සන්නද්ධ හමුදා නීතියට ඉහලින් පිහිටුවීමේ ආන්ඩුවේ තැත
සමන් ගුනදාස විසිනි, 2017 අප්‍රේල් 10
පසුගිය සතියේ වාර්තාවූ සිද්ධීන් දෙකකින් ලංකාවේ සන්නද්ධ හමුදා රටේ නීති පද්ධතියට ඉහලින් සිටින්නාවූත් නීතියේ පාලනයෙන් නිදහස් වූත් සංස්ථාවක් ලෙස පවත්වාගෙන යාමට ආන්ඩුව ක්‍රියා කරන ආකාරය ඉස්මතු විය.
මින් පලමු සිද්ධිය වන්නේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් මේජර් ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා උසාවියට ගෙන ඒ්ම සඳහා සිතාසි නිකුත් කිරීමට දැක්වූ මැලිකමයි.
දෙවන සිද්ධිය වන්නේ වර්ගවාදී යුද්ධය මධ්‍යයේ බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් ඒවායේ හිමිකරුවන් වූ දෙමල සිවිල් වැසියන්ට ආපසු දීම සඳහා මිලිටරිය විසින් ආරක්ෂක අමාත්‍යංශයේ හා ආන්ඩුවේ අනුදැනුම සහිතව විශාල මුදලක් ලබා ගැනීමයි.
මෙම සිද්ධීන් මගින් ඇඟවුම් කෙරෙන්නේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධය ජයග්‍රහනය කල මිලිටරිය “රන විරුවන්” ලෙස සුවිශේෂී ස්ථානයක සිටින බව ද එය විශේෂ සැලකිලි ලැබිය යුතු සංස්ථාවක් බව ද එහි අධිකාරවත් බව පිලිගත යුතු යයි ද ආන්ඩුව හා අධිකරනය ඇතුලු සමස්ත පාලන සංස්ථාපිතය විසින් මහජනයාට අන කෙරෙන බවයි.
පසුගිය මාර්තු 30 දින සින්නදොරෙයි සසිදරන් නොහොත් ඒලිලන් නමැති එල්ටීටීඊ නායකයා ඇතුලූ එල්ටීටීඊ සාමාජිකයින් දොලොස් දෛනකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරනයේ විනිශ්චයකාර එම්. එස්. එම්. සම්සුඩීන් ඉදිරියේ ඒ පිලිබඳ කරුනු විමසිය යුතු හමුදා නිලධාරියා කවුද යන ප්රශ්නය මතු විය. සාක්ෂි දීමට කැඳවා සිටි 58 වන හමුදා සේනාංකය භාර මේජර් ජෙනරාල් කාලිංග ගුනවර්ධන පවසා ඇත්තේ සිද්ධියට අදාල දිනවල එනම්, 2009 මැයි මාසයේ තමන් ප්රස්තුත ප්‍රදේශයේ සේවය නොකල බැවින් ඒ පිලිබඳව කිසිවක් නොදන්නා බවයි. එවක මුලතිව් ප්‍රදේශය භාරව සිටියේ 58වන සේනාංකය මෙහෙය වූ අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා බව එහිි දී ප්‍රකාශ විය.
පෙත්සම්කරුවන් ගේ නීතිඥවරයා විසින් සිල්වා හට සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබූ අතර ආන්ඩුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයා සිතාසි නිකුත් කිරීම පිලිබඳව විරෝධය පල කලේය. ඩේලි මිරර් වාර්තාවට අනුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ “බහුතරය විසින් විරෝධය පල කරන බැවින්” ෂවේන්ද්‍ර සිල්වා උසාවිය ඉදිරියට ගෙන ඒ්ම දුෂ්කර බවත් මීලඟ නඩුවාරය එනම් අප්‍රේල් 27 දින ඒ් පිලිබඳ අවසාන තීන්දුව ලබා දෙන බවත්ය. ”බහුතරය” යන්නෙන් අදහස් කලේ කුමක්ද යන්න පැහැදිලි කර නො තිබුන ද ඉන් අදහස් කරන්ට ඇත්තේ රටෙහි සිංහල බහුතරය විය යුතුය.
මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය හා පෙත්සම්කාරිය වන උතුරු පලාත් සභාවේ මන්ත්රීනී අනන්තී සසිදරන් නඩුව විභාග වූ පසුගිය අවස්ථාවේදී පැවසුවේ ඇයගේ ස්වාමිපුරුෂයා වන ඒලිලන් 2009 මැයි මස 18 දින මුලතිව්හි දී ශ්‍රීලංකා හමුදා සේනාංකයට තමන් හා තම දරුවන් ඉදිරියේ භාරවූ අතර ඉන් අනතුරුව ඔහු ද ඔහු සමග භාරවූ අනෙක් අය ද අතුරුදහන් වී ඇති බවයි. එසේ භාර වීමට පෙර ඒලිලන්, චන්ද්‍රිකා දුරකථනයකින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුනානිධිගේ දියනිය වන ඉන්දියානු රාජ්‍ය සභා මන්ත්‍රීනි කනිමෝෂි කරුනානිධිගෙන්ද උපදෙස් ලබා ගත් නමුත් දැන් ඔවුන් මෙම අතුරුදහන් වීම පිලිබඳව මුනිවත රකින බවත් ඇය පවසා තිබේ.
මෙලස යුද හමුදාවට භාරවූ 400ක් පමන එල්ටීටීඊ සාමාජිකයින් විශේෂ බස් රථ වලින් ගෙනයාම පිලිබඳව ඔවුන්ගේ ඥාතීන් සාක්ෂි දරයි. මෙම භාරවූවන් වෙනුවෙන් කතෝලික පූජකවරුන් දෙදෙනෙක්ද අත්සන් තබා ඇති අතර ඔවුන්ද මෙම පිරිස සමග ගෙන ගිය බව ඥාතීන් පවසා තිබේ.
පසුගිය මාර්තු 29 දින එනම් නඩු විභාගයට දිනකට පෙර කුරුනෑගල මිලිටරි පාසැලක් විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ “රන විරුවන් යුද අපරාධ නඩු වල සැකකරුවන් නොකිරීමට තමන් වග බලා ගන්නා බව”යි.
එල්ටීටීඊට එරෙහිව සටන් කල “රන විරු” නිලධාරීන් හා කාර්ය මන්ඩල සේවකයන් මුහුන දෙන ගැටලු පිලිබඳ සම්පූර්න වගකීම ඔවුන් වෙනුවෙන් තමන් සැම විටම භාර ගන්නා බව ජනාධිපති පැවසීය.
මෙහි අර්ථය වන්නේ මිලිටරිය රටේ නීති පද්ධතියට ඉහලින් සිටින අතර වර්ගවාදී යුද්ධය තුල කරන ලද යුද අපරාධ ඇතුලු නීති උල්ලංඝනය කිරීම්වලින් සන්නද්ධ හමුදා ද මිලිටරියට අන දුන් රාජ්‍ය නායකයන් ද කොක්කෙන් ගලවා හැර ඇති බවයි. කම්කරු පීඩිත ජනයා පෙලීම සඳහා පූජනීයත්වයට ඔසවා තැබෙන ධනපති නීතිය ධනපතියන් සඳහා මෙන්ම එහි සන්නද්ධ හමුදා සඳහා ද අදාල නොවේ.
මෛත්‍රීපාල සිරිසේන වර්ගවාදී යුද්ධය යලි ඇරඹූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ අතර යුද්ධයේ අවසාන කාලයේදී වැඩ බලන ආරක්ෂක ඇමති වූයේද ඔහුය. ඒ් අනුව යුද අපරාධයන්ට ඔහුද දේශපාලන වසයෙන් වග කිව යුතුය.
“පශ්චාත්-යුද සන්හිඳියාව සහ මානව හිමිකම් පිලිබඳ චෝදනාවන්ට වගවීම” පිලිබඳව මූනිච්චාවට කතා කරන ආන්ඩුව පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ප්‍රමුඛවී ඉදිරිපත් කර සම්මත කර ගත් යෝජනාවෙන් මානව අයිතීන් පිලිබඳ පරීක්ෂනය සඳහා තවත් වසර දෙකකට කල් ලබා ගෙන ඇත. මෙම යෝජනාව සැබවින්ම යුද අපරාධ වහංගු කර ගැනීමට කොලඹ ආන්ඩුවට ඉඩ සලසා දෙයි.
ආන්ඩුවේ එල්ලය වන්නේ සිංහල වර්ගෝත්තමවාදය යහමින් යොදා ගනිමින් සන්නද්ධ හමුදා ඔජ වඩවා මිලිටරි-පොලිස් මර්දනය සිංහල හා දෙමල කම්කරුවන් හා දුගීන් මතට දිගේලි කිරීම බව මින් පැහැදිලිවේ.
මුලතිව් උසාවියේ මෙම ප්රශ්නය පැනනැගුනු මාර්තු 30 දින ම කොලඹ දී සිල්වා හට උසස්වීමක් ප්රදානය කල ආන්ඩුව ඔහු ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙසට පත් කලේය. මෙම උසස්වීම දෙනු ලැබුවේ සිල්වා හා ඔහු යටතේ පැවති සේනාංකයට බරපතල චෝදනා එල්ල වී ඒ පිලිබඳව විභාගවීමක් හෝ අවසන් වී නොතිබිය දී ය.
දි අයිලඩ් පුවත්පතේ පලවූ ප්‍රධාන ලිපියකට අනුව බන්ධනාගාර ප්රතිසංස්කරන, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු ඇමති ඩී. එම්. ස්වාමිනාදන් පසුගිය සතියේ පවසා ඇත්තේ අක්කර 189ක ඉඩමක් මිලිටරියෙන් නිදහස් කර දීමට ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් දශ ලක්ෂ 5ක් ගෙවීමට සිදුවූ බවයි. තම ඉඩම් දිගින් දිගටම මිලිටරිය විසින් අල්ලගන සිටීමට එරෙහිව මහජන විරෝධය උත්සන්න වන තතු තුල මුදල් ගෙවා හෝ ඒ්වා ලබා ගැනීමට දෙමල ජනයා වෙනුවෙන් පෙනීසිටිනවා යැයි හුවා දක්වන ආන්ඩුවේම කොටස්කරුවකු වන මෙම ඇමතිවරයාට සිදුව තිබේ.
ඇත්ත වශයෙන් නම් මෙතෙක් කල් මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීම නිසා සිදුවූ පාඩුව ඒ්වායේ අයිතිකරුවන් හට ගෙවිය යුත්තේ මිලිටරිය යි.
මෙම අත්තනෝමතික හා අධිකාරවාදී අනපැනවීම් මගින් ප්‍රදර්ශනය කෙරෙන්නේ සන්නද්ධ හමුදාවන්ට රටේ පවතින නීති පද්ධතිය තඹ දොයිතුවකට මායිම් නොකරමින් තමන්ගේම හිතු මනාපයට ක්‍රියා කිරීමට ආන්ඩුව විසින් ඉඩ සලසා දී ඇති ආකාරයයි.
මෙම සිද්ධීන් ජනමාධ්‍ය විසින් වාර්තා කෙරුනේ ඒවා සාමාන්‍ය හා වියයුතු ඒවා ලෙස සලකමිනි. වර්ගවාදී යුද්ධයට පක්ෂපාතී වූ හා ඊට උඩගෙඩි දුන් ලංකාවේ බොහෝ ජනමාධ්‍ය මිලිටරියේ ආරක්ෂකයන් ලෙස බයාදුවෙන් ක්‍රියා කරයි.
යුද්ධය පැවති 26 වසර තුල ලංකාවේ මිලිටරිය රටෙහි ජාතික ආදායමෙන් අති දැවැන්ත ප්‍රමානයක් වැය කරමින් භටයන් සංඛ්‍යාව දැවැන්ත ලෙස වැඩිකර නූතන අවි වලින් හා පුහුනුවෙන් සන්නද්ධ කර ඉහලට ඔසවා තිබෙනවා පමනක් නොවේ. මිලිටරිය ලංකාවේ දේශපාලන කටයුතු තුල තීන්දු ගැනීමෙහි ලා ආනුභාවයෙන් හෙබි තීරනාත්මක සාධකයක් බවට පත් කර තිබේ. මිලිටරිය ක්‍රියා කරන්නේ එම බලය අත් පත් කර ගත් බලවේගයක් ලෙසයි.
කම්කරු පන්තිය හා දුගී ජනයා මෙම වර්ධනයන්ගෙන් මතුවන බරපතල අන්තරාය වටහා ගත යුතු ය. ධනේශ්වර රාජ්‍යයේ ප්‍රමුඛම කොට්ඨාසය වන සන්නද්ධ හමුදා තර කෙරෙන්නේ වැඩ කරන ජනතාව මැඩලා ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කිරීම සඳහා ය. මිලිටරි ආඥාදායකත්වයකට ධනපති පන්තිය මාවත සලසා ගන්නේත් මේ ආකාරයෙනි.
දරුනු ආර්ථික අර්බුදයක මෙන්ම නය උගුලක පැටලී සිටින ආන්ඩුව හා ධනපති පන්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති කප්පාදු වැඩ පිලිවෙල කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව දිගේලි කරමින් සිටියි. මෙම පසුබිම තුල කම්කරු පන්තිය ප්රමුඛ පීඩිත ජනයා හා තරුනයින් අතර වර්ධනය වන බරපතල ප්‍රතිරෝධය මැඩලීමට හැරී සිටින ආන්ඩුව ප්‍රධාන කොට ම වාරු වී සිටින්නේ මිලිටරිය මතය. මිලිටරිය ආරක්ෂා කර එහි අධිකාරය පිහිටුවමින් ඇමරිකානු ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් වන්නේ එලඹෙන පන්ති යුද්ධය සඳහා ය.
Follow us on