ලෝක ඉතිහාසය සහ සමකාලීන දේශපාලනය තුල ඔක්තෝබර් විප්ලවයට හිමි තැන

The Place of the October Revolution in World History and Contemporary Politics

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 නොවැම්බර් 13

අප මෙහි පලකරන්නේ, නොවැම්බර් 11 සෙනසුරාදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද දේශනයේ ලිඛිත වාර්තාවයි. ඕඩියෝ (ශ‍්‍රව්‍ය) පටය මෙම වාර්තාව තුල අන්තර්ගතවේ.

1914 අගෝස්තුවේ ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යුද වියදම්වලට පක්ෂව ඡන්දය දීමට ගත් තීරනයට එරෙහිවීම සඳහා රෝසා ලක්සම්බර්ග් හා කාල් ලීබ්නෙක්ට් සමග එක්ව කටයුතු කල විශිෂ්ඨ සමාජවාදී ඉතිහාසඥයකු, පුවත්පත් කලාවේදියෙකු හා න්‍යායාචාර්යවරයෙකු වූ ෆ‍්‍රාන්ස් මෙයරිං, 1917 වසරේ අවසාන දිනයේ, -ඊට යන්තම් සති හයකට පෙර බොල්ශෙවිකයන්ගේ නායකත්වය යටතේ ධනපති තාවකාලික ආන්ඩුව පෙරලා දැමුනි- පෙට්‍රොග‍්‍රෑඩ් සිදුවීම් පිලිබඳව තක්සේරුවක් කලේය. බොල්ශෙවිකයන් බලයට ඒමේ ඉමහත් දේශපාලන ගම්‍යයන් හඳුනා ගනිමින් ම, පෙට්‍රොග‍්‍රෑඩ් හි සිදු වූ දෑ දිගු කලක් ඇදී යන දුෂ්කර අරගලයක ආරම්භය පමනක් වූ බැව් කාලයාගේ ඇවෑමෙන් සනාථවීමට බොහෝ සේ ඉඩ ඇතැයි මෙයරිං අවධාරනය කලේය. ඔහු මෙසේ ලිවීය:

ෆ‍්‍රාන්ස් මෙයරිං

විප්ලවවල, සැබෑ විප්ලවවල, ප‍්‍රාන වායුව දීර්ඝය; දහහත්වන සියවසේ ඉංග්‍රීසි විප්ලවය, දහඅටවන සියවසේ ප‍්‍රන්ස විප්ලවය යන දෙකම විසඳා ගැනීමට වසර හතලිහක් පමන බැගින් ගත වූ අතර, රුසියානු විප්ලවය හමුවේ පවතින අතිමහත් ගැටලු සමග සැසඳීමේදී, ඉංග්‍රීසි හා ඇත්තෙන්ම ප‍්‍රන්ස විප්ලවය පවා මුහුන දුන් අභියෝග ලමා ක්‍රීඩා මෙන් පෙනේ. [1]

ඇත්තෙන්ම, ලේ සෙලවීමකින් තොරවම පාහේ පෙට්‍රොග‍්‍රෑඩ්හි දී බලය අල්ලා ගැනීම පසුපස වහාම හා අතොරක් නැතිව පැමිනියේ දේශපාලන අර්බුද පෙලකි. පලමුව, ආන්ඩුවක් පිහිටුවා ගැනීම පිලිබඳ භේදය පැවතියේය. ඉනික්බිති වහා ඒ පසුපස පැමිනියේ බොල්ශෙවිකයන් විසින් විසුරුවා හැරීමට තීරනය කල ව්‍යවස්ථාදායක සභාව සමග ගැටුමයි. ඊට ද පසු, ජර්මානුන් සමග සාමය සඳහා පැවැති සාකච්ඡාවල කර්කශ මතභේදය හා - බොල්ශෙවික් නායකත්වය තුල කඨෝර බෙදීම් මධ්‍යයේ - ජර්මන් අධිරාජ්‍යවාදීන් විසින් බරපතල අනුග‍්‍රහයන් ලබා දෙන ලෙස කෙරුනු ඉල්ලීම් පිලිගැනීමට හා සාම ගිවිසුම අත්සන් තැබීමට ගන්නා ලද තීරනයයි. 1918 වසන්තය වන විට සෝවියට් රුසියාව පූර්න පරිමාන සිවිල් යුද්ධයක ගිලී ගියේය. ජූලියේ සමාජ විප්ලවකාරී පක්ෂයේ සාමාජිකයෙක් ලෙනින්ට දෙවරක් වෙඩි තැබීය. මෙම ඝාතන ප‍්‍රයත්නයෙන් ඔහුගේ දිවි රැකුනේ යන්තමිනි. තතු එසේවුව, අප‍්‍රමාන ඓතිහාසික ආඛ්‍යානයන්හි බොල්ශෙවිකයන් ඉදිරිපත් කෙරෙන්නේ, සාධාරනතම ආයාචනයන් පවා තුච්ඡ කොට සැලකූ ලේ පිපාසිත උන්මන්තකයන් ලෙසය. අනෙක් අතට ඔවුන්ගේ විරුද්ධවාදීන්, විශේෂයෙන්ම මෙන්ෂේවිකයන් අතර සිටි එවැන්නවුන්, සම්මුතියේ පරමාදර්ශකයන් ලෙස නිරූපනය කෙරෙති. මෙම නිරූපනයන්ට යථා තතු සමග මොනම සම්බන්ධයක් හෝ නැත. නැගිටීමෙන් පසු කාලසීමාවේ අර්බුද අතරින් පලමුවැන්න අපි විමසා බලමු.

ලෝක ඉතිහාසය සහ සමකාලීන දේශපාලනය තුල ඔක්තෝබර් විප්ලවයට හිමි තැන

බොල්ශෙවිකයන් බලය ගත් සැනින්ම, ඔවුන් තම “මදාවිය” අවසන් කර බලය අතහැරිය යුතුයැයි මෙන්ෂේවිකයෝ හා සමාජ විප්ලවකාරීහු ඉල්ලා සිටියෝය. කැරැල්ල සංවිධානය කල යුද විප්ලවකාරී කමිටුව නිරායුධ කරන තුරු තමන් බොල්ශෙවිකයන් සමග සාකච්ඡාවක් හෝ නොපවත්වන බව ඔවුහු නිවේදනය කලෝය. එවිට (ට්‍රොට්ස්කි වැනි) එහි නායකයන්ට, සිය ඉරනම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අනාගත සැසිවාරයක් විසින් තීරනය කෙරෙන තුරු, සිය පෞද්ගලික ආරක්ෂාව පිලිබඳ තාවකාලික සහතිකයක් ලැබෙනු ඇත.[2] ඔවුන්ගේ අහංකාර ඉල්ලීම්වලින් පෙනී යන පරිදි, ඔවුන්ට පෙට්‍රොග‍්‍රෑඩ්හි පැවැති බල තුලනය පිලිබඳ කිසිදු වැටහීමක් නොවූ සෙයකි.

බොල්ශෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුලම, ආන්ඩුවේ පදනම පුලුල් කර ගනු වස් දැවැන්ත සම්මුතීන්ට එලැඹීමට සූදානම්ව සිටි ලෙව් කමනෙව්ගේ නායකත්වයෙන් යුත් සැලකියයුතු පිලක් සිටීමෙන්, වික්සෙල් නමින් හැඳින්වුනු දුම්රිය කම්කරු සංගමයේ දක්ෂිනාංශික නායකත්වයේ ද සහාය ලද ඊනියා “මධ්‍යස්ථ” සමාජවාදී පක්ෂවල මුරන්ඩුකමට ධෛර්යය ලැබින. නව හවුල් ආන්ඩුවක නායක තනතුරු වලින් ලෙනින් හා ට්‍රොට්ස්කි ඉවත් කර තැබිය යුතුයැයි “මධ්‍යස්ථ” සමාජවාදීන් හා නාගරික ඩූමාව විසින් ඉදිරිපත් කෙරුනු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස (විප්ලවයේ ප‍්‍රධාන නායකයන් දෙදෙනාගේ සහභාගිත්වයෙන් තොරව) නිවේදනයක් නිකුත් කල බොල්ශෙවික් මධ්‍යම කාරක සභාව සඳහන් කලේ, “පක්ෂය විසින් යෝජිත නම් සම්බන්ධයෙන් අන්‍යොන්‍ය වශයෙන් යම් අතහැරීම් හා අලුතින් එක් කිරීම්වලට අවසර ඇති බවයි.” [3]

ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් රබොනවිච් විසින් පැහැදිලි කෙරෙන පරිදි, ලෙව් කමනෙව් ඉනික්බිතිව නිකුත් කල නිවේදනයක් මගින් ද සුවිශද ලෙස යලි පල කෙරුනු මධ්‍යම කාරක සභාවේ ආස්ථානය, “ලෙනින් හා ට්‍රොට්ස්කි යනු අත නොතැබිය හැකි අයවලුන් නොවන බවත්, සියලු සමාජවාදී පක්ෂ ඇතුලත් වන ආන්ඩුවක් තුල බොල්ශෙවික් බහුතරය පවා පරම අවශ්‍යතාවයක් නොවිය හැකි බවත් ප‍්‍රකාශ කෙරුනු සංඥාවක් විය.” [4] ලෙනින් හා ට්‍රොට්ස්කි රාජ්‍ය බලයෙන් බැහැර කොට තැබිය යුතුය යන මෙන්ෂේවික් ඉල්ලීම, හරය වශයෙන් ගත් කල, කම්කරු පන්තියේ දේශපාලනික හා කායික හිස ගසා දැමීම සඳහා කෙරුනු කැඳවීමක් විය. ප‍්‍රමුඛ මෙන්ෂේවික් පක්ෂ නායකයකු වූ තියඩෝර් ඩෑන් ඇත්තෙන්ම පෙට්‍රොග‍්‍රෑඩ් කම්කරුවන් නිරායුධ කිරීම වෙනුවෙන් කැඳවුම් කලේය.

ලෙව් කමනෙව්

“මධ්‍යස්ථ” සමාජවාදීන්ගේ බොල්ශෙවික් විරෝධී වියරුව, ජාත්‍යන්තරවාදී මෙන්ෂේවිකයන් අතර මාටොව් නායකත්වය දැරූ වඩාත් වාමාංශික කන්ඩායමක භීතියට හේතු විය. මෙම කන්ඩායමේ එක් නියෝජිතයෙකු වූ ඒ.ඒ. බ්ලම් දක්ෂිනාංශික “මධ්‍යස්ථ”යන්ගෙන් මෙසේ ඇසීය: “බොල්ශෙවිකයන්ගේ පරාජයෙන් කුමක් අදහස් වන්නේදැයි ඔබ යන්තමින් හෝ හිතා බැලුවා ද? බොල්ශෙවිකයන්ගේ ක්‍රියාමාර්ගය යනු කම්කරුවන් හා සෙබලුන්ගේ ක්‍රියාමාර්ගයයි. නිර්ධන පන්තියේ පක්ෂය සමග කම්කරුවෝ ද සෙබලු ද වනසා දැමෙනු ඇත්තාහ.” [5]

බොල්ශෙවික් මධ්‍යම කාරක සභාව තුල යටත්වීමේ මනෝභාවයන් පවතිද්දීම පෙට්‍රොග‍්‍රෑඩයේ කම්කරුවන් අතර සෝවියට් බලයට දිගටම බලගතු සහායක් පැවැතුනි. කැරැල්ල ආරක්ෂා කිරීම හා සැබෑ විප්ලවවාදී ආන්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් ලෙනින් අනම්‍ය විය. 1917 නොවැම්බර් 1 දින පැවැති පුපුරන සුලු මධ්‍යම කාරක සභා රැස්වීමක දී ලෙනින්, කමනෙව් හා පක්ෂ නායකත්වයේ සිටි සෙසු දනගසන්නන්ට එරෙහිව දරුනු වාග් ප‍්‍රහාරයක් එල්ල කලේය. ධනපති හමුදා විප්ලවයට එරෙහිව කටුක ප‍්‍රතිරෝධයක් දක්වමින් සිටි මොස්කව්හි දී, ධනපති ජුන්කර් හමුදා නිලධාරීන් විසින් සිරභාරයට ගැනුනු සෙබලුන්ට වෙඩි තැබූ බවට වන වාර්තා ඔහු උපුටා දැක්වීය. රුධිර ගංගාවන්හි ගිල්වා දැමුනු පරාජිත කම්කරු පන්ති නැගිටීම්වල ඉරනම සිහි ගන්වමින් ලෙනින්, දනනමන්නන්ට මතක් කර දුන්නේ, “ධනේශ්වරය ජයග‍්‍රහනය ලැබ තිබිනි (නම්) ඔවුන්, 1848 හා 1871 දී කල පරිදි ක්‍රියා කරනු ඇත. [6] ඓතිහාසික සැඳැහුම්වලින් දැක්වුනේ, 1848 ජූනියේ ජනරාල් කැවිඤ්ඤාක් පැරීසියේ කම්කරුවන් සංහාරය කිරීමේත්, 1871 මැයි මස පැරිස් කොමියුනය මර්දනය කිරීම අතරවාරයේ වර්සේල්ස් ආන්ඩුවේ ධනපති හමුදා අවම වශයෙන් කම්කරුවන් 10,000 කට වෙඩි තැබීමේත් සිදුවීම් ය.

තාවකාලික ආන්ඩුවට සහාය දී තිබුනු එම පක්ෂ සමගම සම්මුතියකට හා සභාගයකට එලැඹීම, ඔක්තෝබර් විප්ලවය අත්හැර දැමීමකට සමානය. මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් අතරින්, කැරැල්ලේ විරුද්ධවාදීන් සමග සභාගයකට එලැඹීම ලෙනින් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම වැනීමකින් තොරව හා බලගතු ලෙස ආරක්ෂා කලේ එක් අයෙකු පමනෙකි: “සමගි කිරීම සම්බන්ධයෙන් ගත් කල, ඒ පිලිබඳව බැරෑරුම් ලෙස කථා කිරීමටවත් මට නොහැකි යයි ලෙනින් පැවසීය. එක්සත් කිරීම නොකල හැකි යයි ට්‍රොට්ස්කි පැවසුවේ බොහෝ කාලයකට පෙරය. ට්‍රොට්ස්කි එය අවබෝධ කොට ගෙන සිටියේය, එතැන් පටන් ට්‍රොට්ස්කිට වඩා හොඳ බොල්ශෙවිකයෙකු සිටියේ නැත.” [7]

කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ පෙලපාලියක්1917

කම්කරු පන්තියේ නායකත්වය ලෙස එහි අවශ්‍යතා ආරක්ෂා කිරීමට පක්ෂය බැඳී සිටිතැයි ලෙනින් අවධාරනය කලේය. දක්ෂිනාංශය සමග සම්මුතියක් ඉල්ලා සිටීමෙහි දී යලිත් වරක් කමනෙව් සමග එක් වී සිටි සිනොවියෙව්ට පිලිතුරු දෙමින් ලෙනින් මෙසේ ප‍්‍රකාශ කලේය:

ග්‍රිගොරි සිනොවියෙව්

“අප සෝවියට් බලය නොවේ, සමාවන්න - අපි සමාජ විප්ලවකාරීන් හා මෙන්ෂේවිකයන් පිට වී ගිය තැන් පටන් හුදෙකලා වූ බොල්ශෙවිකයන් පමනක් වෙමු” යැයි ආදී වශයෙන් සිනොවියෙව් කියා සිටී. එහෙත් එයට අප වගකිව යුතු නැත. අප තෝරා පත් කර ගනු ලැබුවේ සෝවියට් සම්මේලනය විසිනි. මෙම සංවිධානය නව්‍ය වූ දෙයකි. අරගල කිරීමට අවශ්‍ය කවරෙක් වුව ඊට ඇතුලු වෙයි. එය මහජනයාගෙන් සමන්විත වූවක් නොවේ. එය සමන්විත වන්නේ මහජනතාව විසින් අනුගමනය කරනු ලැබෙන ඔවුන්ගේ පෙරටු බලඇනියෙනි. අපි මහජනයා සමග යන්නෙමු - ඒ ක්‍රියාකාරී මහජනයා සමග විනා වෙහෙසට පත් ජනයා සමග නොවේ. දැන් නැගිටීම පැතිරවීමෙන් වැලැකීම [යනු] වෙහෙසට පත් ජනයාට [යටත්වීම]යි, එහෙත් අප සිටින්නේ පෙරටු බලඇනිය සමගය. [අරගලය තුල] සෝවියට් සභා හැඩ ගැසෙයි. සෝවියට් සභා යනු නිර්ධන පන්ති ජනයාගේ පෙරටු බලඇනියයි. [8]

ලෙනින්ගේ ආස්ථානයට සහාය දෙමින් ට්‍රොට්ස්කි, දේශපාලන යථාර්ථයන් පිලිබඳ පැහැදිලි වූත් භාවාතිශය නොවූත් තක්සේරුවක් ඉදිරිපත් කලේය:

අප ගොඩ නැගීමට නොසමත්යැයි කියනු ලැබේ. තතු එසේ නම්, අප සමග සටන් කල අය එසේ කිරීම නිවැරදි වන අතර, අපි සරලවම අප සතු බලය ඔවුන්ට පාවා දිය යුතු වෙමු. එහෙත් අපි දැනටමත් විශාල වැඩ කොටසක් ඉටු කර ඇත්තෙමු. අපට බයිනෙත්තු මත වාඩි වී සිටිය නොහැකියැයි කියනු ලැබේ. එමෙන්ම අපට බයිනෙත්තුවලින් තොරව කටයුතු කිරීමට ද නොහැකිය. මෙහි වාඩිවී සිටීම සඳහා අපට එහි බයිනෙත්තු අවශ්‍යය. අප මෙතෙක් යම් අත්දැකීම් හරහා ගමන් කොට ඇත් ද එකී අත්දැකීම් අපට යමක් උගන්වා ඇතැයි යමෙකු කල්පනා කල යුතුව ඇත. මොස්කව්හි සටනක් සිදුව ඇත. ඔව්, එහි ජුන්කරයන් සමග බරපතල සටනක් පැවැතින. එහෙත් මෙම ජුන්කරයන්ට, මෙන්ෂේවිකයන් වේවා වික්සෙලය වේවා, සමග කිසිදු බැඳීමක් නැත. වික්සෙලය සමග ඇති කෙරෙන සමගි සන්ධානයකින් ධනේශ්වරයේ ජුන්කර් භට කන්ඩායම් සමග ගැටුම අහෝසි නොවේ. නැත. අනාගතයේදී ද අපට එරෙහිව කුරිරු පන්ති අරගලයක් දිගටම පවත්වා ගෙන යනු ඇත. දැන් පැත්තක් ගැනීමට අසමත්ව සිටින ඔය සියලු මධ්‍යම පන්තික උකුනන්, අපේ ආන්ඩුව ශක්තිමත් එකකැයි දැනගත් කල්හි, වික්සෙලය ද සමග, අපේ පැත්තට එනු ඇත. පීටර්ස්බර්ගයට පහල ප‍්‍රදේශයේ දී අප [ජනරාල්] ක‍්‍රදස්නොව්ගේ කොසාකයන් කුඩුපට්ටම් කර දැමීමේ කරුන හේතුවෙන් ඊලඟ දිනයේ දී ම අප මත සුභාශිංසන විදුලි පුවත් වැසි වස්සවන ලදී. මධ්‍යම පන්තික ජනයා සොයා බලමින් සිටින්නේ තමන් යටත් විය යුතු බලය කුමක්ද කියාය. එය වටහා ගැනීමට අසමත් වන කවරෙකුට වුව, මෙම විශ්වය තුල මොනයම්ම දෙයක්වත් යන්තමින් හෝ ග‍්‍රහනය කල නොහැකි අතර, අන් සියල්ලටමත් වඩා, රාජ්‍ය යන්ත‍්‍රය තුල කිසිවක් හෝ වටහා ගැනීමට ඔවුන්ට කොහෙත්ම නොහැකිය. අලුත් පන්තියකට හුදෙක් පැරනි පර්යාය වැඩට යොදා ගත නොහැකි බව 1871 තරම් ඉහතක දී කාල් මාක්ස් පැවැසීය. අප විසින් ඊට එරෙහිව යා යුතු වන මෙම පර්යාය, තමන්ගේම උත්සුකයන් හා පරිචිතයන් උත්පාදනය කරයි. එය සිඳබිඳ විස්ථාපනය කල යුතුය; අපට වැඩ කල හැකිවන්නේ එවිට පමනෙකි.

එය එසේ නොවීනම්, පැරනි සාර්වාදී යන්ත‍්‍රය අපේ නව අරමුනුවලට යෝග්‍ය වී නම්, එවිට මුලුමහත් විප්ලවයම හිස් බිත්තර කටුවක් තරම් හෝ නොවටිනාවන්නට තිබින. පර්යායටම උචිත වන උත්සුකයන්ට ඉහලින් මහා ජනකායන්ගේ පොදු උත්සුකයන් සැබවින්ම පිහිටුවනු ඇති ආකාරයේ පර්යායක්ම අපි නිර්මානය කල යුත්තෙමු.

පන්ති ප‍්‍රශ්නය හා පන්ති අරගලය පිලිබඳව හුදු පොතේගුරු ආකල්පයක් පමනක් වර්ධනය කොට ගත් බොහෝ දෙනෙක් අප අතර වෙති. විප්ලවයේ යතාර්ථයෙන් ලේශමාත‍්‍ර යක් ලද මොහොතේම ඔවුහු වෙනත් භාෂාවකින් (එනම්, අරගලයේ නොව සමගි සන්ධානයේ භාෂාවෙන්) කථා කරන්නට පටන් ගෙන ඇත්තාහ.

අප දැන් දිවි ගෙවමින් සිටින්නේ ප‍්‍රගාඪතම සමාජ අර්බුදය තුලිනි. වර්තමානයේ නිර්ධන පන්තිය රාජ්‍ය යාන්ත‍්‍රනය විනාශ කර දැමීමේ හා විස්ථාපනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. ඔවුන්ගේ පැත්තෙන් නැගෙන ප‍්‍රතිරෝධය පිලිබිඹු කරන්නේ අපේ වර්ධනයයි. අප කෙරේ ඔවුන්ගේ ඇති වෛරයේ සැර බාල කිරීමට භාෂාවේ වචන නැත. තම වැඩ පිලිවෙල ද අනුමාන වශයෙන් අපේ වැඩපිලිවෙලට සමාන වේයැයි අපට කියනු ලැබේ. ඔවුන්ට ආසන කිහිපයක් දෙන්න, එවිට සියල්ල සන්සිඳෙනු ඇත... නැත. එසේ නොවේ. ධනේශ්වරය අපට එරෙහිව පෙල ගැසී සිටින්නේ එහි සියලු පන්ති අවශ්‍යතා මුල්කරගෙනය. තව ද, වික්සෙලය සමග සංහිඳියාවේ මාවතට පිවිසීමෙන් ඊට එරෙහිව අප දිනා ගන්නා දේ කුමක්ද?.... අප මුහුන දී සිටින්නේ සන්නද්ධ ප‍්‍රචන්ඩත්වයටය. එය අභිබවනු හැක්කේ අපේ පැත්තෙන් යෙදෙන ප‍්‍රචන්ඩත්වයෙන් පමනෙකි. රුධිරය ගලා යතැයි ලුනචාර්ස්කි කියයි. කුමක් කරන්නද? පෙනී යන පරිදි අප කිසිදා මෙය ආරම්භ නොකල යුතුව තුබුනාක් සේය.

එසේනම් විශාලතම අත්වැරදීම සිදු කරන ලද්දේ ඔක්තෝබරයේ නොව, අප අනාගත සිවිල් යුද්ධයේ අංගනයට ඇතුලු වූ පෙබරවාරි අවසාන දිනවලදීයැයි ඔබ එලිපිට නොපිලිගන්නේ මන්ද? [9 ]

බොල්ශෙවික් නායකත්වය තුල අරගලය සතියකට වැඩි කාලයක් බුරබුරා ඇවිල ගියේය. මෙන්ෂේවිකයන්, සමාජ විප්ලවකාරින් හා ඔක්තෝබර් 24-25 දිනවල බොල්ශෙවික් නායකත්වයෙන් සිදුවූ නැගිටීමේදී එහි සෙසු විරුද්ධවාදීන් සමග සභාග ආන්ඩුවකට එලඹීම සඳහා වූ ඉල්ලීම් ට්‍රොට්ස්කිගේ සහාය ද ලබමින් පරාජය කිරීමට ලෙනින්ට දැවන්තතම පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය.

වී. අයි. ලෙනින්

යලිත් වරක් පක්ෂය භේදයක මුවවිටට රැගෙන ආ, බොල්ශෙවික් නායකත්වය තුල ගැටුමට යටින් පැවැති කාරනාව වූයේ, හුදෙක් ඔක්තෝබරයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් පමනක් නොව, 1917 අප්‍රේල් මස පෙරලා රුසියාවට පැමිනි තැන් පටන් ලෙනින් විසින් හඳුන්වා දෙනු ලැබ තුබූ සමස්ත දේශපාලන දිශානතිය සම්බන්ධයෙන්ම මධ්‍යම කාරක සභාවේ සැලකිය යුතු කොටසකගේ විරුද්ධත්වය කෙතෙක් දුරට පැවැත්තේ ද යන කරුනයි. ලෙනින් හා ට්‍රොට්ස්කි නව ආන්ඩුවේ තනතුරුවලින් බැහැර කොට තැබීමේ කොන්දේසි යටතේ වුව, බොල්ශෙවික් පක්ෂය සභාගයකට එකඟ විය යුතුය යන කමෙනෙව්ගේ ඉල්ලීම, පෙබරවාරි විප්ලවය ක්ෂනික ඉක්බිත්තේ ස්ටැලින් සමග එක්ව ඔහු ඉදිරිපත් කොට තුබූ ආස්ථානයන් සාරාංශගත කිරීමක් විය.

ලෙනින් පෙරලා පැමිනීමට පූර්වයෙන්, කමනෙව් හා ස්ටැලින්ගේ නායකත්වය යටතේ පැවැති බොල්ශෙවික් පක්ෂය, පෙබරවාරි විප්ලවයෙන් ක්ෂනික ඉක්බිත්තේ මතුව ආ දේශපාලන පිලිවෙලට අනුගත වී සිටි බැව් අපි සිහිපත් කර ගනිමු. එය ධනපති තාවකාලික ආන්ඩුවේ ආධිපත්‍යය පිලිගත්තේය. අලුතින් පිහිටවූ සෝවියට් සභා, ප‍්‍රජාතාන්ත්‍රික ලෙස ඔපමට්ටම් කල ධනේශ්වර රාජ්‍යයේ පිලිවෙත් සූත‍්‍ර ගත කිරීමෙහි ලා වාමාංශික ආනුභාවය පල කිරීමේ ප‍්‍රයත්නයකට වඩා වැඩි යමක් නොකල යුතු විය. ධනපති පාලනය පිලිගැනීමෙහි මග නොහැරිය හැකි අනුශාංගික නිගමනය වූයේ, සාර්වාදී තන්ත‍්‍රය පෙරලා දැමූ තැන් සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ සංග‍්‍රාමයක් ලෙස නව ඇසුරුමක් තුල බහාලූ, අධිරාජ්‍යවාදී යුද්ධය තුල රුසියානු සහභාගිත්වයට සහයෝගය දීමයි.

පෙබරවාරි නැගිටීම කෙරේ දැක්වුනු මෙම ආරම්භක බොල්ශෙවික් ප‍්‍රතිචාරයට යටින් පැවැති දේශපාලන ඉදිරිදර්ශනය වූයේ රුසියාව, මහා බ්‍රිතාන්‍යයේ හෝ ප‍්‍රන්සයේ පවතින ආකාරයේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනැගීම ඉලක්ක කර ගත් ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් තුලින් ගමන් කරමින් සිටි බවය. කම්කරුවන්ගේ ආන්ඩුවක් - එනම්, නිර්ධන පන්ති ආඥාදායකත්වය - සඳහා සටන, ඓතිහාසිකව හා ආර්ථික වශයෙන් අපරිනතයැයි ප‍්‍රතික්ෂේප කෙරුනි. ආර්ථික වශයෙන් පසුගාමී වූ ද, සිය ජනගහනයෙන් බහුතරය ගොවිජනයාගෙන් සමන්විත වූ ද රුසියාව සමාජවාදයට සූදානම් වී නොසිටියේය. කමනෙව් හා මෙම ආස්ථානය දරා සිටි අනෙකුත් බොල්ශෙවික් නායකයන්ට සාධාරනය ඉටු කරනු වස් කිව යුත්තේ, පෙබරවාරි විප්ලවය කෙරේ තම ප‍්‍රතිචාරය, දීර්ඝ කාලයක් පුරා තහවුරුව පැවැති බොල්ශෙවික් වැඩ පිලිවෙල වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය මත පදනම් වූ එකක් බැව් යුක්තියුක්ත ලෙස කියා සිටීමට ඔවුන්ට හැකිව තුබූ බව හා, ඇත්තෙන්ම ඔවුන් එසේ කියා සිටි බවයි.

ලියොන් ‍ ට්‍රොට්ස්කි

සාර්වාදී ආන්ඩුව පෙරලා දැමීමේ පදනම මත නැගී සිටිය යුතුව තුබූ තන්ත‍්‍රයෙහි පන්ති ස්වභාවය සම්බන්ධයෙන් සලකන කල මෙම වැඩපිලිවෙල, ඊට වැඩිම වාසි දී කිවහොත්, නොපැහැදිලි, දෙපැත්ත කැපෙන එකක් විය. තවද, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකාධිපතිත්වයේ වැඩපිලිවෙල, 1905 විප්ලවය තුල හා ඉන් ක්ෂනික ඉක්බිත්තේ ට්‍රොට්ස්කි විසින් සූත‍්‍රගත කොට තුබුනු නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් මූලිකවම වෙනස් වූවකි. හොඳින් දන්නා පරිදි, ට්‍රොට්ස්කිගේ න්‍යායෙන් පූර්වාපේක්ෂා කරන ලද්දේ, සාර්වාදයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය, කම්කරු පන්තියට බලය තමාගේම අතට ගැනීමට, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමට සහ, සුලු ධනපතියන්ගේ හා ධනපතියන්ගේ දේපල තුලට ගැඹුරින්, හා මාරාන්තික ලෙස පවා, කඩා වැදී අල්ලා ගැනීමට අවශ්‍ය කෙරෙන තතු නිර්මානය කෙරෙමින් ශීඝ‍්‍රයෙන් සමාජවාදී විප්ලවයක් බවට වර්ධනය වනු ඇති බවය.

එලැඹෙන රුසියානු විප්ලවය සමාජවාදී ස්වභාවයක් අත් කර ගනු ඇතැයි යන ට්‍රොට්ස්කිගේ පෙරදැක්ම, සැබැවින්ම වාම ව්‍යාපාරය තුල ඔහුගේ සියලු දේශපාලන සමකාලිකයන් විසින් - බොල්ශෙවිකයන් ද ඇතුලුව - රුසියාවේ පැවැති කොන්දේසි පිලිබඳ යථාරූපී නොවන ඇගයීමක් ලෙස, මනෝරාජික ඇගයීමක් ලෙස පවා, සලකා බැහැර කරනු ලැබීය. සමාජවාදී පියවර සඳහා ප‍්‍රමානවත් සූදානමක් නොවූ ආර්ථිකයක් සහිත රටක කම්කරු පන්තිය සෘජුව බලය ගැනීමක් ගැන කථා කිරීම කොටින්ම නොකලහැක්කක් විය.

කෙසේවෙතත් ට්‍රොට්ස්කිගේ විවේචකයින්, ඔහුගේ සිද්ධාන්තයට යටින් පැවති තර්කනය කෙරේ දැක්වූ අවධානය ප‍්‍රමානවත් නොවීය. සමාජවාදී විප්ලවයක් පිලිබඳ ට්‍රොට්ස්කිගේ පූර්වාපේක්ෂාව ව්‍යුත්පන්න කෙරුනේ, රුසියානු තතු පිලිබඳ ජාතිකව පදනම් කෙරුනු ඇගයීමකින් නොව, ධනේශ්වර ලෝක ආර්ථිකයේ විසිවන සියවසේ වර්ධනය හා සියලූ රටවල දේශපාලන ජීවිතය කෙරේ එහි බලපෑම ද පිලිබඳ විශ්ලේෂනයකිනි. ට්‍රොට්ස්කි 1907 දී තර්ක කලේ, ධනපති ක‍්‍රමයේ ගෝලීය වර්ධනය, “සමස්ත ලෝකයම තනි ආර්ථික හා දේශපාලන ඓන්ද්‍රිකයක් බවට පත් කොට ඇති” බවයි. සංකීර්න හා එකිනෙකට බැඳී ගත් ආර්ථික සබඳතා ජාලය, සියලු රටවල් විකල්පයක් නොතබාම “පෙර නොවූවිරූ පරිමානයේ සමාජ අර්බුදයක් තුලට” ඇද ගනු ඇත. නොවැලක්විය හැකි අර්බුදයේ විදාරනය විසින් ධනේශ්වර පාලනයේ “රැඩිකල් හා ලෝක පරිමාන අවසානයකට” පාර කැපෙනු ඇත. ගෝලීය අර්බුදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය රුසියානු විප්ලවය පිලිබඳ ඔහුගේ මූලෝපායාත්මක සංකල්පයන් නිර්නය කලේය. ධනේශ්වර අර්බුදයේ “ජාත්‍යන්තර ස්වභාවය” විසින් රුසියානු කම්කරු පන්තියට “ජව සම්පන්න ඉඩ ප‍්‍රස්තා” විවර කරනු ඇත. ට්‍රොට්ස්කි ලියූ පරිදි, “රුසියානු කම්කරු පන්තිය විසින් මග පෙන්වනු ලබන දේශපාලන විමුක්තිය, එකී කම්කරු පන්තියට අතිමහත් වත්කම් ද සම්පත් ද සම්පාදනය කරමින් හා, ඉතිහාසය විසින් සියලූ වෛෂයික පූර්ව කොන්දේසි සපුරනු ලැබ ඇති ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව අවසානයකට ගෙන ඒමේ කර්තව්‍යයේ ආරම්භකයා බවට එය පත් කර ගනිමින්, එය පෙර නොවූ විරූ මට්ටම් කරා ඔසොවා තබනු ඇත.” [10]

1914 ට පෙර දී ලෙනින්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායයෙන් ගලා එන මූලෝපායික දිශානතිය ප‍්‍රතික්ෂේප කොට තිබින. එහෙත් 1 වන ලෝක යුද්ධය ඇවිල යාම සහ දෙවැනි ජාත්‍යන්තරය ක්ෂනිකවම ජාත්‍යොත්තමවාදයට යටත්වීම, රුසියානු විප්ලවය පිලිබඳ ලෙනින්ගේ සංකල්පයන් මත ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේය. තනි සිද්ධියකට “සියල්ල වෙනස් කල” හැකිනම්, ලෝක යුද්ධය ඇවිල යාම එම වර්ගයේ වර්ධනයක් විය. 1914 අගෝස්තුවේ පටන් සියලු දේශපාලන වර්ධනයන් පිලිබඳව ලෙනින්ගේ අවබෝධයේ උල්පත වූයේ, ලෝක යුද්ධයේ හා දෙවැනි ජාත්‍යන්තරය පාවාදීමේ හේතූන් පිලිබඳ ඔහුගේ විශ්ලේෂනයයි. යුද්ධය යනු, කාල් කෞට්ස්කි අපේක්ෂා කල පරිදි, හුදෙක් එය අවසාන වූ පසුව සියල්ල අඩු වැඩි වශයෙන් 1914 අගෝස්තුවට පෙර පැවැති තත්වයට යලි පත්වන වර්ගයේ සිදුවීමක් නොවේ. ලෙනින්ට, ලෝක යුද්ධය මගින් අඟවන ලද්දේ ලෝක දේශපාලනයේ නව යුගයක ආරම්භයයි.

යුද්ධයට යන්තම් දෙවසරකට පෙර, 1912 බැසල් සම්මේලනයට සහභාගී වූ දෙවැනි ජාත්‍යන්තරයේ නියෝජිතයෝ, යුද්ධය ඇවිල යාමෙන් ඇතිවන අර්බුදය, ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව අතු ගා දැමීම සඳහා උපයෝගී කර ගන්නා බවට ප‍්‍රතිඥා දෙමින් අභියෝජනාවක් සම්මත කලහ. සමුලු නියෝජිතයන්ගේ අති බහුතරය මෙම අභියෝජනාව හුදු දේශපාලනිකව අර්ථවිරහිත වූ වාගාලංකාර අභ්‍යාසයක් ලෙස දුටු බවට යමෙකුට අවදානමකින් තොරවම අනුමාන කල හැකිව තිබුනි. කෙසේවෙතත් ලෙනින් එම අභියෝජනාව දුටුවේ දෙවැනි ජාත්‍යන්තරයේ සියලු ශාඛා බැඳී සිටින බැරෑරුම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ලෙසය.

තවද, ලෙනින් විසින් විශ්ලේෂනය කෙරුනු පරිදි, යුද්ධය යනු අහම්බයක් - ඒ හෝ මේ ජාතික ආන්ඩුවේ වැරදීම් හා වැරදි ගනන් බැලීම්වල ප‍්‍රතිඵලයක් - නොවීය. යුද්ධය මගින් නියෝජනය වූයේ, ධනේශ්වර-අධිරාජ්‍යවාදී ලෝක පර්යායේ ආර්ථික හා භූ දේශපාලනික සමතුලිතතාවය එකී සමස්ත පර්යායම අලලා ගත් ව්‍යසනකාරී බිඳවැටීමකට ලක්වීම විනා ඊට අඩු යමක් නොවේ. භයංකර හා පෙර නොවූවිරූ ප‍්‍රචන්ඩත්වයේ සුලිය තුලට දශලක්ෂ සංඛ්‍යාත ජනකායන් ඇද ගනිමින් පැතිර ගිය යුද්ධය, මෙකී සමස්ත පර්යාය අලලා ගත් බිඳවැටීමට යුරෝපයේ ධනේශ්වර පාලක පන්තීන් දැක්වූ ප‍්‍රතිචාරය විය. යුද්ධය යනු, යටත්විජිත හිමිකම් හා ස්වකීය ආනුභාවයේ පරාසයන් යලි බෙදා ගැනීමක් තුලින්, නව ආර්ථික හා දේශපාලන තුලනයක් අවසානයේ ගොඩනැගෙනු ඇති පරිදි “පද්ධතිය යථාවත්” කිරීමේ ඔවුන්ගේ ක‍්‍රමය විය.

පලමුවන ලෝක යුද්ධයේදී පශොන්ඩලේ යුද පෙරමුනේදී තුවාලවූ සොල්දාදුවන්

ධනපති විසඳුමට පටහැනි ලෙස, සියලු අධිරාජ්‍යවාදී රටවල කම්කරු පන්තියේ අත්‍යවශ්‍යම වූත්, නොවැලක්විය හැකි වූත් ප‍්‍රතිචාරය වූයේ ලෝක සමාජවාදී විප්ලවයයි. අධිරාජ්‍යවාදී පාලක පන්තීන්ගේ වෛෂයික භාවිතය තුල යුද්ධයේ ආකෘතිය අත්පත් කර ගත් එකී පද්ධතිමය බිඳවැටීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික භාවිතය තුල, තීව‍්‍ර වන ධනේශ්වර විරෝධී පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ ආකෘතිය අත් කර ගත යුතුය. යුද්ධය අවසන් කර දැමීම සඳහා ධනේශ්වර පන්ති පෙරලා දැමීම, ධනේශ්වර දේපල අයිතිය හා ලාභ පද්ධතිය මත පදනම් වූ ආර්ථික ක‍්‍රමය අහෝසි කිරීම සහ ජාතික රාජ්‍යය කුඩුපට්ටම් කර දැමීම අවශ්‍ය වේ. වැඩ පිලිවෙල හා භාවිතය තුල ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප‍්‍රතිපත්ති දිශානතිගත විය යුතුව තිබුනේ, සමාජ හා ආර්ථික වර්ධනයේ මෙම වෛෂයික ප‍්‍රවනතාවයෙහි දැනුවත් ප‍්‍රවර්ධනය සඳහාය.

අධිරාජ්‍යවාදී යුද්ධය මෙම ගෝලීය රාමුව තුල බහා වටහා ගැනීමේ ආස්ථානයෙන් ගත් කල රුසියාව, - ලෝක ආර්ථිකයේ හුදෙකලා “ජාතික” ඒකකයක් ලෙස - සමාජවාදී විප්ලවයට “සූදානම්ව” නොසිටියේයැයි තර්ක කලවුන්ට ඇත්තෙන්ම වැදගත්ම දේ මග හැරී ඇතැයි පැහැදිලිව පෙනී ගියේය. ජාතිකව පදනම් වූ සමාජවාදයක වැඩපිලිවෙලක් වෙනුවෙන් ලෙනින් පෙනී සිටියේ නැත. ලෙනින් (හා, සැබැවින්ම ට්‍රොට්ස්කි ද) සම්බන්ධයෙන් ගත් කල, රුසියාව සමන්විත වූයේ ලෝක පරිමාන වූ අරගලයක තීරනාත්මක පෙරමුනකිනි. තතුවල සංකීර්න සංයෝජනයක් මගින්, ලෝක සමාජවාදී විප්ලවයේ ප‍්‍රථම මහා පෙරමුන විවර කිරීමේ කර්තව්‍යය රුසියානු කම්කරු පන්තියේ උර මත රඳවා තිබින.

ලෙනින් රුසියාව කරා පෙරලා පැමිනි කල්හි ඔහුට, විප්ලවය ජාතික රාමුවක බහා වටහා ගැනීමට තැත් කල බොල්ශෙවික් පක්ෂය තුල එකී සියලු ප‍්‍රවනතාවලට එරෙහිව තීව‍්‍ර දේශපාලන අරගලයක නියැලීමට සිදුවිය. ලෙනින් 1917 අප්‍රේල් 24 වන දින රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ හත්වන සමස්ත රුසියානු සම්මේලනය විවෘත කලේ පහත දැක්වෙන නිවේදනයත් සමගය:

සහෝදරවරුනි, අප මෙහි රැස්ව සිටින්නේ, රුසියානු විප්ලවයේ මෙන්ම වර්ධනය වෙමින් පවත්නා ලෝක විප්ලවයේ ද කොන්දේසි යටතේ නිර්ධන පන්තියේ පක්ෂය විසින් පවත්වනු ලබන ප‍්‍රථම සම්මේලනය ලෙසය. විද්‍යත්මක සමාජවාදයේ ආදී කර්තෘවරුන් ස්ථිරසාර ලෙස කියා සිටි හා බැසල් සම්මේලනයේ රැස්ව හුන් සමාජවාදීන් ඒකමතිකව පෙරදකින ලද කරුන, එනම්, ලෝක යුද්ධය නිසැකවම විප්ලවයට මග හෙලි කරනු ඇතැයි යන කරුන, නිවැරදි බවට සෑම තන්හිදී ම ඔප්පු වෙමින් ඇත....

විප්ලවය ආරම්භ කිරීමේ මහත් ගෞරවයට හිමිකම් කීමට රුසියානු නිර්ධන පන්තියට අවකාශ ලැබී ඇත. එහෙත් තම ව්‍යාපාරය හා විප්ලවය, හුදෙක් ලෝක විප්ලවවාදී නිර්ධන පන්ති ව්‍යාපාරයේ කොටසක් පමනක් බැව් - රුසියානු නිර්ධන පන්තිය අමතක නොකල යුතුය - ගතවන සෑම දිනයක් පාසාම වැඩි ජවයක් හා වේගයක් අත්පත් කර ගනිමින් සිටින ජර්මනියේ ව්‍යාපාරය මේ පිලිබඳ උදාහරනයක් ලෙස දැක්විය හැකිය - අපට අපේ කර්තව්‍යයන් අර්ථ දක්වා ගත හැක්කේ මෙම දෘෂ්ටි කෝනයෙන් පමනෙකි. [11 ]

ලෙනින් වැඩි දුරටත් මෙසේ පැවසීය:

සියලු ධනේශ්වර රටවල් එකිනෙක සමග සමීපව බැඳී ඇති හෙයින්, අධිරාජ්‍යවාදය පිලිබඳව මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් සාකච්ඡා කිරීමේදී, යමෙකු එක් රටක පමනක් පවත්නා කොන්දේසිවලට තමා සීමා වී ගැනීම අභූතරූපී වෙයි. දැන්, යුද කාලයේ දී, මෙකී බැඳීම තවත් වර්ධනය වී අපරිමේය ලෙස ශක්තිමත්ව පවතී. සකල මනුෂ්‍ය වර්ගයාම ලේ වැකි ව්‍යාකූලත්වයකට ඇද දමා ඇත්තේ, කිසිදු ජාතියකට ඉන් ගැලැවී තමන්ගේ පාඩුවේ සිටීමට නොහැකි වන පරිද්දෙනි. වැඩියෙන් හා අඩුවෙන් වර්ධනය වූ රටවල් ඇති නමුදු, යුද්ධය ඔවුන් සියලූ දෙනා එකට තබා රැහැන් පට රාශියකින් ගැට ගසා ඇත්තේ, කිසිදු තනි රටකට තමාගේම කැමැත්තට අනුව ක්‍රියා කිරීම සිතීමටවත් නොහැකිවන ආකාරයකටය. [12]

බලය සඳහා අරගලයේ ඉදිරි දර්ශනයට පක්ෂය දිනා ගැනීමට සමත් වීමෙන් පසුව පවා, පක්ෂ මූලෝපායේ ජාත්‍යන්තරවාදී පදනම් පිලිබඳව අවධාරනය කිරීමට ලෙනින් දිගින් දිගටම නිර්දය ලෙස කටයුතු කලේය. ලිපි, මහජන රැස්වීම්වල පැවැත්වූ කථා හා විද්වත් දේශනවලදී ඔහු පැහැදිලි කලේ, යුද්ධය හා රුසියාවේ විප්ලවය ලෝක අධිරාජ්‍යවාදයේ අර්බුදයෙන් පැන නැගුනු බවයි. “යුද්ධය හා විප්ලවය” මැයෙන් 1917 මැයි 4 වන දින පැවැත්වූ දේශනයක දී ලෙනින් මෙසේ ප‍්‍රකාශ කලේය:

සියලූ ධනේශ්වරයන් විසින් පවත්වා ගෙන යනු ලැබෙන යුද්ධය මෙකී ධනේශ්වරයන්ට එරෙහි කම්කරුවන්ගේ විප්ලවයකින් තොරව අවසාන විය නොහැක. පාලනය යන්න ක්‍රියාවක් නොව හුදු වාක්‍යඛන්ඩයක් වන තාක් කල්, ධනපතීන්ගේ ආන්ඩුව විප්ලවකාරී නිර්ධන පන්තියේ ආන්ඩුවකින් විස්ථාපනය නොකෙරෙන තාක් කල්, ආන්ඩුවට නියම වී ඇත්තේ හුදෙක් පහත යෙදුම යලියලිත් කීමටය: අප ගමන් කරන්නේ ව්‍යසනයකට, ව්‍යසනයකට, ව්‍යසනයකට....

මෙම යුද්ධය අවසාන කල හැකි එකම මග රටවල් ගනනාවක කම්කරුවන්ගේ විප්ලවයකි. ඒ අතරතුර අපි එම විප්ලවයට කටයුතු සූදානම් කල යුත්තෙමු. අප ඊට ආධාර කල යුතුය. [13]

බලය ගැනීමට බොල්ශෙවිකයන් ගත් තීන්දුව අසාමාන්‍ය දේශපාලන ධෛර්යයක හා - ඒ සමග, එම පදයේ හොඳම අර්ථයෙන් කිවයුතු - දේශපාලන “අභිප‍්‍රායක” නිරූපනයක් විය. මෙම ඓතිහාසික තත්වය තුල බොල්ශෙවිකයන්ගේ “බලය සඳහා වූ අභිප‍්‍රාය” යනු කවර වර්ගයක හෝ ආත්මීය ස්වේච්ඡානුගතතාවක ප‍්‍රකාශනයක් නොව, දේශපාලන භාවිතය වෛෂයික යථාර්ථය සමග අත්‍යවශ්‍ය ලෙස එකෙලි කිරීමක් විය. ඔක්තෝබර් විප්ලවයේ විවේචකයෝ, එහි සමාජවාදී අභිලාෂයන් කෙරේ සහානුභූතියක් දක්වන අය පවා, බලය ගැනීමේ තීන්දුව පමනට වඩා අවදානම්කාරී වී යැයි තර්ක කලෝය. විප්ලවය මධ්‍යම හා බටහිර යුරෝපය කරා, විශේෂයෙන්ම ජර්මනිය කරා, විස්තාරනය කිරීම මත සෝවියට් රුසියාවේ ඉරනම රැඳී පවතිතැයි ලෙනින් හා ට්‍රොට්ස්කි විශ්වාස කල බව සැලකූ කල, වෙනත් රටක කම්කරුවන් බලය අල්ලා ගැනීම මත බොල්ශෙවික් ප‍්‍රතිපත්ති පදනම් කිරීම අනතුරුදායක ක්‍රියාවක් - සාහසික නොසැලකිලිමත්බවක් පවා - නොවී ද? ජර්මන් විප්ලවයේ සාර්ථකත්වය මත බොල්ශෙවිකයෝ පමනට වඩා විශාල ඔට්ටුවක් නොතැබුවෝ ද? වඩාත් අඩු ගැටලුවලට මුහුන දෙමින් සාර්ථකත්වය අත්පත් කර ගනු සඳහා ජර්මනියේ විප්ලවවාදී ව්‍යාපාරය සාර්ථකත්වයන් ලබා ගන්නා තුරු විප්ලවවාදී ක්‍රියාමාර්ග පමා කිරීම වඩාත් ඥානවන්ත පිලිවෙතව නොතිබිනි ද?

මේ සංශයවාදී දෘෂ්ටිය මගින් එලිමහනට පැමිනෙන්නේ ඓතිහාසික ක්‍රියාවලිය මෙන්ම ජාත්‍යාන්තර විප්ලවවාදී අරගලයේ ගතිකය ද යන කාරනා දෙකම සම්බන්ධයෙන් වන දුර්වල අවබෝධයයි. ඔක්තෝබර් විප්ලවයට කෙටි කලකට පෙරාතුව, “බොල්ශෙවිකයන්ට රාජ්‍ය බලය රැක ගත හැකිද?” යන මාතෘකාවෙන් ලියූ පොත් පිංචක ලෙනින්, සමාජ විප්ලවයක් “නැවතුම්පොලක නැවත්වීමට සූදානම් වන ජර්මානු ශීඝ‍්‍රගාමී දුම්රියක මෙන් සාමකාමී, තැන්පත්, සුමට හා නිරවද්‍ය ආකාරයෙන් ඉතිහාසය විසින් මෙහෙයවනු ලබන්නේ නම් පමනක්” ඊට අනුමැතිය දීමට සූදානම්ව සිටියවුන් සමච්චලයට ලක් කලේය. නිසි පරිදි නැවතුමට එලඹුනු කල “ශාන්ත මැදිරි පාලකයෙක් මැදිරි දොර හැර, ‘සමාජවාදී විප්ලවයේ නැවතුම්පොල! ්කකැ ්මිිඑැසටැබ` (හැමෝම බහින්න)’යැයි පවසනු ඇත.” [14] එවිට සියලු දෙනා බැස යා යුතුය.

බලය ගැනීමට එරෙහිව නිරතුරුව නගන ලද තවත් තර්කයක් ලෙනින් උපුටා දැක්වීය. ඊට අනුව, දේශපාලන තත්වය ඒ සා “සුවිශේෂී ලෙස සංකීර්න” නොවීනම්, විප්ලවය ඉතා ඉහලින්ම නිර්දේශ කල හැකි ක්‍රියාමාර්ගය විය හැකිව තිබින. සිය සෝපහාසය යටපත් කර ගැනීමට වැඩි උත්සාහයක් නොදරමින් ලෙනින්, “සංකීර්න නොවන” තත්වයක් උදා වන තුරු බලා සිටීමට බොල්ශෙවිකයන්ට බල කරමින් සිටි “නැනවතුන්ට” මෙසේ පිලිතුරු දුන්නේය:

එවැනි විප්ලව කිසිදා ඇති නොවේ. එවැනි විප්ලවයක් වෙනුවෙන් සුසුම් හෙලීම ධනේශ්වර බුද්ධිමතෙකුගේ ප‍්‍රතිගාමී අඳෝනාවකට වඩා වැඩි යමක් නොවේ. ඉදින් විප්ලවයක් වැඩි සංකීර්නත්වයකින් තොර සේ පෙනී යන තතු තුල ආරම්භ වූව ද විප්ලවයේ වර්ධනය විසින් සුවිශේෂී සංකීර්න තත්වයන් සෑමවිටම නිර්මානය කරනු ඇත. විප්ලවයක් යනු; තථ්‍ය, ප‍්‍රගාඪ, “ජනතාවගේ” විප්ලවයක් යනු; මාක්ස් ප‍්‍රකාශ කල පරිදි කිවහොත්, පැරනි සමාජ පර්යාය හා කෝටි සංඛ්‍යාත ජනයාගේ ජීවන මාදිලිය මරනයට පත්වීමේත්, නව සමාජ පර්යායක් උපත ලැබීමේත්, ඇදහිය නොහැකි තරම් සංකීර්න වූත් වේදනාකාරී වූත් ක්‍රියාවලියයි. විප්ලවය යනු තීව‍්‍රම, දරුනුම හා නිරපේක්ෂිතම පන්ති අරගලය හා සිවිල් යුද්ධය වේ...

තත්වය සුවිශේෂී ලෙස සංකීර්න නොවේ නම්, එවිට විප්ලවයක් ඇති නොවනු ඇත. වෘකයන්ට බිය නම්, ඔබ කැලෑවට නොයා යුතුය. [15]

පොදුවේ ඉතිහාසයත් සුවිශේෂීව විප්ලවයනුත් විසින් ප‍්‍රතිඵල පරිපූර්නව පෙරදැකිය හැකි, පැහැදිලි විකල්ප සෑමවිටම ඉදිරිපත් කෙරේ නම්, සහ වඩාත් දුර දිග දක්නා වූත්, ප‍්‍රගතිශීලි වූත් ක්‍රියාමාර්ග සෑමවිටම අවම අනතුරු සහිත හා අඩුවෙන්ම ඉල්ලා සිටින දේ නම්, ඒවා කෙතරම් නිරාකූල හා සරල කටයුතු විය හැකිව තුබුනේ ද? යථාර්ථයේ දී ශ්‍රේෂ්ඨ ඓතිහාසික ව්‍යාපෘතීන් ඉදිරිපත් වන්නේ, දැවැන්ත අවදානමක් සහිත, විශාල කැප කිරීම් අවශ්‍ය කරන, වේදනාකාරී තීරන ඉල්ලා සිටින, අතිශයින්ම පීඩාකාරී ගැටලුවල රූපාකාරයෙනි.

ප‍්‍රථම කම්කරු රාජ්‍යය ගොඩ නැගූ ඔක්තෝබර් විප්ලවය වූ කලී, හරියටම එවැනි ශ්‍රේෂ්ඨ සහ - එම වචනයම යොදා ගන්නේ නම් - සංකීර්න ව්‍යාපෘතියකි. 1917 ඔක්තෝබරයේ දී ද ඉනික්බිතිව ද උදා වූ මාස හා අවුරුදුවලදී ඇති වූ සිද්ධීන්හි ගමන්මග කෙරේ බල පෑ යම් වැදගත් කොන්දේසි අපි සිහියේ තබා ගනිමු. විප්ලවය හට ගැනුනේ, මිහි මත භූමියෙන් හයෙන් පංගුවක් වසා පැතිර ගිය, අතිවිශාල හා පුරාතන අධිරාජ්‍යයක කැඩීබිඳී යාම කඩිනම් කරමින් ලෝක ගෝලය වසා ඇවිල ගිය ගිනි ජාලාවක් මධ්‍යයේය. පෙබරවාරි හා ඔක්තෝබර් අතර වර්ධනය වූ සිද්ධීන්ගේ විස්මයදනවන වේගය නිර්නය කෙරුනේ, 1917 දී රුසියාව යට කර දමමින් ගලා ගිය භූ දේශපාලනික, සමාජ හා ආර්ථික අර්බුදයේ පරිමානය විසිනි. 1917 ශරත් සෘතුවේ “ආසන්නව එලැඹෙන ව්‍යසනයක්” පිලිබඳව ලෙනින් අනතුරු හඟවන විට, ඔහුගේ වචන තෝරා ගැනීම තුල අතිශයෝක්තියේ අංශුමාත‍්‍රයක්වත් නොවීය. ධනපති තාවකාලික ආන්ඩුව වේවා, සෝවියට් සභා තුල මෙන්ෂේවිකයන් සහ සමාජ විප්ලවකාරින් අතර සිටි එහි අනුචර පිරිස වේවා, ඒ සා සාතිශය දැවැන්ත පරිමානයක අර්බුදයක් සමග ගනුදෙනු කල හැකි පිලිවෙත් ක්‍රියාවට නංවනු තබා, එවැනි සංගත පිලිවෙත් සමූහයක් සූත‍්‍රගත කර ගැනීමට පවා අසමත් වූහ. ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ ඔහුගේ එකම අදහස් දැක්වීමෙහි දී ව්ලැඩිමීර් පුටින්, 1917 අර්බුදයට වඩාත් සාමකාමී විසඳුමක් සොයා ගත නොහැකි වීම ගැන කනගාටුව පල කලේය:

අප මේ ප‍්‍රශ්නය ඇසිය යුතුය: විප්ලවය නොව පරිනාමය හරහා, රාජ්‍යත්වය වනසා දැමීමෙන් හා දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඉරනම කාබාසිනියා කිරීමෙන් තොරව, ක‍්‍රමානුකූලව, අඩියෙන් අඩිය ප‍්‍රගතියට යමින් වර්ධනයවීමට ඇත්තෙන්ම නොහැකිද? [16 ]

පුටින් 1917 දී ජීවත්ව සිටියේ නම්, ඔහු තාවකාලික ආන්ඩුවේ පොලිසියට සම්බන්ධ කිසියම් දෙපාර්තමේන්තුවක නිලධාරියෙකු වශයෙන් සිටියේ නම්, රාජ්‍යයේ පැරනි ආයතන ජනසම්මතයෙන් ප‍්‍රතික්ෂේප වී යාම පිලිබඳව කුපිතව, වීථිවල ප‍්‍රචන්ඩත්වයෙන් භීතියට පත්ව, නිසි පාලනය ප‍්‍රතිසංස්ථානය කිරීමට ජනරාල් කොර්නිලොව් අසමත්වීම නිසා විස්සෝපව, බොල්ශෙවිකයන්ට කර්කශ ලෙස සතුරුව සිටිනු ඇති ආකාරය යමෙකුට සිතා ගත හැකිය.

1917 දී, අර්බුදයට පරිනාමීය හා සාමකාමී විසඳුමක් කොටින්ම සොයා ගත හැකිව තුබුනේ නැත. තාවකාලික ආන්ඩුවේ ද, ඔක්තෝබරයට පෙර සෝවියට් සභාවල “මධ්‍යස්ථ” සමාජවාදී නායකත්වයේ සමස්ත ප‍්‍රතිසංස්කරනවාදී ඉදිරි දර්ශනයේ ද අසාර්ථකත්වය සාක්ෂ්‍ය දැරුවේ, අර්බුදය ධනේශ්වර පදනමක් මත හෝ, රුසියානු ජාතිකවාදයේ රාමුව තුල හෝ විසඳිය නොහැකිව තුබූ බවටය.

සාර්ථකව බලය ලබාගැනීමෙන් පසු මොස්කව් හිදී ලෙනින් කථාකරයි

ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කෙරුනු ලෝක සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙල, යුරෝපා යුද්ධයේ පැතිර යාමත් සමග ආරම්භව තුබූ සංස්ථානික බිඳවැටීමට දැක්විය හැකි වූ එකම ශක්‍ය මූලෝපායික ප‍්‍රතිචාරය වූයේය. බොල්ශෙවික් ප‍්‍රතිපත්තිවල ඇතැම් අංශයන් පිලිබඳව තමාගේම විවේචනයන් තිබියදී වුව එය නොතකා රෝසා ලක්සම්බර්ග් මෙසේ ලියුවාය: “බොල්ශෙවිකයන් සිය පිලිවෙත් මුලුමනින්ම ලෝක නිර්ධන පන්ති විප්ලවය මත පදනම් කිරීම විසින් ඔවුන්ගේ දේශපාලන දුරදක්නාභාවය, මූලධර්ම සම්බන්ධයෙන් දක්වන දෘඩභාවය හා ඔවුන්ගේ පිලිවෙත්වල විෂය පථයෙහි ප‍්‍රගල්භ ස්වභාවය ඔප්පු කෙරේ.” [17]

රෝසා ලක්සම්බර්ග්

ඉතිහාසය බොල්ශෙවිකයන් කෙරේ මීට වඩා කාරුනික වී නම්, ජර්මනිය තුල කම්කරු පන්තිය බලය ගැනීම ඔක්තෝබර් විප්ලවයට පූර්වයෙන් හෝ, අඩු තරමින් ඒ සමග එක විටම හෝ සිදුවිය හැකිව තිබිනි. එහෙත්, ට්‍රොට්ස්කි පසුකලෙක ලියූ පරිදි, ඉතිහාසය කාරුනික වූයේ නැත. එය ”නපුරු කුඩම්මා” කෙනෙක් විය. ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පාවාදීම විසින් එම “ශක්‍යතාවය වලකා ලන ලදී. එම පාවාදීම විසින් හුදෙක් ජර්මන් විප්ලවය ප‍්‍රමාද කෙරුනා පමනක් නොව, එමගින් ජර්මානු කම්කරු පන්තිය තුලට ව්‍යාකූලතා හා භේදයන් ද හඳුන්වා දෙනු ලැබීය.

විප්ලවය රැක ගත හැක්කේ තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමෙන් පමනක් බව, විශේෂයෙන්ම 1917 ගිම්හානයේ අගභාගයේ ජනරාල් කොර්නිලොව්ගේ ප‍්‍රතිවිප්ලව ප‍්‍රයත්නයෙන් අනතුරුව පැහැදිලිවම පෙනී ගොස් තිබින. ඒ අනුව බොල්ශෙවිකයන් රාජ්‍යය බලය අත්කර ගත හැකි තැනකට පත් කලේ, දේශපාලන හුදෙකලාවේ කොන්දේසි යටතේය. ඔවුන්ට රුසියාව තුලදී (ලෝක අධිරාජ්‍යවාදයේ සහාය ලද) ප‍්‍රතිවිප්ලවවාදී බලවේගවලට එරෙහිව විප්ලවය ආරක්ෂා කිරීමේ හා ඒ අතරවාරයේ ලෝක සමාජවාදී විප්ලවයේ අභිලාෂයන් පෙරට ගෙන යනු වස් කල හැකි සියල්ල ඉටුකිරීමේ කර්තව්‍යයන් දෙකටම එකවර මුහුන දීමට සිදුවිය. වෙන් කල නොහැකි පරිද්දෙන් එකිනෙකට බැඳී ඇති මෙම අන්තර්සම්බන්ධිත පාර්ශ්වයෝ, රතු හමුදාව නිර්මානය කිරීම හා කොමියුනිස්ට් (තුන්වන) ජාත්‍යන්තරය පිහිටුවීම තුල සිය ප‍්‍රකාශනය සොයා ගත්හ. කොමින්ටර්නයේ පලමුවන සම්මේලනය 1919 මාර්තුවේ මොස්කව්හි දී පැවැත්වින. ඊලඟ සම්මේලන තුන 1920, 1921 හා 1922 දී වාර්ෂික පදනමක් මත පවත්වන ලදී. එම සමුලුවල විවාද හා සමුලු යෝජනා අද දිනය දක්වාම, විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ න්‍යායික හා දේශපාලනික අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය අංග ලෙස පවතී.

රතු හමුදාව නිර්මානය කිරීමෙන් තොරව - විශේෂයෙන්ම සෝවියට් රුසියාවේ දේශසීමාවලින් ඔබ්බෙහි කම්කරු පන්තිය පරාජයන් අත් විඳි තතු යටතේ - විප්ලවය රැකගැනීමට නොහැකි වනු ඇත. මෙහිදී, යුද කටයුතු පිලිබඳ කොමිසාර්වරයා හා රතු හමුදාවේ ප‍්‍රධාන අනදෙන නිලධාරියා ලෙස ට්‍රොට්ස්කි ඉටු කල තීරනාත්මක කාර්යභාරය - කෙටියෙන් වුව - සඳහන් කිරීම අත්‍යවශ්‍යය. ඉතිහාසඥ ජොනතන් ඩී. ස්මිල් - රුසියානු සිවිල් යුද්ධ (ඔහු එය දක්වන්නේ බහුවචනයෙනි) පිලිබඳ වටිනා අධ්‍යයනයක් කල කර්තෘවරයා - මෙසේ ලියයි: “1912 දී බෝල්කන් ප‍්‍රදේශයන්හි යුද වාර්තාකරුවෙකු ලෙස ලද මාස කිහිපයක අත්දැකීම් සමග, ප‍්‍රචාරකයෙකුගේ සිට දශලක්ෂ සංඛ්‍යාත ශක්තිමත් හමුදාවක සංවිධායකයෙකු දක්වා වූ ට්‍රොට්ස්කිගේ පරිවර්තනය අපූර්ව එකකි.” තවද, “පක්ෂපාතිත්වය පොලඹවා ලීමට ට්‍රොට්ස්කිට පැවැති හැකියාව” හා “ඥානවන්ත උපදේශකයන් තෝරා ගැනීමට වූ හැකියාව” කෙරේ සෙමෙලි අවධානය කැඳවන්නේ ඒවා ඔහුගේ නායකත්වයේ වැදගත් ගුනාංග ලෙස පෙන්වා දෙමිනි. 18

තවත් අධ්‍යයනයක දී (එක්සත් ජනපද යුද විදුහලේ උගැන්වූ) කර්නල් හැරල්ඩ් ඩබ්ලිව්. නෙල්සන්, හමුදා මූලෝපායික ශූරයෙකු හා නායකයෙකු ලෙස ට්‍රොට්ස්කිට සුවිශේෂී කුසලතාවයන් තුබූ බැව් අවධාරනය කරයි. “උපායාත්මක ජයග‍්‍රහනවලට වඩා වේගය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳ වඩාත් පරිසමාප්ත අවබෝධයක් ඔහු සතු විය. තවද, දේශපාලන අරමුනු වෙනුවෙන් භට කන්ඩායම් වෙන් කර දැමීමට වඩා තීරනාත්මක රන මඬලට සිය බලඇනි ඒකරාශී කිරීමේ වැදගත් කම පිලිබඳ ඔහුට හැඟීමක් තිබින. බෝල්කන් යුද්ධ පිලිබඳ ඔහු ඉහත ලියන ලද ලේඛනවලින් හෙලිදරව් වන්නේ යුද්ධයේ සටන් කිරීමට සිදුව ඇති අයවලුන් කෙරේ යුද්ධය ඇති කරන බලපෑම පිලිබඳව ඔහු දැක්වූ තියුනු උනන්දුවයි. “මිනිස්සු යුද්ධයේදී කුමක් කරත්දැයි දැන ගැනීමට” ට්‍රොට්ස්කිට “අවශ්‍ය විය. තවද, යුද්ධය මිනිසුන්ට කුමක් කරන්නේදැයි සොයා ගැනීමට තමාට හැකි විය යුතුයැයි ඔහු ප‍්‍රාර්ථනා කලේය. ඔහුගේ කුතුහලය හුදු නිරීක්ෂකයෙකුගේ අකර්මන්‍ය කුතුහලයක් නොව, ශිෂ්‍යයෙකුගේ ලාලසීය උද්යෝගයක් විය.... අත්‍යවශ්‍ය සමාජ ප‍්‍රශ්න කෙරේ දැක්වූ මෙම ලාලසීය උද්යෝගය ට්‍රොට්ස්කිගේ ස්වභාවයයි. තවද, ඔහු යුද්ධය පිලිබඳව අධ්‍යයනය කලේ ඉන් ඉහත කාලයේ ආර්ථික විද්‍යාව, භාෂා සහ විප්ලවවාදී න්‍යාය හැදෑරීමෙහි දී දැක්වූ තරමේම අභිරුචියකින් යුතුවය.” [19]

සුවිශේෂී පරිපාලන හා සංවිධානාත්මක හැකියාවන් ට්‍රොට්ස්කි සතු විය. එහෙත් රතු හමුදාවට ට්‍රොට්ස්කි ලබා දුන් නායකත්වයේ ප‍්‍රමුඛ අංගය වූයේ රුසියාව තුල ක්‍රියාත්මක වූ සමාජ බලවේග අතර සංකීර්න අන්තර්ක්‍රියාවන් ද, ලෝක අධිරාජ්‍යවාදී ක‍්‍රමය තුල ක්‍රියාත්මක වන සදාකාලිකව විස්ථාපනය වෙමින් පවත්නා භූදේශපාලන හා ආර්ථික උත්සුකයන් හා ප‍්‍රතිරෝධයන් ද, මේ සියලු ගෝලීය ක්‍රියාවලීන් විවිධ රටවල් තුල පන්ති අරගලයට හා සමස්තයක් ලෙස ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනයට ඇති කරන බලපෑම් ද, ඓතිහාසික හා දේශපාලනික වශයෙන් ග‍්‍රහනය කිරීමෙහිලා ඔහුට පැවැති අසමාන හැකියාවයි. තවද මෙම ක්‍රියාවලිය තුල කම්කරු පන්තියේ අරගලය හා විශේෂයෙන්ම, මාක්ස්වාදී පෙරටුබලඇනියේ දේශපාලන මූලිකත්වයන් වැදගත් කාර්යභාරයක් ඉටු කල අතර, ඇතැම් සුවිශේෂී කොන්දේසි යටතේ, ලෝක ඉතිහාසයේ ගමන් මග නිර්නය කෙරෙන තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

බහුවිධ සතුරන්ට එරෙහිව සහ සැතපුම් දහස් ගනනක් පුරා විහිදුනු යුද පෙරමුනු ගනනාවක් හරහා රතු හමුදාවේ අරගලය මෙහෙයවීමේදී ට්‍රොට්ස්කි දිගටම යත්න දැරුවේ, සමාජවාදී විප්ලවයේ ගෝලීය වර්ධනය තුල ඔක්තෝබර් විප්ලවය දරන ස්ථානය අවබෝධ කොට ගැනීමටය. ලෝක විප්ලවයන්හි අතිමහත් සංග‍්‍රාමභූමියේ එක් අංශයක පසුබෑම් තිබියදීම තවත් අංශයක කඩාබිඳගෙන යාමක් සඳහා උපායාත්මක අවස්ථාවන් මතු වී ආ හැක.

ජර්මනිය හා හංගේරියාව තුල නැගිටීම් පරාජය වීමෙන් ඉක්බිති, යුරෝපයේ සමාජවාදී විප්ලවයෙහි ජයග‍්‍රහනය, තමන් මුලදී තැබූ අපේක්ෂාවන්ට වඩා කල් ගතවන ක්‍රියාවලියක් වනු ඇති බව බොල්ශෙවිකයෝ වටහා ගත්හ. කෙසේවෙතත් බොල්ශෙවිකයන්ගේ ජයග‍්‍රහනය විසින් දේශපාලන ජීවිතය පුබුදුවන ලද පෙරදිග ජනයාගේ ආලෝලනයන්, ලෝක විප්ලවයේ වර්ධනයෙහි ලා නව ශක්‍ය තාවයන් වර්ධනය කලේය. 1919 අගෝස්තුවේ ඔහු සිය යුද දුම්රියේ සිට (ඒ වන විට පක්ෂය යලි නම් කොට තුබූ පරිදි) රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දීර්ඝ සිහිපතක් යැවීය. එහි ඔහු මෙසේ ලිවීය:

ලෝක දේශපාලනයේ ආසියානු භූමිභාගයන්හිදී අපේ රතු හමුදාව, යුරෝපා භූමිභාගයන්හි දී එය දරන බලයට වඩා සැසඳිය නොහෙන තරමේ වැඩි බලගතුකමකින් යුතු බැව් නිසැකය. මෙහිදී එය අප ඉදිරියේ නිසැක අවස්ථාවන් විවෘත කොට ඇත්තේ, හුදු යුරෝපයේ සිදුවීම් කෙසේ වර්ධනය වන්නේදැයි දීර්ඝ කාලයක් පුරා බලාසිටීමෙන් නොනැවතී, ආසියානු ක්ෂේත‍්‍රය තුල කටයුතු කිරීමට ය. දෙන ලද අවස්ථාවේදී අපට ඉන්දියාව කරා මාවත සෝවියට් හංගේරියාව කරා මාවතට වඩා කෙටි හා පහසුවෙන් ගෙවා යා හැකි එකක් බවට ඔප්පු විය හැකිය. මේ මොහොතේ යුරෝපයේ තුලාවෙහි ලූ කල එතරම් වැදගත්කමක් නොදරන මාදිලියේ හමුදාවකට යටත්විජිත පරාධීනත්වයේ පවතින ආසියානු සබඳතාවල අස්ථායී සමතුලිතතාව අවුල් කර දැමීමට, පීඩිත ජනයාගේ නැගිිටීමකට සෘජු තල්ලුවක් දීමට හා ආසියාවේ එබඳු නැගී සිටීමක ජයග‍්‍රහනය තහවුරු කිරීමට හැකිය....

යූරල්හි හා සයිබීරියාවේ අපේ යුදමය සාර්ථකත්වයන් විසින්, සමස්ත පීඩිත ආසියාව පුරාම සෝවියට් විප්ලවයේ කීර්තිය සුවිශේෂී ඉහල මට්ටම්වලට නංවනු ඇත. මෙම සාධකයෙහි නිසි ඵල ලබමින්, යූරල්හි යම් ස්ථානයක හෝ තුර්කිස්තානයේ, ආසියානු විප්ලවයේ දේශපාලන හා මිලිටරි මූලස්ථානය ලෙස විප්ලවවාදී අධ්‍යාපනායතනයක් පිහිටුවීමට යොමු විය යුතුය. ක්ෂනිකව එලැඹෙන සමය තුල එය තුන්වැනි ජාත්‍යන්තරයේ විධායක කමිටුවට වඩා බෙහෙවින් ඵලදායි විය හැකිය. 20

යුරෝපයේ කම්කරු පන්තිය 1919 හා 1921 අතර කාල පරිච්ෙඡ්දයේදී මුහුනපෑ පසුබැසීම් පැහැදිලි කරන්නේ, බොලශෙවිකයින් කලින් සිතුවාට වඩා සමාජවාදී විප්ලවය වඩාත් දිග්ගැස්සුන ක්‍රියාවලියක් වුන බවයි. ධනපති ඉතිහාසඥයින් පොදුවේ කියන පරිදි, රුසියාව තුල බලය ගැනීමේ තීරනය, යුරෝපීය තත්වයන් පිලිබඳ සාවද්‍ය අගැයීමක් මත පදනම් වූ බවක් මින් අදහස් නොකරයි. සැබවින්ම ඔක්තෝබර් විප්ලවය, යුරෝපයේ කම්කරු පන්තියෙහි දැවැන්ත රැඩිකලීකරනයකට දායක විය. ජර්මනියේ හා හංගේරියාවේ මෙන් නැගිටීම් ද ඉතාලියේ මෙන් දැවැන්ත වැඩවර්ජන ද සිදු විය. එහෙත් මේ ව්‍යාපාරයන්හි පරාජය විසින්, විප්ලවවාදී ඉදිරිදර්ශනයෙහි නිශ්චිත මූලිකාංග පිලිබඳව යලි සිතා බැලීම අවශ්‍ය කෙරේ.

ඔක්තෝබර් විප්ලවයෙන් හා ඉනික්බිති කාලයේ තීරනාත්මක පාඩම් නිසැකවම මතුව තිබේ. පලමුවෙන්, කම්කරු පන්තියට නායකත්වය සැපයීමට සමත් විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක පැවැත්ම පිලිබඳව 1914ට පෙරාතුව අගැයීමක් කල නොහැකි ප‍්‍රමානයට, සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය පරායත්ත විය. දිගු දේශපාලන අවධියක් සඳහා විප්ලවයේ ඉරනම තීරනය කල හැකි වූයේ, නායකත්වය පිලිබඳ ප‍්‍රශ්නයේ අසාමාන්‍යව දේශපාලන හා ඓතිහාසික වැදගත්කම දරා සිටි, හුදෙක් තීරනාත්මක දින ගනනක් තුලය යන කාරනයයි. දෙවැනිව ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම සමාජවාදී විප්ලවය කෙරෙහි ධනපතියන්ගේ බිය වඩාත් තීව‍්‍ර කලේය යන්නයි.

කාල් ලිබ්නෙක්ට්

බොල්ශෙවික් විප්ලවය පෙරලා දැමිය නොහැකි බව හා බලය අහිමිවීම යන්නේ අර්ථය පාලක පැලැන්තීන් විසින් වටහා ගනු ලැබීමත් සමග, එවැන්නක් යලි ඇති වීම මොන වියදමක් දරා හෝ නතර කර ගැනීමට ඔවුහු අධිෂ්ඨාන කර ගත්හ. දේශපාලන අන්තරාය පිලිබඳ මේ තියුනුවූ අවධානය, කම්කරු පන්තියට හා එහි දේශපාලන පෙරටු බල ඇනියට එරෙහි ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රචන්ඩත්වය දැවැන්ත පරිදි මෙහෙයවීමට තුඩු දුන්නේය. රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට්, විප්ලවකාරී ස්පාටසිස්ට් නැගිටීම ට එරෙහි ලේ වැකි මර්දනය දියත්වූ 1919 ජනවාරියේ බර්ලින්හිදී මරා දැමුනි. ෆැසිස්ට් ව්‍යාපාර යුරෝපය පුරා ගොඩනගන ලදී.

ට්‍රොට්ස්කි 1921 ජුලි මාසයේ දී මෙසේ අනතුරු ඇඟවීය, ධනේශ්වරය “රැවටීම, බලහත්කාරය හා ප‍්‍රකෝපකරනය පිලිබඳ සිය සකල දේශපාලන සහ මිලිටරි බලය උපරිම ලෙස ඒකාග‍්‍රකර ගනිමින්, තම පන්ති මූලෝපාය මල්පලගැන්වීම කරා එලඹෙන්නේ, තමන් ක්ෂනික සමාජ විනාශයේ තර්ජනය ට මුහුන දීගෙන සිටින තතු තුලය.” ධනේශ්වර අර්බුදයේ හා බිඳවැටීමේ අවධිය තුල එහි ප‍්‍රතිවිප්ලවවාදී මූලෝපාය මල්පල ගැනීම ප‍්‍රකාශනය අත්කර ගන්නේ, ට්‍රොට්ස්කි එය විලක්ෂනය කල පරිදි, ”සූකිරි රසැති, මහාචාර්ය- පුජක දේශනා වලින් පටන් ගෙන වැඩවර්ජකයන් ට මැෂින් තුවක්කු වලින් වෙඩි තැබීම දක්වා වන හැම ක‍්‍රමයක් තුලින්ම කම්කරු පන්තියට එරෙහිව ඒකාබද්ධ අරගලයක් මෙහෙයවීමේ කලාව...” වශයෙනි. [21]

සිය පාලනයට එරෙහි සියලු තර්ජන විනාශ කිරීමට, තමන් සතු සියලු ක‍්‍රමෝපායන් ප‍්‍රයෝජනයට ගැනීමට අධිෂ්ඨානශීලී වන ධනේශ්වරයට, කම්කරු පන්තිය ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද? ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දෙයි: “යුරෝපයේ ද ලොව පුරා ද කම්කරු පන්තියේ කර්තව්‍ය සමන්විත වන්නේ, හොඳින් සිතා බලා ගනු ලබන ධනේශ්වරයේ ප්‍රතිවිප්ලවවාදී මූලෝපායට, එසේම අවසානය තෙක් සිතා බැලූ තමන්ගේම විප්ලවවාදී මූලෝපායෙන් පිලිතුරු දීමෙනි.” [22]

* * * * *

සෝවියට් සංගමයේ දේශපාලන පරිවර්තනෙයෙහි තීරනාත්මක අවධිය, 1921 හා 1924 අතර කාලය තුල සලකුනු කෙරේ. පූර්ව වසර 7 තිස්සේ රුසියාව, දේශපාලන හා සමාජ කලබැගෑනිවල දැවැන්ත මට්ටමේ අත්දැකීම් වලට මුහුන දුන්නේය. යුරෝපීය කම්කරු පන්තියේ පරාජයන්හි අර්ථය, සෝවියට් සංගමයේ දේශපාලන හා ආර්ථික හුදෙකලාව දිග්ගැස්සෙන බවයි. එහෙත් තවමත් බලාපොරොත්තු දැල්වී තිබුනේ, කාල පරාසයේ මැදිහත්වීමෙන් සංගමය දශක ගනනාවක් නොවේ නම් වසර ගනනාවක් පවතිනු ඇති බවටය. 1921දී හඳුන්වා දුන් නව ආර්ථික ප‍්‍රතිපත්තිය ධනේශ්වර වෙලඳපොල බලවේග වලට සැලකිය යුතු සහන සැලසා තිබුනි. මෙය අවශ්‍යව තිබූ පසුබැසීමක් ලෙස, සහමුලින්ම නීතියුක්ත හා යුක්තිසහගත ලෙස සලකනු ලැබුවේ ය. කෙසේ වුව ද ධනපති බලවේග මෙසේ ශක්තිමත් වීම, කොමියුනිස්ට් පක්ෂය තුලත් රාජ්‍ය යාන්ත‍්‍රනය තුලත් වැඩෙන නිලධාරිකරනය හා බටහිර යුරෝපයේ ධනවාදයෙහි තාවකාලික ස්ථායිකරනය සමග සමච්ෙඡ්දනය වෙමින් පැවතීම, අර්ථභාරී දේශපාලන ප‍්‍රතිවිපාක ඇති කලේය. සෝවියට් රාජ්‍යයේ මුල් වසරවල පැවති විප්ලවවාදී ජීව ගුනය බැස යමින් තිබෙන බවට 1922 අවසන් කාලයේ වැඩෙන ඇඟවුම් පැවතිනි. මෙය, පක්ෂ නායකත්වය තුල ජාතිකවාදී ස්වෝත්තමවාදී ප‍්‍රවනතා හිස එසවීම තුල සිය දේශපාලන ප‍්‍රයකාශනය අත්කර ගත්තේය.

1922 මැයි මාසයේදී බරපතල ආඝාතයකින් ඔත්පල වූ ලෙනින්, 1922 ඔක්තෝබර් වන තෙක්ම දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොවීය. පක්ෂ නායකත්වයේ දේශපාලන වාතාවරනය තුල ඇතිවෙමින් තිබූ වෙනස්කම් වලින් ඔහු තැතිගැන්මට පත්විය. සෝවියට් ජෝර්ජියානු සමූහාන්ඩුවේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් කෙරේ ස්ටැලින් දැක්වූ අවිනීත සැලකීමට ලෙනින් එකහෙලා විරුද්ධ විය. එසේම ස්ටැලින් “මහා රුසියානු ස්වෝත්තමවාදී මැරයෙක්” ලෙස හැඳින්වීය. 1923 මාර්තු මාසයේ තම අවසන් දේශපාලන කටයුතු වලින් එකකදී ලෙනින්, ස්ටැලින් සමග සියලු පෞද්ගලික සම්බන්ධකම් බිඳ දමන බවට තර්ජනය කලේය. එහෙත් දිනකට පසුව ඔහු දැවැන්ත ආඝාතයකට මුහුනපෑ අතර එයින් ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් විය. 1924 ජනවාරි 21දා ලෙනින් මිය ගියේය.

කොමියුනිස්ට් පක්ෂය 1923දී, ජර්මනිය තුල තවත් ප‍්‍රධාන විප්ලවවාදී අවස්ථාවක් අපතේ හැරියේය. තවත් ප‍්‍රධාන අසාර්ථකත්වයක් බල්ගේරියාවේදී සිදු විය. මෙම පරාජයන් පුලුල් ලෙස අර්ථගැන්වූයේ, වසර හයකට පෙර රුසියාවේ ආරම්භවී තිබුනු, බටහිර හා මධ්‍යම යුරෝපයේ විප්ලවවාදී කැලඹීම් අවධියක අවසානය ලෙසය. ප‍්‍රධාන ධනපති රටක ජයග‍්‍රාහී වන විප්ලවය, රුසියාවේ හුදෙකලා භාවය අවසන් කර, සමාජවාදී ආර්ථිකයක වර්ධනය සඳහා සම්පත් ලබාදීමේ හැකියාව ඇතිකරන්නේය යන විශ්වාසය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය හා කම්කරු පන්තියේ පුලුල් කොටස් තුලින් තුරන් කලේය.

දැන් ලෙනින් දර්ශන පථයෙන් ඉවත් කර ඇති තතු හමුවේ ලියොන් ට්‍රොට්ස්කි, -ඔක්තෝබරය හා ලෝක සමාජවාදී විප්ලවය අතර සම්බන්ධය අනෙක් කිසිම නායකයෙකුට වඩා පුද්ගලාරෝපනය කල- රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් වඩ වඩාත් හුදෙකලා විය. නැගිටීමේ නායකයා ලෙස, නැගිටීමට පෙර බොල්ශෙවික් පක්ෂය තුල දේශපාලන අරගලය විමසා බලමින්, 1924 වසන්තයේදී ඔක්තෝබරයේ පාඩම් ප‍්‍රකාශයට පත් කිරීම, ට්‍රොට්ස්කිට හා නොනවතින විප්ලවයේ න්‍යායයට විසකුරු දේශපාලන ප‍්‍රහාරයක් මුදාහැරියේය. සංවිධානය තුල ද නැගිටීමේ සාර්ථකත්වය වෙනුවෙන් ද ඉන් පසුව ප‍්‍රතිවිප්ලවවාදී බලවේග පරාජය කල රතු හමුදාවේ ජයග‍්‍රහනයේදී ද ට්‍රොට්ස්කි ඉටුකල ප‍්‍රමුඛ භූමිකාව ප‍්‍රතික්ෂේප කෙරුනා පමනක් නොවේ. කමනෙව්, සිනොවියෙව් හා ස්ටැලින් ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කමිටුවේ ඔහුගේ සතුරෝ, ඔහුගේ නොනවතින විප්ලවයේ න්‍යාය, දැන් “ලෙනින්වාදය” ලෙස සඳහන් කෙරෙමින් තිබූ දෙයෙහි සංශෝධනයක් බවත්, බලය සඳහා අරගලයට සූදානම් වීමේදී බොල්ශෙවික් පක්ෂය විසින් අනුගමනය කල මූලෝපායට මෙලොව සම්බන්ධයක් නැති බවත් කියා සිටියහ.

කමනෙව්ගේ හා ස්ටැලින්ගේ පිලිවෙතට එරෙහිව 1917 අප්‍රේල් මාසයෙහි ලෙනින් ගෙනගිය දේශපාලන අරගලය, සුලු ආරවුලකට නොවැඩි දෙයක් ලෙස බැහැර කෙරුනි. ඔවුන් පැවසුවේ, ලෙනින්ගේ අප්‍රේල් ප‍්‍රවාද මගින් හඳුන්වා දුන් ඉදිරිදර්ශනය තර්කානුකූලව වර්ධනය කලේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය පිලිබඳ පැරනි බොල්ශෙවික් ක‍්‍රියාමාර්ගයෙන් බවත්, එයට ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලයේ න්‍යායික සංකල්ප සමග මෙලොව සම්බන්ධයක් නැති බවත්ය.

“මහා බොරුවේ” අවධිය ඇරඹී තිබුනි. කමනෙව් විසින් 1924 නොවැම්බරයේ ට්‍රොට්ස්කිවාදය ද ලෙනින්වාදය ද යන මාතෘකාව යටතේ ඉදිරිපත් කල දිග වාර්තාවක්, ට්‍රොට්ස්කි අපකීර්තියට පත් කිරීමත් ඔහු යක්ෂාවේෂ ගැන්වීමත් අරමුනු කරගනිමින්, සීමාවකින් තොරව ඉතිහාසය මුසාකරනයට පෙරමුන ගත්තේය. මෙය සෝවියට් දේශපාලන ජීවිතයේ ප‍්‍රධාන අංගලක්ෂනය බවට පත් විය. කමනෙව් මෙසේ අවධාරනය කරයි:

රුසියානු විප්ලවය තුල කම්කරු පන්තිය හා ගොවිජනතාව අතර පැවති සම්බන්ධය ට්‍රොට්ස්කි අවබෝධකර ගත්තේ නැත. ඔහු ඔක්තෝබරයෙන් පසුව පවා මෙය වටහා නොගත්තේය. එසේම ඔහු අපගේ පක්ෂය, ගොවි ජනතාවගෙන් කිසිසේත් වෙන් නොවීම, කම්කරු පන්තියේ ආඥාදායකත්වය සාක්ෂාත් කර ගැනීම පිනිස කටයුතු කරන විට ගනු ලැබූ සෑම හැරීම් ලක්ෂයක්ම තේරුම් ගත්තේ ද නැත. මෙය වටහා ගැනීමෙන් ඔහු වලකනු ලැබුවේ, ඔහුට අනුව, ‘මුලුමනින්ම සනාථ කෙරී තිබුන, ඔහුගේම න්‍යායෙන්ය. ට්‍රොට්ස්කිගේ න්‍යාය නිවැරදි යයි සනාථ කෙරී තිබුනේ නම්, එහි අර්ථය වනු ඇත්තේ, කුමන ආකාරයකින් හෝ රුසියාව තුල සෝවියට් බලයේ පැවැත්ම දිගු කාලයකට පෙරම නිමාවකට පත්වී තිබිය යුතුය යන්නයි. [23]

කමනෙව් විසින් ට්‍රොට්ස්කිට පහර දීමේ ද නොනවතින විප්ලවයේ න්‍යාය හෙලාදැකීමේ ද දේශපාලන හා න්‍යායික සාරය වූයේ, නව ආර්ථික ප‍්‍රතිපත්තියේ සන්දර්භය තුල, 1917දී ප‍්‍රතික්ෂේප කරන ලද ජාතිකව මුල්බැසගත් ඉදිරිදර්ශනයට යලි පනපෙවීමේ උත්සාහයයි. සියල්ලටත් වඩා කමනෙව්ගේ ප‍්‍රහාරය යොමුකර තිබුනේ, ජාතික ප‍්‍රතිපත්ති තීරනය කිරීමේදී ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනයේ ප‍්‍රමුඛත්වය මත ට්‍රොට්ස්කි තැබූ අවධාරනයට එරෙහිවය. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායට කමනෙව් විරුද්ධ වුනේ එය, “රුසියාවේ කම්කරු ආන්ඩුව බටහිර කම්කරු පන්තියේ ක්ෂනික විප්ලවය මත මුලුමනින්ම පදනම් කල බැවින්ය.” [24] ට්‍රොට්ස්කිගේ න්‍යායෙහි විශේෂයෙන්ම විරුද්ධ විය යුතු යයි කමනෙව් අවධාරනය කලේ, රුසියාවේ ධනේශ්වර සංවර්ධනයේ ගැටලූවට කිසිදු විසඳුමක් “ජාතික විප්ලවයේ සැකිල්ල තුල” [25] දිය නොහැකි බවට එය කරන අවධාරනයයි.

1924 නොවැම්බරයේදී කමනෙව් විසින් ට්‍රොට්ස්කි හෙලා දකිනු ලැබීම, 1924 දෙසැම්බරයේදී ඉදිරිපත්වූ ඔක්තෝබර් විප්ලවයේ ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය පිලිබඳ ස්ටැලින්ගේ පැහැදිලි ජාතිකවාදී සංශෝධනය සඳහා මග හෙලි කලේය. “ඔක්තෝබර් විප්ලවය හා රුසියානු කොමියුනිස්ට්වරුන්ගේ උපායමාර්ග” යන මාතෘකාවෙන් යුත් ලිපියක් තුල ස්ටැලින්, 1906දී පල කල අපගේ විප්ලවය යන ට්‍රොට්ස්කිගේ පොත් පිංච කෙරේ අවධානය කැඳවුම් කලේය.

එහිදී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “යුරෝපීය කම්කරුවන්ගේ සෘජු රාජ්‍ය” සහයෝගය නොමැතිව රුසියානු කම්කරු පන්තියට බලයේ රැඳී සිටිමින්, සිය තාවකාලික අධිකාරය කල් පවතින සමාජවාදී ආඥාදායකත්වයක් බවට හැරවීමට නොහැකිය. මේ සම්බන්ධයෙන් මොහොතකට හෝ කිසිදු සැකයකට ඉඩක් නැත.” ස්ටැලින් දිගටම පවසන්නේ:

මෙම උපුටා ගැනීමේ අර්ථය කුමක් ද? මෙහි අර්ථය තනි රටක සමාජවාදයේ ජයග‍්‍රහනය, මෙහිදී නම් රුසියාවේ, “යුරෝපීය කම්කරුවන්ගේ සෘජු රාජ්‍ය සහයෝගයකින් තොරව,” කල නොහැකි බවයි. එනම් යුරෝපීය කම්කරුවන් බලය අල්ලා ගැනීමට ද පෙර. මේ න්‍යාය හා “වෙනම ගත් එක් ධනපති රටක් තුල” සමාජවාදය ජයගැනීමේ හැකියාව මත පිහිටි, ලෙනින්ගේ ප‍්‍රවාදය අතර ඇත්තේ කුමන පොදු බවක් ද?

පැහැදිලිවම එහි කිසිදු පොදු බවක් නැත. 26

ට්‍රොට්ස්කිගේ විමර්ෂනය කෙරෙහි එල්ල කෙරෙන පහත දැක්වෙන චෝදනාවෙන්, විප්ලවවාදී ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතික මෙසියස්වාදයේ (ගැලවුම්කාරයා හෝ විමුක්තිදායකයා ලෙස නායකයාගේ ධර්මය විශ්වාස කිරීම) රූපාකාරයෙන් ස්ටැලින් කරන ආදේශනය කැටිකර දක්වයි:

“නොනවතින විප්ලවයේ” න්‍යායෙහි මූලය පවතින්නේ මෙහිය. අපගේ විප්ලවයේ ශක්තිය හා හැකියාව ගැන විශ්වාස භංගයෙන් ද රුසියානු කම්කරු පන්තියේ ශක්තිය හා පරිමාව කෙරෙහි විශ්වාස භංගයෙන් ද ය. [27 ]

ට්‍රොට්ස්කිට 1924දී එල්ලකරන ප‍්‍රහාරය ද නොනවතින විප්ලවයේ න්‍යාය ප‍්‍රතික්ෂේප කිරීමෙන් ද සලකුනු කරන්නේ, ජාතික ආරක්ෂනවාදයට අනුගත වීමෙන් පක්ෂය මුදා ගනිමින්, අධිරාජකවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර විප්ලවවාදී අරගලය වෙත යොමු කිරීමට ලෙනින් සටන් වැදුනු එම ජාතිකවාදී ප‍්‍රවනතාවන්ම යලි හිස එසවීමයි.

* * * * *

තනි රටක සමාජවාදය පිලිබඳ ක්‍රියාමාර්ගය පනගැන්වීමෙන් සලකුනු කෙරෙන්නේ, සෝවියට් සංගමය බිහිවුන ලෝක සමාජවාදී විප්ලවයෙන් එය හුදෙකලා කිරීම දෙසට තැබූ තීරනාත්මක පියවරකි. ට්‍රොට්ස්කි පෙන්වාදුන් පරිදි මේ ජාතිකවාදී පරිහානිය, -වේගයෙන් වැඩෙමින් පැවති නිලධාරිවාදී තන්ත‍්‍රයේ දේශපාලන සහයෝගය දිනාගත්- සෝවියට් සංගමයේ ඉරනම ලෝක සමාජවාදය සඳහා අරගලයෙන් වෙන්කර දැමීය. ලෝක සමාජවාදී විප්ලවයේ ප‍්‍රධාන මූලෝපායික මූලස්ථානය ලෙස 1919දී පිහිටුවන ලද කොමියුනිස්ට් ජාත්‍යන්තරය, සෝවියට් සංගමයේ ප‍්‍රතිවිප්ලවවාදී විදෙස් පිලිවෙතේ අන්ඩක් බවට පිරිහෙලන ලදී. ට්‍රොට්ස්කි 1929දී සෝවියට් සංගමයෙන් නෙරපා හැරීම, නිලධාරිවාදී තන්ත‍්‍රය හා ලෝක සමාජවාදී විප්ලවය අතර විභේදනය සංකේතවත් කලේය. ක්‍රෙම්ලින් කාර්යාලයේ සුවපහසු ලෙස සැඟව සිටිමින් ස්ටැලින්, රහස් පොලිසියේ සහාය ඇතිව ජාතික රාජ්‍යය පාලනය කලේය. එහෙත් පිටුවහලේ සිටි ලියොන් ට්‍රොට්ස්කි, ඊට වඩා බෙහෙවින් බලගතු අවි, එනම් ඔහුගේ අදහස් හා පෑන යොදාගෙන, ලෝක සමාජවාදී විප්ලවයේ දිගහැරෙන ඓතිහාසික ක්‍රියාවලියට මග පෙන්වමින් හා එය ප‍්‍රබෝධමත් කරමින් කටයුතු කලේය.

ස්ටැලින්ගේ ද්‍රෝහී හා අවමංගත කිරීමේ ප‍්‍රතිපත්ති, 1930 ගනන්වල ජර්මානු, ප‍්‍රන්ස, ස්පාඤ්ඤ හා තවත් රටවල් ගනනාවක කම්කරු පන්තියේ ව්‍යසනකාරී පරාජයන්ට තුඩු දුන්නේය. සෝවියට් සංගමය තුල, මාක්ස්වාදයෙන් අධ්‍යාපනගත කල කම්කරුවන්ගේ, පක්ෂ ක්‍රියාධරයන්ගේ හා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත දේශපාලනිකව අධ්‍යාපනගත කල, විප්ලවවාදී බුද්ධිමතුන්ගේ ද කලාකරුවන්ගේ ද සමස්ත පරම්පරාවක්ම විනාශ කිරීමේ රූපයෙන්, ප‍්‍රතිවිප්ලවවාදී ජාතිකවාදී ප‍්‍රතික්‍රියාව දිගහැරුනි. 1936ත් 1940ත් අතර මොස්කව් නඩු හා මහා භීෂනය, දේශපාලන සංහාරයක රූපය ගත් අතර එය විශේෂයෙන් ඉලක්ක කලේ, සෝවියට් රාජ්‍යය පිහිටුවීමේදී පදනම බවට පත්වූ, ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය හා බුද්ධිමය සංස්කෘතිය සමග අනන්‍යව සිටි අය කායිකව වනසා දැමීමටය.

1917 ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් සංගමය අතර සම්බන්ධතාව වටහා ගැනීම තීරනාත්මකය. දෙවැන්න මතුව ආවේ පලමුවැන්නෙනි. එහෙත් ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් සංගමය සහසම සංසිද්ධියක් වූයේ නොවේ. ඔක්තෝබර් විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ ඓතිහාසික යුගයක ආරම්භය සලකුනු කලේය. සෝවියට් රාජ්‍යයේ ඉතිහාසය එම යුගයේ ප‍්‍රධාන ආඛ්‍යානයක් විය. ඔක්තෝබර් විප්ලවය යුගයක ප‍්‍රකාශනයක් ලෙස හා සෝවියට් රාජ්‍යය නිර්මානය කිරීම සුවිශේෂී දේශපාලන සිදුවීමක් ලෙස ගැනීම අතර විලක්ෂනය හඳුනාගැනීම දේශපාලන භාෂාව තුල පිලිබිඹු විය. අනාගතයේදී තමන්ගේම රටවල් තුල ධනපති ක‍්‍රමය පෙරලා දැමීම අපේක්ෂා කරමින් විප්ලවවාදීහු කථා කලේ, තමන්ගේ අනාගත “සෝවියට් සංගමය ගැන නොව තමන්ගේ එලඹෙන “ඔක්තෝබරය” ගැනය.

සත්තකින්ම සෝවියට් සංගමය තුල විප්ලවයේ ජයග‍්‍රහන අති දැවැන්ත විය. ඔක්තෝබර් විප්ලවය, අධිරාජ්‍යයක් ලෙස පැවති රුසියාව රැඩිකල් ආකාරයකින් පරිවර්තනය කලේය. විප්ලවයට පෙර දල වශයෙන් ජනගහනයෙන් සියයට 80ක් සාක්ෂරතාවෙන් තොර විය. එක් පරම්පරාවක් ගතවීමටත් පෙර නූගත්කම මුලුමනින්ම පාහේ තුරන් කිරීමට හැකිවීම සැලකිය යුතුය. ඔක්තෝබර් විප්ලවයේ නිර්මානයක් වූ, නිෂ්පාදන බලවේග ජනසතු කිරීම, සැලකිය යුතු ආර්ථථික දියුනුවකට මගපෑදීය. සෝවියට් සංගමයේ 74 වසරක ඉතිහාසයේ ගමන් මග තුල, ධනපති නොවන පදනමකින් දියුනු සමාජයක් ගොඩනැගීමේ හැකියාව පෙන්නුම් කලේය.

සෝවියට් සංගමය සමාජවාදී සමාජයක් නොවීය. විප්ලවය පාවාදෙයි කෘතිය තුල ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි එය, ධනවාදය හා සමාජවාදය අතර සංක‍්‍රමන තන්ත‍්‍රයකි. ඔවුන්ගේ ඉරනම තවමත් තීන්දුවී නොතිබින. බිහිසුනු ප‍්‍රචන්ඩත්වය තුලින් ක්‍රියාත්මක කල ස්ටැලින්ගේ ජාතිකවාදී පිලිවෙත්, තීන්දු ගැනීමේ ක්‍රියාවලිය මත කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය ඉල්ලා සිටින, සමාජවාදී සැලසුම්කරනයට අවමානයක් විය. “ජනතාව මත පවත්වාගෙන ගිය වගකීම් විරහිත ආඥාදායකත්වය” ලෙස ට්‍රොට්ස්කි විස්තර කල දේහි ප‍්‍රතිපලය වූයේ, මානව ජීවිතය බිහිසුනු ලෙස අපතේ හැරීම හා විකෘති ලෙස ද්‍රව්‍යයමය සම්පත් අපතේ හැරීමය. එය කුරිරු වූවා සේම අනවශ්‍ය ද විය.

සමාජයේ තමන්ට වරප‍්‍රසාදිත තත්වයක් සහතික කර ගැනීමට, දේශපාලන බලය අත්පත්කරගෙන, රාජ්‍ය මර්දනයේ මෙවලම් පාලනය කිරීම පිනිස එය යොදාගත් ස්ටැලින්වාදී නිලධරය, සමාජවාදී සමානාත්මතාවයේ ප‍්‍රධාන මූලධර්ම උල්ලංඝනය කලෝය. පැරනි සහෝදරයින් හා නිමක් නැති මාක්ස්වාදී විප්ලවවාදීන්ට වධදීමට හා මරා දැමීමට පුද්ගලිකවම නියෝග නිකුත් කරමින් මෙහෙයවූ ස්ටැලින්, ඉතිහාසයේ නරකම ගනයේ අපරාධකරුවන් අතරට ගැනේ.

ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරය, ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රතිපල වශයෙන් අත්කරගත් සියලු ජයග‍්‍රහන ආරක්ෂා කලේය. එම ජයග‍්‍රහන-විප්ලවය මගින් හැකියාව ගෙනදුන් සමාජ හා ආර්ථික ප‍්‍රගමනයේ අංගෝපාංග- ආරක්ෂා කිරීම සිදුවුනේ, ස්ටැලින්වාදී තන්ත‍්‍රය දේශපාලනිකව පෙරලා දැමීමේ සටන හමුවේ එයට අශමනීය ලෙසින් විරුද්ධවීමේ පදනම මතය.

* * * * *

අප මේ වසරේ සමරනු ලබන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ ශත සංවත්සරයයි. 1917 පෙබරවාරි හා ඔක්තෝබර් අතර කාලයේ හටගත් බැරෑරුම් සිදුවීම් විභාග කිරීම, පැහැදිලි කිරීම අප විසින් සිදුකරනු ලබන්නේ, මේ ඓතිහාසික සන්දර්භය තුලය. ප‍්‍රතිගාමී ශාස්ත‍්‍රාලිකයින්ගේ හා සමාජවාදයේ විරුද්ධවාදී මාධ්‍යකරුවන්ගේ නිමක් නැති බොරු හා මුසාකරනයන්ට වැදගත් බුද්ධිමය විෂනාශකයක් මෙම දේශන මගින් සම්පාදනය කරනු ඇත.

1991දී සෝසසසං විසුරුවා හැරීම, ලෝක ධනවාදය ලැබූ දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස හුවාදක්වන ලදී. දිගු කලක් පැවතුනු කොමියුනිස්ට්වාදයේ හා සමාජවාදයේ අවතාරය මකා දැමුනි. ඉතිහාසය අවසානවී ඇත! ඔක්තෝබර් විප්ලවය සුන්බුන් ගොඩක් ලෙස අවසන් විය! පැවති වසර 74ක කාලය තුල සිදුවූ දේ ප‍්‍රවේශමෙන් විභාග කිරීමේදී සත්තකින්ම එවන් ප‍්‍රකාශ වලට රුකුලක් ලැබෙන්නේ නැත. සෝවියට් සංගමය අත්කරගත් දැවැන්ත ජයග‍්‍රහන ගැන කිසිවක් නොපැවසේ. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීමේ ප‍්‍රමුඛ භූමිකාව පමනක් නොව, සෝවියට් ජනතාව සිය සමාජ තත්වයේ හා සංස්කෘතියේ අත්කරගත් දැවැන්ත ජයග‍්‍රහන ද ඊට ඇතුලත් වන්නේය.

සෝවියට් ජයග‍්‍රහනයන් පිලිබඳ සියලු මතකයන්ගේ සාමූහික එකතුව මකා දැමීමේ උත්සාහයන් පසෙකින්, විසිවන සියවසේ ඉතිහාසයෙහි අවශ්‍යමවූ මුසාකරනය අරමුනු කරන්නේ, ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ජාතිකවාදී ආඛ්‍යානයක පදනම මත සමාජවාදයේ ඉරනම තේරුම් කිරීමය. එහිදී බොල්ශෙවිකයන් බලය අල්ලා ගැනීම, රුසියානු ඉතිහාසයේ අවමංගත, අවජාතක හා සාපරාධී පවා වන සිදුවීමක් ලෙස ඉදිරිපත් කෙරේ. අනෙක් අතට ඔක්තෝබරයේදී බොල්ශෙවිකයින් දැරූ මූලික සංකල්පය එක්කෝ ව්‍යාකූල කෙරේ, නැතිනම් නොතකා හැරේ. ඔක්තෝබර් විප්ලවයට කිසිදු කල්පවතින ඓතිහාසික හා දේශපාලන අදාලත්වයක් පැවරිය නොහේ.

ඔක්තෝබර් විප්ලවය එහි සියලු නීතියුක්ත භාවයෙන්, අදාලත්වයෙන් ගලවා දැමීම අරමුනු කරගත් මේ ප‍්‍රතිගාමී ආඛ්‍යානය රැඳී ඇත්තේ, කෙසේ වෙතත්, ලෝක ධනපති ක‍්‍රමය, විසිවන සියවසේ යුද්ධය හා විප්ලවය නැගී ඒමට තුඩුදුන් ප‍්‍රතිවිරෝධතා හා අර්බුද විසඳාගෙන ඒවා අබිබවා ගොස් ඇතැයි යන එක් කුඩා දෙයක් මතය.

ඔක්තෝබර් විප්ලවයත්, සමාජවාදය ගොඩනැගීමේ අනාගත උත්සාහයනුත්, අපකීර්තියට පත් කිරීමේ ව්‍යායාමය බිඳ වැටෙන්නේ හරියටම මෙතැන්හිදීය. සෝවියට් සංගමය විසුරුවා හැර ගතවී තිබෙන සියවස් කාල සලකුනු කෙරෙන්නේ, උග‍්‍රවන සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයෙනි. අප ජීවත් වන්නේ, නිරන්තර යුද්ධයේ අවධියකය. ඇමරිකාව පලමු වරට ඉරාකය ආක‍්‍රමනය කල 1991 වසරේ පටන්, ඇමරිකානු බෝම්බ හා මිසයිල වලට ගොදුරුවී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ලෙහෙසියෙන්ම මිලියනය ඉක්මවා යයි. භූදේශපාලනික ගැටුම් උග‍්‍ර වෙද්දී, තුන්වන ලෝක යුද්ධයක් පැනනැගීම වඩ වඩාත් නොවැලැක්විය හැකි බව පෙනී යයි.

2008 ආර්ථික අර්බුදය, ලෝක ධනපති ක‍්‍රමයේ බිඳෙනසුලු භාවය හෙලිදරව් කර ඇත. සියවසේහි ඉහලම මට්ටමට ලඟාවී ඇති අසමානතාවයේ පසුබිම හමුවේ සමාජ ආතතීන් උත්සන්න වෙමින් ඇත. මෑතකදී වාර්තා වූ පරිදි, එක්සත් ජනපදයේ පොහොසත්ම මිනිසුන් තිදෙනා, එරට ජනගහනයේ පහතම සියයට 50කගේ පංගුවට වැඩි ධනයක් හිමිකර ගනියි. ධනවතුන් හුදෙක් එකිනෙකාට “වෙනස්” නැත. ඔවුන් සියල්ලන්ම ජීවත් වන්නේ, දෛනිකව මහජනතාව ජීවත් වන්නාවූ යථාර්තයෙන් අතිශයින්ම හුදෙකලාවූ වෙනස් ග‍්‍රහලෝකයකය.

මේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු අසීමිත කාලයක් පැවතිය නොහැකි බව ඔවුන්මත් දැන සිටියි. සමාජ සමානතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳ අදහස් හා පරමාදර්ශයන් ජනතාවගේ විඥානය තුලට ගැඹුරෙන්ම කාවැදී ඇත. සම්ප‍්‍රධායික ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන, පැතිරෙන සමාජ ගැටුමේ පීඩනය දරාගත නොහැකිව සිටියි. පාලක පැලැන්තීන් කවරදාකටත් වඩා විවෘතව පාලනයේ ආඥාදායක රූපාකාරයන් වෙත හැරෙයි. ට‍්‍රම්ප් පාලනය හුදෙක් ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාර්වත්‍රික බිඳවැටීමෙහි පිලිකුල් සහගත එක් ප‍්‍රකාශනයක් පමනි. ධනපති රාජ්‍යය ක්‍රියාත්මක කිරීමේදී මිලිටරියේ, පොලිසියේ හා ඔත්තු සේවාවන්ගේ භූමිකාව වඩ වඩාත් එලිමහනට එමින් තිබේ.

මේ සියවස් සැමරුම පුරා, ඔක්තෝබර් විප්ලවය අපකීර්තියට පත් කිරීමේ අරමුන ඇතිව නිමක් නැති ලිපි හා පොත් පලවී ඇත. මේ හෙලාදැකීම් බොහොමයක් පුරා පැතිර ඇති උන්මාදයක හඬ මගින් ඔක්තෝබරයේ “අනදාලත්වය” පිලිබඳ කථාවල වංචනිකත්වය හෙලි කරයි. ඔක්තෝබර් විප්ලවය සලකනු ලබන්නේ ඓතිහාසික සිදුවීමක් ලෙස නොව, කල්පවත්නා හා භයානක සමකාලීන තර්ජනයක් ලෙසය.

ඔක්තෝබර් විප්ලවය හෙලාදැකීමට යටින් පවතින භීතිය, ඓතිහාසික මුසාකරනයේ විශේෂඥයෙකු වන ප‍්‍රමුඛ ශාස්ත‍්‍රාලික මහාචාර්ය ෂෝන් මැක්මීකිං විසින් මෑතක පල කරන ලද කෘතියක් තුල ප‍්‍රකාශනය අත්කරගෙන තිබේ. ඔහු මෙසේ ලියයි:

1917 විවෘත කරන ලද දෘෂ්ටිමය කාල පරිච්ඡේදයේ උපත ලද න්‍යෂ්ටික අවි මෙන්, ලෙනින්වාදය පිලිබඳ ශෝක ජනක කාරනය වන්නේ, වරක් සොයාගත් පසුව තුරන් කල නොහැකි වීමයි. තුරන්කර දැමීමේ ත්‍යාගශීලී අභිලාෂය සහිත සමාජවාදීන් සමගම සමාජ අසමානතාව සැමවිටම අප සමග සිටී...පසුගිය සියක් වසර අපට යමක් උගන්වා ඇත්නම් ඒ, අපගේ ආරක්ෂාව තරකර ගනිමින් සමාජ පරිපූර්නත්වය පෙරොන්දුවන සන්නද්ධ අනාවැකි කරුවන්ට ප‍්‍රතිරෝධය දැක්විය යුතු බවයි. [28]

නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍ර ය ඔක්තෝබර් 17දා පල කල රචනාවක් තුල තීරු රචක බ්‍රෙනට් ස්ටෙෆන්ස් මෙසේ අනතුරු අඟවයි:

ධනවාදය හා මූල්‍ය සේවා සාපරාධීකරනයේ උත්සාහයන් ද පෙරදැකිය හැකි ප‍්‍රතිපල ගෙන එයි..... සියවසක් ගතවෙද්දී, බැසිලස් (ස්ටැලින්වාදය පිලිබඳ) මුලිනුපුටා දැමී නැති අතර එයට ඔරොත්තු දීමේ හැකියාව ද තවමත් සැක සහිතය.

ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය නිමිතිකරගෙන පාලක පැලැන්තීන්ගේ මාක්ස්වාද විරෝධය, කැපී පෙනෙන සාපරාධී ස්වරූපයක් ගෙන ඇත. සමාජවාදය අනදාලය යන පශ්චාත් 1991 මවාපෑම අවසානයේ අත්හැර දමමින් නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය, ස්ටැලින්ගේ අගැයීමට ලක්වන චරිතාපදානයක කතුවර සයිමන් සෙබැග් මොන්ටිෆියොරි විසින් ලියන ලද තීරුවක් පල කලේය.

ඔහු මෙසේ ලිවීය:

හරියටම වසර සීයකට පෙර, ව්ලැඩිමීර් ලෙනින් විසින් සංවිධානය කල ඔක්තෝබර් විප්ලවය, සෝවියට් සංගමය බිඳවැටීමත් සමග සිතීමටවත් නුපුලුවන් බව පෙනීගිය ද එය තවමත් අදාලය...

වසර සීයකට පසුවත් එම සිදුවීම් දෝංකාරය නංවමින් උද්වේගය දනවයි, 1917 ඔක්තෝබරය වීරකාව්‍යයක්, පුරාවෘත්තයක් හා වශීකාරකයක් ලෙස නැගී සිටී. එය සිදුවූ ආකාරයට මිස වෙනත් ලෙසකින් එය සිදුවිය නොහැකි බව පෙනී යන තරම් එහි බලපෑම් දැවැන්තය.

(තාවකාලික) ආන්ඩුව ඔහු (ලෙනින්) සොයාගෙන ඝාතනය කල යුතුව තිබුනු නමුත් එය එසේ කිරීමට අසමත් විය. ඔහු ජීවත් විය. 29

වඩාත් අනුහස සහිත ඇමරිකානු පුවත්පතක පලවූ මෙම ප‍්‍රකාශයත් සමග, ලිබරල් ප‍්‍රතිකොමියුනිස්ට්වාදය හා ෆැසිස්ට්වාදය අතර සියලු වෙනස්කම් මැකී යයි. කම්කරු පන්තික මහජන ව්‍යාපාරය තුල ජනප්‍රිය නායකයෙකු වූ ලෙනින් මරා දැමිය යුතුව තිබුනි. නිව් යෝර්ක් පත‍්‍රයේ ලිබරල් සංස්කාරකවරුන්ගේ අනුමැතිය ඇතිව මොන්ටිෆියොරි ලියන්නේ, ඔහු පිලිබඳව කටයුතු කල යුතුව තිබුනේ, ෆැසිස්ට්වාදීන් ලක්සම්බර්ග් හා ලිබ්නෙක්ට් සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරයට බවයි. පනිවිඩය මොකක් ද? සමාජවාදය ධනවාදයට තර්ජනයක් වනතාක් දුරට, සමාජවාදී ව්‍යාපාරයේ නායකයින් ලූහුබැඳ මරා දැමිය යුතුය. “ඉතිහාසයේ අවසානය” හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහනයෙහි හැටි එහෙමයි.

මොන්ටිෆියරෝ වැනි අයගේ ප‍්‍රකාශ සාක්ෂි දරන්නේ, ධනපති සමාජයේ බුද්ධිමය ආරක්ෂකයින්ගේ පරිහානියට පමනක් නොව, ඔවුන්ගේ අපේක්ෂා භංගත්වයට හා මංමුලාවටත් ය.

මාක්ස්වාදය, සමාජවාදය හා කොමියුනිස්ට්වාදය අපකීර්තියට පත්කිරීමට දරනු ලබන සියලු උත්සාහයන් තිබියදීත් කම්කරු පන්තිය, ධනවාදයට විකල්පයක් අපේක්ෂා කරති. අලුතෙන් පල කල මත විමසුමක් පෙන්වා දෙන්නේ, ඇමරිකානු “සහශ‍්‍රකයින්” ( වයස අවුරුදු 28ට අඩු ජනතාව*)විශාල බහුතරයක් ධනවාදී සමාජයකට වඩා සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී සමාජයක ජීවත් වීමට කැමතිවන බවයි.

ෆ‍්‍රාන්ස් ෙමයරිංග් නිවැරදිය. විප්ලවයන්ට දිග ප‍්‍රාන වායුවක් ඇත. ඔක්තෝබර් විප්ලවය ඉතිහාසය තුල පමනක් නොව වර්තමානයේ ද ජීවත් වේ.

* * * * *

මෙම ශතසංවත්සර වසර පුරාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ඔක්තෝබර් විප්ලවයේ මූලාරම්භය හා වැදගත්කම පැහැදිලි කරමින් ද අධ්‍යයනය කරමින් ද එය සමරනු ලැබීය. එය මෙම වැදගත් ඓතිහාසික කර්තව්‍යය ඉටුකරන ලද්දේ, ඔක්තෝබර් විප්ලවය පාදකවූ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය නියෝජනය කරන ලෝකයේ එකම දේශපාලන ප‍්‍රවනතාව ලෙසය.

හතරවන ජාත්‍යන්තරය ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ ක්‍රියාමාර්ගයේ සමකාලීන ප‍්‍රකාශනයයි. නොවිසඳිය හැකි ධනේශ්වර අර්බුදයේ වත්මන් අවධිය තුල මෙම ක්‍රියාමාර්ගය යලි වතාවක්, ඉමහත් අදාලත්වයක් හිමිකර ගනියි.

ලොව පුරා කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලන්නේ, ලෝක සමාජවාදය සඳහා සටනට සම්බන්ධ වන ලෙසයි.

ඔක්තෝබර් විප්ලවයේ ආදර්ශය දිගුකල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දිගුකල් දිනේවා!

ලෝක සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය කරා පෙරට!

සටහන්:

1. “Neujahr 1918,” in Franz Mehring Gesammelte Schriften, Band 15 නොයිය 1918, ෆ‍්‍රාන්ස් මෙයරිංග් ගැසමිට ෂ‍්‍රාෆ්ටන් බන්ඞ් 15 (ඞීට්ස් වර්ලැග්,1977*% 759 පිට.

2. ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, The Bolsheviks in Power: The First Year of Soviet Rule in Petrograd බොල්ශෙවිකයින් බලයේ පෙට්‍රොග‍්‍රෑඩයේ සෝවියට් පාලනයේ පලූමු වසර, කෘතියෙන් උපුටා දැක්වේ, (බ්ලූමින්ටන් ඇන්ඞ් ඉන්ඩියානාපොලිස්, 2007), 28 පිටුව

4. එම

5. එම 29 පිටුව

6. රුසියාවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර කම්කරු පක්ෂයේ (බොල්ශෙවික්* පීටර්ස්බර්ග් කමිටුවේ සැසියක්, 1917 නොවැම්බර් 1 (පැරනි ඔක් 14*, උපුටා දැක්වීම ලියොන් ට්‍රොට්ස්කිගේ The Stalinist School of Historical Falsification ස්ටැලින්වාදී ගුරුකුලයේ ඓතිහාසික මුසාකරනය

මෙතැනින් පිවිසිය හැක, https://www.marxists.org/archive/trotsky/1937/ssf/sf08.htm

7. එම

8. එම. ස්ටැලින් මුසාකරන ගුරුකුලයේ ලේඛනයන් සහ වරහන් තුල එකතු කරන ලද අමතර වැකි.

9. එම

10. ලියොන් ට්‍රොට්ස්කි, ෆර්ඩිනන්ඞ් ලසාල් ජූරියට කල කථාවේ හැඳින්වීම, Witnesses to Permanent Revolution නොනවතින විප්ලවයේ සාක්ෂිකරුවෝ කෘතිය තුල රිචඞ් බී ඬේ හා ඩැනියෙල් ගයිඩෝ විසින් සංස්කරනය කල, (ලීඞ්න් ඇන්ඞ් බොස්ටන් බි‍්‍රල්, 2009*, 444*45 පිටු

11. ලෙනින් Collected Works එකතුකල කෘති, (මොස්කව් ප්‍රෝග්‍රෙස්, 1977*, 24 වෙලූම, 238 පිටුව

12. එම

13 ලෙනින් Collected Works එකතුකල කෘති, (මොස්කව් ප්‍රෝග්‍රෙස්,, 1977*, 416*19 පිටු

14. ලෙනින් Collected Works එකතුකල කෘති, (මොස්කව් ප්‍රෝග්‍රෙස්,, 1977*, 26 වෙලූම 119 පිටුව

15. එම 118*19 පිටු

16https://www.theguardian.com/world/2017/nov/06/revolution-what-revolution-russians-show-little-interest-in-1917-centenary

17. https://www.marxists.org/archive/luxemburg/1918/russian-revolution/ch01.htm

18. The “Russian” Civil Wars 1916-1926: Ten Years That Shook the World ”රුසියානු” සිවිල් යුද්ධ 1916-1926: ලොව සෙලවූ දස දවස (ඔක්ස්ෆර්ඞ් යුනිවර්සිටි ප්‍රෙස් , 2017*, 131 පිට

19. ඛ Leon Trotsky and the Art of Insurrection 1905-1917 ලියොන් ට්‍රොට්ස්කි සහ සන්නද්ධ නැගිටීමේ කලාව 1905-1917 (ලන්ඩන්: ෆ‍්‍රෑන්ක් කාස්, 1988*, 63*64 පිටු

20. The Trotsky Papers 1917-1922, Volume I, edited and annotated by Jan M. Meijer (ට්‍රොට්ස්කි ලේඛන 1917-1922 වෙලූම1, සංස්කරනයකොට සටහන්කලේ යන් එම්. මේයර් විසිනි(ද හේග් මව්ටන් & Co., 1964), 623*25 පිටු

21. The First Five Years of the Communist International කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමු වසර පහ, වෙලූම 2 (ලන්ඩන් නිව් පාක්, 1974), *4 පිටු

22. එම., 7පිට

23. Trotsky’s Challenge: The “Literary Discussion” of 1924 and the Fight for the Bolshevik Revolution, edited, annotated and introduced by Frederick C. Corney (ට්‍රොට්ස්කිගේ අභියෝගය: බොල්ශෙවික් විප්ලවය සඳහා සටන සහ 1924 ලේඛන සාකච්ඡුාව (සංස්කරනය, සටහන්කොට ඉදිරිපත්්කලේ ෆෙඩි‍්‍රක් සී. කෝර්නි ( චිකාගෝ: හේමාකට්, 2017*, 244 පිට

24. එම

25. එම

26. එම 442 පිට

27. එම 447 පිට

28. The Russian Revolution: A New History රුසියානු විප්ලවය: නව ඉතිහාසයක් (නිව්යෝර්ක්: බේසික් බුක්ස්, 2017*

29.https://www.nytimes.com/2017/11/06/opinion/russian-revolution-october.html

Share this article: