ශ්‍රී ලංකා ජනාධිපති සහයෝගය ගොනුකර ගැනීමේ වියරු උත්සාහයක යෙදෙයි
Sri Lankan president desperately tries to rally support
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 සැප්තැම්බර් 12
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑත දී පැවත් වූ ප්‍රසිද්ධ කතා මගින් අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) සහ ජනාධිපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) “සම්මුති” ආන්ඩුවේ තීව්ර වන අර්බුදය පෙන්නුම් කරයි.
ජනාධිපතිවරනයේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව බලයෙන් පහ කිරීම සඳහා කෙරුන එක්සත් ජනපදයේ පිටුබලය සහිත පාලන තන්ත්ර මාරු කිරීමේ මෙහෙයුමකින් පසු, සිරිසේන 2015 දී ජනාධිපති ලෙස පත් විය. බෙයිජිනය සමග රාජපක්ෂගේ සමීප සබඳතා ගැන ඉන්දියාව සහ එක්සත් ජනපදය අකමැත්තෙන් සිටි අතර චීනයට එරෙහි වොෂින්ටනයේ භූ-මුලෝපායික සැලසුම් සමග ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීම අවශ්‍ය විය. සිරිසේන සහ ඔහුගේ සහායකයින් ජනතා සහයෝගය ගොනුකර ගත්තේ රාජපක්ෂගේ සමාජමය වශයෙන් විනාසකාරී පිලිවෙත් සහ ඔහුගේ මර්දනකාරී පාලන ක්‍රම කෙරෙහි වූ මහජන වෛරය ගසාකෑමෙනි.
යන්තම් වසර දෙකහමාරක් ගෙවුන තැන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්රතිගාමී සමාජ වැඩපිලිවෙල රාජපක්ෂගේ වැඩපිලිවෙලෙන් වෙනස් නොවන බව හා එහි පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී වර්තමාන ආන්ඩුව ඊටත් වඩා රුදුරු බව කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ හා තරුනයන්ගේ පලල් ස්ථර තේරුම්ගෙන ඇත.
එහි පූර්වගාමියා මෙන් ම වර්තමාන පාලන තන්ත්රය ද කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසිවලට පහර දෙමින් හා කුඩා ගොවීන්ගේ හා දුගීන් ගේ අවම සහනාධාර කපා දමමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට දමයි. 2015 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී ප්රතිසංස්කරන පිලිබඳව සිරිසේන දුන් ව්‍යාජ පොරොන්දු ඉටු කරනු වෙනුවට නව ආන්ඩුව ක්‍රමානුකූලව ප්රජාතන්ත්රීය අයිතීන් කප්පාදු කරමින් සිටී.
හිටපු ජනාධිපති රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වන ශ්‍රීලනිපයෙන් කැඩුන පාර්ලිමේන්තු කන්ඩායමකට නායකත්වය දෙන අතර කලින් සභාගයේ පාර්ශවකරුවන්ගේ සහයෝගය ඇතිව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හෙලා යලි බලය අල්ලා ගැනීමට අපේක්ෂා කරයි.
කන්ඩායම් වලට ඉරිතලා ගිය ඔහුගේ පක්ෂය වටා සහයෝගය ශක්තිමත් කර ගැනීමේ උත්සාහයක් ලෙස ශ්‍රීලනිපයේ 66 වෙනි සංවත්සරය සැප්තැම්බර් 3 වෙනිදා උත්සවාකාරයෙන් සැමරීමට සිරිසේන තීන්දු කලේ ය. රැස්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ නිවසේ අගෝස්තු 30 වෙනි දා පැවැත්වුන විශේෂ රැස්වීමකට මාධ්‍ය ප්‍රධානින් ට සහ ප්රවෘත්ති පත්‍ර කතෘවරුන්ට සිරිසේන ආරාධනා කලේ ය.
ඉවත්වීම ගැන ඔහුගේ ම පක්ෂයේ අය කියන කතා සහ ආන්ඩුව පෙරලීම ගැන රාජපක්ෂගේ තර්ජන ගැන කලින් සුදානම් කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් සිරිසේන මෙසේ සඳහන් කලේ ය. “මා නෙමෙයි, සම්මුති ආන්ඩුව තුල සිටින ශ්‍රීලනිප යේ පාර්ලිමේන්තු කන්ඩායමයි එහෙම කියන්නේ. ඔවුන්ගේ පක්ෂය, තමන්ගේ ම ආන්ඩුවක් ඉක්මනින් පිහිටුවන බව සමහරු කීවත් පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතියට අනුව කිසිම තනි පක්ෂයකට එසේ කල නොහැකියි... වෙනත් සභාගයක් බලයට ආවත්, රටේ ජනාධිපති ලෙස මහජනතාව වෙනුවෙන් මගේ දුරකාලයේ අවසානය දක්වා මා මගේ වගකීම ඉටුකනවා”.
වෙනත් වචනවලින් කියතොත්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යලි තහවුරු කිරීමේ ඔහුගේ කලින් පොරොන්දු වලට විපරීතව රාජපක්ෂ විසින් කලින් උපයෝගී කරගත් ඒකාධිපති විධායක ජනාධිපති බලතල පවත්වාගෙන යන බව සිරිසේන අනියම් ලෙස මාධ්‍යවලට යලි මතක් කලේ ය. ශ්‍රී ලංකාවේ දේශපාලන ප්රභූව කවර හෝ අව්‍යාජ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් නොඉවසන බවට එය තවත් ප්රකාශනයකි.
2020 න් පසුව දෙවන ජනාධිපති දුර කාලයක් සඳහා ඔහු උත්සාහ කරන බව ද සිරිසේන ඔහුගේ දේශපාලන සගයන් හරහා ඇඟවුම් කර ඇත. පක්ෂයේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිස වෙනත් කෙනෙක් නොවන” බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක ජුලි 18 වෙනිදා ඩේලි මිරර් පත්‍රයට ප්‍රකාශ කලේ ය.
අනුස්මරන රැලිය පැවැත්වීමේ කටයුතු සුදානම් කෙරෙමින් පැවති දිනවල, එය සහ ඔහුගේ සම්මුති ආන්ඩුවේ ඊනියා ජයග්රහනයන් ප්‍රවර්ධනය කිරීම පිනිස විද්‍යුත් හා මුද්‍රිත රාජ්‍ය මාධ්‍ය සංස්තාපිතයන්, ආන්ඩුවේ ඇමතිවරුන් සහ ව්‍යාජ-වාම සංවිධාන සිරිසේන යොදා ගත්තේය. දුර පලාත්වලින් මිනිසුන් ප්‍රවාහනයට 2000 වැඩි බස්රථ සංඛ්‍යාවක් කුලියට ගැනීමට සහ ඔවුන්ට දිවා ආහාරය නොමිලේ සැපයීම පිනිස විශාල මුදලක් වැය කලේ ය.
රැස්වීම අමතමින් සිරිසේන මහන්තත්ව ලීලාවෙන් මෙසේ ප්‍රකාශ කලේ ය. “මා 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය නොකලේ නම්, මේ රට අද තිබෙන්නේ කොතන දැයි ඔවුන්ගේ හෘද සාක්ෂියට එකඟව අසන ලෙස මා උගත්, බුද්ධිමත් සියලු දෙනාගෙන් ඉලා සිටිනවා. අප මැතිවරනයට මුහුන දෙන අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රජාව හිටියේ අපට අවි අමෝරාගෙන. අපේ ආදාරනීය මව් බිමට ඉහලින් ආර්ථික සම්බාධක ලඹ දෙමින් තිබුන”.
“සම්මුති ආන්ඩුව” පිහිටුවීමෙන් ශ්‍රී ලංකාව “ජාත්‍යන්තර ප්‍රජාවේ” සහයෝගය “යලි දිනා ගත්” බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය. ඉක්බිතිව, හමුදාවට සහ සිංහල වර්ගෝත්තමවාදීන් ට කල සෘජු ආයාචනයක් ලෙස ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ජාත්‍යන්තර පරීක්ෂනයක් පිලිබඳ සැලසුම් තමා නතර කල බවට ඔහු කයිවාරු ගැසුවේ ය.
සිරිසේන අනතුරුව, අද තත්වය හිටපු අගමැති සහ ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බන්ඩාරනායක 1956 සිට 1959 දක්වා මුහුන දුන් අර්බුදය සමග සංසන්දනය කලේ ය. බන්ඩාරනායක ඔහුගේ පාර්ලිමේන්තු වෘත්තීය ආරම්භ කලේ එජාපයේ ප්‍රථම අමාත්‍ය මන්ඩලයේ සාමාජිකයෙකු ලෙසිනි. ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය යටතේ වාමාංශික පාලන තන්ත්රයක් බලයට පත් වීම වැලැක්වීම පිනිස ඔහු එජාපයෙන් කැඞී ශ්‍රී ලාංකීය විකල්ප ධනපති පක්ෂයක් ලෙස 1951 දී ශ්රීලනිපය පිහිටු වී ය.
සුලු ධනේශ්වර අවස්ථාවාදී සංවිධාන, සිංහල වර්ගවාදී සහ ස්ටැලින්වාදී පක්ෂ සමග සභාගයක් පිහිටුවීමෙන් පසු ශ්රීලනිපය 1956 මැතිවරනය ජයග්‍රහනය කලේ ය. කම්කරු පන්තියේ සියලුම කොටස් සම්බන්ද වූ බලගතු ජාතික වර්ජන මාලාවක් විසින් නව ආන්ඩුව අහියෝගයට ලක් කෙරුනි. ඔහුගේම පක්ෂයේ තුල වඩාත් දක්ෂිනාංශික කන්ඩායම් විසින් සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්රනයක් මගින් 1956 දී බන්ඩාරනායක ඝාතනය කරනු ලැබී ය.
සිරිසේන මෙම සිද්ධිය මතු කලේ රාජපක්ෂ වටේ රැලි වී සිටින දේශපාලනිකව අපරිනත අනුගාමිකයන්ගේ අනුකම්පාව දිනා ගැනීමට සහ වර්තමාන විරෝධතා උද්ඝෝෂනවල සහ වර්ජනවල යෙදී සිටින කම්කරුවන් සහ තරුනයන් ට තර්ජනය කිරීමට ය.
ඔහුගේ පාලන තන්ත්රයට විරුද්ධ වන කම්කරුවන් සහ තරුනයන් ඔහුගේ ආන්ඩුව විසින් නිර්මානය කර ඇති ප්රජාතන්ත්රවාදී කොන්දේසි “අපයෝජනය” කරන බව සිරිසේන ප්‍රකාශ කලේ ය. “ෆේස් බුක්, පෙලපාලි සහ උද්ඝෝෂන පාවිච්චි කරමින් සමහරු ප්රජාතන්ත්රවාදය අනිසි ලෙස බුක්ති විඳිනවා. එහි සීමාවන් තිබෙන බව නොදැන ඔවුන් නිතරම ඒවා ඉක්මවා යනවා. එවන් තත්වයක් රටට ඉවසන්න බැහැ”. ඔහු සඳහන් කලේ ය.
සිරිසේන ගේ ප්රජාතන්ත්රවාදී මවාපෑම වංචාවකි. ඔහුගේ ආන්ඩුව දැනුවත්ව ම පොලීසිය සහ හමුදාව ශක්තිමත් කරමින් වර්ජනය කරන කම්කරුවන්ට හා තරුනයන්ගේ සහ ගම්බද දුගීන්ගේ විරෝධතා වලට එරෙහිව ක්‍රමානුකුලව බලමලු ගන්වයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දසක තුනක යුද්ධය අවසන් වීමෙන් වසර අටකට පසුත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා දිවයිනේ උතුර-නැගෙනහිර වාඩිලාගෙන සිටී. යුද පුනරුත්ථාපන කටයුතු සම්පූර්න කෙරී ඇත්තේ මඳ වශයෙනි. සිය ගනනක් පවුල් තවමත් අවතැන්ව සිටිති.
ශ්‍රී ලංකාව තුල ප්රජාතන්ත්රවාදයේ විකසිතවීමක් වෙනුවට, ආන්ඩුව පලාත්පාලන මැතිවරන වසරකට වැඩි කාලයක් කල්දමා ඇති අතර පලාත්සභා මැතිවරන 2019 දක්වා කල්දැමීමට හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමට සැලසුම් කරයි.
මර්දනකාරී නීති මාලාවක් සම්මත කිරීමට හා ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කිරීමට පාර්ලිමේන්තුව තුල තිබෙන එජාප සහ ශ්‍රීලනිප ඒකාබද්ධ ඡන්ද ප්‍රමානවත් වුනත්, ආන්ඩුව බෙහෙවින් වාරු වී සිටින්නේ පොලීසිය හා හමුදාව මතය. සිරිසේන රැස්වීම අමතන විට ප්‍රදර්ශනය කෙරුන සන්නද්ධ ශක්තිය මගින් මෙය පැහැදිලිව පෙන්නුම් කරනු ලැබීය.
හිටපු හමුදාපති සහ බ්රසීලීයේ වර්තමාන ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරියට විරුද්ධව යුද අපරාධ පරීක්ෂන පිලිබඳ බ්‍රසීලියානු මානවහිමිකම් සංවිධාන විසින් නීතිමය පියවර ගැනීමේ සූදානම හෙලා දැකීමට සිරිසේන රැස්වීම උපයෝගී කර ගත්තේය. “මා ඉතා පැහැදිලිව කියනවා, ජගත් ජයසූරියට හෝ මේ රටේ වෙනත් කවර හෝ හමුදා නායකයෙකුට හෝ රනවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිම කෙනෙකුට ඉඩ නොදෙන බව” ඔහු එහි දී ප්‍රකාශ කලේ ය.
සිරිසේනගේ තර්ජනය කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක් හා ශ්‍රී ලංකාවේ සම්මුති ආන්ඩුවේ අතිශය මංමුලාසහගත අර්බුදය තවදුරටත් ඉස්මතු කර පෙන්වයි. වර්ධනය වෙමින් පවතින ගෝලීය අර්බුදය විසින් තීව්ර කරන ලද ආර්ථික ප්‍රශ්න වලට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ පාලක ප්රභූව, හමුදා ස්වරූපයන්ගේ පාලනයක් සඳහා කෙරෙන සූදානම තුල ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර වේගවත් කරනු ඇත.
Follow us on