ඔක්තෝබරය ආරක්ෂා කිරීම සඳහා

Leon Trotsky - In Defense of October - 1932

ලියොන් ට්‍රොට්ස්කි විසිනි, 2016 ජූලි 12

කෝපන්හේගන් හිදී සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍යයන්ගේ රැස්වීමක් අමතා ලියොන් ට්‍රොට්ස්කි විසින් 1932, නොවැම්බර් 27 දා පවත්වන ලද මෙම කතාව රුසියානු විප්ලවයේ ප‍්‍රධාන ගාමක බලයන් සංක්ෂිප්තව ගෙනහැර දක්වයි. ට්‍රොට්ස්කි 1917 විප්ලවයේ ජයග‍්‍රහනයන් ආරක්ෂා කරමින් එය සිදුවුයේ කෙසේද ( "යුරෝපයේ ඉතාමත්ම පසුගාමී රටවල්වලින් එකක නිර්ධන පන්ති විප්ලවය ජය ගත්තේ කෙසේද?") යන්න විස්තර කරන අතර ම විප්ලවය සඳහා ගෙවීමට සිදුවූ වන්දිය නිසා එය ගැන සැක පහල කලවුන්ට පිලිතුරු ද සැපයුවේ "ඔක්තෝබර් විප්ලවය කාලයේ පරීක්ෂාව ඉදිරියේ සමත් වීද?" යන්න පැහැදිලි කරමිනි. ඔහු ගොවි ජනතාවගේ, ජාතික ප‍්‍රශ්නයේ, යුද්ධයේ, සහ බොල්ශෙවික් පක්ෂයේ ක‍්‍රියා කලාපය පැහැදිලි කරයි; අන් සියලටමත් වඩා ඔහු, පලල්ව ගත්කල, රුසියාව හා යුරෝපය සම්බන්ධයෙන් පමනක් නොව ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ඔක්තෝබර් විප්ලවය සිදුකල කාර්යභාරය ඇගයීමට ලක් කරයි.

***

ඔක්තෝබර් විප්ලවය ආරක්ෂා කිරීම සඳහා

මා දයාබර අසන්නෙනි,

කෝපන්හේගන් හි සභාවක් ඉදිරියේ ඩෙන්මාර්ක් භාෂාවෙන් කථා කිරීමට ඇති අසමත් කම පිලිබඳව අවංක කනගාටුව ප‍්‍රකාශ කරමින් මගේ කථාව ආරම්භ කිරීමට අවසර දෙන්න. අසන්නන්ට එයින් පාඩුවක් වෙත්දැ යි ප‍්‍රශ්න නොකරමු. එහෙත් ඬේන්වරුන්ගේ බස නො දැන්මෙන් කථිකයාට නම් ස්කැන්ඩිනේවියානු ජීවිතය හා සාහිත්‍යය සමීප ලෙසම, ඍජුව ම, දැන හඳුනා ගැනීමට පුලුවන් කම නො ලැබී යයි. එය ඉමහත් පාඩුවකි.

මට භාවිතා කිරීමට සිදුව ඇති ජර්මන් භාෂාව පොහොසත් ප්‍රෞඪ එකකි. එහෙත් ජර්මන් බස පිලිබඳව මගේ පරිචය බොහෝ දුරට සීමා සහිත ය. තවද කෙනෙකුට සංකිර්න ප‍්‍රශ්න අවශ්‍ය නිදහසෙන් යුතුව සාකච්ඡා කිරීමට පුලුවන් වන්නේ තමන්ගේ ම භාෂාවෙන් පමනි. ඒ නිසා මෙහි දී ම මුලින් ම සභාවේ අවබෝධාත්මක අනුකම්පාව අයැද සිටිය යුතු ය.

මා ප‍්‍රථමයෙන් ම කෝපන්හේගන් නගරයට පැමිනියේ ජාත්‍යන්තර සමාජවාදී සම්මේලනයට යි. ඒ අවස්ථාවෙහි මම ඔබේ නගරය පිලිබඳව අතිශයින් ම සුහද සිහිවටනයන් රැසක් ආපසු රැගෙන ගියෙමි. එහෙත් ඒ ශත වර්ෂ කාලකට පමන පෙරදී ය. එතැන් සිට මේ දක්වා ඕර්-සන්ඩ් හි ද, කලපුවල ද ජලය නැවත නැවතත් වෙනස් වී ඇත. ජලය පමනක් ම නොවේ. යුද්ධය පැරනි යුරෝපා මහද්වීපයේ කොඳු නාරටිය ද බිඳ දැම්මේ ය. යුරෝපයේ ගංගා හා මුහුදු වලට සේදී ගියේ අල්ප වූ රුධිරයක් නොවේ. මානව වර්ගයා, විශේෂයෙන් ම යුරෝපීය මානව වර්ගයා කටුක පරීක්ෂනයන් අතුරින් ගමන් කලේ, වඩාත් දෝමනස්ස සහගත ද කෲරතර ද වී ඇත. සෑම වර්ගයක ම ගැටුම් වඩ වඩා කටුක බවට පත් වී තිබේ. අති මහත් වෙනස්වීම් පිලිබඳ කාල පරිච්ඡේදයකට ලෝකය පා තබා ඇත. යුද්ධය හා විප්ලවය එහි තියුනුම ප‍්‍රකාශන වෙයි.

මගේ දේශනයෙහි තේමාව වශයෙන් පවතින විප්ලවය පිලිබඳව කථා කිරීමට පෙර මෙම රැස්වීම සංවිධාන කල සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍යයන්ගේ සංවිධානයට මගේ ස්තුතිය පුද කිරීම මගේ යුතුකම වෙතැයි සලකමි. මා එසේ කරන්නේ ඔවුන්ගේ දේශපාලනික විරුද්ධවාදියෙකු හැටියට යි. මගේ දේශනය, ඓතිහාසික-විද්‍යාත්මක මාවත් ඔස්සේ මිස දේශපාලනික මාවත් ඔස්සේ යොමු නො වන බව සත්‍යයකි. මට මුල සිට ම මෙය අවධාරනය කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් සෝවියට් සමූහාන්ඩුව පැන නැගීමට තුඩු දුන් විප්ලවය ගැන දේශපාලන ස්ථාවරයක් නො ගෙන කථා කල නොහැකි ය. කිසියම් ධජයක් යටතේ මම විප්ලවයේ සිද්ධීන්ට සහභාගී වූයෙම් ද දේශකයෙකු ලෙස මා නැගී සිටින්නේ ද එම ධජය යටතේ ම යි.

යුද්ධය තෙක් බොල්ශෙවික් පක්ෂය අයත්ව පැවැත්තේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්‍යන්තරයට යි. 1914 අගෝස්තු 4වන දා ජර්මන් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුද වියදම් සඳහා ඡන්දය පාවිච්චි කිරීම නිසා මෙම සම්බන්ධතාව සදහට ම කෙලවරකට පත් විය. සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධව බොල්ශෙවික්වාදයේ අඛන්ඩ -සමහන් කල නොහැකි- අරගලය පිලිබඳ කාල පරිච්ඡේදය එතැනින් ඇරඹුනි. මට දේශනයක් කිරීමට ඇරයුම් කිරීමෙන් මෙම රැස්වීමේ සංවිධායකයන් වදරක් කර ගෙන ඇති බවක් මින් ඇඟවේ ද? ඒ සම්බන්ධව සභාවට විනිශ්චයක් කල හැකි වන්නේ මගේ දේශනයෙන් පසුව පමනි. රුසියන් විප්ලවය පිලිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට කරන ලද කාරුනික ආරාධනය ම විසින් පිලිගනු ලැබීම යුක්ති සහගත කරනු වස් මගේ තිස්පස් වසරක දේශපාලන ජීවිතයෙහි දී රුසියන් විප්ලවය, මගේ සිතුවිලි වල හා ක‍්‍රියාවන් හි ක‍්‍රියාත්මක හා න්‍යායික අක්ෂයව පැවති බව පෙන්වා දීමට අවසර දෙන්න. තුර්කියෙහි මා ගත කල සිවු වසරක කාලය මූලික වශයෙන් ගෙවුනේ රුසියන් විප්ලවය පිලිබඳ ප‍්‍රශ්න ඓතිහාසික වශයෙන් විස්තර විභාග කොට දැක්වීමට යි. මිතුරන්ට සහ හිතවතුන්ට පමනක් නොව විරුද්ධවාදීන්ට ද කලින් ඔවුන්ගේ අවධානයට ලක් නොවී පැවති, විප්ලවය සම්බන්ධ බොහෝ දෑ වඩා හොඳින් වටහා ගනු වස් එක්තරා පරිමානයකින් හෝ ආධාර කිරීමට මට පුලුවන් වෙතැයි සිතීමට ඉහත සඳහන් හේතූන් නිසා මට අයිතියක් ලැබේ. කෙසේ වෙතත් මගේ දේශනයෙහි අරමුන: තේරුම් ගැන්මට උදව් කිරීම යි. විප්ලවය උදෙසා ප‍්‍රචාරක කටයුත්තක නිරත වීම හෝ විප්ලවයට සම්බන්ධ වන්නැ යි ඔබට ඇරයුම් කිරීම හෝ මගේ අරමුන නොවේ. මගේ අරමුන විප්ලවය පැහැදිලි කර දීම යි.

කැරලි සම්බන්ධ විශේෂ දෙවඟනක් ස්කැන්ඩිනේවියානු ඔලිම්පසය මුදුනෙහි විසුවාදැ යි මම නො දනිමි. නො විසුවා විය හැක! කෙසේ වෙතත් අපි අද ඇගේ ආධාරය ඉල්ලා නොසිටිමු. අපි අපේ දේශනය පවත්වන්නේ ඥානයේ ආදී කල්පික දෙවඟන වූ ස්නොත‍්‍රා ගේ ලාංඡනය යටතේ ය. ජීවමාන සිද්ධියක් වශයෙන් විප්ලවයෙහි පැවති භාවපුර්න නාට්‍යමය ස්වභාවය පසෙක තබා විච්ඡේදකයකු මෙන් භාව විරහිතව විප්ලවය ගැන සාකච්ඡා කිරීමට අපි උත්සාහ කරමු. ඒ හේතුවෙන් කථකයා නීරස භාවයට පත් වෙත් නම් අසන්නන් ඒ කරුන සිහියට ගනු ඇතැ යි බලාපොරොත්තු වෙමි.

මූලික සමාජ විද්‍යාත්මක සිද්ධාන්ත කිහිපයකින් අපි පටන් ගනිමු. එයින් සමහරක් ඔබට හුරු පුරුදු බව සැකයක් නැත. එහෙත් විප්ලවය වැනි සංකීර්න සිද්ධියක් ගැන සාකච්ඡා කරන විට අප විසින් ඒ ගැන අපේ මතක අලුත්වැඩියා කර ගත යුතු වෙයි.

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය

පැවැත්ම සඳහා කරන අරගලයෙහි දී හා පරම්පරාවන්ගේ පැවැත්ම සහතික කිරීමෙහි දී ඓතිහාසික වශයෙන් ජනිත වූ සහයෝගිතාවකි, මානව සමාජය. සමාජයක ස්වභාවය තීන්දු වන්නේ එම සමාජයෙහි ආර්ථිකයෙහි ස්වභාවයෙනි. ආර්ථිකයෙහි ස්වභාවය තීන්දු වන්නේ එම සමාජයෙහි පවතින නිෂ්පාදන ශ‍්‍රම බල වේගයන්ගෙනි.

නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයෙහි සෑම වැදගත් යුගයකට ම ඊට අනුරූප වන නිශ්චිත සමාජ පාලනයක් ඇත. මේ දක්වා පැවති සෑම සමාජ පාලනයක් විසින් ම පාලක පන්තියට ඉමහත් වාසි සලසා දෙන ලදී.

සමාජ පාලනයන් සදාකාලික නොවන බව එයින් පැහැදිලි වෙයි. ඒවා ඓතිහාසික වශයෙන් ජනිත වෙයි. ඉනික්බිතිව ඒවා තව දුරටත් ඇතිවන ප‍්‍රගතියට බාධක බවට පත් වෙයි. “ඇති වන සෑම දෙයක්ම නැති වීමට ද උචිත ය”.

එහෙත් කිසි ම පාලක පන්තියක් කවර ම දාක වත් සිය පාලනය කැමැත්තෙන් සාමකාමීව අත්හලේ නැත. ජීවිතය හා මරනය පිලිබඳ ප‍්‍රශ්නවල දී කිසිම දාක බුද්ධිය මත පදනම්ව කරන තර්කවලට බලය නමැති තර්කයෙහි තැන ගැන්මට නුපුලුවන් විය. මෙය ශෝකදායක තත්වයක් විය හැක; එහෙත් යථා තත්වය මෙය යි. මේ ලෝකය හැදුවේ අප නො වේ. එය ඒ හැටියෙන් පිලිගන්නවා විනා අපට වෙන කල හැකි දෙයක් නැත.

විප්ලවයේ අර්ථය

විප්ලවය යන්නෙන් සමාජ ක‍්‍රමය වෙනස් වීම ඇඟවේ. එය ශක්තිය අන්තය දක්වා ම ක්ෂයව ගොස්ඇති පන්තියකගේ අතින්, නැගී ගෙන එන වෙනත් පන්තියක් අතට බලය මාරු කරයි. පන්ති දෙකක් බලය සඳහා කරන අරගලයෙහි ඉතා ම තියුනු තීරනාත්මක මොහොත සන්නද්ධ නැගිටීම යි. සන්නද්ධ ජනතා නැගිටීමකට, විප්ලවයේ නියම ජයග‍්‍රහනය කරාත් අලුත් සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම කරාත් ගමන් කල හැකි වන්නේ තමන් වටා ජනතාවගෙන් අතිමහත් වැඩි කොටස එකතු කර ගැනීමට සමත් ප‍්‍රගතිශීලි පන්තියක් මත එය පදනම් වූ විට පමනි.

ස්වභාව ධර්මයේ ක‍්‍රියාදාමයන්ට වඩා වෙනස් වන විප්ලවය මිනිසුන් විසින් මිනිසුන් මාධ්‍යය කොට ගෙන කරනු ලබන්නකි. එහෙත් විප්ලවය කරගෙන යන අවස්ථාවෙහි පවා තමන් විසින් නිදහස් කැමැත්තෙන් තෝරා ගනු නො ලැබූ අතීතයෙන් තමන්ට උරුම කර දෙන ලද තමන් යා යුතු මග විධානාත්මකව පෙන්නුම් කරන සමාජ තත්වයන්ගේ බලපෑම යටතේ මිනිසුන් ක‍්‍රියා කරති. මේ හේතුව නිසා, ඇත්තෙන් ම මේ හේතුව නිසා පමනක්ම විප්ලවයක් කිසියම් නීති රීති රැසක් අනුව සිද්ධ වෙයි.

එහෙත් මානව විඥානය හුදෙක් අකර්මන්‍ය ආකාරයෙන් විෂය බද්ධ තත්වයන් පිලිබිඹු නො කරයි. විෂයබද්ධ තත්වයන්ට ක‍්‍රියාකාරී ලෙස ප‍්‍රතික‍්‍රියා කිරීම මානව විඥානයට හුරු පුරුදු ය. ඇතැම් අවස්ථාවල මෙම ප‍්‍රතික‍්‍රියාව තියුනු, භාවපුර්න, ජනතා මැදිහත් වීමක ස්වරූපයක් ගනියි. බාධක වශයෙන් පවතින අයිතීන් හා ශක්තීන් පෙරලා දමනු ලැබේ. ඓතිහාසික සිද්ධීන්ට ජනතාව ක‍්‍රියාත්මකව මැදිහත් වීම විප්ලවයක අත්‍යාවශ්‍ය අංගය වේ.

එහෙත් ඉතාම කැලඹිලි සහිත ක‍්‍රියාවන් පවා විප්ලවයක මට්ටමට නො නැඟ පෙලපාලි දැක්වීමේ, හෝ කැරලි ගැසීමේ මට්ටමෙහි රැඳී පැවතිය හැකි ය. ජනතා නැගිටීම එක පන්තියක ආධිපත්‍යය පෙරලා දමා තවත් පන්තියක ආධිපත්‍යය ස්ථාපිත කිරීම කරා ගමන් කල යුතු ය. අප විසින් විප්ලවයක් අත් කර ගනු ලබන්නේ එවිට පමනි. ජනතා නැගිටීම, කෙනෙකුට තමන් කැමති ඕනෑම වෙලාවක සිදු කල හැකි හුදෙකලා වූ කාර්ය භාරයක් නො වේ. විප්ලවය සමාජයක් වර්ධනය වීමේ දී විෂයබද්ධව සකස් වූ ක‍්‍රියාදාමයක් නියෝජනය කරන්නාක් මෙන් ජනතා නැගිටීමත් විප්ලවයක් වර්ධනය වීමේ දී විෂයබද්ධව සකස් වූ එක් මූලික අංගයක් නියෝජනය කරයි. එහෙත් ජනතා නැගිටීමට අවශ්‍ය තත්වය පවතී නම් කෙනෙකුට කට අයාගෙන හුදෙක් අකර්මන්‍යව බලා සිටිය යුතු නො වේ. ශේක්ස්පියර් කියන්නාක් මෙන්: “මිනිසුන්ගේ වැඩ කටයුතු වල ප‍්‍රවාහයක් ඇත. එම ප‍්‍රවාහය උතුරා යන මොහොතේ දී එය අල්ලා ගතහොත් ඉෂ්ඨාර්ථ සිද්ධිය කරා ගෙන යනු ලැබේ.”

යල් පැනගිය සමාජ ක‍්‍රමය පිස දා දමනු වස් ප‍්‍රගතිශීලී පන්තිය තමන්ගේම මොහොත එලඹ ඇති බව වටහා ගත යුතු යි; වටහා ගෙන බලය ඇල්ලීමේ කටයුත්ත තම අරමුන කර ගත යුතු යි. පෙර දක්නා නුවනත්, සිතාමතා ගනන් බැලීමත්, අධිෂ්ඨානය හා ධෛර්ය ය සමග එකමුතු වන විප්ලවවාදී කාර්ය භාරයේ ක්ෂේත‍්‍රය මෙහි දී විවෘතවේ. වෙනත් වචන වලින් කිවුවොත්: පක්ෂයේ ක‍්‍රියාවන් පිලිබඳ ක්ෂේත‍්‍රය මෙතැන දී විවෘත වේ.

“කුමන්ත‍්‍රනය”

විප්ලවවාදී පක්ෂය ප‍්‍රගතිශීලී පන්තියේ හොඳම කොටස් තමන් තුලට ගොනු කර ගනී. තමන් හා සම්බන්ධ පරිසරයෙහි මැනවින් සංස්ථානය වීමටත් සිද්ධීන් හි විකාශනය හා රිද්මය වටහා ගැනීමටත් වේලාපහින්ම ජනතාවන්ගේ විශ්වාසය දිනා ගැනීමටත් සමත් පක්ෂයකින් තොරව කම්කරු විප්ලවය ජයග‍්‍රනය කිරීම කිසි සේත් ම කල නො හැකි ය. මේවා සන්නද්ධ ජනතා නැගිටීම හා විප්ලවය පිලිබඳ විෂයබද්ධ හා මනෝබද්ධ සාධක අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාවන් වෙයි.

තර්ක විතර්කවල දී විශේෂයෙන්ම දේව ධර්මතානුගත තර්ක විතර්කවල දී විද්‍යාත්මක සත්‍යය විකාර මට්ටමට ඇද දා එය නිග‍්‍රහයට ලක් කිරීම විරුද්ධවාදීන්ට හුරු පුරුදු බව ඔබ දනී. මෙම විධි ක‍්‍රමය තර්ක ශාස්ත‍්‍රයෙහි ලා හැඳින්වෙන්නේ රිඩොක්සියෝ අඞ් අබස්ර්ඩුම් යනුවෙනි. අපි ඊට ප‍්‍රතිවිරුද්ධ විධි ක‍්‍රමය අනුගමනය කිරීමට උත්සාහ කරමු: ඒ අනුව අපි වඩාත් ප‍්‍රවේසම් සහිතව සත්‍යයට ලං වනු වස් විකාර නිගමනයකින් පටන් ගනිමු. කෙසේ වෙතත් විකාර නිගමනයන් හි හිඟ පාඩුවක් ගැන කන්කෙඳිරි ගෑමට නම් අපට ඉඩක් ලැබී නැත. ඒ අතුරෙන් ඉතා ලඟ දී අසන්නට ලැබුනු රලු පරලු එකක් ගනිමු.

එක්තරා ආකාරයකින් ෆැසිස්ට් න්‍යායවාදියකුගේ ගති ලක්ෂන උසුලන්නා වූ (එබඳු පුද්ගලයෝ වෙත්.) මැලපාර්ට් නම් ඉතාලි ලේඛකයා නොබෝ කලකට පෙර රාජ්‍ය කුමන්ත‍්‍රනයෙහි විධි ක‍්‍රමය පිලිබඳව පොතක් පල කලේය. ස්වාභාවිකවම කර්තෘවරයා පොතෙන් සැලකිය යුතු පිටු ගනනක් ඔක්තෝබර් පෙරලිය පිලිබඳව තමන්ගේ පර්යේෂනය වෙනුවෙන් කැප කලේය.

1917 රුසියාවෙහි පැවති සාමාජික හා දේශපාලනමය තත්වයන්ට සෑම විටම සම්බන්ධිතව පැවති ලෙනින්ගේ ‘මූලෝපාය’ ට ප‍්‍රතිවිරුද්ධව කැපී පෙනුන ‘ට්‍රොට්ස්කිගේ උපාය මාර්ගයන්’ මැලපාර්ට්ගේ වචනවලින්ම කිවුවොත් ‘කිසිසේත් ම රටෙහි සාමාන්‍ය තත්වයන්ගෙන් සීමා කරනු නො ලැබීය.’ පොතෙහි අන්තර්ගත මූලික අදහස මෙය යි! මැලපාර්ට් තමන්ගේ පොතේ පිටු අතරෙහි දෙබස් ගනනාවක් පැවැත්වීමට ලෙනින් හා ට්‍රොට්ස්කි මෙහෙයවා ගනී. මෙම දෙබසට සහභාගි වන්නවුන් දෙදෙන එකමුතුව පෙන්වන විචක්ෂන භාවයේ ප‍්‍රමානය ස්වභාව ධර්මය මැලපාර්ට්ට ම පමනක් උරුම කර දුන් විචක්ෂන භාවයේ ප‍්‍රමානය මැ යි. සමාජ පෙරලියට අවශ්‍ය සමාජමය හා දේශපාලනමය පූර්ව කොන්දේසි ලෙනින් විසින් සලකා බලනු ලබන විට මැලපාර්ට් ඔහුම නිර්මානය කල ට්‍රොට්ස්කි ලවා ඊට මෙසේ සරලාකාරයෙන් ම පිලිතුරු දෙවයි: “ඔබේ මූලෝපායට වාසිදායක තත්වයන් රැසක් අවශ්‍ය වේ; සන්නද්ධ ජනතා නැගිටීමකට කිසිවක් අවශ්‍ය නැත; එය ස්වයංපරිපූර්න ය.” ඔබට ඇහෙනවා නේද: “ජනතා නැගිටීමකට කිසිවක් අවශ්‍ය නැත!”

අපට සත්‍යය කරා එලඹීමට ආධාර කල යුතු විකාර නිගමනය එය මැ යි. ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනය දිනා ගත්තේ ලෙනින්ගේ මූලෝපාය නොව ට්‍රොට්ස්කිගේ උපාය මාර්ගයෙන් යැ යි කර්තෘවරයා අතුරක් නැතිව පුනරුච්චාරනය කරයි. මේ උපාය මාර්ග කර්තෘගේ වචනවලින් කිවුවොත් මේ මොහොතෙහි පවා යුරෝපා රාජ්‍යවල සමාදානයට තර්ජනයකි. “ලෙනින්ගේ මූලෝපාය” මැලපාර්ට්ගේ ම වචන වලින් කිවුවොත් “යුරෝපයේ ආන්ඩුවලට කිසිදු ආසන්න අන්තරායක් නො පමුනුවයි.” එහෙත් ට්‍රොට්ස්කිගේ උපාය මාර්ග “ඔවුන්ට එල්ල වී පවතින ඇත්ත නිරන්තර අන්තරායක් වේ” වඩාත් සංයුක්තව ඉදිරිපත් කලොත් “කෙරෙන්ස්කි සිටි ස්ථානයෙහි පොයින්කෙරේ තබන්න. 1917 ඔක්තෝබර්වල බොල්ශෙවික් රාජ්‍ය කුමන්ත‍්‍රනය ඒ වූ ආකාරයෙන් ම සාර්ථක වනු ඇත.” මෙබඳු පොතක් භාෂා කිහිපයකට පරිවර්තනය කරනු ලැබ බැරෑරුම් ආකාරයෙන් සැලකිල්ලට භාජනය වී ඇතැ යි යන්න විශ්වාස කිරීමට ද අමාරු ය.

සෑම අවස්ථාවක දී ම “ට්‍රොට්ස්කිගේ උපාය මාර්ගවලින්” සමාන කාර්ය භාරයක් සපුරාගත හැකි නම් ලෙනින්ගේ, ඓතිහාසිකව සකස් කර ගන්නා ලද මූූලෝපාය කුමන අවශ්‍යතාවක් ද යි සොයා ගැන්මට අපි නිෂ්කාරනයේ වෙහෙසෙමු. විප්ලවයන්ගේ ජයග‍්‍රහනය සඳහා ශිල්පක‍්‍රම වට්ටෝරු කිහිපයක් පමනක් සෑහේ නම් සාර්ථක විප්ලව මෙතරම් දුලබ ඇයි?

ෆැසිස්ට්වාදී කර්තෘවරයා විසින් ඉදිරිපත් කරන ලද ලෙනින් හා ට්‍රොට්ස්කි අතර සංවාදය හරයෙන් මෙන් ම ස්වරූපයෙන් ද මුල සිට අග දක්වා ම අතිශයින් ම නීරස වූ ප‍්‍රබන්ධයකි. මෙවැනි ප‍්‍රබන්ධ අල්ප නොවූ ප‍්‍රමානයක් ලෝකය වටා පාවෙමින් පවතී. නිදසුනක් වශයෙන් “ලෙනින්ගේ ජීවිතය” නමින් පොතක් මැඞ්රිඞ්හි අච්චු ගසා ඇත. මැලපාර්ට්ගේ උපාය මාර්ග වට්ටෝරු සම්බන්ධයෙන් මෙන්ම මේ පොත සම්බන්ධයෙන් ද බින්දු මාත‍්‍ර වගකීමක් හෝ මට නැත. මැඞ්රිඞ්හි එස්ටැම්පා නම් සතිපතා පත‍්‍රය ලෙනින් පිලිබඳව ට්‍රොට්ස්කි විසින් ලියන ලදැ යි කියනු ලබන මෙම පොතෙහි සම්පූර්න පරිච්ඡේද කල් තියා ප‍්‍රකාශයට පත් කෙලේ ය. මගේ සමකාලීනයන් අතුරින් අන් හැමට ම වඩා ඉහලින් අසමාන ආකාරයකට ම අගය කල තවමත් අගය කරන එම පුද්ගලයා පිලිබඳ මතක දරුනු ලෙස කෙලෙසීමක් එම පොතෙහි අන්තර්ගත වෙයි.

ඒ කූට ලියන්නන්ට වෙන්නට තිබෙන දෙයක් වන ලෙස අපි ඔවුන් අත් හැර දමමු. අමතක කල නො හැකි සටන්කරුවෙකු හා වීරයකු වන කාල් ලීබ්නෙක්ට්ගේ පියා වූ මහලු විල්හෙල්ම් ලීබ්නෙක්ට් මෙසේ පැවසීමට රුචි කෙලේ ය. “විප්ලවවාදී දේශපාලඥයෙකු තමන්ට ඝනකම ඇති හමක් ලබා ගත යුතුය.” සමාජයේ අදහස් උදහස්වලට ප‍්‍රතිවිරුද්ධ ආකාරයකට ක‍්‍රියා කිරීමට අදහස් කරන්නකු අලුත් කලිසම් ඇඳීමෙන් වැලකී සිටිය යුතුය යනුවෙන් ආචාර්ය ස්ටොක්මන් වඩාත් මැනවින් තම උපදේශන ඉදිරිපත් කලේ ය. මේ මනා වූ උපදේශයන් දෙක සිතෙහි දරා ගෙන අපි ඉදිරියට යමු.

ඔක්තෝබර් විප්ලවයට තුඩුදුන් හේතු

කල්පනා කරන මිනිසකුගේ මනස තුල ඔක්තෝබර් විප්ලවය කිනම් ප‍්‍රශ්න මතු කරයි ද?

1. විප්ලවය සිදු වූයේ ඇයි? එය කෙසේ සිදු වී ද? වඩාත් සංයුක්තව ඇසුවොත් යුරෝපයේ ඉතාමත් ම පසුගාමී රටවලින් එකක නිර්ධන පන්ති විප්ලවය ජයග‍්‍රහනය කලේ ඇයි?

2. ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රතිපල මොනවා ද?

අවසාන වශයෙන්,

3. ඔක්තෝබර් විප්ලවය සාර්ථක ලෙස පරීක්ෂනයට ලක්වූයේ ද?

හේතුන් පිලිබඳ පලමුවන ප‍්‍රශ්නයට අඩු හෝ වැඩි වශයෙන් පරිපූර්න පිලිතුරක් සැපයීමට දැන් පුලුවන්කම තිබේ. මා ලියූ විප්ලවය පිලිබඳ ඉතිහාසයෙහි මේ ප‍්‍රශ්නයට විස්තරාත්මක පිලිතුරක් සැපයීමට මම උත්සාහ කලෙමි. මෙහි දී මට කල හැක්කේ අතිශයින් ම වැදගත් නිගමන සකසා ඉදිරිපත් කිරීම පමනි.

අසමාන වර්ධනය පිලිබඳ නියාමය

පැරනි සාර් රුසියාව වැනි පසුගාමී රටක නිර්ධන පන්තිය ප‍්‍රථම වරට බලය ඇල්ලීම අභිරහසක් ලෙස පෙනෙන්නේ බැලූ බැල්මට පමනි; යථාර්ථය ගෙන බලන විට එය ඓතිහාසික නීතියට සම්පූර්නයෙන් ම එකඟ ය. එය එසේ වේ යැ යි පෙර දැකීමට පුලුවන් කම තිබුනු අතර එසේම පෙර දක්නා ලදී. තව ද තීරනාත්මක සිදුවීම් ඇතිවීමට බොහෝ කලකට පෙර විප්ලවවාදී මාක්ස්වාදීහු මෙම පෙරදැක්ම මත පිහිටා තමන්ගේ මූලෝපාය ගොඩ නගා ගත්හ.

පලමුවැනි ඉතාම සාමාන්‍ය පැහැදිලි කිරීම මෙය යි: රුසියාව පසුගාමී රටකි; එහෙත් එය ලෝකයේ ආර්ථිකයෙන් කොටසක් පමනි; ලෝක ධනේශ්වර ක‍්‍රමයේ කොටසක් පමනි. මේ අර්ථයෙන් ලෙනින් රුසියන් විප්ලවය පිලිබඳ ප‍්‍රහේලිකාව විසඳුවේ ‘දම්වැල එහි දුර්වල ම පුරුකෙන් කැඞී ගියේය’ යන සුත‍්‍රය භාවිත කරමිනි.

රළු පැහැදිලි කිරීමක්: ලෝක අධිරාජ්‍යවාදයේ පරස්පර විරෝධයන්හි ප‍්‍රතිපලයක් වූ මහා යුද්ධය වර්ධනයේ විවිධ අවධීන්හි පසුවන රටවල් තම චන්ඩ මාරුතයට හසු කර ගත්තේ ය. එහෙත් යුද්ධය ඊට සම්බන්ධ වූ සෑම රටකින් ම ඉල්ලා සිටියේ එක සමාන දේවල් ය. විශේෂයෙන් ම අතිශයින් ම පසුගාමී රටවලට යුද්ධයෙහි බර දැරිය නො හැකි බව පැහැදිලි ය. යුද බිමෙන් ඉවත් වීම කරා මුලින් ම තල්ලු වුනේ රුසියාව යි. පාලක පන්තිය පෙරලා දැමීමට සිදු විය. මෙසේ යුද්ධයේ දම්වැල එහි දුර්වල ම පුරුකෙන් සිදී ගියේ ය.

සම්මිශ‍්‍රිත වර්ධනය පිලිබඳ නියාමය

එසේ වුවත් යුද්ධය භූමි කම්පාවක් මෙන් පිටතින් පැමිනෙන විපත්තියක් නො වේ. එය මහලු ක්ලෝස්විට්ස් පැවසුවාක් මෙන් වෙනත් මාර්ගවලින් දේශපාලනෝපාය පවත්වා ගෙන යාමකි. සාම කාලයෙහිදී අධිරාජ්‍යවාදී ක‍්‍රමයෙහි පවතින මූලික ප‍්‍රවනතා පසු ගිය යුද්ධයෙහි දී වඩා රලුපරලු ආකාරයකට ප‍්‍රකාශිත වුවා පමනි. නිෂ්පාදනයේ සාමාන්‍ය බලවේගයන් වර්ධනය වූ පමනට, ලෝක වෙලඳ පොලේ තරඟය තියුනු වූ පමනට එදිරිවාදුකම් දැඩි විය; යුද්ධෝපකරන සඳහා ඇති තරඟයේ වියරු ස්වභාවය වර්ධනය වූ පමනට යුද්ධයට සහභාගී වූ දුර්වල රටවල් වල දුෂ්කරතාවන් ද වැඩුනේ ය. යුද්ධයෙන් අද වැටුනු රටවල් අතර පසුගාමී රටවල් ප‍්‍රථම ස්ථාන ගත්තේ එහෙයින් ම ය. ලෝක ධනේශ්වර ක‍්‍රමය සෑම විට ම සිඳී යාමට බලනුයේ එහි දුර්වලම පුරුකෙනි.

මිනිය නොහැකි තරම් පෘථුල සෝවියට් දේශයෙහි විශේෂ තත්වයන්හි හෝ විශේෂයෙන් අවාසිදායක තත්වයන්හි හෝ ප‍්‍රතිපලයක් හැටියට, නිදර්ශන වශයෙන් කිවුවොත් පිටතින් පැමිනෙන සාර්ථක යුද්ධාක‍්‍රමනයක් නිසා හෝ සෝවියට් ආන්ඩුවේ ම නිවැරදි කර ගත නො හැකි වරදවල් නිසා හෝ යලිත් ධනේශ්වර ක‍්‍රමය නැගී ආවොත් ඒ සමගම එහි (ධනපති ක‍්‍රමයෙහි) ඓතිහාසික ඌනතාව ද නොවැලැක්විය හැකි අයුරෙන් ඉස්මත්තට එනු ඇත. එම ධනේශ්වර ක‍්‍රමය ද ඉක්මනින් ම 1917 එහි පිපිරීමට තුඩු දුන්නාවූ පරස්පර විරෝධයන්ගේම ගොදුරක් බවට පත්වනු ඇත. රුසියාව තම ශරිරාභ්‍යන්තරයෙහි විප්ලවය ගැබ් කර ගෙන නොසිටියේ නම් කිසිදු උපාමාරු වට්ටෝරුවකට ඔක්තෝබර් විප්ලවය උපද්දවීමට නොහැකි වන්නේ ය. විප්ලවවාදී පක්ෂයට අවසන් විශ්ලේෂනයේ දී උරුමකම් කිව හැකි වන්නේ ශල්‍යකර්මයකින් දරු ප‍්‍රසුතියක් කරවීම කරා මෙහෙයවුනු ප‍්‍රසව විද්‍යාඥයකුගේ කාර්ය භාරයට පමනි.

මීට පිලිතුරු වශයෙන් යමෙකුට මෙසේ කිව හැක: ඔබ ඉදිරිපත් කරන සාමාන්‍ය කාරනා පසුගාමී ධනේශ්වර ක‍්‍රමයක් හා දරිද්‍ර භාවයට පත් ගොවි ජනතාවක් මත පරපුටු රදල පන්තියකින් හා ජර පත් වෙමින් සිටි රාජාන්ඩුවකින් කිරුලු පැලඳ සිටි පැරනි රුසියාවට විනාශයට මුහුන දීමට සිදු වුනේ ඇයි ද යන්න ප‍්‍රමානවත් ආකාරයකට විස්තර කරනවා විය හැකිය. එහෙත් දම්වැල හා එහි දුර්වලම පුරුක පිලිබඳ උපමාවෙන් තවමත් නියම ප‍්‍රහේලිකාවට පිලිතුර සොයා ගත නොහේ: පසුගාමී රටක සමාජවාදී විප්ලවය ජයග‍්‍රහනය කලේ කෙසේ ද? ප‍්‍රගතිශීලී උරුමක්කාරයන් ඉස්මතුව නොතිබූ තත්වයන්හි දී පරන පන්ති ඇද වැටීමත් සමග රටවල හා ශිෂ්ඨාචාරයන්හි ඇති වූ පරිහානියට අනල්ප නිදර්ශන ප‍්‍රමානයක් ඉතිහාසය දනී. බැලූ බැල්මට පෙනෙනුයේ පරන රුසියාව බිඳ වැටීමෙන් රට සමාජවාදී රාජ්‍යකට වඩා ධනේශ්වර කොලනියකට පරිවර්තනය විය යුතුව පැවති බව යි.

මෙම විරුද්ධත්වය සිත්ගන්නා සුලු ය. එය කෙලින් ම අපව ප‍්‍රශ්නයේ හරය කරා ගෙන යයි. එහෙත් මෙම විරෝධය සාවද්‍ය ය; එම විරෝධයෙහි අභ්‍යන්තර ගැලපීමක් නැතැ යි මට කිය හැකි ය. එක් අතෙකින් එම විරෝධය පටන් ගන්නේ රුසියාවේ පසුගාමිත්වය අතිශෝක්තියට නගාගත් සංකල්පයකිනි; අනෙක් අතින් සාමාන්‍ය ඓතිහාසික පසුගාමිත්වය පිලිබඳ ව්‍යාජ න්‍යායික සංකල්පයකිනි.

ඒකාන්ත වශයෙන් මනුෂ්‍යයා ඇතුලු ජීවමාන සත්වයෝ තමන්ගේ වයසට අනුරූපව වර්ධනය පිලිබඳ සමාන අවධීන් ඔස්සේ ගමන් කරති. සාමාන්‍ය පස් හැවිරිදි දරුවකුගේ ශරීරාවයවවල සහ අභ්‍යන්තරික අවයවවල බර හා ප‍්‍රමානය අතර කිසියම් අනුරූපතාවක් අපට පෙනේ. එහෙත් මනුෂ්‍ය විඥානය පිලිබඳ තත්වය මීට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ ය. මිනිසාගේ කායික ව්‍යූහයටද ශරීර ස්වාභාවයටද ප‍්‍රතිවිරුද්ධව, පුද්ගලයා ගේ මෙන් ම පුද්ගල සමූහයාගේ ද මනස ඊට නව දේවල් උරා ගැනීමේ ද, සුඛ නම්‍ය වීමේ ද අවස්ථානුරූපව සකස් වීමේ ද සුවිශේෂ ශක්තිය නිසා කැපී පෙනෙයි; තමන්ගේ ඉතා ම ආසන්න සත්වවිද්‍යාත්මක නෑදෑයන් වන ඒප් වානරයන්ට ඉහලින් පැවතීමෙහි ලා මිනිසා සතුව පවතින ශිෂ්ඨත්වයේ වාසිය රැඳී තිබෙන්නේ එම කරුනෙහි ය. විවිධ දේ උකහා ගැන්මේ හැකියාවෙන් හා නම්‍යතාවයෙන් යුත් මනස විසින් ස්වභාවික එනම් ජීව විද්‍යාත්මක සත්වයන්ට නොමැති, සමාජ ප‍්‍රගතිය සඳහා අවශ්‍ය පුර්ව කොන්දේසියක් වන අභ්‍යන්තර ව්‍යුහයේ විවිධ භාවයක් ඊනියා සමාජමය තත්වයන්ට ලබා දෙනු ලැබේ. ජාතීන්ගේ හා රාජ්‍යන්හි වර්ධනයෙහි විශේෂයෙන්ම ධනේශ්වර ජාතීන්ගේ හා රජයන්හි වර්ධනයෙහි සමාන බවක් හෝ නියමානුකූලතාවක් හෝ නොමැත. එකම රටක ජීවිතයෙහි ශිෂ්ඨාචාරයේ එකිනෙකට වෙනස් අවධීන් ධ‍්‍රැවාන්ත ගත ප‍්‍රතිවිරෝධයන් පවා එකිනෙක හමුව සම්මිශ‍්‍රනය වේ.

ඓතිහාසික පසුගාමිත්වය යනු සාපේක්ෂ සංකල්පයක් බව අපි අමතක නො කරමු. පසුගාමී රටවල් මෙන් ම දියුනු රටවල් ද ඇති නිසා ඒවා අතර අන්‍යොන්‍ය බලපෑමක් ද වේ; පසුගාමී රටවලට දියුනු රටවල් බලපායි. පසුගාමී රටවලට දියුනු රටවල [වර්ධනයන්] අත්පත් කර ගැනීමේ විද්‍යාව හා ඔවුන්ගේ ශිල්ප ඥානය ආදිය ලබා ගැන්මේ අවශ්‍යතාව ඇති වෙයි. මේ අයුරින් සම්මිශ‍්‍රිත ආකාරයක වර්ධනයක් ඇති වෙයි: පසුගාමිත්වයේ ලක්ෂන, ලෝක ශිල්ප ඥානයේ හා ලෝක චින්තනයේ උපරිම වර්ධනයන් සමග සංයෝජනය වෙයි. අවසාන වශයෙන් ඓතිහාසික වශයෙන් පසුගාමී රටවලට තමන්ගේ පසුගාමීත්වයෙන් ගැලවෙනු වස් සෙස්සන් අබිබවා වේගයෙන් ඉදිරියට යාමට සිදු වේ.

පුද්ගල මනෝවිද්‍යාවෙහි “හීන මානය ජය ගැනීම” යනුවෙන් හැඳින්වෙන දැය, සාමූහික විඥානයෙහි පවතින නම්‍යතාව නිසා කිසියම් නිශ්චිත තත්වයන් යටතේ සමාජ රංගයෙහි දී සාක්ෂ්‍යාත් කර ගත හැකි වෙයි. මේ අර්ථයෙන් අපට ඔක්තෝබර් විප්ලවය, රුසියන් ජනතාව තමන්ගේම ආර්ථික හා සංස්කෘතික පසුගාමිත්වය ජයගත් වීර වික‍්‍රමාන්විත ක‍්‍රමයක් ලෙස හැඳින්විය හැකි වෙයි.

එහෙත් අප දැන් මෙම ඓතිහාසික - දාර්ශනික, සමහර විට උවමනාවට වඩා වියුක්ත සාමාන්‍යයීකරනයන්ගෙන් ඔබ්බට ගොස් එම ප‍්‍රශ්නය ම වඩා සංයුක්ත ලෙස ඉදිරිපත් කරමු; එනම් ජීවමාන ආර්ථික සාධකයන් පිලිබඳ හරස් තලයක තබා බලමු. කෘෂිකර්මය හා සසඳන විට කර්මාන්තවලට ද ගම හා සසඳන විට නගරයට ද ගොවි ජනයා හා සසඳන විට කම්කරු පන්තියට ද ලැබී තිබුනු අල්ප ස්ථානය නිසා විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ දී රුසියාවේ පසුගාමිත්වය ඉතා පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් විය. මේ සියල්ලෙහි අර්ථය වූයේ ජාතික ශ‍්‍රමයේ නිෂ්පාදන ඵලදායිතාවය අල්ප වීමයි. යුද්ධයේ මුවවිට දී සාර් රුසියාව තම සමෘධියෙහි මුදුන් හිනි පෙත්තට නැග පැවති අවස්ථාවෙහි පවා එහි ජාතික ආදායම, එක්සත් ජනපදයෙහි ජාතික ආදායමට වඩා අට ගුනයකින් හෝ දහ ගුනයකින් අඩු වී ය යි පැවසීම ම මෙහි දී ප‍්‍රමානවත් ය.“සමෘධිය” යන වචනය පසුගාමිත්වය ප‍්‍රකාශ කරනු වස් උපයෝගී කර ගත හැකි නම් ඉහත සඳහන් කාරනයෙන් ම රුසියාවේ පසුගාමිත්වයේ “සමෘධිය” සංඛ්‍යාත්මක වශයෙන් ප‍්‍රකාශයට පත් වෙයි.

එහෙත් ඒ සමග ම ආර්ථික ක්ෂේත‍්‍රය පිලිබඳ සෑම පියවරක් පාසා ම සරල මෙන් ම සංකීර්න සිදුවීම්වල දී ද සම්මිශ‍්‍රිත වර්ධනය පිලිබඳ නියාමය ප‍්‍රකාශයට පත් වෙයි. මහමාවත් ඇත්තේ ම නැති තත්වයක රුසියාවට දුම්රිය මාර්ග තැනීමට සිදු විය. රුසියාව යුරෝපය විසින් පසු කරන ලද ගෘහීය කර්මාන්ත හා හස්ත කර්මාන්ත පිලිබඳ අවධීන් පසු නොකොට ම කෙලින් ම යන්ත‍්‍රානුසාරයෙන් කෙරෙන නිෂ්පාදනය කරා සම්ප‍්‍රාප්ත විය. අන්තර්ගත අවධීන් උඩින් පැන ගෙන යාම පසුගාමී රටවල ඉරනම යි.

ගොවි කෘෂිකර්මය බොහෝ අවස්ථාවල දහහත්වන ශතවර්ෂයේ පැවති මට්ටමෙහි ම රැඳී තිබුනු අතර රුසියානු කර්මාන්ත පරිමාවෙන් නොවේ නම් හැඩරුවෙන් දියුනු වන රටවල කර්මාන්ත පැවති මට්ටම කරා සේන්දු විය; ඇතැම් විට එම මට්ටම ද ඉක්මවා වේගයෙන් ඉදිරියට ගියේය. ඇමරිකා එක්සත් ජනපදයෙහි සම්පූර්න කාර්මික කම්කරු සංඛ්‍යාවෙන් සියයට දහ අටක් පමනි, දාහකට වැඩි කම්කරුවන් සංඛ්‍යාවක් යොදවාගත් යෝධ ව්‍යවසායන්හි වැඩ කලේ. රුසියාවේ මේ ප‍්‍රමානය සියයට 41 කට වඩා වැඩි ය. මෙම කරුන රුසියාවෙහි පසුගාමිත්වය පිලිබඳව ඇති ගතානුගතික සංකල්පය සමග පෑහීම අසීරුය. අනෙක් අතට මෙම කාරනයෙන් රුසියාවෙහි පසුගාමිත්වය ප‍්‍රතික්ෂේප කරනු නො ලැබේ; මෙම කාරනය රුසියාවෙහි පසුගාමිත්වයට අපෝහාත්මක අනුූපූරකයක් වෙයි.

රටෙහි පන්ති ව්‍යුහයෙන් පෙන්නුම් කෙරුනේ ද එම පරස්පර විරෝධී ස්වභාවය යි. යුරෝපීය මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් වර්ධනය වන වේගයකින් රුසියානු ආර්ථිකය කාර්මිකත්වයට පත් කරනු ලැබින. එතැන් පටන් කාර්මික ධනේශ්වර පන්තිය ජන - විරෝධී මහා පරිමාන ධනේශ්වරවාදී ස්වරූපයක් ගත්තේ ය. තව ද විදේශික කොටස් හිමිකරුවෝ රටින් පිටත ජීවත් වූහ. අනෙක් අතට ස්වභාවිකව ම කම්කරුවෝ රුසියන් ජාතිකයෝ වූහ. ජාතික මූලයන් නැති සංඛ්‍යාත්මක වශයෙන් දුර්වල වූ රුසියානු ධනේශ්වර පන්තියට විරුද්ධව මුහුනට මුහුන ලා සිටියේ ජනතාව අතර ගැඹුරු ශක්තිමත් මූලයන් ඇති සාපේක්ෂ වශයෙන් බලසම්පන්න වූ කම්කරු පන්තියකි.

සිය තරඟකරුවන් ලුහු බැඳ අල්ලා ගැනීමට බල කරනු ලැබ සිටි විශේෂයෙන්ම පසුගාමී රටක් වූ රුසියාවට, තමන්ගේ ම සමාජමය හා දේශපාලනික ගතානුගතික කම ගොඩ නගා ගැනීමට නො හැකි වීම පිලිබඳ කාරනයෙන්, රුසියන් නිර්ධන පන්තියේ විප්ලවවාදී ස්වභාවය තව දුරටත් වර්ධනය කරනු ලැබින. ඉපැරනිම ධනේශ්වර රට වූ එංගලන්තය යුරෝපයේ පමනක් නොව මුලු ලෝකයේම ඉතාමත් ම ගතානුගතික රට ලෙස නිවැරදිව ම සලකනු ලැබේ. ගතානුගතිකත්වයෙන් වඩාත්ම මිදුනු යුරෝපීය රට රුසියාව වීමට සෑම අතින්ම ඉඩකඩ තිබේ.

එහෙත් රුසියාවේ ලාබාල, අධිෂ්ඨාන සහගත, අලුත් කම්කරු පන්තිය තවමත් පැවැත්තේ ජාතික ජනගහනයෙන් ඉතා කුඩා සුලු කන්ඩායමක් හැටියට ය. රුසියාවේ විප්ලවවාදී ශක්තියේ අතිරේක බලකායන් පැවැත්තේ කම්කරු පන්තියට පිටින් - අර්ධ ප‍්‍රවේනිදාස ජීවිතයක් ගත කල ගොවියන් අතර හා පීඩිත ජාතීන් අතරය.

ගොවි ජනතාව

විප්ලවය මුල් බැස ගත්තේ ගොවි ජන ප‍්‍රශ්නයෙහිය. නව ධනේශ්වර සූරාකෑම පිලිබඳ තත්වයන් යටතේ පරන වැඩවසම් රාජාන්ඩු ක‍්‍රමය විඳ දරා සිටීම පෙර මෙන් දෙගුනයක් අසීරු විය. ගොවියන් පොදුවේ භුක්ති විඳි ඉඩම් ප‍්‍රමානය ඩෙසියටින් (ඩෙසියටින් 1 සමානයි අක්කර 1.40) දශලක්ෂ එකසිය හතලිහක් පමන විය. සාමාන්‍යයෙන් ඩෙසියටින් 2000 කට වඩා වැඩි ප‍්‍රමානයක් හිමි කර ගෙන සිටි 30,000ක් ලොකු ඉඩම් හිමියෝ සමග පොදුවේ ඩෙසියටින් හැත්තෑ ලක්ෂයක් අත් පත් කරගෙන සිටියහ; එය ගොවි ජනගහනයෙන් කෝටියක් පමන ප‍්‍රමානයකි. ඉඩම් අයිතිය පිලිබඳ මෙම සංඛ්‍යා ලේඛනයන්ම ගොවි කැරලි සඳහා කලින්ම සකසන ලද ක‍්‍රියා මාර්ගයක් බවට පත් විය.

1917 දී බොකෝර්කින් නමැති රදලයා අවසන් නාගරික ඩූමා වෙහි සභාපති වූ රොඞ්සියන්කෝ නම් නිලධාරියාට මෙසේ ලියා යැවුවේය. “මම ඉඩම් හිමියෙක්. මගේ ඉඩම් මට අහිමි වන බව මට සිතට නගාගන්නට බැහැ; ඒ මදිවාට සමාජවාදය අත්හදා බැලීම වැනි අදහා ගත නොහැකි අන්දමේ අරමුනක් සඳහා !” එහෙත් විප්ලවයේ කර්තව්‍යය වන්නේ ම පාලක පන්තියට සිතට නගා ගත නොහැකි අන්දමේ වැඩ කටයුතු සපුරාලීමයි.

1917 ශරත් ඍතුවේ මුලු රට ම වාගේ ගොවියන්ගේ කැරලි ගැසීම්වලින් යුක්ත විය. පරන රුසියාවේ දෙපාර්තමේන්තු හයසිය විසිහතරෙන් හාරසිය අසූ දෙකක් එනම් සියයට හැත්තෑ හතක් මෙම ව්‍යාපාරයන් නිසා අඩාල විය! දැවෙන ගම්මානවල පරාවර්තිත ආලෝකයෙන් නගරයේ සන්නද්ධ ජනතා නැගිටීම් පිලිිබඳ රංග භූමිය එලිය විය.

එහෙත් ඔබ ඉඩම් හිමියන්ට විරුද්ධව ගොවියන්ගේ යුද්ධය, කිසිසේත් කම්කරු විප්ලවයෙහි අංගයක් නොව ධනේශ්වර විප්ලවයේ සම්භාවනීය අංගයකැයි තර්ක කිරීමට ඉඩ තිබේ.

සම්පූර්නයෙන් නිවැරදි යැයි මම පිලිතුරු දෙමි. අතීතයෙහි දී එය එසේ විය. එහෙත් ධනේශ්වර පන්තියට ඓතිහාසික වශයෙන් පසුගාමී රටක පැවතීමට ඇති නුපුලුවන්කම ප‍්‍රකාශයට, පත් වූයේ ද ගොවි සන්නද්ධ නැගිටීම්වලින් රුසියාවේ ධනේශ්වර පන්තිය ඉදිරියට තල්ලු කරනු ලබනු වෙනුවට නැවත කිසිදාක පෙරලා නොඑන පරිද්දෙන් ආපස්සට, ප‍්‍රතිවිප්ලවයේ කඳවුරට එලවනු ලැබීමෙන්ම ය. සම්පූර්න විනාශයකට ගොදුරු නොවී සිටීමට නම් ගොවියන් විසින් එකම එක පියවරක් ගත යුතුව තිබුනි. මේ පීඩිත පන්ති දෙකෙහි විප්ලවවාදී එකමුතුව තම විශාරද භාවයෙන් පෙර දුටු ලෙනින් බොහෝ කලකට පෙර සිටම ඒ සඳහා සූදානමින් සිටියේය.

ධනේශ්වර පන්තිය විසින් ගොවි ජන ප‍්‍රශ්නය ධෛර්ය සම්පන්න ආකාරයකට විසඳා තිබුනේ නම් පැහැදිලි ලෙසම රුසියානු කම්කරු පන්තියට 1917 දී බලය අල්ලා ගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ප‍්‍රමාද වී ඉතිහාසයේ දර්ශන පථයට පිවිසි, ලා බාල වයසේදීම ජරාවට පත්ව සිටි කෑදර බියගුලු රුසියන් ධනේශ්්වර පන්තිය වැඩවසම් දේපොලවලට විරුද්ධව ඇඟිල්ලක් එසවීමට පවා බිය විය. ඒ අයුරෙන් ධනේශ්වර පන්තිය කම්කරු පන්තිය අතට බලය දුන්නේ ය; ඒ සමගම ධනේශ්වර සමාජයේ ඉරනම විසඳීමේ අයිතිය ද කම්කරු පන්තිය අතට දුන්නේය.

සෝවියට් රාජ්‍ය ජනිත වීමට එකිනෙකට වෙනස් වූ ඓතිහාසික ස්වභාවයන් ඇති සාධක දෙකක් එකමුතු වීම අවශ්‍ය විය: ඒ සාධක දෙක නම් ධනේශ්වර ක‍්‍රමයේ උදාව සලකුනු කරන ව්‍යාපාරයක් වූ ගොවියන්ගේ යුද්ධය හා කම්කරු පන්තියේ ආයුධ සන්නද්ධ නැගිටීම හෝ ධනේශ්වර ක‍්‍රමයේ පරිහානිය කියාපාන ජනතා නැගීටීමයි. රුසියන් විප්ලවයේ සම්මිශ‍්‍රිත ස්වරූපය අපට මෙහිදී පැහැදිලි වෙයි.

වලහාට එනම් ගොවියාට ඔහුගේ පස්සා ගාතවලින් සිට ගැන්මට වරක් ඉඩ දෙන්න. දරුනු කෝපය නිසා ඔහු අතිශයින්ම රෞද්‍ර වෙයි. එහෙත් තම කෝපයට දැනුවත් ප‍්‍රකාශනයක් දීමට ඔහුට නුපුලුවන. ඔහුට නායකයෙකු අවශ්‍යය. ආයුධ සන්නද්ධ නැගී සිටි ගොවියන්ට ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කම්කරු පන්තියෙන් අවංක නායකත්වය සැපයුනේය.

විප්ලවයේ දී කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර ඇති වූ ස්වභාවික අනිවාර්ය අන්‍යෝන්‍ය සම්බන්ධතාව වූයේ ගමනාගමන සේවයෙහි හා කර්මාන්තවල නියුක්තව සිටි දශලක්ෂ හතරක් කම්කරුවන් විසින් දශලක්ෂ සීයක ගොවි ජනතාවකට නායකත්වය දෙනු ලැබීමයි.

ජාතික ප‍්‍රශ්නය

කම්කරු පන්තියේ දෙවන අතිරේක විප්ලවවාදී බලවේගය සැදුම් ලද්දේ පීඩිත ජාතීන්ගෙනි. ඔවුහු ද ප‍්‍රධාන වශයෙන් ගොවියෝ වූහ. රාජ්‍යයේ වර්ධනයෙහි පැවති පැතුරුනු ස්වභාවය රටෙහි ඓතිහාසික පසුගාමීත්වය සමග ආසන්නයෙන් බැඳෙමින් තෙල් බිඳක් මෙන් මොස්කව් මධ්‍යස්ථානයේ සිට රුසියන් පරිධිය දක්වා පැතිරියේ ය. එය, නැගෙනහිර ප‍්‍රදේශයේ විසූ වඩාත් පසුගාමී කොටස් යටත් කලේය. එය නැගෙනහිර පසුගාමී කොටස් මත පදනම් වෙමින් බටහිර විසූ වඩා දියුනු ජාතීන් පීඩනයට පත් කලේය. ජනගහනයෙහි ප‍්‍රධාන කොටස වූ දශලක්ෂ හැත්තෑවක් මහා රුසියන්වරුන්ට ‘වෙනත් ජාතීන්ට’ අයත් දශලක්ෂ අනූවක පිරිසක් කෙමෙන් එකතු කෙරින.

මේ ආකාරයෙන් පැන නැගුනුු අධිරාජ්‍යයේ, පාලනය කල ජාතියට අයත් වූයේ අධිරාජ්‍යයේ ජනගහනයෙන් සියයට හතලිස් තුනක් පමනි. ඉතිරි සියයට පනස් හතක ජනගහනය සමන්විත වූයේ ශිෂ්ටාචාරයෙහි විවිධ මට්ටම්වලද අයිතිවාසිකම් නීත්‍යානුකූලව පැහැර ගනු ලැබීමේ විවිධ මට්ටම් වලද රැඳී සිටි ජාතීන්ගෙනි. රුසියාවෙහි ජාතිකවාදී පීඩනය ඒ අවට රාජ්‍යවල පැවති තත්වය හා සසඳාලිය නොහැකි තරම් කඨෝර විය; එය බටහිර දේශ සීමාවට ඔබ්බෙන් පැවති තත්වයන්ට ද වඩා රලුපරලු විය. ඒ හේතුවෙන් ජාතික ප‍්‍රශ්නයට ඉමහත් පුපුරන සුලු ශක්තියක් ආරෝපනය විය.

රුසියන් ලිබරල් ධනේශ්වර පන්තිය ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හෝ ගොවිජන ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හෝ පීඩාකාරී ප‍්‍රචන්ඩ පාලන තන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරනය කිරීමෙන් ඔබ්බට ගමන් කිරීමට අකමැති විය. මහා රුසියන් ධනේශ්වර පන්තියේ අවශ්‍යතාවන් පිලිබිඹු කල මිලියුකොව්ගේ හා කෙරන්ස්කිගේ ‘ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ආන්ඩු,’ තම පාලනය පැවති අටමසක කාලය තුල ‘ඔබ ලබා ගන්නේ බලය පෙන්වා ඔබට ලබා ගත හැකි දෑ පමනය.’ යන අදහස අතෘප්තියෙන් සිටි ජාතීන්ගේ සිත්වලට වේගයෙන් කා වැද්දුවේය.

කේන්ද්‍රාපසාරී ජාතික ව්‍යාපාරයන්ගේ වර්ධනයේ අනිවාර්යභාවය ලෙනින් විසින් කල් තියාම සැලකිල්ලට ගන්නා ලදී. බොල්ශෙවික් පක්ෂය වර්ෂ ගනනාවක් තිස්සේ ජාතීන්ගේ ස්වයං නිර්නයට ඇති අයිතිය සඳහා නොසැලී සටන් කලේය. එනම් සුලු ජාතීන්ට වෙන් වී වෙනම රාජ්‍යයන් පිහිටුවා ගැනීමේ අයිතිය සඳහා සටන් කලේය. ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ධෛර්ය සහගත ස්ථාවරය ගැනීමෙන්ම පමනි රුසියන් කම්කරු පන්තියට පීඩිත ජනතාවගේ විශ්වාසය ක‍්‍රමයෙන් දිනාගත හැකි වූයේ. ජාතික නිදහස් ව්‍යාපාරය ද ගොවිජන ව්‍යාපාරය මෙන්ම නිල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍යයෙන්ම විරුද්ධව ගොස්, කම්කරු පන්තිය ශක්තිමත් කොට ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රවාහයට එකතු වුනේය.

මෙසේ, ඓතිහාසික වශයෙන් පසුගාමී රටක කම්කරු විප්ලවය පිලිබඳ ප‍්‍රහේලිකාව තමන් වටා දැවටී පවතින ගුප්ත භාවයේ ආවරනයෙන් විමුක්ත වෙයි.

නො නවතින විප්ලවය

මාක්ස්වාදී විප්ලවවාදීහු සිදුවීම් ඇතිවීමට බොහෝ කලකට පෙර විප්ලවයේ පෙර ගමනත් තරුන රුසියානු කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරයත් පෙර දුටහ. එක්දාස් නවසිය පහේදී ලියන ලද මගේ ම පොතකින් කොටසක් උපුටා දැක්වීමට මෙහිදී මට අවසර ලැබෙතැයි සිතමි.

‘කම්කරු පන්තියට ධනේශ්වර ක‍්‍රමය දියුනුව පවතින රටකදී පුලුවන් වනාවට වඩා කල් වේලා ඇතුව ආර්ථික වශයෙන් පසුගාමී රටක දී බලය අල්ලා ගත හැකි ය...

‘ධනේශ්වර ලිබරල්වාදයේ ක‍්‍රියා මාර්ගයට පාලනයේ එය සතු දක්ෂතාව පරිපූර්න ලෙස විදහා දැක්වීමට අවස්ථාවක් ලැබෙන්නටත් පෙර (සාර්ථක විප්ලවයක දී කල යුතු වන) කම්කරු පන්තිය අතට බලය මාරු කිරීමේ කටයුත්ත සඳහා අවශ්‍ය වන කොන්දේසි රුසියන් විප්ලවය විසින් නිර්මානය කෙරෙනු ඇත.

‘ගොවි ජනතාවගේ ඉතාම මූලික විප්ලවවාදී අවශ්‍යතාවන්ගේ ඉරනම සමස්ත විප්ලවයේ ඉරනම සමග එනම් කම්කරු පන්තියේ ඉරනම සමග බැඳී පවතියි. බලය කරා එලඹෙන කම්කරු පන්තිය ගොවි ජනතාව ඉදිරියේ ඔවුන්ගේ විමුක්තිදායක පන්තිය ලෙස පෙනී සිටිනු ඇත.

‘ජාතියේ විප්ලවවාදී නියෝජිතයා ලෙසත් පරමාධිපතිත්වයට හා ප‍්‍රවේනිදාස භාවයේ ම්ලේච්ඡත්වයට විරුද්ධ අරගලයෙහි ජනතා නායකයා ලෙසත් කම්කරු පන්තිය ආන්ඩුවට ඇතුලු වෙයි.

‘කම්කරු ආන්ඩුවට එහි ආරම්භයේ සිට ම ගොවිජන ප‍්‍රශ්නය විසඳාලීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවෙනු ඇත. රුසියාවේ ජනගහනයෙන් අති විශාල කොටසකගේ ඉරනම සම්බන්ධ ප‍්‍රශ්නය මෙම ප‍්‍රශ්නය හා ගැට ගැසී තිබේ.’

මා අද ඉදිරිපත් කරන ඔක්තෝබර් විප්ලවය පිලිබඳ න්‍යාය වෙලාව පිරිමහ ගනු වස් අහම්බෙන් සකස් කරගන්නා ලද්දක් හෝ සිද්ධීන්හි බලපෑම යටතේ සිදුවීම් වලට පසුව ගොඩ නගාගන්නා ලද්දක් හෝ නොවන බවට සාක්ෂි වශයෙන් ඉහත සඳහන් ඡේද උපුටා දැක්වීමේ නිදහස මම මෙහි දී භුක්ති වින්දෙමි.

එම න්‍යාය ඔක්තෝබර් විප්ලවයට බොහෝ කලකට පෙර විප්ලවවාදී පෙර දැක්මක ස්වරූපයෙන් ඉදිරිපත් විය. සාමාන්‍යයෙන් න්‍යායක වටිනාකමක් ඇත්තේ වර්ධනය සිදුවන ආකාරය පෙර දැකීමටත් කිසියම් පරමාර්ථයකට අනුව එම වර්ධනය හැඩ ගැස්වීමටත් ඉන් ලැබෙන ආධාරයට අනුව යැයි යන්නට ඔබ එකඟ වනු ඇත. සාමාන්‍ය වශයෙන් පැවසුවොත්, එහෙයිනි, සාමාජික හා ඓතිහාසික සංස්ථාපනය උදෙසා පවතින අවියක් ලෙස මාක්ස්වාදයට ගිනිය නොහැකි වටිනාකමක් ඇත්තේ. ඉහත සඳහන් උද්ධෘත පාඨයෙහි සඳහන් කරුනු සංයුක්ත වශයෙන් විස්තර කොට දැක්වීමට දේශනයෙහි පටු සීමාවන්ගෙන් මට ඉඩක් නොලැබීම ගැන කනගාටු වෙමි. එහෙයින් එක්දාස් නවසිය පහෙන් මෙපිට දී කෙරුනු සම්පූර්න න්‍යායික කටයුතු පිලිබඳව කරන කෙටි සමීක්ෂනයකින් මම සෑහීමට පත් වෙමි.

රුසියන් විප්ලවය එයට කිරීමට සිදුවන මූලික වැඩකටයුතු වල ස්වභාවය අනුව සලකා බලන විට ධනේශ්වර විප්ලවයකි. එහෙත් රුසියන් ධනේශ්වර පන්තිය විප්ලවයට විරුද්ධ ය. ඒ නිසා විප්ලවයේ ජයග‍්‍රහනය සාක්ෂ්‍යාත් කර ගත හැක්කේ කම්කරු පන්තියේ ජයග‍්‍රහනයක ස්වරූපයෙන් පමනි. එහෙත් ජයග‍්‍රහනය කල කම්කරු පන්තිය ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක‍්‍රියා මාර්ගයෙන් නවතින්නේ නැත. එය සමාජවාදී ක‍්‍රියාමාර්ගය වෙත ගමන් කරනු ඇත. රුසියන් විප්ලවය සමාජවාදී ලෝක විප්ලවයේ ප‍්‍රථම පියවර වනු ඇත.

මෙය එක්දාස් නවසිය පහේ දී මවිසින් ඉදිරිපත් කරන ලද තැන් පටන් ‘ට්‍රොට්ස්කි වාදය’ යන නම යටතේ තියුනුම විවේචනයන්ට භාජන වූ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය යි.

වඩාත් නිවැරදිව කිවහොත් ඉහතින් දැක්වූයේ එම න්‍යායෙන් කොටසක් පමනි. වර්තමානයට විශේෂයෙන් ම වැදගත් වූ ඉතිරි කොටසින් මෙසේ පැවසේ.

වර්තමාන නිෂ්පාදන බලවේග ඒවායෙහි ජාතික සීමාවන් ඉක්මවා වර්ධනය වී බොහෝ කල් ය. ජාතික සීමාවන් ඇතුලත සමාජවාදී සමාජයක් ඉදි කල නොහේ. හුදකලා වූ කම්කරු රාජ්‍යකට සෑහෙන ආර්ථික ජයග‍්‍රහන ලබා ගත හැකි වූවත් ‘තනි රටේ සමාජවාදය’ පිලිබඳ ක‍්‍රියාමාර්ග සුලු ධනේශ්වර මනෝ රාජ්‍යයකි. ගැටුම්වලින් තොර සමාජවාදී සමාජයකට ක්ෂේත‍්‍රය විය හැකි වන්නේ එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවකට හා ඉක්බිතිව ලෝක සමාජවාදී සමූහාන්ඩුව පමනි.

අද මෙම න්‍යාය සිද්ධීන් විසින් පරීක්ෂනයට භාජන කරනු ලැබී මෙන් පසුව එය ඉවත දැමීමට පෙර තරම්වත් හේතුවක් මට නොපෙනේ.

ඔක්තෝබරයේ පුර්වාවශ්‍යතා

ඉහත ඉදිරිපත් කරන ලද සියලු කරුනුුවලට පසුව ද මැලපාර්ට් නම් ෆැසිස්ට්වාදී රචකයා ගැන මතක් කිරීම ප‍්‍රයෝජන දායකද? මූලෝපායෙන් ස්වාධීන වූ, ඕනෑම අක්ෂයක හෝ අංශයක දී උපයෝගී කර ගත හැකි, සන්නද්ධ නැගිටීම් ඇති කරනු වස් යොදා ගත හැකි ශිල්ප ක‍්‍රම වට්ටෝරුවක් වැනි උපාය මාර්ග රැසක කර්තෘත්වය ඔහු මා වෙත පවරයි. රාජ්‍ය කුමන්ත‍්‍රනය පිලිබඳව පර්යේෂන කල මෙම අවාසනාවන්ත න්‍යායවාදියා ඔහුගේ නමෙහි ස්වභාවයෙන් රාජ්‍ය කුමන්ත‍්‍රනය ජයග‍්‍රාහී ලෙස භාවිතයට දැමූ පුද්ගලයාගෙන් වෙන් කොට හඳුනා ගැනීමට පහසු වීම වාසියකි. ඒ හේතුවෙන් කිසිවෙක් මැලපාර්ට්, බොනපාර්ට් සමග කලවම් කර ගැනීමේ අන්තරායට මුහුන නොදෙයි.

එක්දාස් නවසිය දාහතේ නොවැම්බර් හත්වන දින ඇති වූ ආයුධ සන්නද්ධ නැගිටීමෙන් තොරව සෝවියට් රාජ්‍ය ඇති නොවනු ඇත. එහෙත් එම සන්නද්ධ නැගිටීම ද අහසින් කඩා වැටුනක් නොවේ. ඔක්තෝබර් විප්ලවයට ඓතිහාසික පූර්ව කොන්දේසි මාලාවක් අවශ්‍ය විය.

1. පරන පාලක පන්ති -රදලයන්, රාජාන්ඩුව හා නිලධාරි තන්ත‍්‍රය- කුනු වී යාම.

2. ජනතාව අතර මුල් බැස නොගත් ධනේශ්වර පන්තියේ දුර්වලතාව.

3. ගොවි ජන ප‍්‍රශ්නයෙහි විප්ලවවාදී ස්වරූපය.

>4. පීඩිත ජාතීන් පිලිබඳ ප‍්‍රශ්නයෙහි විප්ලවවාදී ස්වරූපය.

5. කම්කරු පන්තිය මත පැට වී තිබූ සමාජ දුෂ්කරතාවයන්ගේ පැවති තීරනාත්මක භාවය.

ස්වභාවිකවම මතුවුන මෙම පූර්ව කොන්දේසිවලට අතිශයින්ම වැදගත් වන නිශ්චිත ලෙසකින් ඒවාටම බැඳුනු තත්ත්වයන් පිලිබඳ කොන්දේසි ඊට එකතු කල යුතු වෙයි.

6. එක්දාස් නවසිය පහේ විප්ලවය, එක්දාස් නවසිය දාහතේ විප්ලවයේ මහා සිප්හල, ලෙනින්ගේ වචන වලින් පැවසුවොත් පූර්ව රංගය විය. විප්ලවයේ කම්කරු පන්ති එක්සත් පෙරමුනෙහි අත්‍යවශ්‍ය සංවිධාන ස්වරූපය වූ සෝවියට් සභා ප‍්‍රථම වරට ගොඩනංවනු ලැබුවේ එක්දාස් නව සිය පහේ දී ය.

7. අධිරාජ්‍යවාදී යුද්ධය සියලූ පරස්පර විරෝධයන් තියුනු කලේය. පසුගාමී කොටස් ඔවුන්ව එක තැන බැඳ තබන ලද බැම්මෙන් මුදා හලේය. මේ අයුරෙන් මහා කලබැගෑනියෙහි ගාම්භීර්යයේ විශාලත්වය සැකසීය.

බොල්ශෙවික් පක්ෂය

එහෙත් විප්ලවය පුපුරා ඒමට ඕනෑ තරම් ප‍්‍රමානවත් වූ මේ කොන්දේසි විප්ලවයේ දී කම්කරු පන්ති ජයග‍්‍රහනය සහතික කරනු වස් ප‍්‍රමානවත් නොවීය. මෙම ජයග‍්‍රහනය සඳහා තවත් එක කොන්දේසියක් අවශ්‍ය විය.

8. එනම් බොල්ශෙවික් පක්ෂය යි.

මා මෙය අවසානයට ඉදිරිපත් කරන්නේ පක්ෂය වැදගත්කමෙන් ඉතාම අඩු කොන්දේසිය ලෙස සලකන නිසා නොව තර්කානුගත සිදුවීම් පිලිවෙලක් අනුව කරුනු ඉදිරිපත් කර ගෙන යන විට එයට මෙම ස්ථානය හිමි වන හෙයිනි.

පක්ෂය වැදගත්කමෙන් අඩු කොන්දේසිය යයි මම කිසිසේත්ම නොසිතමි. මම එබඳු සිතුවිල්ලකින් ඉතාම දුරස්ථ වෙමි. ලිබරල්වාදී ධනේශ්වර පන්තියට තමන්ගේ කිසිම සහභාගීත්වයක් නැතුව සිදුවන අරගලවල ආධාරයෙන් බලය පැහැර ගැනීමට පුලුවන. වරකට වඩා ඔවුන් එසේ පැහැර ගෙන ඇත. මෙම කටයුත්ත කරනු වස් මැනවින් සකස් වූ බලය පැහැර ගැනීමේ අවයව ඔවුන්ට තිබේ. එහෙත් කම්කරු පන්තිය සිටින්නේ මීට වෙනස් වූ තත්වයකය. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් හුරුපුරුදුව ඇත්තේ දීමට මිස ගැනීමට නොවේ. ඔව්හු වැඩ කරති. ඔවුහු පුලුවන් තාක් කල් ඉවසගෙන සිටිති. බලාපොරොත්තු සහගත වෙති. ඉවසීමේ සීමාව ඉක්මවා යති. නැගී සිට සටන් වදිති. මිය යති. අනුන්ට ජය ලබා දෙති. පාවා දෙනු ලබති. බලාපොරොත්තු විරහිත වෙති. කරබා ගනිති. පෙරලා වැඩට යති. සියලු පාලන තන්ත‍්‍රයන් යටතේම ජනතාවන්ගේ ඉතිහාසය එබඳුය. බලය ස්ථීරසාර ලෙස නිශ්චිතවම සියතට ගැනීමට නම් චින්තනයෙහි ඇති පැහැදිලි බවින් ද විප්ලවවාදී අධිෂ්ඨානයෙන් ද සෙසු පක්ෂ අබිබවා යන පක්ෂයක් කම්කරු පන්තියට අවශ්‍යය.

මානව ඉතිහාසයෙහි පැවති අතිශයින්ම විප්ලවවාදී පක්ෂය යැයි යුක්ති යුක්ත ලෙස වරකට වඩා විස්තර කරනු ලැබූ බොල්ශෙවික් පක්ෂය රුසියාවෙහි නූතන ඉතිහාසයෙහි, එහි පවතින ජවන ගුනයෙන් යුතු සියල්ලෙහි ජීවමාන මූර්තියක් විය. ආර්ථිකයේ හා සංස්කෘතියේ වර්ධනයට අවශ්‍ය වන පූර්ව කොන්දේසිය සාර් ක‍්‍රමය පෙරලා දැමීම බව වටහාගෙන දීර්ඝ කාලයක් ගතව ගොස් තිබුනි. එහෙත් මේ කටයුත්ත සපුරාලනු වස් තිබුනු බලවේග ප‍්‍රමානවත් නොවීය. ධනේශ්වර පන්තිය විප්ලවයට බිය විය. බුද්ධිමත්හු ගොවියා නැගිටුවා ගැන්මට උත්සාහ කලහ. තමන්ගේම දුක් කරදරද තම අරමුනු ද සාමාන්‍යයීකරනයෙන් වටහා ගැන්මට අසමත් වූ මුෂික් ගොවියා බුද්ධිමතුන්ගේ ඉල්ලීමට ප‍්‍රතික‍්‍රියා කලේ නැත. බුද්ධිමත්හු ඩයිනමයිට්වලින් සන්නද්ධ වූහ. මෙම අරගලයෙන් සම්පූර්න පරම්පරාවක් ම නාස්ති වී ගියේය.

එක්දාස් අටසිය අසූහතේ මාර්තු පලවන දා ඇලෙක්සැන්ඩර් උලියානොව් අවසන් මහා ත‍්‍රස්තවාදී සැලැස්ම ක‍්‍රියාවට නැගුවේය. තෙවන ඇලෙක්සැන්ඩර් මරා දැමීමේ උත්සාහය ව්‍යර්ථ විය. උලියානොව් ද මීට සහභාගී වූ සෙසු අය ද මරා දමනු ලැබූහ. විප්ලවවාදී පන්තිය වෙනුවට රසායනික සංයෝග (බෝම්බ) ආදේශ කිරීමට දරන ලද උත්සාහය ඛේදජනක ඉරනමකින් කෙලවර විය. ජනතාවගෙන් තොරව භීම වික‍්‍රමාන්විත බුද්ධිමතුන්ගෙන් ද පලක් නැත. උලියානොව්ගේ බාල සොහොයුරු ව්ලැඩිමීර්, අනාගත ලෙනින්, රුසියන් ඉතිහාසයේ මහා පුරුෂයා වැඩුනේ මෙම කරුනුවලත් ඒවායේ අවසානයෙහිත් ආසන්න බලපෑමක් යටතේ ය. ලාබාල තුරුනු වියේදීම මාක්ස්වාදී පදනමක් මත සිටගත් ඔහු නිර්ධන පන්තිය වෙතට හැරුනේය. මොහොතකට හෝ ගම්මානය නොතකා නොසිටි ඔහු ගොවියන් යා යුතු මග කම්කරුවන් අතර සෙවීය. තම විප්ලවවාදී පුරෝගාමියන්ගෙන් ඔවුන් සතුව පැවති ආත්ම පරිත්‍යාගයට ඇති හැකියාව හා සීමාන්තය දක්වා ම ගමන් කිරීමට ඇති සූදානම උරුම කරගත් ලෙනින් ලා බාල වයසේදී ම අලුත් බුද්ධිමතුන් පරම්පරාවේ ද දියුනු කම්කරුවන්ගේ ද ගුරුවරයා බවට පත් විය. වර්ජනවලදී හා වීථි සටන්වලදී ද සිපිරි ගෙවල දී හා පිටුවහලේ දී ද කම්කරුවෝ අවශ්‍ය පන්නරය ලදහ. පරමාධිපතිත්වයේ අන්ධකාරය මධ්‍යයේ තම ඓතිහාසික මාර්ගය එලිය කර ගනු වස් ඔවුන්ට මාක්ස්වාදයේ ආලෝක ධාරාව අවශ්‍ය විය.

පිටුවහල් කරන ලද්දවුන් අතරෙහි ප‍්‍රථම මාක්ස්වාදී කන්ඩායම පැන නැගුනේ එක්දාස් අටසිය අසූ තුනේ දී ය. අනූ අටේ දී පැවැත්වුනු රහසිගත රැස්වීමකදී රුසියන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ ආරම්භය ප‍්‍රකාශයට පත් කරන ලදි. (ඒ දිනවල අපි සියල්ලෝම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යන නමින් හඳුන්වා ගනු ලැබූයෙමු.) එක්දාස් නවසිය තුනේ දී බොල්ශෙවික්වාදීන් හා මෙන්ෂෙවික්වාදීන් අතර බෙදීම ඇති විය. අවසාන වශයෙන් එක්දාස් නවසිය දොලහේ දී බොල්ශෙවික්වාදී කන්ඩායම ස්වාධීන පක්ෂයක් බවට පත් වූයේය.

බොල්ශෙවික් කන්ඩායම අවුරුදු දොලහක කාලය (1905-1917) අතරතුර තම අරගලවලින් සමාජයේ පන්ති යන්ත‍්‍රනය හඳුනා ගැන්මට උගත්තේය. එය, මූලිකත්වය ගැනීමට මෙන්ම පොදු අරමුනකට යටත්ව ක‍්‍රියා කිරීමට ද එක සමාන සමත්කම් ඇති කේඩර් කොටස් පුහුනු කලේය. එහි විප්ලවවාදී වැඩ කටයුතුවල විනය රැඳී පැවැත්තේ න්‍යායෙහි ඒකාග‍්‍රතාව ද, පොදු අරගලය පිලිබඳ සම්ප‍්‍රදාය ද පරීක්ෂනයට බඳුන් වූ නායකත්වය කෙරෙහි ඇති විශ්වාසය ද මතය.

එක්දාස් නවසිය දාහතේ දී පක්ෂය එබඳු විය. නිල මහජන මතය විසින් ද බුද්ධිමතුන්ගේ පුවත් පත්වල කරදහි ගෙරවිල්ල විසින් ද වෛර කරනු ලැබූ පක්ෂය ජනතාවගේ චලනයට අනුගත විය. එය කර්මාන්තශාලා ද රෙජිමේන්තු ද පාලනය කරන ලීවරය ස්ථීරසාර ලෙස දැඩි ග‍්‍රහනයෙහි තබා ගත්තේ ය. ගොවි ජන කොටස් තව තවත් පක්ෂය දෙසට හැරුනි. ජාතිය යන්නෙන් අප වටහා ගන්නේ වරප‍්‍රසාද ලත් මුදුනන් නොව ජනතාවගෙන් වැඩි කොටස නම් එනම් කම්කරුවන් හා ගොවියන් නම් එක්දාස් නවසිය දාහතේ දී බොල්ශෙවික්වරු නියම ජාතික රුසියන් පක්ෂයක් බවට පත් වූහ.

එක්දාස් නවසිය දාහතේ සැප්තැම්බරයේ දී ලෙනින් සංඥාව දුන්නේය. මේ දිනවල ඔහුට සැඟ වී සිටීමට සිදුව තිබුනි. සංඥාව මෙය විය. අර්බුදය මෝරා ඇත. සන්නද්ධ නැගිටීමේ වේලාව පැමින තිබේ. ඔහු නිවැරදි විය. යුද්ධය පිලිබඳව ද ඉඩම් හා නිදහස පිලිබඳව ද ප‍්‍රශ්නවලට මුහුන දුන් පාලක පන්ති නො ලිහිය හැකි ගැටලුවලට මැදිව සිටියේය. ඇත්තෙන්ම ධනේශ්වර පන්තියට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයක් උදා විය. මෙන්ෂෙවික් හා සමාජ විප්ලවවාදී යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දීමෙන් ද, ධනේශ්වර හා රදල දේපල හිමියන්ට වාසි සැලසීමේ හා ඔවුන් සමග සම්මුති ගැසීමේ තම ප‍්‍රතිපත්තිය මගින් ද ජනතාවන්ගේ සිත්වල තමන් කෙරෙහි ශේෂව පැවති අවසාන බින්දු මාත‍්‍ර විශ්වාසය පවා විසුරුවා හැරියේය. අවදි කරවනු ලැබූ යුද්ධ හමුදාවට තව දුරටත් අධිරාජ්‍යවාදයේ තමන්ට සතුරු වූ අරමුනු සඳහා සටන් කිරීමට වුවමනා නොවීය. ගොවීහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවවාදානුශාසනා ගනන් නොගෙන ඉඩම් හිමියන් ඉඩම් වලින් එලවා ගත්හ. ඉතාම ඈත දේශ සීමාවන් හි සිටි පීඩිත ජාතීහු පෙට්‍රෝග‍්‍රෑඞ් හි නිලධාරී තන්ත‍්‍රයට විරුද්ධව නැගී සිටියහ. අතිශයින්ම වැදගත් වන කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ සෝවියට්වල බොල්ශෙවික්වරු ආධිපත්‍යය ඉසිලූහ. කම්කරුවෝ හා සෝල්දාදුවෝ වැඩට බැහීමට ඉල්ලා සිටියහ. විසප්පුව පැසවා තිබුනි. අවශ්‍යව තිබුනේ වෛද්‍යවරයාගේ සැත්කම් කටුවෙන් එය පැලීමටයි.

මෙම සාමාජික හා දේශපාලන තත්වයන් යටතේ පමනි සන්නද්ධ නැගිටීමක් ඇති විය හැකි වූයේ. මේ අයුරින් එය නොවැලැක්විය හැකි දෙයක් බවට පත් විය. එහෙත් සන්නද්ධ නැගිටීම් සමග සෙල්ලම් කල නොහැකිය. සැත්කම් කටුව භාවිතා කිරීමේ දී අප‍්‍රවේශම් සහගත වන ශල්‍ය වෛද්‍යවරයාට විනාශය! සන්නද්ධ නැගිටීම කලාවකි. එයට ඊට ආවේනික නීති රීති ඇත.

පක්ෂය ඔක්තෝබර් සන්නද්ධ නැගිටීම පිලිබඳ යථාර්ථයට මුහුන දුන්නේ නිර්දය ගනන් බැලීමෙන් ද දැඩි අධිෂ්ඨානයෙන් ද යුතුව ය. ඊට ස්තූතිවන්නට පක්ෂය කිසිවක් බිල්ලට නොදීම වාගේ ජයග‍්‍රහනය කලේය. ජයග‍්‍රාහී සෝවියට්වල මාර්ගයෙන් බොල්ශෙවික්වරු පෘථිවි තලයෙන් හයෙන් එකක් පමන වන රටක නායකත්වය ලබා ගත් හ.

දැන් මට සවන් දෙමින් සිටින අයගෙන් වැඩි කොටසක් එක්දාස් නවසිය දාහතේදී කිසිසේත්ම දේශපාලනයෙහි නිරතව නො සිටියේ යයි සිතිය හැකිය. එය වඩාත් හොඳය. සෑම විටම සූකර නොවූවත් සිත් ගන්නා සුලු බොහෝ වැඩ කටයුතු අලුත් පරම්පරාව ඉදිරියෙහි ඇත. එහෙත් බොල්ශෙවික්වරුන් විසින් බලය ලබා ගනු ලැබීම පිලිගනු ලැබූයේ කිනම් ආකාරයකට ද යන වග මේ ශාලාවෙහි සිටින පරන පරම්පරාවට නිසැක වශයෙන්ම ඉතා හොඳින් මතක ඇත. අරුම පුදුම සහගත දෙයක් ලෙස, සාවද්‍ය වැටහීමක් ලෙස, අපචාරයක් ලෙස, ඒ සියල්ලටමත් වඩා ප‍්‍රභාතයේ පලමු හිරු රැස් දහරා සමග අතුරුදහන්ව යන නපුරු සිහිනයක් ලෙස බොල්ශෙවික්වරු පැය විසි හතරක් අල්ලා සිටිනු ඇත. සුමානයක්, මාසයක්, අවුරුද්දක්, නිරතුරුවම කාලසීමාව දික් කරන්නට සිදු විය. පලමු කම්කරු රාජ්‍යයට විරුද්ධව මුලු ලෝකයේම පාලකයෝ ආයුධ සන්නද්ධ වූහ. සිවිල් යුද්ධය උසිගන්වන ලදි. නැවත නැවතත් මැදිහත්වීම් කරන ලදි. හිංසාකාරී ඇහිරීම කරන ලදි. මෙසේ අවුරුද්දෙන් අවුරුද්ද ඉක්ම ගියේය. ඒ අතරවාරයේ ඉතිහාසය අවුරුදු පහලොවක සෝවියට් බලය වාර්තා කලේය.

ඔක්තෝබරය යුක්ති සහගත කල හැක්කේද?

කිසියම් විරුද්ධවාදියෙකු මෙසේ පවසනු ඇත. ‘ඔක්තෝබරයේ සිදුකරන ලද අනතුරු සහගත ක‍්‍රියාව අප බොහෝ දෙනෙක් සිතුවාට වඩා ස්ථීරසාර ක‍්‍රියාවක් බව හැබැයි, ඇතැම්විට එය හුදෙක් “අනතුරු සහගත සාහසික ක‍්‍රියාවක්” නූවූවාද විය හැකිය. එසේ වුවත්, “මෙබඳු විශාල වියදමක් දරා ලබා ගන්නා ලද්දේ කුමක්ද?” යන ප‍්‍රශ්නයෙහි වැදගත්කම හීන නොවේ. විප්ලවය සම්පූර්න වීමට ඔන්න මෙන්න කියා තිබිය දී බොල්ශෙවික්වරුන් ප‍්‍රකාශයට පත් කල ඇස ගිනිකන ලන පොරොන්දු සපුරනු ලැබී ද?

මේ කල්පිත විරුද්ධවාදියාට පිලිතුරු දීමට පෙර මෙම ප‍්‍රශ්නය එහි යථා ස්වරූපයෙන් ම අලුත් එකක් නොවන බව මතක් කර ගනිමු. ඇත්තෙන්ම මෙම ප‍්‍රශ්නය ඔක්තෝබර් විප්ලවය ජනිත වූ දා සිට එය පසුපසින් ම ලුහුබැඳ ආවේය.

විප්ලව සමයෙහි පෙට්‍රොග‍්‍රෑඞ් නුවර සිටි ක්ලෝඞ් ඇනේ නැමැති ප‍්‍රන්ස ජාතික පත‍්‍ර වාර්තාකරු එක්දාස් නවසිය දාහතේ ඔක්තෝබර් විසිහත් වන දා තරම් කලින් මෙසේ ලිව්වේය.

‘මැක්සිමල්වාදීන් (ඒ අවධියෙහි ප‍්‍රන්සවරු බොල්ශෙවික්වාදීන් මෙනමින් හැඳින්වූහ) බලය අල්ලා ගෙන ඇත; අතිශයින්ම වැදගත් දිනය එලඹ තිබේ. මම දැන් මට ම මෙසේ පවසමි. අප වෙත ලඟා වෙතැයි මෙපමන අවුරුදු ගනනාවක් මුලුල්ලේ අප ප‍්‍රතිඥා ලැබූ සමාජවාදී මිහිබට පාරාදීසය ප‍්‍රත්‍යක්ෂභාවයට පත්වන ආකාරය මම දැක බලා ගනිමි...’ ‘...ආකර්ශනීය, අන්තරායසහගත, වීර ක‍්‍රියාවක්!’ ‘...වරප‍්‍රසාද සහිත තත්වයක්!’ මේ අයුරින් ඔහු දිගටම ලියාගෙන යයි.

උත්ප‍්‍රාස සහගත වන්දනාමානයට යටින් පැවතියේ කෙබඳු අවංක වෛරයක් ද? වින්ටර් මාලිගය අල්ලා ගනු ලැබූ දාට පසු දා උදෑසනම මෙම ප‍්‍රතිගාමී පත‍්‍ර වාර්තාකරු එම පාරාදීසයට ඇතුලුවීමේ ටිකට් පතක් ලබා ගැනීමට තමන්ට ඇති අයිතිය ලියා පදිංචි කර ගැන්මට උත්සුක විය. විප්ලවය සිදු වී පසලොස් වසක් ඉක්ම ගොස් ඇත. අදත් සෝවියට් රාජ්‍යය සාමාන්‍යයෙන් සුඛිත මුදිත තත්වයක් පවතින රාජ්‍යයකට අල්ප සමානත්වයක් දැරීම පිලිබඳව අපේ සතුරෝ තම කුරිරු ප‍්‍රීතිය වඩ වඩා රලු පරලු ආකාරවලින් ප‍්‍රකාශයට පත් කරති. එසේ නම් විප්ලවයක් කුමටද? පරිත්‍යාග කුමට ද?

සෝවියට් රාජ්‍යය මුහුන දෙන ප‍්‍රතිවිරෝධයන්, දුෂ්කරතා, වැරදි සහ ඌනතා පිලිබඳව මගේ දැනෑඳුනුම්කම් අන් කිසිවකුගේ දැනෑඳුනුම්කම්වලට දෙවන නොවේය යන අදහස ප‍්‍රකාශ කිරීමට අවසර දෙන්න. ඒවා මම පුද්ගලික ලිවීමෙහි දී හෝ කථා කිරීමෙහි දී හෝ කිසිවිටකත් වසං නොකලෙමි. ගතානුගතික දේශපාලනය මෙන් නොව විප්ලවවාදී දේශපාලනය වසං කිරීම් උඩ ගොඩ නොනැංවිය හැකි බව මම විශ්වාස කලෙමි. දැනුත් විශ්වාස කරමි. ‘ඇති තතු හඬ ගා පැවසීම’ කම්කරු රාජ්‍යයක ඉහලම මූලධර්මය විය යුතුය.

එහෙත් නිර්මානාත්මක කාර්යය උදෙසා මෙන්ම විවේචනය උදෙසා ද ඉදිරි දර්ශනයක් අවශ්‍යය. මනෝමූලත්වය විශේෂයෙන්ම බරපතල ප‍්‍රශ්න සම්බන්ධයෙන් දුබල උපදේශකයෙකි. කාල පරිච්ඡේද සැසඳිය යුත්තේ කාර්ය භාරයන් සමග මිස ශඨ ප‍්‍රයෝගයන්හි පුද්ගලික දක්ෂතාව සමග නොවේ. අවුරුදු පහලොවක්! එය එක් මිනිහෙකුගේ ජීවිතයෙන් කොපමන කාලයක් ද? ඒ කාලය ඇතුලත අපේ පරම්පරාවෙන් අල්ප නොවූ පිරිසක් සොහොන් කරා ගෙන යනු ලැබූහ. ජීවත්වන්නවුන්ගේ හිසකෙස් අතරට අප‍්‍රමාන සුදු කෙස් ප‍්‍රමානයක් එකතු විය. එහෙත් මෙම අවුරුදු පහලොවම - ජනතාවකගේ ජීවිතයෙහි කෙතරම් නොවැදගත් කාල පරිච්ඡේදයක් ද! ඉතිහාසයෙහි හෝරා තලයෙන් මිනිත්තුවක් පමනි.

මධ්‍යකාලීන යුගයට විරුද්ධ අරගලය මගින් ස්ථාපිත වීමටත් විද්‍යාවෙහි හා ශිල්ප ක‍්‍රම විද්‍යාවෙහි තත්වය නගා සිටුවීමටත් දුම්රිය මාවත් තැනීමටත් විද්‍යුත් දහරාව උපයෝගී කර ගැනීමටත් ධනේශ්වර ක‍්‍රමයට ශතවර්ශ ගනනාවක් අවශ්‍ය විය. ඉන් පසුව? ඉන්පසුව ධනේශ්වර ක‍්‍රමය විසින් මානව වර්ගයා යුද්ධ හා අර්බුද පිලිබඳ අපායට ඇද දමනු ලැබිනි. එහෙත් සමාජවාදයේ සතුරන් විසින් එනම් ධනේශ්වර ක‍්‍රමයට භක්තිමත් අය විසින් සියලු අභිවර්ධනයන් සහිතව මහ පොලොව මත පාරාදීසයක් ගොඩ නංවනු වස් සමාජවාදයට දෙනු ලැබෙන්නේ වර්ෂ දශක එකහමාරක් පමනි.

අපි එවැනි වැඩකට කිසිම දාක කර නොදුන්නෙමු.

මහා පරිමාන පරිවර්තනීය ක‍්‍රියාදාමයන් මිනිය යුත්තේ ඊට ගැලපෙන තුලා මානයන්ගෙනි. සමාජවාදී සමාජය බයිබලයේ සඳහන් වන පාරාදීසය පිලිබිඹු කරනු ඇත්දැයි මම නොදනිමි. එසේ කරතියි සැක සහිතය. එහෙත් සෝවියට් සමූහාන්ඩුවෙහි තවම සමාජවාදය නැත. එහි ඇත්තේ ප‍්‍රතිවිරෝධයන්ගෙන් පිරුනු අතීත උරුමයේ බරින් පෙලුනු ඒ සියල්ලට අතිරේක වශයෙන් ධනේශ්වර රාජ්‍යවල හතුරු බලපෑමට හසුවුනු සංක‍්‍රමනීය තත්වයකි. ඔක්තෝබර් විප්ලවය නව සමාජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කලාය. සෝවියට් සමූහාන්ඩුව පෙන්නුම් කර ඇත්තේ සාක්ෂ්‍යාත් කර ගැන්මෙහි ප‍්‍රථම අදියර පමනි. එඩිසන් හැදූ පලමු ලාම්පුව ඉතා නරක එකක් විය. ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ගොඩ නැංවීම හා සම්බන්ධව සිදු වූ වැරදීම්වලින් ද සිදු කරන ලද වැරදිවලින් ද අනාගතය වෙන් කොට හඳුනා ගැන්මට අප උගත යුතුය.

එහෙත් ජීවත්ව සිටින මිනිසුන් මත කඩා හැලෙන අසන්තෝසය! විප්ලව විසින් අවශ්‍ය කෙරුනු පරිත්‍යාග විප්ලවයේ ප‍්‍රතිඵල විසින් යුක්ති සහගත කරනු ලැබේ ද? මෙය නිරර්ථක ප‍්‍රශ්නයකි. පරිපූර්න වාග් හරඹයකි. ඓතිහාසික ක‍්‍රියාදාමයන් ශේෂ පත‍්‍රයන් සකස් කරගෙන කරන ගනන් බැලීම්වලට ඉඩකඩ තබා ඇති සේය! එය එසේ නම් මානව පැවැත්මෙහි දුෂ්කරතා දුක් දොම්නස් සලකා බලා අපට මෙබඳු ප‍්‍රශ්නයක් ද ඇසිය හැකිය. ‘ඉපදීමෙහි ම පලක් ඇත්ද? ඊට හයින මේ ටික ද එකතු කලේය. ‘මෝඩයා පිලිතුරක් ද බලාපොරොත්තු වෙයි...’ මෙබඳු දෝමනස්ස සහගත සිතිවිලි විසින් උත්පත්තිය ලැබීමෙන්ද සෙස්සන්ට උත්පත්තිය ලබා දීමෙන් ද මානව වර්ගයා නොවලක්වනු ලැබීය. අනුපමේය ලෝක අර්බුදයක් පවතින මේ දිනවල පවා වාසනාවකට මෙන් සිය දිවි නසාගැනීම් ඇත්තේ නොවැදගත් ප‍්‍රමානයකි. එහෙත් ජනතාව සමූහයක් වශයෙන් නම් කිසිම දිනක සිය දිවි නසා ගැනීමට යොමු නොවේ. තමන් මත පැටවී ඇති බර තවදුරටත් උසුලා සිටිය නොහැකි වූ විට ඔවුහු විප්ලවය මගින් විමුක්තිය සොයති.

අනෙක් අතට සමාජවාදී පෙරලියේ බිලිගැනීම් ගැන කේන්තියට පත්ව සිටින මොවුහු කවරහු ද? බොහෝ විට අධිරාජ්‍යවාදී යුද්ධයට ගොදුරු බිලි ගැනීමට මාවත පෑදු අයම ය; යුද්ධයෙන් ප‍්‍රමෝදයට පත් ඉතා පහසුවෙන් ඊට අනුගත වූ අය මය. දැන් ප‍්‍රශ්න ඇසීමට අපට වාරය පැමින තිබේ. ‘යුද්ධය යුක්ති සහගත වී ද? එය අපට දුන්නේ මොනවාද? ඉගැන්වූයේ මොනවාද?’

හිපොලිට් ටයින් නැමැති ප‍්‍රතිගාමී ඉතිහාසඥයා ප‍්‍රන්ස විප්ලවයට විරුද්ධව ලියන ලද තම එකොලොස් වෙලුමකින් යුත් කෘතියෙන් ප‍්‍රන්ස ජාතිකයින්ට ජැකොබියන්වරුන්ගේ ඒකාධිපතිත්වය යටතේ ඉන් පසුව ද විඳින්නට වූ දුක් කරදර පිලිබඳව කුරිරු සතුටකින් යුතුව විස්තර කරයි. වඩාත්ම දුෂ්කර තත්වයන්ට මුහුන පෑවේ නගරයේ වුසූ පහල පන්තිවල අයත් ජනයා ය. එනම් සාමාන්‍ය ජනයාය. විප්ලව වෙනුවෙන් දැවැන්තම පරිත්‍යාගය කරන ලද්දේ ඔවුන් විසිනි. දැන් ඔවුන්ට හෝ ඔවුන්ගේ අඹුවන්ට සීතල රාත‍්‍රීන් මුලුල්ලේ ම පෝලිම්වල හිටගෙන සිට ආපහු හිස් අතින්ම නිවී ගිය ගිනි උදුන් සහිත නිවෙස් කරා යාමට සිදු විය. විප්ලවයෙන් දසවන වර්ෂයෙහි පැරිසිය පැවැත්තේ විප්ලව ආරම්භ වීමට පෙර එය පැවතුනාට ද වඩා දුගී තත්ත්වයක ය. විප්ලවයට විරුද්ධ තම විනාශකාරී නිගමනය යුක්ති සහගත කිරීමට ටයින්ට ආධාර කරන්නේ ඔහු විසින් සැලකිල්ලෙන් තෝරා ගන්නා ලද කෘතීම ආකාරයට පාස්සන ලද කරුනුුය. බලන්න, සාමාන්‍ය ජනයාට ඒකාධිපතියන් වීමට අවශ්‍ය විය. එහෙත් දැන් ඔවුන් දුක් ආගාධයකට තල්ලු වී ඇත.

මීටත් වඩා නීරස සදාචාරවාදී දෙසුමක් ගැන සිතා ගැනීමට ද අමාරුය. පලමුවෙන්ම, විප්ලවය විසින් රට දුක් කරදර ගොඩකට ඇද දමනු ලැබුවේ නම් එහි වරද මූලික වශයෙන් පැටවෙන්නේ ජනතාව විප්ලවයක් කිරීම කරා තල්ලු කල පාලක පන්තීන් මතය. දෙවැනිව, බේකරි ඉදිරියේ බඩගිනි පෝලිම්වලින්ම මහා ප‍්‍රන්ස විප්ලවය ක්ෂයව නොගියේය. නුතන ප‍්‍රන්සය සමස්තයක් වශයෙන් ද නූතන ශිෂ්ටාචාරය බොහෝ අතින් ද පැන නැගුනේ ප‍්‍රන්ස විප්ලවයේ ලේ ගංගාවෙනි.

පසුගිය ශත වර්ෂයේ හැට ගනන්වල එක්සත් ජනපයෙහි සිවිල් යුද්ධ සමයෙහි පන් ලක්ෂයක් මිනිස්සු මරනු ලැබූහ. මෙම ජීවිත පරිත්‍යාග යුක්ති සහගත වී යැයි කිව හැකි ද?

ඇමරිකන් වහල් හිමියන්ගේත් ඔවුන් හා එකට ගමන් කල මහා බ්‍රිතාන්‍යයේ පාලක පන්තීන්ගේත් දෘෂ්ටියෙන් නම් - නැත.! නීග්‍රෝ ජාතිකයාගේ හා බ්‍රිතාන්‍ය කම්කරුවාගේ දෘෂ්ටියෙන් නම් සම්පූර්නයෙන්ම ඔව්. සමස්තයක් වශයෙන් මානව වර්ගයාගේ වර්ධනය පිලිබඳ දෘෂ්ටියෙන් - යුක්ති සහගත භාවය ගැන කිසියම් හෝ ආකාරයක සැකයක් පැවතිය නොහැකිය. සීමා රහිත ක‍්‍රියාත්මක සමාරම්භයක් ද සැලසුම් ගත කරන ලද ශිල්ප විද්‍යාවක් හා ආර්ථික ශක්තියක් ද සහිත වර්තමාන එක්සත් ජනපදය ජනිත වූයේ එක්දාස් අටසිය හැටේ සිවිල් යුද්ධයෙනි. ඇමරිකන්වාදයේ මෙම ජයග‍්‍රහනය මත මානව වර්ගයා අලුත් සමාජය ගොඩ නංවනු ඇත.

ඔක්තෝබර් විප්ලවය තම පුරෝගාමීන් කිසිවෙකුත් නොකල තරම් ගැඹුරට සමාජයේ මෙතෙක් අත නොතබන ලද මට්ටම් කරා - එනම් එහි දේපොල සම්බන්ධතාවයන් කරා විනිවිද ගෙන ගියෝය. ඒ නිසාම ජීවිතයේ සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම විප්ලවයේ නිර්මානාත්මක බලපෑම හෙලි දරවු කරනු වස් වඩාත් දීර්ඝ කාලයක් අවශ්‍ය වෙයි. එහෙත් පෙරලියේ සාමාන්‍ය ගමන් මාර්ගය දැනටමත් පැහැදිලිය. සෝවියට් සමූහාන්ඩුවට තම චෝදකයන් හමුවෙහි හිස නමා ගෙන සමාව යැදීමේ භාෂාවෙන් කථා කිරීමට කිසිදු හේතුවක් නැත.

මානව වර්ධනයේ දෘෂ්ටියෙන් අලුත් රාජ්‍යය ඇගැයීමට නම් කෙනෙකු පලමුව මෙම ප‍්‍රශ්නයට පිලිතුරු දිය යුතුය. ‘සමාජ වර්ධනය ප‍්‍රකාශයට පත්වන්නේ කෙසේද? එය මැන ගත හැක්කේ කෙසේද?’

ඔක්තෝබරයේ ශේෂ පත‍්‍රය

අතිශයින්ම ගැඹුරු අතිශයින්ම විෂයබද්ධ ප‍්‍රශ්නයට භාජන කල නොහැකි නිර්නායකය මෙසේ පවසයි. සමාජ ශ‍්‍රමයෙහි නිෂ්පාදන ඵලදායිතාවේ වැඩීමේ ප‍්‍රමානයෙන් වර්ධනය මැන ගත හැක. මෙම දෘෂ්ටි කෝනයෙන් සලකා බලන විට ඔක්තෝබර් විප්ලවයේ වටිනාකම අත්දැකීම් මගින් දැනටමත් තක්සේරු කෙරී අවසානය. ඉතිහාසයේ පලමු වරට සමාජවාදී සංවිධානය පිලිබඳ මූලධර්ම, කෙටි කාලයක් ඇතුලත පෙර නොඇසූ විරූ පරිමානයක් නිෂ්පාදන ප‍්‍රතිඵල වාර්තා ගත කිරීමෙහි ලා තමන්ට ඇති හැකියාව පෙන්නුම් කර ඇත.

රුසියාවෙහි කාර්මික සංවර්ධනය පිලිබඳ ප‍්‍රස්ථාරය සරල දර්ශක නොම්මර වලින් ප‍්‍රකාශයට පත් කල හොත් ඒ මෙසේය. යුද්ධයට පෙර අවසන් අවුරුද්ද එනම් 1913, 100 ලෙස ගත්තොත්, සිවිල් යුද්ධයේ උච්ඡතම අවස්ථාව එනම් 1920 කර්මාන්ත සම්බන්ධව පහත් ම මට්ටම වෙයි. එනම් 25 කි. එනම් එය ප‍්‍රාග්-යුද්ධ නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවකි. 1925 දී එය 75 දක්වා එනම් ප‍්‍රාග් යුද්ධ නිෂ්පාදනයෙන් හතරෙන් පංගුව දක්වා නැංගේය. 1929 දී 200ක් පමන විය. 1932 දී 300 කි. එනම් යුද්ධයට ඔන්න මෙන්න කියා පැවති ප‍්‍රමානය මෙන් තුන් ගුනයකි.

ජාත්‍යන්තර දර්ශකය සම්බන්ධව ඇති අවබෝධයෙහි ආලෝකයෙන් චිත‍්‍රය වඩාත් පැහැදිලි වෙයි. එක්දාස් නවසිය විසිපහේ සිට එක්දාස් නවසිය තිස්දෙක දක්වා කාලය තුල ජර්මනියේ කාර්මික නිෂ්පාදනය එක හමාර ගුනයකින් අඩු විය. ඇමරිකාවෙහි එය දෙගුනයකින් අඩු විය. සෝවියට් සංගමයෙහි එය සිවු ගුනයකින් වැඩි විය. මෙම සංඛ්‍යාම (වර්ධනය) කියාපායි.

සෝවියට් ආර්ථිකයේ අඩුපාඩු සහිත පැත්ත ප‍්‍රතික්ෂේප කිරීමට හෝ සැඟවීමට මගේ අදහසක් නැත. කාර්මික සංවර්ධනය පිලිබඳව දර්ශකයෙ හි දැක්වෙන ප‍්‍රතිඵල කෘෂිකර්මාන්තයේ අවාසිදායී වර්ධනයේ බලපෑමට පුදුමාකාර අන්දමින් හසු වෙයි. එය (කෘෂි කර්මාන්තය) තවමත් මූලික වශයෙන් සමාජවාදී ක‍්‍රමයන් උපයෝගී කර ගැන්ම තෙක් නො නැගුනු එහෙත් ඒ අතර ම අවශ්‍ය ප‍්‍රමානයේ සූදානමකින් තොරව, ආර්ථික හෝ ශිල්පීය ආකාරයකට වඩා නිලධාරි තන්ත‍්‍රික ආකාරයකට සාමූහික කරනයේ මාවත දිගේ ගෙන යනු ලැබූ ක්ෂේත‍්‍රයකි. මෙය විශාල ප‍්‍රශ්නයකි. එහෙත් එය මගේ දේශනයෙහි සීමාවන් ඉක්මවා ගමන් කරයි.

ඉදිරිපත් කරන ලද දර්ශක නොම්මර වලින් තවත් එක අඩු ලුහුඬුකමක් පෙන්නා දිය යුතුය. සෝවියට් කාර්මික කරනයේ කදිම වූත් ස්වභාවයෙන් ම සැකයට භාජන කල නොහැකි වූත් ප‍්‍රතිඵල විසින් ආර්ථිකයෙහි විවිධාංග අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවෙහි ද ජවන ගුනයෙන් යුත් තුලනතාවයෙහි ද ඒ අනුව ඒවායේ නිෂ්පාදන ශක්තියෙහි ද දෘෂ්ටියෙන් තව දුරටත් කෙරෙන විමංශනයක් ඉල්ලා සිටිනු ලැබේ. මෙහි දී ඉමහත් දුෂ්කරතාවන් ද පසුබැසීම් ද නොවැලැක්විය හැකිය. ජුපිටර් ගේ හිසෙන් මිනර්වා පැන නැංගාක් මෙන් මුහුදෙහි පෙන අතරින් වීනස් පැන නැංගාක් මෙන් පස් අවුරුදු සැලස්මෙන් සමාජවාදය එහි පරිසමාප්ත ස්වරූපයෙන් යුතුව පැන නො නගියි. එය ඉදිරියේ වැරදීම්, නිවැරදි කිරීම් හා ප‍්‍රතිසංවිධාන කිරීම් සහිත වර්ෂ දශක ගනනාවක් තිස්සේ කල යුතු වැඩ කටයුතු වෙයි. තවද සමාජවාදී නිර්මානයට එහි යථා ස්වභාවයෙන් ම පරිසමාප්තිය ලබා ගත හැකි වන්නේ ජාත්‍යන්තර පසුතලයක පමනක් බව මෙහි දී අමතක නොකරමු. එහෙත් දැනට ලැබී ඇති ඉතාම සතුටුදායක ආර්ථික කරුනු පිලිබඳ ශේෂ පත‍්‍රයට පවා හෙලි කල හැකි වූයේ පූර්ව ගනන් බැලීම් වල සාවද්‍යතාවත්, සැලසුම් කිරීමෙහි දෝෂත්, සැලසුම් කරුවන්ගේ වැරදිත් පමනි. එයට කිසිසේත් ම අනුභූතික වශයෙන් ස්ථීරසාර ලෙස ස්ථාපිත කරනු ලැබ ඇති කරුන නිෂ්ප‍්‍රභා කල නොහැකිය. එනම් සමාජවාදී ක‍්‍රමවල ආධාරය ඇතුව සාමූහික ශ‍්‍රමයේ නිෂ්පාදන ඵලදායීතාව නො ඇසූ විරූ පරිමානයකට නැංවීමට ඇති පුලූවන් කමයි. ලෝක ඓතිහාසික වටිනාකමක් ඇති මෙම ජයග‍්‍රහනය කිසිවකුට හෝ කිසිවකට අප කෙරෙන් පැහැර ගැනීමට නුපුලුවන.

ඉහතින් කියන ලද කාරනාවලට පසුව ඔක්තෝබර් විප්ලවය විසින් රුසියාව එහි ශිෂ්ඨාචාරයේ බිඳ වැටීම කරා ගෙන යනු ලැබීය යන පැමිනිලි වලට කාලය වැය කිරීම නිශ්ඵල ය. ඒ කැලඹීමට පත් පාලක පන්තියේ මන්දිර වලින් ද විසිත්තාගාර වලින් ද නැගෙන කට හඬයි. කම්කරු පන්තිය විසින් පෙරලා දමන ලද වැඩවසම් ධනේශ්වර ශිෂ්ඨාචාරය ටල්මි බඳු විච්චූරන වලින් සැරසුම් සහිත ම්ලේච්ඡත්වය පමනි. එබඳු විච්චූරන රුසියන් ජනතාවට අල්ලා ගැනීමට අසීරු වූ අතර එය මානව වර්ගයාගේ භාන්ඩාගාරයට අලුත් දැයක් එකතු කලේ නම් ඒ මඳ වශයෙනි.

නැති වී ගියේ යැයි පිටුවහලේ සිටින ප‍්‍රතිවිප්ලවවාදීන් දුක් අඳෝනා නගන මෙම ශිෂ්ඨාචාරය කෙරෙහි ගෞරව පූර්වකව වුව ද අප මේ ප‍්‍රශ්නය වඩා නිවැරදි ආකාරයෙන් මතු කල යුතු ය. -එය විනාශ කරන ලද්දේ කිනම් අර්ථයකින් ද? එකම අර්ථයකිනි! ශිෂ්ඨාචාරයේ සම්පත්වලට කුඩා වූ සුලු කන්ඩායමකට පැවති ඒකාධිකාරය නැති කරන ලදී. එහෙත් පැරනි රුසියන් ශිෂ්ඨාචාරයෙහි සංස්කෘතික වටිනාකමක් ඇති සෑම දෙයක් ම ආරක්ෂිතව ඇත. බොල්ශෙවික්වාදී “හූනයෝ” (එනම් වනචාරීහු) මනසේ ජයග‍්‍රහන හෝ කලාවේ නිර්මාන හෝ පුපුරුවා නො හලහ. ඊට ප‍්‍රතිවිරුද්ධ ආකාරයට ඔව්හු මානව නිර්මාන ශක්තියේ සිහිවටන ප‍්‍රවේසමෙන් එකතු කොට පරිසමාප්ත ආකාරයට ඒවා පිලියෙල කලහ. රාජාන්ඩුවේ ද රදලයන්ගේ ද ධනේශ්වර පන්තියේ ද සංස්කෘතිය දැන් ඓතිහාසික කෞතුකාගාරවල සංස්කෘතිය බවට හැරී තිබේ.

ජනතාව උද්යෝගයෙන් මෙම කෞතුකාගාරවල ජීවත් නොවෙති. ඔව්හු උගනිති. ඔව්හු ගොඩනගති. ඔක්තෝබර් විප්ලවය රුසියන් ජනතාවට ඉගැන්වීය යන කාරනය ම, සාර් රුසියාවෙහි විසූ දුසිම් ගනන් ජනතාවට කියවීමට හා ලිවීමට ඉගැන්වීය යන කාරනය ම පමනක් කලින් පැවති සීමිත කොටු කරන ලද සමස්ත රුසියන් ශිෂ්ඨාචාරයට ම වඩා මිනිය නොහැකි තරම් ඉහලින් පවතියි.

තෝරාගන්නා ලද කිහිප දෙනෙකු සඳහා නොව සියල්ලන් ම සඳහා සැලසුම් කරන ලද නව ශිෂ්ඨාචාරයකට ඔක්තෝබර් විප්ලවය පදනම දමා ඇත. මුලු ලෝකයේ ම ජනතාවට මේ බව හැඟෙයි. කලක් ඔවුන්ගේ සිත්වල සාර් රුසියාව කෙරෙහි පැවති වෛරය තරම්ම සියුම්වූ අද ඔවුන්ගේ සිත්වල සෝවියට් රුසියාව කෙරෙහි පවතින හෘදයාංගම භාවයට හේතුව එය යි.

මානව භාෂාව සිද්ධීන්ට නම් දීම සඳහා මෙන්ම ඒවා අගැයීම සඳහා ද විස්ථාපනය කල නොහෙන උපකරනයකි. එය අහම්බ වූ ද තාවකාලික වූ ද කෘතීම වූ ද සියල්ල පෙරා ඉවත් කොට අතිශයින්ම මූලික වූ ද, අංග ලක්ෂිත වූ ද සම්පූර්න බරෙන් යුක්ත වූ ද සියල්ල තමන් වෙතට උරා ගනියි. රුසියාවේ වර්ධනයෙහි යුග දෙකක් ශිෂ්ට ජාතීන්ගේ භාෂාවන් විසින් කෙබඳු වූ සූක්ෂමතාවකින් වෙන් කොට හඳුන්වනු ලැබී ද යන්න සලකා බලන්න. රදලයන්ගේ සංස්කෘතිය ලෝකයට සාර්, කොසෑක් (අශ්වාරෝහක යුද භටයන්) පොග්‍රොම් (ජන ඝාතනය පිලිබඳ සැලැස්මක්) නාගයිකා (කසය) වැනි වචන ගෙනාවේය. ඔබ මේ වචන ද ඒවායෙහි අර්ථ ද දනී. ඔක්තෝබර් විප්ලවය ලෝක භාෂාවට බොල්ශෙවික්, සෝවියට්, කොල්කෝස් (සාමූහික ගොවිපල) ගොස්ප්ලෑන් (රාජ්‍ය පාලන කොමිසම) පියතිලෙට්කා (පස් අවුරුදු සැලැස්ම) යන වචන හඳුන්වා දුන්නේ ය. මෙහිදී ප‍්‍රායෝගික වාග් විද්‍යාව තම ඓතිහාසික මහාධිකරනය පවත්වයි.!

විප්ලවයෙහි අතිශයින් ම ගැඹුරු වූ ද දැන් ම මැන බලා ගැනීමකට නතු කිරීම අතිශයින් ම දුෂ්කර වූ ද අර්ථය ගැබ් වී ඇත්තේ විප්ලවය විසින් ජනතාවගේ ස්වභාවයන් හා ස්වරූපය හැඩ ගස්වනු ලැබීමෙහි ය. රුසියන් ජනතාව සෙමෙන් ක‍්‍රියා කරන අකර්මන්‍ය දෝමනස්ස සහගත ගූඪ පිරිසකැ යි යන අදහස පෘථුලව පැතුරුනකි. එසේ වූයේ අහම්බෙන් නොවේ. එම අදහසට අතීතයේ මූලයන් ඇත. එහෙත් විප්ලවය විසින් ජනතාවගේ චරිත ස්වභාවයෙහි ඇතිකරන ලද ගැඹුරු ආකාරයක ප‍්‍රතිඵල ගෙන දෙන වෙනස්කම් කෙරෙහි තව ම බටහිර රටවල්වල සැලකිල්ල අවශ්‍ය පමනට යොමු වී නැත. මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු විය හැකි ද?

ජීවිතය සම්බන්ධව අත්දැකීම් ඇති සෑම පුද්ගලයෙකුට ම තමන් දැන හඳුනා ගෙන සිටි, යමක් ඉක්මනින් වටහා ගැනීමේ ශක්තියෙන් යුත්, ප‍්‍රීතිමත්, බලපෑම්වලට නතුවනසුලු කිසියම් ලාබාල වයසැති තරුනයකු මතකයට නගා ගත හැකිය. ඒ තරුනයා පසු කලක හිටිහැටියේ කිසියම් බරපතල සදාචාරාත්මක බලපෑමක් යටතේ දියුනු වු චරිත ශක්තියෙන් හා තුලනතාවෙන් යුත් හැසිරීමෙන් යුක්ත වී හඳුනා ගැනීමට පවා නුපුුලුවන් තත්වයකට පත් වෙයි. සමස්ත ජාතියකගේ වර්ධනයෙහි මෙබඳු මානසික පරිවර්තනයන් ඇති කෙරෙනුයේ විප්ලවයෙනි.

ඒකාධිපතිත්වයට විරුද්ධ පෙබරවාරි සන්නද්ධ නැගටීම, රදලයන්ට හා අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ සන්නද්ධ අරගලය, ඔක්තෝබර් සන්නද්ධ නැගිටීම, ධනේශ්වර පන්තිය ද එයට ආධාර කල ඒ සමග සම්මුති ගැසූ පක්ෂ ද පෙරලා දැමීම, තුන් අවුරුද්දක් තිස්සේ සැතපුම් පන්දාහක පෙරමුනක පවත්වාගෙන ගිය සිවිල් යුද්ධය, වැටලීම් වලින් ගෙවීගිය වර්ෂ, සාගින්න දුක් කරදර සහ වසංගත කඩිමුඩියේ ආර්ථිකය යලි ගොඩ නැගීම සඳහා ගතවුනු වර්ෂ, නව දුෂ්කරතා නව පරිත්‍යාග මේවා කටුක එහෙත් මනා වූ පාසලක් නිර්මානය කරයි. බර මිටියක් වීදුරු කුඩු කරයි. එහෙත් වානේ වඩාත් දැඩි බවට පත් කරයි. විප්ලවය නැමති මිටිය ජනතාවගේ චරිතය නැමති වානේ වඩාත් දැඩි බවට පමුනුවයි.

සාර්ගේ නිලධාරියකු වූ සෙල්ව්ස්කි සන්නද්ධ නැගිටීම් සිදු වූ ආසන්න කාලයේ කේන්තියෙන් යුතුව මෙසේ ලිවුවේ ය. හිටිහැටියේ හදිසියෙන් ම පොටර් කෙනෙකු හෝ මුරකාරයෙකු අග‍්‍ර විනිශ්චයකාරයකු බවටත් ආරෝග්‍ය ශාලා සේවකයකු ආරෝග්‍ය ශාලා පාලකයකු බවටත් බාබර් කෙනෙකු නිලධාරියකු බවටත් සේවාවේ සුලු මුලාදැනියකු අන දෙන නිලධාරියකු බවටත් දවස් පඩියට වැඩ කරන්නකු නගරාධිපතියකු බවටත් ඉන්ජිනේරු කම්කරුවකු ෆැක්ටරි පාලකයෙකු බවටත් පරිවර්තනය වෙතැයි පැවසුවොත් එය විශ්වාස කරන්නේ කවුද?

‘විශ්වාස කරන්නේ කවුද?’ එසේ වුවත් විශ්වාස කරන්නට සිදුවිය. සේනාවේ සුලු මුලාදෑනින් ජනරාල් වරුන් පරාජය කරන විට නගරාධිපතියා එනම් කලින් සිටි දවස් පඩියට වැඩ කරන්නා පැරනි නිලධාරි තන්ත‍්‍රයේ විරෝධය බිඳ දමන විට කරත්තවලට තෙල් දමන්නා පරිවාහන ක‍්‍රමය ක‍්‍රමානුකුලව සකස් කරන විට, ඉංජිනේරු කම්කරුවා පාලකයා හැටියට කාර්මික උපකරන ක‍්‍රියාත්මක කෙරෙන තත්වයට පත් කරන විට විශ්වාස කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කල හැකි දෙයක් නොවීය. ‘විශ්වාස කරන්නේ කවුද?’ ඕනෑ කෙනෙකුට විශ්වාස නොකර සිටීමට පමනක් උත්සාහ කිරීමට ඉඩ දෙන්න. විප්ලව කාලය පුරා සෝවියට් ජනතාව පෙන්නුම් කරමින් සිටින පුදුම සහගත දරා සිටිමේ ශක්තිය පැහැදිලි කරනු වස් බොහො විදේශික නිරීක්ෂකයෝ පරන පුරුද්දට අනුව රුසියන් ජාතිකයන්ගේ අකර්මන්‍යතාවය පිලිබඳ අදහසෙහි පිහිට සොයා යති. යල් පැන ගිය ගොරෝසු වදන්! විප්ලවවාදී ජනතාවෝ ඉවසිලි සහගතව අගහිඟකම් උසුලා සිටිති. එහෙත් අකර්මන්‍ය ව නම් නොවේ. ඔවුන්ගේ අත් වලින් ඔවුන් වඩා හොඳ අනාගතයක් ගොඩ නංගවති. මොන වියදමක් දරා හෝ එය කිරීමට ඔව්හු අධිෂ්ඨාන කර ගනෙ සිටිති. පිටතින් සිට මෙම ඉවසන සුලු ජනතාව මත තම ආධිපත්‍ය පිහිටවනු වස් සතුරු පන්තිය උත්සාහ දැරුවා වේ! නැත, ඔවුන් ඒ උත්සාහය නොරදනවා නම් වඩා ගුනදායකය!

විප්ලවය හා ඉතිහාසය තුල ඊට හිමි ස්ථානය

දැන් (දේශනය) නිම කිරීම් වශයෙන් ඔක්තෝබර් විප්ලවයට රුසියන් ඉතිහාසයෙහි පමනක් නොව ලෝක ඉතිහාසයෙහි ද හිමි වන ස්ථානය නිශ්චය කිරීමට මට අවසර දෙන්න. එක්දහස් නවසිය දාහතේ වර්ෂයෙහි මාස අටක කාලයක් අතරතුර ඓතිහාසික චක‍්‍රයන් දෙකක් එකිනෙක ඡේදනය කලේය. පෙබරවාරි පෙරලිය - ඕලන්දය, එංගලන්තය, ප‍්‍රන්සය අතුලු මුලු මහත් යුරෝපා මහාද්වීපය පුරාම පාහේ පසුගිය ශත වර්ෂ ගනන මුලුල්ලේ සිදුවුන මහා අරගල වලින් ප‍්‍රමාද වී නැගුනු දෝංකාරය- ධනේශ්වර විප්ලව මාලාව අතුරෙහි තමන්ට අයත් ස්ථානය ගත්තී ය. ඔක්තෝබර් විප්ලවය කම්කරු පන්තිය ආධිපත්‍ය ප‍්‍රකාශයට පත් කොට එය ආරම්භ කලා ය. ලෝක ධනේශ්වර ක‍්‍රමය රුසියන් දේශයෙහි දී තම ප‍්‍රථම මහා පරාජයෙන් බැට කැවේය. දම්වැල එහි දුර්වලම පුරුකෙන් සිඳී ගියේ ය. එහෙත් සිඳී ගියේ දම්වැලමය. පුරුක පමනක් නොවේ. ධනේශවර ක‍්‍රමය ලෝක ක‍්‍රමයක් ලෙස තම ජීවිත කාල සීමාව ඉක්මවා ගොස් ඇත. එය තම මූලික කටයුතු සපුරාලීම එනම් මානව වර්ගයා ගේ ශක්තිය හා සම්පත් වල මට්ටම නංවා ලීම නතර කර තිබේ. මානව වර්ගයාට තමන් සම්ප‍්‍රාප්තව ඇති මට්ටමේහි පල් වෙමින් රැඳී සිටිය නොහැකිය. නිෂ්පාදන බලවේගයන්ගේ බලගතු වර්ධනයකටත් නිපදවීම හා බෙදා හැරීම පිලිබඳව මනා වූ එනම් සැලසුම් ගත කරන ලද සමාජවාදී සංවිධානයකටත් පමනි මානව වර්ගයාට -සියලු මානව වර්ගයාට සෑහෙන ජීවන තත්වයකුත් ඒ සමගම තමන්ගේ ම ආර්ථිකය සම්බන්ධව අගනා නිදහස් හැඟුමකුත් සහතික කර දිය හැක්කේ. දෙයාකාරයක නිදහසක්: පලමුවෙන්ම මිනිසාට තව දුරටත් තම ජීවිතයෙන් වැඩි කොටස කය වෙහෙසා කරන වැඩ කටයුතු කය වෙහෙසා කරන වැඩ කටයුතු වෙනුවෙන් කැප කිරීමට සිදු නොවනු ඇත. දෙවනුව ඔහුට තවදුරටත් වෙලඳ පොලේ නීතිරීති මත එනම් තමන්ගේ පිටුපසින් ක‍්‍රියාත්මක වන අන්ධ නො පැහැදිලි බලවේගයන් මත යැපෙන්නට සිදු නොවනු ඇත. ඔහු නිදහසේ, සැලැස්මකට අනුව, මාලිමාව අතැතිව තම ආර්ථිකය ගොඩ නංවනු ඇත. මෙහි දී ප‍්‍රශ්නය වන්නේ සමාජයේ සැකිල්ල මුල සිට අග දක්වා සම්පූර්නයෙන් ම එක්ස්-රේ ආලෝකයට හසු කොට එමගින් එහි සියලු රහස් එලි පෙහෙලි කිරීමත් අනතුරුව එහි සියලු වැඩ කටයුතු සාමූහික මනුෂ්‍යයාගේ තර්ක බුද්ධියට හා අධිෂ්ඨානයට නතු කිරීමත් ය. ඒ අනුව සමාජවාදය මානව වර්ගයාගේ ඓතිහාසික ප‍්‍රගමනයෙහි අලුත් පියවරක් බවට පත් විය යුතුය. ගල් කෙටේරියක් අතින් ගත් අප මී මුත්තා ඉදිරියේ මුලු ස්වභාව ධර්මය ම නියෝජනය කලේ හතුරු රහස් බලවේගයන් ගේ කුමන්ත‍්‍රනයකි. එවක් පටන් ප‍්‍රායෝගික ශිල්ප ක‍්‍රම විද්‍යාවත් සමග අතිනත ගත් ස්වභාවික විද්‍යාව ස්වභාව ධර්මයේ ගැඹුරුම රහස් තැන් දක්වා එලි පෙහෙලි කර ඇත. භෞතික විද්‍යාඥයා විද්‍යුත් ශක්තියේ ආධාරයෙන් පරමානුවෙහි න්‍යෂ්ටිය ගැන පවා අදහස් පල කරයි. විද්‍යාව රස විද්‍යාඥයාගේ කටයුත්ත පහසුවෙන්ම නිරාකරනය කොට පෝර රත්රන් බවටත් රත්රන් පෝර බවටත් හරවන දිනය දුර නොවේ. එක්තරා අවධියක ස්වභාව ධර්මයේ රකුසන් හා කෲරතර බලවේගයන් වියරුවෙන් ගිගුම් දුන් ස්ථානවල අද මිනිසාගේ කාර්යශීලී අධිෂ්ඨානය වැඩෙන ධෛර්යයෙන් යුතුව රජය යි.

ස්වභාව ධර්මය සමග ජයග‍්‍රාහී ආකාරයෙන් පොර බැදූ මිනිසා තම තමන් අතර සම්බන්ධකම් ගොඩ නගා ගත්තේ මීමැස්සා හෝ කුහුඹුවා මෙන් අන්ධවය. ඔහු මානව සමාජයේ ප‍්‍රශ්නයන් කරා එලඹියේ හෙමි හෙමින් තැනින් තැන නැවතී හති අරිමින් ය. ඔහු ආගමෙන් පටන් ගෙන දේශපාලනය කරා ගමන් කලේය. මලගිය සම්ප‍්‍රදාය විසින් පාලනය කරනු ලැබූ රාජධානියක ධනේශ්වර පුද්ගලවාදයේ හා බුද්ධිවාදයේ ප‍්‍රථම ජයග‍්‍රහනය ආගමික ප‍්‍රතිසංස්කරන ව්‍යාපාරයෙන් නියෝජනය විය. විවේචනාත්මක චින්තනය පල්ලියෙන් රාජ්‍ය වෙතට ගමන් කලේය. පරමාධිපතිත්වයට හා මධ්‍යකාලීන සමාජ තට්ටූන්ට විරුද්ධ අරගලයෙන් නිපන් ජනතාවගේ ස්වාධිපත්‍ය හා මිනිසාගේ ද, පුරවැසියාගේ ද අයිතීන් පිලිබඳ ධර්මතාවය ශක්තියෙන් වර්ධනය විය. පාර්ලිමේන්තු වාදයේ ක‍්‍රමය මෙසේ පැන නැංගේය. විවේචනාත්මක චින්තනය ආන්ඩු තන්ත‍්‍රය ක්ෂේත‍්‍රයට විනිවිද ගෙන ගියේය. විප්ලවවාදී ධනේශ්වර පන්තියේ ඉහලම ජයග‍්‍රහනය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දේශපාලනික බුද්ධිවාදයයි.

එහෙත් ස්වභාව ධර්මය හා රාජ්‍යය අතරෙහි ආර්ථික ජිවිතයක් පවතී. ශිල්පක‍්‍රම විද්‍යාව පෞරානික භූතයන්ගෙන් - එනම් පෘථිවිය, ජලය, ගින්දර හා සුලඟ යනාදියෙන් මිනිසා මුදා ගත්තේ එහි කෲරතර ආධිපත්‍යයට ඔහු යටත් කිරීමට යි. මිනිසා ස්වභාව ධර්මයෙහි වහලෙකු වීමෙන් වැලකුනේ යන්ත‍්‍රයට, ඊටත් වඩා දරුනු වු ඉල්ලුමට හා සැපයුමට වහලෙකු බවට පත්වීමටයි. සමුදුර පතුලට කිමිදෙන උපරි තලය වෙතට මතුවෙන පොලොවේ අනෙක් පැත්තෙහි වසන්නන් සමග අදෘශ්‍යමාන තරංග වලින් කතා කරන මෙම නිර්භීත ප්‍රෞඪ සොබාදහමේ පාලකයා තමන්ගේ ම ආර්ථිකයෙහි අන්ධ බල වේගයන්ට වහලෙකුව සිටින හැටි වර්තමාන ලෝක අර්බුදය ඉතාම ඛේදජනක ආකාරයෙන් පැහැදිලි කර දෙයි. වෙලඳ පොලේ පාලනයෙන් තොර අරාජක ක‍්‍රියාදාමයන් වෙනුවට යුක්තියුක්ත කිරීම සංස්ථාපනය කිරීමෙන් ද, නිෂ්පාදන බලවේග විනය ගතකොට, සාමූහිකව අවිරෝධී ආකාරයෙන් මානව වර්ගයාගේ අවශ්‍යතා සැපිරෙන ආකාරයෙන් ඒවාට ක‍්‍රියා කිරීමට සැලැස්වීමෙන් ද අපේ යුගයේ ඓතිහාසික කාර්යභාරය සමන්විත වෙයි. මිනිසාට විඩාපත් අවයවයන්ට විවේකයක් ලබා දිය හැකි වනුයේ මෙම නව සමාජ පදනමෙහි පමනි - එහිදී තෝරාගන්නා ලද අතලොස්සක් පමනක් නොව සෑම මිනිහෙක් හා ගෑනියෙක්ම චින්තන ක්ෂේත‍්‍රයෙහි සම්පූර්න බලතල සහිත පුරවැසියෙකු බවට පත් වෙයි.

මානවයාගේ අනාගතය

එහෙත් මෙය තවමත් මාර්ගයේ කෙලවර නොවේ. නැත, එය මාර්ගයේ ආරම්භය පමනි. මිනිසා සමස්ත නිර්මානයේ මුදුන් මල්කඩ ලෙස තමන් හඳුන්වා ගනියි. එසේ හඳුන්වා ගැනීමට ඔහුට කිසියම් අයිතියක් ද ඇත: එහෙත් වර්තමාන මිනිසා මානව පරම්පරාවේ අවසන් උත්තම නියෝජිතයා බවක් කිසිවෙකු පවසා ඇත්ද? නැත; ඔහු කායික හා මානසික පරිසමාප්තියෙන් බොහේ දුරට හීනව, දුබල චින්තනයෙන් යුක්තව කායික වශයෙන් අපරිනත තත්වයකින් උපන්නෙකි. ඔහු විසින් කිසිදු ඓන්ද්‍රික සමතුලිතතාවයක් නිර්මානය කර ගෙන නැත.

මානව වර්ගයා වරකට වඩා තම සමකාලීනයන්ට ඉහලින් චින්තන විෂයෙහි හා ක‍්‍රියා විෂයෙහි කඳුපෙලක් මෙන් නැගුනු යෝධයන් ජනිත කර ඇති බව සැබවි. මානව වර්ගයාට තමන්ගේ ඇරිස්ටෝටල්, ශේක්ස්පියර්, ඩාවින්, බීතෝවන්, ගර්තෙ, මාක්ස්, එඩිසන් සහ ලෙනින් ගැන ආඩම්බර වීමට අයිතියක් ඇත. එහෙත් ඔවුන් මෙතරම් දුර්ලභ ඇයි? වෙනත් කිසිවකට වඩා මෙයට හේතු වන්නේ ඔවුන් එක් අයෙකු නෑර ඉහල පන්තියෙන් හා මධ්‍යම පන්තියෙන් පැමිනීමයි: ඉතාම දුර්ලභ අවස්ථාවන්හි හැරුනු විට පීඩිත ගැඹුරෙහි වෙසෙන ජනතාවගේ විශිෂ්ට විශාරද ශක්තීන් දැල්වෙන්නටත් පෙර නිවී යයි. එහෙත් මෙහි ද තවත් හේතුවක් ඇත. එනම් මිනිසෙකු හැදීම ද වැඩීම ද අධ්‍යාපනය ලැබීම ද යන ක‍්‍රියාදාමයන් න්‍යායයේ හා භාවිතයේ ආලෝකය නොලැබ විඥානයේ හා අධිෂ්ඨානයේ පාලනයෙන් තොරව මූලික වශයෙන් අහම්බෙන් මෙන් සිදුවූ හා සිදු වන දෑ ලෙස පැවතීමයි. කය හා මනස වර්ධනය කිරීමෙහි හා පරිසමාප්තියට පත්කිරීමේ කාර්යභාරයන් ඒවායෙහි යථා පරිමානයෙන් මානව වර්ගයා ඉදිරියේ මතු කරනු වස් මානව විද්‍යාව, ජීව විද්‍යාව, කායික විද්‍යාව හා මනෝ විද්‍යාව යනාදිය විසින් පර්වත සමාන කරුනු සම්භාර ගොඩ ගසනු ලැබ ඇත. මනෝ විද්‍යාව විසින් සිග්මන් ප්‍රොයිඞ්ගේ තීක්ෂන ඥාන පරවශ හස්තය උපයෝගී කරගෙන කවි සමයානුගතව ‘ආත්මය’ යැයි පැවසෙන පතලෙහි ආවරනය ඉවත් කරනු ලැබීය. හෙලිදරවු වූයේ මොනවාද? අපේ සවිඥානක චින්තනය අඳුරු මානසික බලවේගයන් ගේ හා ක‍්‍රියාවන් ගේ අල්පමාත‍්‍ර කොටසක් පමනි. නිපුන කිමිදුම් කරුවෝ සයුරු පත්ලෙහි කිමිද ගුප්ත මත්ස්‍යයන්ගේ ඡායාරූප ගනිති. මානව චින්තනය තමන්ගේ ම මනෝ මූලාශ‍්‍රයන්හි පතුලට කිමද ආත්මයෙහි ඉතාම ගුප්ත ශක්තීන් වෙත එලිය විහිදා එම ශක්තීන් තර්ක බුද්ධියට හා අධිෂ්ඨානයට නතු කල යුතුය.

තම සමාජයේ පවතින අවුල් වියවුල් සහගත බලවේග සම්බන්ධ ව ක‍්‍රියා කොට හමාර වූ පසු මිනිසා රසායන විද්‍යාඥයාගේ නල ආධාර කොටගෙන තමන් සම්බන්ධව ම ක‍්‍රියාවට බසිනු ඇත. පලමු වතාවට මානව වර්ගයා තමන් අමුද්‍රව්‍ය ලෙස නැත්නම් ඉතාම ඉහල මට්ටමෙන් ගෙන සැලකුවොත් කය, මනස යන දෙකෙන් සමන්විත අර්ධ නිෂ්පාදිතයක් ලෙස සලකනු ඇත. සමාජවාදය මේ අර්ථයෙන් ද අවශ්‍යතාව පිලිබඳ ක්ෂේත‍්‍රයේ සිට නිදහස පිලිබඳ ක්ෂේත‍්‍රයට ගසන පිම්මක් වනු ඇත. එනම් සියලු ප‍්‍රතිවිරෝධයන් ගෙන් හා විශමතාවන්ගෙන් සමන්විත වර්තමාන මිනිසා විසින් වඩාත් ප‍්‍රීතිමත් නව පැවැත්මකට මාවත විවෘත කිරීමක් වනු ඇත.

සටහන්:

නැපෝලියන් බොනපාර්ට් (1780-1821): 1804 දී කුමන්ත‍්‍රනයකින් ප‍්‍රන්සයේ බලය අල්ලා ගෙන ප‍්‍රන්සය අධිරාජ්‍යයක් ලෙස ද තමා එහි අධිරාජයා ලෙසද නම් කර ගත්තේය.

කාර්ල් වොන් ක්ලොසෙවිට්ස් (1790- 1831) : ප‍්‍රසියානු හමුදා නිලධාරියෙකි. මිලිටරි න්‍යායඥයෙකි

ඩූමා: 1917 විප්ලවයට පෙර රුසියාවේ පාර්ලිමේන්තුව. ඊට පැවතුනේ සීමිත චන්ද බලයකි.

ජකොබින්ස්: ප‍්‍රන්ස විප්ලවයේ රැඩිකල් අංශය නියෝජනය කල ව්‍යවස්ථා මිතුරු සමාජය සංවිධානයේ ජනප‍්‍රිය නාමයයි.

ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි (1882-1970): 1917 දී රුසියාවේ ප‍්‍රතිසංස්කරනවාදී අගමැතියෙකුවූ ඔහු ඔක්තෝබර් විප්ලවයේදී පෙරලා දමන ලදී.

ලිබ්නෙක්ට්, විල්හෙල්ම් (1826-1900): ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භකයා වූ බෙබෙල් පසෙකින්

ලිබ්නෙක්ට්, කාල් (1871-1919): ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ වාමාංශයෙහි නායකයා විය. පලමු ලෝක සංග්‍රාමයට විරෝධය දැක්වූ අතර රෝසා ලක්සම්බර්ග් සමග එක්ව ස්පාටකස්බුන්ඩ් කන්ඩායම ගොඩනැංවීය. ප්‍රතිගාමී හමුදාවන් විසින් 1919 ජනවාරියේදී මරාදමන ලදී.

මෙන්ෂෙවිකයෝ: රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ ප්‍රතිසංස්කරනවාදීන්ය. 1912 වන තෙක් ඔවුන් හා බොල්ෂෙවිකයින් වෙනම පක්ෂ ලෙස පැවතුනි. මෙන්ෂෙවිකයෝ 1917 ඔක්තෝබර් විප්ලවයට වරුද්ධ වූහ.

මිලියුකොව්, පෝල් (1859 1943): රුසියානු ධනේශ්වර කැඩෙට් පක්ෂයේ නායකයාය. 1917 මැයි වනතෙක් විදේශ කටයුතු පිලිබද ඇමතිවරයාය.

පොයින්කෙයා, රේමන්ඩ් (1860-1934): 1913-20 අතර කාලයේ ප්‍රන්ස ජනාධිපතිය. 1912දී ද 1922-24 හා 1926-29 කාලයේ අගමැතිය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය: දෙවැනි ජාත්‍යන්තරය ලෙස ද ප්‍රකටය. 1889දී පිහිටුවන ලද දෙවන ජාත්‍යන්තරය, යුරෝපය පුරා ද අනෙක් රටවල ද සමාජවාදී පක්ෂවල කම්කරුවන් සංවිධානය කලේය. එයට ඇතුලත් පක්ෂ බහුතරයක් අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දීමත් සමග 1914දී එය බිද වැටුනි.

සමාජ විප්ලවවාදීන් (එස්ආර්වරු): එය ගොවි සමාජවාදී පක්ෂයකි. 1917දී භේද විය. වාම එස්ආර්වරු කාලයක් තුල සෝවියට් ආන්ඩුවට සම්බන්ධව සිටි අතර දක්ෂිනාංශික එස්ආර්වරු, විප්ලවයට විරුද්ධ වූහ.

Share this article: