යුදෙව්-විරෝධය හා රුසියානු විප්ලවය: තුන්වන කොටස

Anti-Semitism and the Russian Revolution: Part three

ක්ලාරා වයිස් විසිනි, 2014 මැයි 1

මෙම ලිපිය සාර් පාලන තන්ත‍්‍රයේ සිට සිවිල් යුද්ධය අවසන් වූ 1922 දක්වා රුසියාව තුල යුදෙව් විරෝධයේ ඉතිහාසය පිලිබඳව උල්ර්ච් හර්බෙක් කරන ලද ඓතිහාසික අධ්‍යයනයක් පිලිබඳ කොටස් තුනකින් යුත් විමර්ශනයක අවසාන කොටසයි. පලමුවන කො‍ටස ,දෙවන කො‍ටස පලවිය.

යුදෙව් විරෝධයට එරෙහිව බොල්ශෙවිකයන්ගේ අරගලය

යුදෙව්-විරෝධයට එරෙහි අරගලය රුසියාව තුල සමාජවාදී ව්‍යාපාරය සඳහා නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ අතිමූලික අංශයක් වූවා පමනක් නොව 1905 හා 1917 සිද්ධීන්ගෙන් පසුව ඉස්මතු වූ ප‍්‍රතිවිප්ලවයන්ට එරෙහි දේශපාලන අරගලයේ කේන්ද්‍රීය අංගයක් ද විය. සිවිල් යුද්ධය තුල දී ප‍්‍රතිවිප්ලවවාදී හමුදාවන් විසින් ක‍්‍රියාවේ යොදවන ලද යුදෙව්-විරෝධී උද්ඝෝෂනයට නිර්ධන පන්තික කම්කරුවන්ගෙන් ලැබුනු සහාය අල්ප වුවත් එය, සෝවියට් බලයට එරෙහිව ග‍්‍රාමීය ජනකායන් පොලඹවාලීමේ දී ධවලයන් විසින් යොදාගත් වඩාත් සාර්ථක දේශපාලන උපායන්ගෙන් එකක් විය.

පසුව දැඩි දඬුවම් වලට යටත් කල රතු හමුදා සාමාජිකයන් විසින් විටින් විට සංහාර සිදු කලත් තමන්ගේ ම හමුදාව තුල සංගත ලෙස යුදෙව්-විරෝධයට එරෙහිව සටන් වැදෙමින් එවැනි අගතීන්ට එරෙහිව මහජනයා ඉගැන්වීමට යොමු වූ සිවිල් යුද්ධයේ නිරත වුනු එකම දේශපාලන බලවේගය වූයේ බොල්ශෙවිකයන් පමනි.

යුදෙව්-විරෝධයට එරෙහි සිය අරගලයේ දී බොල්ශෙවිකයෝ ජනතාව දේශපාලනිකව අධ්‍යාපනගත කිරීම සඳහා ලිපි ලේඛන බෙදා හැරීම මත අවධානය යොමු කලහ. ඔක්තෝබර් විප්ලවයට පෙරාතුව මත් බොහෝ සෙයින් වාම සමාජවාදී විප්ලවවාදීන් හා මෙන්ශෙවිකයින් ප‍්‍රකාශයට පත් කල යුදෙව්-විරෝධයට එරෙහිව පහර දුන් ප‍්‍රචාරක පත‍්‍රිකා තිබුනේය.

1918 දී සෝවියට් ආන්ඩුව යුදෙව්-විරෝධී මනෝගතීන්ට එරෙහිව තම පලමු ලිපි ලේඛන ප‍්‍රකාශයට පත් කලේ ය. තව ද 1918 ජනවාරියේ දී එය ජාතිකත්ව පිලිබඳ කොමිසාර්වරයා යටතේ එව්කොම් හෙවත් යුදෙව් කොමිසාරය (අමාත්‍යාංශය -පරිවර්තක) ස්ථාපනය කලේ ය. සෝවියට් බලයේ මුල් කාලයේ යුදෙව්-විරෝධයට එරෙහි අරගලයේ දී එව්කොම් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය.

1918 ජූලි 27 දා රුසියානු සෝවියට් ආන්ඩුව “යුදෙව්-විරෝධී පෙලඹවීම් වලට” එරෙහි ආඥාවක් නිකුත් කලේ ය. යුකේ‍්‍රනියානු සෝවියට් සමූහාන්ඩුවේ ප‍්‍රධානී ක‍්‍රිස්ටියන් රකොව්ස්කි ඒ හා සමාන ආඥාවක් 1919 පෙබරවාරියේ නිකුත් කලේ ය. ඒ සමයේ පැවති අමුද්‍රව්‍ය හා කලමනාවන්ගේ දැඩි හිඟය නො තකා එම වසරේ ම සෝවියට් ආන්ඩුව මෙම විෂයය පිලිබඳ ප‍්‍රචාරක චිත‍්‍රපට තුනක් නිපදවී ය.

1919 වසරේ ධවල හමුදාවන්ගේ සංහාරයන් සම්බන්ධව ගත්කල යුදෙව්-විරෝධයට විරුද්ධව ඇති තරම් සටන් නො වැදීම හා මහජනයා අතර පැවති යුදෙව්-විරෝධී මනෝගතිය අඩු තක්සේරු කිරීම ගැන උල්රිච් හර්බෙක් සිය ග‍්‍රන්ථයේ කොටස් කිහිපයක දී බොල්ශෙවිකයන් විවේචනය කරයි. එහෙත් සිවිල් යුද්ධයේ අසීරු ම වසර වූ 1919 දී බොල්ශෙවික් ආන්ඩුව මුහුන දුන් ඓතිහාසික තත්ත්වයේ සන්දර්භය තුල සලකා බලන කල එවැනි විවේචන නුසුදුසු යයි පෙනේ.

ලෙනින්

යුදෙව්-විරෝධයට එරෙහි අරගලය සම්බන්ධයෙන් ලෙනින් හා ට්‍රොට්ස්කි අතර නො එකඟතා පැවතියේ යයි ද හර්බෙක් සඳහන් කරයි. ලෙනින් මහජනයාගේ සාක්ෂරතා-හීනත්වයට එරෙහිව සටන් වැදිය යුතු යයි අවධාරනය කරද්දී ට්‍රොට්ස්කි සුවිශේෂී වසයෙන් යුදෙව්-විරෝධයේ සමාජ මූලයන් මත අවධාරනය යෙදවී යයි හර්බෙක් තර්ක කරයි. එහෙත් ට්‍රොට්ස්කි මෙන් ම ලෙනින් ද ජනතාවගේ අසාක්ෂරතාවේ හා මුග්ධත්වයේ හේතුව ශතවර්ෂ ගනනාවක් සාර්වාදී තන්ත‍්‍රය යටතේ සිදු වූ දේශපාලන මර්දනය යයි අවබෝධ කරගත්තේ ය. යුදෙව්-විරෝධයේ සමාජ මූලයන් මත අවධාරනය යෙදූ ට්‍රොට්ස්කිගේ කතා හා ලේඛන යුදෙව්වන්ට එරෙහි වෛරය නතර කල හැක්කේ කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ සමාජ විමුක්තියට යයි තිරසර වුවත් දෘෂ්ටීන් දෙක අතර වෙනස අවධාරනය පිලිබඳ කරුනක් මිස මූලික තක්සේරුව පිලිබඳ කාරනාවක් නො වීය.

ග‍්‍රැමෆෝනය මත පටිගත කොට 1919 දී ප‍්‍රචාරය කල යුදෙව්-විරෝධය පිලිබඳ කතාවක දී ලෙනින් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “යුදෙව්වන්ට එරෙහි වෛරය ස්ථීර ලෙස ආවේනික යයි පෙනෙන්නේ ඉඩම් හිමියෝ හා ධනපතියෝ ගොවි දාසකම ගසා කා එමගින් කම්රුවන් හා ගොවීන් ආන්තික මුග්ධත්වයේ ගිල්වා තබා ඇති විට පමනි. යුදෙව්වන් පිලිබඳව ප‍්‍රචාරය කරනු ලබන බොරු හා මඩගැසීම් විශ්වාස කල හැක්කේ වඩාත් මුග්ධ හා ආන්තිකව පරිපීඩිත ජනයාට පමනි... එහෙත් වැඩවසම් ක‍්‍රමයේ පැරනි වසංගතය මැකී යමින් තිබේ. ජනතාවගේ දෑස් විවෘත වෙමින් තිබේ.” (1)

ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනා ම යුදෙව්-විරෝධයේ ප‍්‍රතිවිප්ලවවාදී ක‍්‍රියා කලාපය අවධාරනය කලහ. යුදෙව්-විරෝධයට එරෙහි අරගලයේ දී විප්ලවවාදී නායකයන් දෙදෙනා තීරනාත්මක භූමිකාවක් ඉටුකල බව හර්බෙක්ගේ අධ්‍යයනය පෙන්නුම් කරයි.

රතු හමුදාව තුල යුදෙව්-විරෝධයේ හේතු, ස්වභාවය අතින් සමාජීය හා දේශපාලනික යන දෙයාකාරයේ ම විය. සාම්ප‍්‍රදායිකව යුදෙව්-විරෝධයේ බලපෑමට ලක් වූ ගොවීන් අතුරින් රතු හමුදාවට පාර්ශවීය වසයෙන් සෙබලුන් බඳවා ගනු ලැබිනි. සමහර අවස්ථාවල රත්තන් ද සමහර අවස්ථාවල ධවලයන් ද තවත් සමහර අවස්ථාවල අරාජිකවාදීන් ද වෙනුවෙන් සටන් වැදෙමින් බොහෝ ගොවි හමුදා සේනාංක කිහිප වතාවක් පැති මාරු කලහ. මෙම ලිපි මාලාවේ පලමු කොටසේ සාකච්ඡා කල පරිදි මිලිටරි සාර්ථකත්වය කරා ලඟාවීමට වසර ගනනක් යුදෙව්-විරෝධය ගැන තැරැව්කාරකම් කරමින් සිටි ඉහල පෙලේ සාර්වාදී හමුදා නිලධාරීන්ගේ සේවය බලයෙන් ලබා ගැනීමට ද බොල්ශෙවිකයන්ට බල කෙරුනි. කලින් සාර් වෙනුවෙන් සටන් වැදුනු හා දැනුවත්ව තම භටකායන් අතර “යුදෙව් බොල්ශෙවිකයන්ට” විරුද්ධ මනෝගතීන් අවුලුවාලූ රතු හමුදා නිලධාරීන් ගැන හර්බෙක් උදාහරන කිහිපයක් ම දෙයි.

සැලකිය යුතු වෛෂයික බාධාවන්ගේ තතු තුල රතු හමුදාවන් සිදුකල සංහාරයන්ගේ පරාසය සාපේක්ෂව කුඩා බව අවධානයට ලක්කල මනා ය. ලේඛන ගත කොට ඇති සිවිල් යුද සංහාර 1,236කින් බොල්ශෙවිකයන්ගේ ගිනුමට දැමිය හැක්කේ ඉතා කුඩා ප‍්‍රතිශතයක් (106ක් හෝ සියයට 8ක්) පමනි. පැරනි ධවල හා යුකේ‍්‍රන ජාතිකවාදී ඒකක මෙවැනි සංහාර 72කට වගකිව යුතු විය. (2)

සෙමියොන් බුදෙනි

නරක ම රතු හමුදා සංහාර සිදු කරන ලද්දේ පසුකාලීනව ස්ටැලින්ගේ වැදගත් සගයෙකු බවට පත්වූ සෙමියොන් බුදියෝනි යටතේ පැවති පලමු අශ්වාරෝහක හමුදාව 1920 දී පෝලන්තය තුල පසුබසිමින් සිටිද්දී ය. යුද වාර්තාකරුවෙක් ලෙස හමුදාව සමග සිටි ඉසාක් බබෙල් සිය විශිෂ්ට සාහිත්‍යමය කෘතිය වන රතු අශ්වාරෝහකයා කෘතිය තුල එම සංහාර පසුව විස්තර කලේ ය. මෙම අශ්වාරෝහක හමුදාවේ බොහෝ සෙබලු සාම්ප‍්‍රදායිකව යුදෙව්-විරෝධය පුලුල්ව පැතිර තිබුනු කුබාන් කොසැක්වරු වූහ. තව ද ඔවුන්ගෙන් බොහෝ දෙනා කලින් ඇන්ටන් ඩෙනිකින් හා අනෙකුත් ප‍්‍රතිවිප්ලවවාදී අනදෙන්නන් යටතේ වැඩකොට තිබුනි.

1919 දී දකුනු රුසියාව තුල යුදෙව්වන් ඇතුලුව සිවිල් වැසියන් කොල්ලකෑම් හා මරාදැමීම් මාලාවකට පසු රතු හමුදා දේශපාලන අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී ෂිලින්ස්කි විසින් නිකුත් කරන ලද වාර්තාවක්, හමුදා භටයින් අතර දේශපාලන විඥානය නොමැති කමටත් ඔවුන් අතර පුලුල් වසයෙන් ප‍්‍රති-කොමියුනිස්ට්වාදය හා යුදෙව්-විරෝධය පැතිර පැවැත්මටත් හදිසි අවධානය යෙදිය යුතු බව අවධාරනය කලේය. අශ්වාරෝහක භටයන් අතරින් “යුදෙව්වන්ට තලනු, කොමියුනිස්ට්වරුන්ට තලනු” යන සටන් පාඨය යලි යලිත් අසන්නට ලැබුනු බව ෂිලින්ස්කි කියා සිටියේ ය. අශ්වාරෝහක හමුදාවේ කොල්ලකෑම් හා ස්ත‍්‍රී දූෂන ප‍්‍රතිවිප්ලවයේ වාසියට හේතුවන බවට ද ඔහු අනතුරු ඇඟවීය. කලින් රතු භටයන් දෑත් විදහා සාදරයෙන් පිලිගෙන තිබුනු සමස්ත ප‍්‍රජාවන් හා ගම්මාන දැන් ධවලයන්ගේ පැත්තට මාරු වී තිබුනි.

කොල්ලකෑම හා ෂිලින්ස්කිගේ වාර්තාව 1920 දී හමුදා නායකත්වය තුල දරුනු ගැටුම්වලට මග පෑදී ය. රතු හමුදාවේ ඉහල ම ආයතනය වූ රෙවොන්සොවෙට් හෙවත් විප්ලවීය මිලිටරි කවුන්සිලයේ ප‍්‍රධානියා ලෙස ට්‍රොට්ස්කි අපරාධ නැවත සිදුවීම මන්දෝත්සාහී කිරීමට අපරාධකරුවන්ට දරුනු දඬුවම් දීම සඳහා බලපෑම් කලේ ය.

දකුනු පෙරමුනේ මිලිටරි නායකත්වයේ සිටි වොරොෂිලොව්, මිනින් හා වාඩින්ගේ ද දේශපාලන කමිටු කාර්යාලයේ ස්ටැලින්ගේ ද සහයෝගය දිනාගත් බුදියොනි තම භටයන්ගේ අපරාධ සඟවමින් සිටියේ ය. බුදියොනි හා වොරොෂිලොව් පසුව එලඹුනු දශකවල ස්ටැලින්ගේ සමීපතම සගයන් අතරට අයත් වූහ. 1930 ත‍්‍රස්තයෙන් දිවි බේරුනු ඉතා අල්ප “පැරනි බොල්ශෙවිකයන්” කිහිප දෙනා අතරට ද ඔවුහු අයත් වූහ.

අවසානයේ පලමු අශ්වාරෝහක හමුදාවේ නායකත්වය ෂිලින්ස්කි බලයෙන් පහකිරීමට සමත් විය. පක්ෂ නායකත්වය ෂිලින්ස්කිට සිය පිටුබලය දුන්නත් අපරාධවල නිරත වූවන්ට දඬුවම් දීම සඳහා ඔවුන් දැරූ උත්සාහයට එලඹුනු මාස කිහිපය තුල ප‍්‍රාදේශීය හමුදා සේනාංකයේ විරෝධය හේතුවෙන් දිගටම පසුබෑමට ලක් විය.

1920 සැප්තැම්බර් අග හා ඔක්තෝබර් මුල රතු හමුදා අශ්වාරෝහක බලඇනිය පෝලන්තයෙන් පසු බසිමින් සිටිද්දී සිදු කල ව්‍යසනකාරී සංහාරවලින් පසුව මිලිටරි නායකත්වය වහා ම පරීක්ෂන කොමිසමක් යැවුවත් එය බෙලහීන එකක් විය. ඔක්තෝබර් 9 දා රෙවොන්සෙවොට් ආයතනය සංහාරවල නිරත වූ සියලු භට කන්ඩායම් වහා ම විසුරුවා හැරීමට තීරනය කලේ ය.

ඉතිහාසඥ ඔලෙග් බුද්නිට්ස්කිට අනුව අශ්වාරෝහක භටයන් 400ක් පමන මරා දමන ලදී (3). සංහාරවල නිරත වූවන්ට එරෙහි මෙහෙයුම පක්ෂයේ ඉහල ම මට්ටමින් අධීක්ෂනය කරන ලදී. දේශපාලන මන්ඩලය හා මධ්‍යම කාරක සභාව යන දෙක මෙන් ම හමුදා නායකත්වය ද වහා දැනුවත් කරනු ලැබීය. ඊට අමතරව ප‍්‍රචාරක කටයුතු අධීක්ෂනය කිරීමට නායකත්වය ඉහල පෙලේ බොල්ශෙවිකයන් පිටත්කර යැවීය.

සංහාරවලට ව්‍යංගයෙන් සහයෝගය දැක්වූ හෝ අපරාධවල වගකීම යුදෙව් ජනයා මතට ම පැටවූ යුකේ‍්‍රන ජාතිකවාදීන් හා ධවලයන් සමග ගත්කල රතු හමුදා නායකත්වයේ හැසිරීම නාටකාකාරව වෙනස් විය.

යුදෙව්-විරෝධයට එරෙහි සිය අරගලයේ දී බොල්ශෙවිකයන් මුහුන දුන් සියලු ගැටලු මධ්‍යයේ පවා සිවිල් යුද්ධයෙන් ඔවුන් ලද ජයග‍්‍රහනය, යුදෙව් ජනගහනයට ඛේදනීය ප‍්‍රතිවිපාක අත්කර දිය හැකිව තිබුනු දක්ෂිනාංශික තන්ත‍්‍රයක් මහා රුසියානු අධිරාජ්‍යයේ භූ ස්කන්ධය මත ස්ථාපනය කිරීම වලක්වනු ලැබීම ගැන සැකයක් තිබිය නො හැක.

හර්බෙක්ගේ කෘතිය සාර්වාදී අධිරාජ්‍යය, රුසියානු විප්ලවය හා යුදෙව්-විරෝධය ගැන පමනක් නොව නාසිවාදය හා හොලෝකෝස්ටය ගැන ද විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට දායකත්වය සපයන මැදහත් හා පරිපූර්න ඓතිහාසික අධ්‍යයනයකි. බොල්ශෙවික්වරුන් ලේ පිපාසිත, ප‍්‍රචන්ඩ අපරාධකාරීන් ලෙස ඉදිරිපත් කරමින් හා ධවලයන්ගේ සංහාර බොහෝ සෙයින් නො තකා හරිමින් රොබට් සර්විස් හා ජර්ග් බාබරොව්ස්කිගේ කෘති මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවනු ලබද්දී මෙම අධ්‍යයනය තථ්‍ය වසයෙන් නො තකා හැරීම අද්‍යතන දේශපාලන හා බුද්ධිමය වාතාවරනයේ ස්වභාවය පිලිබඳ දර්ශකයකි.

මෙය අහම්බයක් නො වේ. රුසියානු විප්ලවය අපරාධකාරී කුමන්ත‍්‍රනයක් ලෙස අවමානයට ලක් කරමින් ජාතික සමාජවාදය (හිට්ලර්ගේ) හා සෝවියට් සංගමයට එරෙහි එහි සමූලඝාතක යුද්ධය ප‍්‍රතිස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන සියල්ලන්ට හර්බෙක්ගේ අධ්‍යයනයේ එන ඓතිහාසික අන්තර්ගතය දේශපාලනික ඩයිනමයිට් කරලකි.

සාර්වාදී අධිරාජ්‍යයේ හා සිවිල් යුද්ධයේ යුදෙව්-විරෝධය මෙන් ම බොල්ශෙවික් පක්ෂය එයට එරෙහිව ගෙන ගිය අරගලය ද පෙන්නුම් කරන්නේ විසිවන ශතවර්ෂයේ යුදෙව්වන්ගේ ඉරනම ලෝක විප්ලවයේ ඉරනම සමග අත්‍යන්තයෙන් බැඳී තිබුනු බවයි. අනෙක් අතට 1933 දී හිට්ලර්ට බලයට ඒමට ද නැගෙනහිර යුරෝපයේ යුදෙව් ජනගහනය මුලුමනින් ම පාහේ සමූලඝාතනය කිරීමට මගපෑදූ ක‍්‍රියාදාමයට ද පාර කැපුවේ 1917 විප්ලවය ස්ටැලින්වාදීන් විසින් පාවාදෙනු ලැබීම යි.

සෝවියට් සංගමය තුලම ද ඔක්තෝබර් විප්ලවය හා සිවිල් යුද්ධය අවධියේ බොල්ශෙවිකයන් අනුගමනය කල ජාත්‍යන්තර විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයට එරෙහිව යොමු වූ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ස්ටැලින්ගේ ජාතිකවාදී පිලිවෙත යටතේ යුදෙව්-විරෝධය යලිත් රාජ්‍ය ප‍්‍රතිපත්තියේ අංගයක් බවට පත්විය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව මෙම ප‍්‍රතිගාමී ප‍්‍රවනතා යලි හිස ඔසවා ඇත. යුකේ‍්‍රනයේ මෑත වර්ධනයන් පෙන්නුම් කරන පරිදි අන්ත දක්ෂිනාංශික හා යුදෙව්-විරෝධී බලවේග, පැරනි සෝවියට් සංගමයේ භූමි ප‍්‍රදේශය අධිරාජ්‍යවාදී බලහත්කාරයට නතු කිරීමේ වැදගත් කුලුනක් වෙති.

වොෂින්ටනයේ හා බර්ලිනයේ ආධාරය සහිතව කීයෙව් කුමන්ත‍්‍රනය සංවිධානය කල යුදෙව්-විරෝධී සහ ෆැසිස්ට්වාදී ස්වබෝදා හා දක්ෂින නිකාය වැනි පක්ෂ, නාසීන් සමග සන්ධානගතව සිටි ස්ටෙපාන් බන්දේරා සහ යුකේ‍්‍රන ෆැසිස්ට්වාදීන්ගේ සම්ප‍්‍රදායන් තුල තමන්ව ම දැක ගනිති. රුසියානු සිවිල් යුද්ධයේ දී යුකේ‍්‍රන ජාතික ව්‍යාපාරය හා ගනන් නැති සංහාර සිදුකල පාලනයේ නායකත්වය දැරූ එම ජාතික ව්‍යාපාරයේ නායක සයිමන් පෙට්ලියුරාගේ භූමිකාවට ද ඔවුහු හරසර දක්වති. ඔවුන්ගේ ගෞරවයට ඉහලින්ම පාත‍්‍රවන තවත් චරිතයක් වන්නේ 1918 දී කීයෙව්හි “යුදෙව් බොල්ශෙවිකයන්ට” එරෙහි කුප‍්‍රකට සිච් රයිෆල් භටයන්ට නායකත්වය දුන් හා පසුව අන්ත දක්ෂිනාංශික යුකේ‍්‍රන ජාතිකවාදීන්ගේ සංවිධානය ගොඩනැගූ යෙව්හෙන් කොනොවැලෙට්ස් ය.

සමාප්තයි

සටහන්

1. උල්රිච් හර්බෙක්: Das Feindbild vom „jüdischen Bolschewiken ”: Zur Geschichte des russischen Antisemitismus vor und während der Russischen Revolution,“යුදෙව් බොල්ශෙවිකයන්ගේ” අමාරුකාරයා: රුසියානු විප්ලව සමය හා ඉන් පසුව රුසියානු යුදෙව්-විරෝධයේ ඉතිහාසය ගැන, (බර්ලින්, 2009), 326 පිටුව.

2. එම., 374 හා 397 පිටු

3. ඔලෙග් බුද්නිට්ස්කි: Russian Jews Between the Reds and the Whites, 1917-1920, රත්තන් හා ධවලයන් අතර රුසියානු යුදෙව්වන්, 1917-1920, (ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද‍්‍රනාලය, 2012), 402 පිටුව

Share this article: