රවිශාන් පෙරේරාගේ අවමංගල්‍යය
වැලිවේරිය හමුදා ප්‍රහාරයට එරෙහි මහජන විරෝධය වැඩෙයි
කපිල ප්‍රනාන්දු විසිනි, 2013 අගෝස්තු 9
අගෝස්තු 01 දා වැලිවේරිය ප්‍රදේශයේ උද්ඝෝෂනයේ නියැලි ගම්වාසීන්ට එල්ල කල හමුදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අනෙක් පාසල් සිසුවා වූ චමිල රවිශාන් පෙරේරාට අවසන් ගෞරව දැක්වීම සඳහා දස දහසකට ආසන්න ජනකායක් 7 දා වැලිවේරිය පොදු සුසාන භූමියේ දී පැවති භූමදානයට සහභාගී වූහ.
රවිශාන්ගේ අවමංගල්‍යයට පැමිනි ජනකාය ප්‍රහාරයෙන් එම ස්ථානයේ දී ම මිය ගිය වැලිවේරිය චන්ද්‍රජෝති මහා විදුහලේ අකිල දිනේෂ්ගේ ඉරිදා පැවති අවමංගල්‍යයේ ජන සහභාගිත්වය ඉක්මවා ගියේය. එමගින් පෙන්නුම් කෙරුනේ ආන්ඩුවටත් හමුදාවටත් එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය හා අප්රසාදයයි. අවමගුල් පෙරහැර කිලෝ මීටරයක් පමන දිගිට දිස් වූ අතර ගමන් ගත් සියලු ජනයා කලු කොඩි ඔසවමින් හා සිය අත්වල කලු පටි පැලඳගනිමින් විරෝධය ප්‍රකාශ කලේ ය.
අවමංගල්‍යයේ දී මහජන නොසන්සුන්තාවයක් ඇතිවේ යයි බියෙන් මෙහිදී ද දහස් ගනනක් පොලිස් භටයන් සහ කැරලි මර්දන හා හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් ආයුධ සන්නද්ධව කඳුලු ගෑස් හා ජල විදින ට්‍රක් රථ සමගින් මග දෙපසත් සුසාන භූමිය අවටත් කිලෝමීටර් 5ක් පමන කොලඹ දෙසින් පිහිටි බැලුම්මහර හන්දිය දක්වාත් සීරුවෙන් තබා තිබුනි. සුසාන භූමිය අසල පිහිටි වැලිවේරිය පොලිසියට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුනි.
රවිශාන් එම ප්‍රදේශයේ සාන්ත පීටර් විද්‍යාලයේ කලා අංශයෙන් ඉගෙනුම ලබමින් දැන් පැවැත්වෙන උසස් පෙල විභාගයට මුහුනදීමට සිටි 19 වියැති තරුනයෙකි. විභාග කටයුතු ගැන ද නො සලකමින් අවමංගල්‍යයේ සංවිධාන කටයුතුවලට ගම්වාසීන් සමග මූලිකත්වය ගෙන තිබුනේ ඔහුගේ පාසලේ මිත්‍රයෝ ය.
ප්‍රහාරය යුක්ති සහගත කිරීමේ ආන්ඩුවේ නරුම උත්සාහයට 6 දා පාර්ලිමේන්තුවේදී එක් වූයේ සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ය. ඔහු කියා සිටියේ හමුදාවට එල්ල කල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහාත් මහජන දේපලවල ආරක්ෂාව සඳහාත් හමුදාව වෙඩි තබා ඇති බවයි. ජනතාව අතරින් හමුදාවට වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරී ඇති බවත් ඒ පිලිබඳව පුලුල් පරීක්ෂන ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු ලිඛිත ප්‍රකාශයක් කියවීය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වු සෑම දෙනෙක්ම, මෙම ප්‍රහාරය යුක්ති සහගත කරමින් ආන්ඩුව හා එහි මාධ්‍ය ගම්වාසීන්ට එරෙහිව ගෙන යන විසකුරු ප්‍රහාරයට විරුද්ධව සත්‍ය තත්වය ලෝකය පුරා මහජනයාට දැනගැනීමට ප්‍රචාරය කරන්නැයි ඉල්ලා සිටියේ ය. එසේම ජනාධිපතිගේ නියමයෙන් ලබා දෙන සොච්චම් මුදල් ආධාරවලින් තමන් සනසාලිය නො හැකි බවත් මෙම ප්‍රහාරය සැලසුම් සහගතව ආන්ඩුවේ හා ආරක්ෂක අංශවල ඉහල තැන්වලින් ලැබුනු නියෝග අනුව සිදු වූවක් බවත් ඔවුහු එකහෙලා කියා සිටියහ.
ප්‍රදේශයේ තරුනයෙක් ආන්ඩුවේ පච ප්රචාරයට මෙසේ අභියෝග කලේය: "මේ සිද්ධිය පිටුපස්සේ තුන්වන බලවේගයක් ඉන්වා කියලා ආන්ඩුව හඳුනගත්තා නම් ඒ අයව ඉලක්ක කරලා වෙඩි තියන්න තිබුනනේ මේ වගේ පාසල් ලමයිව මරන්නේ නැතිව. මෙතන ජනතා විමුක්ති පෙරමුනවත් (ජවිපෙ) ආන්ඩුව කියන දෙමල ඩයස්පෝරාවක්වත් නෑ. මේ ගම්වල වැඩි ඡන්දදායකයෝ පිරිසක් ආන්ඩුවටයි හිටියෙ. නමුත් ජල ප්රශ්නය මුල් කරගෙන ගම්වල සියලු ජනතාව විරෝධතාවයට සම්බන්ධ වුනා. ඔය කියන තුන්වන පාර්ශ්වය හිටියේ හමුදාව පැත්තේ. ඒ තමයි ආන්ඩුව.”
විශ්‍රාමික වයෝවෘධ හමුදා සෙබලෙකු ප්‍රකාශ කලේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිය බෑනා (දියනියගේ සැමියා) තවත් වෙඩි වැදුනු අයෙක් සමග ඊයේ කොලඹ මහ රෝහලට මාරු කල බවයි. මේ අනුව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කොලඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යව 8ක් දක්වා ඉහල ගොස් තිබේ.
ප්‍රහාරයේ ම්ලේච්ඡ ස්වභාවය හා එය සැලසුම් සහගතව දියත් කල ආකාරය ඔහු විස්තර කලේ මෙසේ ය: "මම දන්න විදිහට මේ ප්‍රහාරයට විශේෂ කාර්ය බලකායේ බ්ලැක් කැට්ස් කියන සේනාංකයෙන් 500ක විතර බලඇනියක් ආවා. ඒකේ බි්රගේඩියර් කෙනෙක් දුරකථනයෙන් කථා කරලා ඉවර වෙනවාත් එක්කම රෙඩි ෆයර් කිව්වා ඒ සමගම වෙඩි තිබ්බා. කිසිම පෙර අනතුරු ඇඟවීමක් කෙරුවේ නෑ. කවුද මේ අන දුන්නේ? එක්කෝ ආරක්ෂක ලේකම් නැත්තම් ආරක්ෂක ඇමති වන ජනාධිපති. එහෙම නැතිව මේ ප්‍රහාර සිද්ධ වෙන්න පුලුවන්කමක් නෑ. ආන්ඩුවෙන්, හමුදාවෙන් කියන්නේ පාර නිදහස් කරන්න ආවේ කියලා. පාර හරස් නොකර උද්ඝෝෂනයක් කරලා වැඩක් තියෙනවා ද? කොහොම හරි මේ රවිශාන් ලමයට වෙඩි වැදුනේ පාරෙ ඉඳලා මීටර් 200ක් විතර ඇතුලට හෙලන්වත්ත පාරේදී ප්‍රධාන පාරෙදි නෙමේ.
"බේරෙන්න ගිය මිනිස්සුන්ට අපේ පල්ලිය ඇතුලට ඇවිල්ල ගැහැව්වා, වෙඩි තිබ්බා. වෙඩි වැදිච්ච අයත් තුවාල වෙච්ච අයත් කිහිප දෙනෙක් හමුදා ට්‍රක්වලට දා ගන්නවා මම දැක්කා. මගේ බෑනාගේ ඉන හරියට පිටු පසින් වැදුනු වෙඩි පහරින් ඉදිරිපස ලොකු කුහරයක් විදිහට කඩාගෙන ගිහින් තියෙන්නේ. ටී.56 තුවක්කුවකින් තියපුවාම තමයි මේ විදිහට කඩාගෙන යන්නේ.
"මිනිස්සු කඩාකප්පල්කාරී ලෙස හැසුරුනා කියල පෙන්නන්න විරෝධතාකරුවො පාර හරස් කරන්න පාවිච්චි කරපු ටයර්, ලී කඳන් ඒ මේ අත දාලා ගිනි තිබ්බා. ඒවාට සුවිප් කඩ, වෙනත් කඩවල්වල බෝඩ් කඩලා දාම්මා. අපිත් ගල් ගැහුවා තමයි. හැබැයි බෝම්බ ගැහුවේ නෑ. ඒවා ගොතපු කථා. බිම වැටිලා තිබුන හිස් පතුරන් සියල්ල හමුදාවෙන් අහුල ගත්තා. ගම්පිටින් වටකරලා ගැහුවා. මේක නිරායුද ජනතාව එල්ල කරලා දියත් කරපු සැලසුම් සහගත හමුදා ප්‍රහාරයක්.”
ඔහු ආන්ඩුවත් සමස්ථ සංස්ථාපිත පක්ෂත් කෙරෙහි සිය වෛරය ප්‍රකාශ කලේ ය. "එදා ඉදලා හිටපු හැම ආන්ඩුවක්ම සාමාන්‍ය මිනිස්සුන්ට කරපු ඇති දෙයක් නෑ. කෙරුවේ ඔක්කොම බලු වැඩ තමයි.”
දෙමල ජනතාවට එරෙහි යුද්ධය කාලපරිච්ඡෙදයේ දී ආන්ඩුව හා එහි මාධ්‍ය වාර්ගික ආතතීන් අවුලුවාලීම සඳහා ඒකපාර්ශවීය ආකාරයට එල්ටීටීඊය විසින් ගෙනගිය ඝාතන හා ප්‍රහාර හුවා දැක්වූ ආකාරය මෙහිදී සිහියට නැගේ. සිංහල දෙමල කම්කරු පීඩිත මහජනයා බෙදා වෙන් කොට සිය පන්ති පාලනය රැකගැනීම යුද්ධයේ සැබෑ හේතුව වු අතර එය වසන් කරමින් මහජන විඥානය පාලක පන්තියට අවශ්‍ය ආකාරයට රඳවා තබා ගැනීම සඳහා මෙම ධනේශ්වර මාධ්‍ය නො කල දෙයක් නැත.
යුද්ධය අවසන් වී වසර 4ක් ගත වී යන තැන උතුරේත් දකුනේත් සිංහල හා දෙමල කතා කරන කම්කරු පන්තියේ හා පීඩිත මහජනතාවගේ ජීවන තත්වයන් තවත් ඛාදනයට ලක් කොට ඇති අතර ප්රජාතන්ත්ර අයිතීන් මෘග ලෙස උල්ලංඝනය කරමින් සිටී. වැලිවේරිය සිද්ධිය ධනපති ආන්ඩුවේත් එහි හමුදා පොලීසිවලත් සැබෑ ස්වරූපය ජීවමාන ලෙස එලිමහනට ගෙනවිත් තිබේ.
උසස් පෙල ශිෂ්‍යයෙක් හමුදාවේ ප්‍රහාරය මෙසේ හෙලා දුටුවේය. "අපි ඔක්කොම දේවල් කරලා ඇවිල්ලා ඉන්නේ. තොපිව අපිට කජ්ජක් නෙමේ. දනගහපියව් කියලා අපිට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දුන්නා. අපිට ගහපු, වෙඩි තියපු විදිහට අපිට හිතෙනවා යුද්දේ සම්බන්ධව ආන්ඩුවට එල්ල වෙලා තියෙන මානව හිමිකම් කඩ කිරීම් චෝදනා බොරු වෙන්න බෑ කියලා.”
මැදි වියේ දෙදරු මවක් අදහස් දක්වමින් "මමයි ලමයි දෙන්නයි පල්ලිය ගාව හිරවුනා. ඒ වෙලාවේ අපිට වට කරලා ගැහුවේ. මම මගේ බයිසිකලේ ගන්න ඕනා කියලා ඉස්සරහට යද්දි මට කුනුහරුපෙන් බැනලා තෝ කොහේද යන්නේ හිටපිය කියලා කිව්ව. පාසල් යන මගේ දුව ලඟ තිබුනු ජංගම දුරකථනය පොලොවේ ගහපිය කියලා ඇයට බැන වැදුනා. ආන්ඩුවයි හමුදාවයි කා වෙනුවෙන් ද ඉන්නේ කියලා අපිට දැන් හොඳටම වැටහෙනවා. එයාලා රකින්නේ ලොකු ෆැක්ටරි හිමියන්ව.”
තවත් කාන්තාවන් පිරිසක්: "අපිට තාම ආතතිය. හමුදාවේ ඇඳුමක් දකිද්දිත් ඇඟ දඟලනවා. මරාගෙන මැරෙන්න හිතෙනවා. අපි ඉස්සර හමුදාවට ලේ දුන්නා. දැන් වතුර ටිකක්වත් දෙන්නෑ මුන්ට.” යයි සිය වෛරය ප්‍රකාශ කලේ ය.
මහජන අප්‍රසාදයට ලක්වීමෙන් වැලකී සිටීම සඳහා ආන්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිම නියෝජිතයෙක් රවිශාන්ගේ අවමංගල්‍යයට ද සහභාගී වූයේ නැත. සුසාන භූමියේ දී වැලිවේරිය මීසම් භාර කතෝලික පියනමක් ජනයාගෙන් සාමකාමීව කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය. එහිදී කියවු කතෝලික සභාවේ ප්‍රධානි කාදිනල් මැල්කම් රංජිත්ගේ ශෝක ප්‍රකාශයේ ආන්ඩුව ප්‍රහාරයේ වගකීමෙන් ගලවාගැනීම සහ හමුදාව කෙරෙහි වර්ධනය වන විරෝධය තුනි කිරීම සඳහා කියා තිබුනේ රටේ ආරක්ෂක අංශවල "ඇතැම් පිරිස්” සීමාව ඉක්මවා බලය පාවිච්චි කිරීම වරදක් වන බවයි. වැලිවේරිය අනෝමදත්ත බෞද්ධ භික්ෂුව ආන්ඩුව හා හමුදාව කෙරෙහි වැඩෙන මහජන වෛරය තුනී කිරීමේ උත්සාහයකින් කියා සිටියේ ජලය හා මිනිසුන් අතර ගැටලු බුදුන්ගේ සමයේත් පැන නැගි බවයි.
ආන්ඩුව මෙහිදී පෙන්වා ඇත්තේ එහි සැබෑ ස්වරූපයයි. එනම් ප්‍රදේශයේ භූගත ජලයට විෂ රසායනික එක් කල බවට ගම්වාසීන්ගේ චෝදනාවන්ට ලක්ව ඇති ධනපති ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ ද එහි ප්‍රධාන කොටස්කරුවෙකු හා ආන්ඩුවේ සමීප හිතවතෙකු වන ධම්මික පෙරේරා වැන්නවුන්ගේ ද ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිනිස මහජනයාට විරුද්ධව සිය හමුදා-පොලීසි රුදුරු ලෙස මෙහෙයවන බවයි.
වැලිවේරිය ප්‍රහාරය සම්බන්ධ ලෝසවෙඅ පල කල ලිපි බෙදා හරිමින් ජනතාව හා තරුනයන් අතර මැදිහත් වූ එකම දේශපාලන සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය පමනි.
Follow us on