ශ්‍රී ලංකාවේ කසල අර්බුදය: පාලක පන්තිය ඇතිකල තවත් මාරක ව්‍යසනයක්
පසුගිය දින දෙකේ ගම්පහට නුදුරු මුතුරාජවෙල මහජනයා තමන් වෙසෙන ප්‍රදේශයට කොලඹ ගොඩගැසෙන කසල බැහැර කිරීමට දැක්වූ බරපතල විරෝධතා මැඞීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කැරලි මර්දන පොලිස් බලකායන් මෙහෙයවූයේය. මහජන විරෝධය ඇවිලී තිබෙන්නේ අප්‍රේල් 14 දා මීතොටමුල්ලේ දුගී නිවැසියන් අඩුම ගනනේ තිස්දෙදෙනෙක් පනපිටින් වලලා දැමුනු මීටර් සීයක් පමන උස කුනු කන්දක් නිර්මානය කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා වත්මන් සිරිසේන-වික්‍රමසිංහගේ ආන්ඩු තමන් ද එවැනිම බිහිසුනු විපතකට ගොදුරුකරනු ඇතැයි කෝපයෙනි. මීතොටමුල්ලේ මියගිය සම්පූර්න ගනන කොපමන ද යන්න ආන්ඩුව විසින් වසන් කර ඇත.
එම ව්‍යසනය පිපිරීමෙන් පසු ගතවී ඇති සති ගනන තුල කොලඹ නගරයේ කසල ඉවත් කිරීමේ අර්බුදය නිසා තැන්තැන්වල ඒවා කඳු ගැසී ඇත. ආන්ඩුවේ විසඳුම වී ඇත්තේ මහජන විරෝධය නොතකා ඒවා තැන්තැන්වලට ඇද දැමීමයි.
කසල ගොඩගැසීම ඩෙංගු වසංගතය හා අනෙකුත් ලෙඩ රෝග හා උපද්‍රව කොලඹ නගරය තුල හා අනෙක් ප්‍රදේශවල උග්‍රව පැතිරීමට තුඩුදී තිබේ. මීතොටමුල්ලේ මෙන්ම ගොහාගොඩ ගොඩගසා ඇති කුනුකන්දක් නාය යාමේ අන්තරාය මතුවී ඇති මහනුවර ඇතුලු ප්‍රධාන නගරවල ද මෙම ප්රශ්නය උද්ගතවී ඇත. මේ වසරේ ගතවූ මාස හය තුල ඩෙංගු රෝගයෙන් මිය ගිය ගනන 200 ඉක්මවාගොස් ඇත. රෝගයට ගොදුරුවූ ගනන 70,000කි. එය ඊට පෙර වසර පුරාම රෝගීන් ගනනට වඩා 15,000කින් වැඩිය. සැබෑ සංඛ්‍යාවන් මීට ඉහලින් පවතින බවට සැක නැත.
අපද්‍රව්‍ය අනිසි තැන්වල බැහැර කරන බවටද ඩෙංගු පැතිරවීමට උදවුකාරක වන්නේ යයිද ආන්ඩුව දෝෂාරෝපනය කරන්නේ කොලඹ හා රට පුරාමත් සිටින වැඩකරන ජනතාවට ය. කොලඹ හෝ වෙනත් තැන්වල මහා ධනපතියන් මේ චෝදනාවලට ලක්වී නැත. එහෙත්, නියම අපරාධකරුවන් නම් මහා ව්‍යාපාරික ධනපතියන් හා ලංකාව පාලනය කල හා කරන ඔවුන්ගේ ආන්ඩු ය.
ධනපති ජනමාධ්‍ය ද පාවිච්චියට ගනිමින් ආන්ඩුව කම්කරුවන්ට හා දුගී ජනතාවට දුෂ්ට චෝදනා එල්ල කර ඇත්තේ සත්‍යය වසන් කිරීම ය. පොලීසිය ද හමුදාව හා සිවිල් ආරක්ෂක භටයන් ද “වැරදි කරන්නන් අල්ලා ගැනීමට” වීදි බස්සා තිබේ. ඒ අනුව දියත්කර ඇති කඩා පැනීම් මගින් අපද්‍රව්‍ය “නීති-විරෝධී ලෙස” තැන්තැන් වල දමන්නන් යයි චෝදනා එල්ල කරමින් ජුනි 18 දා සිට ජූනි 27 දින දක්වා කාලය තුල පමනක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 1,200කට අධික බව පොලිසිය සිකුරාදා නිවේදනය කලේය. පලාත්පාලන අමාත්‍යංශය ජූනි 24 නිවේදනය කලේ “නීති-විරෝධී ලෙස කසල තැන්තැන්වල දැමූ” 2300කට අධික පිරිසකට තනි දිනක දී පොලිසිය නඩු දැමූ බවයි. මෙය වනාහි පොලිස් පාලනයක අපරාධකාරී පියවරයන් ය.
මීතොටමුල්ල ජනයා මරනයට පත් කිරීමේ අපරාධය සිදු කිරීම ගැන ලාභ පිපාසිත සංගත සහ ඔවුන්ගේ උවමනාවන් වෙනුවෙන් සේවය කල ආන්ඩු වගකිවයුතුය. මහජනයා වෙසෙන ප්‍රදේශයක් තුල, අක්කර 19ක වපසරියක, මීටර් සීයක් පමන උස කුනු කන්දක් ගොඩගැසුවේ එහි කසල දැමීම පටන් ගත් 2009 වසරේ පටන් දියත් වූ විරෝධතා නොතකා හා පොලිසිය දමා ඒවා මැඩලීමෙනි. ධනපතියන්ගේ පන්ති ආකල්පය පෙන්නුම් කරමින් කොලඹ නගරයේ එකතුවන කුනු දැමීමට එලෙස තෝරා ගත්තේ පරිපීඩිත කම්කරුවන් හා දුගීන් වෙසෙන ප්රදේශයකි. අනතුර ආසන්න බව පෙන්වා දෙමින් එහි ජනයා අවසන් විරෝධතාව පැවැත් වුයේ කුනු කන්ද කඩාවැටීමට මාස හතරක් තරම් මෑතක දීය.
මෙම ස්ථානයේ වෙසෙන ජනයා එලවා දමා, ප්‍රදේශය සුද්ධ කර, මහා ව්‍යාපාරිකයන්ට විකීනීම ආන්ඩුවේ සැලැස්ම විය. මීතොටමුල්ල හා නුදුරු කොලොන්නාවේ ඉඩම් වල වානිජ මිල පර්චසය රුපියල් මිලියනයකට අධික ය. එම මිල ඉදිරියේදී කොලඹ අනෙකුත් තැන්වල මෙන් මිලියන ගනනින් අහස උසට නැගීමට නියමිතය. මීතොටමුල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ලාභ පිපාසිත සංගතවල හා ඒවාට සේවය කරන ආන්ඩුවල ක්රියාකාරිත්වයමයි කසල අර්බුදයට හා ඒ ආශි‍්‍රතව රටපුරා පැනනැගී ඇති සමාජ ව්‍යසනයන්ට හේතුවී ඇත්තේ.
කසල අර්බුදය ගැන පැවැත්වූ පුවත්පත් සාකච්චාවකදී කොලඹ නාගරික කොමසාරිස් වී. කේ. අනුර ජූනි 16 දා මෙසේ ප්‍රකාශ කලේය: දිනකට කසල ටොන් 700කට අධික ප්‍රමානයක් එකතුකිරීමට හා බැහැරලීමට නගරසභාව සතුව ඇත්තේ අවුරුදු 20 කටත් වඩා පැරනි වාහන 50ක් පමනකි. මුලූමහත් කොලඹ නගරයේම සියලූ සේවාවන් පවත්වාගෙන යාමට මේවන විට ඉතිරි වී ඇත්තේ සේවකයින් 1200 ටත් අඩු සංඛ්‍යාවකි. නගර සභාවට තත්වය පාලනය කරගත නොහැකිවූ නිසා කසල බැහැර කිරීමට පුද්ගලික ආයතන යොදා ගැනීම පටන් ගත්තේ 1990 තරම් ඈත දීය. ආන්ඩුවේ ආයතනවලට අවුරුදු 55ට වැඩි කම්කරුවන් බඳවා ගත නොහැකි වුවත් පුද්ගලික සමාගම්වලට අවුරුදු 70 බඳු වයස් ගතයන් පවා බඳවා ගත හැකිය.
වසර 2000 තරම් ඈතදී පරිසර අමාත්‍යංශයෙන් පලකල“පාරිසරික දත්ත සම්පින්ඩනය” යන වාර්තාව මගින්, ශ්‍රී ලංකාව පුරා “පලාත්පාලන ආයතන මුහුන දී සිටින ප්‍රතිපාදන, යන්ත්‍රෝපකරන හා පිරිස් හිඟය” නිසා ඝන අපද්‍රව්‍යය කලමනාකරනයේ ඇතිවී ඇති අතිශයින් අසතුටු දායක තත්වය පිලිබඳව “වහාම ප්‍රමානවත් පියවර” නොගතහොත්, එය බරපතල සෞඛ්‍ය හා පාරිසරික අර්බුදයක් කරා ඔඩුදුවනු ඇති බවට අනාවැකි පල කලේය.
ඉහත කී වාර්තාවට අනුව 2000දී ලංකාව පුරා සියලුම පලාත්පාලන ආයතන මගින් දිනකට එකතු කරනු ලැබුවේ අපද්‍රව්‍ය ටොන් 2694ක් පමනි. මේ වන විට එම ප්‍රමානය දිනකට ටොන් 6000-7000 දක්වා ඉහල ගොස් ඇත. නමුත්, දිගින්දිගටම සිදුවී ඇත්තේ පලාත්පාලන ආයතන වලට ලබාදෙන ප්‍රතිපාදන වල මූර්ත අගය පහත වැටීම පමනය. නගර අලංකරනය හා අධි වේගී මාර්ග වැනි පුද්ගලික ආයෝජන වලට සෘජුව බැඳී ඇති ව්‍යාපෘති වලට ඩොලර් බිලියන ගනනින් ප්‍රතිපාදන වෙන් කරද්දී 2016 වසරෙ ඝන අපද්‍රව්‍ය කලමනාකරන ව්‍යාපෘති සඳහා පලාත් පාලන ආයතන වලට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 334ක් වැනි සොච්චමකි.
මේ වනාහි දශක හතරක් තරම් ඈතට යන, ලෝක පරිමානව ධනපති ක්‍රමය තුල ඇරඹුනාවූ දැවැන්ත කප්පාදුවක් ලංකාව තුල ප්‍රකාශයට පත්වූ එක් ආකාරයකි. අර්බුදයක ගිලීමේ නව කාල පරිච්චේදයක් ඇරඹෙමින් ලාභ කඩාවැටීම ට මුහුන දෙන තතු යටතේ ජාත්‍යන්තර ප්රාග්ධනය ලාභය සඳහා ඇරඹු ප්‍රහාරයක් 1970 ගනන් අග ඇරඹුනි. බ්‍රිතාන්‍යයේ අගමැති මාග්‍රට් තැචර්ගේ ද ඇමරිකාවේ ජනාධිපති රොනල්ඩ් රීගන් ද පාලනයන් යටතේ එය ක්‍රියාත්මක කෙරුනේ කම්කරුවන්ගේ අරගල පරාජය කරමිනි. කම්කරුවන් දිනාගත් අයිතීන් කපා දමමින් මෙම අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සමාජ ප්රතිවිප්ලවයේ ක්‍රියාමාර්ගය ඇරඹු මහා සංගත හා බංකුකරුවෝ, විශේෂයෙන්ම පසුගාමී රටවල සූරාකෑම සඳහා ලාභ ශ්‍රම තටාක නිර්මානය කිරීම ඉල්ලා සිටියහ.
මෙම පාලක පන්තීන් ඇති කර තිබෙන කප්පාදුවේ බිහිසුනු ප්‍රතිවිපාක ධනවාදයේ ආරම්භක රට වූ බ්‍රිතාන්‍යයේ මූල්‍ය හා වානිජ මධ්‍යස්ථානය වන ලන්ඩන් නුවර කෙන්සින්ග්ටන් පෙදෙසේ ජූනි 14 දින දුප්පත් ජනයා ජීවත්වූ ග්රෙන්ෆිල් තට්ටු නිවාස සංකීර්නය ගිනිගෙන සියයකට අධික ගනනක් ගිනිබත් වීමට ඉඩ හැරීමෙන් පෙන්නුම් කෙරෙයි. මහා ධනපතියන්ට හා ඔවුන්ගේ ආන්ඩුවලට උවමනාවූයේ පෝසතුන් වෙසෙන මෙම පෙදෙසෙන් කම්කරුවන් පලවා හැර එම ඉඩම් අත්පත් කර ගැනීමයි.
ජාත්‍යන්තරවම වැඩෙන අර්බුදයක් තුල හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුව ලාභ ශ්‍රම තටාක සොයන විදේශ ප්රාග්ධනය සඳහා කොන්දේසි තැනීමට විවෘත ආර්ථික වැඩපිලිවෙල ඇරඹුවේය. සියලු මහජන සේවාවන් අතුගා දැමීම පටන් ගත් අතරම සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් කප්පාදුව දියත් කෙරුනි. පලාත්පාලන ආයතන ප්‍රදේශවල සමාජ සුබසාධන පවත්වාගෙන යාම සඳහා මධ්‍යම ආන්ඩුවෙන් මුදල් ප්‍රතිපාදන දී පවත්වා ගෙන ගියේ නම් එම මුදල් කප්පාදුකර මහජනයා පෙලන ආයතන බවට ඒවා පත්කර ඇත. කම්කරු අරගල මැඩලීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය උත්සන්න කර යුද්ධය ඇරඹුවේ මේ ප්‍රතිපත්ති ගෙනයාමටයි.
ඉන් පසු ආන්ඩු යටතේ ලංකාව තුල ඉදිරියට ගෙන ගියේ මේ ප්රතිපත්තීන්ය. රාජපක්ෂගේ ආන්ඩුව කල කප්පාදු කිරීම් තවත් එහාට ගෙනයමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විශාල රාජ්‍ය වියදම් කප්පාදුවක් සිදු කරමින් සිටියි. 2015 ආන්ඩුවේ සියට 7.2ක් වූ අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා හරි අඩකින් කපා දැමීමට ආන්ඩුව ක්‍රියාත්මකවී සිටියි.
වසරින්වසර ගංවතුර හා නායයාම් සිදුවීමෙන් මහා ආපදාවන් වැඩිවන ලංකාවේ ආපදා කලමනාකරන අමාත්‍යාංශයට මේ අවුරුද්දට අයවැයෙන් වෙන්කල මුදල සියයට 30කින් කප්පාදු කිරීම මහජනයා ගැන මොනම තැකීමක් වත් ආන්ඩුවට හා පාලක පන්තියට නැතිබව පෙන්නුම් කෙරුනු එක් අවස්ථාවක් පමනි. මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කසල බැහැර කිරීමේ අර්බුදය ගැන විමසූ සිටිස්කොප් ලියුම්කරුවෙකුට බටහිර පලාත් සංවර්ධන ඇමති රනවක ප්‍රකාශ කලේ: “කසල කිලෝවක් ප්රතිචක්රීකරනයට රුපියල් 7ත් 10ත අතර මුදලක් වැය වෙනවා. එක කරන්ඩ කාටවත් මුදල් නෑ,” යනුවෙනි.
මහා ධනපතියන්ට හා විදේශ ආයෝජකයන්ට බදු සහන, වරප්‍රසාද හා පහසුකම් පිදේනි පිටින් දෙන, මහජනයා මැඩලීමට ආරක්ෂක හමුදා තර කිරීමට ප්‍රකෝටිගනන් මුදල් වෙන්කරන, පරපුටු මැතිඇමතියන් නඩත්තු කිරීමට ලෝස් නැතිව වියදම් කරන ආන්ඩුවට වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ගැන තුට්ටුවක තැකීමක් නැත. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාකම් අනුව ආර්ථිකයන් හැසිරවීමට උපදෙස් දෙන ලෝක බැංකුව, මීතොටමුල්ල ව්‍යසනයට සතියකට පෙර, අප්‍රේල් 7 දා නිකුත් කල වාර්තාවක සඳහන් කර ඇත්තේ නොදියුනු රටවල කසල කලමනාකරනයට නගර සභා අයවැයෙන් සියයට 20-50ක් තරම් වෙන් කිරීමට සිදු වන නමුත් ඊට හැකියාවක් නැති බවයි. මන්ද යත්, “සඵල කසල කලමනාකරනය වියදම් අධිකය.”
මින් පෙන්නුම් කෙරෙන්නේ මහජනයාගේ අවශ්‍යතා හා ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා අතර මොනම පෑහීමක් වත් නැති තැනට කරුනු යෙදී ඇති සැටිය. ගෝලීය ධනවාදයට දැන් ලබාදිය හැක්කේ දරිද්‍රතාව, සමාජ ව්‍යසනයන් හා යුද්ධයන් ය. ධනපති ක්‍රමය තුලම ඒ හෝ මේ ජාතිකවාදී විසඳුම් සොයමින් වටරවුම් ගැසීම මොනම විසඳුමක් වත් නොසපයයි. විද්‍යාවේ විප්ලවීය වර්ධනයන් භාවිතයට ගනිමින් මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ, අතලොස්සක් ධනපතියන්ගේ ලාභ සඳහා නොව සමාජයේ බහු තරයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප්‍රති සංවිධානය කෙරෙන සමාජවාදී ක්‍රමයක් යටතේ පමනක්ම ය. ඒ සඳහා සමාජවාදී ප්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ක්‍රියාමාර්ගය සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරයි.
මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව සෙවීමට සසප විසින් කැඳවා ඇති ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව තීරනාත්මක වැදගත් කමක් ගන්නේ මෙම සන්දර්භය තුලයි. එහි වැඩකටයුතු වර්ධනය කිරීමට පූර්න සහයෝගය ලබා දෙන ලෙස කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන් තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සසප ඉල්ලා සිටී.
විජිත් සමරසිංහ සහ කේ. රත්නායක
Follow us on