බ්‍රික්සිට් තීරනය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර කරනු ඇත
Brexit to intensify Sri Lankan economic crisis
සමන් ගුනදාස විසිනි, 2016 ජූලි 6
මෙරට භාන්ඩ අපනයනයන් සඳහා බ්‍රිතාන්‍ය දෙවන විශාලතම වෙලඳපොල වන අතර සංචාරකයන් පැමිනෙන තුන්වන විශාලතම මූලාශ්‍රය හා විදේශ ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සම්ප්‍රේෂන මුදල් වලින් සියයට 18 ක් සැපයෙයි. බ්‍රිතාන්‍ය පවුම අවප්රමානවීමක් ද යුරෝපා සංගමයේ රැකියා සැපයුම් ක්‍රමවේදයන්ගෙන් හිමිවන සහන බ්‍රික්සිට් ඡන්දයෙන් පසුව මෙරට සේවකයිනට අහිමි වීමක් ද බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ඇති විය හැකි හැකිලීමක් ශ්‍රී ලංකාවේ දැවෙන ගෙවුම් ශේෂ ගැටලුව වඩාත් උග්‍ර කරනු ද ඇත.
තව ද බ්‍රික්සිට් තීරනය, යුරෝපා සංගමය සමග ශ්‍රී ලංකාවේ වෙලඳාම මත ද බලපෑමක් එල්ල කරනු ඇත. යුරෝපා සංගමයේ රටවල් කරා යන අපනයනයෙන් සියයට 40 ක්ම දැනට යැවෙන්නේ බ්‍රිතාන්‍යය හරහාය.
යුරෝපා සංගමයේ “රැඳීසිටීම” සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සක්‍රීය ලෙස උනන්දු කරවීමට ආන්ඩුව, ජනමත විචාරනයට පෙර සිය ජේෂ්ඨ නියෝජිතයන් තිදෙනෙක් බ්‍රිතාන්‍යයට පිටත් කර හැරියේය. යුසං හැරයාමේ ඡන්දයට පසු, බ්‍රික්සිට් හි බලපෑම තක්සේරු කිරීමට හා ඊට පිලියම් යෙදීමේ වැඩපිලිවෙලක් යෝජනා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ, වහාම කමිටුවක් පත් කලේය.
“බ්‍රික්සිට් හි බලපෑම, යුරෝපා සංගමයේ ජීඑස්පී බදු සහනය නොලැබීයාමෙන් ලංකාවට වුන පාඩුවට වඩා විශාලය ”යි වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මත පීඩනය යෙදවීමේ අංගයක් ලෙස යුරෝපා සංගමය විසින් ආපසු ගනු ලැබූ එම බදු සහනය තම ආන්ඩුවට නැවත ලබා ගත හැකි යයි ඔහු පුරසාරම් දොඩමින් සිටියේය.
මාස හයකට පෙර ඩො. බිලියන 7.3 ක් ව පැවති ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත, අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩො. බිලියන 6.06 ක හා මැයි මාසයේදී ඩො. බිලියන 5.6 ක, එනම් මාස තුන හමාරක ආනයනයන්ට පමනක් සෑහෙන මට්ටමකට ඇද වැටුනේය. මේ වසරේ මුල් මාස තුන තුලදී, ආන්ඩුවේ සුරැකුම්පත්, කොටස් හුවමාරුව හා දිගු කාලීන රාජ්‍ය නය වෙලඳපොල හරහා ඩො. මිලියන 600 ක් රටින් පිටතට පලා ගියේය.
රටෙහි උග්‍ර වෙමින් පවතින ගෙවුම් ශේෂ හිඟයට මුක්කු ගැසීමට ආන්ඩුව මංමුලාසහගත උත්සාහයක යෙදෙමින් සිටී. ජූනි 3 දා ඩො. බිලියන 1.5 ක නයක් සඳහා ජාමූඅ අනුමැතිය ලැබූ සැනින්ම, විදේශ බැංකු හරහා සින්ඩිකේට් නයක් වන ඩො. බිලියන 3 ක විදේශ නය මුදල් පහසුකමක් (Foreign Currency Term Financing Facility (FTFF))ලබාගැනීමට, එහි අවාසිදායක කොන්දේසි සම්බන්ධව විගනකාධිපතිගේ අනතුරු ඇඟවීම් තිබියදීත්, වික්‍රමසිංහ ඉක්මන් තීරනයකට එලැඹියේය.
ආන්ඩුව විදේශ විනිමය ඉපැයීම් ඉහල දැමීමට නොඉවසිලිවන්ත උත්සාහයක යෙදෙමින් සිටී. අප්‍රේල් මාසයේදී ආන්ඩුව, දින 90 ක් ඇතුලත තම අපනයන ඉපැයීම් නැවත ලංකාවට ගෙන ආ යුතු බවට අපනයනකරුවන්ට බල කෙරෙන නියෝගයක් පැනවූයේය. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීම වලක්වන (Restrictions on Alienation) ඉඩම් පනත සංශෝධනයකට සූදානම් වන බව ද වාර්තා වේ. ඩො. මිලියන 1 ට හෝ ඊට වැඩි මුදලක් රටට ගෙන එන විදේශිකයනට ඉඩම් ලබා දීමත් ඩො. 300,000 හෝ ඊට වැඩි මුදලක් රැගෙන එන්නන්ට දස අවුරුදු වීසා ලබා දීමටත් සැලැසුම් කෙරේ.
විස්තීරන අරමුදල් පහසුකම හෝ ජාමූඅ හි ඩො. බිලියන 1.5 ක නය පහසුකම, අවුරුදු තුනක් පුරා පැතිරෙන එකක් වන අතර ඉන් පලමු කොටස ඩො. මිලියන 168 ක් පමනි. අයවැය හිඟය කපාහැරීම, පුද්ගලීකරනය කඩිනම් කිරීම, බදු පැනවීම් හා අනෙකුත් වෙලඳපොල ගැති පියවරයන් වැනි ජාමූඅ හි ඉල්ලීම් රජය විසින් ක්‍රියාත්මක කිරීම සහතික කරන ත්‍රෛමාසික වාර්තා වල ප්‍රගතිය මත ඉතිරි මුදල්, වාරික 6 න් මුදා හරිනු ඇත.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ආයතනවලින් ද ජපාන ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) වැනි ද්වීපාර්ශවීය මූලයන්ගෙන්ද තවත් ඩො. මිලියන 650 ක අමතර නයක් ගැනීමකට ආන්ඩුව බලාපොරොත්තු වේ. මූල්‍ය හුවමාරු වැඩසටහනක් හරහා ආන්ඩුව ඉන්දියාවෙන් ද මුදල් ලබා ගෙන ඇත.
විගනකාධිපති මුදල් අමාත්‍යාංශයට යැවූ ඔහුගේ වාර්තාවෙහි, වසර සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කල රුපියල් බිලියන 1780 උපරිම නය සීමාව මෙන් දෙගුනයක තරම්, රු. බිලියන 3350 ක මුදලක් වර්තමාන ආන්ඩුව ලබාගෙන ඇති බව පෙන්වා දී තිබේ. දැන්, රජයේ ආදායමෙන් සියයට 90 ක් නය සේවා වියදම් සඳහා යෙදවේ. විගනකාධිපති ආන්ඩුවෙන් ස්වාධීන තනතුරක් විය යුතු වුව ද අගමැති හා මුදල් ඇමති යන දෙදෙනාම ඔහු කැඳවා නිදහසට කරුනු විමසා තිබේ. එය ප්රකෝපකරනයක් හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.
ඒ සමගම ආන්ඩුව, බ්‍රික්සිට් ඡන්දය වාසියට ගනිමින්, ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ආර්ථික සහ තාක්ෂනික සහයෝගිතා ගිවිසුම (එට්කා) ට ඇති විරෝධය මැඩීමට සහ එය අත්සන් කිරීම ඉක්මන් කිරීමට උත්සාහ දරමින් සිටී. ඉන්දියාව වෙතින් එන තදබල තරඟකාරිත්වයකට තමන්ට මුහුන දීමට සිදුවේය යන බියෙන්, වෘත්තීයවේදීන් හා සමාගම්වල සැලකිය යුතු කොටසක්, මෙම එට්කා ගිවිසුමට විරුද්ධය. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙලඳාම් ඇමති මලික් සමරවික්‍රම එට්කා ගැන සාකච්ඡාවට ලබන සතියේ ඉන්දියාවට යාමට නියමිතය.
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ බරපතල පීඩනයක් ආන්ඩුව මත යෙදෙමින් තිබේ. “අයවැය හිඟයෙහි බලාපොරොත්තු වන අඩුකිරීම, ජාමූඅ නයෙහි කොටසක් ලෙස ප්‍රකාශයට පත් කල ප්රක්ෂේපනයන්හි දක්වා ඇතිවාට වඩා සීමිත බව” පවසමින් මූඩිස් වර්ගීකරන ඒජන්සිය, ජූනි 20 දා ශ්‍රී ලංකාවේ ස්වෛරී නය අනුපාතය ස්ථාවර තත්වයේ සිට සෘන අගයක් දක්වා පහත හෙලීය. ජාමූඅ ඉලක්ක කරා ලඟාවීමට නොහැකිවුවහොත් සිදුවන්නේ, නය අනුපාත පහත යාම හා එම තත්වය මගින් නයෙහි අගය වඩා අධික වීම ය.
මෑතකදී පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී, ජාමූඅ හි ශ්‍රී ලංකා දූත මංඩල ප්‍රධානී ටොඩ් ස්නයිඩර්, “ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ අති මූලික යලි පන ගැන්වීමක් හෝ ප්‍රතිපත්ති වැඩි දියුනු කිරීමක් කල යුතුව ඇතැ” යි පැවසීය. “අති මූලික යලි පන ගැන්වීමක්” යනු වෙනත් කිසිවක් නොව, ආර්ථික අර්බුදයේ සියලු බර වැඩකරන ජනතාවගෙන් අය කරගන්නා දැවැන්ත ප්රහාරයකි.
පසුගිය වසරේ දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 6.9 ක් වූ අයවැය හිඟය භාගයකින් අඩු කරමින්, 2020 දී සියයට 3.5 දක්වා කපා හරින ලෙස ජාමූඅ ආන්ඩුවට බල කර සිටී. බදු ආදායම වැඩිකිරීම, සහනාධාර වියදම් කපාහැරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය සහ රුපියල සඳහා වෙලඳපොල මත පදනම් වූ විනිමය අනුපාතයක් ස්ථාපිත කිරීම, සුවිශේෂී කොන්දේසීන්ට ඇතුලත් වේ. දදේනි යෙන් සියයට 20 ක් වන වර්තමාන මට්ටමේ සිට වියදම්, තවදුරත් කපාහැරීමට ද ආන්ඩුවට සිදුවනු ඇත.
මාසික දීමනා කප්පාදු හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය සඳහා වන සැලසුම්වලට එරෙහිව මෑත සතිවලදී තැපැල් හා වරාය සේවකයන් තුලින් විරෝධතා පැන නැංගේය. අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි සමාජ සේවා කෙතරම් දුරට ඛාදනය වීමට ඉඩ හැර ඇත්තේ ද යන්න දිවයිනේ බොහෝ ප්‍රදේශවල දුගී ග්‍රාමීය සිසුන් පැවැත් වූ විරෝධතාවලින් පැහැදිලි විය.
එකතුකල අගය මත බද්ද (වැට්) සියයට 15 දක්වා ඉහල දැමීමට එරෙහිව, ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුර, කඩවත, ගම්පහ හා මහරගම ඇතුලු, රට පුරා නගරවල වෙලඳ සංගම් විසින් විරෝධතා ගනනාවක් දියත් කෙරිනි.
ජූලි 3 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුව මෙලෙස සඳහන් කරමින් රජයට අනතුරු ඇඟවා තිබේ: “ආන්ඩුවෙහි සිවිල් බුද්ධි අංශවල සොයාගැනීම්වල හැටියට, යම් දුරකට මහජන අප්‍රසාදය සම්බන්ධව මානයක් සපයා ගත හැක. මේ සතිය තුල විවිධ කන්ඩායම් විවිධ හේතු වෙනුවෙන් රටපුරා විරෝධතාවන් 56 ක් පවත්වා ඇති අතර ඒ සියල්ලම රජයට එරෙහි ඒවා වේ. එහි බරපතල පනිවිඩයක් ගැබ්ව තිබේ.”
Follow us on