ශ්‍රී ලංකාවේ උතුරු පලාත නියඟයේ දැඩි බලපෑමට හසුවෙයි
வட இலங்கை கடுமையான வறட்சியால் பாதிக்கப்பட்டுள்ளது
එස්. අහිලන් හා සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි , 2017 ජූලි 26
ශ්‍රී ලංකාවේ එක දිගට පවතින නියඟයෙන් මිලියනයකට වැඩි මහජනයා දැඩි දුෂ්කරතාවයකට පත් ව ඇත. දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වලට මෙය බොහෝ සෙයින් බලපා තිබේ. මෙම පලාත් දෙක ම දශක ගනනාවක් තිස්සේ ඇදී ගිය යුද්ධය මඟින් නට්ටම් කරනු ලැබිනි. උතුරු මැද පලාතේ අනුරාධපුර හා පොලොන්නරුව සහ වයඹ පලාතේ කුරුනෑගල හා පුත්තලම යන දකුනේ දිස්ත්‍රික්ක ද ජල හිඟයෙන් පෙලේ.
ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසන පරිදි, උතුරු පලාතේ පවුල් 133,462ක 462,219ක් පමන පුද්ගලයෝ නියඟයෙන් පීඩා විඳිති. නැගෙනහිර පලාතේ ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ 105,847 දෙනෙක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 63,939 දෙනෙක් හා අම්පාරදිස්ත්රික්කයේ 40,548 දෙනෙක් නියඟයේ බලපෑමට ගොදුරු වී සිටිති.
නියං තත්ත්වය කුරුනෑගල දිසාවේ 142,992 දෙනෙකුට හා පුත්තලමේ 129,241 දෙනෙකුට මෙන් ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 17,737 දෙනෙකුට හා අනුරාධපුර දිසාවේ 51,715 දෙනෙකුට බල පා තිබේ. තව ද, බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමානයක් පීඩාවට ලක්ව ඇත.
නියඟයේ පීඩාවට ලක් ව ඇති සියලු දිස්ත්‍රික්කවල බොහොමයක් දෙනා ගොවියන් වන අතර ඔවුන්ගේ රැකීරක්ෂාවන්ට එය දැඩි ලෙස බලපායි. වගා කරන ඉඩම් වියලී ගොස් තිබේ.
කිලිනොච්චි, මුලතිවු, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැව් හා ජලාශ වර්ෂාපතනය මත රඳා පවතින්නේ වුවත්, මේ වසරේ ජනවාරි මාසයේ සිට ඒවාට වැසි ලැබී නොමැත. පුද්ගලයන් 124,206 දෙනෙකු පීඩාවට පත් ව ඇති යාපන අර්ධද්වීපයේ ජීවත් වන ජනයා තම සියලු කටයුතු සඳහා භූගත ජලය ප්‍රයෝජනයට ගනිති. පිරිසිදු පානීය ජලය එම ජනයාට සදාකාලික ගැටලුවක් වන්නේ, භූගත ජලයේ කැල්සියම් හා ලවන වර්ග අඩංගු වීම නිසා ය.
යාපනය නගරයට ආසන්න ප්‍රදේශයක් වන චුන්නාකම්හි භූගත ජලය පුද්ගලික විදුලි බලාගාරයකින් කාන්දු වන ඉන්ධන හේතුවෙන් දූෂනය වී ඇත. එහෙත්, චුන්නාකම් ප්‍රදේශයේ ජනයාට පිරිසිදු ජලය සැපයීම සඳහා නිසි ක්‍රමයක් නොමැති අතර, එම ප්‍රදේශයේ පවුල්වලට දූෂිත ජලය භාවිතා කිරීමට හෝ බවුසර මඟින් බෙදා හැරෙන ජලය සඳහා බලා සිටීමට බලකෙරී තිබේ.
ක්‍රමවත් ජල සැපයුමක් නැති තත්ත්වය තුල බවුසරවලින් ජලය මිල දී ගැනීමට හෝ පිරිසිදු ලිං ජලය සොයමින් කිලෝමීටර ගනනක් පයින් යාමට එම ජනයාට සිදු වේ. ලිං පවා සිඳී ගොස් ඇති තතු තුල ගොවියන්ට වගාවලට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැක. ගවයින් මියගොස් ඇතැයි වාර්තා වේ.
මන්ඩතිවු, වෙලනායි, කයිට්ස්, කරෙයිනගර්, පුන්ගුඩුතිවු, එලූවයිතිවු, නයිනතිවු, අනලයිතිවු හා ඩෙල්ෆ්ට් වැනි යාපයනය අවට දූපත් නිරන්තරව ජල අර්බුදයට මුහුන දෙයි. කරෙයිනගර් හා පුන්ගුඩුතිවු ප්‍රදේශවල පවුල්වලට ජල බවුසර් එනතෙක් පැය ගනනක් බලා සිටීමට සිදු වේ. අනෙකුත් දූපත්වලට එවැනි පහසුකමක් වත් නැත. කයිට්ස් හා වෙලනායි ප්‍රදේශවලට ලිඳකින් කල ජලය සැපයුම ද දැන් නවතා දමා තිබේ. ගම්වාසීන් නෑමට අවශ්‍ය ජලය සොයමින් රස්තියාදු වන අතර ඉන් සමහරු ලවන අඩංගු ජලය සමඟින් තත්ත්වය සමහන් කරගනිති.
සතියකට රුපියල් 300ක් ගෙවමින් වතුර ලීටර 500ක් මිලට ගන්නා බව කරෙයිනගර්හි වැඩිහිටි කාන්තාවක් කීවා ය. “අපිට මේ තත්ත්වය දරාගන්න බැහැ. ඊ ලඟ වතුර සැපයුම එනතෙක් අපිට පැය ගනන් බලන් ඉන්න වෙනවා. අපේ ජීවිතය හරි දුකක්.”
පීඩාවට පත් පුද්ගලයන් 82,782ක් සිටින, යුද්ධයෙන් විනාශභාග් කල කිලිනොච්චිය කෘෂිකර්මය මත යැපෙන ප්රදේශයකි. නියඟය හේතුවෙන් තම මහකන්නය වගා කිරීමට ගොවියන්ට නො හැකි ය. කුඹුරු අක්කර දහස් ගනනකට වතුර සැපයූ ඉරනමඩු වාරි ජලාශය දැන් සිඳී ගොසිනි. අක්කර 280ක් අනවසරයෙන් වගාකර ඇතැයි දෝෂාරෝපනය කරමින් ආන්ඩුවේ බලධාරීන් විසින් ජල සැපයුම වැලැක්වීම නිසා අක්කර 47ක වී අස්වැන්න විනාශ වී ඇත. ජල අර්බුදය නොකඩවා පැවතුනහොත් ඉතිරි වගාව ද විනාශ විය හැකි යයි ආන්ඩුවේ බලධාරීන් අනතුරු අඟවා තිබේ. කිලිනොච්චියේ මලයාලපුරම් වැව සිඳීයාම හේතුවෙන්, පලතුරු වගා කල අක්කර 40ක් සහ කුඹුරු අක්කර 20ක් විනාශ වී යමින් පවතී.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 31කට ක්ෂනික ව ජල සැපයුම අවශ්‍ය වේ. “මෙම ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 5ක් අවශ්‍ය වුවත් ආන්ඩුව අවසර දී ඇත්තේ රුපියල් මිලියනයක් වියදම් කිරීමට පමනයි” යයි කිලිනොච්චියේ අතිරේක දිස්ත්‍රික් ලේකම් මාධ්‍යයට කීවේ ය.
ඇලවේලි, අමුනු හා පොකුනු ඇතුලු මූලික ජලය සපයන මූලාශ්‍ර උතුරු නැගෙනහිර යුද සමයේ විනාශභාග වී හෝ හානියට පත් ව ඇත. කුරිරු යුද්ධය අවසන් වී අට වසරක් ගෙවී ඇතත්, දෙමල ජනයාට අයත් අක්කර දසදහස් ගනනක් මත මිලිටරිය වාඩිලාගෙන සිටින්නේ, දසදහස් ගනනක් වන යුද්ධයට ගොදුරු වූවන්ට මූලික පහසුකම්වලින් පවා තොර කූඩාරම් වැනි තාවකාලික නවාතැන්වල දිවිගෙවීමට බලකෙරී පවත්නා තතු තුලයි.
එහෙත් කලින් පැවති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ වත්මන් එක්සත් ජනපද-හිතවාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ඔවුන්ගේ ඊනියා සංවර්ධන ව්‍යාපෘති මුලුමනින් ම යොමුකරන ලද්දේ සංචාරකයන් හා ආයෝජනයන් ආකර්ශනය කරගැනීමට පමනි.
වැසි ජලය එක්රැස් කරගැනීම සඳහා නිවාසවල ජලටැංකි ඉදිකරමින්, දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පිටුබලය ද සහිත ව ආන්ඩුව යාපනයේ සමහර මුහුන බේරාගැනීමේ වැඩ ටිකක් කර තිබේ. දෙජාස නායකයෙක් වන උතුරු පලාත් මහඇමති සී. වී. විග්නේස්වරන් උතුරු පලාතට ප්‍රමානවත් ජල බවුසර නැති බව පිලිගත්තේ ය. “ලීටර 12,500ක ධාරිතාවෙන් යුතු බවුසර 20ක් හා ජලටැංකි 500ක් අපට අවශ්‍ය ව තිබෙනවා” යයි හෙතෙම කීවේ ය. දෙජාස, 2013 සිට උතුරු පලාත පාලනය කරයි.
ඉරනමඩු ජලාශයේ වතුර යාපනය දක්වා සැපයීම හා මුහුදු ජලය පිරිපහදු කර සැපයීම සම්බන්ධ ආන්ඩුවේ සැලසුම් වසර ගනනක් තිස්සේ ඇදී ගොස් තිබේ. 2020 දී ජලය සැපයීමේ අරමුනින් දැන් මෙම සැලසුම් ක්‍රියාවට දැමුව ද එහි සැබෑ ඉලක්කය වන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ආකර්ශනය කරගෙන, එම ප්‍රදේශය ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීම යි.
ස්වාභාවික ආපදාවකට වඩා නියඟය විසින් නිර්මිත මෙම සමාජ ව්‍යසනයට ප්‍රධාන හේතුව පාලක පන්තියේ නො තැකීම යි. වගා කටයුතු සඳහා අවශ්‍ය වාරිජලය නැති කම පසෙකින් තැබුව ද පිරිසිදු පානීය ජලය පවා නො තිබීම යලි වතාවක් පෙන්වා දෙන්නේ, වැඩකරන ජනයාගේ මූලික අවශ්‍යතාවන්ට පවා ආමන්ත්රනය කිරීමට පාලක පන්තියට පවත්නා නො හැකියාව යි.
ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 200ක් යයි තක්සේරු කෙරුනු අතර ඉන් අඩක් ම වැය වී ඇත්තේ ආරක්ෂක වියදම් ලෙස ය. ලාභ ගැරීමේ පද්ධතිය මත පදනම් වන පරපුටු ධනපති පන්තියට මහජනයාගේ සමාජීය අවශ්‍යතා ප්රමුඛ නො වේ.
2004 සුනාමියට ගොදුරු වූවන් තවමත් තමන්ට සිදු වූ හානි පූරනය කරගැනීමට සමත් ව නැත. උතුරේ එයට ගොදුරු වූවෝ ආන්ඩුව ලබාදුන් නිවාස ඉරිතැලීමට පටන්ගෙන ඇතැයි චෝදනා කරති. නැගෙනහිර පලාතේ සුනාමියට ගොදුරු වූවන් සඳහා තනන ලද නිවාස සියගනනක් හානියට පත්වූවන් අය අතර තවමත් බෙදා දී නැතුවා මෙන් ම ඒවා ගරාවැටීමට පටන්ගෙන තිබේ.
මෑත දී දකුනු පලාතේ ඇති වූ ගංවතුරෙන් 60,000කට අධික ජනයා ආපදාවට ලක්වූහ. දිලිඳු යටිතල පහසුකම් සහ අධිවේගී මාවත් තැනීමේ දී ආන්ඩුවේ නො තැකීම මෙන් ම පහත්පෙලේ ආපදා කලමනාකරන පද්ධතිය හේතුවෙන් ගංවතුරින් පුද්ගලයින් 300ක් පමන මරා දැමුනි. කොලඹ මීතොටමුල්ලේ අප්‍රේල් මාසයේ සිදු වූ මහා කුනු කන්ද නායයාමේ අනතුරින් දුසිම් ගනනක් දෙනා ඝාතනය වූහ. ජනයා ජීවත්වන ප්‍රදේශයේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් කුනු කන්ද නිර්මානය කරනු ලැබිනි.
යාපනයේ වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගොවියෙක් වන එස්. විග්නේස්වරන් ප්‍රකාශ කලේ, මේ වසරේ අස්වැන්න නෙලීමේ අපේක්ෂාවෙන් තමන් 2016 මෝසම් සමයේ අක්කර ගනනක වී වගා කල බව යි: “වැස්ස නැති හින්ද මට අස්වැන්න නැති වුනා. මගේ වැස්සියන්ට ආහාර සපයන්න දැන් මට බැහැ. ඒ හින්ද උන් මැරුනොත් ඒක තවත් ආපදාවක්. ආන්ඩුව වන්දිය හැටියට ගෙව්වේ රුපියල් 8,500ක සොච්චමක්. ආන්ඩුවට අපි හැම අවුරුද්දෙ ම බදු ගෙවනවා. ඒත් මේ අවුරුද්දෙ අපිට කන්න හාල් නැහැ” යයි ඔහු කීවේ ය.
යාපනයේ අරසඩිහි 47 හැවිරිදි ගොවියෙක් වන කේ. සසිකරන්, තමන් අක්කර හතරක් වගා කල බව කීවේ ය. “රුපියල් 20,000ක් කල්බදු ගෙවල මම ඉඩම් කොටහක් ගත්ත. ඒත් කිසිම අස්වැන්නක් නැහැ. මට වැස්සියො 10ක් හිටියත් තනකොල නැති හින්ද උන්ට කන්න දෙන්න දේකුත් නැහැ. දැන් උන් කේඩෑරි වීගෙන යනවා. ගිය අවුරුද්දෙ උන්ගෙන් කිරි ලීටර 15ක් ගත්තත් දැන් ගන්න පුලුවන් ලීටර 6ක් විතරයි. මගේ වැස්සියො බේරගන්න මට සෑහෙන මහන්සියක් දරන්න සිද්ද වෙලා.”
කයිට්ස් දූපතේ එලවලු වවන්නෙක් වන ඒ. පරමනාදන් මෙසේ කීවේ ය: “සාමාන්‍යයෙන් අපි පැල 3,000ක් විතර හිටවනවා. ඒත් දැන් පෑවිල්ල හින්ද පැල 250ක් වත් නඩත්තු කරගන්න බැහැ. හරක් වතුර හොයාගෙන ඉබාගාතෙ යනවා. මට බයයි උන් මැරිල යයි කියල.”
Follow us on