හලාවත නගර සභා කම්කරුවන් ජීවත් වන්නේ අතිදුෂ්කර කොන්දේසි තුල
සුසර විස්කම් විසිනි, 2013 නොවැම්බර් 19
හලාවත නගර සභා කම්කරුවන්ගේ අති දුෂ්කර රැකියා හා ජීවන කොන්දේසි රටපුරා විහිදී ඇති පලාත් පාලන ආයතනවල කම්කරුවන්ගේ කොන්දේසි පෙන්නුම් කරයි. එය ලංකාවේ බලයට පත් සෑම ආන්ඩුවකට ම එරෙහි චෝදනා පත්රයකි. කානු පද්ධතීන් හා මං මාවත් හි කසල සෝදකයන් ලෙස සේවයේ යොදවා ඇති මෙම කම්කරුවෝ දරිද්‍රතා වැටුප්වලට හා අසංස්කෘතික ජීවන කොන්දේසිවලට ඇද දමා සිටිති.
මධ්‍යම ආන්ඩුවෙන් ප්‍රතිපාදන නොලබන පලාත් පාලන ආයතන 335 ක් පමන රට පුරා තිබේ. වෙලඳසැල්, ව්‍යාපාර හා නිවාස මත බදු පැනවීමෙන් ආදයම් ලැබුව ද මෙම ආයතන වලින් මහජනයාට අත්වන සුභසාධනයක් නැත.
මෑතක සිට කොලඹ ඇතුලු මහ නගර සභාවල පවිත්‍රතා කටයුතු පුද්ගලික ආයතනවලට පවරා කම්කරු අයිතීන් හා වැඩ කොන්දේසිවලට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පවිත්‍රතා කටයුතුවලට අවශ්‍ය උපකරන, අත්වැසුම් හා සපත්තු මෙම කම්කරුවන්ට නැත. කැලිකසල ගැටලුව විසඳීමට සැලසුම්ගත වැඩපිලිවෙලක් ද රජයට හෝ පලාත් පාලන ආයතනවලට නැත.
දැනට හලාවත නගර සභාව තුල ස්ථිර කම්කරුවන් 60ක් පමන හා අනියම් කම්කරුවන් 75ක් පමන සේවයේ යොදවා සිටිති. අනියම් කම්කරුවන්ට අඛන්ඩව වැඩ ලබා නොදීම මගින් කම්කරුවන් ස්ථීර නොකර දිගටම අනියම් තත්වයේ තබා ගැනීම හලාවත නගර සභා පරිපාලනයේ පිලිවෙත වී තිබේ. හලාවත නගර සභාවේ කම්කරුවන්ගෙන් වැඩි දෙනා දෙමල සම්භවයකින් ඇති අය වෙති. ඔවුහු පරපුරෙන් පරපුරට නගර සභාවට අනුයුක්තව සොච්චම් වැටුපකට තම ශ්‍රමය වගුරති.
අප වාර්තා කරුවන්ට කතා කල නගර සභා කම්කරුවෝ තමන් මුහුන දෙන දුෂ්කර රැකියා හා ජීවන කොන්දේසි ගැන විස්තර කලහ. විවාහක එක්දරු පියෙකු වන තරුන කම්කරුවෙකු ප්‍රකාශ කලේ "අපේ කුඩා නිවසේ පවුල් 2 ක් ඉන්නවා. මම කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන්නේ. අපේ වැඩ මුරය උදේ 6.30 සිට සවස 4.00 දක්වා. අතිකාල නැහැ. මගේ සේවා කාලය අවුරුදු 10 ක් පමන වනතුරු දිනකට රුපියල් 410යි ගෙව්වේ. මාසෙකට දින 24-25 ක් පමනයි වැඩ ලැබෙන්නේ. මාසෙට ම ලැබෙන්නේ රුපියල් 10,000 ක් හෝ ඊට අඩු මුදලක්. අවුරුද්දකට මාස 6 ක් අපේ වැඩ අත්හිටුවනවා දිනක වැටුප රුපියල් 210 කින් 2012 අයවැයෙන් වැඩිකලා. ඒ අනුව මාසයකට රු. 17,000 ක් පමන ලැබුනත්, අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් අඩුකිරීම් වලින් පසුව අතට එන මුදලින් පවුලේ කෑම වියදමවත් පිරිමහ ගන්න බැහැ.
වැඩ නැති මාස හය ජීවත්වීම සඳහා සපත්තු අලුත්වැඩියා කිරීම, වැසිකිලි හා වැසිකිලි වලවල් පවිත්‍ර කිරීම, වැනි බාහිර වැඩ වල යෙදී එදිනෙදා උපයා ගන්න සුලු මුදලකින් දිවි ගැට ගසා ගැනීමට මෙම කම්කරුවන්ට සිදු වී ඇත. අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට නොහැකි හෙයින් 5 ශ්‍රේනියෙන් ඉහලට තම දරුවන් අධ්‍යාපනය නොලබන බව කම්කරුවෝ කීහ.
මෙම කම්කරු පවුල් ජීවත් වන්නේ හලාවත ලංගම බස් නැවතුම්පල අසල නගර සභාවට අයත් කුඩා බිම් තීරුවක, පේලි වශයෙන් පිහිටා ඇති වැසිකිලි, ජලය ඇතුලු මුලික පහසුකම් පවා ප්‍රමානවත් තරම් නැති කුඩා නිවාසවල ය. නිවාස 52 ක පවුල් 110 ක් ජීවත් වෙති. මෙම නිවාසවලින් 18 ක් වසර 75 ට පමන පෙර නගර සභාව විසින් හුනුගල්වලින් තැනු නිවාස ය. ඒවායේ ඇත්තේ සාලයක්, එක් කාමරයක්, සහ කුස්සියක් පමනි. මුලු ඉඩ ප්‍රමානය වර්ග අඩි 396 ක් පමන වේ. අබලන් හා ගරා වැටෙමින් පවතින මෙම හුනුගල් නිවාස වලට බද්ධව සහ අදාල කුඩා බිම් තීරුව තුල වෙනත් තැන්වල ඉතිරි නිවාස පිහිටා ඇත. ඒවා කම්කරුවන්ගේ වියදමින් ලෑලි වලින් තනා ගත් නිවාස ය. ඒවායේ වපසරිය වර්ග අඩි 250 ක් පමන වේ. උපරිම උස අඩි 5.8, කි.
ඉතා සුලූ වැස්සකදී වුවත් මෙම නිවාස තුලට ජලය ගලා එයි. අබලන් වලවල්වලින් වැසි දිනවලදී නිවාස තුලට ජලය කාන්දුවෙයි. එක ම නිවෙසකටවත් වැසිකිලියක් නැත. ඒ සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ බස් නැවතුම්පලේ තිබෙන පොදු වැසිකිලියයි. එක් වතාවකට ඒ සඳහා රු. 10 ක් ගෙවිය යුතුය. පානීය නල ජලය ඇත්තේ නිවාස ගනනකට ය. සෙසු අය ඒවායින් මුදලට ජලය ලබා ගතයුතු ය. ඒ සඳහා දිනකට කුඩා කලගෙඩි 10 ක් බැගින් පානීය ජලය ලබාගැනීමට මසකට රු. 200 ක් ඔවුන් ගෙවිය යුතුය. ස්නානය සඳහා සහ ඇඳුම් ඇතුලු රෙදිපිලි සෝදා ගැනීම හා ඉවුම් පිහුම් සඳහා මොවුන් ජලය ලබා ගන්නේ නගරසභාව විසින් ඉදිකර තිබෙන පොදු ලිඳෙනි. එක් නිවසකට නල ජල සැපයුම ලබා ගැනීමට රු. 15,000 -20,000 ක් පමන මුදලක් වැයවන අතර ඒ සඳහා ඔවුන්ගෙන් වැඩි පිරිසකට මුල්‍යමය හැකියාවක් නැත. සෙසු කම්කරු පවුල් කුලී ගෙවල්වල පදිංචිව සිටිති.
හොඳ නිවාස ලබාදෙන බවට ඡන්ද කාලේදී බොරු පොරොන්දු දී හැම පක්ෂයකම දේශපාලනඥයින් තමන්ව රැවටූ බවට කම්කරුවෝ චෝදනා කරති. දැනට කම්කරුවන් ජීවත් වන භූමිය පුද්ගලික රෝහලක් ගොඩනැගීම සඳහා ධනපති ආයෝජකයෙකුට විකුනා ඇති බව තමන්ට දැනගන්නට ඇතැයි කම්කරුවෝ කීහ. ඒ වෙනුවට නිවාස 65ක් හලාවත නරියාගොඩැල්ල ප්‍රදේශයෙන් ඉදිකර දෙන බවට නිවාස ඇමති විමල් වීරවංශ පොරොන්දු වී ඇතත් කම්කරුවන්ට ඒ ගැන විශ්වාසයක් නැත.
නරියගොඩැල්ල ඉඩම ජලයෙන් යටවන වගුරු බිමකි. එහි පස් පුරවා ඉදිකිරීමට අවම වසයෙන් රුපියල් 400,000 - 450,000 ක් පමන වැය වනු ඇතැයි කම්කරුවෝ කියති. ලෑලි වලින් නිවසක් තැනීමට අඩුම වශයෙන් 100,000 ක් වත් අවශ්‍ය බව ඔව්හු කියති. "මේ කිසිවක් සඳහා අපට මුදල් නැහැ. එම ඉඩම්වල නිවාස ඉදිකර දෙන බවට නගරාධිපති පොරොන්දු උනත් මේ වනතුරු එය ඉෂ්ට වුනේ නෑ”යි ඔව්හු කීහ.
කම්කරුවන් විශ්‍රාම යනවිට දැනට ඔවුන් ජීවත් වන නිවසත් අහිමි වෙයි. "මම ලඟදී විශ්‍රාම යනවා. එතකොට මගේ වියදමින් තනාගෙන තිබෙන ලෑලි ගේ නගරසභාවට භාර දෙන්න ඕනෑ” විශ්‍රාම යාමට ආසන්න කම්කරුවෙකු ප්‍රකාශ කලේ ය.
වරින් වර තමන්ට විවිධ අඩන්තේට්ටම්වලට මුහුන දීමට සිදුවන බව ද කම්කරුවෝ කීහ. හුනුගල් නිවාස වලට අමතරව කම්කරුවන්ගේ වියදමින් තැනූ ලෑලි හා පොල් අතු නිවාස සමග සම්පූර්න නිවාස 94 ක් පමන කලින් තිබී ඇත. ඒවායින් බස් නැවතුම්පල අසල කඩ පේලි වලට පිටුපසින් තිබූ, පොල් අතු නිවාස 50ක් පමන 1991.03.28 වෙනි දින ගින්නෙන් විනාශ විය. ඒවාට ගිනිතබන ලද්දේ එකල සිටි නගරාධිපතිගේ අනුදැනුම ඇතිව බවට කම්කරුවෝ සැක කරති.
"ගින්නෙන් විනාශ වූ නිවෙස්වල සිටි අයව තාවකාලිකව මුන්නේශ්වරමේ මඩමට ගිහින් දැමුවා. එහි දී එක් කම්කරුවෙකුට රුපියල් 500 බැගින් දුන් නමුත්, ඊලඟ මාසයේ වැටුපින් එම මුදල අයකර ගත්තා. කඩපේලි තිබූ පැත්ත මගහැර අදාල බිම් තීරුව තුල පමනක් ගෙවල් ගහන්න කිව්වා. අපේ වියදමින් හුනුගල් නිවාසවලට යාබදව සහ අදාල බිම් තීරුව තුල වෙනත් තැන්වල ලෑලි ගෙවල් තනා ගත්.” බව එම කම්කරුවෝ කීහ.
බදුවලින් හලාවත නගර සභාව විශාල ආදායමක් ලැබුවත් තමන්ගේ සුභසිද්ධිය සඳහා කිසිවක් නොකරන බවට කම්කරුවෝ චෝදනා කලහ.
Follow us on