සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පොලීසිය යොදවා පහර දී සිසු විරෝධතාව විසුරුවා හරී
අපේ වාර්තාකරුවන් විසිනි, 2016 ජූනි 16
නවක වද චෝදනා යටතේ බන්ධනාගාරයේ රඳවා සිටින තම සහෝදර සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, පසුගිය බදාදා විරෝධතා පා ගමනක යෙදුනු සරසවි සිසුන්ට කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කෙරින.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකත්වය යටතේ මරදාන ටෙක්නිකල් හන්දියෙන් ඇරඹූ පා ගමන කොටුව දුම්රිය ස්ථානය ඉදිරියෙන් ගමන් කොට ලෝටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ලඟා වෙමින් සිටියදී මාර්ග බාධක යොදා මග අවහිර කල පොලීසිය සිසුන්ට විසිර යන ලෙස නියෝග කලේය.
එය නොතකා ඉදිරියට යාමට තැත් කල සිසුන්ට කඳුලු ගෑස්, රබර් උන්ඩ සහ ජල ප්රහාරයන් එල්ල කල පොලීසිය විසිර යන සිසුන් හඹාගොස් පහර දෙමින් සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්හ.
ප්‍රහාරයෙන් තුවාල ලද සිසුන් සිවු දෙනෙකු රෝහල් ගත කෙරුනි. මහමග ගමන් කල කුඩා දරුවන් ඇතුලු මහජනයා පවා කඳුලුගෑස් ප්‍රහාරයට ගොදුරු වූ අතර ආරක්ෂිත ස්ථානයන් සොයා හිස්ලූලූ අත දිව ගිය ඔවුන්ගෙන් සමහරෙක් සිහිසුන්ව තැන තැන ඇද වැටුනි.
මෙම ප්‍රහාරයෙන් යලිත් වරක් සනාථ කෙරෙන්නේ සිසුන්, කම්කරුවන් හා අවශේෂ පීඩිතයන් අතරින් පැන නගින කවර හෝ අරගලයක් වෙතොත් ඒවා කුරිරු ලෙස තලා දැමීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් තීරනය කොට ඇති බවයි.
විශේෂයෙන්ම, තම අධ්‍යාපන සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන් පරාජය කිරීමේ සැබෑ උවමනාවෙන් එම ප්රහාරයන්ට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටින විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව වඩාත් ඉහල තලයක මර්දනකාරී වැඩපිලිවෙලක් ආන්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩපිලිවෙල යටතේ නවක වදය ඇතුලු විවිධ හේතූන් දඩමීමා කර ගනිමින් කෙරෙන පන්ති තහනම් සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් සමගම පොලිස් ප්රහාරයන්, අත් අඩංගුවට ගැනීම් සහ අධිකරනය මෙහෙයවීම් ඇතුලු දැඩි රාජ්‍ය මර්දනයක් උසි ගන්වා ඇත.
පසුගිය මැයි මස 5 වන දා සිට නවක වද චෝදනා යටතේ විටින් විට අත් අඩංගුවට ගත් කැලනි සරසවියේ සිසු-සිසුවියන් අතරින් හත් දෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මෙතෙකුදු රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින්නේ එම මර්දනයේ ම කොටසක් ලෙසිනි.
අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන මෙම දැවැන්ත ප්‍රහාරය හුදෙක් ශ්‍රී ලංකාවට සුවිශේෂ වූවක් නොවන බවත්, එය ජාත්‍යන්තර ප්රපංචයක් බවත්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහි වනු! යන හිසින් පසුගිය සඳුදා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නිකුත් කල, ප්‍රකාශයෙන් පෙන්වා දුනි. එමෙන්ම එම ප්රහාරයන්ගේ මූලය පවත්නේ, විඳිය නොහැකි සහ වඩවඩාත් ගැඹුරුවන, ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදය තුල බවත් එයින් පැහැදිලි කෙරුනි.
ඒ අනුව ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම එල්ල කරගත් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත සටන් කිරීමෙන් පමනක්ම මෙම ප්රහාරයන් පරාජය කල හැකි බව එහි අවධාරනය විය.
විශ්ව විද්‍යාල සිසු අරගල මුදුනත අරක්ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයත් (අවිශිබම) එයට නායකත්වය දෙන ව්‍යාජ වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, මෙම අවබෝධයෙන් සහ ඉදිරි දර්ශනයෙන් සිසුන් සන්නද්ධවීම වලකා, ධනේශ්වර ප්රහාරයන්ට සිසුන් යටත් කිරීමේ භාවිතාවක යෙදී සිටින බවට සසජාතශි කල විශ්ලේෂනය බදාදා පැවති විරෝධතා පාගමනෙන් යලි සනාථ විය.
අවිශිබම විසින් සිසුන්ට සපයා තිබූ සටන් පාඨ වනාහි, ධනේශ්වර ක්‍රමයට කවර ලෙසකින් හෝ අභියෝග නොකෙරෙන සහ එයට එරෙහි දේශපාලන අරගලයකට සිසුන් යොමුවීම වලකන, රැඩිකල් පූච්ඡානම් ගොන්නකි. “අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා, වෙනුර ගිය පාරේ”, “අපි යන්නේ කොයි පාරේ නිෂ්මි, බාලෙ ගිය පාරේ”, “අපි යන්නේ කොයි පාරේ විරු සිසුවන් ගිය පාරේ”, “කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා - ලේ හැලුනත් පාර දිගේ අපේ ගමන අපි යනවා” යන පූච්ඡානම් ඒ අතර විය.
කෙසේ වුවද, මෙම පා ගමනට සහභාගි වූ සහ සහභාගි නොවූ, සාමාන්‍ය සිසුන් බහුතරයකගේ අදහස වූයේ, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වය යටතේ අවිශිබමය පැවතිය දී ‘ත්‍රිමා, වෙනුර ගිය පාර’ මෙන්ම, දැන් පෙසප නායකත්වය යටතේ අවිශිබමය යන පාර වන, ධනේශ්වර විරෝධතා දේශපාලනයෙන් ධනේශ්වර ප්‍රහාර නවතා ලීමට හෝ ආපසු හැරවීමට නොහැකි වී ඇති බවයි.
පාගමනට පෙරාතුව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සසජාතශි සාමාජිකයෝ ඉහත සසජාතශි ප්රකාශනය සිය ගනනින් බෙදා හරිමින් කැලනි සරසවි සිසුන් අතර උද්ඝෝෂනයක නිරත වූහ.
එහිදී සසජාතශි සමඟ සාකච්ඡාවේ යෙදුනු කැලනි විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ ඉගෙනුම ලැබ පසුගිය වසරේ උපාධිය ලැබූ රසික, ආන්ඩුව විසින් ගෙනයන සිසු මර්දනයට සිය දැඩි විරෝධය පලකරන අතරේම අවිශිබම දේශපාලනය පිලිබඳව ඉතා අප්‍රසාදයෙන් කතා කලේය.
“දැන් අවිශිබම නායකයෝ කියනව අලුත් ආන්ඩුවත් ශිෂ්‍යයින්ට ගහනව කියල. මේ අයම නේද මේ අන්ඩුව බලයට ගේන්න වැඩ කලේ. ජනාධිපතිවරනයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බහුතරයක් අවිශිබම කියපු දේ අහල සිරිසේනට ඡන්දය දුන්නා. අවිශිබම නායකයෝ වැඩකරන්නේ තමන්ගේ බඩගෝස්තරය රැකගන්න විතරයි. ශිෂ්‍යයො ගැන ඔවුන්ට කිසි වගවීමක් නැහැ. අවිශිබමයෙ විරෝධතා වලින් ප්‍රශ්න එකක්වත් ජය ගන්න බෑ විතරක් නොවයි ඒවා තවත් උග්‍ර වෙනවා.”
ජනසන්නිවේදන අංශයේ ඉගෙනුම ලබන කවින්ද ගේ අදහස මෙසේ විය. ‘ ප්රන්සයේ, ඇමරිකාවේ, ග්‍රීසියේ සහ ස්පාඤ්ඤයේ අරගල ගැන අන්තර්ජාලයෙන් දැනගෙන හිටිය. නමුත් ඔබ පැහැදිලි කරන කොට තමයි ලංකාවෙ සිද්ධ වෙන දේවල් වලට ඒවායෙ තියෙන සම්බන්ධෙ තේරෙන්නෙ. ඇත්තෙන්ම මෙම ප්රහාරයන් ජාත්‍යන්තර
පරිමාන බවත් එය ලෝක ධනේශ්වර අර්බුදයෙන් ගලා එන්නක් බවත් කියන ඔබේ අදහසට මම එකඟයි. ’
අවිශිබම විරෝධතා දේශපාලනයෙන් සිසුන් මුහුන දෙන ගැටලු ජයගත නොහැකි බව දැන් තම සහෝදර ශිෂ්‍යයන් අතර සාකච්ඡා කෙරෙමින් පවතින බව සඳහන් කල ඔහු කියා සිටියේ ධනේශ්වර පද්ධතියට එරෙහි සටනක අවශ්‍යතාව සසප සමග කල මෙම සාකච්ඡා වලින් පැහැදිලි වන බවයි. ‘පෙසප ඇතුලු වමේයැයි කියා ගන්නා පක්ෂ සැබෑ සමාජවාදය සඳහා සටන් නොකරන බව මම දිගු කලක සිට නිරීක්ෂනය කරමින් ඉන්නවා. ඒවා ව්‍යාජ වාම පක්ෂ ලෙස ඔබ කරන සඳහනටත් මම එකඟයි. ඒත් එහි සැබෑ අරුත විද්‍යාත්මකව ඉගෙන ගැනීම සඳහා තවදුර සාකච්ඡා කිරීමට කැමතියි.’
සිසුන් පාගමන ආරම්භ කිරීම සඳහා රැස්වී සිටි කොලඹ ටෙක්නිකල් හන්දියේදී සසප සාමජිකයෝ පත්‍රිකා බෙදාහරිමින් නැවත සිසුන් අතරේ උද්ඝෝෂනයේ යෙදී ගත්හ. සසප සාමාජිකයන් සමඟ සාකච්ඡා කල සිසුන් සියලු දෙනාම පාහේ දැරූ පොදු අදහස වූයේ අවිශිබම විසින් දිගින් දිගට කරගෙන යන මෙම විරෝධතා දේශපාලනය තුලින් ලබාගත හැකි ජයග්රහනයක් නොමැති බව දැන් තමන්ට ප්රත්යක්ෂ වී ඇති බවයි.
බොහෝ දෙනෙකුගේ අදහසවූයේ ‘මින් එහාට යන වැඩපිලිවෙලක්’ අවශ්‍ය බවයි. කලමනාකරන පීඨයේ ඉගෙනුම ලබන සුරේන්ද්‍ර එම අදහස විස්තාරනය කරමින් මෙසේ පැවසීය: ‘ශිෂ්‍යයන්ට විතරක් මේ සටන කරන්න බෑ. වඩා ලොකු බලපෑමක් ඇති කිරීමට ආන්ඩුවෙන් බැටකන ඔක්කොම එකතු වෙන්න ඕන.’
ග්‍රීසියේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයන් එක්ව සටන් කලද එම කප්පාදු ආපසු හැරවිය නොහැකි වූයේ මන්ද යන්න සසජාතශි උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. එම අරගල මුදුනතට පැනගත් පෙසප වැනි ව්‍යාජ වාම සංවිධාන වලින් සැදුම්ලත් සිරිසා ව්‍යාපාරය ධනේශ්වර ක්‍රමයට අභියෝග කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට සතුරුව සිටින ආකාරය පෙන්වා දීමෙන් පසු ඔවුහු සසප සමඟ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීමෙහි ලා උනන්දු වූහ.
අවිශිබමයේ විරෝධතා දේශපාලනයෙන් සිසුන් දුරස්ථ වෙමින් සිටින බවට සිසුන් මගින්ම ප්‍රකාශ කෙරෙන මෙම තත්වය පා ගමන තුලින්මත් පිලිබිඹු විය. සෑහෙන වෙරක් යොදා අවිශිබම සංවිධානය කල පා ගමනට අනෙකුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ද සහභාගිත්වය සහිත සමස්ත සහභාගිත්වය දෙදහසකට වැඩි නොවුනි.
Follow us on