අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ තවත් උගුලක්
කපිල ප්‍රනාන්දු විසිනි, 2016 දෙසැම්බර් 31
අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ඉදිරියට ගෙන යෑම අරමුනු කරගනිමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එලි දක්වා ඇති නවතම වාර්තාවක් කේන්ද්‍ර කොට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් කොලඹ ජාතික පුස්තකාලයේ දී පසුගිය 15 දා සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබුනි.
ධනපති පක්ෂ හා ව්‍යාජ-වාම සංවිධාන ඒකාබද්ධ කරගත් වේදිකාවක් වූ මෙය පලල් විරෝධතා ව්‍යාපාරයක් මගින් ආන්ඩුවට පීඩනය යොදා අධ්‍යාපන අයිතිය රැක ගත හැකි ය යන මිථ්‍යාව වටා සිසුන් කොටු කිරීමේ තවත් උගුලකි.
ආන්ඩුවේ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කෙරෙන්නේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය මුලුමනින්ම පුද්ගලික ආයෝජකයන්ගේ ග්රහනයට නතු කිරීමේ සැලැස්මයි. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය තුලත්, සෞඛ්‍යය සහ ප්‍රවාහනය වැනි අංශ තුලත් පුද්ගලික අංශයට ඉඩ ලබා දී ඇති බැවින් විශ්ව විද්‍යාල පිහිටුවීමට ද පුද්ගලික අංශයට ඉඩ ලබා දිය යුතු බව වාර්තාව කියා සිටී.
මෙම ප්රතිගාමී වැඩපිලිවෙල සාධාරනය කරනු වස් වාර්තාව වංචනික ලෙස ඩැහැගෙන ඇත්තේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රය තුල පවතින දැඩි වෛද්‍ය හිඟය සහ ඒ තුලින් ග්‍රාමීය ප්‍රදේශවල හා යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහජනයා මුහුන දෙන ගැටලුය. 2012 සංඛ්‍යා ලේඛන වලට අනුව රට තුල සිටින වෛද්‍යවරු සංඛ්‍යාව 17,129 ක් බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව රට තුල සිටිය යුතු වෛද්‍යවරු 40,000 ක සංඛ්‍යාව හා සසඳන විට 25, 000 ක පමන හිඟයක් බවත් වාර්තාව පෙන්වා දෙන්නේ මහජන ගැටලු පිලිබඳ සානුකම්පිත වේශයක් මවා පාමිනි.
කෙසේ නමුත්, රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවේ පරිහානිය පිලිබඳ දත්ත ඇතුලත් මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ දශක හතක පාලනය පිලිබඳ ස්වයං-චෝදනා පත්රයකි.
කම්කරු පන්තියේ අතීත අරගලවල ජයග්රහනයක් වූ සීමිත නිදහස් අධ්‍යාපනය 1960 ගනන් අගභාගයේ සිට බලයට පත් සියලු ආන්ඩු විසින් අඛන්ඩව ඛාදනයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට කලා, වානිජ, විද්‍යා හා ගනිත අංශවලින් උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලබන සිසුන්ගෙන් සියයට 85 ට පමන රජයේ විශ්වවිද්‍යාල අවස්ථා අහුරා තිබේ. වසරකට රජයේ වෛද්‍ය පීඨවලින් වෛද්‍යවරුන් බිහිවන්නේ 1000 ක් වැනි සුලු පිරිසකි.
“අද වන විට රට මුහුන දෙන ආර්ථික අර්බුදයට අනුව රටේ වර්ධනය වන ඉල්ලුම සැපිරීමට අවශ්‍ය නව වෛද්‍ය පීඨ ඇරඹීමට රජයට හැකියාවක් නැතැ” යි වාර්තාව කියා සිටී. මෙය ලොව පුරා පාලක පන්තීන් මහජන සේවා කප්පාදු කිරීමට හා පුද්ගලීකරනය වේගවත් කිරීමට ගෙනෙන කුතර්කයකි. කම්කරු පන්තිය සූරාකෑම මගින් උපයා ගන්නා දැවැන්ත ලාභ පොදි මහා ව්‍යාපාරිකයන් හා බැංකු හිමියන් අතලොස්සක් අතේ සංකේන්ද්‍රනය වන තතු තුල රටේ ජාතික ආදායමෙන් අතිශය බහුතරයක් රටේ මහජනයාගේ බදු මුදල් මගින් එකතු කර ගන්නේ වී නමුත් රාජ්‍ය වියදමින් අඩකටත් වැඩි ප්‍රමානයක් වැය වන්නේ නය සඳහා පොලී ගෙවීමට හා කම්කරු පීඩිත මහජනයා මැඩීම ඉලක්ක කර ගත් රාජ්‍ය ආරක්ෂක වියදම්වලට ය.
සම්මන්ත්රනයේ දී අදහස් දැක්වූ අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර අවිශිබමය ‘බහු ජන සංවිධානයක් ලෙස අනෙකුත් බලවේග එකතු කොට ගෙන ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමට සූදානම්’ යැයි පූච්චානම් දෙඩුවේ ආන්ඩුව දිගටම මේ ගමනේ ඉදිරියට ගියහොත් මැතිවරනවලදී ඡන්ද පදනම ඛාදනය වෙතැයි ආන්ඩුවට ‘අනතුරු අඟවමිනි’.
වීරසේකරගේ කැඳවුමට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුනේ නායක වාසුදේව නානායක්කාර, සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරන සහ ජනතා විමුක්ති පෙරමුනේ නලින්ද ජයතිස්ස ද, ව්‍යාජ-වාම පක්ෂයන් වන සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතාකලවුන් ද, ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් ද හුරේ දැමූහ.
අවිශිබම විරෝධතා දේශපාලනයේ බංකොලොත් හා ප්රතිගාමී ස්වභාවය හෙලිදරව් කරමින් සිසුන් ඇමතු, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ කැඳවුම්කරු, කපිල ප්‍රනාන්දු කල කතාව රැස්ව සිටි ශිෂ්‍යයන්ගේ හා හිතන මතන කොටසකගේ ආකර්ෂනය දිනා ගත්තේ ය.
“අධ්‍යාපනයේ පුද්ගලීකරනය ඇතුලු ධනපති ආන්ඩුවේ සියලු ප්රහාරයන් සම්බන්ධයෙන්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට හතුරු මෙවැනි පෙරමුනු අටවන සංවිධාන වගකිව යුතුයි. පසුගිය කාලපරිච්ෙඡ්දය තුල ඇති කල මෙවන් පෙරමුනු වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට වැඩ කලා. මෙම සංවිධාන වාම සංවිධාන යයි කියා ගත්තාට මේවා ව්‍යාජ-වාම සංවිධාන. මෙම සංවිධාන මාක්ස්වාදයට, සමාජවාදයට හතුරුයි. ධනවාදයට පක්ෂයි. ධනපති පක්ෂ සහ සංවිධාන සමග එක්ව මෙවැනි පෙරමුනු ගොඩනගන්නේ ඒ නිසා” යයි ප්‍රනාන්දු කියා සිටියේ ය.
අර්බූදග්රස්ථ ධනවාදය පෙරලා දමා සමාජවාදය ගොඩනැගීම පිනිස කම්කරු පන්තිය සහ තරුනයන් දේශපාලනිකව ස්වාධීන කර ගැනීමේ සසපයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ඉදිරිදර්ශනය ද ව්‍යාජ-වමට එරෙහි එහි අරගලය ද හදාරන්නැයි ප්‍රනාන්දු එහිදී ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටියේ ය.
රැස්වීම් ශාලාවෙන් පිටත සසප හා සසජාතශි සාමාජිකයන් විසින් මාක්ස්වාදී සාහිත්‍යය හා ලෝසවෙඅ ලිපි අලෙවි කරමින් සිසුන් සමග සාකච්ඡාවක් වර්ධනය කලේ ය. ධනපති පක්ෂ හා ඔවුන්ට ගැති සංවිධාන සමග ඒකාබද්ධව අධ්‍යාපන අයිතිය තහවුරු කල නොහැකි බවත්, එවන් වැඩපිලිවෙලවල් මගින් සිසුන්ගේ දේශපාලන විඥානය මොට කෙරෙන ආකාරයත් විප්ලවවාදී පක්ෂයක කාර්යභාරය විය යුත්තේ කුමක් ද යන්නත් පිලිබඳව සිසුන්ගේ අවධානය යොමු කර ගැනීමට සමත් විය.
සාකච්ඡාව ට එක් වූ අවිශිබමයේ ක්‍රියාකාරීහු, “ආන්ඩුවට විරුද්ධව වැඩි විරෝධයක් ගොනු කර ගැනීම සඳහා මෙම සංවිධාන සියල්ල ඒකාබද්ධ කර ගන්නා බව හා අවිශිබමය සමාජවාදය සඳහා සටන් කරන සංවිධානයක් නො වන බවත්” තරයේ කියා සිටිය හ.
සම්මන්ත්රනයේදීත් ඉන් පිටතදීත් අවිශිබම හා ඊට පිටුබලය දෙන පෙසප ඇතුලු අනෙක් ව්‍යාජ-වාම පක්ෂ තොරොම්බල් කරන්නේ ධනවාදය තුල සෑම කල්හිම අධ්‍යාපනය සුභ සාධනයක් ලෙස පැවතිය යුතු සහ පැවතිය හැකි බවයි.
ප්‍රනාන්දු තමාට ලැබුනු කෙටි කාලය තුල සැකෙවින් නමුත් මේ ප්‍රලාපය ඛන්ඩනය කිරීමට උත්සාහ ගත්තේ ය. ධනපති ක්‍රමය තුල අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලබන්නේ, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරාකමින් ප්රාග්ධනය තර කර ගැනීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම සඳහා ආවශ්‍යක ශ්‍රම ශක්තිය ප්‍රති-නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසයි. රාජ්‍ය ආයතනයන්හි මෙන්ම පුද්ගලික ව්‍යවසායන්හි පරිපාලන කටයුතු වලට මෙන්ම අනෙකුත් නිපැයුම් සහ සේවාවන්ට අවශ්‍ය තරමට ශ්ර්රමිකයන් පුහුනු කිරීම ධනේශ්වර අධ්‍යාපන සේවයේ පදනම වන අතර එම ශ්‍රමය ප්රතිනිශ්පාදනය සඳහා අවශ්‍ය තරමට කම්කරුවන් නිරෝගීව තබා ගැනීම ධනේශ්වර සෞඛ්‍ය සේවයේ පදනමයි.
2008 න් ඇරඹී බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර පද්ධතිය, තව දුරටත් මෙම සීමිත සේවාවන් හෝ පවත්වා ගැනීමට නොහැකි තත්වයට පත්ව සිටී. අධ්‍යාපනය ඇතුලු සේවාවන් වනසමින් රටක් රටක් පාසා එල්ල කෙරෙන අඛන්ඩ ප්රහාරයන්ගේ මූලය එයයි.
ලංකාවේත් ලෝක පරිමානවත් ධනපති ක්‍රමය මුලිනුපුටා දැමීමකින් තොරව කම්කරු පන්තියට අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ද ප්රජාතන්ත්රීය අයිතීන් ද තහවුරු කරගත නොහැක. ධනපති ක්රමයේ ආරක්ෂකයන් වන අවිශිබමය හා ව්‍යාජ-වාම පක්ෂ විරුද්ධ වන්නේ මෙම විද්‍යාත්මක මාක්ස්වාදී ඉදිරිදර්ශනයට යි.
වර්ධනය වන ලෝක අවපාතයේ කොන්දේසි යටතේ රටතුල විදේශ ආයෝජන සීමා වී සහ අපනයන ආදායම් කඩාවැටී රටේ ආර්ථික අර්බුදය උග්‍ර කෙරී ඇති තත්වයක් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැගීමත් කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල මැඩීමට පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් ක්‍රියාවට නැගීමත් ආන්ඩුවේ එකම පිලිවෙත බවට පත්ව ඇත. පසුගිය දා හම්බන්තොට වරාය කම්කරුවන්ට එරෙහිව එල්ල කල ප්‍රහාරයෙන් සනාථ කෙරී ඇත්තේ එම කාරනයයි.
පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වර්ධනය වන ඉල්ලුම හා රජයේ අධ්‍යාපන ප්‍රතිපාදන අතර ඇත්තේ දැවැන්ත අගාදයකි. මේ වසරේ අය-වැය මගින් ආන්ඩුව අධ්‍යාපන වියදම් සියයට 30 කින් කප්පාදු කලේ ය. මේ තතු යටතේ, රටේ වෛද්‍යවරුන්ගේ හිඟයට මුවා වී, ආන්ඩුව අත ගසා ඇත්තේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන දෙඅංශයේම බරපතල කප්පාදුවකටයි.
Follow us on