ලංකාවේ ආන්ඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම ගැන ඇමරිකාවේ හා ඉන්දියාවේ උත්සුකය පලවෙයි
සමන් ගුනදාස විසිනි, 2017 දෙසැම්බර් 27
වසර දෙකක් පමන ඇදීගිය සකච්ඡා වලින් පසුව දෙසැම්බර් 9 වනදා ශ්‍රී ලංකාවේ ආන්ඩුව විසින් චීනයේ රාජ්‍ය සමාගමක් වන චීන මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ස් සමාගමට හම්බන්තොට වරාය නිල වසයෙන් පවරා දෙන ලදී. ගනුදෙනුව එතරම් කලක් දික්ගැසුනේ එක්සත් ජනපදය හා ඉන්දියාව ඊට එරෙහිව සිටි බැවිනි.
ඉන්දියානු සාගරයේ අතිශය තීරනාත්මක හා කාර්ය බහුල මුහුදු මාර්ගවලට සමීප හම්බන්තොට වරාය ලංකාවේ දකුනු වෙරලේ පිහිටා ඇත. චීනයේ නැගීම වලක්වා තම ආධිපත්‍යයට යටත් කර ගැනීමට ඉලක්ක කරගෙන සිටින ඇමරිකාව, ඉන්දියානු-පැසිෆික් කලාපය තුල එය හුදෙකලෘ කිරීම සඳහා තමන්ගේ සහචරයා වන ඉන්දියාව සමග එක්ව ක්‍රියා කරයි. හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම ගැන ඔවුන්ගේ විරුද්ධත්වය එහෙයිනි.
”ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ සංකල්පයට හම්බන්තොට වරාය එක්වනු ඇත” යනුවෙන් එය චීනයට පවරාදීමේ උත්සවයට සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේය. චීනයේ පලවන ෂින්හුවානෙට් වෙබ් අඩවිය අගමැති කල ප්‍රකාශය වාර්තා කලේ “හම්බන්තොට වරායේ ක්‍රියාකාරිත්වයත් සමග ශ්‍රී ලංකාව චීනයේ එක් තීරුවක් එක් මාවතක් ව්‍යාපෘතියට එක්වෙයි” යනුවෙනි.
චීනයේ එක් තීරුවක් එක් මාවතක් ව්‍යාපෘතිය මෙහෙයවෙන්නේ ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකාවේ හා යුරෝපයේ රටවල් 60ට වැඩි ගනනක් ඈඳාගත් පැරනි “සේද මාවත” ගොඩ බිමින් හා මුහුදු මාර්ග හරහා යලි පන ගැන්වීමට ය. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඉලක්කය දන්නා බෙයිජිං පාලක කල්ලිය මෙම ව්‍යාපෘති මගින් තෙල් ඇතුලූ තම අත්‍යවශ්‍ය ආනයන හා අපනයන කෙරෙන මාර්ග තමන්ගේ තරඟකාරීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තුවේ.
ආන්ඩුව 99 අවුරුදු බද්දක් යටතේ වරායේ වටිනාකමෙන් සියයට 70ක් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් සමාගමට පවරා ඇති අතර සියයට 30ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතියි. හම්බන්තොට වරායේ කටයුතු මෙහයවීම සඳහා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් (එච්අයිපීජී) හා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් සර්විසර්ස් (එච්අයිපීඑස්) යනුවෙන් සමාගම් දෙකක් ද ඇති කර තිබේ. මෙම සමාගම් වලට වසර 32ක බදු සහන ලබා දී ඇත. වරාය වටා කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා චීනයට අක්කර 15,000ක් ලබා දීමටද ආන්ඩුව ක්‍රියා කරමින් සිටියි.
2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරනයෙන් බලයට පත්වුනු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් කරගෙන ගිය වරාය නගරය ද ඇතුලූ චීන ව්‍යාපෘති “දූෂන” හා “අක්‍රමිකතා” වලින් යුක්ත බට චෝදනා ඇතැයි පවසමින් ඒවා අත්හිටුවීමට පියවර ගත්තේය. එහෙත් ඊට සැබෑ හේතුව අනෙකකි. එනම්, රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනයෙන් නය ලබා ගනිමින්, ආයෝජන ගෙන්වා ගනිමින් හා යුද්ධායුද මිලදී ගනිමින් ඇතිකරගෙන තිබු සම්බන්ධතා කෙරෙහි උරනවූ ඇමරිකාවත් ඉන්දියාවත් රාජපක්ෂ ඉවත් කිරීමේ තන්ත්රමාරු මෙහෙයුමක් මගින් සිරිසේන බලයට ගෙන ඒමයි. මේ දෙරට කිසිදාක රාජපක්ෂගේ ප්රජාතන්ත්ර-විරෝධී පාලනයට විරුද්ධ වී නැත.
එසේ වුවද මූල්‍ය සම්පත් සිඳීයාමේ හා නය ගොඩ ගැසීමේ අර්බුදයට මුහුනු දුන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට දෙමසක් ගතවත්ම ආධාර පතා චීනයට හැරීමට සිදුවිය. සිය ආයෝජන නවත්වා දැමීම විවේචනය කල බෙයිජිං තන්ත්රය සමග යලි සාකච්ඡා ඇරඹීමේ ප්‍රතිපල ලෙස කොලඹ ආන්ඩුව ඒවා යම් කොන්දේසි වෙනස් කිරීමක් මගින් යලි ඇරඹීමට ඉඩ සැලසූ අතර හම්බන්තොට වරාය තැනීමට චීනයෙන් දුන් නයට හිලවු වසයෙන් එය චීන රාජ්‍ය සමාගමකට සියයට 70ක කොටස් විකිනීමකට එකඟ වූයේය.
වරාය විකිනීම වෙනුවෙන් පලමුවන කොටස ලෙස ලැබුනු ඇමරිකානු ඩොලර් මිලියන 292ක චෙක්පත උද්දාමයෙන් ප්‍රදර්ශනය කරමින් වික්‍රමසිංහ මෙසේ ද කීවේය: “මෙම එකඟතාව සමඟ අප නය ආපසු ගෙවීම ආරම්බ කෙලමු.” වික්‍රමසිංහ මෙම පැවරීම මූල්‍ය ලාබයක් ලෙස ගෙනහැර දැක්වූයේ වුවද එය චීනයට එරෙහිව එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ ආතතීන් උත්සන්න කිරීමට තුඩුදුන්නේය. අනෙක් අතින් ආන්ඩුව වරාය විකිනීමට පෙර කම්කරුවන් 435කගේ රැකියා අහෝසි කර දැමුවේය.
ආන්ඩුවට අනුව වරාය විකිනීම වනුවෙන් ලංකාවට දීමට නියමිත ඩොලර් බිලියන 1.12ට අමතරව චීනය විසින් මෙම වරාය කි‍්‍රයාත්මක තත්වයට ගෙන ඒ්ම සඳහා ඩොලර් 600ක් ආයෝජනය කරනු ඇත. වරාය ඇමති මහින්ද සමරසිංහට අනුව තව මසකින් සියයට 10 ක මුදලක් එනම් ඩොලර් මිලියන 100ක් හා හය මසකින් ඩොලර් මිලියන 585ක් චීන සමාගම ලංකාවේ ආන්ඩුවට ලබාදීමට නියමිත ය.
ආන්ඩුවට ඩොලර් බිලියන 8 ක පමන නය චීනයට ගෙවීමට ඇත. ඉන් බිලියන 6 ක් චීන ආයෝජන බවට හැරවීමට, එනම් චීනයෙන් ලබාගත් නය මත කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති චීන සමාගම් වලට විකිනීමට ආන්ඩුව සැලසුම් කරයි. වික්‍රමසිංහ පසුගිය අප්‍රේල් මස චීනයට කල සංචාරෙය්දී මෙම කරුනු අනාවරනය විය.
දෙසැම්බර් 14 ද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී චීනයට හම්බන්තොට වරාය පැවරීම පිලිබඳව ඉන්දියාවේ අදහස විමසන ලදුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් මෙසේ පවසා ඇත: “අප ශ්‍රී ලංකාව සමග කලාපයේ ආරක්ෂාව පිලිබඳ කරුනු සාකච්ඡාවට ගන්නා අතරම ශ්‍රී ලාංකික මිතුරන් අපගේ ආරක්ෂක උත්සුකයන් සහ සංවේදීතාවන් සිත්හි තබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.”
මෙය හම්බන්තොට වරාය පැවරීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් විරුද්ධත්වය පල කිරීමක් මෙන්ම ඉන් ඉන්දියාවට ආරක්ෂක තර්ජනයක් ඇතැයි ප්‍රකාශ කිරීමකි.
බෙයිජිනය සමග හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සාකච්ඡා යන අතරතුර ඉන්දියාවේ උත්සුකය පල වීම නිසා එය සමනය කිරීම සඳහා එම වරාය ආසන්නයේ තනා ඇති මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපෙලහි කොටස් වටිනාකමන් සියයට 70ක් ද ති්රකුනාමල ගැඹුරු මුහුදු වරායේ සංවර්ධන කටයුතු ද ඉන්දියාවට ප්රදානය කිරීමට ලංකාවේ ආන්ඩුව යෝජනා කර තිබේ.
නොවැම්බර් මස අග වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී මෙම ගනුදෙනු පිලිබඳව සාකච්ඡා කලේය. “මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල එලැඹෙන වසර 40 තුල තම භාරයේ පවත්වා ගැනීම සඳහා නව දිල්ලිය විසින් ඩොලර් මිලියන 200ක් ප්රදානය කිරීම සම්බන්ධයෙන්” මෝදි සාකච්ඡා කල බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කලේය. ත්රිකුනාමල වරාය හා කොලඹ වරායේ නැගනහිර පර්යන්තය සඳහා ඉන්දියානු ආයෝජන යෙදවීම පිලිබඳව ද සාකච්ඡා කල බව ඉන්දියානු මාධ්‍ය ප්‍රකාශ කලේය. මේ කිසිවක් අවසාන වශයෙන් තීන්දුවී නැත.
එක්සත් ජනපදයේ උත්සුකය පලවූ එක් අවස්ථාවක් වූයේ දකුනු හා මධ්‍යම ආසියාව පිලිබඳ වැඩ බලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපද කොන්ග්රස් කමිටුවට කල කතාවයි. සහනවලින් තොර චීන නය නිසා ලංකාවේ නය බර දරාගත නොහැකි ලෙස ඉහල ගොස් ඇති බව ව්‍යාජ අනුකම්පාවක් පෙන්වමින් ඇය පැවසුවාය. ශ්‍රී ලංකාවේ චීන තානාපති යී. සියන්ලියෑන් එයට ප්‍රතිචාර දැක්වුයේ බොහෝ චීන නය, පහසුකම් සහිත ස්ථාවර රේට්ටු මත සපයා ඇති බව පවසමිනිි.
ඇමරිකාවේ හා ඉන්දියාවේ භූ දේශපාලන උවමනාකම් වලට පක්ෂපාතී, නව දිල්ලියේ සෙන්ටර් ෆෝ පොලිසි රිසර්ච් ආයතනයේ මූලෝපායික අධ්‍යයනයන් පිලිබඳ මහාචාර්ය බ්‍රහ්ම චෙලනි හම්බන්තොට වරයා විකිනීම ගැන තරයේ විවේචනය කරමින් ලිපියක් ලියා ඇත. අනෙකුත් රටවල් තම උවමනාකම් වලට නතුකර ගැනීමට චීනය තම රාජ්‍ය නය යොදා ගනිතැයි චෙලනි චෝදනා කරයි. “ලංකාවේ අත්දැකීම නග්නව පෙන්වා ඇතිපරිදි චීන මූල්‍ය සැපයීම එහි ‘හවුල්කාර‘ රට බැඳ තැබීම සඳහා යොදාගත හැක.”
චීනය විසින් මධ්‍යධරනී මුහුදේ පිහිටි පයිරෙයුස් වරාය, මුදල් සිඳී ඇති ග්‍රීක ආන්ඩුවෙන් ඩොලර් මිලියන 436 ක් ලබා ගැනීම පිලිබදව සඳහන් කරමින් ඔහු කියා සිටියේ “ චීනය සිය සමාගම් වලට උපෙදස් දී ඇත්තේ කොහේ හෝ මූලෝපායික වරායයන් අත් කර ගැනීම සඳහා ලන්සු තබන ලෙස” බවයි.
දකුනු ආසියාව තුල එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ තර්ජන හා අනතුරු ඇඟවීම් මගින් ඉන්දියානු සාගර කලාපයේ චීන බලපෑම නතර කිරීමේ උත්සාහයක් පවතී. චීනයේ එක් තීරුවක් එක් මාවතක් යන පිලිවෙතෙහි ආරම්භකත්වයට සහය දැක්වූ මාල දිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් චීනය සමඟ මෑතදී නිදහස් වෙලඳ ගිවිසුමක් අත්සන් කලේය. සිය ප්රවෘත්ති සාකච්ඡාව තුල රවීෂ් කුමාර පැවසුවේ “අපගේ බලාපොරොත්තුව වන්නේ සමීප හා මිත්‍රශීලී අසල්වැසියෙක් ලෙස මාල දිවයින අපගේ උත්සුකයන් පිලිබඳව සංවේදීව ඉන්දියාව පලමුව යන මුලෝපාය පවත්වා ගෙන යනු ඇති බවයි” යනුවෙනි.
චීනය සමඟ නිදහස් වෙලඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ක්‍රියා කරමින් සිටින ශ්‍රී ලංකා ආන්ඩුවටද මෙය අනතුරු ඇඟවීමකි. නේපාලයේ, පකිස්තානයේ හා මියන්මාරයේ (බුරුමය) යෝජිත ජල විදුලි ව්‍යාපෘති සඳහා චීන ආයෝජන පසු පසට තල්ලූ කිරීම ද වාර්තා විය.
ලෝක අර්බුදයෙන් උග්‍ර කෙරුනු ආර්ථික වියවුලක ලංකාවේ ධනපති පන්තිය ගිලී සිටින නිසා චීනයෙන් ආයෝජන හා නය ගැනීමට ආන්ඩුව හැරී සිටින බව සැබෑවකි. ඒ අතරම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එක්සත් ජනපදය ඉන්දියාව මෙන්ම ජපානය හා ඕස්ට්‍රේලියාව හවුල් කරගෙන චීනයට එරෙහිව ගොඩනගන මිලිටරි ජාලයට ලංකාව ඒකාග්ර කරමින් සිටී. හම්බන්තොට වරාය පිලිබඳව එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ උත්සුකය වනාහි ඉන් මඳක් හෝ ඉවතට හැරීමක් නොවිය යුතු බවට කෙරෙන අනතුරු ඇඟවීමකි.
Follow us on