ආන්ඩුව වර්ජිත අනධ්‍යන සේවකයන්ට අවසන් දිනයක් නියම කරයි
පානි විජේසිරිවර්ධන විසිනි, 2016 අගෝස්තු 7
වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් පසුගිය ජූලි 27 වන දා සිට වැඩ වර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් හට, අගෝස්තු 5 වන දාට පෙර රැකියාවට වාර්තා කරන ලෙස, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිුෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් අවසන් නිවේදනයක් නිකුත් කෙරින.
අගෝස්තු 4 වන දා නිකුත් කෙරී ඇති මෙම චක්රලේඛනයට අනුව, වර්ජනයේ නියුතු පරිවාස සීමාවේ සිටින සේවකයන් අගෝස්තු 5 දා වන විට සේවයට වාර්තා නොකලහොත් ඔවුන් “සේවය අත්හැර ගියා සේ” සැලකෙන අතර, ස්ථිර සේවකයන් වර්ජනයට සහභාගිවීම හේතුවෙන් “රටේ ආර්ථිකයට අහිමිවූ මිනිස් පැය ගනන” තක්සේරු කොට එයට සමානුපාතික මුදලක් එක් එක් සේවකයාගේ අගෝස්තු මස වැටුපෙන් අයකර ගැනෙයි.
මෙය වනාහි ශ්‍රී ලංකාවේ ආන්ඩුවක් විසින් දිගු කාලයකට පසුව කම්කරු පන්තික වර්ජනයකට මෙවන් අවසන් දින නිවේදනයක් නිකුත් කල ප්‍රථම අවස්ථාවයි. මින් ඇඟවුම් කෙරෙන්නේ වැටුප් ඉල්ලීම් ඇතුලු කම්කරු පන්තියේ කවර හෝ ඉල්ලීමක් නොතකමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දැඩිලෙස තීන්දු ගෙන ඇති බවයි.
දශක තුනක යුද්ධයෙන් ඇති කෙරුනු වාර්ගික අපසරනයන් නොතකා උතුරු සහ නැගෙනහිර විශ්ව විද්‍යාල ඇතුලු රජයේ විශ්ව විද්‍යාල 14 ම නියෝජනය කරමින් දිවයින පුරා අනධ්‍යන සේවකයන් 13,000 ක් පමන මෙම වර්ජනයට සහභාගිවීම මගින් සහ ආන්ඩුවේ “අවසන් නිවේදනය” නොතකා අඛන්ඩව වර්ජනයේ නිරත වීමෙන් පෙන්නුම් කෙරෙනුයේ ධනපති ආන්ඩුව විසින් තම ජීවන තත්වයන්ට සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කරන ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය තුල පොදුවේ වැඩෙන සූදානම සහ අවශ්‍යතාවයි.
සාමාජිකත්වයෙන් එල්ල කෙරුනු බලගතු පීඩනය හමුවේ විරෝධතා වර්ජනයක් කැඳවීමට විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට සිදු වුව ද, වර්ජනය පාවාදීමේ ලක්ෂන සමිති නිලධරයේ සෑම පියවරකින්ම ප්‍රකාශයට පත්විය. අනධ්‍යන කම්කරුවන් සමග ආන්ඩුවේ ප්රහාරයන්ගෙන් බැටකන අනෙකුත් කම්කරුවන් ඒකාග්ර කෙරෙන, පිකටින්, පෙලපාලි හෝ රැස්වීම් වැනි කාර්මික ක්‍රියාවන් වර්ජනයට සමගාමීව සංවිධානය කල යුතුය යන්න බහුතර අනධ්‍යන සේවකයන්ගේ අදහස වුවද එවැනි දෑ සංවිධානය නොකිරීමට සමිති නිලධරය දැනුවත්ම වගබලා ගත්හ. එවන් කම්කරු පන්තික එකමුතුවක් ආන්ඩුවටත්, ධනේශ්වර පද්ධතියටත් එරෙහි දේශපාලනික අරගලයක් දෙසට වර්ධනයවීමේ හැකියාව සම්බන්ධයෙන් බියපත් සමිති නිලධරය මුලසිටම කියා සිටියේ මෙම වර්ජනය කවර ලෙසකින් හෝ “දේශපාලනික සටනක් නොවන” බවයි.
ලෝක ධනේශ්වර පද්ධතිය ගැඹුරුම බිඳ වැටීමක් තුලින් ගමන් කරන තතු තුල, ශ්‍රී ලංකාව ඇතුලු සෑම රටකම පාලක පන්තීහු තමා මුහුන දී සිටින අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම තම දේශපාලන පිලිවෙත බවට පත් කර ගෙන සිටිති. කවර හෝ කම්කරු පන්තික අරගලයක් මෙම පිලිවෙතට සෘජුව අභිමුඛ වන බැවින්, දේශපාලනික අරගලයකින් තොරව එයට ඉදිරියට යා නොහැක. අනධ්‍යන සේවක අරගලය ද ආරම්භයේ සිටම මුහුන දුන්නේ මෙම වෛෂයික සත්‍යයටයි. අවසන් දිනයක් නියම කරමින් ඉහත චක්‍රලේඛය නිකුත්වීමත් සමග මෙය වඩාත් විශද වෙමින් පවතී.
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් ඇමති රවි කරුනානායක සමග ඒකාබද්ධ කමිටුව පැවැත්වූ සාකච්ඡා වලදී මෙන්ම පසුගිය 2 වන දා ජනාධිපති සිරිසේන සමග පැවැත්වූ සාකච්ඡාවේදී ද ඉල්ලීම් සම්බන්ධයෙන් කවර හෝ එකඟතාවයක් ඇති නොවීමෙන් ද යලි යලිත් පැහැදිලි වන්නේ මෙම සත්‍යයයි.
ලබන වසරේ අයවැයෙන් අදාල ඉල්ලීම් ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපති සිරිසේන වාචිකව දුන් බොරු පොරොන්දුව කම්කරුවන්ට ගිල්ලා වර්ජනය නතර කිරීමට සමිති නිලධරය දැරූ ප්රයත්නය ද ව්‍යර්ථ විය. අගෝස්තු 3 වන දා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා හමු වූ සමිති නිලධරය, ජනාධිපතිගේ පොරොන්දුව ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලා සිටි විට ඔහු එය ප්‍රතික්ෂේප කලේය. ඉහත චක්‍රලේඛය නිකුත් කලේ ඉන් පසුවයි.
ආන්ඩුවේ අවසන් දින නියෝගයට එරෙහිව සමාජිකත්වය තුල වැඩුනු බලගතු විරෝධය හමුවේ, අගෝස්තු 5 වන දා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් කැඳවින. කම්කරුවන් බලමුලු ගැන්වීමට කවර හෝ සංයුක්ත පියවරක් නොගෙන ක්ෂනිකව කරන ලද මෙම කැඳවුමට තුන් දහසකට අධික කම්කරු පිරිසක් සහභාගි වීමෙන් තම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ඔවුනගේ ඇති අධිෂ්ඨානය යලිත් පෙන්නුම් කෙරින.
වත්මන් දක්ෂිනාංශික ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි සමිති නිලධරය ආන්ඩුව ආරක්ෂා කරමින් එහිදී වංචනික ලෙස කියා සිටියේ, “ජනාධිපති සහ මැති ඇමතිවරුන් ඉල්ලීම් ලබා දීමට එකඟ වුවත්, නිලධාරීන්ගේ අකුල් හෙලීම්” නිසා ඒවා සාක්ෂාත් කරගත නොහැකිව පවතින බවයි.
ඒකාබද්ධ කමිටුවේ සමසභාපති මහේෂ් විජයකුමාර පූච්ඡානම් කතාවක් කරමින් මෙසේ පැවසීය: “ජනාධිපතිතුමා විදේශ සංචාර කීපයකින් පසු නැවත ලංකාවට පැමින සිටින්නේ ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්පත් කර දෙමින්. අපේ ඉල්ලීම් ලබා නොදුනහොක් අපි ජිනීවා යනවා. එවැන්නක් සිදුවීමට ඉඩ සැලසීමෙන් ආන්ඩුවේ කීර්තිය නැතිකර ගන්න එපා.”
ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් තම අයිතීන් ආරක්ෂා කරගත හැකිය යන විශ්වාසය කම්කරුවන් අතර තහවුරු කිරීමට සමිති නිලධරය විසින් ප්රයත්න දරන්නේ, එම කොමිසම වනාහි ලෝක මහජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ආයතනයක් නොව, ඊට විපරීතව, තම මූලෝපායික අවශ්‍යතාවන් වෙනුවෙන් විවිධ රටවලට මැදිහත්වීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට නිමිති සකස් කර දෙන හොරගුහාවක් බව වඩවඩාත් හෙලිදරව් වන තතු තුලය.
“කීර්තිය” යනුවෙන් ඔහු හඳුන්වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරනයෙන් සිරිසේන ජයගත් තැන සිට පසුගිය වසර එකහමාර පුරා ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ මිලිටරි සහ ආර්ථික මූලෝපායන්ට වඩවඩාත් ඒකාග්ර කිරීමට හිලව් වශයෙන් එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රයේ ඊනියා ප්රජාතන්ත්රවාදයට සහ මානව හිමිකම් රැකීමට ලබා දෙන කීර්ති ප්රශංසාවන්ය.
සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය බලයට පැමිනියේ, චීනයට නැඹුරුව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කොට තමාට පක්ෂපාතී තන්ත්රයක් ශ්‍රී ලංකාව තුල අටවා ගැනීම සඳහා වොෂින්ටනය අත යොදා සිදු කල මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
රාජපක්ෂ තන්ත්රය විසින් සමාජමය සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාරවලට එරෙහිව වැඩෙමින් පැවති මහජන විරෝධය සිරිසේන-වික්‍රමසිංහ හවුල යටතට ගාල් කොට එම තන්ත්රය බලයට ගෙනඒම සඳහා දායක වූ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිලධරය, වත්මන් ආන්ඩුවේ මහජන විරෝධී ප්රහාරයන්ටත් එක්සත් ජනපදයේ යුද යන්ත්‍රයට ශ්‍රී ලංකාව ගැටගැසීමටත් සෘජුව වගකිව යුතුය.
ධනේශ්වර ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් තම ඉල්ලීම් දිනාගත නොහැකි බව යලි යලිත් සනාථ වෙමින් තිබියදී එම වටවංගුවලම කම්කරුවන් සිරකර තබන සමිති නිලධරයේ ද්‍රෝහී ක්‍රියා කලාපය සහ ආන්ඩුවේ ප්රහාරයන් සම්බන්ධයෙන් අනධ්‍යන සේවකයන් අතර වැඩෙන කෝපය ඔවුන් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල පහත ප්රකාශයන්ගෙන් විශද වෙයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවකයෙක්: “අපි ඉස්සර ආන්ඩුවලට බලපෑම් දාල ඉල්ලීම් දිනා ගත්ත. ඒත් දැන් තත්වෙ වෙනස් වේගන යන බව පේනවා. කලින් වගේ නෙවෙයි අපේ සටන්වලට ආන්ඩු ප්‍රතිචාර දක්වන්නෙ. මේ ආන්ඩුවේ ප්‍රතිචාරය බොහොම දරුනුයි. අපේ සටනට නව කි‍්‍රයාමාර්ගයක් අවශ්‍යයි කියල මට හිතෙනව,”
“මේ සටනෙ දේශපාලනයක් නෑ කියල වෘත්තීය සමිති කිව්වට දේශපාලන සටනක් නැතිව ඉස්සරහට යන්න බෑ කියන එක පැහැදිලියිි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි මොන දේශපාලන වැඩපිලිවෙල මත ද මොන පක්ෂෙ නායකත්වය යටතෙද සටන් කරන්නෙ.”
මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙක්: “ස්ට්‍රයික් එක ඉදිරියට ගෙනියන්න වෘත්තීය සමිති කිසිම වැඩක් කරල නැහැ. අඩුම තරමෙ මහජනතාව දැනුවත් කිරීමට අත් පත්‍රිකාවක් වත් ගහල නැහැ. ජනතාව දැනුවත් කිරීමට දිනපතාම පිකට් කිරීම් සංවිධානය කරන්න ඕනෑ. වෘත්තීය සමිති නායකයන් කියන්නෙ හැමදාම විශ්ව විද්‍යාලයට එන්න කියල. නමුත් මොකවත් කියන්නෙ නැහැ. අපි බලාගෙන ඉන්නව රැස්වීමක් දැන් තියයි කියල ඒත් සමහර දාට කිසිම කතා බහක් නැතුව කාලය ගතවෙලා යනව මේ කාලය තුල අඩුවෙන්ම කතා කරල තිබෙන්නෙ ස්ට්‍රයික් එක ගැනයි. අද තීරනාත්මක සාකච්ඡාවක් තිබෙනවලු. ඒක ඉවරද තවම කෙරීගෙනයනවද කියල අපි දන්නෙ නැහැ. සාකච්ඡා වලදි මොනව වුනාද කියල අපිට කියන්නෙ නෑ. අදත් ඒකාබද්ධ කමිටුවෙන් දාපු පොතේ අත්සන් කරල ගෙදර යනව.”
ආන්ඩුවේ තර්ජනයන් සහ සමිති නිලධරයේ අවමංගත කිරීම් මධ්‍යයේ වූවද මෙතෙකුදු අධිෂ්ඨානශීලීව සිටින බහුතරයක් අනධ්‍යන සේවකයනට තම සටන ඉදිරියට ගෙන යා හැක්කේ සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත්කල සමාජවාදී වැඩපිලිවෙල, ඔස්සේ පමනක් බව සිද්ධීන්ගේ වර්ධනය තුලින් යලියලිත් තහවුරු කෙරෙයි.
එහි මෙසේ සඳහන් වෙයි.
“කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය. එම ආන්ඩුවල මහා සමාගම් ද වතු ද බැංකු ද කම්කරුවන්ගේ ප්රජාතන්ත්ර පාලනයක් යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගමින් සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය තර්කාන්විත ලෙස සංවිධානය කරනු ඇත. එය සියලු විදේශ නය අහෝසි කරනු ඇත. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා අනෙකුත් ශුභ සාධන සේවා ද කම්කරුවන්ගේ හා නාගරික, ග්‍රාමීය පීඩිත ජනතාවගේ සමාජ හා ප්රජාතන්ත්ර අයිතීන් ද රැකගත හැක්කේ එවන් පදනමක් මත පමනි.”
Follow us on