වකුගඩු රෝගය වසංගතයක් මට්ටමට වර්ධනය වෙයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2013 අපේ‍්‍රල් 30
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) සමීක්ෂන වාර්තාවලට අනුව උතුරු මැද හා ඌව පලාත් දෙකේ, වයස අවුරුදු 15-70ත් අතර ජනයාගෙන් සියයට 15ක් වකුගඩු ආශි‍්‍රත රෝගයකට ගොදුරු ව සිටිති. මෙම පලාත් දෙකට අමතර ව වයඹ පලාතේ කුරුනෑගල හා දකුනු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් තිබේ. මින් බහුතරය ගම්බද දුගී ගොවීන් වීම සුවිශේෂ ලක්ෂනයකි.
ලෝසෞසං, ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිලිබඳ මධ්‍යස්ථානය සහ ලංකාවේ පේරාදෙනිය, ජයවර්ධනපුර ඇතුලු ව විශ්වවිද්‍යාල විද්වතුන් කන්ඩායම් ගනනාවක් විසින් පර්යේෂන කර ඇතත්, රෝගයට හේතුකාරක වන සාධක තවමත් නිශ්චිත ව නිර්නය කර නැත. විද්‍යාවේ හා තාක්ෂනයේ ඉමහත් දියුනුවක් පවතින තතු තුල රෝගය ව්‍යාප්ත වීමට ආරම්භ වී දසක දෙකක් තරම් දිගු කාලයක් ගත වීත් රෝගයට හේතු කාරක සොයා ගැනීමට අසමත් වීම හා එය ගූඪකරනය කිරීම ම පෙන්නුම් කරන්නේ කම්කරු-පීඩිත ජනයාගේ සෙසු ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන් ම, ඒ පිලිබඳව ද ධනපති පාලක පන්තියේ නො තැකීම ය.
ලෝසෞසං සිය පර්යේෂනයට අදාල ව 2012 සැප්තැම්බර් 13 නිකුත් කල ප්‍රගති වාර්තාවට අනුව, "වකුගඩුවලට විස කවන සාධක ගනනාවකට" රෝගය පැතිර පවතින ප්‍රදේශවල ජනයා "දිගුකාලීනව නිරාවරනය වීම" රෝගය ව්‍යාප්ත වීමට තුඩු දෙයි. කෘෂි රසායනික හා කැඩ්මියම් ලෝහය වකුගඩු රෝගයට සෘජු ලෙස බල පෑ හැකි අතර ආසනික්, තඹ, ජානමය සාධක හා කැල්සියම් සහ මැග්නීසියම් වැනි සෙසු සාධක ද වක්‍ර ව හානිකාරක අන්තර් ක්‍රියා බලපෑමක් ඇති කල හැකි බව එහි සඳහන් වෙයි.
නිශ්චිත හේතුන් අනාවරනය කර ගන්නා තුරු ආසනික් හා කැඩ්මියම් අඩංගු ආනයනික රසායනික පොහොර තත්ත්ව පාලනයකට යටත් කිරීම, හානිකර කෘෂිරසායනික අලෙවිය පාලනය කිරීම හා කෘෂි රසායනික භාවිතයේ දී ගොවීන් ඒවාට නිරාවරන වීම අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරන පාවිච්චි කිරීම සම්බන්ධ ව ගොවීන් දැනුවත් කිරීම, රෝගය බහුල ව පවතින ප්‍රදේශවල ජනයාට පිරිසිදු පානීය ජලය සැපයීමට පියවර ගැනීම හා රෝගීන්ගේ පවුල්වලට මුල්‍ය සහන සැපයීම ඇතුලු ක්ෂනික ව ක්‍රියාවට දැමිය යුතු නිර්දේශ ලෝසෞසං විසින් එහි දී ආන්ඩුවට යෝජනා කර තිබේ.
දශක දෙකක පමන කාලයක සිට රෝගයට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහල ගිය ද, වත්මන් රාජපක්ෂ ආන්ඩුව ද පෙර පැවති ආන්ඩු ද ඒ පිලිබඳ ව නිසි විද්‍යාත්මක පර්යේෂන නො කිරීමත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) හා ලෝක බැංකුව විසින් නිර්දේශිත ආර්ථික ප්රතිසංස්කරන යටතේ නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමත් වකුගඩු රෝගය අද පවතින වසංගතයක මට්ටමට රට තුල වර්ධනය වීමට හේතු වී ඇත. රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, දැන් වකුගඩු රෝගීන් ගැන කිඹුල් කඳුලු හෙලමින් රෝගය තම දේශපාලන වාසියට පාවිච්චි කිරීමට උත්සාහ කරන එක්සත් ජාතික පක්ෂය (එජාප) ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ය.
සෞඛ්‍ය සේවය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ තව තවත් කප්පාදු කිරීමත්, රෝගය පාලනය කිරීම සඳහා ලෝසෞසං විසින් නිර්දේශිත පියවරයන් ක්‍රියාවට නො දැමීමත් නිසා තත්වය වඩාත් නරක අතට හැරී තිබේ.
වකුගඩු රෝගීන් සිය ගනනක් මැදවච්චිය නගරයේ දී අපේ‍්‍රල් 6 දා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස නො ලැබීමට විරෝධය පෑමක් හා රෝගයට ගොදුරුවූවන්ට හානිකර කෘෂිරසායන අලෙවි කරන සමාගම්වලින් වන්දි ඉල්ලා උද්ඝෝෂනයක් පැවැත් වුනි. උතුරු මැද පලාතේ වකුගඩු රෝගීන් බහුල ව සිටින්නේ මැදවච්චිය ප්‍රදේශයේ ය. උද්ඝෝෂනය තව දුරටත් පැතිරීම වැලැක්වීම අරමුනු කර ගෙන වහා ම මැදවච්චියේ සංචාරයක යෙදුන සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන, ලෝසෞසං නිර්දේශ ක්‍රියාත්මක කිරීම මැදවච්චියෙන් ආරම්භ කරන බව ප්‍රකාශ කලේ ය.
ඇතැම් වාර්තාවලට අනුව, 200,000කට අධික වකුගඩු රෝගීහු රට තුල සිටිති. එහෙත් ඔවුන්ට නිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් හෝ ඖෂධ රජයේ රෝහල්වල නොමැත. උදාහරන වසයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව, මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ රෝහල්වලින් පමනක් ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2,000කට අධික ය. තම ප්‍රදේශවල අවශ්‍ය පහසුකම් නොමැති බැවින් මඩකලපුව, අම්පාර, ත්‍රිකුනාමලය, දෙහිඅත්තකන්ඩිය හා මහියංගනය ඇතුලු වෙනත් ප්‍රදේශවල වකුගඩු රෝගීහු පොලොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා පැමිනෙති.
පොලොන්නරුව රෝහලට හැර ඉහත සඳහන් කෙරුනු ප්‍රදේශයන්හි පවත්නා අනෙක් රෝහල්වලට රුධිර කාන්දු පෙරන ඒකක (ඩයලිසිස් යුනිට් එකක්) නොමැත. පොලොන්නරුව රෝහලට ද ඇත්තේ යන්ත්‍ර හයක් පමනක් වන අතර, එයින් ද එකක් ක්‍රියා විරහිත ය. මෙම රෝහලෙන් රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරය ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 100ට අධික ය. ඒ සඳහා තිබෙන යන්ත්‍ර සංඛ්‍යාව ප්‍රමානවත් නො වන බවත්, අවම වසයෙන් රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 18ක් හා වකුගඩු රෝගීන් සඳහා වෙන ම වාට්ටුවක් තිබිය යුතු බවත් රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කලේ ය. පහසුකම් අඩු බැවින් සතියකට තුන් වරක් කල යුතු රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරය එක් වරකට හෝ දෙවරකට සීමා කිරීමටත්, එක රෝගියෙක් සඳහා ගතකල යුතු කාලය දෙගුනයකින් පමන අඩු කිරීමටත් වෛද්‍යවරුන්ට බල කෙරී ඇත.
පොලොන්නරුව රෝහල් කාර්ය මන්ඩලය තුල වකුගඩු රෝග සම්බන්ධයෙන් සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමනි. ඊට අමතර ව ස්ථිර වෛද්‍යවරු දෙදෙනෙක් සහ තාවකාලික වෛද්‍යවරු දෙදෙනෙක් සිටිති. පොලොන්නරුව, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන රෝහල් තුනෙන් එකකවත් වකුගඩු රෝගීන් සඳහා වෙන්වූ වාට්ටුවක් නොමැත. හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය රෝහල්වලට යා යුත්තේ ද පොලොන්නරුව රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරයා වන අතර ඒ ද මාසයකට එක දිනක් පමනකි.
පුද්ගලික රෝහල්වල රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරය සඳහා පැයකට රුපියල් 5,000 සිට 8,000 දක්වා මුදලක් අය කෙරේ. වකුගඩු බද්ධ කිරීම සඳහා වකුගඩු පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයෙකු හෝ සුදුසු වකුගඩු සොයා ගැනීම අතිදුෂ්කර ය. පුද්ගලික රෝහලක දී නම් ඒ සඳහා වැය කල යුතු ලක්ෂ ගනනක මුදල දුප්පත් ගොවියෙකුට හෝ කම්කරුවෙකුට දැරිය නො හැකි ය. නිසි ප්‍රතිකාර නැති නිසා වකුගඩු දෙක ම අකර්මන්‍ය වීම බහුල ව සිදු වෙයි. පසුගිය වසරේ නොවැම්බර්, දෙසැම්බර් මාස දෙකේ පමනක් පොලොන්නරුව රෝහලෙන් ප්‍රතිකාර ගත් වකුගඩු රෝගීන් 26ක් මියගොස් තිබේ. ප්‍රතිකාර සඳහා අවශ්‍ය නිසි පහසුකම් තිබේ නම්, එවැනි තත්වයක් වලක්වා ගත හැකි බව පොලොන්නරුව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ ය.
කිසියම් අසාධ්‍ය තත්වයේ රෝගියෙකු ප්‍රතිකාර සඳහා රෝහලට පැමිනිවිට කෙරෙන පරීක්ෂන වල දී හෝ වෙනත් රෝගයක් සඳහා කෙරෙන පරීක්ෂනවල අතුරු ඵලයක් හැටියට හෝ වකුගඩු රෝගීන් හඳුනා ගැනෙනවා මිස, රෝගීන් කල්තියා හඳුනා ගැනීමේ, ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ හෝ රෝගයෙන් වැලකීම සඳහා පිලිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක විධික්රම ගැන මහජනතාව දැනුවත් කරන කිසිදු වැඩපිලිවෙලක් ආන්ඩුව මේ දක්වා ක්‍රියාත්මක කර නැත. වකුගඩු රෝගය නිසා දුෂ්කරතාවට මුහුන දෙන්නේ රෝගියා පමනක් නො වේ. බොහෝවිට රෝගියා පවුලේ ජීවිකාව උපයන්නා වනවිට පවුල ම ආර්ථික වසයෙන් අගාධයකට ඇද දමනු ලැබෙයි.
කවුඩුල්ලේ එච්.කේ. නිමලසිරි මුහුන දී සිටින තත්වය එවැනි දසදහස් ගනනක් වකුගඩු රෝගීන්ගේ ඛේදනීය සමාජ ආර්ථික කොන්දේසි පිලිබඳ මනා උදාහරනයකි. වයස අවුරුදු 42ක් වන ඔහු එක් දරු පියෙකි. "මගේ එක වකුගඩුවක් නරක් වුනේ 2005 දී. දැන් අනෙක් එකටත් රෝගය පැතිරෙමින් තියන බව වෛද්‍යවරු කිව්වා. ප්‍රතිකාර ගන්නේ මැදිරිගිරිය රෝහලෙන්. ක්ලිනික් තියෙන්නේ සතියකට එක දවස යි. එදාට 125 දෙනෙකුට වැඩිය ලෙඩ්ඩු ඉන්නවා. නමුත් දොස්තර මහත්තුරු ඉන්න ගනන මදි. ඒ නිසා සමහර දවස්වලට ලෙඩ්ඩු පරීක්ෂා කරන් නැතුව ම පරන බෙහෙත් ටික ම ලියලා දෙනවා. සමහර දවස්වලට අවශ්‍ය බෙහෙතුත් නැහැ. පිටින් ගන්න ගියහ ම රුපියල් 1500-2000ක් විතර යනවා."
රෝගී තත්වය නිසා තමන්ට හිමි කුඹුර වගා කිරීමට නො හැකි හෙයින් ඔහු එය අඳයට දී තිබේ. ජීවිතය ගැට ගසා ගන්නේ ඉන් ලැබෙන සුලු ආදායමෙනි.
"ආන්ඩුවෙන් කිසි ම සහනයක් ලැබෙන්නේ නැහැ. බොන්න කියල දෙන පයිප්ප වතුරත් මඩ වතුර. සංවර්ධනයක් ගැන ආන්ඩුව ලොකුවට කතා කලාට අපේ ජීවිත නම් දවසෙන් දවස අගාධයට යනවා. අමාරුවෙන් වගා කර ගන්න වී ටිකට වත් සාධාරන මිලක් ලැබෙන්නේ නැහැ. ලෙඩේට හේතුව තෙල් පොහොර ද කියල පරීක්ෂා කරලා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට, ආන්ඩුව කෘෂි රසායනවලට සියයට 10ක බද්දක් පනවන්න යනවලු. ඒ බරත් එන්නේ දුප්පත් ගොවියා උඩට," නිමලසිරි තවදුරටත් පැවසුවේ ය.
කෙසේ වෙතත්, අධික ලෙස හා නිසි ප්‍රමිතියකින් තොර රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය නිසා භූගත හා වැව් ජලය අපවිත්‍ර වීම වකුගඩු රෝගය මෙම ප්‍රදේශවල පැතිරී යාමට මූලික හේතුවක් විය හැකි බව මෙම පර්යේෂනවල දී අවධානයට ලක් වී ඇති ප්‍රධාන කාරනාවකි. මහජනයා අතර විරුද්ධත්වය පුලුල් ව වර්ධනය වන තතු තුල, කෘෂිකර්ම අමාත්‍යාංශය, ක්ලොප්රිෆොස්, ප්රොපනොල් සහ කාබරිල් කෘෂිරසායන ආනයනය අපේ‍්‍රල් මාසය මුල දී තහනම් කලේ ය.
ලෝසෞසං විසින් නිර්දේශිත ආකාරයට ආනයනික රසායනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කර, ගොවීන්ට ගුනාත්මක පොහොර ලබා දීමට පියවර ගන්නවා වෙනුවට ආන්ඩුව කර ඇත්තේ, "කාබනික පොහොරවලට ගොවීන් හුරු කිරීමේ" ප්‍රෝඩාව යටතේ ගොවීන්ගේ පොහොර සහනාධාරය සියයට 30කින් කැපීම ය. එය රාජ්‍ය වියදම් කැපීමේ කොටසක් ලෙස ජාමුඅ විසින් නිර්දේශිත පියවරකි. ආන්ඩුවේ හවුල්කාර අන්ත දක්ෂිනාංශික පක්ෂයක් වන ජාතික හෙල උරුමය වකුගඩු රෝගය පැතිරීමට පිලියමක් ලෙස රසායනික පොහොර ගෙන්වීම නතර කල යුතු යයි පසුගිය දිනවල උද්ඝෝෂනය කලේ ය. ආන්ඩුවේ හා ජාමුඅ කප්පාදු පිලිවෙත් සමග ජාහෙඋ උද්ඝෝෂනය තකටතක ගැලපී ඇත. පොහොර සහනාධාරය කැපීමට අමතර ව කෘෂිරසායන ආනයනික සමාගම්වලින් සියයට 10ක බද්දක් අය කිරීමට ද ආන්ඩුව තීරනය කර තිබේ. එය ද වක්‍ර ව පැටවෙනු ඇත්තේ ගොවියාගේ කර මත ම ය.
ආන්ඩුව ලෝසෞසං වාර්තාව යට ගසා එහි නිර්දේශ ක්‍රියාවට දැමීම මග හැර සිටින්නේ, ඒ සඳහා මුදල් වෙන් කිරීම ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට හරස් වන බැවිනි.
Follow us on