හංවැල්ල දිද්දෙනියේ අනාරක්ෂිත ගල්වලකින් පීඩා විඳින ගම්වැසියන් ලෝසවෙඅ ට කතා කරයි
දේහින් වසන්ත විසිනි, 2017 පෙබරවාරි 3
හංවැල්ල, පහත්ගම, උතුරු දිද්දෙනියේ ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන ගල්වලක් හේතුවෙන් ප්‍රදේශයේ මහජනතාව අතිමහත් අන්තරායකටත්, පීඩාවකටත් පත්ව සිටිති. තමා පත්ව ඇති තත්වය පිලිබඳව අදාල බලධාරීන් සියලු දෙනාම පාහේ දැනුවත් කල ද කවර හෝ ස්ථිරසාර විසඳුමක් මෙතෙක් නොලැබුනු බව ඔවුහු පවසති.
කොලඹ-රත්නපුර ප්‍රධාන මාර්ගයේ පිහිටි පහත්ගම මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් හතරක් පමන ගියවිට, දිද්දෙනිය උතුර අංක 439 ග්‍රාමසේවා වසමේ පිහිටි, ”අක්කර හය” නමින් හඳුන්වනු ලබන ඉඩමෙහි මෙම ගල්වල පවත්වාගෙන යනු ලැබෙයි. කලක් වසා දමා තිබූ ගල්වලෙහි වැඩ වසරකට පමන පෙර යලි ආරම්භ වූ බවත්, ඉන් කඩා ඉවත් කෙරෙන ගල් කොලඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ට සහ කොලඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ට සපයන බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඔවුහුු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසුවේ, ගල්වල පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් විසින් පරිසර සහ මහජන ආරක්ෂන නීති නොතකමින් ඉවක් බවක් නොමැතිව ගල කඩා ඉවත් කරමින් සිටින බව යි.
පතල් සහ කැනීම් කාර්යාංශයෙන් නිර්දේශ කල සීමාවන් ඉක්මවා යන අධිබල රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කෙරෙන පිපුරුම් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දහයකට පමන අලාභහානි සිදුව ඇත. කලුගල පුපුරවා හැරීමේ දී ඇතිවන කම්පන හේතුවෙන් ගෙවල් ඉරිතලා ඇති අයුරු සහ අසල ගෙවතු වලට හා නිවාස වලට අලාභ සිදුව ඇති අයුරු නිවැසියෝ පෙන්වූහ.
ත්‍රිරෝද රථ රියදුරෙකු වන ආරියරත්න මහතා ඔහුට සිදුවී ඇති කරදර විස්තර කලේ මෙසේය: ”උදේ පටන් බ්‍රේකර් ගහල ගල විදල සවස හතරට විතර තමයි මේ බෝර දාන්නේ. ඒවාට මේ ගෙවල් එක දිගට විනාඩි කිහිපයක් සෙලවෙනවා. පැය භාගයක් විතර දිනකට බෝර 20-25ක් දානවා, මිනිස්සු තමන්ට වෙන කරදර ගැන පොලිසි යනවා, ගල් වැඩපොල ගාවට ගිහිල්ල බනිනවා, අඬනවා විවිධ දේ කරනවා. පොලිසිය ආවහම සතියක් විතර වැඩ නතරකරනවා නැවත පෙරපරිදිම ගල් බෝර දැමීම කරගෙන යනවා.”
ගල අවට ශුද්ධ කිරීමෙන් ඉවත් කෙරෙන පස් වැසි දියට සෝදාගෙනවිත් ගම මැදින් ගලා යන ඇලට වැටී එය ගොඩවී ඇති බැවින් එහි ජලය නොරැඳෙන බවත් ඒ හේතුවෙන් පායන දිනයන් හි ලිං සිඳී යන බවත් ඔහු පැවසුවේ ය. පෙර තිබූ දොල පාරවල් සිඳී යාමට හේතුව මෙම ගල්වල බව ඔහුගේ අදහස විය.
ව්‍යාපාරිකයෙකු වන සමන්, ගල්වල නිසා තම පවුලට සිදුවන කරදර මෙසේ විස්තර කලේය. ”ගෙදරට ගල් වැටිලා වහලට අලාභ හානි ගොඩක් සිදුවුනා. බිත්ති පුපුරලා. ඒ මදිවට මෙදා වැස්සට මගේ ගේ යටින් දියපාරක් යන්න පටන් අරගෙන. වෙනද වැහි වතුර ගලා ගියේ ඇල දිගේ දැන් ඇල පස් වලින් වැහිලා. ගල කැඩීමෙන් ඇතිවුනුු වලට එකතුවෙන වතුර මගේ ගෙය මැදින් බහින්න පටන් අරං. දැන් වැසි කාලයට මගේ මිදුල දනක් විතර එරෙනවා. මේ පැත්තෙ බොහොමයක් ගෙවල් වලට ගල් වැටිලා අලාභ වුනා. මේ ප්‍රදේශයේ අය නෑවේ ඇලෙන්. ඒත් දැන් ඒ ඇල හිඳිල.”
ප්‍රේමවතී හෙට්ටිආරච්චි නම් ගෘහනිය පැවසුවේ ගල් වලට යන පාර පලල් කිරීම සඳහා ඇගේ ඉඩමේ තිබූ වටිනා ගස් ද කපාගත් බවයි. ”මගේ කුඹුර වගා කරන්න බැහැ. ඇලේ නාන්න බැහැ. දවසක් ගෑනු දෙන්නෙක් නනා ඉන්නකොට ඇඟට ගල් වැටිලා. උඹල නානවනම් 12ට ඉස්සෙල්ල නාපල්ලා කියල ගල් වැඩපොලේ මිනිස්සු ඒ ගෑනුන්ට බැනල එලවල. වැඩපලට විශාල උපකරනයක් පටවාගෙන ගියපු වාහනයක පැටලිලා මගේ ගෙදර විදුලි සැපයුම කැඩුන. ඒක ඒ අයගෙන් සිදුවුන දෙයක් කියල ඒත්තු ගන්වලා හදාගන්න පොලිසි ගිහින් සෑහෙන්න කරදර උනා. මේවට කතා නොකර ඉන්න මාසෙකට රුපියල් තිස්පන්දාහක් දෙන්නම් කියල ගල් වැඩපොලේ අය මට කිවුව මම කිව්ව ඒ තිස්පන්දාහ ඔයගොල්ලොම තියාගන්න කියල.”
ආරක්ෂාව සඳහා ගල් බෝර දමන අවස්ථාවන්හි ලමයින්ට වත්තේ පිටියේ රැඳීීමට ඉඩ නොදෙන බවද ගමනක් ගියත් ගල්වලෙන් කරදරයක් වෙතැයි බියෙන් පසුවන බවත් ඇය පැවසුවාය. ”මම රැකියාවක් කරන්නේ නැහැ. මගේ මහත්තය අත් උදවු කාරයෙක් හැටියට නාට්‍ය වල ලයිට් දමන තැන්වල වැඩකරනවා. මේ ප්‍රශ්න වලට පොලිසි වලට යන්න වෙලාවක් නැහැ’.
ගල්වලෙන් විඳින පීඩා පිලිබඳව විසඳුමක් ඉල්ලා, 2003 වසරේ සිට හංවැල්ල ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය ට ලියන ලද විවිධ ආකාරයේ ලිපි සහ පෙත්සම් වල පිටපත් නිවැසියන් විසින් වාර්තාකරුවන්ට පෙන්වමින් කියා සිටියේ ඉන් කිසිවක් පල නොදැරූ බවයි. 2003 දී ගම්වාසීන් විසින් පොලීසියට කරන ලද පැමිනිල්ලක් මත පවරන ලද නඩුවක් විභාග කරමින්, 2004 දී අවිස්සාවේල්ල අධිකරනය නිගමනය කලේ ගල්වලේ පැවති ආරක්ෂක පියවරවල් ප්‍රමානවත් නොවන බවයි. ඒ අනුව, වඩා විධිමත් ආරක්ෂක පියවර ගන්නා ලෙස එවකට මෙම ගල්වල පවත්වාගෙන ගිය මකියාගේ දොන් චන්ද්‍රසේන නොහොත් සම්පත් මුදලාලි නමැත්තාට නියෝගයක් නිකුත්කර තිබේ. එම නියෝගය ක්‍රියාත්මක කරනවාදැයි සොයා බැලීමට ප්‍රදේශය භාර ග්‍රාම සේවා නිලධාරිවරයා හට පවරා ඇති නමුදු කවර හෝ ප්‍රමානවත් පියවරක් නොගෙන ගල්වලේ කටයුතු එලෙසම කෙරීගෙන ගොස් ඇත.
2011දී පතල් කැනීමේ කාර්යාංශය මගින් බෝර දමීමේදී සිදුවන කම්පනය පරීක්ෂාකර තිබේ. එම වාර්තාවට අනුව සිදුවන කම්පනයන් නිවැසියන්ට ”හානි දායක” නොවේ. නිවැසියන් ට අනුව, පරීක්ෂන සිදු කරන අවස්ථාවේදී ගල්වල හිමි ව්‍යාපාරිකයන් විසින් ප්‍රබලතාවයෙන් අඩු බෝර භාවිතා කරන අතර අන් අවස්ථාවල දී මිනිස් ජීවිත වලට ඉතා හානිකර බෝර භාවිතා කෙරෙයි.
මීට අමතරව, 2012 වසරේ දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ට යොමු කරන ලද පෙත්සමක් මගින් ගල්වල පිලිබඳව විසඳුමක් ඉල්ලා ඇති අතර, එයට ලැබී ඇති පිලිතුර වන්නේ ලිපිය අදාල අංශ වලට යොමු කල බවයි.
තතු මෙසේ වුව ද, ලෝසවෙඅ වාර්තාකරුවන් විසින් හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට, ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් පිලිතුරු දුන් එහි පරිපාලන නිලධාරිවරයා පැවසුවේ මෙවන් ගැටලුවක් පිලිබඳව තම ආයතනය දැනුවත් කොට නොමැති බවයි.
මධ්‍යම පරිසර අධිකාරිය, පතල් කැනීමේ කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ අධිකරනය යන මේ සියල්ල මෙහෙයවෙන්නේ මහජන ආරක්ෂාව සහ මහජන ශුභ සිද්ධිය වෙනුවෙන් නොව, ව්‍යාපාරිකයන්ගේ ලාභ අවශ්‍යතා මත බව, මෙවන් ගැටලූ වලට මුහුන දුන් සහ මුහුන දෙමින් සිටින අන්‍ය ප්‍රදේශයන් හි මහජනතාව මෙන්ම දිද්දෙනිය ප්‍රදේශවාසීහු ද අත් දැකීමෙන් පසක් කර ගනිමින් සිටිති.
මෙවන් පාරිසරික ගැටලුවක් වෙනුවෙන් ඉහත දැක් වූ සියලු ආයතන හරහා විසඳුමක් සොයාගිය වැලිවේරිය, රතුපස්වල මහජනතාව, කවර හෝ විසඳුමක් නොමැතිව අවසානයේ දී කල විරෝධතා උද්ඝෝෂනය රාජපක්ෂ ආන්ඩුව විසින් විසුරුවා හරිනු ලැබුවේ මිලිටරිය යොදා වෙඩි තබා තරුනයන් තිදෙනෙකු ඝාතනය කරමිනි.
දිද්දෙනිය ප්‍රදේශයට ඉතා ආසන්න, හංවැල්ල තුන්නාන පිහිටි හංවැල්ල රබර් නිෂ්පාදන කම්හලෙහි අපජලය නිසි පරිදි බැහැර නොකිරීමෙන් සිදුවන කාර්මික දූෂනයට එරෙහිව, 2014 දී, ගම්වැසියන් විරෝධතා දැක්වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ පාලනය ක්‍රියා කලේ පොලීසිය යොදවා විරෝධතා මැඩපවත්වමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනිමිනි. කම්හල එලෙසම පවත්වාගෙන යන අතර අත් අඩංගුවට ගත් ගම්වැසියන් දෙදෙනෙකු වසරකට වැඩි කාලයක් රඳවාගෙන සිට ඇපමත මුදාහල නමුදු ඔවුනට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මක වේ.
පවත්නා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත ඊට වෙනස් නොවේ. පිරිසිදු පානීය ජලය ඉල්ලා, 2015 ඔක්තෝබරයේ දී උද්ඝෝෂනයක යෙදුනු, හම්බන්තොට බඳගිරියේ මහජනතාව විසුරුවා හරිනු ලැබුවේ පොලීසිය යොදවා රුදුරු ප්‍රහාරයක් එල්ල කරමිනි.
ශ්‍රී ලංකාවේ ආන්ඩු ඇතුලු ලෝකයේ සියලු ධනපති සහ අධිරාජ්‍යවාදී ආන්ඩු මෙන්ම ධනේශ්වර පද්ධතිය තුල ස්ථාපිත කෙරී ඇති සෑම ආයතනයක් ම කැපවී සිටින්නේ ධනපති නිෂ්පාදකයාගේ ලාභ අවශ්‍යතා රැකීමට මිස ජනතාවගේ අවශ්‍යතාවන් රැකීමට නො වේ. රතුපස්වල දී, තුන්නානේ දී සහ බඳගිරියේ දී මෙන්ම දිද්දෙනියේ දී සනාථ වී ඇත්තේ එයයි.
Follow us on