රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය අංශයේ “මිනිස් බල” කම්කරුවන් උද්ඝෝෂනය කරයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මාර්තු 12
දිවයිනේ නන් දෙසින් කොලඹට පැමිනි රාජ්‍ය අංශයේ “මිනිස් බල” කම්කරුවන් තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 4 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක යෙදුනි. ලංකා විදුලිබල මන්ඩලය, ජාතික ජලාපවහන මන්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, ගුවන් තොටුපල අධිකාරිය, රාජ්‍ය බැංකු, ඉංජිනේරු සංස්ථාව, ශී‍්‍ර ලංකා ටෙලිකොම් සහ සංස්කෘතික ති්රකෝනය ඇතුලු රාජ්‍ය ආයතන ගනනාවක සේවයේ නියුතු 4,000 ක් පමන වන කම්කරුවෝ උද්ඝෝෂනයට සහභාගි වූහ. ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය යටතේ පිහිටුවා ඇති “මෑන්පවර් සේවකයන් ස්ථිර කරගැනීමේ ජාතික මධ්‍යස්ථානය” (මෑසේජාම) විසින් උද්ඝෝෂනය කැඳවා තිබුනි.
පිකට් කිරීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක යෙදුනු කම්කරුවෝ එහි අටවා තිබූ පොලිස් මාර්ග බාධකයට නුදුරින් රැඳී සිට තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් සටන් පාඨ හඬ නැගූහ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට ලිපියක් භාරදෙන බව පවසමින් ජනාධිපති කාර්යාලයට ඇතුලුවූ මෑසේජාම හි ජාතික සංවිධායක රන්ජන් ජයලාල් ඇතුලු නියෝජිත පිරිස ආපසු පැමිනෙන තෙක් එහි රැඳී සිටි කම්කරුවන් වෙත ආපසු පැමිනි ජයලාල් පැවසුවේ ජනාධිපතිවරයා නොසිටි බැවින් අතිරේක ලේකම්වරයාට ලිපිය භාර දුන් බවයි.
වසර හතකට වඩා වැඩියෙන් රාජ්‍ය ආයතනයන්හි සේවය කල මිනිස්බල කම්කරුවන් පමනක් ස්ථිර කරන බවට වත්මන් ආන්ඩුව ජනවාරි 29 දා අතුරු අයවැයෙන් කල ප්‍රකාශයට විරුද්ධ වෙමින්, ජනාධිපතිවරන සමයේ පොරොන්දුවූ පරිදි දින 180 සම්පූර්න කල සියලුම කම්කරුවන්, ආන්ඩුවේ “දින 100” වැඩපිලිවෙල යටතේ, වහාම ස්ථිර කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා සිටි බව ජයලාල් කම්කරුවන්ට පැවසීය.
බොහෝ දුර පලාත්වල සිට පැමිනි කම්කරුවන් දහස් ගනනක නියෝජනයෙන් සහ ඔවුනගේ සටන්කාමිත්වයෙන් පෙන්නුම් කෙරුනේ තම ජීවන කොන්දේසි වලට සහ රැකියා අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන බලගතු විරෝධය සහ එම ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවයි.
මිනිස්බල සමාගම් හරහා තාවකාලික හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන සිටින 50,000 කට අධික කම්කරුවන් ඉතා අඩු වැටුප් මට්ටම් යටතේ මෙම රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි දැවැන්ත ශ්‍රම සූරා කෑමකට ලක් කොට ඇත. මූලික අයිතිවාසිකම් සියල්ලම පාහේ අහිමි කෙරී ඇති මෙම කම්කරුවන්ට විධිමත් පත්වීමේ ලිපියක් හෝ නොමැත. ඔවුනගේ රැකියා පිලිබඳ වගකීම හිමිවන්නේ සේවය ලබා ගන්නා රාජ්‍ය ආයතනයට ද නැතිනම් කම්කරුවන් සපයා ඇති මිනිස්බල සමාගමට ද යන්න නිශ්චිත නොවන අතර බොහෝවිට දෙපාර්ශ්වයම වගකීමෙන් බැහැර වේ.
වසර 20 ක් වැනි දීර්ඝ කාලයක් තාවකාලික කම්කරුවන් ලෙස සේවය කල මිනිස්බල කම්කරුවන් ද ඒ අතර වෙයි. උපරිම දෛනික වැටුප රුපියල් 700 ක් වන අතර මෑතදී රාජ්‍ය බැංකුවලට බඳවා ගැනුනු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 ක් වැනි සොච්චමකි. වැටුප් ගෙවනු ලබන්නේ සේවයේ යෙදෙන දින ගනන අනුවය. අර්ථ සාධක අරමුදල් බැර කරන බවට වැටුප් පතේ සඳහන් කෙරෙන නමුදු බොහෝ මිනිස්බල සමාගම් විසින් එම අරමුදල් නිසි අයුරින් බැර නොකරන බව කම්කරුවෝ පවසති.
විරෝධතාවට සහභාගිව සිටි ජාතික ජලාපවහන මන්ඩලයට අයත් නාවල ඩිපෝවේ කම්කරුවෙකු වන රොහාන් ප්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය; “මම මෑන්පවර් කම්කරුවෙක් හැටියට ජල මන්ඩලයට බැඳුනේ 1998 දී රුපියල් 85 ක දෛනික වැටුපකට. ලංකාවේ කම්කරු නීති අනුව දින 180 කට වඩා කම්කරුවෙක් යම් තැනක වැඩ කලාම ස්ථිර කරන්න ඕන. ඒත් අවුරුදු 17 ක් ගිහිල්ලත් මම ස්ථිර සේවකයෙක් හැටියට පිලිඅරගෙන නෑ. අපි මාසෙම වැඩ කලොත් යන්තම් රුපියල් 21,000 ක් විතර හොයා ගන්න පුලුවන්. ඒත් වැඩ කරන දින ගනන 20 ට අඩුනම් දිනකට රුපියල් 300 ගානෙ කපනව. දරු පවුලක් එක්ක ජීවත් වෙන්න මාසෙකට රුපියල් 50,000 ක් වත් ඕන. අපි ජීවත් වෙන්නෙ කාල ඇඳල නෙවෙයි.”
චන්දන පීරිස් නම් තවත් ජල මන්ඩල කම්කරුවෙකු පැවසුවේ ඔහු වසර 19 ක් තාවකාලික සේවකයෙකු ලෙස සේවයේ යෙදෙන බවයි. “ඉන්දික ගුනවර්දන, දිනේශ් ගුනවර්දන, ආතාවුල්ලා සහ තොන්ඩමාන් වැනි විවිධ ඇමතිවරු ජල මන්ඩලය භාරව සිටිය. ඔවුන් හැම කෙනාම කීවෙ අපි ස්ථිර කරනව කියල. කවුරුවත් කලේ නෑ. මේ යන විදියට අලුත් ආන්ඩුවත් ඒ විදියටම තමයි කරන්නෙ.”
මහජන බැංකු මූලස්ථානයේ රියැදුරෙකු ලෙස සේවය කරන මිනිස්බල කම්කරුවෙකු පැවසුවේ ඔහුට මාසිකව උපයා ගතහැකි මුදල රුපියල් 16,000 ක් පමන වන බවයි. “අපි බැංකුවට සපයල තියෙන්නෙ මැනේජ්මන්ට් ඇන්ඩ් ලින්ක් කියන මෑන්පවර් සමාගමෙන්. අපිට අතිකාල ගෙවන්නෙ පැයකට රුපියල් 40 යි. අලුතෙන්ම බඳව ගත්ත ලමයින්ට මාසෙකට ලැබෙන්නෙ රුපියල් 8000 ක් විතර. ඒක බෝඩිමටත් මදි. අපිට සොච්චමක් ගෙවල මෑන්පවර් සමාගම් ලොකු ලාභයක් ගරා ගන්නව. අනෙක් අතට මේ වැඩෙන් බැංකුවටත් ලාභයි. අපි ස්ථිර කලොත් මේ පඩියට වැඩ ගන්න බෑනෙ. ඒ විතරක් නෙවෙයි අපිට ස්ථිර සේවකයෙකුගෙ අයිතිවාසිකම් හා වරප්‍රසාද දෙන්න වෙනව. ඇත්තෙන්ම අපි මේ සටනට සහභාගි වෙන්නෙ ජීවත් වෙන්නම විදියක් නැති නිසා.”
2012 ශ්‍රම බලකා සමීක්ෂනයට අනුව ශී‍්‍ර ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් මිලියන 2.5 ක්, නැතහොත් සියයට 54 ක් තාවකාලික හෝ අනියම් සේවකයෝ වෙති. සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 16 කට නිත්‍ය හාම්පුතෙකු නොමැත. මෙම තාවකාලික හා අනියම් ශ්‍රම බලකායෙන් සියයට 92 ක්ම සේවයේ යෙදී සිටින්නේ පුද්ගලික අංශයේය. ඉහත සමීක්ෂනයට අනුව 2006 සහ 2012 අතර කාලය තුල පුද්ගලික අංශයේ තාවකාලික හා අනියම් සේවක සංඛ්‍යාව සියයට 21 කින් ඉහල ගොස් තිබේ.
තාවකාලික හා කොන්ත්‍රාත් කම්කරුවන් මගින් ස්ථිර කම්කරුවන් විස්ථාපනය කිරීම ශී‍්‍ර ලංකාවට පමනක් සීමා නොවේ. එය ජාත්‍යන්තර ප්රපංචයකි. බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර පද්ධතිය තුල තම කඩා වැටෙන ලාභ රේට්ටු ඉහල නංවා ගනුවස් නිශ්පාදන පිරිවැය පහත හෙලීම සඳහා ලොවපුරා ධනේශ්වර ව්‍යවසායකයන් තාවකාලික සහ අනියම් කම්කරුවන් මත වඩවඩාත් යැපෙමින් පවතී. දියුනු ධනපති රටවල සිට නොදියුනු ධනපති රටවල් දක්වා ලොවපුරා කම්කරු පන්තිය අත් දකින්නේ මෙම වෛෂයික කි‍්‍රයාදාමය බලපෑම් දැමීම් මගින් වෙනස් කල නොහැකි බවයි. අරගලයට පිවිසෙන කම්කරු පන්තිය අභිමුඛ වී ඇත්තේ වඩාත් තීව්ර කෙරෙන රාජ්‍ය මර්දනයකටයි.
තාවකාලික හා අනියම් කම්කරුවන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ මෑතම අත්දැකීම් මෙසේය. විදුලිබල මන්ඩලයේ සේවයේ නියුතු මිනිස්බල කම්කරුවන්ගේ සේවය ස්ථිර කර ගැනීමට යැයි පවසමින් පසුගිය රාජපක්ෂ ආන්ඩු කාලය තුල ජයලාල්ගේම නායකත්වයෙන් ගෙනගිය මෙවැනිම විරෝධතා හරහා පාලකයින්ගෙන් ලබාගත් ලිඛිත හා වාචික පොරොන්දු සියල්ල කුනු කූඩයට වැටී ඇත. රාජපක්ෂ ආන්ඩුවේ අවසාන කාලයේ විදුලිබල හා බලශක්ති ඇමැතිවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ දින 180 වැඩි කාලයක් ලංවිම සේවයේ නියුතු සියලු කම්කරුවන් දෙසැම්බර් 1 දා සිට ස්ථිර කරන බවයි. එය ඉටු නොකිරීමට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ලංවිම මිනිස්බල කම්කරු විරෝධතාවකට කායිකව මැදිහත් වූ එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ කම්කරුවන්ට පොරොන්දු වූයේ තමා බලයට පත්වූ සැනින් ඔවුනගේ සේවය ස්ථිර කරන බවයි. ජනාධිපති සිරිසේන ගේ මැතිවරන උද්ඝෝෂනය තුල ද මෙය ප්‍රධාන පොරොන්දුවක් විය. දැන් සිරිසේන සහ වික්‍රමසිංහගේ ද පොරොන්දු කඩවෙමින් පවතී.
4 දා පැවති විරෝධතා උද්ඝෝෂනය නිම කරමින් ජවිපෙ සමිති නායක ජයලාල් කල පූච්චානම් කතාව අවසන් කලේ සිරිසේන ආන්ඩුව තම පොරොන්දු ඉටු නොකලහොත් රාජපක්ෂ ආන්ඩුව මෙන්ම ගෙදර යවන බව පවසමිනි. කම්කරු පන්තියට එල්ල කෙරෙන මෙම බරපතල ප්රහාරයන්ට පදනම සකසමින් 2005 දී රාජපක්ෂ ආන්ඩුව ද, 2015 දී සිරිසේන ආන්ඩුව ද බලයට ගෙනඒම සඳහා දරදිය ඇදි ජවිපෙ දැන් සූදානම් වන්නේ සිරිසේන ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසා කමින් කම්කරු පන්තිය අවමංගත කිරීමටයි.
ජයලාල් වැනි සමිති නායකයින් සහ ඔහු නියෝජනය කරන ජවිපෙ ද, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ හා අනෙකුත් වෘත්තීය සමිති ද බලපෑම් දැමීමේ වටවංගුවල කම්කරුවන් නැවත නැවතත් සිර කරනු ලබන්නේ ඔවුනගේ සටන්කාමිත්වය හා විරෝධය වාෂ්පකර හරිමින්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීමටයි.
Follow us on