ගින්නෙන් නිවාස විනාශවූ වතු කම්කරුවන් තාවකාලික කුඩාරම්වල
එම්.දේවරාජා විසිනි, 2016 පෙබරවාරි 1
ජනවාරි 9 දා ගින්නෙන් දැවී ගිය මස්කෙළිය බ්රුන්ස්වික් වත්තේ ලයින් කාමර 17ක ජීවත් වූ පවුල් 23 ක් මුලික පහසුකම් වලින් පවා තොරව තාවකාලික මඩු වල පදිංචි කරවා ඇත. අවතැන් වූ මෙම කම්කරු පවුල් වල කාන්තාවන් සහ ලමුන් ඇතුලුව මුළු ජන සංඛ්‍යාව 95 කි.
තහඩු සෙවිල්ලා ඇති තාවකාලික මඩුවක වපසරිය වර්ග අඩි 150 කි. දැඩි සීතල තිබිය දී ම ඔවුන්ට නිදා ගැනීමට සිදු වී ඇත්තේ සිමෙන්ති නොදැමූ මැටි පොලව මත ය. ප්‍රමානවත් තරම් ජලය හෝ වැසිකිලි පහසුකම් නැත. අහාර පිස ගන්නේ ද එම මඩුව තුල ම ය. ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මොන ම පහසුකමක් වත් නැත.
සතියක් ආහාර සැපයීම හා තාවකාලික මඩු හදා ගැනීම සඳහා තහඩු සැපයීම හැර වෙනත් කිසිදු උපකාරයක් වතු පාලකයන් විසින් කර නැත. ගෙවල් හදා දෙන බවට ජාතික වතු කම්කරු සමිතියේ නායක පි. දිගම්බරම් පොරොන්දු වී ඇතත් නිශ්චිත දින වකවානුවක ඒවා ලැබෙන බව දන්වා නැත.
ගින්න හටගෙන ඇත්තේ ජනවාරි 9 පෙරවරු 11.50 ට පමන ය. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරයි. නිවාස තුල තිබු සොච්චම් ගෘහ භාන්ඩ, විදුලි උපකරන, ඇඳුම්, පාසල් දරුවන්ගේ පොත් ඇතුළු සියල්ල ම ද කලින් දින ලබා ගත් වැටුප ද දැවී විනාශ වී ඇත. ලයින් කාමර පේලි වසයෙන් එකිනෙකට සම්බන්ධව පිහිටා තිබීම ගින්නෙන් සිදුවූ හානිය බරපතල වීමට බල පෑ ප්‍රධාන කාරනාවකි.
මස්කෙලිය වැවිලි සමාගමට අයත් බ්රුන්ස්වික් වත්තේ කම්කරුවෝ 1700ක් සිටිති. ආන්ඩුව හෝ වැවිලි සමාගම ගින්නෙන් හානියට පත්වූ නිවාස තනා දීමේ හෝ සිදුවූ හානියට වන්දි ගෙවීමට හෝ සූදානමක් නැති බව කම්කරුවෝ කීහ. පසුගිය වසර 12 තුල විවිධ වතුවල නිවාස 350ක් පමන ගින්නෙන් හානි වී ඇති නමුත් ඉන් අවතැන් වූ සමහර කම්කරු පවුල් තවමත් ජීවත් වන්නේ තාවකාලික මඩුවල ය.
විනාශයට ගොදුරු වූ කම්කරුවන් කිහිප දෙනෙක් ඔවුන් මුහුන දුන් කටුක අත් දැකීම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන්ට විස්තර කලහ.
එක් කම්කරුවෙක් මෙසේ පැවසුවේ ය: “අපට තිබුන හැම දෙයක් ම ගින්නෙන් විනාශ වුනා. දරුවෝ තුන්දෙනාගේ ඉස්කෝල පොත්, බෑග්, නිල ඇදුම්, උප්පැන්න සහතික, අපේ හැඳුනුම් පත් සහ ගිය මාසේ පඩියත් ගින්නට පිලිස්සුනා. ලැබෙන පඩියෙන් ජීවත් වෙන්නත් බැරිව තියෙද්දී කොහොම ද ජීවත් වෙන්නේ කියල දැන් හිතා ගන්නත් බැහැ. වත්තේ පාලකයන්, ආන්ඩුව හෝ වෘත්තීය සමිති විනාශවූ දේවල් නැවත ලබා ගන්න උපකාර කරයි කියල අපට කිසි ම විශ්වාසයක් නැහැ.”
තවත් කම්කරුවෙක් මෙසේ පැවසුවේ ය: “ගින්නෙන් වුන විනාශය බලන්න වෘත්තීය සමිති නායකයෝ කවුරුවත් ආවේ නැහැ. ඒ ගොල්ලෝ එන්නේ ඡන්දෙ ගන්න විතරයි. ඡන්දෙට සතියකට කලින් ගින්න ඇති වුනා නම් බොරු පොරොන්දු මල්ලක් අරගෙන් සමිති නායකයෝ හැමෝ ම එයි. බන්ඩාරවෙල මීරියබැද්ද වත්තේ කම්කරුවන්ගේ නිවාස නායයාමෙන් විනාශ වුනේ 2014 අවුරුද්දේ. නමුත් ඔවුන් තවමත් ජීවත් වෙන්නේ පරන තේ කම්හලේ. ආරුමුගම් තොන්ඩමන් (ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නායකයා) ඇමති විදිහට ඉන්න කොට මීරියබැද්ද ට ගිහිල්ල මුල් ගලක් තිබ්බා. පී. දිගම්බරම් ඇමති වුනාට පස්සේ එයත් ඒ දේ ම කලා. හැබැයි විනාශයට ගොදුරු වුන මිනිස්සු තාමත් අවතැන් වෙලා.“
තනි නිවාස තිබුන නම් ගින්නෙන් මෙතරම් විනාශයක් නොවන බව විශ්‍රාමික කම්කරුවෙක් කීවේ ය. “එක පේලියට ලයින් කාමර තිබුන නිසයි ගින්න ඉක්මනින් ම පැතුරුනේ. වතු පාලකයෝ වත් වෘත්තීය සමිති වත් කිසිම් දෙයක් කලේ නැහැ. සමිති නායකයෝ බලයට එන ආන්ඩුවට සම්බන්ධ වෙලා ඇමතිකම් අරගෙන සැප පහසුවට ජීවත් වෙනවා. කම්කරුවෝ දුක් විඳිනවා. දවසක පඩිය රුපියල් 1000 ට වැඩි කරලා දෙනවා කියලා ඡන්දේ දවස්වල පොරොන්දු වුනා. දැන් සද්දයක් නැහැ. ලයින් කාමර ඔක්කම යල් පැනපුවා. වත්තෙන් ඒවා ප්‍රතිසංස්කරනය කරන එක නතර කරලා. අපේ වත්තේ කම්කරුවෝ 150ක් විතර ජීවත් වෙන්නේ තාවකාලික මඩු වල.”
සමාගම් වලට අයත් වතුවල සමස්ත පවුල් සංඛ්‍යාව 250,000 කි. මුලු ජනගහනය 980,000 කි. 2015 අගෝස්තු මාසයේ වතු සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කල වාර්තාවකට අනුව තනි නිවාස 32,614ක පවුල් 34,146ක් ද ද්විත්ව නිවාස 27,962ක පවුල් 33,868 ක් ද තනි ලයින් කාමර 71, 653ක පවුල් 81,904ක් සහ තට්ටු ලයින් කාමර 1378ක පවුල් 1654ක් ද පදිංචි කරවා ඇත. තාවකාලික නිවාස 14,316ක පවුල් 14,511ක් ද ජීවත් වෙති . මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව එලෙස පදිංචි වී සිටින මුලු සංඛ්‍යාව 166,083ක් වන අතර ඉතිරි පවුල් 83,917 ජීවත් වන්නේ කොහිදැයි සඳහන් කර නැත.
තද බද වී ද බොහෝ නිවෙස් හා ලයින් කාමරවල පවුල් කිහිපය බැගින් ද ජීවත් වන වතු කම්කරුවන්ට ජලය, සෞඛ්‍ය ඇතුළු මූලික පහසුකම් කිසිවක් ප්‍රමානවත් තරම් නැත. ලයින් කාමර බහුතරය තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ වතු සමාගම් විසින් තැනූ ජරාජීර්නවූ තත්වයේ පවතින ඒවා ය.
වතු සමිති නායකයන් හැම විට ම බලයට පත් වන ආන්ඩුවට එකතු වෙන්නේ වතු කම්කරුවන්ට සෙත සලසන බව කියා පාමිනි. එහෙත් ඔවුන්ට සිදුවූ සෙතක් නැත. සමිති නායකයන් සහ බලයට පත් ආන්ඩු වතු කම්කරුවන්ට හිමිකර දී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව සහ දුෂ්කර සමාජ කොන්දේසි පමනි.
තරමක් පහසුකම් තිබෙන නිවාස ගොඩ නගා ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන විසිනි. මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙක් ව සිටිය දී නිවාස 50, 000ක් සාදා දෙන බවට තොන්ඩමන් පොරොන්දු විය. ඒ ඉන්දියාව විසින් වතු කම්කරුවන්ට සාදා දීමට පොරොන්දුවූ නිවාස ය. එකී නිවාස ද තවමත් නිම කර නැත.
වතු සමාගම් දැන් පිඹුරුපත් සකසමින් සිටින්නේ සමිති නායකයන්ගේ සහ ආන්ඩුවේ සහයෝගය ඇති ව, වැටුප් වැඩි නොකර, ශ්‍රම සුරාකෑමේ කොන්දේසි තවත් තීව්‍ර කරන අතර සිය අරගල මගින් වතු කම්කරුවන් දිනා ගෙන ඇති සීමිත සමාජ අයිතීන් පවා කප්පාදු කිරීමට ය.
Follow us on