අක්ෂය ප්රකාශනයේ රමිඳු පෙරේරා එලිදරව් කිරීමක්: නිදහස් අධ්‍යාපනය රැකීමේ ව්‍යාජ-වාම උද්ඝෝෂනය ධනපති ක්‍රමය ඉදිරියේ දනගසයි
විජේ ඩයස් විසිනි, 2016 නොවැම්බර් 27
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සඳහා මුදල් අයකර පවත්වාගෙන යන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන සයිටම් විශ්ව විද්‍යාලයට එරෙහි උද්ඝෝෂනය, අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරෝධතාව පෑමේ අරගලයෙහි සංකේතයක් විය. විවිධ ශිෂ්‍ය සංගම්, විශ්ව විද්‍යාල ආචාර්ය සහ ගුරු සංගම්, පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධාන මේ උද්ඝෝෂනය වටා ගොනුවූහ.
මේ විරෝධතා ව්‍යාපාරය වසර ගනනාවක් පුරා රැස්වීම, පිකට් කිරීම් සහ පෙලපාලි යාම් අලලාගත් සටන්කාමිත්වයක් ප්‍රදර්ශනය කලේ ය. 2014 සිට ඒ සියල්ලේම සංවිධායකයින් පාහේ, පැවති මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා, 2015 දී මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ව්‍යාපාරයට නන් අයුරින් දායකවූ අය වූහ.
සිරිසේන-වික්‍රමසිංහ අන්ඩුව බලයට පත්වූ පසුව ද මාස කිහිපයක් සයිටම් විරෝධී ව්‍යාපාරය පෙරට ගෙනයනු ලැබුනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් (පෙසප) මෙහෙයවෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) මගින් සංවිධානය කෙරුනු ශිෂ්‍ය පෙලපාලි පොලිස් බාධකවලට මුහුන දෙමින් කිහිපවරක් පැවැත්වුනු අතර, කොලඹ කොටුව දුම්රියපල ඉදිරිපිට සහ විශ්ව විද්‍යාල දොරටුවල අටවාගත් විරෝධතා අට්ටාල මාස ගනන් එක දිගට පවත්වාගෙන යනු ලැබුනි. එහෙත් සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුවේ දෙවන අයවැය, අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වැය ශීර්ෂය කප්පාදු කරගෙන ඉදිරිපත් වන අවධිය වන විට, අධ්‍යාපනය පෞද්ගලීකරනයට විරුද්ධ යයි ද නිදහස් අධ්‍යාපන අයිතිය රැකීමට යැයි ද මොර දෙමින් පැවති මේ විරෝධතා මුලුමනින් පාහේ අකුලාගනු ලබා ඇත.
ඇයි මේ? දේශපාලනිකව සිතන මතන කම්කරු-තරුන ජනයා හමුවේ මේ ප්රශ්නය ඉදිරිපත්වීම නොවැලැක්විය හැකි ය. ඔවුන්ගේ ඊනියා විරෝධතා ව්‍යාපාරයට මුල්වූවන්ගෙන් නම්, ඔවුන්ගේ දේශපාලන බංකොලොත්කමේ විෂද හෙලිදරව්වකට මගපාදන මේ ප්රශ්නය සම්බන්ධයෙන් අවංක පිලිතුරක් බලාපොරොත්තු විය නොහැකි ය. එවැන්නක් කලහැකි හා කලයුතු වන්නේ මාක්ස්වාදී විප්ලවවාදී ව්‍යාපාරයක් පමනි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ මේ මැදිහත්වීම එහෙයිනි.
සයිටම් ආයතනය වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය අලෙවිකරන වෙලඳ කුටියක් ලෙස ප්‍රාදූර්භූතවීම, නිදහස් අධ්‍යාපන සේවාව අහෝසි කිරීමට වසර ගනනාවක් තිස්සේ කෙරී ගෙන යන ක්‍රියාදාමයෙහි එක් විනාශකාරී ප්රකාශනයක් පමනි. එය රෝග ලක්ෂනයක් මිස රෝගය නොවේ. රෝග ලක්ෂනයට එරෙහිව විරෝධතා බෙරිහම්දීම් වලින් රෝගය පහව යනු නැත. රෝගයට ම ප්‍රතිකර්ම යෙදිය යුතු ය. එනම්, සමාජ සුබසාධන සේවා අහෝසි කිරීමට යොමුවී ඇති පරිහානිගත ධනේශ්වර පද්ධතිය ප්රගතිශීලි සමාජවාදී ක්‍රමයක් විසින් විස්ථාපනය කිරීම අවශ්‍ය වේ. සයිටම් විරෝධී ව්‍යාපාරය තොරොම්බල් කල පෙසප, අවිශිබම, වෘත්තීය සමිති හා සියලු ව්‍යාජ වාම සංවිධාන අවුරාගෙන සිටියේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුටීම මගින් අහෝසිකර දැමීමට ගොදුරු කෙරෙමින් පැවති නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා අත්‍යවශ්‍ය එම ප්රගතිශීලි දේශපාලන මාවත ය.
මේ තීරනාත්මක ක්රියාමාර්ගික ප්රශ්නය විරෝධතා උද්ඝෝෂකයින්ට මුනගැස්වීමට සසප උත්සාහ දැරූ සෑම අවස්ථාවකම ව්‍යාජ වාම සංවිධාන සියල්ල ඊට එරෙහිව එක පැහැර බුරා පැන්නාහ. එහෙත් සයිටම් ආයතනයට එරෙහි විරෝධතා ව්‍යාපාරවල හකුලාගනු ලැබීම මගින්, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේම අක්රියභාවයෙන් ඔප්පුකර ඇත්තේ, ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යනගමන් එහි විසකුරු ප්‍රහාරවලට වෙන වෙනම විරෝධය පෑම්වල පරිපූර්න වඳකම යි. ධනේශ්වර ක්‍රමය හමුවේ එම විරෝධතා ව්‍යාපාරවල සංවිධායකයින් දනගස්වනු ලැබ ඇත.
අවිශිබම, ඔක්තෝබර් 21දා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඉදිරිපිටට සිය ගනනක් ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැඳවුයේ, ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට එරෙහි උද්ඝෝෂනයකට ය. වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව යැයි ගෙන ගිය උද්ඝෝෂනයේ ශේෂ පත්‍රය විභාග කිරීම කෙරෙහි කොයිලෙසකින් වත් යොමුවීමක් එම උද්ඝෝෂනයේදී දක්නට නොලැබුනි. ඉංජිනේරු ශිෂ්‍ය උද්ඝෝෂකයෝ පැය කීපයක්ම ඉංජිනේරු අධ්‍යාපන ආයතන ඉදිරිපිටට වී තම ඉල්ලීම ඉටුකර දෙන ලෙසට ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ එකතුවේ ආන්ඩුවට කන්නලව් කොට විසිර ගියහ.
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතා, උද්ඝෝෂනය සයිටම් ආයතනයට එරෙහි සටනක් බවට ලඝු කරමින් එම ආයතනය වසා දමන ලෙසට කෑමොරදෙමින් පවත්වාගෙන ගිය මේ ආකාරයේමවූ වඳ කන්නලවු කිරීම්, මේ ආන්ඩුවට මෙන්ම මහින්ද රාජපක්ෂ ආන්ඩුවට ද නොඇසී ගිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. එදා පැවැත්වූ උද්ඝෝෂනවල උජාරුවෙන් එවක සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මත් කොට දක්කා ගිය ලෙසින්ම, ඉංජිනේරු ශිෂ්‍යයන් දැන් දක්කා ගෙන යාමට ඔවුහු අපේක්ෂා කරති.
අද මෙන්ම එදා ද ව්‍යාජ වාම සංවිධාන මෙහෙයවුනේ ධනේශ්වර ගැති ව්‍යාපාර වශයෙනි. පෙසප හා අවිශිබම, අන් සියලු අවස්ථාවාදී පක්ෂ හා සංවිධාන මෙන්ම, තමන් නිරත දේශපාලනය සම්බන්ධයෙන් මහජනතාවට තබා තම අනුගාමිත්වයට පවා වගවීමේ ප්‍රතිපත්තිගරුක භාවයක පිහිටා නැත. එහෙයින් ම සයිටම් අරගලයට සිදුවූයේ කුමක්ද යන්න මහජනතාවට මෙන්ම, ඔවුන්ගේ පෙලපාලිවලට සහ විරෝධතා ක්‍රියාවලට අවිචාරයෙන් රොක් වූවන්ට ද පැහැදිලි කරදීමක් ඔවුන්ගේ අතින් සිදුවන්නේ නැත. එහෙත් විප්ලවවාදීහු, එම කටයුත්ත පැහැර නොහැරිය හැකි වගකීමක් ලෙස සලකති.
මේ පිලිබඳව වැඩිදුර පැහැදිලි කරගැනීමක් සඳහා හොඳ ඉඩකඩක්, අක්ෂය නම් වන වෙබ් අඩවියට රමිඳු පෙරේරා නැමැත්තෙක් මෑතදී ලියා ඇති ලිපියෙන් සලසාදෙනු ලැබ ඇතැයි අපට පෙනී ගියේ ය. පෙරේරාගේ ලිපියේ මාතෘකාව වූයේ, “වාමාංශික සයිටම්වාදීන්ගේ විලාපය සහ ව්‍යාජය” යන්න යි. එය ප්‍රධාන වශයෙන් ඉලක්ක කොට ඇත්තේ, රාවය පුවත්පතේ පලවූ, අජිත් පැරකුම් ජයසිංහ නැමැත්තා විසින් රචිත “සයිටම් වාමාංශිකයෝ” නම් ලිපිය හා එම පුවත්පතේ ම පලවූ, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහය පලකරමින් ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීමට බව පෙරේරාගේ ලිපිය හඳුන්වා දෙන සංස්කාරක සටහනේ සඳහන් ය.
ජයසිංහගේ ලිපියට එල්ල කරන ප්‍රහාරයේදී පෙරේරා මුලට ම සඳහන් කරන්නේ, එම ලිපිය “කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබඳ කදිම සාම්පලයක්” බව යි. ජයසිංහගේ විධික්රමයට විපරීතව පෙරේරා ගාම්භීර වෙස්ගෙන යෝජනා කරන්නේ “යම් සමාජ ක්‍රියාවලියක් විග්රහ කිරීමේදී අප පදනම් විය යුත්තේ දත්ත සහ කරුනු මත” යන්න යි.
තම සාරගර්භ විධික්රමය අනුගමය කරමින් රමිඳු පෙරේරා දොඩවන දේ මගින් මත් ඔහුගේ යෝජනාවේ බොල්කම සනාථ වේ. ඔහු මෙසේ ලියයි: “ලංකාවේ අධ්‍යාපන පිලිවෙත පිලිබඳ සමකාලීන විවාදය ඇතිවී තිබෙන්නේ, ලංකාව දරුනු ආර්ථික පරිවර්තනයකට විෂය වෙමින් තිබෙන පසුබිමක ය. 2009 යුද්ධය අවසානවූ පසු, ලංකාව නව ලිබරල්කරනයේ අලුත් අවධියකට පිවිසි අතර මේ වනවිට රාජපක්ෂ යුගයේ නව ලිබරල් ව්‍යාපෘතිය මත තවරා තිබූ ජාතිවාදී වහන්තරාව ඉවත් වී නිදහස් වෙලඳපොලට අවශ්‍ය ලෙස සමාජය ප්‍රතිසංවිධානය වීමේ ව්‍යාපෘතිය නග්න ලෙස අපි ඉදිරියේ දිගහැරෙමින් ඇත”.
පෙරේරා යෝජනා කරන විධික්රමය සාවද්‍ය ය. එය, පවත්නා තත්වය යුක්ති සහගත කරන අනුභූතිවාදියාගේ විධික්රමය මිස, පවත්නා තත්වය වෙනස්කරනු වස් ඥානය සම්පාදනය කරන මාක්ස්වාදියාගේ අපෝහක භෞතිකවාදී විද්‍යාත්මක විධික්රමය නොවේ. එසේ වන්නේ, “දත්ත සහ කරුනු” ඕපපාතික අචල ප්රපංචයන් නොවන නිසා ය. දත්ත හා කරුනුවලට උපතක් හා විකාශනයක් පවතී. එනම්, ඒවා ඓතිහාසික වන්නේ ය. එයින් උලුප්පා ගත්විට, දත්ත හා කරුනු විවිධ අවශ්‍යතාවන් සඳහා නොයෙකුත් වර්නයන්ගෙන් ප්‍රදර්ශනය කරනු හැකි ය. ධනේශ්වර පද්ධතියේ ක්ෂමාලාපී ඊනියා බුද්ධිමතුන් කරනුයේ ඒ දෙය යි. එය, විප්ලවවාදී කම්කරු පන්තියේ ප්‍රගතියට වල කපන ධනේශ්වර යහපාලන න්‍යායට සේවය කරන්නකි.
‘නව ලිබරල්කරනය’
අපි ප්‍රශ්න කිහිපයක් මතුකරගෙන විමර්ශනයකට යොමු වෙමු. 2009 යුද්ධය අවසානවීමත් “ලංකාවේ නව ලිබරල්කරනයේ අලුත් අවධිය” සහ “නිදහස් වෙලඳපලට අවැසි ලෙස සමාජය ප්‍රතිසංවිධානය වීමේ ව්‍යාපෘතිය නග්න ලෙස දිග හැරීම”ත් අතර සම්බන්ධය කුමක් ද? මේ ලියූ තැනත්තාටමත් තමන්ගේ ප්‍රකාශ ගැන වැටහීමක් ඇද්ද යන්න ප්‍රශ්නාර්ථයක් නොවන්නේ ද?
ඓතිහාසිකව සැලකූ කල ලංකාව තුල නිදහස් වෙලඳපල ආර්ථිකය නග්න ලෙස ක්‍රියාවට නැගීමේ කඩ ඉම වන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනයේ ආරම්භය යි. එම වසරේදී එජාපයේ බලයට පත්වීම, ජාත්‍යන්තර වශයෙන් සිදුවෙමින් පැවති ආර්ථික හා දේශපාලන සංසිද්ධියක ප්‍රතිපලයක් වූයේ ය. එනම්, 1968-75 දක්වා ලොවපුරා වැඩෙමින් ආ විප්ලවවාදී රල පහර, ස්ටැලින්වාදී, සමාජ ප්රජාතන්ත්රවාදී, පැබ්ලෝවාදී හා වෘත්තීය සමිතිවාදී නායකත්වයන් විසින් පාවාදෙනු ලැබීමෙන් උත්තේජනය ලත් ලෝක ධනේශ්වර ප්රතිගාමිත්වයේ යලි ස්ථාපිතවීම හා ප්‍රතිව්‍යුහගත වීම පිලිබඳ ක්‍රියාවලියෙන් පැන නැගුනකි, එය. මේ කටයුත්ත සඳහා බලගතු ලෙස ආධාර කර ගැනුනේ නව පරිගනක තාක්ෂනයේ අභිවර්ධනය යි.
මේ ලෝක ඓතිහාසික විකාශනය පිිලිබඳ කතිකාව සනාථ කරනු වස් දත්ත හා කරුනු දුසිම් ගනනක් නොව ශතක ගනනක් වුව ඉදිරිපත් කල හැකි ය. 1968-75 දක්වා කාලයේදී නැගී ආ ලෝක විප්ලවවාදී රැල්ලට නිදසුන් ලෙස, ලංකාව තුල ප්‍රකාශිත 1971 තරුන කැරැල්ල සහ 1975 වන විට මතු වී පිපිරී ඉස්මත්තට ආ ජෙනරල් ස්ට්‍රයික් ව්‍යාපාරය වැනි පන්ති අරගල මාලාව දැක්විය හැකි ය. 1974 වන විට ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ආන්ඩුවට එරෙහිව පිපිරුනු, දශ ලක්ෂ සංඛ්‍යාත දුම්රිය කම්කරුවන් අලලා ගත් අරගලය ද ගම්බද කැරැලිකාරිත්වය ද ඒ සමග සමපාතවූ සංසිද්ධීන් ය.
ජාතිවාදී මෙන්ම විවිධ අනන්‍යතා දේශපාලන ව්‍යාපාර උසිගැන්වීම හා පෝෂනය කිරීම, මෙම විප්ලවවාදී නැගිටීම් ව්‍යාකූල කොට බෙදා දුබල කිරීමට, පාලක පන්තීන් විසින් කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ දුර්නායකත්වයන් යොදා ගනිමින් මුදා හල විස දුමාරය යි. මෙය ද භූතලයෙහි අන් හැමතැනකම මෙන්ම ලංකාවේ හා ඉන්දියාවේ ද දෝර ගැලීය. ජේ.ආර්. ජයවර්ධන මැතිවරනය දිනු වහාම, දෙමල විරෝධී උත්සන්නියක් මුදා හැරීමද 1977 දීම බලයට පත් භාරතීය ජනතා පක්ෂයේ හින්දු ස්වෝත්තමවාදී ව්‍යාපාරය ද ඊට නොවරදින සාක්ෂියකි.
මෙම ඓතිහාසික තතුවලට විපරීතව “නව ලිබරල්කරනයේ නව අවධියකට පිවිසීම”, 2009දී යුද්ධය අවසන්වීමට ද “ජාතිවාදී වහන්තරාව ඉවත්වීමකට” රමිඳු පෙරේරා විසින් ඈඳනු ලැබීමට හේතු පවතී. එයින් ප්‍රධාන වන්නේ, ඔහුගේත් ඔහු අයත් පෙසපයේත් අක්ෂයේත් නිවැරදි කල නොහැකි කඨෝර ජාතිකවාදී දෘෂ්ටිය යි; ජාත්‍යන්තර විරෝධය යි.
නව ලිබරල්වාදය පිලිබඳ ඉතිහාසය සැලකිල්ලට ගන්නා විට, එයට 1930 ගනන්වල ලෝක අවපාත සමය සමග ඇති සම්බන්ධතාව මගහැරිය නොහැකි ය. අවපාත සමයේ දී ධනේශ්වර පද්ධතියේ ලාභාංශ තටාකය සිඳී යත්ම ධනපති ව්‍යාපාරිකයන් අතර කේඩෑරි වී ගිය, තම තමන්ගේ ලාභ පොදි රැක ගැනීම සඳහා දැල්වී ගිය ගිනි පුලිඟු “මහජන සුබසාධන සේවා” දවා අලු කලේ ය. ඒ සඳහා ප්රජාතන්ත්රවාදී අයිතීන් බිලිගනු දැක්ක හැකි විය. ෆැසිස්ට් වාදයේ නැගීම හා ලෝක යුද්ධය, එම ක්‍රියාදාමයෙහි තීව්රතර ප්රකාශනය අත්කර ගත්තේ ය.
2008 දී ඇරැඹුනු ධනේශ්වර බිඳ වැටීමේ අවධිය
දෙවන ලෝක යුද්ධයේ විනාශය මතින්, ප්රමුඛවම මොස්කව් ස්ටැලින්වාදී නිලධරයේ උරමත වාරු වී අධිරාජ්‍යවාදය අත් පත් කරගත් පශ්චාත් යුද කාලීන උත්පාතය දෙදරා පිපිරී යෑම් මාලාවක් ඔස්සේ, 1988 ගනන් අගසිට ගර්හිත වෙමින් පැමින, 2008 දී තීරනාත්මක බිඳවැටීමේ අවධියකට ලෝක ධනේශ්වරය යලි අවතීර්න විය. අති දැවැන්ත මූල්‍ය සමාගම් බිඳ වැටීම් මාලාවක් සේ ප්‍රකාශිත වූයේ සමස්ත ලෝක ධනේශ්වරයම මුහුන දුන් ආගාධගාමි බිඳවැටීම යි. මෙහි ප්රකාශනය, ලංකාව තුල අත්පත් කරගත්තාවූ දුෂ්ට ස්වභාවය, 2009 යුද හමාරයට හා ජාතිවාදී වහන්තරා හරනයකට ඈඳා පෙරේරා විසින් වහංගු කෙරෙන්නේ ය, මේ වංචාවේ දේශපාලන අර්ථය වන්නේ කම්කරු පන්තිය ප්රමුඛ විප්ලවවාදී බලවේගවල නැගිටීමක ප්‍රතිපලයක් වශයෙන් ධනේශ්වර පද්ධතියේ අහෝසිය දකිනු නොරිසි ජාතිකවාදී මධ්‍යම පන්තික තට්ටුවේ “යහපාලන” විපරීතයට ආවැඩීමේ අවශ්‍යතාව යි.
රමිඳු පෙරේරාගේ ලිපියේ එක පිටුවක ගැබ්වන දෝෂ පොදිය ඔබා බැලීමට නොව ලිහා බැලීමට මේ සා කාලයක් මිඩංගු කිරීමට සිදුවීම ගැන පාඨකයන් උරනනොවනු ඇත්තේ, එහි අවශ්‍යතාව තේරුම් ගනු ඇති නිසාය යන්න මගේ විස්වාසය යි.
පෙරේරා ඉක්බිතිව පෙලගස්වන්නේ යථාර්ථය ඔලූවෙන් සිටවන වැකි ගනනාවකි. “සුබසාධක රාජ්‍ය ආකෘතිය දල වසයෙන් ලෝක යුද්ධය අවසානවූ කාලයේ සිට 1970 මැද ගනන් දක්වා ගෝලීය පරිමානයෙන් ආධිපත්‍ය දැරීයැයි” ලියන ඔහු, “මෙම කතිකාව තුල අධ්යායපනය හා සෞඛ්‍යය ආදිය ‘සමාජ අයිතීන්’ ලෙස සැලකුනු” බවත් “ඒවා මිලට ගතයුතු වෙලඳ භාන්ඩ නොව රජය විසින් තහවුරු කල යුතු සමාජ අයිතිවාසිකම් වශයෙන් පිලිගැනුනු” බවත් කියා සිටී. මේ විකෘතියට පොහොර දමා ගැනීම සඳහා, සමාජ අයිතීන් වූ කලී “විශ්වීය අයිතිවාසිකම්” යැයි සුබසාධනවාදය පිලිබඳව පුලුල් ලෙස ලියා ඇතැයි කියන ශාස්ත්‍රඥයෙක් වන එස්පින්ග් ඇන්ඩර්සන් නැමැත්තෙක් ද කැඳවා ගනී.
සමාජ යථාර්ථය අවබෝධ කර ගනු හෝ අවබෝධ කරදෙනු නොහැක්කන් විසින් ධනපති ගැති විවිධ ඊනියා ශාස්ත්රඥයින්ගේ නම් දමා ගැසීම පශ්චාත් නූතනවාදයේ ආභාෂය ලත් මාක්ස්වාද විරෝධී මධ්‍යම පාන්තිකයන් අතර විලාසිතාවක්ව පවතී. සුබසාධන රාජ්‍යය යනු කවරේ ද? එය, පවත්නා රාජ්‍යය ධනේශ්වර බව වහංගු කිරීමට යොදා ගැනෙන්නක් නොවේ ද?
කෙසේවුවද, මේ සමස්ත ඉදිරිපත් කිරීම ම ඓතිහාසික වර්ධනයන් පිලිබඳ විකෘතියකට මනා උදාහරන වේ. මේ ප්රකාශයන්ට අනුව සමාජ සුබසාධනය වනාහී, ධනපති පන්තිය ද ධනපති රාජ්‍යයන්ගේ නොකැමත්ත අනුව, ක්‍රියාත්මක කෙරෙනු ඇති ව්‍යාපෘතියකි. ඒ අනුව සුබසාධනයට හිතැති යහපාලනයක් ධනපති ක්‍රමය තුල ස්ථාපිත කර ගතහොත් ප්රශ්නය ලෙහෙසියෙන්ම විසඳා ගත හැකි ය. මේ න්‍යායට අනුව, ධනපති ක්‍රමයට එරෙහිව විප්ලවවාදී පරිවර්තනය ඉල්ලා සිටින්නෝ, නිරායාසයෙන්ම සමාජ විරෝධීන් ලෙස හංවඩු ගැසෙති.
අපි නැවතත් ඓතිහාසික මූලයන් වෙත හැරෙමු. ධනපති ව්‍යාපාරික ප්‍රජාව හෝ ඔවුන්ගේ රාජ්‍යය පදනම්ව ඇත්තේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයෙන් අතිරික්ත වටිනාකම් (ලාභ) උරා ගනිමින් ප්රාග්ධනය වර්ධනය කර ගැනීමේ පද්ධතියක් මත ය. ඊට අසම්බන්ධිතව “සුබසාධන ක්‍රමයක්” හෝ සමාජ අයිතීන් රැකීමක් හෝ එහි අරමුන නොවේ. “සමාජ සුබසාධන සේවා” ධනපති ක්‍රමය තුල ක්‍රියාත්මක වේ නම්, ඒවා හැමවිටම ලාභ පද්ධතිය පවත්වා ගැනීමේ හා සූරාකෑමේ ක්රමයේ පදනම සුරක්ෂිත කර ගැනීමේ අරමුනින් සීමා සහගත වන්නේ ය. මේවා ඔජ වැඩීම, ධනේශ්වර ගැති ප්රතිසංස්කරනවාදී දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මගින්, කම්කරුවන් සිය විප්ලවවාදී ඉදිරිදර්ශනයෙන් හා ක්‍රියාමාර්ගයෙන් අපසරනය කිරීම සඳහා නිරතුරුවම යොදා ගැනේ. කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය ප්රතිසංස්කරනවාදී හා සම්මුතිවාදී දේශපාලනයට අනවරතව විරුද්ධ වන්නේ එහෙයිනි. අක්ෂය වැනි ප්රකාශනවල ලියනප්පුලා ද ලියාපදිංචිව සිටින්නේ එම සතුරු කඳවුරේම ය.
ඊනියා සමාජ සුබසාධන සේවාවල උපත හා විකාශනය
රමිඳු පෙරේරා සඳහන් කරන ඊනියා සමාජ සුබසාධන සේවාවල උපත හා විකාශනය සලකා බැලීමෙන් මෙම විප්ලවවාදී මාක්ස්වාදී ආස්ථානය වටහා ගත හැකි ය. පහසුව තකා නිදසුන් කීපයක් මගින් එය පැහැදිලි කර දීමට ඉඩ සලසා ගනිමු. පෙරේරාගේ තර්කයට අනුව ඇමෙරිකාවේ කපු වගාකරන්නන්, දහඅටවන සියවස අග සිට දහනවවන සියවස මැද වන තෙක් අප්‍රිකානු ජනයා වහලුන් ලෙස එරටට ගෙන්වා ගත්තේ ඔවුන්ට ජීවිකාවක් සලසා දීමට විය යුතු ය.
ඊට සමගාමීව දහනව වැනි සියවස මැද පටන් ලංකාවට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ මිනිසුන්, අර්ධ වහලුන් ලෙස වතු හාම්පුතුන් විසින් වැඩට යොදා ගත්තේ ද ඔවුන්ට ලයින් කාමර සපයා දුන්නේ ද අවම මට්ටමේ හෝ සෞඛ්‍ය සේවාවක් වතුවලට සපයා දුන්නේ ද සුබසාධනය පෙරදැරි කරගෙන විය යුතු ය. නැත, ඒ සියල්ල කෙරුනේ ශ්‍රමිකයන්ගෙන් අතිරික්ත වටිනාකම් සූරාගැනීමේ සීමාවට යටත්ව ය. එනම්, ඒ සියල්ල වතුකම්කරුවන් වතු වැඩටම බැඳ තබා ගනිමින් නොනවත්වා ඔවුන්ගේ ශ්‍රම ශක්තිය සූරාකෑමේ අරමුන සපුරාගැනීමේ අවශ්‍යතාවට යටත්ව සිදු කෙරුනු දේ ය. මේ අවම සීමා බිඳ ගනිමින්, ඒ සමාජ අවශ්‍යතා සපුරා ගැනීම පුලූල් කිරීමක් සිදුවී නම්, ඒ, කම්කරු පන්තිය සිය සංවිධාන ශක්තිය යොදා ගනිමින් කල අරගලවල ප්‍රතිපල වසයෙනි. එනම්, ඒවා සුබසාධන රාජ්‍ය ක්‍රමයක් පිලිබඳ අදහසකින් ධනපති පාලකයින් ඉටු කල දානමය දේ නොවේ.
අධ්‍යාපනයේ හා සෞඛ්‍ය සේවයේ උපත ද එපරිදිම විය. 1831 කෝල්බෘක් ව්‍යවස්ථා ප්රතිසංස්කරන අනුව අධ්‍යාපනය පුලුල් කිරීම සඳහා මිෂනාරි අධ්‍යාපනය ලබාදීමේ වැඩපිලිවෙලක් මෙරට ආරම්භ කෙරුනේ, මෙම විජිතයේ ව්‍යාපාරික කටයුතු සඳහා පෙර පැවතියාට වඩා සාක්ෂරතාව සහිත පුලුල් පරිමාන පිරිසක් යොදා ගැනීම පිනිස ය. එය ලාභ අපේක්ෂාවෙන් පිටස්තර, සුබසාධනය අරමුනු කරගත්තක් නොවේ.
අතරමැදි අද්වකාත්වරුන් මගහැර, මේ පිලිබඳව, අපි කෙලින්ම මාක්ස් විමසමු. ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවාගේ තත්වය කාල් මාක්ස්, සිය කැපිටාල් කෘතියේ සවිස්තරව පැහැදිලි කර දී ඇත. “කම්කරු ශ්‍රම ශක්තියේ වටිනාකම තීන්දු කරන්නේ, අනෙක් කවර වෙලඳ භාන්ඩයකදී මෙන් ම, මෙම විශේෂ භාන්ඩයේ නිෂ්පාදනය හා එමෙන්ම එහි ප්රතිනිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ශ්‍රම කාලය මගිනි”, යි ප්‍රකාශ කල මාක්ස්, ශ්‍රම ශක්තියේ හිමිකරුවා අද වැඩකල හොත් හෙට දිනදී ද ඔහු ඒ හා සමාන ශරීර සෞඛ්‍යයෙන් හා ශක්තියෙන් යුතුව එම ක්‍රියාදාමය නැවත ක්‍රියාත්මක කිරීමට සුදුසු තත්වයක සිටිය යුතුවේ යැයි කියා සිටියේ ය. එපමනක් නොවේ. “ශ්‍රම ශක්තියේ හිමිකරුවා මිය යාමට නියමිත හෙයින්, ශක්තිය වියැකී යාමෙන් හා මියැදීමෙන් වෙලඳපොලින් ඉවත්වන ශක්තිය අඛන්ඩව හා ඒ සමාන නව ශ්‍රම ශක්තීන්ගෙන් විස්ථාපනය විය යුතු වේ,” යැයිද පැහැදිලි කලේ ය. කම්කරුවාගේත් ඔහුගේ තැන ගන්නා අනාගත පරපුරේත් පැවැත්ම සඳහා අවශ්‍ය අවම ආහාර, නිවාස ඇතුලු ජීවන අවශ්‍යතාවන්ට සරිලන වැටුප් ව්‍යාපාරිකයන් විසින් ගෙවනු ලබන්නේ මේ නිසා ය. එය සමාජ සුබසාධනීය පින්වත් අරමුනකින් පැන නගින්නක් නොවේ.
කම්කරුවාගේ හා ඔහුගේ බාල පරපුරේ අධ්‍යාපනය ගැන ධනපති පන්තියේ තැකීම ද මෙපරිදිම ය. “දෙන ලද යම් කර්මාන්ත අංශයක නිපුනතාව හා හුරුකම අත්පත් කර ගැනීම සඳහා මනුෂ්‍ය ඉන්ද්‍රියන් හැඩගස්වා ගනිමින් විශේෂ වර්ගයක ශ්‍රම ශක්තිය බවට පත්වීම පිනිස විශේෂිත අධ්‍යාපනය හෝ පුහුනුව අවශ්‍ය වේ. මේ සඳහා යෙදවෙන අඩු හෝ වැඩි ප්‍රමානයක භාන්ඩවලට සමානවන වටිනාකමක් වැය වේ,” යනුවෙන් මාක්ස් පැවසීය. තවදුරටත්, “මේ අධ්‍යාපනයේ පිරිවැය (සාමාන්‍ය ශ්‍රම ශක්තිය සම්බන්ධයෙන් මෙය ඉතා අල්ප වන්නේ ය) එහි නිෂ්පාදනයට අඩංගු වන්නේ යැයි” ද මාක්ස් කීවේ ය. [කැපිටාල්, (ඉංග්‍රීසි) වෙලුම 1 පරිච්ඡේදය 6, ශ්‍රම ශක්තිය මිලදී ගැනීම හා විකිනීම].
අධ්‍යාපනය හා නිවාස ද ඇතුලත් ජීවන කොන්දේසි සපුරා ගැනීම සඳහා පහසුකම් අවම මට්ටමකින් පවත්වා ගැනීම ධනේශ්වර ක්‍රමය යටතේ තහවුරුවූ වැටුප් ශ්‍රමය සමග බැඳී ඇති අයුරු මාක්ස්ගේ මේ විග්‍රහයෙන් පැහැදිලි ය. ධනපති ක්රමයේ පැවත්මම තර්ජනයට ලක්කෙරෙන ආකාරයේ කම්කරු අරගලවල අභියෝගය හමුවේ පන බේරා ගැනීම පිනිස, එම පහසුකම් වැඩි දියුනු කිරීමේ ප්රතිසංස්කරන සඳහා ධනපති පාලක පන්තිය යොමුවීමට වැඩිමනත් සුබසාධනීය අරමුනක් පාලකයන්ට නැත.
නැවත පැහැදිලි කරතොත්, අවම සෞඛ්‍යය හා අධ්‍යාපන පහසුකම් සැලසීම, කම්කරුවාගේ ශ්‍රම ශක්තියෙන් අතිරික්ත වටිනාකම් සූරාකෑමේ ද එමගින් ලාබ ඉපැයීම හරහා ප්රාග්ධනය තර කිරීමේ ද ධනේශ්වර පද්ධතිය හා බැඳුනක් මිස ඉන් උත්තරරෝපිත “සුබසාධන රාජ්‍යක” මහිමයෙන් ප්‍රාදූර්භූත දේ නොවන බව මින් පැහැදිලි විය යුතු ය.
පෙරේරා විශේෂ කොට කතා කරන පශ්චාත් දෙවන ලෝක යුද්ධ කාල පරිච්ඡේදයේ ඊනියා සුබසාධක සේවා සැලකුවහොත්, එය ලෝක යුද්ධ දෙකකින් විනාශභාග්වූ ධනේශ්වර ලෝක පද්ධතිය යලි ගොඩනගා ලීම සමග බද්ධවූ වැඩපිලිවෙලකි. ධනපති ක්රමයේ ප්රාගාඪ පරස්පර විරෝධතා හේතුකොට ලෝක යුද්ධ කරා ගිය ධනපති පාලක පන්තියට, ධනපති පුනස්ථාපනය සඳහා අවශ්‍යවූ පුහුනුව සහිත ශ්‍රමිකයන් සූදානම් කරගැනීම සඳහා ද, ස්ටැලින්වාදීගේ හා සමාජ අවස්ථාවාදීන්ගේ සහාය ලබමින් පන්ති ස්වාමිත්වය තහවුරු කරගැනීම සඳහා ද සමාජ සේවා පුලුල් කරනු අවැසි විය. එය, ලාභාපේක්ෂාවට පිටස්තර ඊනියා මානව හිතවාදයකින් පැනනැංගක් නොවේ.
ශ්‍රී ලංකාව තුල නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටන
ලංකාවේ එතෙක් පැවැති අතිශය සීමිත අධ්‍යාපන ක්‍රමය වඩාත් පුලුල් ක්‍රමයක් බවට පරිවර්තනය කරගනු සඳහා මූලිකත්වය ගෙන උද්ඝෝෂනය කලේ, ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යි. අධිරාජ්‍යවාදීන් විසින් නීතිවිරෝධී කෙරුනු ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (එහි පූර්වගාමියා ලංකා සමසමාජ පක්ෂය විය) සමස්ත ඉන්දියානු අර්ධද්වීපික කම්කරු පන්ති පක්ෂයේ විප්ලවවාදී නායකත්වය ලෙස, නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටනට ආරම්භකත්වය ගත්තේ ය. ලෝක යුද්ධය මධ්‍යයේ අර්බුද ග්රස්ථව පැවැති බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1943 දී රාජ්‍ය මන්ත්‍රන සභාව ඒ සඳහා යෝජනාව සම්මත කෙරුන ද බ්‍රිතාන්‍ය පාලකයින් මෙන්ම එහි තැරව්කාර දේශීය ධනපති පන්තියේ පක්ෂයවූ ලංකා ජාතික සංගමය හා එක්සත් ජාතික පක්ෂය ද නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාවට දැමීමට උනන්දුවූයේ නැත. එහෙත්, 1948 ඊනියා නිදහස සමග, ලාංකීය ධනපති පන්ති පාලනයේ ප්රසාරනයක් සිදුවීම ද පශ්චාත් යුදකාලීන උත්පාතයේ බලපෑම ද යටතේ වඩාත් පුලුල් නිපුනතා සහිත ශ්‍රම බලකායක අවශ්‍යතාව පැන නැගීමත් සමග නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීම ඇරඹුනි.
නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය මෙන්ම කම්කරු නිවාස හා ප්‍රවාහන සේවා සැලසීම, වඩා පුලුල් ලෙස සමාජය අලලා ගැනීම ලංකාව තුල සිදුවූයේ 1950 ගනන්වලදී ය. එහෙත් කම්කරු පන්තිය, ඒවා දිනාගැනීම පමනක් නොව, ඒවා රැක ගැනීම ද සඳහා 1953 අගෝස්තු හර්තාලය වැනි දැවැන්ත අරගල හා කැපකිරීම්වල යෙදීගත් බව අමතක කල නොහේ.
වර්තමාන ලෝකය අත්දකිමින් සිටින්නේ, පශ්චාත් යුදකාලීන උත්පාතයේ ප්‍රතිවිරුද්ධ තත්වය යි. ඊනියා සුබසාධන සියල්ලට මලබෙරය හඬවමින් ධනේශ්වර ලෝක පර්යාය, 1930 ගනන්වල මුහුන දුන්නාට ද වඩා බරපතලව, ලාභ රේට්ටුව බිඳවැටීමේ අර්බුදයක ගිලෙමින් ඇත. මේ සමයේදී සුබසාධන සේවා කප්පාදුවට හා සමතලාවට ලෝක ධනේශ්වර හැරී ගැනීම, තුන්වැනි ලෝක යුද්ධය පිලිබඳ තර්ජනය මෝරා වැඩීයාම සමග ද අත්‍යන්තයෙන් බැඳී පවතී.
සමාජ සුබසාධන සේවා ධනේශ්වරයේ කැමැත්ත නොකැමත්ත මත රැඳී පවතින්නක් ලෙස ගනිමින්, එය ධනේශ්වර සූරාකෑමේ-ලාභ ගැරීමේ පද්ධතියට අසම්බන්ධිත ලෙස ඉදිරිපත් කරන්නන් කරගසා සිටින්නේ, ධනේශ්වර රාජ්‍යයන් මගින් ක්‍රියාත්මක කෙරෙන මෘග ධනේශ්වර ප්රතිවිප්ලවයට හා යුද්ධයට කත් අදිමින්, ධනපති ක්රමයේ විනාශකාරීත්වය තුල කම්කරු පන්තිය ප්රමුඛ පීඩිත මහජනතාව ගිල්ලවා දැමීමට ය.
ලාභ පද්ධතියේ උච්චාවචනයන්ට හා පන්ති අරගලයේ නැගීම් හා බැසීම්වලට අසම්බන්ධිත කොට, ධනේශ්වර ක්‍රමය තුල ලැබෙන තාවකාලික වාසි හා ඉඩ ප්රස්ථා ජයග්රහනයන් සේ ඔජවැඞීම, ධනපති ක්‍රමය රැකීමට කැපවූ සියලු අවස්ථාවාදීන්ගේ නොවරදින සලකුනයි. එය විප්ලවවාදී ඉදිරි දර්ශනයට එරෙහිව මතු කරන ප්රමුඛ තර්කය යි. වෘත්තීය සමිතිවාදයේ හා ප්රතිසංස්කරනවාදයේ පදනම එය යි.
“වෙලඳ භාන්ඩහරනය”
මහජන ව්‍යාපාරය විප්ලවවාදී සවිඤ්ඤානිකත්වය කරා එලැඹීමේ මාවත හරස්කොට එම මහමගට ගල්මුල් පෙරලීමෙන් පසුව අක්ෂය ප්රකාශනයේ රමිඳු පෙරේරා තවත් කටුකොහොල් ගොන්නක් ඇදගෙන එයි. උතුරු යුරෝපීය රටවල සමාජ ප්රජාතන්ත්රවාදීන් කල හාස්කමක් ලෙස, ඔහු, ධනපති ක්‍රමය තුල “වෙලඳ භාන්ඩහරනයේ” ක්‍රමයක් හඳුන්වා දෙයි. මේ තොවිලයට අනුව, “සමාජ අයිතීන් වෙලඳ පොල ක්ෂේත්රයෙන් ඉවතට ගෙන එමක්” සිදුවන බවට ඔහු දිවුරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන වැනි ධනපති පක්ෂ ද පැරැනි සමසමාජ, කොමියුනිස්ට් මෙන්ම නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය හා අලුතින් එම කඳවුරට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද නිරතුරුවම බැට දෙන, නව ලිබරල් ප්‍රතිපත්තිය පෙරේරා කරලියට කැඳවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙලඳ භාන්ඩකරනය එතැනින් ආරම්භවූයේ යැයි ඔහු කියා සිටී.
ධනපති පන්තිය මුහුන දෙන කවර හෝ ගැටලුවක් නිසා, ධනපති ක්රමයේ ආරක්ෂකයා වන රාජ්‍යය එම පන්තිය වෙනුවෙන් ඉදිරිපත්ව යම් ක්ෂේත්රයක ආයෝජනයට ඉදිරිපත්වීමෙන් කෙරෙන නිෂ්පාදනයක් වෙලඳපලින් ඉවත සිදුවන්නක් බවට පත් නොවේ. එමෙන්ම, ධනපති ව්‍යවසායන් ධනපති පාලනයේ අවශ්‍යතා සඳහා රජයට පවරා ගැනීමෙන් ද ඒවායේ නිෂ්පාදන, ධනපති වෙලඳපොලින් ඉවත් වන්නේ හෝ වෙලඳ භාන්ඩහරනයකට භාජන වන්නේ නැත. එය, රාජ්‍ය ධනවාදයේ ලක්ෂනයකි.
ආර්ථිකයේ ස්වභාවික වර්ධනයක් අවුරමින් අධිරාජ්‍යවාදී පාලනයේ මැදිහත්වීමෙන් ධනපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ විජිත රටවල විශේෂයෙන් ම සිදුවූ මේ ක්‍රියාවලිය ලංකාවට හා ඉන්දියාවට ද අමුත්තක් නොවේ. ලංකාවේ රාජ්‍යය මගින් සහනදායි ලෙස පවත්වා ගෙන ගිය, දුම්රිය සේවාව හෝ තැපැල් සේවාව උදාහරන වේ. ඒවා විශ්වීය අයිතීන් රැකදීමට සිදුකෙරුනා නොවේ. ඒවා, පෙරේරා කියන පරිදි, ධනපති ක්රමයේ නැතිවම බැරි අවශ්‍යතා සපුරාලූ ව්‍යවසායන් ය. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව ද ඒ ගනයට වැටේ. ඒවා නඩත්තු කෙරුනේ සමස්ත ධනපති ලාභ පද්ධතිය හසුරුවන රාජ්‍යය මගිනි.
නහයේ තුඩට එපිට ඉදිරිය නොපෙනෙන, ධනපති ගැති විදේශීය හා දේශීය ඊනියා ශාස්ත්රඥයින් දෙසාබාන කවර ප්රලාපයක්වුව ද ඩැහැගන්නා පන්ති සම්මුතිවාදී බත්බැලයන් මෙය, මහජනයා මුලාකිරීමට යොදාගත හැකි අපූරු විලාසිතාවක් කොට සලකන බව වටපිට බැලූවිට පෙනේ. ඔවුන් වැඩි වසයෙන්ම කලඑලි බසින්නේ ධනපති ක්රමයේ මාරක අර්බුද සමයන්හිදී ය. කම්කරු පන්තියේ ද තරුනයන්ගේ හා පීඩිතයන්ගේ ද විප්ලවවාදී අරගල ආසන්නයේදී ය.
රමිඳු පෙරේරා දක්වන එක් නිදර්ශනයක් සුබසාධන රාජ්‍ය පිලිබඳ අර්ථකථනය දැදුරු කර හරියි. අධ්‍යාපන වියදම් කප්පාදුවේ තරම ගෙනහැරපෑමට ඔහු ඉදිරිපත් කරන්නේ මංමාවත් සඳහා දැරෙන පිරිවැය සමග අධ්‍යාපනය සඳහා රජය දරා ඇති වියදම් සංසන්දනයකි. මහාමර්ග සඳහා 2015දී රුපියල් බිලියන 169.5ක් වියදම් කරද්දී අධ්‍යාපනය සඳහා වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 27. 7ක් පමනක් බවට ඔහු මැසිවිලි නගයි. මේ වියදම් දෙකම සෘජු ලෙස ලාභ නිපදවන්නේ නැත. එහෙත් ඒවා ලාභ පද්ධතියේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කෙරෙන රාජ්‍ය වියදම් ය. ධනපති හුවමාරු භාන්ඩ සංසරනය සඳහා මංමාවත් නැතිව බැරිවාක් මෙන්ම ධනපති නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහාත් පරිපාලනය සඳහාත් අවශ්‍ය පුහුනු ශ්‍රමය සම්පාදනයට අධ්‍යාපනය නැතිවම බැරි ය. ඒ දෙකම ධනේශ්වර වෙලඳභාන්ඩ නිෂ්පාදනයට හා හුවමාරුවට අත්‍යවශ්‍ය කර්තව්‍යයන් දෙකක් ඉටු කරන්නේ ය. අඩුපාඩු සහිතව මුත්, නොමිලයේ සැපයුනු සේවා අංශ දෙකක් ලෙස පැවති මේ දෙඅංශය ම මුදල් අයකිරීම්වලට යටත් කිරීමට අර්බුද ග්රස්ථ ධනපති ක්‍රමය හැරී සිටී.
අක්ෂයේ පල කෙරෙන මේ ලිපිය තුලමත් රමිඳු පෙරේරා, ඇමෙරිකාවේ සමාජවාදී වෙස් ගෙන මතුවූ බර්නි සෑන්ඩර්ස්ගේ හා බ්‍රිතානයේ ලේබර් පක්ෂ නායකවූ ජෙරමි කෝබීන්ට තම හෘදයාංගම සහාය පලකිරීමට ඉදිරිපත්ව සිටීම මත් මේ ධනපතිගැති වංචාකරුවන්ගේ හැඩරුව තවදුරටත් කියාපායි. ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පිපිරී පැන නැංවෙන කිරනින්, කවර රටක වුව ද බොරු වෙස්ගත් මේ බස්සන්ට යන එන මං සොයා ගැනීමට බැරි කෙරෙනු ඇත.
ලිපියේ කෙලවරදී මේ සියලු විකෘතිකරනයන්ගේ අරමුන පෙරේරා එලියට දමන්නේ ය. යහපාලන පෙරහැරේ නැට්ටුවන්වූ අජිත් පැරකුම් ජයසිංහ, ගාමිනී වියන්ගොඩ, වික්‍රමබාහු කරුනාරත්න වැන්නන්ට බැටදෙන නියාවෙන් කරන පාරම්බෑම්වලින් පසු, පෙරේරා තමන්ගේ තුච්ඡම ගනයේ ධනපති ගැති සම්මුතිවාදී විසඳුම, විශ්වවිද්‍යාල අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරයි.
මෙහිදී, පෙරේරා නම් කරන පුද්ගලයන් ද පෙරේරා ද අතර පවතින සබැඳියාව නොවරදින ලෙස පෙන්නුම් කර ඇත්තේ 2015දී ඇමෙරිකානු පිටුබලය සහිතව සිදුකෙරුනු “යහපාලන” තන්ත්‍රමාරුව ගැන ද කවර හෝ විවේචනයක් කිරීමෙන් වැලකී සිටීම මගිනි.
රමිඳු පෙරේරාගේ “විසඳුම”සාරාංශ ගත කලහොත්, ඒ මෙසේ ය:
පලමුවම, ඊනියා සුබසාධන රාජ්‍යයේ පදනම පුලුල් කිරීම විසඳුම ලෙස දක්වයි. මෙහි අර්ථය පැහැදිලි ය. ධනපති රාජ්‍යයට අත නොතබනු! එය සුබසාධන රාජ්‍යය සේ නම්කොට සුබසාධන වපසරිය පලල් කිරීමට සහය වනු! යන්න ය. එම කාර්ය, අක්ෂයේ සමාජ පදනම් වන මධ්‍යම පන්තිකයන්ගේ සිරුරේ සීරීමක් පවා ඇති නොවන පරිද්දෙන් “චින්තනමය වෙනසක් මගින් රාජ්‍යයේ ප්‍රමුඛතා වෙනස් කිරීමෙන්” එම කාර්යය ඉටුකර ගත හැකි ය.
දෙවනුව, පෙරේරා මෙසේ යෝජනා කරයි. “අධ්‍යාපන පද්ධතිය වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් මේ මොහොතේ රටේ නොමැති බව” පිලිබඳ පාලක පන්තියේ කෙප්පය “මොහොතකට පිලිගෙන” බරපතල, ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම “තරමක් කල් ගන්නා ක්‍රියාවලියක්” හෙයින් “වියුක්ත සටන් පාඨ අත් හැර”, “ලාභ ඉපැයීමේ පදනමක් මත ක්‍රියාත්මක නොවන සහනදායී පදනමක් මත ගාස්තු අයකෙරෙන විවෘත විශ්ව විද්‍යාල වැනි ආයතන පුලුල් කිරීම”. මේ ක්‍රමය, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් වැනි යහපාලනයේ නැට්ටුවකු ද යෝජනා කර ඇති බව, තම යෝජනාවට පලිප්පු දමා ගැනීම සඳහා පෙරේරා පවසයි.
ධනපති ක්‍රමයට උගුරට හොරා බෙහෙත් ගිල්ලවීමට කෙරෙන මේ යෝජනාවලින් මුලාවීමට නම් කෙනෙකුට නිවැරැදි කල නොහැකි තරමේ බුද්ධි හීනතාවක් තිබිය යුතු ය. රමිඳු පෙරේරා හෝ ඔහු ඇසුරු කරන ඊනියා බුද්ධිමතුන් ද එවැන්නෝ නොවෙති. ඔවුහු ධනපති ක්‍රමය ආරක්ෂා කර දීම සඳහා කොන්ත්‍රාත්තුවක් භාරගත්තෝ වෙති.
වෙනයම් විසඳුමක් බැරි නිසා මෙය විසඳුමක් සේ ගනු යැයි ඔහු කම්කරුවන්ට හා තරුනයින්ට කියා සිටී. මේ බැරිකම විප්ලවවාදී පන්තියේ නොව මධ්‍යම පන්තියේ වඳකම හා බැරිකම යි. තමන් හිස සිට දෙපතුල දක්වා ම ඇලී සිටින ධනපති ක්‍රමයෙන් බිඳී ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව හා නොරිසි බවයි, ඒ.
සමාජවාදී විසඳුම
ලෝක පරිමාන ගැඹුරුතර අර්බුදයක ගිලෙමින් පවතින ධනේශ්වර ක්‍රමය තුල සුබසාධන සේවාවලට ඉඩ වඩවඩාත් ඇවිරෙමින් තිබේ. කම්කරු ශ්‍රමය ආර්ථික ක්‍රියාවලියෙන් පිටමං කිරීම එම ක්‍රමය තුල අද ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙල යි. මෙවන් සමාජ ප්රතිවිප්ලවකාරී ක්‍රියාදාමයක් මුදා හරින ධනපති ක්‍රමය විස්ථාපනය කිරීම හැර වෙනත් විකල්පයක් කම්කරු-පීඩිත ජනයාට ඉතිරිවී නැත. එම ඉලක්කය කරා කම්කරු පන්තිය මෙහෙයවා ගැනීම සඳහා උපයෝගි කෙරෙන සංක්රමනීය ඉල්ලීම්වලට වෙනස් අරමුනක් තිබිය නොහැකි ය.
ධනපති ක්‍රමය පෙරලා දමනු ලැබීම වැලක්වීම සඳහා එම ජරා ජීර්න වී ඇති ක්‍රමයට කිහිලිකරු සැපයීම අක්ෂය ප්රකාශනය ද ඒ වටා වහවැටී සිටින කුජීත දේශපාලනඥයින් ලෙස කුප්‍රකට තුල්සිරි අන්ද්‍රාදි හා සුමනසිරි ලියනගේ වැන්නන් ද භාරගෙන ඇති ප්රතිගාමී කටයුත්ත බව රමිදු පෙරේරා හෙලිදරව් කර ඇත. කම්කරු පීඩිත ජනතා ව්‍යාපාරය තුලින් මොවුන් විරේක කර දැමීමේ අවශ්‍යතාව තීව්ර ලෙස මතුවී ඇත යන්න පැහැදිලි කරදීම මේ ලිපියේ අරමුන යි. එය, කම්කරු පන්තිය හා තරුනයින්, දුගීන් නව සමාජවාදී දේශපාලන සංස්කෘතියක් මත පිහිටුවා ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන අරගලයේ නොවෙන් කල හැකි කොටසකි. ධනේශ්වර ක්‍රමය ප්රතිසංස්කරනය කිරීමට නොව, එය විප්ලවවාදී ලෙස විස්ථාපනය කිරීම සඳහා, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ වී, කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීම, ජීවන හා ප්රජාතන්ත්රීය අයිතීන් සුරක්ෂිත කර ගැනීමේ ඒකායන මාවත බව සසප නැවතත් අවධාරනය කර සිටී.
Follow us on