කසල අර්බුදයේ වගකීම ජනතාව මත පැටවීමට ධනපති "විශ්ලේෂකයන්" භාර ගෙන ඇති කොත්‍රාත්තුව ගැන
විජිත් සමරසිංහ විසිනි, 2017 ජූලි 24
ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රවය පිලිබඳ අර්බුදය මහා පරිමාන සමාජ ව්‍යසනයක් බවට වර්ධනය වී ඇති බව මීතොටමුල්ල ඛේදවාචකයෙන් හා ඉනික්බිතිව දිගහැරෙමින් ඇති සිදුවීම් වලින් පැහැදිලි වෙයි. දශක ගනනාවක් පුරා පොදු සේවාවන් කප්පාදු කරමින් හා සිතාමතාම කොලඹ දුගී නිවස්නා ප්‍රදේශ වලට අන්තරායකර ලෙස කසල බැහැර කරමින් ක්‍රියාකල අනුප්‍රාප්තික ධනපති ආන්ඩු හා ශ්‍රී ලංකාවේ සමස්ත පාලක පන්තියම, මේ ව්‍යසනයට සෘජුව වගකිව යුතුය. එම වගකීමෙන් ගැලවී, ජනතාව මත වරද පැටවීමට ආන්ඩුවත්, මාධ්‍ය ආයතන ඇතුලු ධනපති සංස්ථාපිතයත් ගෙනයන සාපරාධී වැඩපිලිිවෙලට සමහර ධනපති බුද්ධිමතුන්ද කරබදු වී ඇත.
ලර්න් ඒසියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේශිකාවක් වන ආචාර්ය සුජාතා ගමගේ ඉන් එක් අයෙකි. අප්‍රේල් 30 දා රාවය පුවත්පත “කුනු ගැන සන්සුන්ව හිතමු” යන ශීර්ෂයෙන් ඇයගේ ලිපියක් පලකර තිබුනි.
ඇය ලිපිය අරඹන්නේම, මේ ඛේදවාචකයේ වගකීම ජනතාව පිට පටවමින් “ කුනු ප්රශ්නය හැම ආන්ඩුවක ම අසමත්භාවය, සියලු දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ අසමත්භාවය මෙන්ම රටේ මහජනතාවගේ අසමත්භාවය ද පැහැදිලි ව පෙන්නුම් කල අවස්ථාවක්” යනුවෙන් සඳහන් කරමිනි.
“කොලඹින් පිට ස්ථාන තෝරා ගැනීම, ඒවායේ ජීවත්වන්නවුන් ඉවත් කිරීම, කසල රඳවන හෝ ප්‍රතිචක්‍රීයකරන යන්ත්‍ර හෝ ස්ථානගත කිරීම, ධනවාදයෙන් හා පරිභෝජනවාදයෙන් සමාජය මුදා ගැනීම වැනි සියලු දේ ඒ විවේචනවල පිලිවෙලට ම වුනා නම් අද මේ ප්රශ්නය ඇති වන්නේ ද නැත. එහෙත්, ප්රශ්නය ඇති වී බොහෝ දුරක් ඇදී ගොස් තිබේ. අප කැමති වුනත්, නැතත්, මේ මොහොත වන විටත් කොලඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව දිනපතා කුනු ටොන් දහසකට වැඩි ප්‍රමානයක් උත්පාදනය කරති. ඒවා පලාත් පාලන ආයතනයේ ට්‍රැක්ටරයට භාර දී අත සෝදා ගනිති” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.
මෙය ව්‍යාජ මෙන්ම විසකුරු තර්කනයකි. පසුගිය දශක දෙකක කාලය තුල ඝන අපද්‍රව්‍ය කලමනාකරනය ඇතුලු පොදු පහසුකම් සෝදාපාලුවට ලක්වීම හා දැවැන්ත පරිසර හා සෞඛ්‍ය ගැටලු පැනනැගීම වනාහි, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු ගෙනගිය දැනුවත් කප්පාදු වැඩපිලිිවෙලවල් වල අනිවාර්ය ප්‍රතිපලයකි. එයට මහජනතාව වගකිවයුතු නොවේ.
විශේෂයෙන්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යටතේ හඳුන්වාදී ඉන්පසු සියලු ආන්ඩු විසින් තීව්ර කල විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ එක අතකින් අධ්‍යාපනයට සහ මහජන සෞඛ්‍යයට ලබාදෙන ප්‍රතිපාදන සීග්‍රයෙන් කප්පාදු කෙරුනි. අනෙක් අතින්, කොලඹ විවිධ ප්‍රදේශ වලින් දුගී ජනයා පලවා හරිමින් ඔවුන් ජීවත්ව සිටි ඉඩම් ජාත්‍යන්තර සංගත සඳහා ලබාදීමේ වැඩකටයුතු ආරම්භ කෙරුනි. නාගරික දුගීන් අති බහුතරයක් වෙසෙන මීතොටමුල්ලේ තෙත්බිමකට කිසිදු කලමනාකරනයකින් තොරව වසර 27ක් පුරා කසල ටොන් මිලියන ගනනක් ගොඩගැසුවේ මේ සාහසික ප්‍රතිපත්ති වලම කොටසක් ලෙසය.
මේ ප්‍රතිපත්ති මගින් ජනිත කෙරෙන දැවැන්ත සමාජ හා පරිසර විනාශයන් වසන් කිරීමට, වරින් වර ගෙන ආ රැවටිලිකාර “පරිසර” වැඩසටහන්ද අද වන විට සම්පූර්නයෙන්ම නැවතී ඇත. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කල “පිලිසරු” ව්‍යාපෘතිය යටතේ ප්රතිචක්රීකරනය කලකහැකි අපද්‍රව්‍ය එකතු කිරීමට යයි කියා නගර කීපයක ඇටවූ “සම්පත් මධ්‍යස්ථාන” අතලොස්සද වැසී ගොස් ඇත. සමහර පලාත්පාලන ආයතන “දිරන හා නොදිරන” ලෙස කසල වෙන්කර දෙන ලෙස ජනතාවට නියෝග කලත් ඒ සියල්ල කිසිඳු කලමනාකරනයකින් තොරව බැහැර කෙරුනේ මීතොටමුල්ල වැනි කසල කඳු වලටමය.
සියලු ආකාරයේ ගෘහස්ථ ඝන අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, රෝහල් ආශ්රිත අපද්‍රව්‍ය හා අනෙකුත් අන්තරායකර අපද්‍රව්‍ය, මීතොටමුල්ල හෝ කරදියාන වැනි ස්ථාන වල ඉවබව නැතිව බැහැර කරන විට, ඉන් අනේකවිධ සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවලට මුහුනදුන් ජනතාව, දශකයකටත් වැඩි කාලයක් එම අපද්‍රව්‍ය බැහැරකිරීම් වලට එරෙහිව උද්ඝෝෂනය කලහ. සෑම ආන්ඩුවක්ම, මේ ජනතාවට පිලිතුරු දුන්නේ, කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර හා සිරගත කිරීම් වලිනි.
ගමගේ මතුකරන අනෙක් ප්‍රධාන තර්කය නම්, ප්රතිචක්රීකරනය, අපද්‍රවය අවම කිරීම වැනි ඝන අපද්‍රව්‍ය කලමනාකරනයේ මූලික පියවර මඳකට පසුවට තබා අපද්‍රවය බැහැර කිරීම සඳහා නිල ස්ථානයන් වහාම තෝරා ගත යුතුව ඇති බවයි. එසේ ඝන අපද්‍රව්‍ය බැහැරලීමට ස්ථානයක් ලබා නොදෙමින් ජනතාව දක්වන විරෝධය ගමගේට අනුව ලංකාවේ කසල අර්බුදය විසඳීමට ඇති ප්‍රධානම බාධකයයි.
මීතොටමුල්ලේ ඛේදවාචකය සමග ඇතිවූ මහජන වෛරයත් සමග, ඉවක් බවක් නැතිව කරන කසල බැහැර කිරීම් වලට රටපුරා පැනනැගි විරෝධය ගමගේ විස්තර කරන්නේ මෙසේය: “මීතොටමුල්ල ව්‍යසනයත් සමග ඇති වූ ‘කොලඹ කුනු විරෝධ’ය නිසා දිනපතා එකතු වන කුනු බැහැර ලන්නට තැන් නැති විය. දොම්පේ ඉතා ම දියුනු හා කිසි ම හානියක් නැති කුනු රඳවනයට දිනකට කුනු ටොන් අනූවක් භාර ගත හැකි ව තිබිය දී පවා, කුනු දැමීමට පලාතේ අමනෝඥ මිනිස්සුත්, අවස්ථාවාදී දේශපාලකයෝත් බාධා කලහ.” අප්‍රේල් 16 දාම ඇය ට්විටර් පනිවුඩයක් මගින් කියා සිටියේ “ප්රතිචක්රීකරනය හා සනීපාරක්ෂක කසල රඳවනයන් යන දෙකේ සංකලනයේ අවශ්‍යතාව තේරුම් ගන්නේ නැතිව රඳවනවලට එරෙහි වුනු අයද මීතොටමුල්ල මරනවලට වගකිව යුතුයි” යනුවෙනි.
ධනපති ප්‍රතිපත්ති වලින් දැනුවත්ව නිර්මානය කෙරුනු මේ අපරාධයේ වගකීම ජනතාව මත පැටවීමෙන් නොනැවතී, කසල අර්බුදයේ මුවාවෙන් ආන්ඩුව දියත් කරගෙන යන පොලිස් මර්දන ක්රියාවලියද ඇය සාධාරනීකරනය කරයි: “අධිකරන නියෝග ගැනීම, අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍ර නිකුත් කිරීම වැනි දේවලට ආන්ඩුව යොමු වන්නේ මේ සියල්ලේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැටියටය”.
ගමගේගේ මේ තර්කනය, දුගීන්ගේ හා කම්කරුවන්ගේ ජීවිත වල වියදමින්, කොලඹ කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා පසුගිය රාජපක්ෂ ආන්ඩුවත් දැන් “මෙගාපොලිස්” ව්‍යාපෘතිය යටතේ මේ ආන්ඩුවත් ගෙනගිය හා ගෙනයන වැඩපිලිවෙල වල අවශ්‍යතාවන් හා කෙලින්ම සමපාත වේ. ආන්ඩුවේ අවශ්‍යතාව වී ඇත්තේ එක අතකින් මීතොටමුල්ල ව්‍යසනයේ වගකීම පීඩාවට පත්වූ ජනතාව මතම පටවා, එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර ඉඩම් ආයෝජකයන් සඳහා “සුද්දකර” ගැනීමයි. අනෙක් අතින් කොලඹ පුරා දැන් ගොඩගැසෙමින් ඇති කසල පෙර ලෙසම හිතුමතේ බැහැර කිරීමට අලුත් තැනක් වහාම විවෘත කර ගැනීමයි. ආන්ඩුවේ මේ ඉදිරි පියවර සඳහා මග සලසා දීමේ කොන්ත්‍රාත්තුව ගමගේ ඇතුලු බුද්ධිමතුන් පිරිසක් භාරගෙන ඇත.
ගමගේ පසුගිය වසර දෙක පුරා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ “තොරතුරු දැනගැනීමේ පනත” හා “මැතිවරන ක්‍රමය සංශෝධනය” වැනි ප්‍රෝඩාකාරී පියවර වලටත් ආන්ඩුවේ මෙගාපොලිස් වැඩසටහනටත් යම් විශ්වාසනීයත්වයක් ලබාදීමට මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අයෙකි. ඇය 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී රාජපක්ෂට එරෙහි “ප්රජාතන්ත්රවාදී විකල්පයක්” ලෙස සිරිසේන හුවාදක්වමින්, “යහපාලනයක්” පිහිටුවීමට සිරිසේන-වික්‍රමසිංහ හවුලට හැකි බව කියමින් ජනතාව රැවටු ධනපති බුද්ධිමතුන් රොත්තටද අයත් විය.
“දුගීන්ට-හිතැති හා වෙලඳපොල-හිතැති චින්තන තටාකයක්” වශයෙන් හඳුන්වාගන්නා ලර්න් ඒසියා ආයතනයමත් අනුප්‍රාප්තික ආන්ඩු වල දක්ෂිනාංශික ප්‍රතිපත්ති වලට පොහොර දැමීම කරගෙන යන සංවිධානයකි. එහි ආරම්භකයා වන ආචාර්ය රොහාන් සමරජීව කලක් තිස්සේ ධනපති ආන්ඩු වල ප්‍රතිපත්ති උපදේශකයෙක් ලෙස ක්‍රියා කරන අයෙකි. ඔහු මින් පෙරද 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව යටතේ ආර්ථික ප්රතිසංස්කරන, විද්‍යා හා තාක්ෂන අමාත්‍යංශයේ ප්‍රධානියෙකු ලෙස ක්‍රියා කරමින්, එම රජයේ “යලි පුබුදමු ශ්‍රීලංකා” නම්වූ කුප්‍රකට පුද්ගලිකරන න්‍යාය පත්‍රයට කරබදු විය.
මෙවැනි රාජ්‍ය, නොවන ආයතන බිහිවන්නේමත්, 1970 ගනන් වල අග සිට, ඇමරිකාවේ හිටපු ජනාධිපති රීගන් හා බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් ප්‍රතිපත්ති නමින් ලොව ක්‍රියාත්ම වුනු රාජ්‍ය වියදම් හා සමාජ සුභසාධන කපාදමීමේ වැඩපිලිවෙල යටතේ, ඊනියා “රාජ්‍ය නොවන” සුභසාධන ව්‍යාපෘති සඳහා වෙන්වූ ප්‍රතිපාදන ඩැහැගනීමටය; ඒවායේ කටයුත්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැගුන මහජන විරෝධය අවමන්ගත කිරීමයි.
2008 දී පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදයත් සමග රටක් රටක් පාසා පාලක පන්තීන් යෙදී සිටින සමාජ ප්රතිවිප්ලවයේ කොටසක් වන මෙම කප්පාදු වැඩපිලිවෙලවල් දියත් කිරීමට මෙවැනි රාජ්‍ය නොවන ආයතන හා විශ්ව විද්‍යාල වලට බැඳී ගත් බුද්ධිමතුන් පිරිසක් සෘජුව සහෝයෝගය දෙමින් සිටිති.
ලොව පුරා සෑම රටකම පාහේ ජනජීවිත වලට හා පරිසර පද්ධතින්ගේ පැවැත්මට තර්ජන එල්ලකරමින් දිගහැරෙමින් ඇති ඝන අපද්‍රව්‍ය අර්බුදය, පුද්ගලික ලාභය අරභයා කෙරෙන ධනපති නිෂ්පාදන ක්‍රමයෙන්ම පැනනගින්නකි. ප්රතිචක්රීකරනය, සනීපාරක්ෂිත බිම් පිරවුම් වැනි අපද්‍රව්‍ය කලමනාකරන විධීන් මෙන්ම, භාන්ඩ නිෂ්පාදනයේදීම අපද්‍රව්‍ය අවම වන ආකාරයේ එකාබද්ධ සලසුම්කරනයකින් තොරව මේ අර්බුදය විසඳාලිය නොහැක. එය සිදු කල හැක්කේ මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ජාත්‍යන්තර මට්ට්මෙන් විද්‍යාත්මකව සැලසුම් කෙරෙන සමාජවාදී නිශ්පාදන-ආර්ථික ක්‍රමයක් තුල පමනි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවා ඇත්තේ එම ව්‍යසනයට හේතු වූ කරුනු පිලිබඳව ගැඹුරින් විමර්ශනය කොට, එවන් ව්‍යසනයන්ගෙන් මිදී සනීපාරක්ෂනය සුරක්ෂිත කෙරුනු යහපත් ජීවිතයක් සලසා ගැනීමට නම්, ඉහත සඳහන් කෙරුනු සමාජවාදී නිශ්පාදන-ආර්ථික ක්‍රමයක් සඳහා සටන් වැදීමේ අවශ්‍යතාව තහවුරු කිරීමටයි.
Follow us on