ශ්‍රී ලංකා ආන්ඩුව ව්‍යවස්ථා සංශෝධනය කල් දමයි
Sri Lankan government postpones constitutional amendment
පානි විජේසිරිවර්ධන විසිනි, 2015 අප්‍රේල් 11
තමන් විසින් යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය කල්දැමීමට බල කෙරී ඇති තත්වය තුල, පාර්ලිමේන්තුවේ සුලුතරයක් වන එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන ආන්ඩුවේ අර්බුදය උග්‍ර අතට හැරී තිබේ. විවාදය 16,17 දිනවල පැවැත්වීමට නියමිත ය.
කල්දැමීම, පාලක සහ විරුද්ධ පක්ෂ අතර ඇතිව තිබෙන ගැටුම්වල ප්‍රතිඵලයක් වන අතර ඇතැම් වගන්ති ජනමත විචාරනයකට යොමු කල යුතු බවට කල ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය නිසා එය තවදුරටත් උග්‍ර අතට හැරී තිබේ. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවල සහාය ලබා ගැනීම පිනිස, ව්‍යවස්ථා සංශෝධනය මේ වන විටත් කිහිප වරක්ම සංශෝධනය කර ඇත.
ප්‍රධාන යෝජනාව, විධායක ජනාධිපතිධූරය අහෝසි කර බොහෝමයක් බලතල පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු හා කැබිනට් මන්ඩලයකට පැවරීම ය. ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා බවට පත්වන නමුත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන අතර සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායක ධූරය ඔහු යටතේ පවතිනු ඇත.
ජනවාරියේදී පැවැති ජනාධිපතිවරනයේදී එජාප යේ සහය ඇතිව මහින්ද රාජපක්ෂ බලයෙන් පහකල මෛත්‍රීපාල සිරිසේනගේ වැඩසටහනේ ප්‍රධාන පොරොන්දු වලින් එකක් වූයේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යි. මැතිවරනය ප්‍රකාශයට පත් කරන තෙක්ම රාජපක්ෂගේ කැබිනට්ටුවේ සිටි සිරිසේන, හිටපු ජනාධිපතිගේ දූෂන සහ ඒකාධිපති පාලනය කුහක ලෙස හෙලා දැක්කේ ය.
මැතිවරනය ම ගත් කල, චීනය සමග පැවති රාජපක්ෂගේ සමීප සබඳතා වලට හතුරු එක්සත් ජනපදයේ පිටුබලය ලත් පාලන තන්ත්රය වෙනස් කිරීමේ මෙහෙයුමක ස්වරූපය ගත්තේ ය. පෙර පැවතී ආන්ඩුවේ ප්රජාතන්ත්ර-විරෝධී ක්රමෝපායන් සහ සමාජ අයිතීන්ට එරහි ප්‍රහාර කෙරෙහි පලවූ පුලුල් මහජන විරෝධය සිරිසේන ගසා කෑවේ ය. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ අරමුන ප්රජාතන්ත්රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම නොව, ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රය කම්කරු හා පීඩිත ජනතාව මත පැටවීම සඳහා ඒකාධිපති පාලනයේ නව ස්වරූපයක් නිර්මානය කිරීම ඉලක්ක කරගත් එකකි.
විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා විවිධ පුද්ගලයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 19කි. ඒවායින් බොහොමයක් අගමැතිට වැඩි බලතල පැවරීම කෙරෙහි විරුද්ධත්වය පල කරන ඒවා ය.
පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරනයේ නිගමනය පසුගිය 09දා පාර්ලිමේන්තුවට කියවීය. ජනාධිපතිවරයාගේ විධායක බලතල අග්‍රාමාත්‍යවරයාට පවරන වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරනයක් අවශ්‍ය බව එහි සඳහන් කෙරෙන අතර එයින්ම යෝජනාව නිෂ්ප්රභා වෙයි. මැතිවරන අවධියකදී මැතිවරන කොමසාරිස් පනවන නීති උල්ලංඝනය කිරීම වැලැක්වීම පිනිස රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යය අධීක්ෂනය කිරීමට නිසි බලධාරියෙකු පත් කිරීමට ද මෙම අනුමැතියම අවශ්‍ය කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, නව රජය යටතේ අපක්ෂපාතිත්වය රජ කරන බව ඔප්පු කිරීමක් ලෙස මාධ්‍යය විසින් හුවාදක්වනු ලැබින. සත්‍ය වශයෙන් අධිකරනයේ මතය හුදෙක් පිලිබිඹු කරන්නේ, නරක අතට හැරෙමින් ඇති සමාජ ආර්ථික අර්බුදය මධ්‍යයේ, දේශපාලන සංස්ථාපිතයේ කොටස්වලට ශක්තිමත් ජනාධිපති ධූරයක් පවත්වාගැනීම අවශ්‍යය යන කාරනය යි.
සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහය වැඩි කර ගැනීමට දැරුනු උත්සහයකදී සිරිසේන, සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන ආන්ඩුවට ඇතුල් කර ගත්තේ ය. කෙසේ වෙතත්, බොහෝ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවමත් විරුද්ධ පක්ෂයේ අසුන් ගෙන සිටින අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඒකාධිපති බලතල පැවරීමට උත්සහ ගන්නේ යයි එජාපයට චෝදනා කරති.
මැතිවරනයෙන් පසු ශ්‍රීලනිප දරුනු හැල හැප්පීම් වලට මුහුනපා සිටියි. විපක්ෂ කඳවුරට ගිය ද ශ්‍රීලනිපයේ සිය සාමාජිකත්වය අත් නොහල සිරිසේනට, පක්ෂයේ කොටසක් සහාය දක්වද්දී තවත් කොටසක් රාජපක්ෂට සහයෝගය දෙයි.ආන්ඩුවේ නව අර්බුදයක් අවුලුවමින්, රුපියල් බිලියන 400ක (ඇමරිකානු ඩොලර් බිලියන 3ක) භාන්ඩාගාර බිල්පත් නිකුතුව සඳහා වූ යෝජනාවක් ශ්‍රීලනිප සාමාජිකයන් විසින් 07දා පරාජයට පත් කරන ලදි.
ආන්ඩුවට සහය දක්වන පක්ෂ අතරින් පවා මෙම සංශෝධනයට තියනු විරෝධයක් එල්ල වේ. වික්‍රමසිංහ ජනාධිපති බලතල පැහැර ගැනීමට උත්සහ ගන්නා බවට චෝදනා කරමින්, පාලක හවුලේ පාර්ශවකරුවෙක් වන සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ) ව්‍යවස්ථා සංශෝධනයන්ට එරහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කලේ ය.
ආන්ඩුව සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කර මේ මස අගදී ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කරනු ඇතැයි 09දා වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. තවත් වසර 06ක් ගතවන තෙක්, එනම් ඊලඟ ජනාධිපතිධූර කාලය වන තෙක්, සංශෝධනය බලාත්මක නොවනු ඇතැයි, විවේචන මග හැරීමට ගත් උත්සහයකදී ඔහු තව දුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, විධායක ජනාධිපතිධූරය පොරොන්දු වූ තරම් ඉක්මනින් අවසන් වන්නේ නැත.
ප්රජාතන්ත්රවාදයේ කෙරුමෙකු ලෙස පෙනී සිටිමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යෝජිත සංශෝධනයට වාචිකව සහය දක්වයි. “නව සංශෝධනය ප්රජාතන්ත්රවාදය සඳහා නිවැරදි තේරීම යයි අප සිතනවා. එය නිදහසේ වැඩ කිරීමට අත්‍යවශ්‍ය නෛතික රාමුව රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා” යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
එසේම ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) තමන් මෙම යෝජනාව ප්රජාතන්ත්රවාදය දෙසට තැබූ පියවරක් ලෙස දකින බව ප්‍රකාශ කර ඇත. පලාත් මට්ටමෙන් බලය බෙදීම තුලින් සිය ස්ථාවරය ශක්තිමත් වනු ඇතැයි යන ආස්ථානය මත ටීඑන්ඒ, කොලඹ පාලක ප්රභූව සමඟ සම්මුතියකට එලැඹීමේ බලාපොරොත්තුවෙන් ආන්ඩුවට පිටුබලය දෙයි.
කෙසේ වෙතත් රාජපක්ෂ, සිය පුනරාගමනය සඳහා ආන්ඩුවේ වර්ධනය වන දේශපාලන අර්බුදය ගසා කෑමට උත්සහා ගනියි. සියල්ලම නොව ඇතැම් ජනාධිපති බලතල අඩු විය යුතු යැයි ඔහු මාධ්‍යට පවසා ඇත.සිංහල වර්ගවාදී පක්ෂ වන ජාතික නිදහස් පෙරමුන සහ මහජන එක්සත් පෙරමුන ද අවස්ථාවාදී ලංකා සම සමාජ පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුලු හිටපු සභාග පාර්ශවකරුවන් සහ ශ්‍රීලනිප කොටස් ඔහු නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියි.
රාජපක්ෂ කොළඹ පිහිටි ප්‍රධාන බෞද්ධ පන්සලක සිට ක්‍රියාත්මක වන අතර පන්සල්වල රැස්වීම් සංවිධානය කරයි. යලි බලයට පැන ගැනීමේ සිය උත්සාහයට තල්ලුව දීම සඳහා සිංහල බෞද්ධ ප්රතිගාමී කොටස් බලමුලු ගැන්වීම අරමුනු කර ගනිමින් භික්ෂූන් 5000කගේ පා ගමනක් ඔහු සූදානම් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය.
විධායක ජනාධිපති ක්‍රමයට සහය දක්වන හෝ නොදක්වන කිසිදු පක්ෂයකට, වැඩකරන ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතීන් පිලිබඳ සුලු හෝ තැකීමක් ඇත්තේ නැත. සිරිසේනගේ ශ්‍රීලනිප සහ එජාප ය බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරහිව කුරිරු ජනවාර්ගික යුද්ධයක් ගෙන යාම ඇතුලු ප්රජාතන්ත්රීය අයිතීන්ට පහර එල්ල කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය.
1978 දී ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව පුලුල් ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිධූරය මුදුනට ගනිමින් ව්‍යවස්ථාව සංශෝධනය කළේ ය. “ජනාධිපතිට කල නොහැකි එකම දේ පිරිමියෙකු ගැහැනියක් කිරීමත් ගැහැනියක් පිරිමියෙක් කිරීමත් ය” යයි ජයවර්ධන කයිවාරු ගැසීය.
1978 ව්‍යවස්ථාව යනු, දිවයින ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත් කරනු පිනිස කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කල වෙලඳපල ගැති ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා ඇතිකරගත් සූදානම විය. ජයවර්ධන, රැකියා සහ ජීවන තත්වයන්ට එරෙහි සිය ප්‍රහාර ඉදිරියට ගෙනයාම පිනිස 1980 මහ වැඩ වර්ජනය තලා දමමින් රජයේ සේවකයන් 100,000ක් රැකියා වලින් නෙරපුවේ ය. සිවිල් යුද්ධය තුලට රට ඇද දැමීම වේගවත් කල 1983 වසරේ දිවයින පුරා පැවති දෙමල විරෝධී වාර්ගික සංහාර සඳහා එජාප ආන්ඩුව වගකිව යුතු ය.
ශ්‍රීලනිප ය සහ එජාප ය මෙන්ම විපක්ෂයේ සිටියදී සියලුම පක්ෂ, තම තමන්හට බලය තිබියදීවූ පොරොන්දු අත හැර දැමීමට සහ ජනාධිපති ධූරය තවත් ශක්තිමත් කිරීමට පමනක් විධායක ජනාධිපති ධූරයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිට ඇත.ජනාධිපති ධූරය සඳහා වාර දෙකක සීමාව ඉවත් කල සහ ඉහල මට්ටමේ විනිසුරුවන් සහ රාජ්‍ය නිලධාරීන් සෘජුවම පත් කල හැකි වන ලෙස තම බලය ශක්තිමත් කල 18 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂ බලපෑම් දමා සම්මත කර ගත්තේ ය.
රාජපක්ෂ පාලනයේ ඒකාධිපති විධි ක්‍රම, හුදෙක් පුද්ගලික දුර්වලතාවක් හෝ ඔහුගේ තන්ත්රයේ දූෂනය සහ ඥාති සංග්‍රහයේ නිෂ්පාදනයක් නොවේ. සියල්ලටත් වඩා පොලිස් රාජ්‍ය විධි ක්රමයන් වෙත ඔහුගේ යොමුවීම, ජීවන කොන්දේසි වලට එරහි තම ආන්ඩුවේ ප්රහාරයන්ට කම්කරු පීඩිත ජනතාව දක්වන කුමන හෝ ප්‍රතිරෝධයක් මර්ධනය කිරීම එල්ල කර ගත්තකි.
එජාප නායකත්වයෙන් යුතු නව රජය සැරසෙමින් සිටින්නේ ද එය ම කිරීමට ය.
Follow us on