සරසවි සිසුහු ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය හා එහි අදට ඇති අදාලත්වය සාකච්ඡා කරති - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

සරසවි සිසුහු ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය හා එහි අදට ඇති අදාලත්වය සාකච්ඡා කරති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 දෙසැම්බර් 19

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ සිට හැත්තෑ පස් වසරක් සමරනු වස් “අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව ලෝක සමාජවාදය” යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දෙසැම්බර් 20දා කොලඹ නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීම එල්ල කොට ගෙන සසප තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය දා ජයවර්ධනපුර හා කොලඹ යන සරසවිවල උද්ඝෝෂනයක යෙදී ගත්හ.

කම්කරු පන්තියේ නායකත්වය මත පීඩිත ගොවි ජනයා මෙහෙයවා ගනිමින් සාර් පාලනය හා රුසියානු ධනපති පන්තිය පෙරලා දමා සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවීමට ලෙනින් සමග නායකත්වය ගත් ලියොන් ට්‍රොට්ස්කි, 20 වන සියවසේ ප‍්‍රමුඛ මාක්ස්වාදියා ය. 1914 පලමු ලෝක යුද්ධය පුපුරා යෑමත් සමග දෙවන ජාත්‍යන්තරයේ සමාජ ප‍්‍රජාතන්තවාදී පක්ෂ (සප‍්‍රප) යුද්ධයට සහාය පල කරමින් සිදු කල ජාතිකවාදී පාවා දීම සෝවියට් සංගමය හුදකලා කල අතරම, ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රයේ ‘තනි රටක සමාජවාදය’ නැමැති ජාතිකවාදී වැඩපිලිවෙලට දොර විවර කලේ ය. 1920 ගනන් මුල සෝවියට් සංගමයේ බලය පැහැර ගත් ජෝසෆ් ස්ටැලින්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රති-විප්ලවවාදී නිලධරය 1940 අගෝස්තු 20 දා ට්‍රොට්ස්කි ඝාතනය කලේ, දෙවන ලෝක යුද්ධයේ ම්ලේච්ඡත්වය හමුවේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රයේ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රතිගාමී පිලිවෙත් වලට එරෙහිව යුරෝපය හා ලොව පුරා කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදයේ මූලෝපාය මත පදනම් කිරීමේ යෙදී සිටිය දී ය.

වැඩෙන තුන්වන ලෝක යුද්ධයේ අන්තරායට ද, ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙතෙක් භුක්ති විඳි සමාජ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සියල්ල ආපසු උදුරා ගැනීම එල්ල කර ගනිමින් ලොවපුරා පාලක පන්තීන් විසින් දියත් කොට ඇති සමාජ-ප‍්‍රතිවිප්ලවයට ද එරෙහිව සටන් වැදීමේදී, ට්‍රොට්ස්කි ගෙන ගිය දේශපාලනික සහ න්‍යායික අරගලයේ තීරනාත්මක වැදගත්කම සසජාතශි සිසුන්ගේ අවධානයට ලක් කලේ ය.

ජයවර්ධනපුර සරසවියේ කලා පීඨයේ දේශපාලන විද්‍යාව හදාරන සිසුන් කන්ඩායමක් සමග කල සාකච්ඡාවක දී එක් සිසුවෙක් මෙසේ කීවේය: “අපේ නව විෂය නිර්දේශය යටතේ රුසියානු විප්ලවය සම්බන්ධ ව තිබුන කොටස් අයින් කරලා. නමුත් සමාජවාදය හා මාක්ස්වාදය සම්බන්ධ කොටස් තියෙනවා. නමුත් ට්‍රොට්ස්කිවාදය ගැන සංයුක්ත ව යමක් ප‍්‍රකාශ කරන්න තේරෙන්නේ නෑ. ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයට නායකත්වය දුන්නා කියල දන්නවා.”

සාකච්ඡා කල එක් සිසුවෙක්

“ජාත්‍යන්තරයක් කියන්නෙ මොකක් ද? ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය පිහිටුවේ ඇයි?”යනුවෙන් එම සිසුන් අතර සිටි ගිහාන් නැමැති ශිෂ්‍යයා ප‍්‍රශ්න කලේය.

ජාත්‍යන්තරය යනු කම්කරු පන්තියේ ලෝක පක්ෂය බවත්, කාල් මාක්ස් සහ ෆෙඩි‍්‍රක් එංගල්ස් ගේ නායකත්වයෙන් පලමු ජාත්‍යන්තරය ද, ඉන් පසු දෙවන, තෙවන සහ හතරවන ජාත්‍යන්තරයන් ද ගොඩනැංවීමේ මූලික අරමුන වූයේ ලෝක කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය මත බලමුලු ගන්වමින් ධනවාදය අහෝසි කොට ලෝක සමාජවාදය ස්ථාපිත කිරීම බව සසජාතශි එම සිසුන්ට පෙන්වා දුනි.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා ලෝක කම්කරු පන්තිය මෙහෙයවීම වෙනුවට, ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රයේ විදේශ පිලිවෙතේ උපකරනයක් බවට පත් කර තිබූ තුන්වන ජාත්‍යන්තරය, ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කල ‘කම්කරු පන්තික එක්සත් පෙරමුනු’ වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කරමින්, 1933 දී හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී ජාතික සමාජවාදීන් ට ජර්මනිය තුල බලයට ඒම සඳහා පාර කපා දුනි. එතෙක් වාම විපාර්ශ්වය පිහිටුවාගෙන තුන්වන ජාත්‍යන්තරයේ නිලධාරීවාදී පරිහානියට විරුද්ධ ව සටන් වැද තිබුනු ට්‍රොට්ස්කි, තුන්වන ජාත්‍යන්තරය මියගොස් ඇති බවත්, නව ජාත්‍යන්තරයක අවශ්‍යතාව මතුව ඇති බවත් පැහැදිලි කොට, 1938 දී, හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගූ බව සසජාතශි පැහැදිලි කලේ ය.

වර්තමාන ලෝක වර්ධනයන්, විශේෂයෙන්ම ලෝක යුද අන්තරාය හා කප්පාදු වැඩපිලිවෙලවල් පිලිබඳ ව අවධානය යොමු කිරීමේ දී තවත් සිසුවෙක් අයිඑස්අයිඑස් ගරිල්ලන් සිදු කරන ඝාතන හා මෑතක දී ප‍්‍රන්සයට එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් “කොහොමහරි අයිඑස්අයිඑස් ගරිල්ලන් නැති කරන්න ඕන” යයි කියා සිටියේ ය.

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යනු, සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු මැද පෙරදිග හා මධ්‍යම ආසියානු කලාපයත් ඇතුලු සමස්ත යුරේසියානු භූ තැටියේ ම පාලනය අතට ගැනීම ඉලක්ක කොට ගත් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපාය ඉදිරියට ගෙන යෑම සඳහා භාවිතා කරන කඩතුරාවක් පමනක් බවත් සසජාතශි පෙන්වා දුනි.

2001 සිට ගතවු වසර 15 ට ආසන්න කාලපරිච්ඡේදය තුල ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව ආදි වසයෙන් රටවල් ගනනාවක් විනාශ කොට මිලියන ගනනක් ඝාතනයට හා සරනාගතභාවයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඇතුලු නැටෝ බලයන් ය. සිරියාවේ අසාද් තන්ත‍්‍රය පෙරලීමේ ඇමරිකානු ප‍්‍රයත්නය සඳහා අල් කයිඩා හා අල් නුස්රා වැනි ත‍්‍රස්ත කල්ලි භාවිතා කරන ආකාරයත්, ප‍්‍රන්ස ප‍්‍රහාරය සඳහා එම කල්ලි කන්ඩායම්වල පැවතිය හැකි සම්බන්ධයත් සසාජාතශි එම සිසු කන්ඩායමට පැහැදිලි කලේ ය.

ඉහත කරුනු සම්බන්ධයෙන් ලෝසවෙඅයේ පල කෙරී ඇති ලිපි හඳුන්වා දීමෙන් පසු එම සිසුවා කියා සිටියේ “ඇත්තට ම මෙවැනි අදහස් අපි තුල නිර්මානය කරලා තියෙන්නේ පවත්නා ජන මාධ්‍ය හා අනෙකුත් දේශපාලන පක්ෂ විසින්” යනුවෙනි. තවද ලෝක යුද්ධයක අන්තරාය පිලිබඳ ව වෙන කිසිම මාධ්‍යයක්, පක්ෂයක් හෝ සරසවිය තුල සිටින කවර හෝ ආචාර්යවරයෙක් කිසිදු සඳහනක් නො කල බව ඔහු ප‍්‍රකාශ කලේය.

සාකච්ඡාව ලංකාවේ තත්වයට යොමු වීමේ දී, රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීමෙන් ප‍්‍රශ්න විසඳෙනු ඇතැයි සිතූ නමුත් මේ අන්ඩුවේ අය-වැය දෙස බැලූවිට එම අදහස ද වෙනස් වී ඇතැයි ඔහු පැවසීය.

චීනය සමග ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා තහවුරු කරගෙන සිටි රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දමා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒම පිටුපසින් පැවති, චීනය ආර්ථික හා මිලිටරිමය වශයෙන් වටලෑමේ ඇමරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාව පැහැදිලි කිරීම දක්වා සාකච්ඡාව ඉදිරියට ගියේ ය.

අධ්‍යාපන කප්පාදුවට එරෙහි අරගලය ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිර කොට තැබීම සඳහා සිසුන් අතර කි‍්‍රයාත්මක වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) දිගින් දිගටම කියා සිටින්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල සමාජවාදය ගැන කතා නො කල යුතු බවයි. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙන අවිශිබමය මගින් වගා දිගා කරන ව්‍යාකූලත්වයන් තිබියදීම සරසවි සිසුන් තුල ලෝක දේශපාලන වර්ධනයන් සහ මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව දැන ගැනීමට දැඩි උනන්දුවක් පැවතියේ ය.

ජයවර්ධනපුර සරසවියට පැමින සිටි සිසුවෙක්

ජයවර්ධනපුර සරසවියට පැමින සිටි පේරාදෙනිය සරසවියේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යයෙකු වන සශික සමඟ කතා කිරීමට ද සසජාතශිට අවස්ථාව ලැබුනි. “න්‍යෂ්ටික ආයුධ සතු ලෝක බලවතුන්ගේ යුද්ධයක් දියත් වුවහොත් එය සමස්ත මානව ශිෂ්ටාචාරය වෙතට අනිවාර්ය විනාශය ගෙන එනවා” යයි ඔහු පැවසුවේ ය. “ඒ සඳහා පවතින එක ම විසඳුම සමාජවාදය බව මම පිලි ගන්නවා. ඒත් සමාජවාදය වර්තමානයේ දී ප‍්‍රායෝගික ද” යනුවෙන් ඔහු ප‍්‍රශ්න කලේ ය.

1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු, සමාජවාදය සහ මාක්ස්වාදය බංකොලොත් බවත්, ඉතිහාසය අවසානයකට පැමින ඇති බවත් පවසමින් ධනවාදයේ විජයග‍්‍රහනය සැමරීමට ලොවපුරා ව්‍යාජ-වාම පක්ෂ, සුමනසිරි ලියනගේ වැනි මධ්‍යම පන්තික සරසවි ආචාර්යවරුන් හා ධනපති මාධ්‍යයන් ගෙන ගිය උද්ඝෝෂනය සමාජවාදය ප‍්‍රායෝගික නොවේය යන අදහස ඔහු ඇතුලූ තරුනයන් අතර මුල්බැස ගැනීමට හේතු වූ බව සසජාතශි පෙන්වා දුනි. නමුදු එම “විජයග‍්‍රහනය” ට ප‍්‍රතිකූලව ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අභ්‍යන්තර පරස්පර විරෝධතාවයන්ගෙන් 2008 දී පුපුරා ගිය ලෝක මූල්‍ය අර්බුදයක් තුලින් බිඳ වැටීමක් දෙසට ගමන් කරන ආකාරයත්, ඒ හමුවේ ට්‍රොට්ස්කිවාදය මත පාදකව හජාජාක ගෙනයන අරගලයේ වැදගත්කමත් සසජාතශි ඔහුට මුන ගැස්වීය.

එසේම ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වෙමින් 1964 දී සමසමාජ පක්ෂය කල පාවාදීම සහ එහි ප‍්‍රතිවිපාක වශයෙන්, කලාපයේ කම්කරු පන්ති නායකත්වය සඳහා අරගලය අතහැර දැමීම, ලංකාවේ සිංහල-දෙමල කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වෙනුවට සිංහල ස්වෝතමවාදී ජනතා විමුක්ති පෙරමුන හා දෙමල බෙදුම්වාදී එල්ටීටීඊ බිහිවීම ආදී වශයෙන් කම්කරු පන්තියට අත්කර දී ඇති විනාශය සසජාතශි දිර්ඝව පෙන්වා දුන්නේ ය.

ජයවර්ධනපුර සරසවියට පැමින සිටි තවත් සිසුවෙක්

අනතුරු ව ඔහු මෙසේ පැවසුවේ ය: “මම මෙච්චර කාලයක් සමාජවාදය කියල දැක්කේ ජවිපෙ, පෙසප වැනි කන්ඩායම් ඉදිරිපත් කරන වැඩපිලිවෙල. ඔබේ පක්ෂය ගැන අහල තිබුනත් ඔබේ ව්‍යාපාරයේ ඉදිරි දර්ශනය මේකයි කියල දැනගත්තේ අදයි.”

වැඩෙන ලෝක යුද තර්ජනය පිලිබඳව අවධානය යොමු කරමින් කලමනාකරන පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙකු වන රනිඳු: “ජනවාරි 8 වෙනිදා ලංකාවේ සිදුවුනේ අධිරාජ්‍යවාදීන් අතදාපු තන්ත‍්‍ර මාරුවක් ය කියන එක මීට කලින් මම දැනගෙන හිටියේ නැහැ. මට තියන ප‍්‍රශ්නයක් තමයි ආන්ඩුව අයවැයත් ඉස්සරහට දාගෙන විශ‍්‍රාම වැටුප් හා සිසුන් මත එල්ල කරන ප‍්‍රහාර ගැන ඕගොල්ලො හඬක් නගන්නේ නැද්ද කියන එක.”

අවිශිබම, පෙසප ඇතුලු අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති විසින් නගන විරෝධතා දේශපාලනයේ හඬට විපරීතව, සසප සහ සසජාතශි කම්කරුවන් හා තරුනයන් වෙත ස්වාධීන කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කරමින්, ධනවාදයට විකල්ප ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයේ පදනම මත සටන් වදින බව ඔවුහු පෙන්වා දුන්හ.

කොලඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සෆ්රාස් මැදපෙරදිග කලාපයේ ඇමරිකානු අතපෙවීම් හා වර්ධනය වන අධිරාජවාදී යුද ධාවනය සම්බන්ධ පැහැදිලි කිරීමකින් පසු අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය: “මම නම් ට්‍රොට්ස්කි ගැන ඔබ කියනකම් අහල තිබුනේ නෑ. හැබැයි ඔබ කියන දේ හරි. මුස්ලිම් මූලධර්මවාදී සංවිධාන පෝෂනය කරල කලාපයේ රටවල් අස්ථාවර කරන්න ඇමරිකාව කටයුතු කරනවා. ලෝක යුද්ධ තත්වයකට ලෝකය ඇද දමල තියෙනව කියන එක ඇත්තටම ඔබේ පක්ෂය හැර වෙන කිසිවෙක් කියන්නේ නෑ තමයි. මමත් හිතනවා එවන් අවදානමක් තියෙනවා කියලා. න්‍යෂ්ටික යුද්ධයක් කියන්නේ ලෝකයේ අවසානය. ලෝක යුද්ධය වැලැක්වීම අනිවාර්යයෙන්ම කල යුතුයි. ඔබගේ පක්ෂයේ වැඩ පිලිවෙල හදාරන්න අවශ්‍යයි.”

කොලඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ දෙවන වසර සිසුවෙකු වන ජනාත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මට හිතෙනවා ඉතිහාසයේ ගොඩක් දේවල් වර්තමානයට අදාලයි කියල, විශේෂයෙන් ඔබ කියන ලෝක යුද අනතුර වලක්වා ගන්න. මම කැමතියි ඔබ සංවිධානයත් එක්ක වැඩිදුර සාකච්ඡා කරන්න.”

මෙම උද්ඝෝෂනයේ දී ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ හා ඇමරිකානු සසප සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචිත, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ පටන් හැත්තෑ පස් වසරක් යන ලියවිල්ලේ සිංහල පරිවර්තනය ද ඇතුලු සසප සාහිත්‍යය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උනන්දුවෙන් මිල දී ගත්හ.

Share this article: