ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්වය අනාවරනය කෙරෙන වාර්තාවක්
පානිනී විජේසිරිවර්ධන විසිනි, 2013 මාර්තු 22
''ශ්‍රී ලංකාවේ අයවැය 2013 : වැඩි වන සහනාධාර සහ අන්තරායන් හමුවේ අවදානම" යන හිසින් වෙරිටේ පර්යේෂන පුද්ගලික සමාගම මෑතක දී එලි දක්වා ඇති පර්යේෂන වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්වය පිලිබඳ විවිධ පැතිකඩ අනාවරනය කෙරේ. රජයට මෙන් ම පුද්ගලික අංශයට මූලෝපායික සහ ප්‍රතිපත්තිමය උපදෙස් සපයන ආයතනයක් වන වෙරිටේ සමාගම තම වාර්තාවෙන් ඉදිරිපත් කරන කරුනු අනුව රටේ දල ජාතික නිෂ්පාදනයේ (දජානි) වර්ධනයක් පෙන්නුම්කල ද කම්කරු-පීඩිත මහජනතාවට එහි ප්රතිලාභ අත් වී නොමැති බව පැහැදිලි වෙයි.
''සංවර්ධනයේ'' ප්රතිලාභ මහජනතාවට ලැබෙමින් දුගී ජනයාගේ ජීවිත ශක්තිමත් කෙරෙමින් පවතී යැයි ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ කෙලතොලු ඇමැතිවරුන් දෙසාබාන පුරසාරම්වලට විපරීතව, වෙරිටේ කියා සිටින්නේ දුගී ජනයාගේ ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන අති මූලික පරිවර්තනයන් තුනක් සමාජ-ආර්ථිකයේ සිදු වෙමින් පවත්නා බව යි.
පොදු සුබසාධක ව්‍යූහයක සිට අනුග්‍රාහකයන්ට ආධාර ලබාදීමේ ව්‍යුහයකට මාරුවීම, ආධාර ලබා දීමේ මාධ්‍යයන් ආයතනයන්හි සිට දේශපාලනයට මාරුවීම හා අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි මහජනතාව ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙලවල් දුර්වල කිරීම ආදී වශයෙන් මෙම පරිවර්තනයන් තුන ඔවුහු හඳුනා ගනිති.
පොදුවේ සමස්ත මහජනතාව අත් විඳිමින් සිටි සුබසාධක වෙනුවට හඳුනාගත් පවුල්වලට සෘජුව ආධාර ලබා දීමේ ''දිවිනැගුම" වැනි ව්‍යාපෘති විශ්ලේෂනය කරමින් මෙම පලමු හා දෙවන පරිවර්තනයන් විස්තාරනය කරන ඔවුන් තෙවන පරිවර්තනය පහත අයුරින් සනාථ කරයි.
2013 දී අධ්‍යාපනය සඳහා වෙන් කෙරී ඇත්තේ, දජානියෙන් සියයට 1.51ක් පමනක් වන අතර 2010 සිට සෑම අයවැයකින් ම අධ්‍යාපනය සඳහා වැය කෙරෙන මුදල් කප්පාදු කෙරී ඇත. මෙහිදී පුනරාවර්තන වියදම්හි තියුනු කප්පාදුවක් ඇති වී ඇති බැව් ඔවුන් නිගමනය කරයි.
දජානියේ ප්‍රතිශතයක් ලෙස සෞඛ්‍යය සඳහා 2012 දී වෙන් කල සියයට 1.31ට සාපේක්ෂව 2013 දී වෙන් කොට ඇත්තේ සියයට 1.33 කි. 2012 දී තථ්‍ය වශයෙන් සෞඛ්‍යය සඳහා වැය කෙරී ඇත්තේ දජානියෙන් සියයට 1.26කි.
පසු ගිය හය වසර තුල දජානියේ වර්ධනය සියයට 40ක් වුව ද ''රැකියා රහිත වර්ධනයක්" දෙසට රට ගමන් කරමින් සිටින බවට තර්ක කරන වාර්තාව, උතුරු හා නැගෙනහිර පලාත් හැර අනෙක් පලාත් හතේ 2012 වසරේ පැවති මුලු රැකියා සංඛ්‍යාව, 2006 වසරේ පැවති රැකියා සංඛ්‍යාවට සමාන බව පෙන්වා දෙයි. 2006 දී හා 2012 දී මෙම පලාත් හතේ සමස්ත රැකියා සංඛ්‍යාව පිලිවෙලින් 7,105,322 හා 7,120,518 වන අතර රැකියා වර්ධනය සියයට එකටත් වඩා අඩු වේ.
කෙසේ නමුත්, වසරින් වසර ශ්‍රම බලකායට එකතුවන දහස් සංඛ්‍යාත ජනතාව සම්බන්ධයෙන් ගත්කල මෙම අල්ප වැඩිවීම විරැකියාව අඩු කිරීමට කිසිසේත් ම ප්‍රමානවත් නොවේ. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2006 දී සියයට 51.2ක් වූ ශ්‍රම බලකායේ සහභාගිත්ව ප්‍රතිශතය 2011 දී සියයට 48.8ක් වේ. ශ්‍රම බලකායේ සහභාගිත්වය සියයට 2.4කින් අඩු වී ඇති තතු යටතේ, විරැකියා ප්‍රතිශතය සියයට 4ට ආසන්න අගයකට අඩු වී ඇති බවට ආන්ඩුව ඉදිරිපත් කරන ගනන් හිලව් ව්‍යාජයන් බැව් ඉතා පැහැදිලි ය.
දජානියේ වර්ධනය සිදු වී ඇත්තේ, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් ක්ෂේත්රයේ වන අතර මෙය විදේශ සෘජු ආයෝජන ගෙන්වා ගැනීමේ එල්ලය ඇතිව කි‍්‍රයාත්මක වන්නකි. නමුදු, ලෝක ආර්ථික අර්බුදය හා රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඉතා මන්දගාමී තානයක පවතී. පසුගිය වසරේ ඩොලර් බිලියන 2ක ආයෝජන ඉලක්කයක් පැවැතුන ද ගලා ආ ආයෝජන ප්‍රමානය ඉන් අඩකට සමාන වූ බව මෙම වසර මුල දී මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කලේ ය. 2013 වසරේ ඉලක්කය බිලියන 1.5 ලෙස නියම කොට තිබුන ද එය ද සපුරාගත නොහැකි බැව් පලමු කාර්තුව අවසානයේ දත්ත වලින් ප්‍රකාශිත ය. මීට අමතරව පසුගිය දෙවසර තුල ආයෝජන ඉවත් කර ගැනීමේ ප්රවනතාවක් පෙන්නුම් කරමින් ඇඟලුම් කම්හල් සියයකට ආසන්න ප්‍රමානයක් වසා දමා දහස් ගනනකට රැකියා අහිමි කෙරී ඇත.
දැවැන්ත සංවර්ධනයක් සිදු වෙමින් පවත්නා බවටත් එහි ප්රතිලාභ පොදු මහජනතාවට අත් වෙමින් පවත්නා බව මවා පාමින් ජනාධිපතිගේ පුද්ගල ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා පවත්වා ගෙන යන ''දැයට කිරුල" වැනි ව්‍යාපෘති විවේචනයට ලක් කරන වෙරිටේ, මෙම සැනකෙලිය සඳහා වසරකට වැය වන මුදල සමාජ සේවා අමාත්‍යංශයේ සමස්ත වාර්ෂික වැය ශීර්ෂය මෙන් 15 ගුනයක් බවත් එම වියදම් අයවැයෙන් පිටස්තරව සිදුවන බවත් පෙන්වා දෙයි: ''දුර්වල අයවැය භාවිතයක් පිලිබිඹු කරමින් විවිධ අමාත්‍යංශවලින් මේ සඳහා මුදල් ඇද ගනු ලබන්නේ පාර දෘශ්‍ය නොවන" අයුරින්යැයි ඔවුහු තව දුරටත් පවසති.
යුද්ධය අවසන් වීමේන් පසුව රාජපක්ෂ ආන්ඩුව විසින් සමස්ත උතුරු-නැගෙනහිර කලාපය ම රුදුරු හමුදා පාලනයකට යටත් කොට ඇත. මෙවන් දැවැන්ත හමුදාවක් පවත්වා ගෙන යාම හේතුවෙන් ඉහල යන ආරක්ෂක වියදම ගැන අවධානය යොමු කරන පර්යේෂකයෝ, 2013 දී එය දජානියෙන් සියයට 19 දක්වා වැඩි කොට ඇති බව පෙන්වා දෙමින් පශ්චාත් යුද සමයේ ආරක්ෂක ක්ෂේත්රයේ ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම්වලට වඩා ඉතා වේගයෙන් වර්ධනය වීම පිලිබඳව කනස්සල්ල පල කරති.
''නිෂ්පාදන ආර්ථිකයට හමුදා කේඩරයන් ඒකාග්ර කිරීම දිරිගන්වන සහ වෙනත් ක්ෂේත්රයන්හි නිපුනතා ලබාදීමේ සැලසුම් නොමැතිව" ආරක්ෂක හමුදාවන් පවත්වාගෙන යාම තුල ආරක්ෂක වියදම්වලින් අඩක් නිකරුනේ වැටුප් සඳහා වැය වන බව වාර්තාව පවසයි. රජයේ සේවා නියුක්තිකයන්ගේ මුලු සංඛ්‍යාව ලක්ෂ 13ක් වන අතර එයින් තුන් ලක්ෂයක් ම ආරක්ෂක හමුදාවල සේවයේ නියුතු බව පවසන පර්යේෂකයෝ මෙවන් දැවැන්ත හමුදාවක් පවත්වා ගෙන යාම නිෂ්පාදන ආර්ථිකයට කවර අයුරකින් හෝ ඵලදායී නොවන බව තව දුරටත් පෙන්වා දෙති.
ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන ඇති නාගරික සංවර්ධන අධිකාරියට (නාසඅ) අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් වැය කෙරෙන්නේ සියයට 5ක් වැනි අල්පයක් බව පෙන්වා දෙන වෙරිටේ, නාසඅ මගින් සෑම නගරයක් ම ඉතා වේගයෙන් සංවර්ධනය කෙරෙන්නේ යැයි ආන්ඩුව ගසන කයිවාරුවේ පල්ල ගලවා දමන්නේ, ''ආරක්ෂක අමාත්‍යංශය විසින් නාසඅ ගිල දමා ඇත"යි පවසමිනි.
කෙසේ නමුදු, වෙරිටේ වාර්තාව මෙම සමාජ-ආර්ථික පරිවර්තනයන්ගේ ජාත්‍යන්තර ස්වභාවය පිලිබඳව තම අවධානය යොමු නොකරයි. ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාව මත සිදු වෙමින් පවත්නා මෙම පරිවර්තනයන් ජාත්‍යන්තර ප්රපංචයක් වන අතර එය වටහා ගැනීම සඳහා යුරෝපයේ සිදුවීම් මහත් සේ උදව්කාරක වේ. විරැකියාව දැවැන්ත ලෙස ඉහල නංවමින් හා සමස්ත සමාජ සුබසාධන ව්‍යූහයන් විනාශ කරමින් යුරෝපයේ සිදු වෙමින් පවත්නා මෙවන් පරිවර්තනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව හා යුරෝපා සංගමය යන ත්‍රිත්වයේ සෘජු විධිවිධාන මත සිදුකෙරුනු දැවැන්ත කප්පාදු වල ප්රතිඵලයකි.
දියුනු අධිරාජ්‍යවාදී රටවල සිට ශ්‍රී ලංකාව වැනි නොදියුනු රටවල් දක්වා සෑම පාලක පංතියක් ම යෙදී සිටින්නේ 2008න් ඇරැඹුන, ගෝලීය ආර්ථික අවපාතයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් මෙතෙක් දිනාගත් සමාජ සුභසාධන විනාශ කොට ඔවුන් විරැකියාවේ හා දරිද්‍රතාවේ ගිල්වීමේ රුදුරු ව්‍යායාමයක ය.
රාජපක්ෂ තන්ත්රය තම ජාත්‍යන්තර සගයන්ගෙන් වෙනස් නොවේ. ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී ඇති ආන්ඩුව 2009 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් ඩොලර් බිලියන 2.6ක නය කන්දරාවට අමතරව දැන් තවත් බිලියනයක් ඉල්ලා සිටී. නමුදු, මූල්‍ය අරමුදල කියා සිටින්නේ, ඔවුන් විසින් යෝජනා කල කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමේ වේගය පිලිබඳව තෘප්තිමත් නොවන බැවින් එම නය මුදල ලබා දිය නොහැකි බව යි. 2013 වසර අවසානයේ දී අයවැය පරතරය දජානියෙන් සියයට 5.8ක් දක්වා පහතට ගෙන ඒම මූල්‍ය අරමුදලේ මූලික නියෝගයකි.
දැන් රාජපක්ෂ ආණ්ඩුව මූල්‍ය අරමුදල තෘප්තිමත් වන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු ය. අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු අනෙකුත් සුභසාධන වියදම් වඩා වේගයෙන් කපා හරින අතර, පාඩු ලබන ආයතන ලෙස නම් කර ඇති විදුලිබල මන්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ජලාපවාහන මන්ඩලය වැනි ආයතන වහා ම ප්රතිව්යුහකරනය කරමින් දහස් සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් නෙරපා දැමිය යුතු ය. එයට සමගාමීව ඉන්ධන, විදුලි හා ජල ගාස්තු දැවැන්තව ඉහල දැමිය යුතු අතර විදුලි ගාස්තු සියයට 300න් වැඩි වන බව දැනටමත් නිවේදනය කොට ඇත. වෙරිටේ පර්යේෂකයන් යෝජනා කරන අයුරින් රාජ්‍ය අංශයේ ඵලදායී රැකියා උත්පාදනය කරනු වෙනුවට සිදුවනු ඇත්තේ දහස් සංඛ්‍යාත රැකියා විනාශ කිරීම ය.
මෙසේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ පීඩිතයන් වඩ වඩාත් දරිද්‍රතාවට පත් වෙද්දී ධනපති මාධ්‍යයන් විසින් ම වාර්තා කෙරෙන ගනන් හිලව් වලින් පෙන්නුම් කෙරෙනුයේ, බැංකු ඇතුලු මූල්‍ය ආයතන හා මහා පරිමාන සමාගම් දැවැන්ත ලෙස තම ලාභ කඳු ගොඩ ගසා ගන්නා අයුරු ය. මෙම සමාගම් හිමියන් සහ ඒවායෙන් මිලියන සංඛ්‍යාත වැටුප් ලබන පරපුටු විධායක නිලධාරීන් එක් අන්තයක ද ද මිලියන සංඛ්‍යාත දුගීන් අනෙක් අන්තයේ ද වන අයුරින් සමාජය වේගයෙන් ධ්රැවාන්තගත වෙමින් පවතී.
මෙම තතු මගින් නිර්මානය කෙරී පවතින සමාජ පිපිරීම් තත්වයෙන් තැති ගෙන සිටින රාජපක්ෂ තන්ත්රය පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර නගමින් සිටින අතර, දැවැන්ත මුදල් කන්දරාවක් වැය කරමින් සුවිසල් ආරක්ෂක හමුදාවක් මත වඩ වඩාත් වාරු වෙමින් පවතී.
Follow us on