නාය යාමේ තර්ජනයට මුහුන දී සිටින කහගලවත්තේ කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති
එස්.කේ. අයිරාංගනී සහ ආර්.එම්. ගුනතිලක විසිනි, 2017 මාර්තු 25
2017 මාර්තු 1 වන දා ආගරපතන වැවිලි සමාගමට අයත් හපුතලේ කහගල වත්තේ වතු කම්කරු පවුල් 60ක පුද්ගලයන් 260 ක් පමන දෙනා කහගල වත්ත දෙමල මහා විද්‍යාලයේ තාවකාලික අවතැන් කඳවුර වෙත යැවීමට හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කලේ ය. මහවැසි ඇද හැලුනු තතු තුල, ජාතික ගොනැගිලි පර්යේෂන සංවිධානය විසින් නාය යාමේ තර්ජනයට බඳුන් වන ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබුනු, කහගලවත්තට අයත් ප්‍රදේශයෙන් මෙම කම්කරු පවුල් ඉවත් කොට කහගලවත්ත පාසලේ තාවකාලිකව නතර කෙරිනි.
මෙය විටින් විට සිදු වන දිගු කාලීන ක්‍රියාවක් බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් හා සාකච්ඡාවට අවතීර්න වූ කම්කරුවෝ පැවසූහ.
“මේ වත්ත මුලින්ම නාය ගියේ 1958 ඔක්තෝබර් මාසෙ. මං කසාද බැඳල ඇවිල්ල එතකොට අවුරුදු දෙකයි. එදා ඉඳල තාමත් තද වැස්ස එනකොට නාය යනව කියල අපිට අයින් වෙන්න කියනවා. එතකොට ඉස්කෝලෙට හරි පල්ලියට හරි අපි යනවා. ගෙවල් හදල දෙන්නම්, ඉඩම් දෙන්නං කියල හැම ආන්ඩුවක් කාලෙම කියල ඇති. ඒ කතා වැස්ස පායපු ගමන් ඉවරයි. වැස්ස අඩු වුන ගමන් අපි ආයි මෙතෙන්ටම එනවා.” 83 වියැති ජේ. සෙල්වමේරි පැවසුවාය.
වයස අවුරුදු තුනේදි දෙමාපියන් අහිමිවූ ඇය ඇති දැඩි වී ඇත්තේ නුවරඑලියේ අනාථ නිවාසයකයි. විවාහ වී කහගලට පැමිනි ඇයගේ ස්වාමි පුරුෂයා මිය ගොස් ඇති අතර දරුවන් විවාහ වී වෙනම ජීවත් වෙයි. වත්තේ කම්කරුවෙකු ලෙස අවුරුදු 10 ක් සේවය කිරීමෙන් පසු ඇය කොලඹ සහ පානදුර ධනවත් නිවෙස් වල මෙහෙකාර ස්ත්‍රියක ලෙස සේවය කොට ඇත..
“දැන් මට වැඩ කරන්න අමාරුයි. ආන්ඩුවෙන් වයසක මිනිස්සුන්ට දෙන රුපියල් 1900න් ජීවත් වෙන්නෙ. ඒකෙන් මාසෙ කී දවස ද කන්න පුලුවන් දැන් තියෙන බඩු ගානත් එක්ක. ඒක ඉවර වුනාට පස්සෙ ටවුන් එකේ ගෙවල්වලට ගිහින් ඉල්ල ගෙන කන්නෙ. මං මාසෙ ගෙවන්නෙ එහෙම. අපිට තියෙන්නෙ දුක විතරයි. වත්තෙ මහත්තුරුන්ට, ආන්ඩු කරන අයට හැම පහසුකමක්ම තියනව. ගෙයි තියන ලයිට් එක දාන්නෙ නෑ ලයිට් බිල ගෙවන්න අමාරු හින්ද. කුප්පි ලාම්පුවක් පත්තුකරගෙන මං ඉන්නෙ. මං තනි වෙලා.”
වැස්ස සමග තාවකාලික කඳවුරට සේන්දු වුන කම්කරුවන් පිලිබඳව හා ඔවුන්ගේ අපේක්ෂාවන් පිලිබඳව සෂි කුමාර් නමැති කම්කරුවා මෙසේ පැවසුවේය: “අපි මේ කඳවුරේ ඉන්න කාලෙට හාල්, පිටි, පරිප්පු වගේ දේවල් එක එක්කෙනා ගෙනත් බෙදල යනවා. ඒ කාලෙට ගෙවල් හදල දෙන්න කතා කරනවා. බැමි ගහන්න කතා කරනවා. ඒව කටින් විතරයි. ඡන්දෙ ගන්න මිසක් අපේ ජීවිත විනාශ වෙන එක ගැන මොන ආන්ඩුවකටවත් ගානක් නෑ. ගෙවල් හරි ඉඩම් හරි දෙන්න මැරෙන කල් ඉන්නව වෙන්න ඇති.”
වසර කීපයකට පෙර බිහිසුනු නාය යෑමකට ලක් වූ මීරියබැද්දවත්ත්තේ කම්කරුවන්ගේ නිවාස ප්රශ්නය මෙතෙක් විසඳී නොමැති බව සඳහන් කල ඔහු පැවසුවේ ඔවුනගේ මූලික අපේක්ෂාව වනුයේ තම දරු පවුල් සමග ආරක්ෂිත නිවසක ජීවත්වීම බවයි.
44 හැවිරිදි මයික්කලම්මා තමා ඇතුලු වතු කම්කරුවන් මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි විස්තර කලාය. ”අපි දවසකට දලු කිලෝ 18ක් කඩන්න ඕන. පඩි වැඩි කලා කිව්වට අපිට එහෙම වැඩිවෙලා නෑ. රුපියල් 500යි දවසට ලැබෙන්නෙ. පිට වැඩ කරල තමයි මමයි, දරුවො තුන් දෙනයි, ආබාධිත අක්කයි ජීවත් වෙන්නෙ. මගේ මහත්තය මැරිල.”
වත්තේ ජීවත්වන කුඩා ව්‍යාපාරිකයෙකු වූ අයි.ඒ. ජොන්සන් මෙසේ විස්තර කලේ ය. ”මං රට ගිහිල්ල සල්ලි ටිකක් හොයාගෙන නාය ගියත් කමක් නෑ කියල හිතල ගේ හදා ගත්තෙ මනුස්සයො වගේ ඉන්න. නාය යයි කියල බයෙන් තමයි මෙතන හැම මිනිහෙක්ම ඉන්නෙ.”
බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නාය යාම් වැඩි වශයෙන් සිදු වන පලාතක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යයනයන් මගින් හෙලිදරව් කරගෙන ඇති අතර ලංකාවේ දිස්ත්‍රික්ක 10ක වර්ග කිලෝ මීටර් 20,000ක් පමන නායයාම් අවදානමට ලක් ව ඇතැ යි සංවිධානයේ පර්යේෂන අධ්යක්ෂ ආර්.එම්.එස්. බංඩාර පවසයි. මහනුවර, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය සී.බී. දිසානායක පෙන්වා දී තිබෙන්නේ ලංකාවේ උස් බිම්වලින් 21%ත් 25% අතර ප්‍රමානයක් නාය යාමේ අවදානමේ පවතින බව යි.
2005 වසරේ දී බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය මීරියබැද්ද වත්ත පරීක්ෂනයකට ලක් කර ඉදිරිපත් කල වාර්තාවේ මෙවන් ව්‍යසනයක ශක්‍යතාවක් පෙන්වා දී තිබුනි. එම වාර්තාවේ පිටපතක් සීමාසහිත මස්කෙලිය වැවිලි සමාගම් කලමනාකරනයට භාර දී තිබිය දී 2014 එම සමාගමට අයත් මීරියබැද්ද වත්තේ මහා ඛේදවාචකය සිදු වන තෙක් ආන්ඩුව හෝ සමාගම මිනිස් ජීවිත හා ඔවුන් දහඩිය හෙලමින් රැස්කරගත් දේ ගැන තඹයකට මායිම් නොකලහ. මිය ගිය ජීවිතවලට හා විනාශ වූ දේපලවලට වගකිව යුත්තේ ආන්ඩුව හා වතු සමාගම් ය.
ආන්ඩු, වතු සමාගම් හා වෘත්තීය සමිති එක්ව වතු කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමේ, වැඩ වේගවත් කිරීමේ ගිවිසුම් අත්සන් කරන්නට තිබෙන ඕනෑකම ඔවුන්ගේ ජීවිත විනාශ කෙරෙන අනතුරු සම්බන්ධයෙන් අබමල් රේනුවක් තරම් නොමැති බව මීරියබැද්දේ සිදු වූ ඛේදවාචකයේ දී මනාව පැහැදිලි විය.
කොම්පැනිකරුවන්ගේ ලාභ අවශ්‍යතා සඳහා බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සැලසුමකින් තොරව තේ හා වෙනත් වගාවන් සඳහා කඳුකරයෙහි බිම් කැබලි කිරීම, වන වැස්ම ඉවත් වීමටත් ජල වහන රටා වෙනස් වීමටත් නාය යාම්වලට ලක් විය හැකි පරිසරයක් කඳුකරයේ නිර්මානය වීමටත් හේතු විය.
මෙවන් පරිසරයක් තුල, කවර හෝ ආරක්ෂන විධි විධානයන්ගෙන් තොරව නාය යාමේ තර්ජනයන් සහිත අන්තරායකාරී ප්‍රදේශයන් හි වතු කම්කරුවන් පදිංචි කර වීම නිසා ඔවුනට නිරන්තර ව්‍යසනයන්ට මුහුන දීමට සිදුව ඇත.
නායයාම්වලින් සියයට 90 ක් සිදු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බව පවසමින් ධනපති පන්තිය හා ඔවුන්ගේ මාධ්‍යයන් මෙම ව්‍යසනයන්ගේ වගකීම මහජනතාව මත පටවයි. ඔවුන් එසේ කරන්නේ සමස්ත නිශ්පාදන ආර්ථිකය, තාර්කික සැලසුමකින් තොරව, හුදු ලාභය සඳහා ධාවනය කිරීම මෙම ව්‍යසනයන්ට හේතුව බව වසන් කිරීමටයි.
වර්ධනය වී ඇති විද්‍යාත්මක දැනුම හා තාක්ෂනය භාවිත කර සැලසුම් සහගතව මිනිස් ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් ස්වභාවික උවදුරුවලින් සිදුවන විනාශයන් වලක්වා ගැනීම හෝ අවම කර ගැනීමට මිනිසාට හැකියාවක් තිබේ. නමුදු, ලාභය මූලික කරගත් ධනපති සමාජයක් තුල එවන්නැක් සාක්ෂාත් කල නොහැකි බැව් ලංකාවේ සහ ලොවපුරා සිදු වන ව්‍යසනවලින් පෙන්නුම් කෙරෙයි.
වර්ධනය වී ඇති ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙම කලාපයේ ධනපති ආන්ඩු තම රට තුලට වඩ වඩා ආයෝජන ඇද ගැනීමේ තරගයක නිරතව සිටිති. ඒ සඳහා ජලය, විදුලිය, ගොඩනැගිලි හා මාර්ග ආදී යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ දී විද්‍යාත්මක සැලසුමකින් තොරව වේගයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හේතුවෙන් විවිධාකාර ව්‍යසනයන්ට මුහුන දීමට මහජනයාට සිදුව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය මේ සඳහා බලගතු උදාහරනයකි. මේ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයක් නිර්මානය කෙරී වගාවන් පාලු වී බීමට පවා ජලය නොමැති තත්වයක් නිර්මානය කෙරී ඇති අතර පොලව ඉරිතලායාම් සහ ගිලා බැසීම් හේතුවෙන් පවුල් සිය ගනනකට නිවාස අත්හැර යන්නට සිදුව ඇත.
පුද්ගලික දේපොල මත පදනම්ව ලාභය සඳහා නිශ්පාදනය කෙරෙන ධනපති සමාජ ක්ර්රමය පෙරලා දමා, මහජනතාවගේ අවශ්‍යතාව සඳහා නිශ්පාදනය කෙරෙන සමාජවාදී සමාජ ක්‍රමයක් ජාත්‍යන්තර පරිමානව ස්ථාපිත කර ගැනීමට සටන් වැදීම මෙම ව්‍යසනයන්ගෙන් ගැලවීමට ඇති විසඳුමයි. නායයාම්, ජල ගැලීම් සහ සුනාමි වැනි දෑ වලින් ඇතිවන ව්‍යසනයන් වැලකෙන අයුරින් සමස්ත සමාජය තාර්කික ලෙස සැලසුම් කොට සංවිධානය කරගත හැක්කේ එවන් සමාජ ක්‍රමයක් තුල පමනි.
Follow us on