ජර්මානු විදේශ ඇමති එක්සත් ජනපදයෙන් සිය දුරස්ත භාවය පෙන්නුම් කරයි
German foreign minister distances himself from the United States
පීටර් ෂ්වාස් විසින්, 2016 ජූනි 21
ජර්මානු විදේශ ඇමති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්, ගෝලීය මහ බලවතෙකු වීමේ ජර්මානු අයිතිය අවධාරනය කරමින්, ඇමරිකාව වෙතින් සිය දුරස්ත භාවය සලකුනු කලේය.
ඇමරිකාවේ ප්රමුඛ විදෙස් පිලිවෙත් සඟරාවක් වන ෆොරීන් එෆෙයාස්, “ජර්මනියේ නව ගෝලීය භූමිකාව” යන හිසින්, ජූනි 13දා ඔහුගේ ලිපියක් පල කල කලේය. එහිදී ස්ටේන්මියර්, “ අඩ සියවසක් තිස්සේ ජර්මනියේ විදෙස් පිලිවෙතට මග පෙන්වා තිබෙන මූලධර්ම යලි කෙටුම්පත් කිරීමට, ප්රමුඛ යුරෝපීය බලවතෙකු ලෙස තමන්ට බල කෙරී” ඇති බව සදහන් කලේය.
ඇමරිකානු විදෙස් පිලිවෙතේ, විශේෂයෙන්ම මැද පෙරදිග, ව්‍යසනකාරී ප්‍රතිපල පෙන්වා දෙමින් ඔහු, ජර්මනියේ බල තන්හාව යුක්තිසහගත කලේය. “ජර්මනිය ජාත්‍යන්තර කරලියේදී තමන්ට නව භූමිකාවක් අපේක්ෂා නොකරයි. ජර්මනිය ලෝකය පුරාම වෙනස්කම් අත්කර ගනිද්දී, ස්ථාවරව පැවතීම මගින් ප්‍රධාන බලවතෙකු ලෙස නැගී ආවේය. ඇමරිකාව ඉරාක යුද්ධයේ බලපෑම යටතේ කොරවූ අතර යුරෝපීය සංගමය අර්බුද මාලාවකින් පීඩාවට පත්ව සිටින අතර ජර්මනිය නොසැලී සිටියි.”
ඉරාක යුද්ධය ගැන කියමින් ඔහු අවධාරනය කලේ, “බලය යෙදීමෙන් බුෂ් පාලනය, කලාපය යලි පෙලගැස්වීමට අසමත් වුනා පමනක් නොව, මෙම ඉව බව නැති ක්රියාවේ දේශපාලන, ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික උපක්රමවල වියදම, එරට සමස්ත තත්වයටම වල කපා ඇති බවය. ඒක ධ්‍රැවීය ලෝකය මැකී ගොස් ඇත. අපගේ ඓතිහාසික අත්දැකීම් විසින්, කුමන ජාතියකට වුව ද ජාතික සුවිශේෂතාවක් ඇතැයි යන විශ්වාසය කුඩුපට්ම් කලේය.”
1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ඇමරිකාව කියා සිටි, “එකම ලෝක බලවතාය” යන්න මේ තරම් පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කල වෙනත් තැනක් නැත.
පසුගිය සති අන්තයේ ස්ටේන්මියර් පැහැදිලිව කියා සිටියේ, ඇමරිකාව පිලිබද සිය විවේචන මැද පෙරදිගට පමනක් සීමා නොවන බවය. එය රුසියාව පිලිබද ආකල්පයේ ද හරි මැද පිහිටියේය. බයිල්ඩ් ඇම් සොන්ටෑග් සමග පැවති හමුවකදී ඔහු, ජර්මනිය ද ප්‍රධාන ක්රියාකලාපයක් ඉටුකරන, රුසියාවට එරෙහි නේටෝ හමුදා ස්ථානගත කිරීම් තියුනු ලෙස විවේචනය කලේය.
“අප දැන් නොකල යුත්තේ, මහා ලොකුවට කඩු ලෙලවීම හා යුද හඩතැලීම්ය. නැගෙනහිර දේශසීමාව ආසන්නව සන්ධානයේ සංකේතාත්මක යුද ටැංකි අභ්‍යාස ආරක්ෂාවට රුකුලක් යයි යමෙක් සිතන්නේ නම් ඔහු තමාම රවටා ගනියි. අප හොදින්ම දැන සිටින්නේ, නව ගැටුමක් සදහා කඩතුරාවක් නොසැපයිය යුතු බවයි.”
“දැන් අපගේ බැල්ම මිලිටරිය මතම හෙලන්නේ නම් හා තර්ජනයේ පිලිවෙතින් පමනක්ම ගැලවීම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මාරාන්තික” යයි විදෙස් ඇමති අනතුරු අගවයි. ආර්ක්ෂාව පිනිස අන්‍යොන්‍ය සූදානම හැමවිටම, සාකච්ඡාව හා සහයෝගය පිලිගැන්වීම සදහා සූදානමත් සමග යා යුතුය. “ රුසියාව පාර්ශවකරුවෙකු ලෙස සම්බන්ධ කර ගැනීම ජාත්‍යන්තර වගකීමක්” ලෙස පිලිගත යුතුයයි ස්ටේන්මියර් පැවසීය.
උපුටා ගැනීම් කලින් පල කර තිබූ ස්ටේන්මියර්ගේ ලිපිය, මිත්‍රත්ව දේශපාලන රේඛා කපාගෙන ගිය තියුනු ආරවුලක් ජර්මනිය තුල අවුලුවනු ලැබ ඇත. එය පොදුවේ අර්ථගන්වා තිබෙන්නේ, නැගෙනහිර යුරෝපය තුල නේටෝවේ වත්මන් උපාමාරු හා රුසියානු දේශසීමාව සමීපයේ නේටෝ හමුදා ස්ථානගත කිරීම පිලිබද විවේචනයක් ලෙසය. එය ගැන, ලබන මාසයේ වොසෝවේ පැවැත්වෙන මිලිටරි සන්ධාන සමුලුවේදී එකගත්වයට පැමිනිය යුතුව ඇත. ජූනි 7-17 අතර පෝලන්තයේදී, සෙබලු 31000ක් හා ජාතීන් 24ක් සහභාගී වූ ඇනකොන්ඩා අභ්‍යාසය පවත්වන ලදී.
සීඩීයූ නමැති ක්‍රිස්තියානි ප්රජාතන්ත්ර සංගමයේ ප්රමුඛ දේශපාලඥයින් ද හරිත පක්ෂයේ සමහර නියෝජිතයින් හා කොන්සවේටිව් මාධ්‍යය ද සමාජ ප්රජාතන්ත්ර විදෙස් ඇමතිට තියුනු ප්‍රහාර එල්ල කරති. ඔවුන් ඔහුට චෝදනා කලේ “පුටින් නලවන්නෙක්” (සීඩීයූ පාලක මඩුල්ලේ සමාජික ජෙම්ස් ස්ෆාන්) යනුවෙන් ද; “යුක්රේනයේ ප්රචන්ඪත්වය රුසියාවෙන් ආරම්භ වීම පිලිබද කාරනය ගැන නිහඩව සිටීම” (යුරෝපීය පාර්ලිමේන්තුවේ හරිත කන්ඩායමේ නායක රෙබෙකා හාම්ස්) යනුවෙන් ද; “නේටෝවේ භූමිභාගයන් ආරක්ෂා කිරීම, භාවිතයේ නැති, න්‍යායෙන් පමනක් කෙරෙන්නක්” (සීඩීයූ හෙස් ප්‍රාන්ත අගමැති වෝකර් බෝෆියර්) යනුවෙන් ද; “බටහිර සාමය කරා නැඹුරුවී ඇතැයි යන ක්‍රෙම්ලිනයේ විශ්වාසය ශක්තිමත් කිරීම” (කොන්සවේටිව් ෆ්රෑන්ක්ෆර්ටර් ඇල්ජෙමින් සේටුං හි සම කතෘ බර්තෝල්ඩ් කෝලර්) යනුවෙන් ද; “ජර්මානු හමුදාව මිලිටරි උපාමාරු වලට සහභාගී වීමේදී ඊට සහයෝගය දැක්වූ නමුත් දැන් සමාජ ප්රජාතන්ත්ර පක්ෂය තුල තම ප්‍රතිරූපය ගොඩනංවමින් සිටීම” (පාර්ලිමේන්තු විදෙස් කටයුතු කමිටුවේ සීඩීයූ සභාපති නෝමන් රොට්ජෙන්) යනුවෙන් ද වේ.
අනෙක් අතට ස්ටේන්මියර්ට, එස්පීඩී හා හරිත පක්ෂයේ ද වාම පක්ෂයේ කොටස් වලින් හා ජර්මනිය සදහා විකල්පය යන අන්ත දක්ෂිනාංශික පක්ෂයේ ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ්ගෙන් ද සහාය ලැබුනි.
විදෙස් ඇමති තනතුරට මනාප බව පවසා ඇති, හරිත පක්ෂයේ හිටපු පරිසර ඇමති ජොර්ජෙන් ට්‍රිටින්, බෝල්ටික් රාජ්‍යයන් එසේ යයි සිතන නමුත් සැබවින්ම ඔවුන් රුසියාවේ තර්ජනයකට මුහුනපා නැති බව පවසමින් ස්ටේන්මියර් ආරක්ෂා කලේය. එබැවින් නේටෝව අනුගමනය කරන මග ප්‍රශ්නයට බදුන් වන බව ඔහු පැවසීය.
එස්පීඩීයේ විදෙස් පිලිවෙත සම්බන්ධ විශේෂඥයෙකු වන රොල්ෆ් මුට්සෙනික් පැවසුවේ, ස්ටේන්මියර් කථාකර ඇත්තේ එස්පීඩී පාර්ලිමේන්තු කන්ඩායම වෙනුවෙන් බවය. ඔහු උපදෙස් දුන්නේ, දෙදෙනාම සීඩීයූ පක්ෂයේ වන, චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ආරක්ෂක ඇමති උර්සුලා වොන් ඩර් ලියෙන්, ස්ටේන්මියර්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල යුතු බවටය. න්‍යෂ්ඨික අවි පවා සම්බන්ධ කර ගත යුතු බවට කෙරෙන, පෝලන්තයේ හා බෝල්ටික් රටවල ඉල්ලීම, අතිශයෝක්තියක් බව ඔහු පැවසීය. දැන් ස්ටේන්මියර් විසින් කරනු ලැබ ඇති පරිදි, පැහැදිලි ඇගවීම් ඔවුන් වෙත නිකුත් කල යුතුය. යලිත් රුසියාව සමග සාකච්ඡා පැවැත්විය යුතුය.
වසර ගනනාවක් තිස්සේ ස්ටේන්මියර්ගේ සමීපතම හිතවතෙකු වන, එස්පීඩීයේ හිටපු චාන්සලර් ගෙර්හාඩ් ෂ්රඩර් සති අන්තයේ මේ පිලිබදව කථා කලේය. සෝවියට් සංගමයට එල්ල කල ජර්මානු ප්‍රහාරයේ 75 වන සංවත්සරය වෙනුවෙන් පැවති හමුවකදී ඔහු, සෝවියට් වැසියන් “අතුගා දැමීම, වහල් භාවයට ගැනීම හා වනසා දැමීම” එල්ල කරගෙන නාසි ජර්මනිය විසින් සෝවියට් සංගමය ආක්රමනය කිරීම, “ඓතිහාසික අපරාධයක්” බව සිහිපත් කලේය.
බුන්ඩෙස්වර් (ජර්මානු මිලිටරිය) නේටෝ උපාමාරු වලට සම්බන්ධ වීම ඔහු සලකන්නේ, “අපගේ ඓතිහාසික පසුබිම හා සලකන කල දැවැන්ත වරදක්” ලෙස බව ෂ්රඩර් පැවසීය. ඔහු විදේශ ඇමතිවරයාගේ “(රුසියාවට එරෙහි) සම්බාධක ප්රගතිශීලී ආකාරයකට ඉවත් කිරීමේ උත්සාහයට” සහාය පල කලේය. “අප මිතුරන්ය, එය දිගටම පවතිනු ඇත” යනුවෙන් පවසමින් ෂ්රඩර්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ඔහුගේ මිත්‍රත්වය විශේෂයෙන්ම ආරක්ෂා කලේය.
හිටපු චාන්සලර් ඇගිල්ල දිගු කලේ ඇමරිකාව වෙතය. අර්බුද නිර්මානය කර ඇත්තේ රුසියාව පමනක් නොවේ” යයි ඔහු පැවසීය. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ඉරාක යුද්ධය, “අවසානයේ අයි එස් සංවිධානයේ මතුවීමට පවා පාර කැපූ යුද්ධයේ තීරනාත්මක මාවත” හෙලිකලේය. “ෆෙඩරල් ආන්ඩුව තුල සිටිනවා, ඇමරිකාව, දේශපාලන ප්‍රඥාවේ තැටිය ලෙස සලකන අය” යනුවෙන් ද ඔහු පැවසීය.
ස්ටේන්මියර් ද 20දා සිය ප්‍රකාශ ආරක්ෂා කලේය. රුසියාව සමග සාකච්ඡාවන්හි වැදගත්කම අවධාරනය කිරීමට තමා උත්සුක වන්නේ, මේ අවස්ථාවේ එය මුලුමනින්ම අමතක කර ඇති බවට හැගීමක් තමා තුල ඇති බැවින් යයි ඔහු ලක්සම්බර්ග්හි පැවති විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම අතරතුර පැවසීය. කෙසේ වෙතත් ඔහු, 2014 වේල්ස්හිදී පැවති නේටෝ සමුලුවේ තීන්දු ප්‍රශ්නයට භාජනය නොකලේය. යුක්රේන අර්බුදයට ප්‍රතිචාර වශයෙන් නොටෝවේ නැගෙනහිර පෙරමුන සැලකිය යුතු තරම් ශක්තිමත් කිරීමේ තීරන ගනු ලැබුවේ එහිදීය.
වාම පක්ෂයේ නායිකා සාරා වැගෙන්නෙක්ට් ද ස්ටේන්මියර්ට සහයෝගය දක්වමින්, ඔහු සාමයේ නියමුවා ලෙස පෙන්නුම් කලේය. “රුසියාවේ දේශසීමා ආසන්නයේ පවත්වනු ලබන ප්රකෝපකාරී යුද අභ්‍යාස, වගකීම් විරහිත මෙන්ම යුරෝපයේ සාමයට තර්ජනයක් බව” ද ඇය පැවසුවාය.
ස්ටේන්මියර් හෝ ෂ්රඩර් යන කවරෙක්වත් සාමය ගැන උනන්දු නොවෙති. ස්ටේන්මියර් ද ඇතුලත්වූ ෂ්රඩර්ගේ පාලනය, 1945න් පසුව පලමු වතාවට යුද්ධය සදහා යුගෝස්ලාවියාවටත් පසුව ඇෆ්ගනිස්ථානයටත් ජර්මානු හමුදාව පිටත් කල පලමු ආන්ඩුව විය. ජර්මනිය “පැත්තක සිට ලෝක කටයුතු පිලිබදව ප්‍රකාශ නිකුත් කිරීමට තරම් ලොකු වැඩියයි” 2014 මියුනිච්හි ආරක්ෂක සමුලුව හමුවේ පැවසූ ස්ටේන්මියර්ම ද ජර්මානු මිලිටරිවාදයේ නියමුවෙකි. “ජර්මනිය කල්තියා, වඩා තීරනාත්මකව හා වඩාත් සැලකිය යුතු පරිදි විදෙස් හා ආරක්ෂක පිලිවෙත් (එනම් මිලිටරි) පිලිබද කරලියේදී මැදිහත් වීමට සූදානම් විය යුතුය” යි ඔහු පවසා තිබුනි.
එහෙත් ස්ටේන්මියර්ගේ ආක්රමනිකත්වය, රුසියාව හා චීනය වැටලීම ද සමග මැද පෙරදිග හා අප්‍රිකාව යලි බෙදීමේ යුද්ධ, අධිරාජ්‍යවාදී බලවතුන් අතරම ගැටුම් වලට තුඩුදී ඇති බව පැහැදිලි කරයි. සහචරයින් වුව ද ඇමරිකාවට හා ජර්මනියට ඇත්තේ එකිනෙකට විසංවාදී දේශපාලන හා ආර්ථික අවශ්‍යතාය. බ්‍රිතාන්‍ය ඉවත් වුවහොත් තවත් වේගවත් වනු ඇති යුරෝපය බිදී යාම මෙන්ම, ඇමරිකාව තුල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැගීම ද මෙම ගැටුම් තවත් උත්සන්න කරනු ඇත.
ජර්මනියේ මහ ව්‍යාපාරික කොටස් අතර සැලකිය යුතු සහායක් ලබන ස්ටේන්මියර්, විශේෂයෙන්ම ජර්මානු අධිරාජ්‍යවාදය වෙනුවෙන්, ඇමරිකාවෙන් පුලුල් දේශපාලන හා මිලිටරි ස්වාධීනත්වයක් අවශ්‍ය කෙරී ඇති ජර්මානු ප්රභූව වෙනුවෙන් කථා කරයි.
දෙවසරකට පෙර “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” මැයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇගවීය: “වර්තමානයේ වොෂින්ටනය මෙම අරමුනු හඹා යන්නේ, අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ද සහභාගිත්වය ඇතුවය. කෙසේ වුව ද අවශ්‍යතා පිලිබද ස්ථිර අහම්බයක් ඔවුන් අතර පවතිනු නැත. 20 වන සියවසේ ඇමරිකාව සමග යුද්ධ දෙකක පැටලී ඇති ජර්මානු අධිරාජ්‍යවාදය, සිය අධිරාජ්‍ය අභිලාෂයන් පන ගන්වමින් සිටියි. බටහිර යුරෝපය තුල අධිකාරවත් ස්ථානයක් අත්කරගෙන ඇති ජර්මනිය, ලෝක බලවතෙකු බවට පත්වීමේ ව්‍යායාමයක යෙදී සිටියි.”
මෙය දැන් සනාථ කරනු ලැබ ඇත.
Follow us on