ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ ඇමරිකානු සෙබලෙකු ඩලාස් පොලිසියේ 5ක් වෙඩි තබා ඝාතනය කරයි
Afghan war veteran guns down five Dallas police
පැට්රික් මාටින් විසිනි, 2016 ජුලි 9
නිරායුධ කලු ජාතිකයන් පොලිසිය විසින් ඝාතනය කිරීමට එරෙහිව ඇමරිකාවේ ඩලාස් නගරය තුල ජුලි 7 රාත්‍රියේ පැවති විරෝධතා පාගමනක පෙරටුව යමින් සිටි පොලිස් භටයන්ට, ඇෆ්ඝන් යුද මෙහෙයුම් වල නියුක්තව සිටි සෙබලෙකු වූ මයිකල් එක්සේවියර් ජොන්සන් විසින්, වෙඩි තැබීය. හෙතෙම සය අවුරුද්දක හමුදා අතිරේක සේවයේ යෙදී ඇත්තෙකි. වෙඩි තැබීමෙන් පොලිස් භටයෝ පස් දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙක් තුවාල ලැබූහ. ආයුධ සන්නද්ධව හමුදා පන්නයේ සන්නාහ පැලඳ සිටි ජොන්සන් හා පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී විරෝධතා කරුවන් දෙදෙනෙකු ද තුවාල ලැබූහ.
මුලදී මාධ්‍ය විසින් මෙම ප්‍රහාරය තුවක්කු කරුවන් හයදෙනෙකු පමන නගරයේ විවිධ උස් ස්ථාන වල රඳවා කරන ලද සැලසුම්ගත වෙඩි තැබීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කල ද ඇත්ත වශයෙන්ම සියලු හානිය සිදු කර ඇත්තේ SKS වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය රයිෆලයක් ගත් තනි තුවක්කුකරුවෙක් විසිනි. ජොන්සන් විසින් ප්‍රහාරය සඳහා යොදාගත් උන්ඩ ඔහු ඇෆ්ඝනිස්තානයේදී භාවිත කල වර්ගයට සමාන නමුත් 0.223 ප්‍රමානයේ සිවිල් ගිනිඅවි සඳහා නිකුත් කරන උන්ඩවේ.
ඇසින් දුටු සාක්ෂි කරුවන් හා ජංගම දුරකථන වීඩියෝ වලින් පෙනීයන්නේ, ජොන්සන්, සාමාන්‍ය නිල ඇඳුම් වලින් සැරසී සිටි (කැරලි මර්දන නිල ඇඳුම් නොව) පොලිස් භටයන් වෙත ලඟා වී ඉතා සමීපව හා එක එල්ලේ වෙඩි තැබීමට පටන්ගත් බවයි. පොලිස් භටයන් කිහිප දෙනෙක් ද පෙරලා වෙඩි තැබීමේදී ජොන්සන්ට අවම වශයෙන් එක්වරක්වත් වෙඩි වැදුනු අතර, එයින් වහනය වූ ලේ වල පැල්ලම් ඔස්සේ පොලිසිය ඔහුව ලඟ තිබූරථ ගාලක් වෙත ලුහුබැඳ ගියේය.
තුවක්කු කරු වරින්වර පොලිසිය සමග වෙඩි හුවමාරු කරගනිමින් ද නැවත සාකච්චා කරමින් ද පැය කීපයක් ගත කලේය. ජොන්සන් තවත් පොලිස් භටයන් මරාදැමීට තර්ජනය කරමින් හා ඔහු විසින් එම රථ ගාලේ හා නගරය පුරාම බෝම්බ අටවා ඇති බව කියමින් “අවසානය ලංවී ඇතැයි” ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ගනුදෙනුව නිමා විය. පොලිසිය, දුරස්ථ පාලක රෝබෝවක් මගින් ජොන්සන් දෙසට යැවූ බෝම්බයක් පුපුරුවා හරිමින් ඔහු ඝාතනය කලේය.
පොලිසිය සමග කල දිග්ගැස්සුනු කේවල් කිරීම් අතරතුර විසිපස් වියැති අප්‍රිකානු-ඇමරිකානුවෙක් වන ජොන්සන් කියා සිටියේ, පසුගිය අඟහරුවාදා ලුවිසියානාවේ බැටන් රුජ් හිදී අල්ටන් ස්ටර්ලින් හා බදාදා මිනසොටාවේ ෆල්කන් හයිට්ස් හිදී ෆිලන්ඩෝ කැස්ටිල් යන අය ඝාතනය කිරීම පිලිබඳව තමන් දැඩි කේන්තියකින් පසුවන බවයි. “මෑතදී සිදුවූ පොලිස් ඝාතන පිලිබඳව ඔහු කනස්සල්ලෙන් සිටින බව ඔහු කීවා” යයි ඩලස් පොලිස් ප්‍රධානි ඩේවිඩ් බ්‍රවුන් පැවසීය. “ඔහු සුදු ජාතිකයන් සමග වෛරයෙන් පසුවන බවත්, සුදු ජාතිකයන් හා විශේෂයෙන්ම සුදු පොලිස් භටයන් මරා දමීම තමන්ගේ අරමුන බවත් ඔහු පැවසුවා”.
පසුගිය සතියේ සිදුවූ පොලිස් ඝාතන දෙක, දිගු කලක් පුරා [ජොන්සන් තුල] වැඩෙමින් තිබුනු වාර්ගික වෛරයක හා ප්රචන්ඩත්වයට නැඹුරුවීමක ප්‍රේරකයක් වූවා පමනි. ජොන්සන් එම ප්‍රදේශයේ ඇති වෙඩි පිටියේ සමීප සාමාජිකයෙක් වූ අතර, මෑතක සිට ඔහු සිය නිවස පිටුපස බාධක අටවා යුද ඇඳුමින් සැරසී පුහුනු වන අයුරු අසල් වැසියන් දැක ඇත. ඔහු අන්තර්ජාලය හරහා කලු ජාතිකවාදී කන්ඩායම් වලට සහය දක්වන හා පොදුවේ සුදු ජාතිකයන් වෛරයට පාත්‍ර කරන ප්‍රකාශ නිකුත් කර ඇති බවද වාර්තා වේ.
මාධ්‍ය හමුවේ කතා කල ජොන්සන්ගේ මිතුරන් කියා සිටියේ, 2014 ජූලියේ නව මසක ඇෆ්ඝනිස්තාන යුද සේවය නිමා කර පැමිනීමෙන් පසු ඔහු පෙර සිටි පුද්ගලයා නොවූ බවය. 18 වියැතිව සිටියදී 2009දි ඔහු හමුදා අතිරේක සේවයේ ඉන්ජිනේරු ඒකකයක, වඩු හා පෙදරේරු ශිල්පියෙක් ලෙසින් බැඳී 2013 නොවැම්බරයේදී ඇෆ්ඝනිස්තාන සේවයට යවන ලදී. ඔහු කිසිදා ක්‍රියාන්විත සේවයේ නොසිටිය ද මනා අවි ආයුධ පුහුනුවක් ලබා ඇති අතර, විදේශ හමුදා සේවය වෙනුවෙන් පදක්කම් පහක් හා ප්රදානයක්ද ලබා ඇත.
ලුයිසියානාවේ හා මිනසෝටාවේ පොලිස් ඝාතන මගින් අවුලවනු ලැබූ ජොන්සන් ගේ මේ මිනීමරු ප්‍රහාරය, එම බ්‍රහස්පතින්දා තුල පමනක් සිදුවූ දෙවැනි වෙඩි තැබීමයි. ඩලාස් සිදුවීමට පැය19 කට පෙර ටෙනසී ප්‍රාන්තයේ බ්‍රිස්ටෝල් හි 37 හත් වියැති අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ලකීම් කෙයෝන් ස්කොට්, කුඩා හෝටල් කාමරයක සිට අසල ඇති මාර්ගයේ ගමන් ගත් රථ වලට වෙඩි තැබීමෙන්, එක් රථයක් පැදවූ කාන්තාවක් මියගිය අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.
හෝටලය වෙත පොලිසිය පැමිනි විට, ඔහු එක් පොලිස් නිලධාරියෙකුගේ කකුලට වෙඩි තබා තුවාල සිදු කොට, ඔහුත් වෙඩිතබා ගැනීමට යාමෙන් තුවාල සිදුව පසුව අත්අඩංගුවට පත් විය. ටෙනසී රහස් පරීක්ෂක බියුරෝව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ස්කොට් මෙම පුද්ගලයින් හා නිලධාරීන් ඉලක්ක කලේ, රටේ අනෙකුත් ප්‍රදේශ වල අප්‍රිකානු ඇමරිකානුවන් හා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් අතර ඇතිවූ සිදුවීම් නිසා විය හැකි” බවයි.
මෙම සිදුවීම් වල බිහිසුනු හා සෝචනීය ස්වභාවය එලෙස තිබියදී ම, ඒවා අවබෝධ කරගත යුත්තේ, නිශ්චිත දේශපාලන පසුබිමක් තුල සිදුවන දේශපාලනික ක්‍රියාවන් ලෙසය.
පලමුවෙන් ගත් කල, මැකා ජොන්සන් විසින් පොලිස් භටයන් පස්දෙනකු අමු අමුවේ මරා දැමීම සාපරාධි ක්‍රියාවකි, එහි ස්වාභාවයෙන්ම ප්රතිගාමී වූ පුද්ගල හිංසනයකි. ඇෆ්ඝන් යුද විශ්‍රාමිකයෙක් වශයෙන්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කෲරත්වය පිලිබඳ සාක්ෂි කරුවෙක් හෝ පාර්ශව කරුවෙක් වීමට සිදු වීම, සමූහ මිනි මැරුම් සිදුකිරීම සාධාරන ප්‍රතික්‍රියාවක් යන නිගමනය කරා ඔහු ගෙනඒමට හේතු වූ බව සිතිය හැක.
මෙම ප්‍රහාරයේ දක්ෂිනාංශික ස්වභාවය එහි ක්ෂනික ප්‍රතිපල වලින්ම පෙනී යයි: එය ජොන්සන් ඝාතනය කිරීමේ පටන් පොලිස් හිංසනය සාධාරනීකරනය කලේය; එය පොලිස් භීෂනයට එරෙහි උද්ඝෝෂන වලට අවලාද නැගීමේ උත්සාහයට අත්වැල අල්ලයි; වඩාත්ම මූලික කරුන වශයෙන්, එය වර්ගවාදී දැක්ම ශක්තිමත් කරමින් ඇමරිකානු සමාජයේ මූලික පන්ති ප්රතිඝතිතාවන් බොඳ කර දැමීමයි.
දෙවැන්න, රෝබෝවක් යොදා ගනිමින් බෝම්බයක් යවා ජොන්සන් ඝාතනය කිරීම ද සාපරාධී ක්‍රියාවකි; මෙය පොලිසිය විනිසුරු, ජූරිය හා ගහලයා යන තුන් ආකරයෙන්ම ක්‍රියා කල අවස්ථාවකි. ඇමරිකානු හමුදා, ඉරාකයේදී මේ ආකාරයෙන් රොබෝවන් යොදා හිතුමතේ බෝම්බ පුපුරවා ඝාතන සිදු කර ඇතත්, නුතන ඇමරිකානු ඉතිහාසය තුල මෙවැන්නක් පිලිබඳව මේ දක්වා උදාහරන තිබී නැත. රොබෝ බෝම්බය වෙනුවට ඔවුන් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකලේ ඇයි? නැත්නම් සෑම අතින්ම වටකරනු ලදුව තුවාල ලබා අහාර හෝ වතුර නැතිව කොටුවී සිටි ජොන්සන්, යටත් වනතුරු නොසිටියේ ඇයි.
ජොන්සන් ඝාතනය කිරීමට පොලිසිය ගත් තීරනය තවත් අසාමාන්‍ය වන්නේ, ඔහු පුලුල් කුමන්ත්රනයක පුරුකක් බව ඔවුන් ඒ වනවිට පලකරමින් සිටි අදහස නිසාය. ඔහු මරා දැමීම මගින් එවන් කුමන්ත්රනයක් තිබුනේ නම්, එහි සුලමුල හෙලිකල හැකිව තිබු එකම පුද්ගලයා ද තුරන් කර දැමිනි. බෝම්බය පුපුරවා හරින මොහොතේ ප්‍රහාරයේ සහායකයන් වශයෙන් සැක කල පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඒ සියල්ලන් නිදහස් කර යවා ඇත.
තුන්වෙනුව, ඩලාස් වෙඩි තැබීම්, නිරායුධ පුද්ගලයන්ට එරෙහි පොලිස් ඝාතන, වාර්ගික කොන්දේසි සමග අනන්‍ය කොට හුවා දැක්වීමේ අතොරක් නැතිව ගෙන යන ව්‍යාපාරයේ පසුබිම තුල සිදුව තිබීමයි. එහෙත් පොලිස් ප්රහාරයන්ගෙන් මිය යන වැඩිම පිරිස සුදු ජාතිකයින් වන අතර ඝාතන සිදුකරන පොලිස් කන්ඩායම් වල කලු ජාතිකයන් හා දකුනු ඇමරිකානුවන් බහුලව සිටිති. තවද මෙම නගර බොහොමයක නගරාධිපති ධුර ඇතුලු ප්‍රධාන තනතුරු දරන්නේද කලු ජාතිකයන්ය.
ඩිමොක්රටික් පක්ෂයේ සමහර කොටස් හා ඔවුන්ගේ ශාස්ත්රාලික හා ව්‍යාජ වාම හොරනෑ කරුවන් විසින් මෙම පොලිස් ඝාතන සලකනු ලබන්නේ, කම්කරු පන්තියේ (සුදු, කලු හෝ දකුනු ඇමරිකානු) දුප්පත්ම කොටස් වලට එරෙහිව රාජ්‍යය විසින් ගෙන යන පන්ති ප්රචන්ඩත්වය ලෙස නොව, පොලිසියේ “සුදු” බව හා වර්ගවාදය හරහා කලු ජාතිකයන්ට එරෙහිව ගලා එන වාර්ගික හිංසනයක් ලෙසය. මැකා ජොන්සන් විසින් මෙම වාර්ගිකවාදී ආඛ්‍යානය ගිලගනිමින් තම ක්‍රියාවන් ඒ මත පදනම් කරගත් බව පෙනේ.
පසුගිය සති කීපය තුල, විශේෂයෙන්ම පොලිස් ඝාතනත්, පොදුවේ අමරිකානු සමාජයමත් පිලිබඳ වාර්ගික දෘෂ්ටි කෝනය ඉස්මතු කිරීම, වියරුවක මට්ටමට නැංගේය. ඩිමොක්රටික් පක්ෂයේ හා ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරයේ අත් පත්‍රිකාව වශයෙන් ක්‍රියා කරන නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ කාර්ය භාරය මෙහිලා විශේෂිතය. ටයිම්ස් පත්‍රය ඇමරිකාව තුල ඇතැයි කියන සමහන් කල නොහැකි වාර්ගික බෙදීම පිලිබඳ විචාරයක් දිනපතාම පාහේ පල කරයි. මින් වඩාත්ම පිලිකුල් සහගත වැමැරීම සිදුකලේ, ප්රමුඛ පුවත්පත් විචාරකයෙකු හා ජෝජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන මයිකල් එරික් ඩයිසන් විසින් පසුගිය සිකුරාදා මැද පිටුවේම පලකල කොලමකිනි.
“කලු-සුදු වන් මරනය” යන ශීර්ෂ පාඨය යටතේ ලියූ ලිපියෙන් ඔහු ඇමරිකාව ජාතීන් දෙකකට බෙදී ඇති බව පවසයි. “කලු ඇමරිකාව වන අපි, මිලියන 320කට අධික ජනතාවකින් යුක්ත ජාතියක් තුල සිටින මිලියන 40කගේ ජාතියකි”. “සුදු ඇමරිකාව වන ඔබ, කිසිදා අප තේරුම් නොගන්නා බව පැහැදිලිය”.
ඔහු සුදු ඇමරිකානුවන් ගැන පවසමින්: “කලු ජීවිත, ඒවාට කිසිඳු සමීප බවකින් තොරව, දුර සිට නැරඹීමට දුරදක්නා කන්නාඩි යුවලක් ඔබට උපතේදීම ලබා දී ඇත. මෙම දුරදක්නය වරප්රසාදයකි; ඔබගේ පන්තිය ඉක්මවා යන සමාජ තත්වයකි. ඇත්ත වශයෙන්ම සුද්දන්ට ඇති මහඟුම වරප්‍රසාදය නම් පොලිස් කාරයෙකු විසින් නවත්වනු ලැබුවහොත් මැරුම් නොකා එම ගනුදෙනුව බේරාගත හැකි වීමයි”.
ඇත්ත වශයෙන්ම, වොෂින්ටන් පෝස්ට් පුවත්පත හෙලිකරන සංඛ්‍යාලේඛන අනුව නම් “සුද්දන්” 500කට අධික සංඛ්‍යාවකට 2015දි එම “වරප්‍රසාදය” අහිමිව, පොලිසිය සමග ගැටුම් වලදී මියගියහ. 2016 දි මේ දක්වා සුදු ජාතිකයින් 200-300 අතර ප්‍රමානයක් ගොදුරු බවට පත්ව ඇත.
ඩයිසන් ඉතා රලු ලෙස පතුරවා හරින මතවාදය විසින්, ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති ඔබාමා හා ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලිටන්ගේ සිට පහලට සිටින අය විවිධ ආකාර වලින් ඉදිරියට ගනු ලබයි. කලු ජාතික තරුනයන් හා කම්කරුවන් අතර පොලිස් භීෂනයට එරෙහිව ඇති සාධාරන කේන්තිය වර්ගවාදී විග්රහකිරීමවලට කොටුකිරීම අවසන් වන්නේ, ඩයිසන්ගේ කොලමෙන් ඉදිරිපත් වන ආකාරයේ ඉච්ඡා භංගත්වයකින් හා අසරන කමකිනි.
මෙම ප්රවේශයේ තර්කනය නම්, ඩිමොක්රටික් පක්ෂයට තරුනයන් හා කම්කරුවන් යටත්කොට, විශේෂයෙන්ම ඔබාමාගේ අනුප්‍රාප්තිකයා ලෙස හිලරි ක්ලිටන් පත්කිරීමට ක්‍රියා කලයුතු බවයි. පසුගිය සිකුරාදා කල රූපවාහිනි සංවාද වල හා ෆිලඩෙල්ෆියාවේ අප්‍රිකානු මෙතෝදිස්ත එපිස්කොපල් පල්ලියේ කල කතාවකදී ක්ලින්ටන්, පොලිසිය විසින් මරාදැමුනු කලු-ජාතිකයන් දෙදෙනාගේ පවුල් වලට හා ඩලාස් හී වෙඩි තැබීමෙන් මියගිය පොලිසියේ පස්දෙනාගේ පවුල් වලට සිය කනගාටුව පල කලාය.
මේ සියලු අවස්ථා වලදී ඇය, පොලිස් හිංසනය පිලිබඳ ප්රශ්නය, වර්ගය හා වර්ගවාදී අගතින් හා බැඳුනු කරුනක් ලෙස හුවාදක්වමින්, සුදු ජාතිකයින් (“මා වැනි වූ”) මෙවැනි වර්ගවාදී අගතීන් තමන් තුලින් විරේක කල යුතුව ඇතැයි ප්‍රකාශ කාලය. සත්‍යය නම් ක්ලින්ටන්ට කලු, සුදු හෝ දකුනු ඇමරිකානු වැඩකරන ජනතාව හා මොනම සම්බන්ධ කමක්වත් නැති බවයි. ඇය නියෝජනය කරන්නේ ධනපති පන්තිය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි-බුද්ධි යාන්ත්‍රනයයි.
එකක් පසුපස එකක් වශයෙන් සිදුවූ නිරායුධ කලු ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය වීම, විශේෂයෙන්ම බැටන් රුජ් සිද්ධියේ ජංගම දුරකථන වීඩියෝ හා ඝාතනයට ලක්වූ කැස්ටිල් ගේ පෙම්වතිය ෆේස්බුක් හරහා නිකුත් කල අනුවේදනීය ප්‍රකාශය තුලින්, අප්‍රිකානු-ඇමරිකානුවන් අතර පමනක් නොව මුලුමහත් අමරිකානු ජනතාව තුලම පැතිරගිය කෝපයක් පෙන්නුම් කරයි.
මෙම මිනීමරු පොලිස් භීෂනයේ ස්වභාවය හෙලිදරවු වීම මගින් පාලනය කරගත නොහැකි ආකාරයේ ව්‍යාපාරයක් සමාජයේ පහලින් මතුවනු ඇතැයි යන්න පිලිබඳ පැහැදිලි බියක් ඇමරිකානු පාලක පන්තිය හා එහි ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක තුලම පවතී. කොන්ග්‍රසයේ කලු ජාතික කවය මගින් කැපිටල් හිල්හි පැවති රැලියකදී, එහි සභාපති වන උතුරු කැරොලිනා නියෝජිත ජී.කේ. බට්රෆිල්ඞ් පැවසුවේ, “අප ක්‍රියාත්මක වීමට අසමත් වුවහොත් මෙය දිගු උෂ්න ග්‍රීෂ්ම ඍතුවක් වනු ඇති” බවයි.
එහෙත් පාලක පන්තිය බලාපොරොත්තු වන්නේ, වාර්ගික දේශපාලනය මත පදනම්ව කම්කරු පන්තිය බෙදා, කම්කරුවන් හා තරුනයන් අතර ඇති වෛරය අඳුරු අගාධයකට තල්ලු කර දැමීමටය. සමාජවාදීන්ගේ කාර්ය වන්නේ මෙම වාර්ගික බොරු හෙලාදකිමින්, ධනපති ක්‍රමයට හා එහි දේශපාලන ආරක්ෂකයන්ට එරෙහිව කම්කරු පන්තියේ -කලු, සුදු, දකුනු ඇමරිකානු, ආසියානු, ආදි වාසි හා සංක්රමනික- එක්සත් බව සඳහා සටන් කිරීමයි.
Follow us on