මහනුවර-ගොහාගොඩ කසල කන්දෙන් පීඩා විඳින අසල්වැසියෝ ලෝසවෙඅ ට කතා කරති
අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 2
පසුගිය අප්‍රේල් මාසයේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී මිනිස් ජීවිත තිස් ගනනක් බිලි ගනිමින් සිදු කෙරුනු ව්‍යසනයත් සමග, මහනුවර, ගොහාගොඩ කසල කන්ද අසල ජීවත් වන මහජනතාව, තමාට ද එවන් ව්‍යසනයකට මුහුන පෑමට සිදුවෙතැයි යන භීතියෙන් වෙලීසිටිති.
මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ මෙන් ම, හාරිස්පත්තුව සහ ගම්පොල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයන්හි ඝන අපද්‍රව්‍ය ටොන් සිය ගනනක් දෛනිකව මුදා හරිනුයේ ගොහාගොඩ තේක්කවත්තේ පිහිටි මෙම කසල රැඳවුමටය. වසර ගනනාවක් පුරා කසල එකතු වීමෙන් අඩි 100 ක් පමන උසැති කන්දක් මෙහි නිර්මානය වී ඇති අතර එය කවර හෝ මොහොතක කඩා වැටීමේ අවදානම පවතී.
අක්කර 32 ක් වූ තේක්කවත්ත භූමිය 1933 දී මහනුවර නගර සභාව විසින් මිලදී ගෙන ඇත්තේ එවකට පැවැති බාල්දි වැසිකිලිවල මල අපද්‍රව්‍ය බැහැරලීමට සහ ලාදුරු රෝගීන් සඳහා රෝහලක් ස්ථාපිත කිරීමට යි. පසුව මෙම ස්ථානය කැලි කසල ඉවතලන අංගනයක් බවට පත්වූ බව නගර සභාවේ ඉංජිනේරුවරයකු වූ ධම්මික දිසානායක පවසයි. එකල මෙහි පදිංචිකරුවන් බදු ක්‍රමය යටතේ නිවහන් අටවා ගත් බවත්, එම පවුල් ක්‍රමිකව ප්රසාරනය වීමත් සමගම ඔවුන්ගේ දූ දරුවන් ද එම භූමියේම තැන තැන නිවාස ඉදි කරගෙන පදිංචිව සිටිති. දැනට පවුල් 85 ක් මෙම භූමියේ ජීවත්වන අතර දෛනිකව එකතුවන ඝන අප ද්‍රව්‍ය ප්‍රමානය අධික වන බැවින් ඔවුන් ඉවත් කොට භූමිය නිදහස් කර ගැනීමට නගර සභාව තීරනය කොට ඇත. පලමුව පවුල් 30 ක් පමන ඉවත් කිරීමට සැලැසුම් කර ඇති අතර ඔවුනගේ නිවාස තක්සේරු කර ඇති බවද වාර්තා වෙයි.
පසුගිය දා එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට නිවැසියන් විසින් තමා විඳින දුෂ්කරතාවයන් විස්තර කලේ බලවත් කෝපයෙනි.
පුෂ්පා නම් කාන්තාවක් මෙසේ පැවසුවාය: “අපි ඉස්සර හිටියෙ බෝගම්බර. ගං වතුරට අහුවෙලා නගර සභාවෙන් මෙතැන පදිංචි කලා, දැන් අවුරුදු 26 ක් වෙනවා මෙතෙන්ට ඇවිත්. මේ කුනු කන්දේ දුගඳ ඉවසන්ට බෑ. ඒක ජීවිතයේ කොටසක් වෙලා. පොඩි අයට නිතරම කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුකම තියෙනවා. බොහෝ දෙනෙකුට සමේ රෝග වැලඳිලා. විෂ බීජ ශරීර ගතවීම නිතර සිදුවෙනවා, වැස්ස කාලෙට ඩ්රනේජ් වතුර වගේ ඕජස් වතුර කුනු කන්දෙන් එනවා. මේ පුරාම අඩිය තියන්නවත් බෑ. අපට මෙතැනින් යන්ට කියල තියෙන්නෙ. ගෙවල් තක්සේරු කරල ගෙවනව කීව. ඒත් කොහොම ලබා දෙයි ද දන්නෑ. ඇතැම් ගෙවල් වලට ලක්ෂ ගනන් දෙනව. පොඩි ගෙවල්වලට 35,000ක් දෙනව. ඒකෙන් කොහොම ගෙවල් හදා ගන්න ද?”
මීතොටමුල්ලේදී මෙන්ම ගොහාගොඩදී ද කසල කඳු ප්‍රශ්නයට සෘජුවම මුහුන දී සිටින්නේ එදිනෙදා ජීවිකාව ගැට ගසා ගැනීමට අරගලයේ යෙදී සිටින සමාජ පත්ලේම කොටස් වලටයි. ජීවත්වීමට වාසස්ථානයක් නොමැති බැවින් මෙම අන්තරායකාරී ස්ථානයන්හි ජීවත්වීම සඳහා තල්ලු කෙරුනු දුසිම් ගනනක් වූ දුගී පවුල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආන්ඩුව සහ පලාත් පාලන අධිකාරයන් අවස්ථාව ඩැහැගෙන ඇත.
මීතොටමුල්ල සිද්ධිය ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ, එම සිද්ධියෙන් පසු ඔවුන් සියලු දෙනා බලගතු භීතියකින් පසුවන බවයි. “පසුගිය දවසක කන්දෙන් විශාල දුමක් මතුවුනා. කොයි මොහොතක හරි මේ කන්දත් අපි යටකරගෙන කඩා වැටෙන්න පුලුවන්. අපිට මෙතන ඉන්නත් බෑ. අපේ ජීවිත සැකසිලා තියෙන ආකාරය නිසා මෙතනින් ගිහිල්ලත් බෑ” යැයි ඇය කීවාය.
පසුගිය අප්‍රේල් 28 දා ගොහාගොඩ කුනු කන්දෙන් නිකුත්වූ වායු ධාරාව ගැන පැහැදිලි කරමින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ, කසල කන්ද අභ්‍යන්තරයේ පවත්නා සෙල්සියස් අංශක 40 ක උෂ්නත්වයත්, තෙතමනයත්, කසල සමග පොලවේ වර්ධනය වී තිබෙන කාබනික ද්‍රව්‍යයත් නිසා මීතේන් වායුව නිෂ්පාදනය කෙරෙන ”මීතොනෝජෙනික්” බැක්ටීරියාව පහසුවෙන් වර්ධනය වන බවයි. ජනනය වන මීතේන් කන්ද තුල තෙරපී ඇතිවන පීඩනය හේතුවෙන් දූලි වලාවක් ලෙස ඉහලට විදාරනය විය හැකි බව ද ඔහු පවසා තිබුනි.
කසල කන්ද අසල ජීවත් වන ගෝපී නැමැති අයෙකු තමා ඇතුලු අසල්වැසියන් මුහුන දී සිටින තත්වය විස්තර කලේ මෙසේය: “ලමයෙකුට විෂබීජයක් ඇතුලු වෙලා අමාරු තත්වයෙන් ඉන්නෙ. මෙහෙ ඉන්න බැරි හින්ද කඩුගන්නාවෙ පැත්තෙ නෑයෙකුගෙ ගෙදර ගිහින් ඉන්නෙ. කුනු කන්ද නාය යන එකට වඩා අපට තියෙන ප්‍රශ්නෙ තමයි මේ දුර්ගන්ධය ඉවසන්ට බැරි එක. අපිට මෙතනින් යන්ට කියනව. වන්දි ගෙවනව කියලත් කියනව. ඒත් ලැබෙනකන් විශ්වාසයක් නෑ. පහුගිය කාලෙ කුනු ප්‍රමානය වැඩිවුනා. රාත්‍රියට අසූචි ගලි 10-15 ක් විතර ගෙනවිත් දානව. ගඟ අපිරිසිදු වීමට මේක බලපානවා.”
තේක්කවත්ත කසල කන්ද බෑවුම් වන්නේ මහවැලි ගඟටයි. කසල කන්ද නාය ගියහොත් එය ගං දියට පතිත වුවහොත් ඇති වන්නේ තවත් බලගතු ව්‍යසනයකි. පොල්ගොල්ලේ පානීය ජලය පොම්පාගාරය පිහිටා ඇත්තේ කුනු කන්දේ සිට කිලෝ මීටර් දෙකක් තරම් කුඩා දුරකින් බැවින් එම ජලය දූෂනය වීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක දහස් සංඛ්‍යාත ජනතාවකට බලපානු ඇත.
එවන් නාය යාමකදී කොලරාව වැනි වසංගතයක් පැතිරවිය හැකි විෂබීජ ජලයට එක්වීමේ දැඩි අවදානමක් පවතී. මින් ඉහත කුනු කන්දෙන් ශ්‍රාවය වූ දියරයක් හේතුවෙන් අසල පිහිටි වෙල් යාය දැන් මුලුමනින්ම පුරන්වී ඇති බව ද සේනාරත්න පවසයි. ජයික් නම් ජපන් ආධාර ව්‍යාපෘතිය යටතේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් කසල ප්රශ්නය පිලිබඳව කරන ලද සමීක්ෂනයේ වාර්තාව පසුගිය දා රජයට භාරදී තිබෙන නමුදු එයද සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නැති බව ද ඔහු තවදුරටත් පවසයි.
ලෝක බැංකුවේ පරිසර විද්‍යාඥයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටියට අනුව අපද්‍රව්‍ය බැහැර ලන ස්ථානයක් යනු භූගත ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර නොවීම, සුරක්ෂිතව මීතේන් වායුව රැස්කොට දවා ලීම හා අපද්‍රව්‍ය වලින් වායු දූෂනය සිදු නොවීම සඳහා නිවැරදි තාක්ෂනික පියවර යොදා ඇති ස්ථානයකි. එනමුදු ගොහාගොඩ කසල කන්ද සම්බන්ධයෙන් මේ කිසිදු පියවරක් ගෙන නොමැති තතු යටතේ එය ගිනිගෙන පුපුරා ගොස්් ජීවිත හා දේපල විනාශවීමේ දැඩි අවදානමක් පවතී.
නිසි කලමනාකරනයකින් තොරව කසල බැහැර කිරීම මෙන්ම ඩෙංගු වැනි වසංගතයන් පැතිරයාම සහ ගංවතුර උවදුරු වලට මහජනතාව නිරතුරුව ගොදුරුවීම වැනි ගැටලු වනාහිි දශක ගනනක් පුරා, දියුනු ධනපති හා තුන්වන ලෝකයේ රටවල පොදු සේවා වලට එල්ල කරමින් ඇති ප්‍රහාර වල ප්රතිඵලයකි. 2008 න් ඇරැඹී වඩවඩාත් ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝක පරිමානව කම්කරු පන්තිය මත රටක් රටක් පාසා ආන්ඩු විසින් පටවමින් ඇති කප්පාදු වැඩපිලිවෙල මගින් මේ අර්බුදය තවත් උග්රකර ඇත.
ලාභය සඳහා නිශ්පාදනය කෙරෙන ධනපති ක්‍රමය යටතේ මෙම ගැටලු කිසිවක් විසඳාගත නොහැකිවා පමනක් නොව ඒවා වඩාත් උග්‍ර කෙරෙන බවත්, එම ගැටලුවලට විසඳුම් ලබාගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ගොහාගොඩ නිවැසියන්ට පැහැදිලි කලහ. මෙම කරුනු වඩාත් පැහැදිලි කරගනුවස් සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය කැඳවා ඇත.
Follow us on