ගින්නෝරුව ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

පානි විජේසිවර්ධන සහ ටී.එම්. කරුනාරත්න විසිනි, 2016 මාර්තු 10

මහියංගනයෙන් සැතපුම් 12 ක් දුරින් පිහිටි ගින්නෝරුව ජනපදය, 1981 දී ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව සමයේ ස්ථාපිත කරන ලද්දකි. බදුල්ල දිස්ති‍්‍රක්කයේ විවිධ ප‍්‍රදේශ වලින් තෝරාගත් පවුල් 250 කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භයේ දී එහි පදිංචි කොට ඇත. ඔවුන් අතරින් බොහොමයක් ගොවි පවුල්වල ඉපිද, වගාවට ඉඩම් නොමැතිකමින් පීඩා විඳිමින් සිට, නව ජීවිතයක් අපේක්ෂාවෙන් පැමිනි අය වෙති. එක් පවුලකට ගොඩින් අක්කරයක් ද මඩින් අක්කර දෙකහමාරක් ද ලබා දී ඇති නමුත් ඒ සඳහා මෙතෙකුදු ඔප්පු ලබා දී නොමැත.

පැවති සියලු ආන්ඩුවලින් නොසලකා හැරීමට ලක්ව ඇති එම දුගී ජනතාව දශක තුනහමාරකට අධික කාලයක් පුරා විඳින ලද දුක්ඛ දෝමනස්සයන් සහ මුහුනදුන් සමාජ-ආර්ථික ගැටලු පිලිබඳව කතා කලේ දුකමුසු කෝපයෙනි.

ඔවුනගේ අදහස් උදහස් වනාහි, 1948 ඊනියා නිදහසෙන් පසු ශී‍්‍ර ලංකාව පාලනය කල කොලඹ පාලක පන්තිය වසර 68 ක් පුරා ගොවි ජනතාවට සලකා ඇති ආකාරය පිලිබඳ බලගතු චෝදනා පත‍්‍රයකි.

ඩී.එම්. ගුනසේකර

59 වැනි වියේ පසුවන ඩී.එම්. ගුනසේකර තම අතීතය අවදි කලේ මෙසේය. “අපි ඉපදිලා හැදුනෙ වැඩුනෙ හාලිඇල. අපේ දෙමාපියන් ගොවියො. ඒත් අපේ පරම්පරාවට එනකොට වගා කරන්න ඉඩම් තිබුනෙ නෑ. වෙනත් කර්මාන්තයක් කරන්න ඉගෙන ගෙන තිබුනෙත් නෑ. එහෙම කර්මාන්ත අපේ පලාත්වල තිබුනෙත් නෑ. මහියංගනේ ඉඩම් දෙනව කියල අයැදුම්පත් දාන්න කියල පලාතේ මන්තී‍්‍ර අපට කීවා. එහෙම අයැදුම්පත්දාලා තමයි ඉඩම් ලැබිල මෙහාට ආවෙ.”

මංමාවත්, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, හරිහමන් නිවහනක් නොමැතිව ඔවුන් ආරම්භ කල ජීවිතය ගැන ඔහු මතකයට නැංවූයේ බලාපොරොත්තු කඩවූවෙකුගේ වේදනාත්මක ස්වරයෙනි. “අපි ඒ සේරම විඳ දරාගෙන හිටියෙ අනාගතය අපට හොඳ කාලයක් උදාවෙයි කියල. ඒත් අපේ තත්වය එන්න එන්නම පහලට වැටුන. ආන්ඩු ආවා. ආන්ඩු ගියා. අපේ ප‍්‍රශ්න වලට කිසිම විසඳුමක් කවදාවත් ලැබුනෙ නෑ.”

ආරම්භයේදී කටුමැටි ගෙයක් සාදා ගැනීමට රුපියල් 7000 ක් පමනක් ආන්ඩුවෙන් ලැබුන බවත් එයින් සාදාගත් ගෙය ගංවතුරට කැඩී ගිය බවත් ගුනසේකරගේ බිරිඳ පැවසුවාය.

යල් කන්නයේ විශාල ජල හිඟයක් පවතින බවත් එය විසඳීමට නව ජල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනු තබා පවත්නා ඇල පද්ධතිය 1981 සිට මෙතෙක් පිලිසකර නොකල බවත් ගුනසේකර පැවසුවේ දැඩි කෝපයෙනි.

මෙම ගොවි ජනතාව මුහුන දී සිටින තවත් දැවෙන ගැටලුවක් වන්නේ වල්අලි ප‍්‍රශ්නයයි. පසුගිය වසර කීපය තුල වල්අලි ප‍්‍රහාරයන්ගෙන් ගම් වැසියන් හත් දෙනෙකු පමන මියගිය බව ඔවුහු සඳහන් කලහ. මෙම අලියන්ගෙන් නිවෙස්වල ගබඩා කර ඇති වී ඇතුලු ධාන්‍ය බේරා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක්ව ඇත.

වී වගාවේදී වන වියදම් ගැන කතා කරමින් ගුනසේකර මෙසේ පැවසීය: “එක කන්නයකට අක්කර දෙකහමාරක් වී වවන්න රුපියල් 80,000 ක් විතර යනවා. ඒ අපේ ශ‍්‍රමය ගනන් බලන්නෙ නැතිව. අපිට කන්නයකින් ලැබෙන්නෙ වී බුසල් 250 ක් (කිලෝග‍්‍රෑම් 5500) විතර. වී අලෙවි මන්ඩලය මිලදී ගන්නෙ එක් කෙනෙකුගෙන් කිලෝ 2000 ක් විතරයි. අනෙක් ඒවා පුද්ගලික වෙලෙන්දන්ට දෙන්න ඕනෙ.”

තම වී කිලෝව රුපියල් 40 ගනනේ විකිනීමෙන් එක් කුඹුරකින් ලැබෙන සමස්ත ආදායම රුපියල් ලක්ෂ දෙකක් පමන වන බවත් ඒ අනුව ශුද්ධ ආදායම එක් ලක්ෂ විසිදහසක් පමන වන බවත් ගුනසේකර පැවසීය. මේ අනුව එක් මසක ආදායම විසි දහසකට ආසන්න බව ඔහු පෙන්වා දුන්නේය. “ඒත් මේ එක කුඹුරෙන් පවුල් කීපයක් ජීවත් වෙනවා. මගේ දරුවො හතර දෙනාගෙ පවුල් ජීවත් වෙන්න ඕනෙත් මේ ආදායමෙන්ම තමා. ඒ නිසා අපේ දරුවො දැන් ගොවිතැනට අමතරව දවස් පඩියට කුලී වැඩ කරනවා.”

වී අලෙවි මන්ඩලයට වී විකිනීමේදී ඔවුන් මුහුන දෙන දුෂ්කරතා මාලාවකි. රුපියල් 1500ක් වියදම් කොට ලොරියකින් මහියංගනයට ප‍්‍රවාහනය කරන වී, තෙත් බව පවසමින් ප‍්‍රතික්ෂේප කරන අවස්ථා බහුලය. එවන් අවස්ථාවන්හිදී, ප‍්‍රවාහන ගාස්තු අවම කරගනුවස්, තම වී ඒ ආසන්නයේ බිම අතුරා වේලා ගැනීමට ගොවීන්ට බල කෙරී ඇත. අවශ්‍ය තරම් නිලධාරීන් යොදවා නොමැති තතු තුල වී ගබඩා ආශ‍්‍රයේ ලොරි පෝලිම්වල දින දෙකක් හෝ තුනක් ගත කිරීමට සිදුවන බවද ඔවුහු පැවසූහ. මෙවන් අවස්ථාවන්හිදී ලොරි හෝ ට‍්‍රැක්ටර් ගාස්තු දෙගුන තෙගුන වන බවත් හරිහමන් කෑමක් නොලබන බවත් ඔවුහු කීහ.

දෙවන පරම්පරාවේ තරුනයෙකු වන 32 හැවිරිදි දිනේශ් ප‍්‍රියශාන්ත තම පරම්පරාව මුහුන දෙන ගැටලු ගෙනහැර දැක්වූයේ මෙසේය: “අපේ පරම්පරාවෙ බොහොමයක් අර්ධ ගොවියො සහ අර්ධ කම්කරුවො. දෙමාපියන්ගෙන් ලැබුන කුඹුරු කොටහ ජීවත් වෙන්න මදි නිසා අපි හුඟ දෙනෙක් අඳේට කුඹුරු කරනවා. ඊට අමතරව ගමේ හරි නගරයෙ හරි කුලී වැඩ කරල කීයක් හරි හොයා ගන්නවා.”

දිනේශ්

අඳ ගොවියන්වන ඔවුනට කුඹුරු හිමියාගෙන් ලැබෙනුයේ බිත්තර වී සහ පොහොර පමනක් වුවද ආදායමෙන් අඩක් ඔවුනට ලබාදිය යුතු බැව් පි‍්‍රයශාන්ත පැවසීය. “අපේ තාත්තලට තියෙන්නෙ ඉඩම් බලපත‍්‍රයක් විතරක් නිසා ඉඩම තියල බැංකු නයක්වත් ගන්න බෑ. අපි ගෙවල් හදල තියෙන්නෙ තාත්තට ලැබුන ගොඩ ඉඩමෙ. දැන් මගේ දරුවන්ට ගෙවල් හදන්න මේකෙ ඉඩ නෑ.”

සමන්කුමාර

එම පම්පරාවේම ගොවියෙකු වන 33 හැවිරිදි වසන්ත සමන්කුමාර පොහොර සහනාධාරය ගැන කතා කරමින් මෙසේ පැවසීය: “දැන් ආන්ඩුව කියනවා කාබනික පොහොර යොදන්න කියල. හොඳ අස්වැන්නක් ගන්න නම් එම පොහොර නියම ප‍්‍රමිතියට හදන්න ඕන. ඒකට මීටත් වඩා කාලය සහ ශ‍්‍රමය වැය කරන්න ඕනෙ. එතකොට කුලී වැඩක්වත් කර ගන්න හම්බ වෙන්නෙ නෑ. අපි කබලෙන් ලිපට තමයි වැටෙන්නෙ.”

බන්ඩාර කරුනු දක්වමින්

වත්මන් ආන්ඩුව සම්බන්ධයෙන් කතා කල සෙනරත් බන්ඩාර නම් තරුනයෙකු පැවසුවේ, රාජපක්ෂ ආන්ඩුවෙන් බැට කෑ බැවින් පසුගිය ඡන්දයේදී තමා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය පාවිච්චි කල ද තමා එදාගත් තීන්දුව වැරැදි බව දැන් වැටහෙන බවයි. “අලුත් ආන්ඩුව අපේ පොහොර සහනාධාරයත් කපා දැමුවා. අපිට සමෘද්ධිය දෙනවා කීවා. ඒකට අවශ්‍ය පෝරම පුරවලා දීලා මාස ගනනක් ගත වෙලා. ඒත් කිසිම දෙයක් වෙලා නෑ. පෝර සහනාධාරය කපන ආන්ඩුවක් සමෘද්ධිය දෙයි කියල හිතන්න බෑ. මේ ආන්ඩු හැම එකක්ම අපිට වින කරන එක තමයි කරන්නෙ.”

කමලාවතී කරුනු දක්වමින්

ජේ.එම්. කමලාවතී නම් 45 හැවිරිදි ගොවි කාන්තාවක් සාකච්ඡාවට එක් වෙමින් මෙසේ පැවසුවාය: “මේ ආන්ඩුව පිහිටෙව්වෙ අපි. ඒත් තත්වය තවත් අමාරුවුන එක තමයි සිද්ධ උනේ. දැන් ජනතා විමුක්ති පෙරමුන ඇවිල්ල ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂනය කරන්න කතා කරනවා. ඒගොල්ලොමයි මේ ආන්ඩුව බලයට ගේන්න වැඩ කලේ. හැබැයි 1988 දී මගේ කොන්ඩය කපල සීටීසී හන්දියෙ පැය 12 ක් දනගස්වල තිවුව මම යූඑන්පීයට වැඩ කලා කියල. මගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට එහෙම සලකපු ඒ ගොල්ලො ගොවියන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනව කියල කියන්නෙ මොන බොරුවක්ද.”

Share this article: