ජනාධිපතිගේ ජපාන සංචාරය තුලින් මතුවන අවස්ථාවාදී රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු
කපිල ප්‍රනාන්දු විසිනි, 2013 මාර්තු 25
ආසියාවේ තියුනුවන භූ දේශපාලන ආතතීන් මැද, පසුගිය 12-15 ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානයට සිදුකල සිව් දින සංචාරය ජපාන රජයේ හා රාජපක්ෂ ආන්ඩුවේ අවස්ථාවාදී රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු එලිමහනට ගෙන ආවේ ය. සංචාරය, 1951 සැන් ෆැන්සිස්කෝ සාම සමුලුවේ සිට ජපන්-ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල 60 වන සංවත්සරය සැමරීම නිමිති කොට ගෙන පැවැත්වූ නමුදු එය චාරිත්‍රානුකූල සැමරුමක් නොවී ය.
ජපාන අගමැති ෂින්සෝ ඇබේ හා රාජපක්ෂ අතර සිදු කෙරුනු සාකච්ඡාවලින් පසු, කරුනු 21 ක ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කෙරුනි. "ද්වීපාර්ශවීය සහයෝගීතාව" සහ "දෙරටට පොදු නාවික ප්‍රශ්නවලට ඵලදායී ලෙස ආමන්ත්රනය කිරීම" පිලිබඳව සිදු කෙරෙමින් පවත්නා සාකච්ඡා "වර්ධනය කිරීමට සහ පුලුල් කිරීමට" ඔවුහු එම ප්‍රකාශයෙන් එකඟ වූහ. මීට අමතරව ජපන් ධනපතියන් සඳහා ආයෝජන අවස්ථා සලසාදීම පිලිබඳව රාජපක්ෂ ඇබේ සමග විශේෂ සාකච්ඡා පැවැත්වීය. රාජපක්ෂට සංචාරය සඳහා ඇරැයුම් කරමින් ගන්නා ලද ආරම්භකත්වය ඉහත අරමුනු සම්බන්ධ ජපානයේ උත්සුකයන් පෙන්නුම් කරයි.
සාගර ආරක්ෂක ගිවිසුම තුල දී මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව හා ආපදා කලමනාකරනය සඳහා දෙරටේ නාවික හමුදා ඒකාබද්ධව කටයුතු කිරීම අවශ්‍ය බව ප්‍රකාශයේ සඳහන් කර තිබුන ද ඇබේ ඉන්දියන් හා පැසිපික් සාගර මුහුදු මාර්ග පිලිබඳව කල අවධාරනය ඉහත අරමුනුවලට එහා ගමන් කරයි.
සාගර ආරක්ෂක ගිවිසුම සම්බන්ධ ජපාන පාලක පන්තියේ අරමුනු පැහැදිලි කරන ලිපියක් ජපානයේ ප්රමුඛ පුවත් පතක් වන අෂායි ෂින්බුන්හි පල විය. "චීනය පිලිබඳව සැලකිලිමත් වෙමින් ජපානය හා ශ්‍රී ලංකාව නාවික ආරක්ෂක සන්ධානයක් තහවුරු කරයි" යන හිසින් එම පුවත්පතේ මාන්ඩලික ලේඛකයෙකු ලියූ එම ලිපියේ "ඉන්දියානු සාගර වෙරලාසන්න රටවල් තුල වැඩෙන චීන බලපෑම සීමා කිරීමේ අරමුනින් ජපානය ශ්‍රී ලංකාව සමග තම නාවික ආරක්ෂක සන්ධානය ශක්තිමත් කර ගැනීමට සැලසුම් කරයි," යනුවෙන් සඳහන් වෙයි.
එම ලිපියට අනුව, ජපන් ආන්ඩුවේ මූලාශ්‍රයක් විසින් ජපානය හා ලංකාව අතර තරවන සම්බන්ධතාවන් විස්තර කොට ඇත්තේ "හම්බන්තොට වරාය ද ඇතුලුව ඉන්දියන් සාගරයේ වෙරලාසන්න රටවල 'මුතු දාමය' නමින් චීනය ඉදිකොට ඇති වරායන්වල ක්‍රියාකාරීත්වයට එරෙහි පියවරක්" ලෙසිනි. මේ අතර පුවත්පත උපුටා දැක්වූ ජපාන විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුනේ, "හම්බන්තොට වරාය අනාගතයේ චීන නාවික හමුදා මධ්‍යස්ථානයක්" විය හැකි බව යි.
රාජපක්ෂ හා ඇබේ අතර සිදු කෙරුනු සාකච්ඡාවල දී, මෑත දී ජපානය හා චීනය අතර යුද ආතතිය උත්සන්න කල සෙන්කාකු දූපත් පිලිබඳ මතභේදය ගැන කරුනු දක්වමින් දූපත් ආක්රමනය කිරීමේ චීන පිලිවෙත ඇබේ විසින් හඳුන්වනු ලැබුවේ, ''කලාපයට ම පොදු ප්‍රශ්නයක්" ලෙස බැව් ජපන් නිලධාරියෙකු කියෝඩෝ පුවත්පතට පවසා ඇත.
ඉන්දීය හා පැසිපික් සාගර කලාපවල ස්ථාවරත්වය හා සංවර්ධනය සම්බන්ධව දෙරටට වැදගත් කාර්යභාරයක් පවතින බවත් ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගවල සන්ධිස්ථානයක පිහිටා ඇති බැවින් ජාත්‍යන්තර ප්‍රජාව සමග තීරනාත්මක හා ධනාත්මක ක්‍රියාවලියක නිරත විය හැකි බවත් ඒකාබද්ධ ප්‍රකාශය තුල දී නායකයන් දෙදෙනා පිලිගෙන ඇත. ඇබේ ප්‍රකාශ කොට ඇත්තේ ඒ සඳහා ලංකාවට පූර්න සහාය ලබා දෙන බව යි.
2008 සිට අවපාතයක් දිශාවට වර්ධනය වන ලෝක ආර්ථික අර්බුදය මගින් චීන-ජපන් එදිරිවාදිකම් උග්‍ර කොට ඇති අතර අප්‍රිකානු, මැද පෙරදිග හා ආසියානු කලාපයේ චීන ආයෝජන එක්සත් ජනපද හා ජපාන ආයෝජන ඉක්මවා යමින් ලෝකයේ දෙවන ආර්ථිකය බවට ජපානය අභිබවා චීනය පත්වීම මෙම එදිරිවාදිකම් පිටුපසින් පවතී.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ මංමුලා සහගත ප්රයත්නයක් ලෙස තම මිලිටරි ශක්තිය මත වාරු වී සිටින ඔබාමා පරිපාලනය ප්රමුඛ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය 'ආසියාව දෙසට හැරීම' යටතේ නව ආර්ථික හා මිලිටරි එදිරිවාදියෙකු ලෙස සලකමින් චීනය වටලෑම සඳහා ජපානය ද ඇතුලු රටවල් ගනනාවක් සමග මූලෝපායික සන්ධානවලට ගොස් තිබේ. මෙම අධිරාජ්‍යවාදී මූලෝපාය කලාපයේ ආතතීන් වර්ධනය කරන ප්‍රධාන සාධකය යි.
''එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර සම්මුතීන් වැනි ජාත්‍යන්තර නීතිවලට හා මූලධර්මවලට ජපන්-ලංකා සම්බන්ධතා අනුකූලවීමේ වැදගත්කම" ඒකාබද්ධ ප්‍රකාශයේ දී අවධාරනය කොට ඇත.
ජාත්‍යන්තර සාගර නීති පිලිබඳ මෙම ප්‍රකාශ මුලුමනින් ම ප්‍රෝඩාකාරී ය. ''බලය යෙදීමට එරෙහි ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍ය ජය ගත යුතු ය" යනුවෙන් 1982 ආජන්ටිනාවට විරුද්ධව යුද ප්‍රකාශ කිරීම සඳහා එවකට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ගෙනහැර දැක්වූ යුක්තිකරනය උපුටා දක්වමින් සෙන්කාකු දූපත් මතභේදයේ දී චීනය සමග යුද්ධයකට ඇබේ සූදානම් විය. (බලන්න: ජපන් අගමැති යුද්ධයට සූදානම් වේ ).
ඇබේ, රාජපක්ෂ සමග ඇති කර ගත් එකඟතාවන් එම ආතතීන් අවසන් නොවන බවට සලකුනක් පමනි. දැන් ඔහුගේ ආන්ඩුව යුද්ධයට එරෙහිව ජපන් ජනතාව තුල පවතින විරුද්ධත්වය නොතකා හරිමින් කම්කරු පන්තිය මත එල්ල කෙරෙන ප්‍රහාර වෙනතකට යොමු කිරීම සඳහාත් නව වටයකින් රට තුල ජාත්‍යෝත්තමවාදී උත්සන්නියක් මුදා හැර තිබේ.
රාජපක්ෂගේ සංචාරය ඔහුගේ ආන්ඩුව ආර්ථික හා දේශපාලනිකව එක සේ මුහුන දී සිටින අර්බුදය ප්‍රකාශ කරන්නක් විය. 2009 සිට ජපානය අභිබවා ලංකාවට ආධාර දෙන ප්රමුඛ රට බවට චීනය පත් වීමෙන් පසු, පලමු වරට ආයෝජන ව්‍යාපෘතියකට හැර නය දිය නොහැකි බව ප්‍රකාශ කරමින් ආන්ඩුව ඉල්ලූ ඩොලර් මිලියන 500 ක නයක් මේ මස මුල දී චීනය ප්‍රතික්ෂේප කලේ ය. රට තුල තවදුරටත් කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා පීඩනය යෙදීමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, රාජපක්ෂ විසින් ඉල්ලූ ඩොලර් බිලියනයක නය මුදලක් ප්‍රතික්ෂේප කලේ ඊට පෙර මාසයේ දී ය. කෙසේ නමුත්, යෙන් බිලියන 41.1 (හෙවත් ඩොලර් බිලියන 0.43) ක නයක් ජපානයෙන් රාජපක්ෂට ලබා දීමට පොරොන්දු වී ඇත.
සංචාරයේ විශේෂත ම කරුනක් වූයේ, ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් රාජපක්ෂ ආන්ඩුවට එල්ල කරන යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා ඇබේගෙන් එල්ල නොවීම යි. අධිරාජ්‍යවාදීන්ගේ මෙම චෝදනා එල්ල වී ඇත්තේ, 2009 දී එල්ටීටීඊ පරාජය කිරීමෙන් පසු ලංකාව තුල වැඩෙන චීන ආධිපත්‍ය බිඳීමේ කොටසක් ලෙසිනි.
රාජපක්ෂ විසින් උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ වාර්තා ක්‍රියාත්මක කොට ඇති ආකාරය ඇබේ ප්‍රශංසාවට ලක් කලේ ය. 2002 සිට ලංකාව සම්බන්ධ ජපාන විශේෂ සාම නියෝජිතයා ලෙස කටයුතු කල යෂුෂි අකාෂි, ''ලංකාවේ වත්මන් තත්වය සලකා නොබලා අනෙක් රාජ්‍යයන් මෙන් මානව හිමිකම් ප්රශ්නය මත ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට ජපානය සුදානම් නැතැ" යි මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. රාජපක්ෂ ආන්ඩුවට කර ඇති ප්‍රශංසා නිශ්චිතව ම ලංකාව කෙරෙහි තම බලපෑම තර කර ගැනීමට ජපානය තබා ඇති නව පියවරකි.
සටන් විරාමය ඉරා දමමින් රාජපක්ෂ ගෙන ගිය ලේවැකි යුද්ධය පිලිබඳව ජපානය, එක්සත් ජනපදය මෙන් ම නිහඬ පිලිවෙතක් අනුගමනය කලේ එම යුද්ධය තම මූලෝපායික අවශ්‍යතාවලට තර්ජනයක් නොවීම හේතුවෙනි.
කෙසේ නමුත්, ලංකාවට එරෙහි එක්සත් ජනපද පීඩනය උග්‍ර කොට ඇති අවස්ථාවක එක්සත් ජනපදයේ මූලෝපායික හවුල්කරුවකු වන ජපානය රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ඡාවලින් ඉඟි කෙරෙන්නේ, කොලඹ ආන්ඩුව එක්සත් ජනපදය දෙසට නම්මා ගැනීම එහි මූලික අංශයක්ව තිබු බව යි. කලාපයේ යුද තර්ජනයක් මතු කර තිබෙන න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමා, එක්සත් ජනපදය මුල් වී රටවල් හයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන සාකච්ඡාවලට නැවත අවතීර්න වන ලෙස උතුරු කොරියාවෙන් රාජපක්ෂ කල ඉල්ලීමෙන් මෙය තවරටත් සනාථ වේ.
මේ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් ජනපදය විසින් ලංකාවට එරෙහිව සම්මත කල යෝජනාවට ජපානය ඡන්දය දීමෙන් වැලකී සිටි අතර ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා යයි පවසමින් චීනය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලේ ය. ලෝක ධනේෂ්වර අර්බුදයේ කොන්දේසි යටතේ එක්සත් ජනපදය හා ජපානය වැනි අධිරාජ්‍යවාදීන්ගේ හා චීනය වැනි නව බලයන්ගේ මෙම උත්සුකයන් කවර හෝ ජන කොටසකගේ මානව හිමිකම් රැකීමට යොමු වී නැති අතර භූ මූලෝපායික අවශ්‍යතා, අමුද්‍රව්‍ය හා වෙලඳාම සම්බන්ධ කුලල් කාගැනීම් මගින් මතු කර ඇත්තේ ම්ලේච්ඡ තුන්වන ලෝක යුද්ධයක අන්තරාය යි.
Follow us on