කොලඹ ජනමාධ්‍ය මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීමෙන් ධනපති ක්‍රමය ගලවා ගැනීමේ ප්රයත්නයක
වසන්ත රූපසිංහ විසිනි, 2017 අප්‍රේල් 30
අහිංසක මිනිසුන් දුසිම් ගනනක් අකාලයේ මරුමුවට පත්කරමින් හා තුවාල සිදුකරමින් ද තවත් දහසක පමන ජනයාට උන්හිටි තැන් අහිමි කරමින් ද අප්‍රේල් 14දා සිදුවූ මීතොටමුල්ල ඛේදවාචකයෙන් සති දෙකක් ගතවුව ද එයින් ඇති කල කම්පනය රටපුරාම මහජනයා අතර මෙතෙකුදු පවතී.
අනතුරෙන් සිය අඹුදරුවන්, ඥාතීන් හා දේපල අහිමිවීමෙන් සන්තාපයටත් කෝපයටත් පත් ප්‍රදේශවාසීහු සිද්ධියේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට මෙන් ම පෙර පැවැති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ඇතුලු විපක්ෂය විසින් භාරගත යුතු බවට බලකර කියා සිටිති. ආන්ඩුව එහි වගකීම විපක්ෂයට පැටවීමට තැත් කරන අතරේ, විපක්ෂය පෙරලා වත්මන් ආන්ඩුව එහි වගකීම ගත යුතු බවට එකිනෙකාට චෝදනා කරගනිති.
ආන්ඩුවට හෝ විපක්ෂයට ගැති සංගත මාධ්‍යයන්හි කර්තව්‍යය වී ඇත්තේ පාලක පන්තියේ කොටස් මීතොටමුල්ල අපරාධයට ඇති ඔවුන්ගේ වගකීමෙන් ගැලවී යාමට කරන ප්‍රකාශ පුනරුච්ඡාරනය කිරීම යි. වැඩිම වුවහොත් කසල ප්රශ්නය විසඳීමට ඒ හෝ මේ ධනපති ආන්ඩුවට නිසි “සැලස්මක් නොතිබීම” ගැන වියුක්ත ලිපි පල කිරීමයි.
සිදුවීමේ සිට ගෙවීගිය සතියකට වැඩි කාලය පුරාම පත්තර පිටු, රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා මෙන්ම, වෙබ් අඩවි පුරවමින් මීතොටමුල්ල ඛේදවාචය ගැන විවිධ සිදුවීම් තලුමැරූ මාධ්‍යකරුවන් මහජනයාට නොපැවැසූ වැදගත්ම කාරනය වන්නේ, මෙම අපරාධයට ඇත්තටම වගකිවයුතු වන්නේ කවුරුන් ද යන්න යි.
ආන්ඩුව විසින් පාලිත මාධ්‍ය සුපුරුදු පරිදි මෙවන් අවස්ථාවලදී කරන අයුරින් එවන් සිදුවීමකට ආන්ඩුවේ ඇති වගකීම වසන් කිරීමට හෝ විරුද්ධ පක්ෂයට නොඑසේනම් ව්‍යසනයට ගොදුරුවූවන්ටම වරද පැටවීමේ ප්රතිගාමී කර්තව්‍යය යහමින් භාරගෙන තිබේ.
අනෙකුත් බොහෝ පුවත්පත් මෙන්ම දිනමින පුවත්පත අප්‍රේල් 17 සිට 22 දක්වා කතුවැකි හතරක් හා විස්තරාත්මක ලිපි කිහිපයක් මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් ලියා තිබෙන අතර ඒවායේ කේන්ද්‍රීය අරමුන වී ඇත්තේ ඛේදවාචකයේ වගකීමෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එක් පැත්තකින් ගලවා යවන අතරේ, එහි පූර්න වගකීම හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව වෙත පැටවීම යි. ඬේලි නිව්ස් පුවත්පත කතු වැකි පහක්ම මේ කර්තව්‍යයට වැය කර තිබේ. දිවයින, දි අයිලන්ඞ් හා ඬේලි මිරර් පුවත්පත් විවිධ පැතිවලින් ප්රශ්නය වෙත ප්‍රවේශ වුවද මෙම මාධ්‍යවල මුඛ්‍ය හා පොදු අරමුන අතිශය පැහැදිලිව පෙන්නුම් කෙරුනි: ඒ, මහජනයා මුහුන දෙන එකදු මූලික ප්‍රශ්නයක් හෝ විසඳීමට සමස්තයක් ලෙස ධනේශ්වර දේශපාලන ක්‍රමය අසමත්ය යන මූලික සත්‍යය වසන් කිරීම යි.
“සංවර්ධනයේ” නාමයෙන් දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට අධිවේග මාර්ග පද්ධති හා අනෙකුත් ඉදිකිරීම් ලහිලහියේ සිදුකරන දේශපාලන ප්රභූව අවිධිමත් ලෙස සිදුකරන එම කර්තව්‍යයන්හිදී සාමාන්‍ය මහජනයා වෙත කඩාපාත් කර ඇති ව්‍යසනය ගැන සියලුම මාධ්‍ය මුනිවත රකියි. විශේෂයෙන්ම, කොලඹ නගරය “ලස්සන කිරීමේ” නාමයෙන් ඉහල වානිජ වටිනාකමින් යුත් ඉඩම් ආයෝජකයන්ට විකිනීමට හෝ බද්දට දීමේ අරමුනින් දුප්පත් පවුල් ලක්ෂ එක හමාරකට වඩා කොලඹ නගරයෙන් බලාත්කාරයෙන් එලවා දැමීමේ ම්ලේච්ඡ වැඩසටහනට විරුද්ධව එකදු මාධ්‍යයක් හෝ වචනයක් ලියා නැත. මෙම දුෂ්ට වැඩපිලිවෙල, මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ ආරම්භවී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ අඛන්ඩව ඉදිරිය යමින් තිබේ.
උක්ත ආකාරයෙන් ධනපති ආයෝජකයන්ට පහසුකම් පුලුල් කරමින් සිටින පාලක සංස්ථාපිතය ඒ සඳහා මහජනයාගේ ඉඩම් කොල්ල කන අතරම ඒවා පියවන්නේ මහජන වියදම්වලිනි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රාජ්‍ය සේවාවන් සඳහා කෙරෙන වියදම් ක්‍රමානුකූලව කපා දමමින් තිබෙන අතර පලාත් පාලන ආයතනවලට කෙරෙන වියදම් කපා දැමීම හේතුවෙන් කසල කලමනාකරනය වැනි සේවාවන් අඩපන වෙමින් තිබේ. මාධ්‍ය මේ කරුනු ගැන අවධානය යොමු කරන්නේ නැත. නැතිනම් සිතාමතාම ඒවා මහජනයාගෙන් වසන් කිරීම සඳහා කසල කලමනාකරනයට “ජාතික ප්‍රතිපත්තියක් නැති” වීම ගැන හිස් මැසිවිලි නගයි.
අප්‍රේල් 17දා “කුනුවලට යටවීම” මැයෙන් දිනමින පුවත්පත ලියා තිබූ කතුවැකියෙන් කොලඹ කුනු ප්රශ්නය “සියල්ලන්ගේම ගැටලුවක්” ලෙසත් “රටේ ජාතික ගැටලුවක්” ලෙසත් නම් කරමින් ප්රශ්නයේ මූලික වගකීම මහජනයා පිට පැටවීමට වෑයම් කලේ ය. මීතොටමුල්ල කුනු කන්ද අවට ජනයාට “වන්දි හා ඉඩම් ලබාදී ජනාවාසය වෙනත් තැනෙක ස්ථාපනය කිරීමට උත්සහා කල ද එය සාර්ථක වී නැති” බවට කියමින් කතුවැකිය ව්‍යසනයට ගොදුරුවූ ජනයාගේ කර පිටින්ම අපරාධයේ වගකීම යැවීමේ වෑයමක නිරත විය.
මෙම අවලාදයට විපරීතව, තමන්ගේ දේපලවලට ප්‍රමානවත් වන්දි ලැබෙන්නේ නම් වෙනත් ප්‍රදේශයකට යාමට තමන් සූදානම් බව එම ජනයා මාධ්‍ය වෙත ව්‍යසනයට පෙරාතුව සඳහන් කර තිබින. ඒ අතර, කුනු කන්ද ඉවත් කරන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් වසර ගනනාවක් තිස්සේ ගෙන ගිය උද්ඝෝෂන රාජපක්ෂ ආන්ඩුව මෙන්ම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් නොසලකා හැරියා පමනක් නොව පොලිසිය හා මිලිටරිය යොදවා එම විරුද්ධත්වය ම්ලේච්ඡ ලෙස තලා දැමූ බව ද දිනමින වසන් කරයි.
ආන්ඩුවේ මෙම හොරැනෑව විසින් ගෙන ආ තවත් නින්දිත තර්කයක් මගින්, කුනු කන්දට යටවී මියගිය අයගෙන් කොටසක් “අනවසර පදිංචිකරුවන්”යැයි කියමින් එම මරන වක්‍රව සාධාරනීයකරනය කිරීමට වෑයම් කලේ ය. 18දා දිනමින “මීතොටමුල්ල!” මැයෙන් ලියූ කතුවැකිය ඛේදවාචකයට ලක්වූ ජනයා “පාරම්පරික” හා “අනවසර” පදිංචිකරුවන් ලෙස කොටස් දෙකක් ලෙස නම් කරමින් “දෙපිරිසටම එකම ආකාරයට සැලකීම අයුක්ති සහගත” යැයි ලීවේ ය. කුනු කසල කලමනාකරනයට ඊනියා “ජාතික ප්රතිපත්තියක” අවශ්‍යතාව යෝජනා කරමින් කතුවැකිය අවසන් කර තිබුනේ, “ත්‍රස්තවාදය පරාජය කල අපට කුනු-කසල කලමනාකරනය දුෂ්කර කාර්යයක් නොවනු ඇත”යි පාරම්බාමිනි.
මිනිසුන් දහස් ගනනක් අමුඅමුවේ මරාදමා ඉමහත් විනාශයකින් කෙලවර කල යුද්ධයේදී යොදා ගත් ම්ලේච්ඡ මර්දනය හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රම මගින් මහජනයා පිටම වරද පටවමින් කසල ප්රශ්නය විසඳාගත හැකිය යන්න ආන්ඩුවට දුන් උපදේශයකි, මෙය.
පලාත්පාලන ආයතන විසින් කසල ඉවත්කිරීම “අත්‍යවශ්‍ය සේවාවක්” වසයෙන් සඳහන් කරමින් 20දා මධ්‍යම රාත්‍රියේ ජනාධිපති සිරිසේන විසින් නිකුත් කල සුවිශේෂී ගැසට් නිවේදනයෙන් හරියටම පිලිපැද ඇත්තේ, උක්ත දිනමින පත්‍රයේ කේවට්ට උපදේශය යි. මෙම ක්‍රියාවලියට කුමන ආකාරයකින් හෝ බාධා හා අවහිර කරන අය අත්අඩංගුවට ගෙන, නීතිප්‍රකාරව දැඩි දඬුවම් පැනවීමේ බලය ආන්ඩුව මෙමගින් පොලිසියට ලබා දුන්නේ ය. මෙයට හුරේ දැමීමට තවත් කතුවැකියක් ලියූ දිනමින, “මේ තීන්දුව මීට පෙර ගත්තේ නම් කුනු ප්රශ්නය උග්‍රවන්නේ නැතයි සිතෙන බව”ට නරුම තර්කයක් ඉදිරිපත් කලේ ය.
දිවයින පත්‍රය හා දි අයිලන්ඞ් පුවත්පත්, මීතොටමුල්ල ඛේදවාචකය අරභයා ආන්ඩුවේ ප්රතිගාමී වාර්තාකරනයට නොවෙනස් වාර්තාකරනයක් ගෙන ගියේ ය. “කුනු කන්ද නිසා බලයට පැමිනි දේශපාලනඥයෝ ද ධනවතුන්වූ බැකෝ මුදලාලි ද නිලධාරිහු ද” යන සියල්ලන් “මිනීමැරීමේ වෝදනාව යටතේ අධිකරනයට ඉදිරිපත් කර දඬුවම් කල යුතු” යැයි පැවසෙන 23දා දිවයින කතුවැකියේ අරමුන වූයේ, සමස්තයක් ලෙස ධනපති ක්‍රමය නොව ඇතැම් තනි තනි දූෂිත පුද්ගලයින් ව්‍යසනයට වගකිවයුතුය යන ප්රතිගාමී තර්කය තහවුරු කිරීම ය.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ධනපති ජනතා විමුක්ති පෙරමුන තර්ක කරන්නේ ද හරියටම මේ ආකාරයෙනි.
ඛේදවාචකයට ගොදුරුවූ ජනයාගේ ඥාතීන් “හෙලන දුක් සුසුම් සාපයක් බවට පත්ව මේ රටේ සිටින නීච සහ ආත්මාර්ථකාමී දේශපාලන හැතිකරයට වදිනවා ඇති” යැයි මිනිසුන්ගේ හැඟීම්වලට ආයාචනා කරමින් දිවයින කතුවැකිය අවසන් කෙරෙන්නේ, ඔවුන්ට එරෙහිව ජනාධිපති ක්‍රියාකල යුතුයැයි ආයාචනා කරමිනි.
මෙම කියන දේශපාලඥයින් නියෝජනය කරන්නේ මහජන ජීවිත ගැන වගේ වගක් නැති ධනේශ්වර ක්‍රමය බවත්, රාජපක්ෂගේ පාලනය යටතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් සිරිසේනමත් මෙම අපරාධයට හවුල්වී ඇතැයි යන කරුනත් දිවයින කතුවැකිය හිතාමතාම වසන් කරයි.
දිවයින පුවත්පතේ සහෝදර පුවත්පත වන දි අයිලන්ඞ් පුවත්පත ද මීතොටමුල්ල ඛේදවාචකය ගැන හිස් වාචාල වමාරන අතර අනෙකුත් සියලුම මාධ්‍ය හා එක පෙලට සිටගනිමින් ප්රශ්නයේ වගකීමෙන් සංස්ථාපිතය ගලවා යැවීමට වගබලා ගනී.
“යහපාලනය කුනුවී ගඳ ගසන විට” මැයෙන් 23දා පල වූ දි අයිලන්ඞ් පුවත්පතේ කතුවැකිය, සිය ප්‍රදේශවලට අවිධිමත් ලෙස කුනු දැමීමට එරෙහිව උද්ඝෝෂනය කරන ජනයාට එරෙහිව පොලිසිය යොදා පහර දීම ගැන ඊනියා විවේචන එල්ල කරන අතරේම කම්කරුවන් සම්බන්ධයෙන් එයට පවතින පිලිකුල ප්‍රදර්ශනය කලේ ය. කුනු කන්ද ස්වභාවිකව මුදාහරින මීතේන් වායුවෙන් ඇතිවියහැකිි අන්තරාය සම්බන්ධයෙන් එය නිරීක්ෂනය කල ජපන් විශේෂඥ කන්ඩායමේ නිර්දේශ වෙත අවධානය යොමු කරමින්, අයිලන්ඞ් කතුවරයා, “මිලිටරි භටයින් මීතොටමුල්ලේදී තමන්ගේ ජීවිත අවදානමේ තබා කටයුතු කරන අතරේ මහජන මුදලින් ගෙවීම් කරන දහස් ගනනක් කොලඹ නගර සභා කම්කරුවන් කුමක් කරමින් සිටීදැයි” නරුම ලෙස ප්‍රශ්න කලේ ය.
අනතුරින් ඉක්බිත්තේ ආන්ඩුව හමුදා භටයින් දහසකට වැඩි ප්‍රමානයක් ප්‍රදේශයට දියත් කලේ, ආන්ඩුවේ වගකීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින මහජනයා බිය ගැන්වීමටත්, ව්‍යසනයට මුවාවී ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීම සඳහා කලක් තිස්සේ කොලඹ ආන්ඩු ගෙන ගිය වෑයම ඉෂ්ට කරගැනීමටත්ය යන සත්‍යයත් කතුවැකිය හිතාමතාම වසං කරයි.
ධනපති පුවත්පතක් වන ඬේලිමිරර් පුවත්පත ද මූලික වසයෙන්ම ව්‍යසනයෙන් ප්‍රකාශයට පත්වන ධනේශ්වර පද්ධතියේ අර්බුදය හුදෙක් ඒ හෝ මේ ආන්ඩුවේ “අසමත්කමට” සිඳුවීමට වෑයම් කලේ ය. අප්‍රේල් 17දා පලකල “මීතොටමුල්ල: පහසුවෙන් මගහරවාගත හැකිව තිබූ ව්‍යසනයක්” මැයෙන් නම් කල කතුවැකියෙන් මහජනයාගේ ජීවිත සම්බන්ධයෙන් “නිර්දය නොතැකීම” හා “වගකීම් විරහිතභාවය” ගැන “දේශපාලන අධිකාරීන්ගේ හා අනෙකුත් තීන්දු ගන්නා ආයතනවලට” දොස් නැගුවේ ය. කතුවැකි ද ඇතුලු ප්‍රධාන ලිපි ගනනාවක් පුවත්පත විසින් පලකල ද ඒවා යොමුව තිබුනේ මහජනයාගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් වගේවගක් නැති බංකොලොත් ජාතිකවාදී පාලක පන්තියට මෙම ප්රශ්නය විසඳීමේ හැකියාව හා අව්‍යාජ උවමනාවක් තිබේය යන මිථ්‍යාව වර්ධනය කිරීමට ය. ඬේලිමිරර් පලකල, රංග ජයසූරිය ලියූ ලිපි දෙකක්ම කර තිබුනේ මෙම කර්තව්‍යය ය.
විශේෂයෙන්ම අප්‍රේල් 25දා ජයසූරිය ලියූ “කසල දේශපාලනය හා මහා දේශපාලනික ප්‍රශ්න” නම් කොලමේදී ලෙබනනයේ අගනුවර වන බීරුට් නගරයේ කුනු කඳු නිසා ලෙබනන් ආන්ඩුව මුහුන දී ඇති දේශපාලන අර්බුදය ගැන අවධානය යොමු කරයි. කසල ප්රශ්නය “විහිලු සහගත කාරනාවක්” නොව, “රාජ්‍යයේ අසමර්ථතාව පිලිබඳ වඩාත්ම පැහැදිලි ලක්ෂනය” යැයි සටහන් කරමින්, ආන්ඩුව එය විසඳීමට පියවර ගනු ඇතියි ලියුවේ ය. ධනේශ්වර පාලන සංස්ථාපිතයට මහජනයාගේ මූලික ප්‍රශ්න අරභයා ස්ථිරසාර විසඳුමක් නැතිය යන සත්‍යය, මීතොටමුල්ල වැනි ඛේදවාචක හරහා මහජනයාට ඒත්තු යමින් තිබෙන බව තම හාම්පුතුන්ට අනතුරු අඟවමින් එම අසමත් ධනේශ්වර ක්‍රමයට එරෙහිව මහජනයා අරගලයට ඒම වැලැක්වීමට කිසියම් පැලස්තර “විසඳුමක්” සපයන ලෙසත් කතුවරයා යෝජනා කරයි.
Follow us on