පකිස්තානය: ආන්ඩුවට ඉල්ලා අස්වීමට බලකරන විපක්ෂයේ විරෝධතා
Pakistan: Opposition protests demand government’s resignation
සම්පත් පෙරේරා විසිනි, 2014 අගෝස්තු 11
අගමැති නවාෂ් ෂරීෆ්ගේ ආන්ඩුව බිමදැමීමට ප්‍රතිඥා දී ඇති දක්ෂිනාංශික ඉස්ලාමීය පූජක තහීර් අල් - ඛාද්රි නායකත්වය දෙනු ලබන ආන්ඩු විරෝධීන් හා පොලීසිය අතර 08 හා 09 දිනවල පකිස්තානය තුල ප්රචන්ඩ ගැටුම් ඇතිවිය.
විරෝධකරුවන් පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් අගනගරයට එක්රැස්වෙමින් සිටිය දී පොලීසිය එල්ල කල ප්‍රහාරයෙන් පකිස්තාන අවාමි ටේරික් (පීඒටී) සංවිධානයේ ආධාරකරුවන් 8දෙනෙක් හා එක් පොලිස් භටයෙක් මියගියහ. සිය ගනනක් තුවාල ලැබූහ. පොලීසිය පෙලපාලිකරුවන් 500ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් අතර ප්‍රාදේශීය පොලීස් ස්ථානවලට පහර දෙතැ යි යන උත්සුකයෙන් ඔවුන්ගෙන් බොහෝදෙනා බන්ධනාගාර වලට මාරු කර යවන ලදී.
මීට පෙර පකිස්තාන මහජන පක්ෂයේ (පීපීපී) ආන්ඩුවට එරෙහිව දූෂන විරෝධී උද්ඝෝෂනයක් මෙහෙයවන ලද කැනඩාවේ පදිංචිව සිටි ඛාද්රී පූජකවරයා ෂරීෆ් ආන්ඩුවට එරෙහිව ද එවැනි චෝදනා ඉදිරිපත් කරමින් ජූනි මාසයේ දී පකිස්තානයට ආපසු පැමිනියේය. ඔහුගේ පැමිනීමට ඔන්න මෙන්න තිබිය දී ඔහුගේ පීඒටී ආධාරකරුවන් 09ක් පොලිසිය සමග ඇතිවූගැටුම්වල දී ඝාතනය කරන ලදහ.
10දා විරෝධතා පාගමන අතහැර දැමූ ඛාද්රි, “මර්දනයේ නාමයෙන් ආන්ඩුවට සංහාරයක් අවශ්‍යයව ඇතැයි” පවසමින් ආන්ඩුව හෙලාදුටුවේය. “වීරයන්ගේ දිනයක්” සඳහා 10දා උද්ඝෝෂනයේ යෙදුනු ඛාද්රි, රටේ තුන්වැනි විශාල ම පාර්ලිමේන්තු පක්ෂය වන පකිස්තාන ටෙරීක් - ඊ - ඉන්සාෆ් (පීටීඅයි) විසින් සංවිධානය කරනු ලබන අගෝස්තු 14වැනිදා පෙලපාලියට තමන් එක්වන බව ද නිවේදනය කලේ ය.
පීටීඅයි නායක ඉම්රාන් ඛාන් පකිස්තානු “නිදහස් දිනයේ” අෂාදි (නිදහස) නමින් පාගමනක් කැඳවා ඇති අතර එයට මිලියනයක් සහභාගී වනු ඇති බව ද පැවසී ය. පකිස්තාන මුස්ලිම් ලීග්- නවාෂ් හවුල (පීඑම්එල් - එන්) තෝරා ගැනුනේ “පකිස්තාන ඉතිහාසයේ වඩාත්ම දූෂිත මැතිවරනයක දී” බව ඛාන් ප්‍රකාශ කර යි. වංචා කෙරුනු ඡන්ද කොට්ඨාසවල ඡන්ද නැවත ගනන් කිරීම හා අන්තර් - වාර මැතිවරනයක් ඉල්ලමින් පීටීඅයි, ඇත්ත වශයෙන් ම ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කරයි.
විරෝධතාකරුවන් නගරයට ලඟාවීම වැලක්වීමට පන්ජාබ් ප්‍රාන්ත ආන්ඩුව කන්ටේනර් රථ සියගනනක් යොදා ලාහෝරයට පිවිසෙන මාර්ග අවහිර කල අතර සති අන්තයේ විරෝධතා පාගමන අවහිර කිරීම සඳහා ඒවා රඳවා තැබෙනු ඇත. රථවාහන ගමනා ගමනය සීමා කිරීම සඳහා ආන්ඩුව ඉන්දන සැපයීම ද දැඩි ලෙස සීමා කර ඇත. තව දුරටත් ප්රචන්ඩ ගැටුම් ඇතිවේය යන බලාපොරොත්තුවෙන් රෝහල් හා ගිලන්රථ පෙලක් ද සූදානමින් තබා ඇත.
ආන්ඩුවට ඉල්ලා අස්වීමට කෙරෙන ඉල්ලීම් පාලක පන්තියේ දැඩි කනස්සල්ලට හේතුවී ඇත. ඩෝන් (උදෑසන) පත්‍රය මෙම කාරනය සඳහා කතුවැකි ගනනාවක් කැපකර ඇති අතර තෝරාපත් කර ගැනුනු ආන්ඩුවක් බිම දැමීමට උත්සාහ කිරීම පිලිබඳව ඛාද්රි හෙලාදැක ඇත. නමුත්, පාලක පීඑම්එල් - එන් හවුලට හා විපක්ෂයේ පීටීඅයියට “පසුබසින” ලෙසත් “යම් ආකාරයක මැදහත් පිලිවෙතක්” ගන්නා ලෙසත් පුවත්පත වෙනත් හඬකින් පවසා ඇත.
වාර්තාවන පරිදි, පීපීපී හා ඉස්ලාමීය ජමාට් - ඊ-ඉස්ලමී යන අනෙකුත් විරුද්ධ පක්ෂ, විරෝධතා පුලුල් සමාජ විරෝධයක් අවුලුවනු ඇතැ යි යන බිය සලකුනු කරමින් ආන්ඩුව හා පීටීඅයි අතර ගිවිසුමක් සඳහා තැරව් කිරීමට උත්සාහ ගනිති.
මිලිටරි කුමන්ත්රනයක් පිලිබඳ කටකතා වලින් පකිස්තානු පුවත්පත් පිරී ඇත. මිලිටරිය දේශපාලන අර්බුදය ගසා කෑ හැකි බව පමනක් නො ව විරෝධතා පාගමන් දිරිමත් කරනු ඇතැයි ද බොහෝ විශ්ලේෂකයන් අදහස් දක්වා ඇත. දේශපාලන තීරු රචක ඉජාස් හයිඩර්, රොයිටර් පුවත් සේවයට මෙසේ පැවසී ය: “එය මිලිටරිය සැකසූ යම් දෙයක් නොවන නමුත්, එය හුදෙක් ආන්ඩුවේ දුර්වලකමින් වාසි ගැනීමක් පමනකි.”
රොයිටර් ලිපිය මෙසේ සඳහන් කලේ ය: “සමහර අවස්ථාවල දී ඇතැම් පකිස්තානුවන් ඛාද්රි හා ඛාන් යන දෙදෙනාම දැකගන්නේ, මිලිටරියට කිට්ටු හා ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා මිලිටරිය විසින් ප්‍රයෝජනයට ගන්නා අය ලෙස යි.” පීටීඅයි මිලිටරිය සමග එවැනි මොනයම්ම හෝ සම්බන්ධකමක් ප්‍රතික්ෂේප කර ඇති නමුත් “හමුදාව මැදිහත් වුවහොත් වගකීම ඍජුව ම පැවරෙන්නේ නවාෂ් ෂරීෆ්ට” බව පවසමින් ඉම්රාන් ඛාන් යෝජනා කර ඇත්තේ මිලිටරියට මැදිහත්වීමට තිබුන බවයි.
1999දී කුමන්ත්රනයකින් ෂරීෆ් බලයෙන් පහකල මිලිටරි ප්රබලයෙකු වන ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා ගොනු කිරීමට ආන්ඩුව ගත් තීරනයට හමුදා නායකත්වය විරුද්ධ ය. 10දා මුෂාරෆ් ඔහුගේ පක්ෂ සමුලුවකට දුරකතනයෙන් පැවසුවේ, රටේ ගැටලුවලට ආන්ඩුවට දොස්පැවරිය යුතු බව හා එයට ඒවා විසඳිය නො හැකි නම් ඉවත්ව යා යුතු බවත් ය.
ඒ අතර ම විරුද්ධත්වය මැඬපැවැත්වීමට හා පාලනය කිරීමට ආන්ඩුව මිලිටරිය මත යැපෙන්නේ ය. “සිවිල් පරිපාලනය පවත්වාගෙන යාම පිනිස” මාස තුනක කාලයකට ඉස්ලමාබාදය තුල හමුදාව බලමුලු ගැන්වීමට ආන්ඩුව ජූලි 25වැනිදා, ව්‍යවස්ථාදායක නීතිවල පිහිට පැතී ය. යටත්විජිත යුගයේ නීති මත පදනම් වී ආන්ඩුව08දා, ඉස්ලාමාබාදයේ “ඕනෑ ම ප්‍රසිද්ධ ස්ථානයක පුද්ගලයන් පස්දෙනෙකු හෝ ඊට වැඩි ගනනකගේ සියලු ම වර්ගයේ එක්රැස්වීම්” තහනම් කලේ ය.
ජාතික මන්ත්‍රන සභාවේ බහුතරයක් සහිතව ෂරීෆ් ආන්ඩුව බලයට පත් වුව ද යන්තම් වසරකට පසු එය පවතින්නේ ගැඹරු අර්බුදයක් තුල ය. පීඑම්එල් - එන් හවුල මැතිවරනය ජයගත්තේ එහි ජනප්‍රියත්වය නිසා නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කල, එක්සත් ජනපදය මෙහෙය වූ ඇෆ්ගනිස්තාන් - පකිස්තාන් යුද්ධයට සහාය දුන්, ඇෆ්ගනිස්තානයට මායිම්වන ප්‍රදේශවල මිලිටරි මර්දනය සඳහා වූ එක්සත් ජනපද ඉල්ලීම්වලට යටත්වුනු හා පුලුල් ලෙස දූෂිත යයි සැලකනු, කලින් පැවති පීපීපී ආන්ඩුවට එරෙහිව පැවති මහජන විරුද්ධත්වය නිසා ය.
ආන්ඩුවේ දූෂන හා එහි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රමවේද පිලිබඳ හෙලාදැකීම් නොතකා, වර්තමාන විරෝධතාවන් සංවිධානය කරන විරුද්ධ පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පියවරයන්ට හෝ උතුරු වසිරිස්තානය තුල පකිස්තාන මිලිටරියේ වර්තමාන ප්රහාරයන්ට හෝ විරුද්ධ වන්නේ නැත. සැබවින් ම පීටීඅයිය, මැතිවරන ව්‍යාපාරය තුල එහි යුද විරෝධී මවාපෑම් සම්පූර්නයෙන් ම හෙලිදරව් කරමින්, පාර්ලිමේන්තුවේදී ප්‍රහාරයට පක්ෂව ඡන්දය දුන්නේය. ආන්ඩුවට එරෙහිව කම්කරුවන් හා පීඩිතයින් අතර වැඩෙන විරුද්ධත්වය තමන්ගේ ම දේශපාලන ඔනෑ එපාකම් සඳහා ගසාකෑමට පීටීඅයි හා පීඒටී පක්ෂ උත්සාහ කරන අතර ම කම්කරු පන්තියේ මොනයම් හෝ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කරති.
වොෂින්ටනය පැහදිලිව ම තත්වය ගැන විමසිලිමත්ය. එක්සත් ජනපද තානාපති රිචඩ් ඔස්ලෝන් ආන්ඩුව හා විපක්ෂ දේශපාලන පක්ෂ මෙන් ම මිලිටරි නායකයින් සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බව ඩෝන් පත්තරය වාර්තා කලේ ය. “ව්‍යවස්ථාදයක මාර්ග” හරහා කෙරෙන ආන්ඩු වෙනසකට වොෂින්ටනය පක්ෂ බව හා “ව්‍යවස්ථාදායක වෙනස හරියටම නීත්‍යානුකූල වන බව” ඔස්ලෝන් බොහෝ දේශපාලන නායකයින්ට පවසා තිබූ බව ද ඩෝන් පුවත්පත සඳහන් කලේ ය.
මොනතරම් කුහකත්වයක් ද? අතීතයේ දී සෑම පකිස්තානු මිලිටරි ඒකාධිපතියෙකු සමගම එක්සත් ජනපදය වැඩ කර හා ඔවුන්ට සහාය දී ඇතිවා පමක් නොව, වොෂින්ටනය එය නැවත ද කරනු ඇත. මිලිටරි සංස්ථාපිතය සමග එයට ඉතාමත් කිට්ටු සම්බන්ධකම් ඇති අතර ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපදය මෙහෙයවන වාඩිලෑමට එරෙහිව මතුවන විරුද්ධත්වය මර්දනය කිරීමේ දී සහචරයෙකු ලෙස මිලිටරිය මත වාරුවෙයි. වර්තමාන දේශපාලන අර්බුදය තුල මිලිටරි මැදිහත්වීමක්, කම්කරු පන්තිය තුල සමාජ පිපිරීමකට තුඩුදෙනු ඇති බවට වන උත්සුකය එක්සත් ජනපදය කනස්සල්ලට පත්කර තිබේ.
Follow us on