ගංවතුරෙන් සිදුවූ හානිය ගැන බදුරලිය වතු කම්කරුවන් කතා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජූලි 20

පසුගිය දා ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් තුන් සීයක් පමන මිය ගිය බව නිල සංඛ්‍යා ලේඛනයන් හි සඳහන් වන නමුදු, සත්‍ය මරන සංඛ්‍යාව ඊට වඩා වැඩි යයි බොහෝ තැන්වල මහජනතාව ප‍්‍රකාශ කර සටිතිි. දෙදහසකට වැඩි නිවාස ප‍්‍රමානයක් මුලූමනින්ම විනාශ වූ අතර, තවත් නිවාස් එකොලොස් දහසකට වැඩි ප‍්‍රමානයකට පාර්ශ්වීය හැනි පැමින ඇතැයි වාර්තා වේ. ලක්ෂ හයකට වැඩි මහජනතාවක් මෙමඟින් අවතැන්ව ඇත.

ගංවතුරින් හා නායයාම් මඟින් විපතට පත් වූයේ මූලික ව ම කම්කරුවන් හා ගම්බද දුගීන් ය. බලධාරීන් කවර හෝ පූර්ව අනතුරු ඇඟවීමක් නො කල අතර, එමඟින් මහජනයා නුසූදානම්ව අනතුරට ගොදුරු වූ හ. හානි වූ පලාත් අතරින්, බස්නාහිර, සබරගමුව හා දකුන ප‍්‍රමුඛ වන අතර, මධ්‍යම පලාතේ කොටසකට ද හානි සිදුවිය. රත්නපුර, කලූතර හා මාතර වඩාත් හානි වූ දිස්ති‍්‍රක්කයන් වෙයි.

ශී‍්‍ර ලංකාවේ පීඩිත මහජනතාව වාර්ෂිකව ගංවතුර හා නායයාම් වලට ගොදුරු වන නමුදු, විපතක් සිදුවූ පසු කිඹුල් කඳුලූ හෙලීම සහ ව්‍යසනයට පත්වූවන්ටම වරද පැටවීම හැර අන් කිසිවක්්, පවතින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සන්ධාන ආන්ඩුව හෝ පෙර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, කර නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාව සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියට පවත්නා පිලිකුල සහ බලගතු නොතැකීමයි.

පසුගියදා අගලවත්ත බදුරලිය ප‍්‍රදේශයේ සංචාරය කල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ප‍්‍රදේශයේ රබර් වතු කම්කරුවන් මුනගැසුනි. ඔවුහු ගංවතුරෙන් සිදු වූ හානිය සහ ආන්ඩුවේ ප‍්‍රතිචාරය ගැන විස්තර කලහ.

උසාරානී නම් තරුනියක් මෙසේ පැවසුවාය: ”උදේ ගෙදරට වතුර එන්න පටන් ගත්ත. ඊට පස්සෙ එක පාරටම යට වුනා. හතහමාර වෙනකොට යට වෙලා ඉවරයි. වතුර අඩි හතක් විතර උලූවස්සෙන් උඩටත් වතුර ආව. ගෙදර බඩු ටික ඔක්කොම වතුරෙ ගියා. විදුලියෙන් වැඩ කරන කිසි දෙයක් දැන් පාවිච්චි කරන්න බෑ. මික්සර්, ග‍්‍රයින්ඩර්, රූපවාහිනිය, ඔක්කොම වතුරෙ ගියා. ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. වෙන මොකවත් ආයෙ පාවිච්චියට ගන්න බෑ. ශීතකරනය විතරක් බේරුනා. ඒක අපි අමාරුවෙන් කන්ද උඩට අරගෙන ගියා.”

වෙනදා ගංවතුර පැමිනෙන්නේ අඩියක් පමන උසට නමුත් මෙවර හිටිවනම නැගි ජලකඳ හේතුවෙන් ඔවුන් විසින් වගා කරන කූඹුරෙන් ලැබුනු වී අස්වැන්න ද අහිමි වූ බව උසාරානී පැවසුවාය.

”මේ ලයිමෙ ගෙවල් හයක් තියෙනවා. ඔක්කොම විස්සක් විතර ඉන්නවා. අපේ ගෙදර හය දෙනයි. නංගි ලඟ ඉස්කෝලෙ උගන්නනව. මල්ලි සිංගප්පූරුවෙ රස්සාව කරනව. තාත්තට අංසබාගෙ. ගංවතුර දවස්වල එයා කලූතර ගිහින් හිටිය බේත් ගන්න. ඒකෙන් තමයි බේරුනෙ. අම්මත් දැන් වැඩට යන්නෙ නෑ. තාත්තව බලා ගන්නව. කන්ද උඩ කෝවිලේ තමයි අපි හිටියෙ.”

හාල්, පොල් සහ පරිප්පු ඇතුලූ ආහාර ද්‍රව්‍ය ස්වල්පයක් සමග මෙට්ටයක්, ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ට කීපයක් හැරෙන්නට අන් කිසිවක් ආධාර ලෙස නොලැබුනු බව කී උසාරානී මෙසේ ද පැවසුවාය: ”ගංවතුර බැහැල ගියායින් පස්සෙ අපිම තමයි බිත්තිවල, පොලවෙ එක්කහු වෙලා තිබුන මඩ හේදුවෙ. කරන්ට් සුවිච් ඔක්කොම හරියට වැඩ කලේ නෑ. බල්බ් දැම්මම, ඒව පිච්චෙන්න ගත්තා. අපිම වයර්, සුවිච් අලූතෙන් දැම්ම.”උසාරානීගේ පුංචි අම්මා වන අරියනච්චි තම රැුකියාවේ පවත්නා දුෂ්කරතාවයන් පැහැදිලි කලාය: ”අපි කිරි කපන්නෙ පායන දවස් වල විතරයි. දවසකට කිලෝ ග‍්‍රෑම් පහක් පමන කිරි කපනව. ඒකට රුපි. 450 ක් විතර හම්බවෙනව. බඞ් කෑල්ලෙ වැඩ කරනව නම් කිලෝ හයක් වත් දෙන්න ඕන. සමහර කෑලි වල කිලෝ අටක් විතර දෙන්න වෙනව.”

ඞී. ඒ. කුසුමාවතී

ගංවතුරෙන් විපතටපත් තවත් වතු කම්කරු කාන්තාවක් වූ ඞී. ඒ. කුසුමාවතී, 69, තම අත්දැකීම් ලෝසවෙඅ ට විස්තර කලාය. 1969 සිට 1984 දක්වා මොරවක වත්තේ ද, 1984 සිට 2000 දක්වා අස්කෙලිය වත්තේ ද ඇය සේවය කර ඇත. මෙම රබර් වතු දෙකම කොටගල ප්ලාන්ටේෂන් වතු සමාගමට අයත් ඒවා ය.

වතුකරයේ පවතින දරිද්‍ර කොන්දේසි හේතුවෙන් බොහෝ ව්‍යසන වලට කුසුමාවතී මුහුන දී ඇත. පුතුන් දෙදෙනකුගේ ද, දියනියන් දෙදෙනකුගේ ද මවක් වූ ඇයගේ පුතුන් දෙදෙනාම අකාලයේ මියගොස්් ඇත. එක් අයෙකු හෘදයාබාධයකින් මියගිය බවත්, අනෙක් කෙනා වස පානය කොට ජීවිතය නැති කරගත් බවත් ඇය පැවසුවාය. කුසුමාවතීගේ බෑනවරුන් දෙදෙනා ද මේ වන විට මියගොස් ඇත. එක් දුවත් අස්කෙලිය වත්තේ සේවය කරන අතර අනෙක් දුව කුඩා කඩයක් පවත්වාගෙන යමින් ජීවිතය ගැට ගසා ගනී.

එක් කාමරයකින් සමන්විත ඇගේ නිවස ද ගංවතුරට යට ව තිබේ. ”මැරිච්ච පුතා තමයි මේ ගේ හදල දුන්නෙ. ගංවතුරට යට වුනාට පස්සෙ එක ලිපක්වත් පත්තු වෙන්නෙ නෑ” යයි ඇය කියා සිටියා ය.

තම අත්දැකීම් විස්තර කරමින්, කුසුමාවතී අප වාර්තාකරුවන්ට පැවසූයේ, ”අපි කපන කාලෙ කිරි තිබ්බ. ඒ කාලෙ දවසට කිලෝ ග‍්‍රෑම් 10ක් 11 ක් විතර කිරි එක්කහු කරනව. එතකොට ගස් අලූත්. ගස් අලූත් වුනාම හොඳට කිරි තියෙනව. දෙවෙනි සැරේට, තුන්වෙනි සැරේට කිරි කපනකොට කිරි අඩුවෙනව.”

වතු සමාගම්වල වියදම් කප්පාදුව හේතුවෙන් වෙනදා මෙන් වල් පැලෑටි විනාශ කිරීමක් සහ වත්ත ශුද්ධකිරීමක් සිදු නොවන බැවින් කිරි කපන කම්කරුවන්ට බලගතු දුෂ්කරතාවන්ට සහ අන්තරායන්ට මුහුන දීමට සිදුව ඇතිබව ඇය පෙන්වා දුන්නාය. ” දැන් බලන්න වත්ත ඇතුලට යනකොට කැලේ. කැලේ සුද්ධ කරන්නෙ නෑ. ඒකෙන් කිරි කපන අයට තියෙන අමාරුව වැඩි වෙනව.”

රබර් කිරි කැපීම නවත්වා ඇති ඇය දැන් සමහර දින වලට තේ දලූ නෙලන්නට යන්නී ය. වයස්ගත භාවය නිසාම කිසිම වැඩකට නොයන දිනයන් වැඩි බවත් ඇය සඳහන් කලාය. සමහර දින වලදී තේ කිලෝ ග‍්‍රෑම් විස්සක්, විසිපහක් පමන නෙලන බව කියා සිටි ඇය සමහර දිනවලට එය කිලෝ ග‍්‍රෑම් 10 කට පමන අඩු වන බවත් කියා සිටියා ය. කඩන දලූ වලට ගෙවන ප‍්‍රමානයත් වතු අනුව වෙනස් වන බව ඇය සඳහන් කලා ය. ඇයට අනුව, සමහර වතු වල කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 20 ක් ද, වඩා වැඩි තේ දලූ තිබෙන වතු වල රුපියල් 25 ක් පමන ද ගෙවනු ලබයි. දවසක් වැඩ කර රුපියල් 180 කින් දිවි ගැටගසා ගැනීමට සිදුවන අවස්ථා ද ඇති බව ඇය පැවසුවාය.

තමාචම්මා

අස්කෙලිය වත්තේ සේවයේ නියුතු වයස අවුරුදු 51 ක් වූ තමාචම්මා පැවසුවේ, රූපවාහිනිය, ශීතකරනය, ගෑස් ලිප ඇතුලූ ගෙදර උපකරන සියල්ල ගංවතුරෙන් විනාශ වූ බව යි. රජය විසින් ගංවතුරෙන් ගැලවීම සඳහා එක බෝට්ටුවක් හෝ නොඑවීමෙන් ඔවුන් මුහුන දුන් දුෂ්කරතාවයන් ඇය මෙසේ සඳහන් කලා ය. ”අපේ ගෙවල් වලට ගංවතුර ගැලූවට පස්සෙ අපි ආන්ඩුවෙන් බෝට්ටුවක් ඉල්ලූව. මෙහාට එවන්ඩ බෝට්ටු නෑ කිව්ව. ඊට පස්සෙ, අපි පස් දෙනෙක් කෙහෙල් කඳන් කොට වලින් හදපු බෝට්ටුවකින් තමයි ගැලවිල යන්න ගියෙ. අපි යනකොට ඒක පෙරලූනා. අපි පස් දෙනාම ගෑනු අය. අවුරුදු 12 ක විතර ලමයෙකුත් අපි අතර හිටිය. ඊට පස්සෙ තමයි හමුදා බෝට්ටුවක් මෙහාට එව්වෙ.”

පෙරලුන ඔරුවේ සිටි කාන්තාවන් හතර දෙනා

එම අනතුර නිසා 64 හැවිරිදි කාර්තියානි ට දවස් තුනක් බදුරලිය රෝහලේ නැවතීමට සිදුව ඇත. ගංවතුර සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතැකීම ගැන ඇය කතා කලේ මහත් කෝපයකනිි. ”හාල්, පරිප්පු, පිටි වගේ දේවල් නම් හම්බ වුනා. බෙඞ් ශීට්, කොට්ටත් බෙදුව. හැබැයි අපිට හම්බවුනේ නෑ. අපි දැන් වත්තෙ වැඩ කරන්නෙ නෑ නෙ. ගොඬේ වැඩ කරන නිසයි ඒ වෙනස. අපිට ආන්ඩුවෙනුත් එහෙම උදවුවක් වුනේ නෑ. ඉස්සෙල්ලම බෝට්ටුවක් දෙන්න තිබුනා. ඒකත් වුනේ නෑ. හැම ආන්ඩුවක්ම දුප්පත් අපිට සලකන්නෙ මෙහෙම තමයි. මීට පස්සෙ නම් අපි කාටවත් ඡුන්දෙ දෙන්නෙ නෑ.”

Share this article: