ආන්ඩුව මාතලේ සමූහ මිනීවල පිලිබඳව පරීක්ෂන යටගැසීමට තැත් කරයි
ෂානක සිල්වා සහ පියසේන ලොකුගෙදර විසිනි, 2013 අගෝස්තු 17
මාතලේ සමූහ මිනීවල හමුවීම ධනපති පක්ෂවල හා ධනපති ආන්ඩුවල අපරාධකාරිත්වය හෙලිදරව් කරන්නකි.
මාතලේ සමූහ මිනීවලින් හමුවූ මිනියේ ඇටසැකිලි පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජුනි 3 දා පත් කෙරුනු කොමිසම තවමත් ප්‍රසිද්ධියේ වැඩ පටන් ගත් බවට කිසිදු වාර්තාවක් නැත. පසුගිය මාස කීපයේ ආන්ඩුවේ ක්‍රියා කලාපයෙන් තහවුරු වී ඇත්තේ මෙම අපරාධය වසා දැමීමට ආන්ඩුව විවිධ උපාමාරු දමන බවයි.
ජනාධිපති රාජපක්ෂ හිටපු අග්‍ර විනිශ්චයකරුවෙකු වන අයි.එස්. ඉමාම් සභාපතිත්වය දරන ත්‍රි පුද්ගල පරීක්ෂන කොමිසමක් පත් කල බවට නිවේදනය කෙරුනේ ජුනි මස 30 දා ය. එයට මාස 6ක් ඇතුලත වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ. කොමිසමට පැවරී ඇත්තේ මෙම "මිනිස් සිරුරු වල දමනු ලබා ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක හෝ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ද, එසේ නම්, කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් වග කිව යුතු ද” යන්න සොයා බැලීමයි. මීට වග කිවයුතු පුද්ගලයන් නීති විරෝධී ලෙස ක්‍රියා කර ඇත්නම් ගත යුතු නීතිමය පියවරයන් යෝජනා කිරීමට ද කොමිසමට බලය තිබේ.
පූච්චානම් කතා වලින් කොමිසමේ වගකීම් පුම්බා තැබුන ද හමුදාවේ හා පොලිසියේ අපරාධකාරී ක්‍රියාවන් වසා දැමීමට කොමිසම් සභා පත් කිරීම ගැන රාජපක්ෂ ආන්ඩුවට ඇත්තේ අපකීර්තිමත් වාර්තාවකි. එවන් අපරාධවල දිගු ලැයිස්තුවකින් දෙකක් පමනක් දක්වන්නේ නම්, 2006 ජනවාරි මාසයේ දී සිසුන් පස් දෙනෙකු මරා දැමීම ද එම වසරේ ජුලි මාසයේදී යුද්ධය ඇරඹීමෙන් දින කීපයකට පසු මුත්තුර්හි දී ඒසීඑෆ් නම් වූ ප්රන්ස මානුෂික ආධාර දෙන සංවිධානයේ දෙමල ජාතික සේවකයන් 17ක් මරා දැමීම ද පිලිබඳව සොයා බැලීමට යයි පවසමින් පත්කල කොමිසම් සභාවල වාර්තා ජනාධිපති හමස් පෙට්ටියට දමා ඇත.
පසුගිය වසරේ අග මාතලේ රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් සඳහා කෙරුනු කැනීම්වල දී මල සිරුරු 154ක් පමන වල දමා තිබූ මෙම මිනීවල හමු විය. ඒ පිලිබඳව පරීක්ෂන කල මාතලේ රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන සහ කැලනිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සේමදේව කල පරීක්ෂනවලින් නිගමනය කෙරුනේ එම මිනීවල තුල හමු වූ ඇට සැකිලි 1989-1990 කාල පරිච්ඡේදයට අයත් වන බවයි.
ජුනි මස 29 දා සමූහ මිනීවල පිලිබඳව පරීක්ෂනය කරන මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ කරුනු විභාගයට ගැනුනේ නව මහේස්ත්‍රාත් කෙනෙකු ඉදිරිපිට ය. එතෙක් නඩුව භාරව සිටි චතුරිකා ද සිල්වා මහේස්ත්‍රාත්වරිය ඒ වනවිට ද කොලඹට මාරු කර දමා තිබුනි. අතුරුදහන්වුවන් ගේ ඥාතීන් එම මාරු කිරීම ගැන ප්‍රකාශ කලේ පරීක්ෂනය යට ගැසීමට ගන්නා ලද පියවරයක් ලෙස ය.
ඊට පෙර පැවති උසාවි වාරයේදී ඇටසැකිලි කුමන කාලයකට අයිතිදැයි පරික්ෂා කිරීමට රේඩියෝ කාබන් පරික්ෂනයකට ලක් කිරීම සඳහා එතෙර රටකට යවන ලෙස නියෝග කලත් පොලිස් පරීක්ෂනය භාර අපරාධ අංශය මගින් එය සිදු කොට නැත. ඔවුන් පවසා ඇත්තේ අවශ්‍ය තරම් අරමුදල් නොමැති නිසා එය කල නොහැකි බවයි. තමන්ගේ නැති වූවන් පිලිබඳව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස පුවත්පත්වල දැන්වීම් පල කරන ලෙස උසාවියෙන් කෙරුනු නියෝගය ද පොලිසිය විසින් කඩ කර ඇත.
මාතලේ සමූහ මිනීවල හමුවීම එවක බලයේ සිටි යුඇන්පී ආන්ඩුව 1989-1990 කාල වකවානුවේ ගෙනගිය තරුන ජන ඝාතන පිලිබඳව එලිදරව්වක් වී ඇතුවා පමනක් නො වේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ද තැති ගන්වා ඇත. ඊට හේතුව එවක මාතලේ භාරව සිටි හමුදා නායකයා වන ගෝඨාභය රාජපක්ෂ අද ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කිරීම පමනක් නො වේ. බෙදුම්වාදී එල්ටීටීඊය ට එරෙහි යුද්ධයේ දී දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනය ඇතුලු යුද අපරාධ පිලිබඳව චෝදනා එල්ල වී ඇති ආන්ඩුව මෙන්ම එවන් අපරාධයක් සෙවීමට සුදානම් නැති ධනපති පන්තියේ සියලු කන්ඩායම් ද සිටින්නේ එකම බෝට්ටුවේ ය.
එපමනක් නොව, සමූහ මිනීවලේ අපරාධය ධනපති රාජ්‍ය යන්ත්‍රයේ සියලු කොටස්වල ක්‍රියා කලාපය පිලිබඳව ද එලිදරව්වකි. දැනටමත් මාතලේ ප්‍රදේශයේ අතුරුදහන් වුවන් 150කගේ පමන දිවුරුම් පෙත්සම් ඉදිරිපත් වී ඇත. අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් ප්‍රසිද්ධියේ තොරතුරු ඉල්ලා සිටීමක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර වසයෙන් දිවුරුම් පෙත්සම් මාතලේ ප්‍රදේශයේ පමනක් වුව කඳු ගැසෙනු ඇත.
ජුනි 29 දා කැඳවුනු පරික්ෂන වාරයේදී අලුතින් පත්වූ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ ඊලඟ කරුනු විමසීම අගෝස්තු 19දා දක්වා කල් තැබුවේය. කෙසේ වුවත් එදින ද රැස්වූ අතුරුදහන් වුවන්ගේ ඥාතීන් "නඩුකාර හාමුදුරුවනේ, ඒ අපේ එවුන්, එදා දකුනේ -ඊයේ උතුරේ-හෙට?, වැලලීගිය සත්‍ය සෙවීමට පෙරට එන්න” යනාදී සටන් පාඨ පුවරු සහිතව උද්ඝෝෂනයක නිරත වුහ. උද්ඝෝෂනයේ නිරතවූවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ නීතියෙන් කෙරෙන කටයුතු ගැන තමන්ට විශ්වාසයක් නොමැති බවයි. උතුර, දකුන හෝ සිංහල දෙමල භේදයකින් තොරව සියලු දෙනාට එකසේ ජීවත් වීමට අයිතියක් තිබිය යුතු බවද ඔවුහු කියා සිටියහ.
මාතලේ උද්ඝෝෂනයට සහභාගි වූ තම පුතා අතුරුදහන්ව සිටි වයස්ගත මවුපියන් දෙපලක් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුට පැවසුවේ, 1989 දෙසැම්බර් 31දා නිවසට පැමිනි සන්නද්ධ හමුදා විසින් පැහැරගෙන ගිය බවයි. ඞී.අයි.ජී. කරුනාරත්න නමැති ඔහු එවක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
ජුනි 29දා මාධ්‍යට කතා කල හිටපු ජවිපෙ පලාත්සභා මන්ත්‍රී වරයෙකු රහස් පොලිසිය උසාවි නියෝගය නොතකා හැර ඇති බව ප්‍රකාශ කලේ "තමන් බහුතර ජනයා අතර දැනුවත් කමක් ඇතිකල නිසා” බොහෝ දෙනා කරුනු ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබෙන බවය. සමූහ මිනීවල හමුවූ වහාම ජවිපෙ ඉදිරිපත්වුයේ වැහැරී ඇති තම පක්ෂයට දේශපාලන හුස්මක් පිම්බගන්නට ය.
කෙසේ වුවද, මෙම 1988-1990 භීෂන සමයේ ඝාතන වලට ජවිපෙ ද වගකිව යුතු ය. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව ඉන්දියානු විරෝධයක් සිංහල වර්ගවාදය සමග කලතා විසකුරු ෆැසිස්ට් මාදිලියේ කැරලිවල ජවිපෙ නිරතවිය. මහජනයා මෙම උද්ඝෝෂන වලට ගෙනයන ලද්දේ මරන තර්ජන එල්ල කරමිනි. හමුදාව මෙම පෙලපාලිකරුවන්ට ද පුලුල් ලෙස ගම්බද තරුනයන්ට ද ජනඝාතක ප්‍රහාර එල්ල කලේය. මේ දිනවල ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමග රහස් ගනුදෙනුවල ද යෙදී ගත්තේය. විශාල විනාශයකින් පසු ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත් වූ ජවිපෙ, යූඇන්පී, ශ්‍රීලනිප සමග දේශපාලන පවුල්කෑම් වලටද ගමන් කල පක්ෂයකි.
කලක් නව සමසමාජ පක්ෂයේ නායකයෙකුව සිටි බි්රටෝ ප්‍රනාන්දු පසුව අතුරුදහන් වුවන්ගේ පවුල්වල එකතුව නමැති සංවිධානයක් සාදාගෙන ඇති අතර ජූනි 29දා ඔහු ද මාතලේ උද්ඝෝෂනය සංවිධානය කිරීමට සම්බන්ධව සිටියේ ය. මෙම සංවිධානය දැන් යූඇන්පී යේ නායකත්වයෙන් පිහිටුවා ඇති ඊනියා නිදහසේ වේදිකාවට තවත් ව්‍යාජ වම්මු සමග ගොඩ වැදී සිටියි.
එම සංවිධාන හැරී සිටින්නේ ලංකාවේ මානව අයිතීන් රැකීම සඳහා උදව් කරන ලෙස එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලා සිටීමට ය. එදා සමූහ මිනීවලවල් නිර්මානය කල යුඇන්පී ය සමග සන්ධානයෙන් මෙසේ මානව අයිතීන් රැකීමක් ගැන කතා කිරීම කොතරම් නම් අපරාධකාරී කුහකත්වයක් පෙන්නුම් කරයි ද? ආන්ඩුවට එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා දුගීන්ගේ විරෝධය ධනේශ්වරයට ම කුදලා දී තවත් ව්‍යසනයක් ඇදලීමට මොවුන් අර අදිමින් සිටී.
Follow us on