ශ්‍රී ලංකාවේ සමූහ මිනීවල ගම්බද සමූලඝාතන යලි සිහි කැඳවයි
Sri Lankan mass grave recalls rural massacres
ගාමිනී කරුනාසේන හා ඉවාන් වීරසිංහ විසිනි, 2013 අප්‍රේල් 29
මල සිරුරු සිය ගනනකට අයත් අස්ථි හා හිස්කබල්වලින් සමන්විතව මෑතක දී ශ්‍රී ලංකාවෙන් හමු වූ සාමූහික මිනීවල, 1988 හා 1990 අතරතුර කාලයේ ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩු සමයේදී සංහාරය කරන ලද දස දහස් ගනනක් තරුනයින්ගෙන් ඇතමෙක් වලදැමීමට යොදාගත් ස්ථානයක් වියහැකි බවට සාක්ෂි ඉස්මත්තට එමින් තිබේ.
කොලඹ සිට කිලෝමීටර් 150ක පමන දුරකින් පිහිටි මාතලේ ප්‍රදේශයේ රෝහලක ඉදිකිරීමක් සඳහා පොලව කනිමින් සිටින අතරතුර මෙම බිම්ප්රදේශය අහම්බෙන් සොයා ගනු ලැබින. පසුගිය නොවැම්බර් මස මුල්වරට එලිමහනට පැමිනි මෙය යටපත් කිරීමට පොලිසිය හා ආන්ඩුව වෑයම් කලේ ය. කෙසේ නමුත්, මේ කෙරේ මහජන උත්සුකතාව වැඩෙත් ම මෙම ඇටකටු හා හිස් කබල් විද්‍යාත්මක පරීක්ෂනයක් සඳහා ඉදිරිපත් කරන්නැයි මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා පොලිසියට නියෝග කලා ය.
මෙම අස්ථි හා හිස්කබල් 1988-90 කාල පරිච්ඡේදයට අයත්විය හැකි බව පසුගිය මාසයේදී මහේස්ත්‍රාත්වරිය නිගමනය කලා ය.ඇය තම නිගමනය පදනම් කලේ මල සිරුරු අවශේෂ පරීක්ෂා කල මාතලේ රොහලේ අධිකරන වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන හා කැලනිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් ඉදිරිපත් කල වාර්තාවක් මත ය.
පුද්ගලයින් 154කට අයත් යැයි සැලකෙන අස්ථි හා හිස්කබල් හා අදාල ස්ථානයෙන් සොයා ගත් අනෙකුත් ද්‍රව්‍ය, අධිකරනමය හා පුරාවිද්‍යාත්මක තාක්ෂනික ක්‍රමවේදයන් භාවිතයෙන් පරීක්ෂා කරන ලදි. මොට්ට ආයුධවලින් පහර දීම, වෙඩි තැබීම හා හිස ගසා දැමීමෙන් මරන සිදුකර ඇති බව එහිදී පෙනී ගියේ ය. "මෙම සමූහ මිනීවලට වගකිව යුත්තෙකු සිටිය යුතු යැයි" සෝමදේව මාධ්‍යයට කීවේ ය.
මෙම මලසිරුරු වල දමා තිබුනේ "ශ්‍රී ලාංකික කුමන ජනකොටසකගේ වත් සිරිතකට අනුව නො වේ. ඇතැම් ඒවා තනි තනිව සොයා ගැනින. ඇතැම් මල සිරුරු පස් හය දෙනෙකුගෙන් සමන්විත කන්ඩායම් ආකාරයෙන් ගොඩ ගසා තිබුනි. සොයා ගැනීමට හැකිව ඇත්තේ මිය ගිය සමහරෙකුගේ හිස් කබල් හා තවත් සමහරෙකුගේ අස්ථි කොටස් පමනි," ඔහු තවදුරටත් කීවේ ය.
"හිස සිඳ දැමීම, අත්පා කපා දමා තිබීම හා රහසේ වලදා තිබීම පිලිබඳ සාක්ෂි " පෙන්නුම් කරන්නේ " දැනුවත්ව ම අපරාධ සිදුකර ඇති බව" යැයි වෛද්‍ය ජයසේන අල් ජසීරා පුවත් සේවයට කීවේ ය.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව යුද්ධය පැවැති සමයේ, උතුරේ හා නැගෙනහිර එල්ටීටීඊ සංවිධානය නිරායුධ කිරීම සඳහා ඉන්දියන් හමුදාව ගෙන්වා ගැනීමටත් දෙමල ධනේශ්වර ප්රභූවට සීමිත සහන පිරිනැමීමටත් ජනාධිපති ජේ.ආර් ජයවර්ධන නවදිල්ලිය සමග 1987 ජූලි මස ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කලේ ය.ඉනික්බිති, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් දියත් කර තිබූ ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදී ප්‍රචාරය සහ විරැකියාව හා දරිද්‍රතාව හේතුකොටගෙන ගම්බඳ තරුනයින් අතර පැන නැග පැවැති කැරැල්ල මර්දනය කිරීමට, ජයවර්ධන ශ්‍රී ලංකා මිලිටරිය දකුනේ පලාත්වලට දිගේලි කලේ ය.
ජවිපෙ නායක රෝහන විජේවීර ද ඇතුලු ජවිපෙ ක්‍රියාකාරීන් සමග 60,000ක් තරුනයින් ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇති බවට ඇස්තමේන්තු කොට තිබේ. දකුනේ තරුනයින් සමූලඝාතනය කිරීම ආන්ඩුව විසින් යුක්තිසහගත කලේ ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාර දෙසට ඇඟිල්ල දිගු කරමිනි. ජයවර්ධන හා ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාස හදිසි නීතිය දැඩිකරමින් දඬුවම් නොලබා ක්‍රියාකිරීමට ඝාතක කල්ලිවලට අවසර දුන්නේ ය. මාතලේ එවන් සමූලඝාතන සිදුකල එක් ප්රදේශයකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොයුරු, වත්මන් ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙකී කාලපරිච්ඡේදයේ දී මාතලේ දිස්ත්‍රික්කය සඳහා මිලිටරි සම්බන්ධීකරන නිලධාරියා වසයෙන් ක්‍රියාකරමින් සිටි බව එලිදරව් වූ වහාම ආන්ඩුව හා එහි මාධ්‍ය මහජනයා නොමග යැවීමේ ප්‍රචාරයක් පටන් ගත්තේ ය.
මහේස්ත්‍රාත් වාර්තාව නොතකමින්, ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් හුලුගල්ල ප්‍රකාශ කලේ, පොලිස් අපරාධ විමර්ශන ඒකකය (සීඅයිඩී) එහි විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව යි. සාක්ෂි තමන්ට අවැසි ආකාරයට විකෘති කිරීමෙහි ලා සීඅයිඩි ය කුප්‍රකට ය. අස්ථි හා හිස් කබල් 1947 වසූරිය වසංගතයට හෝ 1971 ජවිපෙ මෙහෙය වූ කැරැල්ලට ගොදුරු අයගේ විය හැකි යැයි ඔහු කීවේ ය.
මිනීවල පිලිබඳ විමර්ශනය කිරීමට තමන් කොමිෂමක් කරන බව ජනාධිපති රාජපක්ෂ කීවේ ය. 2009 දී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් දිනවලදී මිලිටරිය දෙමල සිවිල් වැසියන් දස දහස් ගනනක් මරා දැමීම පිලිබඳව නැගෙන චෝදනාවලට මුහුන දෙමින් යුද අපරාධවලට සුදු හුනු ගෑමට උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමක් රාජපක්ෂ පත් කලේ ය.
වයස අවුරුදු 17 හා 18 ගනන්වල පසු වූ සිය තරුන පුතුන් දෙදෙනා 1989 දී හමුදාව විසින් පැහැර ගෙන ගොස් අනතුරුව අතුරුදහන් කල බව මාතලේ උකුවෙල ගමේ පදිංචි කේ.ජී. කමලාවතී පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවැසුවා ය. "1989 දෙසැම්බර් 13 දා හවස 1.30 විතර යුනිෆෝම් ඇඳගෙන ආපු ගජබා රෙජිමේන්තුවේ හමුදා නිලධාරීන් මගේ පුතාලා දෙන්නා ට්‍රක් එකකට දාගෙන අරන් ගියා."
ඇගේ පුතුන් දෙදෙනා අධ්‍යාපනය ලබමින් සිටියේ, මාතලේ විජය විද්‍යාලය හා විද්‍යා විද්‍යාලයේ ය. ඔවුන් සමඟ තවත් තරුන කම්කරුවෙකු ද අල්ලා ගැනිනි. එකී කාල පරිච්ඡේදයේදී තරුනයින් 13 දෙනෙකු අසල්වැසි නිවෙස්වලින් පැහැර ගැනුනු බව කමලාවතී කීවා ය. "විජය විද්‍යාලයේ පිහිටුවලා තිබුන ආමි කෑම්ප් එකට ඔවුන් අරගෙන ගියා," ඇය කීවා ය. "කොයිතරම් උත්සහා කලත් මට මගේ දරුවන් බලන්න ඉඩ දුන්නේ නෑ. දවස් තුනකට පස්සේ ඔවුන් මට නම් ලැයිස්තුවක් පෙන්නුවා. ඒ නම් අතර මගේ පුතාලගෙ නම් දෙකත් තිබුනා. ඒත් ඒ නම් දෙක ම ඔවුන් රතු පෑනකින් කපලා දාල තිබුනේ."
උදව් ලබාගැනීමේ අරමුනින් විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවීමට කමලාවතී ගියා ය. ඔවුන්ගෙන් ඇතැමෙකු දැන් ආන්ඩුවේ ඇමතිවරු ය. මහින්ද රාජපක්ෂ ද ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) නායකයන්ගෙන් ඇය ලැබුවේ බොරු පොරොන්දු ම පමනි. "ඔහුගේම [මහින්ද රාජපක්ෂ] සහෝදරයාගේ නියෝග පිට දරුවන් මරා දමද්දි තමයි ඔහු මේ මුසාවන් කියමින් සිටියේ."
ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) හා ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය (නසසප) යන පක්ෂවල පිටුබලය ලද ශ්‍රීලනිප නායකයෝ, මැතිවරන අරමුනු වෙනුවෙන් සමූලඝාතන කෙරේ පැවැති මහජන විරුද්ධත්වය ගසාගෑමට විවිධාකාර විරෝධතාවන් දියත් කලහ. 1994 ජනපතිවරනයෙන් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ඇවිලෙමින් තිබූ මහජන වෛරය නිවා දැමීමට ජනාධිපති කොමිෂන් පත් කලා ය. මෙකී කොමිෂන්වල වාර්තාවන් පසුව හමස් පෙට්ටියට දැමින.
එහි ෆැසිස්ට් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය මහජනයා අතර අත්‍යන්තයෙන් ම අවමානයට පාත්‍ර වූ ජවිපෙ හා එයින් බිඳුන කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එහි ස්වෝත්තමවාදී ප්‍රචාර වික්‍රමාන්විත මහජන නැගිටීමක් ලෙස යුක්තිසහගත කිරීමට මේ කාලපරිච්ඡේදයේ සිදුකල ජනසංහාරයන් උපයෝගී කර ගැනීමට දැන් වෑයම් කරති. එහි ප්‍රචාර මෙහෙයුම්වලට සහය නොදුන් දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ජවිපෙ විසින් ඝාතනය කලේ ය. එලෙස ඝාතනයට ලක්වූ අය අතර සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයෝ තිදෙනෙක් ද වෙති.
1988-90 යූඇන්පී ආන්ඩුවේ මර්දනය හා ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාරවලට එරෙහිව විකොස ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ගෙන ගියේ ය. ආන්ඩුවට හා ජවිපෙට එරෙහිව කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා විකොස කැඳවුම් කල අවස්ථාවේදී ලසසප, කොප හා නසසප කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විරුද්ධත්වය පල කලහ. ඒ වෙනුවට ඔවුන් කලේ, ශ්රීලනිපය සමඟ සන්ධානයකට බැකිම දෙමින්, ශ්රීලනිපය විසින් නායකත්වය දුන් ජනතා සන්ධානය තුල කම්කරුවන් හා ගොවිජනයා අතර මිත්‍යාවන් වගාදිගා කිරීම යි.
රාජ්‍ය හස්තය ශක්තිමත් කිරීම සඳහා නිමිත්තක් සම්පාදනය කර දීමත්, දෙමල විරෝධී වාර්ගික යුද්ධයට පිටුබලය ලබා දීමත් මගින් තරුන ජනයා ලෙයින් මර්දනය කිරීමට අවස්ථාව සැලස්සවීම සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලනිකව වගකිව යුතුයැයි පැහැදිලි කරන අතරේ ම ජවිපෙ නායකයින් හා සාමාජිකයක් ඝාතනය කිරීම විකොස විසින් දැඩි ලෙස හෙලා දකින ලදි. ආන්ඩුවේ තනතුරු ලබා ගැනීමට ප්‍රේමදාස සමග ජවිපෙ තිරයට පිටුපසින් රහස් සාකච්ඡා ගෙන ගිය අතර 1994 දී දේශපාලන සංස්ථාපිතයට යලි අන්තර්ග්රහනය වීමට අවසර ලැබිනි. ජවිපෙ 1994 දී කුමාරතුංග තෝරාපත් කර ගැනීමට ද 2005 වසරේ දී මහින්ද රාජපක්ෂගේ තේරී පත් වීමට ද බැකිම දුන්නේ ය.
විකොස, 1990 පෙබරවාරි 8 දා පලකල ප ්රකාශයකින් ගම්බද තරුනයින් ආරක්ෂා කිරීමට කම්කරු පන්තියට කැඳවුම් කලේ ය. එය මෙසේ කීවේ ය: "රාජ්‍ය හමුදා හා මැර කල්ලි විසින් ගෙනයමින් තිබෙන ප්‍රහාරවලට එරෙහිව ගම්බද ජනයා ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය ආරම්භකත්වය ගැනීම හා ඉදිරියට ඒම තීරනාත්මක වැදගත්කමකින් යුතු වේ."
පාලක ප්රභූවේ සෑම කන්ඩායමකම නිර්දය වාර්තාව මාතලේ සමූහ මිනීවලෙන් තීරනාත්මකව අවධාරනය කෙරෙයි. අද දින රාජපක්ෂ ආන්ඩුව එය විසින් ගැඹුරු කරමින් තිබෙන කප්පාදු පිලිවෙත් සහ කම්කරුවන්, තරුනයින් හා ගම්බද දුගීන්ගේ මූලික අයිතිවාසිකම් මත එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව පැන නැඟෙමින් පවතින මහජන විරුද්ධත්වය තලා දැමීමට, පසුගිය වසර 30ක දී වර්ධනය කරන ලද පොලිස්-රාජ්‍ය විධික්රම යොදා ගනිමින් තිබේ.
Follow us on