ආන්ඩුවේ මෙගාපොලිස් වැඩපිලිවෙල යටතේ උන්හිටිතැන් අහිමිවූවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අගෝස්තු 23

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ “බස්නාහිර පලාත් සංවර්ධන මහා ව්‍යාපෘතිය” හෙවත් මෙගාපොලිස් වැඩපිලිවෙල යටතේ කොලඹ කම්කරු හා දුගී පවුල් දසදහස් ගනනක් නිවාස අහිමිව මහමගට ඇදවැටීමේ තර්ජනයට මුහුන දී සිටිති. පසුගිය රාජපක්ෂ ආන්ඩුව විසින් කොලඹ නගරයේ අඩු ආදායම්ලාභී නිවාස දහස් ගනනක් කඩා දැමූ අතර, වර්තමාන ආන්ඩුව එය ඉදිරියට ගෙනයමින් දැනටමත් සිය ගනනක් නිවාස කඩා ඉවත් කර ඇත.

කඩා දැමූ නිවාසවල පදිංචිව සිටි පවුල් වලින් සුලුතරයකට, තත්වයෙන් ඉතා බාල, කුඩා තට්ටු නිවාස රජයෙන් ලබා දී ඇති අතර, ඔවුහු කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැතිව, මාසික කුලී හා අධික ජල බදු ගෙවමින් ඒවායේ ජීවත්වෙති. නමුත් නිවාස අහිමි වූ අති බහුතරයක් ජීවත් වන්නේ තමන්ම අටවාගත් තාවකාලික කුඩා පැල්පත්වලය.

පැල්පත් ඉවත් කොට ජනතාවට සුදුසු නිවාස ලබාදෙන්නේය යන ප්‍රෝඩාව යටතේ ආරම්භ කර ඇති වර්තමාන ආන්ඩුවේ වැඩපිලිවෙල, රාජපක්ෂ ආන්ඩුව යටතේ කි‍්‍රයාත්මක කෙරුනාට ද වඩා රුදුරු ලෙස දුගී ජනතාවගේ නිවාස අයිතිය උදුරාගැනීමට යොමුවූවකි. මෙම දුගී නිවහන් ප‍්‍රදේශ, විදේශීය හා දේශීය ආයෝජකයන්ගේ ලාභ අපේක්ෂා ඉටුකරදීම සඳහා වෙන් කර දීමට නියමිත ය.

පසුගිය පෙබරවාරි හා මාර්තු වල නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) මගින් කඩා දමන ලද තොටලඟ ඇපල් වත්ත ප‍්‍රදේශයේ පවුල් කීපයක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) තමන්ගේ ප‍්‍රශ්න ඉදිරිපත් කලහ. මේ පවුල් දැන් ජීවත් වන්නේ, පොලිතින් හා දිරාගිය පරන ලෑලි වලින් අටවාගත්, වර්ග අඩි 50 ක හෝ අවකාශයක් නැති, පැල්පත් වලය. ජලය, විදුලිය, තබා වැසිකිලියක්වත් අසලක නැති මේ පැල්පත්හි නිවැසියන් ඉතා දුක්ඛිත තත්වයකට මෙම ආන්ඩු මගින් ඇද දමා ඇත.

දුගී නිවැසියන්ට එරෙහි ප‍්‍රහාරය, රටපුරා කම්කරුවන්ට, පීඩිතයන්ට හා තරුනයින්ට එරෙහිව දියත්කර ඇති ප‍්‍රහාර මාලාවක කොටසකි.

සිත්ති ෆරීඩා

“අපි මුලු ජීවිතේම ස්ථිර ගෙයක් නැතිව තැනින් තැනට ගියා. දැන් මහපාරටම වැටෙන්නයි යන්නේ. අපි අවසානයට හිටපු ගෙවල් කැඩුවේ මාර්තු 16, කිසිම දැනුම් දීමක් නැතිව. සමහර අයට තමාගේ බඩුමුට්ටු ටිකවත් එලියට ගන්න ලැබුනේ නැහැ. කුස්සියේ බත ඉදි ඉදි තියෙද්දී තමයි සමහර ගෙවල් ඩෝසර් කරේ.

“දැන් අපිට මේ දරුවා හදා ගන්න වෙලා තියෙන්නේ පොහොසත් ගෙවල් වල බලු කූඩුවකටත් වඩා පොඩි මේ පැල ඇතුලේ. මේකෙත් තව කොච්චර කාලයක් ඉන්න දේවිද දන්නේ නෑ. මේ වත්ත ගත්තු අය ඉල්ලන නිසා මෙතනින් යන්න කියල නාගරික සංවර්ධන අධිකාරියේ මහත්තුරු අපිට දැනුම් දීල තියෙනවා. කාට විකුනලද කියල නම් අපි දන්නේ නැහැ, අපි දන්නේ අපිට වෙන යන්න තැනක් ඉතිරි වෙලා නැති බව විතරයි.

“අපි හැමදාම ආධාර කලේ එක්සත් ජාතික පක්ෂෙට. දැන් ඒගොල්ලෝ අපිට කල දේ පේනවා නේද? අපිට මේ දේශපාලන ක‍්‍රමේ ගැන කිසිම විශ්වාසයක් ඉතුරු වෙලා නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ සල්ලි තියන පන්තියකට, අපිට නෙමෙයි. ”

කමලාසීලි

“මමයි, මගේ මහත්තයයි, දුවයි, මිනිබිරියි අවුරුදු ගානක් ජීවත් වුනේ පොඩි වුනත් ගඩොල් බැම්මෙන් බැඳපු හොඳ ගෙයක් මේ වත්තෙන් කුලියට අරගෙන. ඒ ගේ කඩලා දාන වෙලාවේ, අපිට යන්තම් ඇඳුම් ටික විතරයි බේරගන්න ලබුනේ. ඒකෙන් ඉතිරි වෙච්චි ලෑලි කෑලි වලින් තමයි අපි මේ පැල අටවා ගත්තේ.

“මගේ දුවට මානසික රෝගයක් තියෙනව, එයාව අංගොඩ ඉස්පිරිතාලේ නතර කරන්න වුනා. පහුගිය මැයි මාසේ ගංවතුර දවස් වල මගේ මහත්තය ලෙඩ වෙලා මලා. අපිට මිනිය තියන්නවත් තැනක් තිබුනෙ නැහැ.

“දැන් මායි මගේ මිනිපිරියි මේ පැලේ ඉන්නේ. මේක තරුන ගෑනු ලමයෙකුට ඉන්න පුලුවන් තැනක් නෙමෙයි. හරියට වැසිකිලියක් නැහැ, නාගන්න තැනක් නැහැ. ඉස්සර වතුර පයිප්පයක්වත් තිබුන, දැන් ඒකත් කපල, වතුර ගේන්න එහා වත්තට යන්න ඕනේ. මේ ලමයාගේ අනාගතය මොකක්ද. අපිට මේවට උත්තර නෑ.”

ලක්ෂානි

“මට පහුගිය අවුරුද්දේ සාමාන්‍ය පෙල විභාගය කරගන්න බැරි වුනා. දැන් වයස 16 සම්පූර්න වෙනකන් බලාගෙන ඉන්නවා ජාතික හැඳුනුම්පතක් අරගෙන ගාමන්ට් එකක හරි කඬේක හරි රස්සාවකට යන්න. කඬේක උදේ 8 ඉඳල රෑ 9 වෙනකන් සතියට දවස් හයක් වැඩ කලොත් රුපියල් 9,000ක් විතර මාසෙකට අරගන්න පුලුවන්. ඒක කොහෙත්ම මදි, ඒත් මම මොන විදිහකින් හරි ආච්චිට උදවු වෙන්න ඕනේ. හැමදාම එයාට බරක් වෙන්න බැහැ.

“අපිට අනාගතයක් ගැන හිතාගන්නවත් බැහැ. ඉස්සරනම්, අපි වාගේ ගෑනු ලමයින්ට අරාබි රටක ගෘහ සේවිකාවක් හැටියට ගිහින් කීයක් හරි හොයාගන්න පුලුවන්කම තිබුන. නමුත් දැන් එහෙ ගියපු අයත් ආපහු එනවා එහෙ ජීවිතේ අමාරුකම් නිසා. පඩි ඉස්සරට වඩා හුඟක් අඩුයි. හුඟ දෙනෙකුට ආපහු එන්න වුනා ඒ රටවල් වල යුද්ධ නිසා. සෞදි අරාබියේ වැඩ කරපු ලංකාවේ ගෑනු ලමයි කීප දෙනෙකුව මැරුවා. මට ඒවගේ බයෙන් ජීවත් වෙන්න බැහැ.

“කවුරුවත් මේ ප‍්‍රශ්න ගැන බලන්නේ නැහැ. දේශපාලනඥයෝ එන්නේ චන්දෙ කාලෙට විතරයි. මෙහෙ හැම වැඩිහිටියෙක්ම මොකක් හරි දේශපාලන පක්ෂයකට වැඩ කලා, මොනවා හරි විසඳුමක් ලබෙයි කියල බලාපොරොත්තුවෙන්. අපේ පරම්පරාවට නම් ඒ ඔක්කොම බලාපොරොත්තු නැතිවෙලා තියෙන්නේ.

“මම ඉස්සර හිතුවේ, දුප්පතුන් ගැන අනුකම්පාව තියන වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියොත්, අපේ ප‍්‍රශ්න වලින් ටිකක් හරි විසඳෙයි කියල. හැබැයි පාර්ලිමේන්තුවට ගියහම ඒ ගොල්ලොන්ගේ වැදගත් කමත්, අනුකම්පාවත් දෙකම නැති වෙනවා. ”

කනගරත්නම්

“මේ පැලේ මමයි බිරිඳයි ලමයි තුන් දෙනෙකුයි ඉන්නවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිම තත්වයක් උදා වෙලා තියෙන්නේ. දුප්පත් අපි විතරක් නෙමෙයි, රැකියාවක් කරන අයත් එදා වේල කාල ඉන්නෙ අමාරුවෙන්. හුඟක් තරුන තරුනියො දවසට පැය 10-12ක් වැඩ කරනවා සොච්චම් පඩියකට.

“බලන්න පහුගිය කාලේ වැඩ වර්ජන කීයක් නම් ඇති වුනාද. මිනිසුන්ට පාරට බහින්න වෙලා තියෙන්නේ මොනම ප‍්‍රශ්නයක්වත් මේ ආන්ඩු වලින් නොවිසඳෙන නිසා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම මිනිස්සු පාරට බහිනවා.

“දේශපාලන ප්‍රෝඩාවල් අපිට දැන් තිත්ත වෙලා තියෙන්නේ. විපක්ෂයේ පාගමනට මේ පලාත්වලිනුත් කට්ටිය ගෙන්න ගන්න හැදුව. නමුත් කවුරුත් ගියේ නැහැ. මේ සියලු දේශපාලන පක්ෂ වල බොරුව හොඳටම එලිවෙලා තියෙන්නේ.”

අචලා දිල්හානි

“මගේ මහත්තය රට. මට අවුරුදු 16 දුවෙකුයි, ඊට බාල පුතයි මේ අතදරුවයි ඉන්නවා. මෙයාට තාම සති එකහමාරයි. දුවට සාමාන්‍ය පෙල නොකරම ඉස්කෝලෙ ගමන නතර කරන්න සිදු උනා. දැන් ගෙදරට වෙලා ඉන්නවා. අපි ඔක්කොම යැපෙන්නේ මහත්තය එවන සල්ලි වලින්. අරාබි රටවල තත්වය දැන් අන්තිම නරකයි. එයාටත් කවද එන්න වෙයිද දන්නේ නැහැ.

“අපි මේ වත්තේ පදිංචි වෙලා අවුරුදු 15ක් වෙනවා. මෙතැන තිබුනු ගෙවල් කඩනකොට, ඒ ලිපිනයට ඡන්දෙ තිබුනෙ නෑ කියල ගෙවල් දෙන්න බැහැයි කිව්වා. නමුත් ග‍්‍රාම සේවක අපිව මේ ලිපිනයට ලියාපදිංචි කරන්නෙත් නැහැ. මේක හිතාමතා ගෙනයන වැඩපිලිවෙලක්.

“ගිය සතියේ, බැකෝ අරගෙන ආවා මේ ගේ කඩන්න. මම මේ අතදරුවත් එක්ක හිටියෙ ගේ ඇතුලේ. මම ඒ මහත්තුරුන්ගෙන් ඇහුවා, මෙයාවත් අරගෙන මම කොහේ යන්නද කියල. අවට මිනිස්සුන්ගෙන් ආපු විරෝධය නිසා ඒගොල්ලෝ ගියා, එත් මේ ගේ කොයි මොහොතේ බිමට සමතලා කරයිද කියන්න බැහැ.”

ශීලන්

“අපිට ලමයි හයදෙනයි. පිරිමි ලමයි පස් දෙනයි එක ගැහැනු ලමයයි. මම කරන්නේ කුලී වැඩ. එත් අපි කොහොමහරි ලමයි ඔක්කොම ඉස්කෝලේ යවනවා. පත්තර වලින්, ආන්ඩු වලින් කියන්නේ මේ වතුවල ඉන්නේ රස්තියාදුකාරයොයි කියලා. මේ ගෙවල් වල ඉන්න හැමෝම, ඔක්කොම අමාරු කම් මැද්දේ ලමයින්ට උගන්වනවා.

“මමයි මගේ බිරිඳයි දෙන්නම ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර, වත්තේගම. එහෙ රැකියාවල් නැති නිසා තමයි කොලඹට එන්න උනේ. අපි ගමේදී මීට වඩා හොඳට ජීවත් වුනා. කවුරුත් ආසාවට මෙහෙම ඉන්නේ නැහැ.

“මේ ගෙවල් කඩන එකට විරුද්ධව මානව හිමිකම් කොමිසමටවත්, උසාවියටවත් ගිහින් වැඩක් නැහැ. ඒ අය බැඳිලා ඉන්නේ ආන්ඩුව ආරක්ෂා කරන්න. අපි හිතුවෙ ආන්ඩු තියෙන්න ඕනේ මිනිස්සු රැකගන්න කියල, නමුත් දැන් අපට වෙලා තියෙන්නේ ආන්ඩුවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියල හිතන එක.”

Share this article: