කටුක ගැටුම් ජර්මනියේ ජී20 සමුලුව අරක් ගනී
Bitter conflicts dominate G20 summit in Germany
ජර්මනියේ හැම්බර්ග් නගරයේ අද පැවත්වෙන දින දෙකක ජී20 සමුලූවේ ආධිපත්‍යය ගනු ලබන්නේ ගෝලීය ආර්ථික හා දේශපාලන අර්බුද, මිලිටිරි ගැටුම්වල තර්ජන හා බහුපාර්ශ්වීය භූමූලෝපායික ගැටුම්වලනි. මෙම වාතාවරනය සමාන වන්නේ පලමුව වෙඩි තැබෙනු ඇත්තේ කාට දැ යි නො දන්නා මහා හා කුඩා අපාරධකරුවන්ගේ රැස්වීමකට වඩා වැඩි දෙයකට නො වේ.
පලමුව 2009දී ලන්ඩන් නගරයේ දී පවත්වන ලද, ජී20 සමුලු 2008 වෝල් වීදියේ ඇරඹුනු මූල්‍ය දියවීමෙන් ලෝක ධනවාදය මුදාගැනීමට මෙන් ම ආරක්ෂනවාදයේ අනතුර වැලක්වීමට ප්රමුඛ බලවතුන් විසින් ගන්නා ලද සාමූහික උත්සාහයක් සඳහා පොදු වේදිකාවක් ලෙස සේවය කරනු ඇත යි අපේක්ෂා කෙරුනි. අද, නිරන්තරයෙන් ගැඹුරුවන හා විසඳිය නො හැකි ධනේශ්වර අර්බුදයේ බලපෑම යටතේ, මෙම බලවතුන් අතර ගැටුම් බොහෝ මේරු, ඉතා බරපතල හා සමහන් කල නො හැකි ඒවා බවට පත්ව ඇති බැවින් මෙම සමුලුව මෙම ලෝක හමුවීම්වල අවසාන එක විය හැකි යැයි විශ්වාස කිරීමට සෑම කරුනක් ම තිබේ.
ජර්මනියට ඔහුගේ පැමිනීමට පෙර, යුරෝපයේ නව ආධිපත්‍යයක් ලෙස ජර්මනියේ නැගී ඒම සම්බන්ධයෙන් තියුනු ලෙස කෝප වී සිටින පෝලන්තයේ සංචාරය කිරීමෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටුක හා විවෘත ගැටුම්වල සමුලුවක් සඳහා හඬ සකස් කලේ ය. යුරෝපා මහද්වීපයේ ඉතාමත් දක්ෂිනාංශික ආන්ඩුවක් විසින් ආගන්තුක සත්කාර කරන ලදුව, අපගේ “ශිෂ්ටාචාරයේ” ඇද වැටීම ගැන අනතුරු අඟවමින් ද ”පවුල වෙනුවෙන්, නිදහස වෙනුවෙන්, රට වෙනුවෙන්, හා දෙවියන් වහන්සේ වෙනුවෙන්” අරගලයක් සඳහා ඉල්ලා සිටිමින් ද ඔහු ෆැසිස්ට්වාදී කතාවක් පැවත්වී ය. දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මානු වාඩිලාගැනීමට වූ පෝලන්ත විරෝධය යලි සිහි ගන්වමින්, ජර්මනිය සමග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වර්තමාන හතුරුකම කරන කොට එක්සත් ජනපදය පෝලන්තය සමග එක පෙලට සිටුවීමට ඔහු උත්සාහ කරමින් සිටින බව ට්‍රම්ප් සැකයකට ඉඩ නො තබා සහතික කලේ ය.
ට්‍රම්ප් වෝර්සෝ නගරයේ දී මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් 12ක “මුහුදු තුනේ [ආද්‍රියාතික,බෝල්ටික් හා කලු මුහුද-පරි] ආරම්භක සමුලුව ද” ඇමතී ය. එය සෝවියට් සංගමය හා ජර්මනියට එරෙහිව එල්ල කෙරුනා වූ ද එක්සත් ජනපදය විසින් පිටුබල දෙන ලද්දා වූ ද ෆැසිස්ට්වාදී හා ජාතිකවාදී තන්ත්ර විසින් 1920දී පිහිටුවන ලද ඊනියා ඉන්ටමාරියම් මිත්‍රත්වයේ සම්ප්‍රදායන් අනුගමනය කරන සංවිධානයකි
ධවල මන්දිර න්යායපත්රය දෝංකාර නංවන්නේ හිටපු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් වරයෙකු වූ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ ප්රකාශනය යි. ඉරාකයට එරෙහිව එක්සත් ජනපද යුද තල්ලුවට සහාය දැක්වීමට අසමත් වීම වෙනුවෙන් ඔහු 2003දී ප්රන්සය හා ජර්මනිය හෙලා දුටුවේ ඔවුන් “පැරනි යුරෝපය” ලෙස ඉවත දමමින් හා පැරනි වෝර්සෝ ගිවිසුමේ නැගෙනහිර රටවලින් සමන්විත “නව යුරෝපයට” වොෂින්ටනය නැඹුරු යැයි සංඥා කරමිනි.
දශක එක හමාරකට පසුව, ඉරාකයට එරෙහි වොෂින්ටනයේ සැහසි යුද්ධය මත බෙදීම විසින් හෙලිදරව් කෙරුනු භූමූලෝපායික ගැටුම් ඔඩු දුව ගොස් ඇත්තේ, යුරෝපය හා ඇමරිකාව අතර සම්බන්ධතාවේ සෑම ක්ෂේත්රයකට ම බලපාමින් හා ගෝලීය වේදිකාවක් මත දිග හැරෙමිනි.
ට්‍රම්ප් හැම්බර්ග් නගරයට පැමිනෙන්නේ ඇමරිකානු පාලක මූල්‍ය කතිපයාධිකාරියේ පසුගාමිත්වය, අපරාධකාරිත්වය හා පරපුටුකමේ පුද්ගලාරෝපනය ලෙස ය. ඔහුගේ අරමුනු වන්නේ තම පාලනාධිකාරියේ ආර්ථික ජාතිකවාදී “පලමුව ඇමරිකාව” නම් න්යායපත්රයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තරඟකරුවන් යටපත් කිරීම සඳහා බල කිරීමට ශඛ්‍ය ලෙස උතුරු කොරියාව මත ලෝක විනාසයක ප්‍රහාරයක් එල්ල කිරීමේ සිට සිරියාව තුල ඉරානය හා රුසියාව සමග ඒ සමානම භියකරු සටනක් දක්වා වන යුද තර්ජන පවිච්චි කිරීම යි.
කෙසේ නමුත්, කිසිම අර්ථයකින් අධිරාජ්‍යවාදී ආක්රමනික න්‍යායපත්‍රයක් හඹා යන්නේ ට්‍රම්ප් පමනක් නො වේ. ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් ජී20 සමුලුවට සූදානම් වන අතරතුර චීනයේ ජනාධිපති ෂි ජින්පින්ග් සමග ඇගේ ම සාකච්ඡා පැවත්වූවා ය. ඔවුන් දෙදෙනාම නිදහස් වෙලඳාම හා පාරිසරික වෙනස් කම් අවුස්සමින් සිටින්නේ, ආරක්ෂනවාදය හෙලා දකිමින් හා ට්‍රම්ප් පාලනාධිකාරියේ ප්‍රතිපත්තිවලට විරුද්ධත්වය ගම්‍ය කරමිනි. මර්කෙල් මධ්‍යම ආසියාව, රුසියාව, හා යුරෝපයේ සමස්තය සහ මැද පෙරදිග බලශක්ති මූලාශ්‍ර සමග චීනය සම්බන්ධ කරන ප්‍රවාහන හා බලශක්ති ජාලයක් සඳහා වන බීජීනයේ “එක තීරුව යි එක මාවත යි” නම් පොදුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැලඳ ගත්තා ය. එම මුලපිරීම වොෂින්ටනය විසින් දකිනු ලබන්නේ තම පැවත්ම සම්බන්ධ තර්ජනයක් ලෙස ය.
කොරියානු අර්ධද්වීපය හා දකුනු චීන මුහුදේ වැඩෙන මිලිටරි පීඩනයට මුහුන දෙන ෂීගේ ආන්ඩුව, නැගී එන හා වඩ වඩා ස්වාධීන වන (දේශපාලනිකව හා මිලිටරිමය වසයෙන්) ජර්මානු අධිරාජ්‍යවාදය සමග වඩා කිට්ටු බැදීම් තහවුරු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී.
මෙම අරමුන සඳහා ම, ඔහු ඔහුගේ ජර්මානු සංචාරයට පෙර මොස්කව් නගරයේ දෙදින සංචාරයක නිරත විය. එහි දී ඔහු හා පුටින්, ප්යොන්යෑන්ග් අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලය (අයිසීබීඑම්) අත්හදා බැලීමෙන් පසු එය යටත් කිරීමට චීනය උතුරු කොරියාව සාගින්නේ තැබිය යුතු (සම්බාධක පැනවීම) යයි වොෂින්ටනය කරන ඉල්ලීම හෙලා දුටුවෝ ය. ඒ වෙනුවට, දකුනු කොරියාවෙන් තම ප්රතිබැලිස්ටික් මිසයිල ඉවත් කර ගැනීමට හා අර්ධද්වීපයේ ප්රකෝපකාරී මිලිටරි අභ්‍යාස නතර කිරීමට ඔවුහු තමන්ගේ ම ඉල්ලීම් එක්සත් ජනපදයට නිකුත් කලහ.
මේ අතර, සමුලුව ආසන්නයේ දී, යුරෝපා සංගමය හා ජපානය ලෝක දල දේශීය නිෂ්පාදනයෙන් තුනෙන් එකක් හසු කර ගනු ඇති නිදහස් වෙලඳ ගිවිසුමක නිගමන නිවේදනය කලහ. එකී ගිවිසුම ප්‍රදර්ශනය කලේ “ආරක්ෂනවාදය වෙතට වන මාරුවට එරෙහිව නිදහස් වෙලඳාම සඳහා වන ධජය ලෙලදීමට වන අපගේ දැඩි කැමත්ත” බව ජපාන අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කලේ ය.
“හුදකලාවේ හා විසිරයාමේ කාලය එලඹෙමින් තිබෙන බව ඇතමෙකු පවසමින් සිටිය ද, අප ප්‍රදර්ශනය කරමින් සිටින්නේ එය කාරනය නොවන බව යි” යනුවෙන් යුරෝපා කවුන්සිල සභාපති ටස්ක් ද එය තහවුරු කලේ ය.
ගිවිසුමට එලඹී ඇත්තේ එක්සත් ජනපද පාදක අන්තර්ජාතිකයන්ගේ වියදමින් වන අතර ප්‍රකාශන දෙක ම පැහදිලිව එල්ල කෙරුනේ සමුලුට ආසන්නයේ දී මතු දැක්වෙන ට්වීටර් පනිවුඩය ලියූ ට්‍රම්ප්ට එරෙහිව ය: “එක්සත් ජනපදය ලෝක ඉතිහාසයේ නරක ම වෙලඳ ගිවිසුම් ඇති කර තිබුනි. අපට උදව් නො කරන එම රටවල් සමග අප මෙම ගිවිසුම් ඉදිරියට ගෙන යා යුත්තේ මන් ද.”
ලෝක ආර්ථිකයේ කේන්ද්‍රයේ පිහිටි ආර්ථික බලවතුන් අතර නොකඩවා තීව්රවන ගැටුම්, නේටෝ මිත්‍රයන් අතර ම වඩ වඩා විවෘත හා කටුක බෙදීම්, හා තමන්ගේ තරගකරුවන්ට එරෙහිව එක් හෝ තවත් බලවතකුගේ උත්සුකයන් දිරි ගැන්වීමට බහුවිධ ගිවිසුම් ඇතිකිරීම සහිත මෙම තත්වය වඩ වඩා සමානවන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් එය තුල (යුද්ධය තුල) “ඔවුන්ගේ මිතුරන් සමග ද ඔවුන්ගේ මිතුරන්ට එරෙහිව ද, එකිනෙකා අතර රහස් ගිවිසුම් දැලක පැටලෙතැ යි” පලමුවැනි ලෝක යුද්ධය අතරතුර ලෙනින් විසින් විස්තර කරන ලද තත්වයට ය.
යුද්ධයේ වැඩිවන අනතුර මෙන් ම ප්රමුඛ අධිරාජ්‍යවාදී බලවතා ලෙස දෙවැනි ලෝක යුද්ධය තුලින් එක්සත් ජනපදය මතු වී ඒම ඉක්බිත්තේ ඇති කෙරුනු ජාත්‍යන්තර ආයතනවල බිඳී යාම ස්ටලින්වාදී නිලධාරිතන්ත්රය සෝවියට් සංගමය විසිරුවා හැරීමේ තැන් සිට ගතවුනු සියවස් කාල තිස්සේ මේරූ ක්රියාදාමයන්ගේ අවාසන ඵලය යි.
එක්සත් ජනපද මූලෝපායඥයින් විස්තර කල “තනි ධ්රැව මොහෙතක” මතුවීම අධිරාජ්‍යවාදී යුද්ධ හා මැදිහත්වීම් පෙලකට වේදිකවා සැකසූ අතර, එහි දී එක්සත් ජනපදය ලෝක ආර්ථිකය තුල තම බිඳ වැටෙන තත්වය ප්රතිතෝලනය කිරීමට තම මිලිටරි වාසිය ගසාකෑමට උත්සාහ කලේ ය.
මෙම යුද්ධ ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්රේනය හා අනෙකුත් රටවල් කුඩපට්ටම් කර, ජීවිත මිලියන ගනනාවක් බිලි ගෙන දෙවැනි ලෝක යුද්ධයෙන් පසු විශාල ම සරනාගත අර්බුදය මුදා හල ද, ඒවා එක්සත් ජනපදයේ දෛවය වෙනස් කිරීමට මුලුමනින් ම අසමත් විය.
දැන්, අර්බුදයේ නව අවධියක් ලඟා වී ඇති අතර, එය තුල වොෂින්ටනයේ ගෝලීය තරඟකරුවෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යයට අභියෝග කරමින් සිටිති.
වඩ වඩා අනතුරුදායක මෙම වර්ධනයන් යටින් පවතින්නේ ලෝක ධනවාදී පද්ධතියේ, එක් අතකින්, ගෝලීය වසයෙන් ඒකාබද්ධ හා එකක් අනෙකට බැඳුනු ආර්ථිකය ද එය හතුරු ජාතික රාජ්‍යවලට බෙදීම ද, සහ අනෙක් අත, ගෝලීය නිෂ්පාදනයේ සමාජමය ස්වභාවය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හරහා පාලක ධනේශ්වර පන්තිය විසින් පුද්ගලික ලාභ සමුච්චයනයට එය යටත් කිරීම අතර අතිමූලික ප්රතිඝතිතාවන් ය.
මෙම ප්රතිඝතිතාවන් විසඳීමට අධිරාජ්‍යවාදීන්ට ඇති එකම මාධ්‍ය වන්නේ මානව වර්ගයා විනාස කිරීම උරුම කර ගත් නව ලෝක යුද්ධයකි. කෙසේ නමුත් මෙම ප්රතිඝතිතාවන් ම අනෙක් අතට ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීමකට පදනම සකසමින් තිබේ.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2016 ”යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” නම් තම ප්රකාශනය තුල සඳහන් කල පරිදි:
“වත්මන් ලෝක තත්වය තුලින් පැන නගින මහා ඓතිහාසික ප්‍රශ්න, පහත සඳහන් පරිදි සූත්‍ර ගත කල හැක: ලෝක ධනවාදයේ අර්බුදය විසඳිය හැක්කේ කෙසේ ද? ධනපති පද්ධතිය දෙදරවා ඇති ප්රතිවිරෝධයන්, ලෝක යුද්ධයෙන් නැතිනම් ලෝක සමාජවාදී විප්ලවයෙන් අවසන් වනු ඇත් ද? අනාගතය, ෆැසිස්ට්වාදයට, න්‍යෂ්ටික යුද්ධයට හා නොවැලැක්වියහැකි පරිදි ම්ලේච්ඡත්වයට තුඩු දෙනු ඇත් ද? නැතිනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය, විප්ලවයේ මාවත ගෙන, ධනේශ්වර ක්‍රමය පෙරලා, ලෝකය සමාජවාදී පදනම් මත ප්‍රති නිර්මානය කරනු ඇත් ද? මානව වර්ගයා හමුවේ ඇති සැබෑ විකල්පයන් නම් මේවාය.”
බිල් වෑන් ඕකන්
Follow us on