රතුපස්වල හමුදා වෙඩි තැබීමෙන් වසර තුනහමාරකට පසු හමුදා භටයන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයට පමුනුවයි
විලානි පීරිස් විසිනි, 2017 අප්‍රේල් 21
වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලය දූෂනය වීමට එරෙහිව සිදුකෙරුනු මහජන උද්ඝෝෂනයට 2013 අගෝස්තු 1 දින එල්ල කල මිනීමරු හමුදා ප්‍රහාරයෙන් වසර තුනහමාරකට පසු, ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හමුදා භටයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ඇත. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (අපදෙ) විසින් අත්අඩංගුවට ගත් ඔවුන් ගම්පහ අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පමුනුවා ඇත්තේ එහි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් දෙන ලද නියෝගයක් මතයි. මෙය හමුදා ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් මුදාහැරීම සඳහා නිර්මානය කෙරුනු දැනුවත් සැලසුමක කොටසකි.
මෙලෙස රිමාන්ඩ් භාරයට පමුනුවා ඇත්තේ මාන්ඩලික සැරයන් ඩිංගිරි සිරිසේන, කෝප්රල් තිලකරත්න සහ කෝප්රල් ලලිත් යන හමුදා භටයන් ය. උද්ඝෝෂනය මැඩ පැවැත්වීමට හමුදා ඛන්ඩ පහලොවක් පැමින තිබූ බවටත් එයින් ඛන්ඩ හතක නිලධාරීන් ප්‍රහාරය සඳහා සහභාගි වී තිබූ බවටත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ ඔක්තෝබර් 14 වැනිදා ගම්පහ අධිකරනයට කරුනු ඉදිරිපත් කර තිබුනි.
ප්‍රහාරක අවිවලින් සන්නද්ධ හමුදා ඛන්ඩ පහලොවක් වැනි සුවිසල් බලමුලූු ගැන්වීමක් ඉහලින් ලැබූ නියෝගයකින් තොරව සිදුවිය නොහැකි තතු තුල, පහලම මට්ටමේ හමුදා නිලධාරීන් තිදෙනෙකුු පමනක් චූදිතයන් බවට පත් කිරීම ව්‍යාජයකි.
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වෙනිග්‍රොස් කම්හල විසින් මුදා හරින අපජලය හේතුවෙන් ප්‍රදේශයේ භූගත ජලය අපවිත්රවීමට එරෙහිව පලාතේ මහජනතාව සංවිධානය කල උද්ඝෝෂනයට එකල පැවති රාජපක්ෂ ආන්ඩුව විසින් හමුදාව යොදවා එල්ල කල ප්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්පකුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය. ප්‍රහාරයෙන් අබ්බඝාත තත්වයට පත්වූවෝ මෙතෙකුදු ප්‍රතිකාර ලබති.
රාජපක්ෂ ආන්ඩුව කියා සිටියේ ජනතාව ආයුධ අතැතිව සිටි බවත් හමුදාව ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බවත්ය. එවකට එම ආන්ඩුවේ ඇමතිවරයෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. ආන්ඩුවේ ප්‍රකාශය මුලුමනින් අසත්‍ය බව මහජනතාවගේ සාක්ෂි මගින් තහවුරු විය. ආරක්ෂාව පතා අසල දේවස්ථානයට දිව ගිය නිරායුද මහ ජනයා ලූහුබඳිමින් හමුදාව වෙඩි තබමින් පහර දුනි.
වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ හමුදාව අගෝස්තු 1 දින එම ස්ථානයට පැමිනියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පනිවිඩයක් රැගෙන බව යි. හමුදා අන දෙන නිලධාරියා ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කර පැමිනි බව ඉන් පෙනේ. මේ අනුව හමුදාව යෙදවීමට ද තිදෙනෙකු ඝාතනය කිරීමට ද මුලුමනින් ම වගකිව යත්තේ රාජපක්ෂ ආන්ඩුව යි.
වෙඩි තැබීමට අන දුන්, ඉහල හමුදා ඛන්ඩයන්හි අනදෙන නිලධාරි ලෙස කටයුතු කල, බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුනවර්ධන ට ඉහලින් නියෝගය දුන් මෙම දේශපාලන අධිකාරිත්වය වසං කිරීම සඳහා ඔහුට තුර්කියේ තානාපති පදවිය පිරිනමා රටින් පිටමං කිරීමට ජනාධිපති රාජපක්ෂ වගබලා ගත්තේය.
ගුනවර්ධන ආපසු ලංකාවට කැඳවනු ලැබූ අවස්ථාවේ ඔහු අත් අඩංගුවට ගතයුතුයයි පලාත්වාසීන් ගුවන් තොටුපල ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදුනු තතු තුල වත්මන් ආන්ඩුව ඔහුට පූර්න රැකවරනය ලබා දුනි. ගුවන් තොටුපලේ නිලධාරීන් ඔහුව වෙනත් මාර්ගයකින් නිවස කරා පිටත් කල අතර ඔහු තවමත් නිදැල්ලේ හැසිරෙයිි.
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන මගින් පෙන්වා දුන් පරිදි, “අගෝස්තු 1 දින වැලිවේරියේ මිලිටරි ඝාතනයන්ට ද මාර්තු 16 දින තුන්නාන පොලිස් ප්‍රහාරයට ද වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව යි. වැලිවේරිය හමුදා ක්‍රියාන්විතය වනාහි ඉදිරියේ එන මහජන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව සහ හමුදාව දැනුවත්ව සිදු කල අත්හදා බැලීමකි. එලැඹීමට නියමිත මහජන අරගල මිලිටරි විධික්රම මගින් තලා දැමීමට ආන්ඩුව ද ධනපති පන්තිය ද සූදානම් වන ආකාරය මෙමගින් ප්‍රදර්ශනය කර ඇත.”
සසප පරීක්ෂනය මෙසේ ද නිගමනය කරයි:“වැලිවේරිය විරෝධතාකරුවන්ට වෙඩි තබා උද්ඝෝෂනය මැඩලන අතර සමාගම ආරක්ෂා කිරීම ආන්ඩුව විදේශ ආයෝජකයන්ට ද ලංකාවේ මහ ධනපතියන්ට ද දුන් පනිවිඩයකි. එනම් ඔවුන්ගේ අයිතීන් රැකීමට කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඕනෑ ම අයිතියක්, අරගලයක් මැඩලා දැමීමට ආන්ඩුව ක්‍රියා කරන බව යි. තුන්නානේ ජනයාගේ උද්ඝෝෂනය රුදුරු ලෙස මැඩලූවේ ද මෙම පනිවුඩය දීමට යි.”
ගැඹුරු වන ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුන දී ඇති වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට ද, රාජපක්ෂ ආන්ඩුව මෙන්ම මිලිටරිය මත යැපීම හැර අන් විකල්පයක් නොමැත. හම්බන්තොට වරායේ කොන්ත්‍රාත් කම්කරුවන් තම රැකියා ස්ථිර කර ගැනීමට කරන ලද වර්ජනයට එරෙහිව නාවික හමුදාව යොදා එල්ල කරන ලද රුදුරු ප්‍රහාරයෙන් ද, තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වදින සරසවි සිසුන්ට නොකඩවා එල්ල වන පොලිස් ප්රහාරයන්ගෙන් ද පෙන්නුම් කෙරෙන්නේ එයයි.
තම ජීවන තත්වයන්ට හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර එල්ල කරමින් අර්බුදයේ බර තමන් මත පැටවීමට එරෙහිව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව අතර වැඩෙන විරුද්ධත්වය සමාජ පිපිරීමක් දෙසට වර්ධනය වෙමින්, ධනපති පන්ති පාලනයට වල කැපීමේ තර්ජනය ඉස්මතු කෙරී ඇති තතු තුල ආන්ඩුව මලුමනින්ම මිලිටරිය මත වාරුවීමට තීන්දු කර ඇත. කවර තත්වයක් යටතේ වුවත්, යුද්ධය කල “රනවිරුවන්” ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යලියලිත් පිලින දෙන්නේ වැඩකරන ජනතාවට එරෙහි පොලිස් රාජ්‍ය සැලසුම් ඉස්මත්තට ගැනීමේදී මිලිටරියේ විශ්වාසය තහවුරු කර ගැනීමටයි.
මිලිිටරිය විරසක විය හැකි කවර හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ආන්ඩුව මහත් සේ උත්සුකය. කම්කරු පන්තිය භේද කිරීමේ ලා දෙමල විරෝධී සිංහල වර්ගවාදය මත මුල සිටම යැපෙන කොලඹ සිංහල ධනපති පන්තියේ නියෝජිතයන් වන වත්මන් ආන්ඩුව, දශක තුනක සිවිල් යුද්ධයේදී දෙමල පීඩිත ජනතාවට එරෙහිව මිලිටරිය විසින් සිදුකල බිහිසුනු අපරාධයන් වහංගු කිරීම සඳහා සෑම පියවරක්ම ගනිමින් පවතින්නේ එබැවිනි.
මෙම තතු තුල, දකුනේ වැලිවේරියේ දී මිලිටරිය සිදුකල අපරාධයක් සම්බන්ධයෙන් කෙරෙන මෙම අධිකරනමය රංගනය මහජනතාව අතර වැඩෙන විරෝධය වෙනතක හැරවීමේ මංමුලා සහගත ව්‍යායාමයකි. චුදිත හමුදා සෙබලුන් තිදෙනා වනාහි, වැලිවේරිය ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීම සඳහා යොදාගෙන ඇති නරබිලි තුනක් පමනකි.
Follow us on