ඇමරිකානු ජනාධිපතිවරනය:ඩිමොක්‍රටික් විවාදය තුල සෑන්ඩර්ස් දේශසීමාව අබියස නතරවන “දේශපාලන විප්ලවයක”- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඇමරිකානු ජනාධිපතිවරනය: ඩිමොක්‍රටික් විවාදය තුල සෑන්ඩර්ස් දේශසීමාව අබියස නතරවන “දේශපාලන විප්ලවයක”

Sanders in the Democratic debate: A “political revolution” that stops at the water’s edge

බිල් වෑන් ඕකන් විසිනි. 2016 ජනවාරි 19

ඩිමොක්‍රටික් පක්ෂයේ සිව්වැනි ජනාධිපතිවරන විවාදය මෙන් ම ඉදිරියේ එලඹෙන ඉයෝවා මූලික ඡන්දයට පලමු පැවත්වීමට නියමිත අවසාන විවාදය පෙන්නුම් කලේ, තමා විසින් ම “සමාජවාදියෙක්” හුවා දක්වන, සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්, සමාජ අසමානතාව, සල්ලි ගොඩවල් විසිකර දේශපාලනයේ ආධිපත්‍යය ගැනීම, සහ “හිරගෙවල් හා බන්ධනාගාර නො ව රැකියා හා අධ්‍යාපනයෙහි ආයෝජනය කිරීම” ගැන ජනප්‍රිය සටන්පාඨ මාලාවක් ගෙනහැර දක්වමින් ඔහුගේ ප්‍රධාන තරඟකාරිය වන හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට එරෙහිව ප්‍රහාරය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව යි.

වෝල් වීදියට ඇති ක්ලින්ටන්ගේ රහස් බැඳීම් පෙන්වා දෙන සඳහනක දී, ඇගේ දේශපාලනයෙන් තමාගේ දේශපාලනය වෙනස් කෙරෙන්නේ කුමකින් දැ යි ඇසූ සෑන්ඩර්ස් මෙසේ ප්‍රකාශ කලේ ය, “වෙනස නම් මම ලොකු බැංකුවලින් සල්ලි නොගැනීම යි. මම ගෝල්ඩ්මන් සැක්ස්වලින් (බහුජාතික ආයෝජන බැංකුව-පරි.) පුද්ගලික කතා පැවත්වීමේ ගාස්තු ගන්නේ නෑ.”

එදින රාත්‍රියේ දී පුද්ගලයන් මිලියන 12.5ක සංඛ්‍යාවක් විවාදය නැරඹුවේ, එය ඉතිහාසයේ තුන්වැනි තැනට වැඩිම පිරිසක් නැරඹූ ඩිමොක්‍රටික් පක්ෂ විවාදය බවට පත් කරමිනි. තෙමේම විස්තර කරනු ලබන “සමාජවාදය” නිසා ඔහුට සහාය දක්වන්නන්, මෙන් ම කලින්ටන්ගේ දක්ෂිනාංශික හා දූෂිත දේශපාලනයට ඔහු විරුද්ධ වනවා දැකීමට සෑන්ඩර්ස් වෙතට හැරුනු බොහෝ අය ඔවුන් අතර වූ බවට සැකයක් නැත .

පැහදිලිව ම ඔහු මෙම මනෝගතීන් ගසා කෑමට උත්සාහ ගත් අතර, අඩු වැඩි වශයෙන් ඔහු සිය සාකච්ඡා මාතෘකාව අවධාරනය කල ද ඔහුගේ ජනතාවාදී වාගාලාපවලට ගැඹුරු විශ්ලේෂනයකින් ගැම්මක් ලැබුනේ නැත. හම ගිය වාගාලංකාර පිටුපසින් පැහදිලිව දිස්වූයේ, පාලක කතිපයාධිකාරයේ විශ්වාසදායි දේශපාලන සේවකයෙකු ලෙස වැඩ කිරීමෙන් සෑන්ඩර්ස් වැලක්වීමට ඉඩ ඇති බුද්ධිමය අරමුනක් හා ගැඹුරින් මුල් බැස ගත් මොන යම් හෝ ප්‍රතිපත්තියක් නොමැතිකම යි.

ප්‍රකෝටිපතියන් හා ඇමරිකානු දේශපාලනය තුල ඔවුන්ගේ දූෂනවලට එරෙහිව බැනවැදීම් සමග පිරුනු ඔහුගේ ඊනියා දේශපාලන විප්ලවය පිලිබඳ ප්‍රචාරයේ ප්‍රකට පරස්පර විරෝධය නම්, මෙම විප්ලවය පුදුමාකාර ලෙස දේශසීමාව අබියස නතර වනු ඇතැ යි යන කාරනය යි. විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ කාරනයේ දී, සැබවින් ම ක්ලින්ටන්ගෙන් හෝ පාලක සංස්ථාපිතයේ අන් කිසිදු දේශපාලඥයෙකුගෙන් නියම වශයෙන් සෑන්ඩර්ස් වෙනස් වන කිසිවක් ඇත්තේ නැත.

සෑන්ඩර්ස් කියන පරිදි ජනගහනයේ පොහොසත්ම ඉහල සියයට 1ට පක්ෂව “හැසිරවෙන” දේශපාලන පද්ධතියකට, ලෝක තලයේ ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයක් ඉටු කල හැක්කේ කෙසේ ද? ප්‍රශ්නය ඇසීමම එයට උත්තර දීම යි.

දේශීය ප්‍රතිපත්තිය මෙන් ම වොෂින්ටනයේ විදේශ පිලිවෙත ද නීර්නය කරනු ලබන්නේ සංගත ගැති පාලක මූල්‍ය ප්‍රභූවේ උත්සුකයන් විසිනි. ඇමරිකානු බැංකු හා සංගත සහ මහා ව්‍යාපාරිකයන්ට විශාල ලාභ උත්පාදනය කර දෙන මිලිටරිවාදයේ ලාභ උත්සුකයන්ට ආධාර පිනිස ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය හැසිරවෙන අතර, තල්ලු වන්නේ, ප්‍රචන්ඩකාරී ලෙස ලෝකය නැවත බෙදීම මගින් ධනේශ්වරයේ අර්බුදය විසඳීම දෙසට ය.

යුද්ධය පිලිබඳ ප්‍රශ්නය හා ලෝකය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කාර්යභාරය කෙරෙහි සෑන්ඩර්ස් හා අනෙකුත් සෑම අපේක්ෂකයෙකුගේ මෙන් ම දේශපාලකයින්ගේ ද ආකල්පය, ඔවුන්ගේ දේශපාලනයේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමේ උරගල වේ.

විවාදය පිලිබඳ මාධ්‍ය ආවරනයන්ගෙන් බොහොමයක්, තුවක්තු පාලනය, සෞඛ්‍ය ආරක්ෂාව, ජනාධිපතිවරන ප්‍රචාරක මුදල් හා අනෙකුත් දේශීය කාරනා ගැන වාචික හබ පිලිබඳව බොහෝ දේ පල කරන අතර ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා ඉරාකයේ හා සිරියාවේඇමරිකානු මැදිහත්වීම් ගැන අපේක්ෂකයින්ට ඉදිරිපත් කරන ලද ප්‍රශ්න මුළුමනින් ම නොතකා හැරියහ.

මෙම පෙරමුනේ දී සෑන්ඩර්ස් හා ඔහුගේ විරුද්ධවාදීන් වන ක්ලින්ටන් හා මේරිලන්ඩ් ප්‍රාන්තයේ හිටපු ආන්ඩුකාර මාටින් ඔ’මලේ අතර ගැටුමක් නැතිවීම පිලිබඳව සලකන කල එය අහම්බයක් නොවන බව පැහැදිලි ය. ඇමරිකානු මිලිටරිවාදයේ ගෝලීය පිපිරීම, ඩ්‍රෝන් ඝාතන වැඩසටහන හෝ ලිබියාවේ සිට සිරියාව හා යුක්‍රේනය දක්වා තන්ත්‍ර මාරු සඳහා වූ එක පිට එක නැඟෙන උද්ඝෝෂනයන්ට එරෙහිව ඔවුන්ගෙන් කිසිවෙකු කිසිදු හඬක් නැගුවේ නැත.

“ඔබාමාට උපදෙස් දෙමින් සන්නිවේදන කාමරයේ බොහෝ පැය ගනන්” ගත කිරීම මත පදනම් වෙමින් ක්ලින්ටන් මවා පෙන්වන්නේ, “ප්‍රධාන ආඥාපති තනතුරේ” (ජනාධිපති) පැලපදියම් වීමට වඩාත් ම සුදුසු තමා බව ය. ඇමරිකානු දේශසීමාව වෙත සරනාගත රැල්ලක් ගලායාමට සම්මාදන් වෙමින්, එරට පෙර නො වූ විරූ මර්දනයකට හා ප්‍රචන්ඩත්වයකට ඇද දැමූ 2009 හොන්ඩුරාස් හි දක්ෂිනාංශික කුමන්ත්‍රනය ද මෙම වාර්තාවට ඇතුලත් ය.

දස දහස් ගනනක් මරා දැමුනු හා උතුරු අප්‍රිකානු ලිබියානු රාජ්‍යය අඛන්ඩ සිවිල් යුද්ධ තත්වයකට ඇද දැමූ තන්ත්‍ර මාරුව සඳහා වූ ඇමරිකානු-නේටෝ යුද්ධයේ දී ඈ ප්‍රධාන උපදේශිකාවක් වූවා ය. ආක්‍රමනික කල්ලියක් ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීම ගැන ඈ ප්‍රසිද්ධියේ උදම් ඇනුවේ, “අපි ආවා, අපි දුටුවා, ඔහු මැරුනා”යි කයිවාරු ගසමිනි. ඉරාක හා සිරියානු ඉස්ලාම් රාජ්‍ය (අයිඑස්අයිඑස්) නම් සංවිධානයේ නැගීමට තුඩු දෙමින් සිරියාව තුල තන්ත්‍ර මාරුව සඳහා දියත්වූ යුද්ධයේ කෙරුම්කාරයන් ලෙස ඊනියා කැරලිකරුවන් සන්නද්ධ කිරීමට හා අරමුදල් සැපයීමට වොෂින්ටනයට තදින් ම බලපෑම් කලවුන් අතර ද ඇය වූවා ය.

මෙම ලේවැකි හා සාපරාධී වාර්තාව ගැන සෑන්ඩර්ස් වචනයක්වත් දෙඩුවේ නැත. ක්ලින්ටන් ඔබාමා පාලනාධිකාරියේ ද තමන්ගේම ද ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ප්‍රතිචාර වශයෙන් ඔහු මෙසේ පැවසී ය,“ඈ කිව් බොහෝ දේ සමග මම එකඟ වෙනවා.” සිරියාව තුල ඇමරිකානු ප්‍රතිපත්ති, අයිඑස්අයිඑස් සංවිධානයේ වැඩීමට ඉවහල් වුනි දැ යි ඇසූ විට , ඔහු ඉඳුරාම උත්තර දුන්නේ “නෑ” කියා යි. සිරියානු යුද්ධය තුල ඔබාමා “නිවරැදි දේ කරමින් සිටී” යයි ඔහු උත්තර දුන්නේ ය.

ඒ අතර ම ඔහු ඉල්ලා සිටියේ, “ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි අතිමූලික වෙනසකි”. ඔහු පෙන්ටගනයේ ඩොලර් බිලියන 600ක අයවැය ගැන සඳහන් කලේ, එම විශාල වියදම අහෝසි කිරීමට හෝ අඩු කිරීමට පවා නො ව ―ඊනියා “මව් බිමේම බිහිවූ” ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන්― “ජාත්‍යන්තර ත්‍රස්තවාදයට” එරෙහි සටන වෙත එය නැවත යොමු කිරීමට ය. මෙම ප්‍රතිචාරයේ තර්කය වන්නේ, ඇමරිකානු මිලිටරියේ ප්‍රචන්ඩත්වය හා මර්දනය රට තුල ම මුදා හල යුතු බව ය.

ඔහුගේ ප්‍රමුඛ අභිලාෂයන් අතර, සවුදි අරාබිය හා කටාර් රාජ්‍ය පාලනය කරන ප්‍රතිගාමී තෙල් රාජාන්ඩු වලින්, “ක්‍රීඩාවට සමීපව බැඳෙන“ ලෙස, එනම් කලාපය තුල ඇමරිකාව විසින් උසිගන්වනු ලබන යුද්ධ වලට සමීපව සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටීම යි.

එහෙත් මෙම යුද්ධ කෙරෙමින් පැවතුනේ කාගේ උවමනාවට ද? ,“මෙම රටේ ආර්ථික හා දේශපාලන ජීවිතය පාලනය කරන අතලොස්සක් ප්‍රකෝටිපතියන්” විසින්ම පාලනය කරනු ලබන දේශපාලන සංස්ථාපිතයේම නිර්මානයන් වන විදේශ ප්‍රතිපත්තියකට සහාය දෙන ගමන්, ඔවුන් හැසිරවීමට සෑන්ඩර්ස් “දේශපාලන විප්ලවයක්” මෙහෙයවීමට සූදානම් වෙමින් සිටිති යි යන්න මොන යම් ආකාරයකින් හෝ විශ්වාස කල හැකි ද?

වසර 15කට වැඩි කාලයක්, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් වොෂින්ටනය, ආක්‍රමනකාරී යුද්ධ ගෙන ගොස් මිලියනයකට වඩා මිනිසුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලි ගෙන ඇති අතර තවත් මිලියන ගනනාවක් සරනාගත තත්වයට ඇද දමා ඇත. රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පෙර නො වූ විරූ ප්‍රහාර එල්ල කිරීමට හා විදේශයන්හි ඩ්‍රෝන් මිසයිල මාර්ගයෙන් නීති විරෝධී ඝාතන ගෙන යාමට එය එක ම ව්‍යාජ කඩතුරාව යොදා ගෙන ඇත.

සෑන්ඩර්ස් පිලිගන්නේ ද ආරක්ෂා කරන්නේ ද ඇමරිකානු ප්‍රතිපත්තිය යුක්ති සහගත කිරීමට සේවය කර තිබෙන එම මුසාවන්ම ය. ජනාධිපති නාම යෝජනා සඳහා පෙනී සිටින ඔහුගේ විරුද්ධවාදීන් මෙන් ම ඔහු ද උත්සාහ කරන්නේ, පලමුව ඇෆ්ගනිස්ථානයේ ද ඉන් පසු ලිබියාව හා සිරියාවේ ද වොෂින්ටනයේ තන්ත්‍ර මාරු යුද්ධය ගෙන යාමට, ප්‍රතිගාමී ඉස්ලාමීය කුලී හමුදා ලෙස වාත්තු කල අල් කයිඩා හා අයිඑස්අයිඑස් සංවිධාන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නිර්මාන බව වසන් කිරීමට ය.

රට තුල ප්‍රකෝටිපතියන්ගේ ආධිපත්‍යයට විරුද්ධ වන්නෙකු ලෙස මවා පාන ගමන් සෑන්ඩර්ස්, ඩිමොක්‍රටික් වේවා රිපබ්ලිකන් වේවා අනෙකුත් කිසිම අපේක්ෂකයෙකුට අඩු නැතිව, ඔවුන්ගේ උත්සුකයන් ආරක්ෂා කරන අතර විදේශයන් හි ඔවුන්ගේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන බවට ද කිසිදු සැකයක් ද නොමැත. අවසාන විග්‍රහයේදී සමස්ත ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම ඔහුගේ දේශපාලන ඉදිරිදර්ශනය ද ජාතිකවාදී හා තරයේම ප්‍රතිගාමී වේ.

මවා පෑම් කුමක් වුවත් යුද්ධය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිලිබඳ සෑන්ඩර්ස්ගේ ආස්ථානය පැහැදිලි කරන්නේ, ඔහු සමාජවාදියෙකු නොවන බව යි.

සමාජවාදය සඳහා සටන හා යුද්ධයට එරෙහි සටන වෙන් කල නො හැක. ඒවා ගෙන යා හැක්කේ කම්කරු පන්තිය මත පදනම් වූ හා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් සන්නද්ධ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි.

Share this article: