර්ජකයන්ගේ මූලික ඉල්ලීම් විය. තම ඉල්ලීම්වලට සාධාරන විසඳුමක් ලැබෙන තුරු වර්ජනය හා උපවාසය පෙරට ගෙන යාමට කම්කරුවෝ බලාපොරොත්තු වූහ.
වහා ම මැදිහත් වූ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීහු හා කුරුනෑගල කම්කරු කොමසාරිස් ඉල්ලීම් ලබා දෙන බවට පොරොන්දු වී වර්ජනය නතර කිරීමට කම්කරුවන් එකඟ කරවා ගත්හ. කහටගහ පතලේ පවත්නා ආකාරයේ රුදුරු කොන්දේසි සෑම ස්ථානයක ම ස්ථාපිත කිරීමට වලිකන ආන්ඩුව මෙවන් ස්ථානීය වර්ජනයක් පවා නො ඉවසන අතර, වර්ජනය දිග් ගැස්සීම වැලැක්වීම සඳහා ආන්ඩුවේ ද අනුදැනුම ඇති ව මෙම මැදිහත්වීම සිදු කෙරුනු බව පැහැදිලි ය.
සාකච්ඡාවට සහභාගී වූ කම්කරුවෙක් ප්‍රකාශ කල ආකාරයට අත් හිටවූ අවුරුදු දීමනාව ලබා දීමටත්, කැබිනට් තීරනයකට පසුව සේවය ස්ථීර කිරීමටත්, කම්කරු කොමසාරිස් සහ අමාත්‍යංශ නිලධාරීන් පොරොන්දු වී තිබේ. එහෙත් රජයේ වැටුප් කමිටු නිර්දේශවලට අනුව "උපරිම වැටුපක්” ගෙවන නිසා වැටුප් වැඩිකල නො හැකි බව කියා ඇත. මීට ඉහත දී ද ලාබයෙන් සියයට දහයක දීමනාවක් දෙන්න කර්මාන්ත ඇමැති පොරොන්දු උනත් එය නො ලැබුන බව ඔහු කීවේ ය.
පොරොන්දු පරිදි කම්කරුවන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නො වනු ඇත. ඒ වෙනුවට ඔවුන්ට සිදුවනු ඇත්තේ, රැකියා හා ජීවන කොන්දේසි වඩ වඩා නරක අතට හැරීමේ කොන්දේසිවලට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමන ව්‍යසනකාරී ආර්ථික කප්පාදු පිලිවෙත්වලට මුහුන දීමට ය.
කුරුනෑගල සිට කිලෝ මීටර් 30ක් පමන ඊසාන දිගින්, දුෂ්කර මදුරාගොඩ ගමේ කහටගහ පතල පිහිටා තිබේ. පතලේ වැඩකරන කම්කරුවෝ අවට ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය. ප්‍රදේශයේ සෙසු ජනයාගෙන් සමහරෙක් වැසි ජලයෙන් වී සහ සුලුභෝග වගාවේ යෙදෙන අතර සෙස්සෝ අවට පිහිටි මහාපරිමාන පොල්වතුවල කුලී කම්කරුවන් ලෙස වැඩ කරති.
අඩි 2000 ක් පමන ගැඹුරකින් යුතු කහටගහ පතල ලොව ගැඹුරු ම මිනිරන් පතල්වලින් එකකි. එහි නිපදවනු ලබන මිනිරන් තත්වයෙන් ඉහල ය. එහෙත් එවන් ගැඹුරු පතලක තිබිය යුතු මූලික ආරක්ෂක පහසුකම් පවා නොමැති බවට කම්කරුවෝ චෝදනා කරති. කම්කරුවන්ගේ සේවා කොන්දේසි හා වැටුප් පවතින්නේ ඉතා පහල මට්ටමක ය.
පලපුරුදු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 630ක් පමනක් වන අතර මාස හයකට පෙර බඳවා ගත් තරුන කම්කරුවකුගේ වැටුප රුපියල් 490 කි. පතලේ මුලු කම්කරු සංඛ්‍යාව 110 වන අතර 2006 සිට මේ දක්වා ඔවුන් ස්ථීර කොට නොමැති වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ඇතුලු අවශේෂ රාජ්‍ය අංශයේ කම්කරුවන්ට ලැබෙන සොච්චම් දීමනා පවා කහටගහ පතලේ කම්කරුවන්ට නො ලැබේ. පසුගිය අයවැයෙන් රාජ්‍ය අංශයට ලබා දුන් රුපියල් 750 මෙතෙක් මේ කම්කරුවන්ට ගෙවා නොමැත.
රුපියල් දස දහසක අවුරුදු දීමනාව කම්කරුවන්ට ගෙවීමේ දී මෙවර එය කප්පාදු කර ඇත. නමුත් සභාපති කලන්සූරිය ඇතුලු ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුට පමනක් කප්පාදුවකින් තොර ව දීමනාව ලබා දුන් බව කම්කරුවෝ කී හ. අවුරුදු දීමනාව කප්පාදු කර ඇත්තේ නිවාඩු වැඩිපුර ගැනීම හේතුවක් ලෙස ඉදිරිපත් කරමිනි. එහෙත් කම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා නිවාඩුවත් දීමනා කප්පාදුවේ දී ගනනය කර තිබේ.
පතලේ සභාපති ඞී. කලන්සූරිය පසුගිය ජනවාරි මාසයේ සිලෝන් ටුඬේ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකට අනුව 2006 සිට 2012 දක්වා පතලේ ශුද්ධ ආදායම රුපියල් මිලියන 194.4 කි. ආරම්භයේ දී දහසකට වැඩි කම්කරු සංඛ්‍යාවක් සිටි නමුත් දැන් එම සංඛ්‍යාව 110 දක්වා කප්පාදු කොට තිබේ. කම්කරුවන් සතියකට ගොඩ දැමිය යුතු මිනිරන් ප්‍රමානය (ඉලක්කය) 2006 වසරේ ටොන් 50 සිට 100 දක්වා ඉහල දැමූ බවත් එය ඉදිරියේ දී 125 දක්වා ඉහල දැමීමට බලාපොරොත්තු වන බවත් කලන්සූරිය එහි දී සඳහන් කලේ ය.
කහටගහ පතල, 1971 දී සභාග ආන්ඩුව විසින් රජයට පවරා ගනු ලැබී ය. එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව යටතේ 1992 දී එය යලි පුද්ගලීකරනය කලේ ය. පාඩු ලැබීම හා විවිධ අක්‍රමිකතා හේතුවෙන් 2002 දී වසා දැමුනි. පතල පුද්ගලීකරනය කෙරුනෙත් වසා දැමුනෙත් කම්කරුවන් සංවිධානය වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල පිටුබලය ඇතිව ය. බොරු විරෝධතාවලට කොටු කර පුද්ගලීකරනයට හා වසා දැමීමට එරෙහි කම්කරුවන්ගේ විරෝධය සමිති නිලධරය විසින් වාෂ්ප කර දමනු ලැබී ය.
පතල වසා දැමීමේ දී වසර ගනන් වැඩ කල කම්කරුවන්ට ලබා දුන්නේ, අර්ථ සාධකයට අමතරව සොච්චම් වන්දි මුදලක් පමනක් බව, 2002 වසරේ පතල වසා දැමීමේ දී රැකියාව අහිමි වූ කම්කරුවෙක් පැවසුවේ ය. පෙර පැවති සොච්චම් සහන පවා දැන් කප්පාදු කර ඇති බවත් වෘත්තීය සමිති හැදීම මුලුමනින් ම තහනම් කර ඇති බවත් ඔහු කීවේ ය.
1996 සිට විටින් විට වසා දමා තිබු පතල, 2006 දී රා ජපක්ෂ ආන්ඩුව යටතේ යලි රජයට පවරා ගෙන වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ලාබ ඉහල දමා ගැනීමට හැකි වී ඇත්තේ මෙයාකාරයට දැඩි මර්දන කොන්දේසිවලට යටත් කොට, සේවා ප්‍රතිලාබ කප්පාදු කිරීමෙන් හා නිෂ්පාදන ඉලක්කයන් ඉහල දමා සූරා කෑම උග්‍ර කිරීමෙනි.
වර්ජනය අතරතුර පතලේ සිට ගේට්ටුව අසලට පැමිනි කම්කරුවෙක් මර්දනය හා දුෂ්කර කොන්දේසි මෙසේ පැහැදිලි කලේ ය: "පතල ඇතුලේ කැමරා සවි කරලා. පරිපාලනයට නම්මා ගත් කම්කරුවනුත් පාවිච්චි කරලා අපිට කටක් අරින්න බැරි තත්වයක් තියෙන්නේ. 2006 යලි බඳවා ගද්දි සමිති පිහිටුවන්න බෑ කියලා අපෙන් ගිවිසුම්වලට අත්සන් ගත්තා. ඉල්ලීම් වෙනුවෙන් කතා කෙරුවොත් දොට්ට දාන තත්වයක් තියෙන්නේ.”
දශක ගනනාවක් පුරා පතලේ සේවය කලත් කම්කරුවන්ගේ ජීවන තත්වයන්ගේ යහපත් වෙනසක් සිදු වී නැති බව ඔහු කීවේ ය. "මම 1978 ඉඳලා මේ පතලේ වැඩ. වහපු වෙලාවේ මට වන්දි විදිහට රුපියල් 370,000ක් ලැබුනා. ඒකෙන් ගේ ටිකක් හදා ගත්තා. සම්පූර්න කරගන්න බැරිවුනා. තාම ඉන්නේ තහඩු ගහපු ගෙයක. මගේ පුතාලා දෙන්න කුලී වැඩ කරන්නේ. පතල් වැඩ අමාරු නිසා එයාලා වෙන රස්සා තෝර ගත්තා.
"අපි පතලට බහින්නේ උදේ 7.15 ට. හවස 2.15 ට ගොඩට එනවා. ඒ අතර තුර බොන්න තේ විතරයි අපි ගෙනියන්නේ. උඩට එද්දි වෙන වැඩක් කරන්න අපිට ශක්තියක් නෑ. දැන් පතලේ කිලෝ මීටරයක් විතර දුරට දෝනා හාරලා තියෙනවා. හුස්ම ගන්න අපහසු තැන් තියෙනවා. දාඩිය දානවා හොඳට ම. ගල් වෙඩි දාලා කුඩු කරන්න තියෙනවා. මම තවත් හත් දෙනෙක් එක්ක සතියකට මිනිරන් ටොන් 15ක් ගොඩ දාන්න ඕනා. ඒක තමයි අපිට දීලා තියෙන ටාගට් එක. ගොඩක් සතිවල අපි ඊටත් වඩා ගොඩ දානවා. පතල ලාභ ලබනවා කියලා අපි දන්නවා, නමුත් අපිට මොකුත් නෑ,” ඔහු තව දුරටත් පැවසුවේ ය.
අවුරුදු 17ක් පතලේ වැඩ කලත් තමන්ට ගෙයක්වත් හදා ගන්න බැරි වූ බව 66 වියැති එස්.ඩී. පියසේන අපට පැවසුවේ ය. "මගේ පුතා කුවේට් ගිහිල්ලා තමයි උලු තියපු කාමර දෙකක ගෙයක් හදා ගත්තේ. අවුරුදු 17ක් පතලේ වැඩ කරලා ගේ හදන්න පුතාට දෙන්න පුලුවන් වුනේ වන්දියෙන් ලැබුන ලක්ෂයක් විතරයි. දැන් මගේ දනහිස් ඉදිමෙනවා. පපුවත් රිදෙනවා. පතලේ වැඩ කරලා අපි එදා වේල හොයා ගත්තා විතරයි. 2006 න් පස්සේ මම ආයේ වැඩට ගියේ නෑ. ආන්ඩුවෙන් මේ විදිහට බඩු මිල ඉහල දැම්මොත් අපිට බඩ ගින්නේ මැරෙන්නයි වෙන්නේ”.
සභාපති කලන්සූරිය සිලෝන් ටුඬේ සම්මුඛ සාකච්ඡාවේ දී ලෝක ධනේශ්වර අර්බුදය හේතුවෙන් ඇමරිකාව හා ජාපනය වැනි ප්රමුඛ කාර්මික රටවල ‘මූල්‍ය කඩාපාත්වීම' මගින් මිනිරන් මිල පහල වැටී ඇති බවත් චීනයේ මිනිරන් මිල පහල දැමීම ලංකාවේ අපනයන මිල කෙරෙහි අභියෝගයක් ලෙස බලපා තිබෙන බවත් සඳහන් කලේ ය. චීනය, කම්කරුවන් සිය ගනනින් පතල් තුල මරනයට පත්වන, ලාභ ශ්‍රම සූරා කෑමක් පවතින ලොව ප්රමුඛ පතල් හිමි රටකි.
කහටගහ පතලේ කම්කරුවන්ගේ දශක කිහිපයක කටුක අත්දැකීම් මගින් පැහැදිලි වන්නේ, ධනපති පුද්ගලික දේපල ක්‍රමය පවත්වා ගෙන යමින්, විශේෂයෙන් ම, 70 දශකයේ සභාග ආන්ඩුව යටතේ සිදු කල ඊනියා ජනසතු කිරීම් හා රජයට පවරා ගැනීම් සමාජවාදී පිලිවෙත් ලෙස හුවා දැක්වූ ව්‍යාජ වම්මුන්ගේ, වෘත්තීය සමිති නිලධරයේ හා ධනේශ්වර බුද්ධිමතුන්ගේ මවාපෑම්වල ප්රෝඩාකාරීභාවය යි.
Follow us on