වෘත්තීය සමිති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක අරගලයට ඇබ ගැසීමේ තැතක
දේහින් වසන්ත විසිනි, 2018 පෙබරවාරි 12
ජනවාරි 25 දා වර්ජනයක යෙදුන විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් පෙබරවාරි 6-7 දෙදින යලිදු වර්ජනයක යෙදුනි. මාසික හිලව් දීමනාව සියයට 20 කින් වැඩි කිරීම, අහිමි කල භාෂා දීමනාව යලි ලබාදීම, විශ්ව විද්‍යාල සේවක අර්ථසාධක අරමුදල සුරක්ෂිත කිරීම, අනධ්‍යයන සේවකයන් සඳහා වෛද්‍ය රක්ෂන ක්‍රමයක් ඇති කිරීම, දේපල නය සීමාව ඉහල දැමීම සහ අනධ්‍යන සේවයට අධ්‍යාපන ඇමතිගේ ලැයිස්තුවට අනුව බඳවා ගැනීමේ ක්‍රමය වෙනුවට නිසි බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක කිරීම අනධ්‍යයන සේවකයෝ ඉල්ලා සිටිති.
මාසික හිලව් දීමනාව 2015 ජනවාරි මාසයේ සියයට 20 කින් වැඩි කල නමුත් 2016 වැඩිකිරීමක් සිදු නොවුන අතර 2017 ජනවාරි මාසයේ එය වැඩි කෙරුනේ සියයට 5 කින් කප්පාදු කර සියයට 15 කිනි. සේවකයන් පවසන්නේ 2016 වර්ජනයේ දී ආන්ඩුව පොරොන්දු වූ පරිදි එම දීමනාව අඛන්ඩව වසර 5 ක් පුරා සියයට 20 න් වැඩි විය යුතුය.
සියලු ම විශ්ව විද්‍යාල සහ අනුබද්ධ ආයතන වල 15,000 ක් පමන වන අනධ්‍යයන සේවකයන්ගෙන් බහුතරයක් වර්ජන දෙකට ම සම්බන්ධ විය. උතුරු නැගෙනහිර ඇතුලු දිවයිනේ හැම පලාතකින් ම පැමිනි දහස් ගනනක් කොලඹ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට 7 වෙනිදා පැවැත්වූ පිකට් උද්ඝෝෂනයට සහභාගි වූහ.
අනධ්‍යයන සේවකයන් දෙවන වරටත් වර්ජනයකට එලඹුනේ සහ පිකට් උද්ඝෝෂනයක නිරත වූයේ ආන්ඩුව මැතිවරන කොමිසමේ සභාපති හරහා මැතිවරන කාලය තුල වර්ජන සහ උද්ඝෝෂන නොපවත්වන ලෙස පනවා තිබු තහනම නොතකමිනි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ජීවන තත්වයන්ට හා සේවා කොන්දේසි වලට ධනපති ආන්ඩුව එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව අනධ්‍යයන සේවකයන් අතර පවතින බලගතු විරුද්ධත්වය සහ තම අයිතීන් සඳහා සටන් කිරීමට පවතින දැවෙන උවමනාව ය.
විශ්ව විද්‍යාල සේවකයන්ගේ අරගලය, ධනපති ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මන්ඩලය, තැපැල්, සෞඛ්‍ය, දුම්රිය හා ජල මන්ඩලයේ කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය අලලා ගනිමින් වැඩෙන පන්ති අරගලයේ කොටසකි. එමෙන් ම එය, පසුගිය දශක හතර තුල ධනපති පාලක පන්තීන් විසින් කප්පාදුකල අයිතීන් යලි දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වන නව අරගල මාලාවේ ප්රකාශනයකි.
වර්ජනය කැඳවුම් කලේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසිනි. ඒකාබද්ධ කමිටුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය අන්තර් විශ්ව විද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය, කාර්මික නිලධාරී සංගමය, මාන්ඩලික සහකරුවන්ගේ සංගමය, උප ශාලාධිපතිවරුන්ගේ සංගමය ඇතුලු සමිති වල පෙරමුනකි. මුලින් සඳහන් කල සමිති තුන පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එකසත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන අතර සෙසු ඒවා ස්වාධීන යයි කියා ගනිති. එහෙත් ඔවුන් සියලූ දෙනාම නිශ්චිත භුමිකාවක නිරත ව සිටිති: එනම්, ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව විශ්ව විද්‍යාල සේවකයන් ගේ දැනුවත් අරගලයක් වර්ධනයවීම වැලැක්වීමය.
ඒකාබද්ධ කමිටුවට යලිත් වර්ජනයක් කැඳවීමට බල කෙරුනේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව විශ්ව විද්‍යාල සේවකයන් අතර වැඩෙන විරුද්ධත්වය හා ජනවාරි 25 සංකේත වර්ජනයේ දී මැතිවරනයෙන් පසු සියලු ප්‍රශ්න “විසඳන” බවට උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල දුන් පොරොන්දුව සේවකයන් පිලි නොගත් තතු තුල ය. ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුනොත් පෙබරවාරි 28 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඒකාබද්ධ සමිති පෙරමුන කියා ඇත.
එහෙත් ඔවුන් උත්සාහ කරන්නේ සංකේත වර්ජන ඇතුලු ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමේ ඇල්මැරුනු විරෝධතා උද්ඝෝෂනවලට කොටුකර සේවකයන් දුර්මුඛ කර ඔවුන් අතර වැඩෙන පෙරලි කාරිත්වය වාෂ්ප කර දැමීමට ය.
වර්ජන සහ උද්ඝෝෂන වලට එරෙහි ආන්ඩුවේ තහංචිය පිලිගත් සමිති නායකයන්, 25 වෙනිදා පැවති වර්ජනයේ දී අවම වශයෙන් වර්ජිත කම්කරුවන්ගේ පිකට් වැටක් පවා සංවිධානය නොකලේ මැතිවරනයක් පවතින අවස්ථාවේ පිකට් කිරීම “සදාචාරාත්මක” නොවන බව පවසමිනි.
මෙම සමිති සියල්ලම වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් අතර වර්ධනය වන පෙරලිකාරිත්වය පසුපසට තල්ලු කිරීම පිනිස හැකි සෑම ආකාරයෙන් ම ක්‍රියාත්මක වෙති.
ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිත්වය නොදුන් බවට චෝදනා කරමින් කාර්මික නිලධාරීන්ගේ සංගමය ඉන් ඉවත් වී ඇත. එය විශ්ව විද්‍යාල සේවකයන් අතර ශ්‍රේනිවාදී භේදයක් නිර්මානය කිරීමේ හා අරගලය කඩාකප්පල් කිරීමේ තැතකි.
ආන්ඩුවට බලපෑම් දැමීමෙන් විශ්ව විද්‍යාල සේවකයන්ගේ වැටුප් හෝ සෙසු ඉල්ලීම් දිනාගත නොහැකිය. උද්ඝෝෂන නීති විරෝධී බවත් සියයට 20 කින් හිලිව් දීමනාව වැඩි කිරීමේ ඉල්ලීම වැටුප් හා සංඛ්‍යාත කොමිසම විසින් පිලි නොගන්න බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනටමත් වෘත්තීය සමිති වලට කියා ඇත.
ප්‍රතිපාදන කොමිසම වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති තතු තුල ඉල්ලීම් ලබා ගැනීම සඳහා “දේශපාලන මැදිහත්වීමක්” අවශ්‍ය බව සමිති නායකයන් සාමාජිකයන්ට ප්‍රකාශ කර ඇත. “දේශපාලන මැදිහත්වීමක්” යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව විශ්ව විද්‍යාල සේවකයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්යාාපාරයක් සඳහා සටන් කිරීම නො ව; ප්රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස අධ්‍යාපන ඇමතිට, අගමැතිට හා ජනාධිපතිට කන්නලව් කිරීමකි.
විශ්ව විද්‍යාල සේවකයන් ඇතුලු කම්කරු පන්තියේ අරගල ගැටෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් සමගය. රාජ්‍ය ආයතන පුද්ගලීකරන්ය හා ප්රතිව්යූහ ගත කිරීම, වියදම් කප්පාදුව ඊට ඇතුලත් අතර එම නිර්දේශයන් ක්‍රියාවට දැමීම කඩිනම් කරන ලෙස ජාමුඅ ආන්ඩුවට නියෝග කර තිබේ.
පසුගිය වසර කිහිපය තුල අධ්‍යාපනය සඳහා වියදම් ක්‍රමානුකුලව කප්පාදු කිරීම, පුද්ගලික විශ්ව විද්‍යාල සහ රාජ්‍ය විශ්ව විද්‍යාල තුල මුදල් අයකරන පාඨමාලා ආරම්භ කිරීම සහ විශ්ව විද්‍යාල තුල පවතින පුරප්පාඩු නොපියවීම සහ අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් ඉවත් කිරීම එහි කොටසකි.
ඒකාබද්ධ සමිති කමිටුව විශ්ව විද්‍යාල සේවකයන්ට ප්‍රහාර එල්ල කෙරෙන ආන්ඩුවේ පිලිවෙත් ගැන කතා නොකරති. ඒ එවන් සාකච්චාවක් විවෘත වීම ආන්ඩුවේ පිලිවෙත් වලට විරුද්ධව දේශපාලන අරගලයක අවශ්‍යතාවය මතු කෙරන නිසාවෙනි.
විශ්ව විද්‍යාල සමිති පෙරමුන මෙන් ම සමස්තයක් ලෙස වෘත්තීය සමිති ධනපති රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්රාග්ධනයේ ඒජන්තයන් බවට පරිවර්තනය වී ඇත. එහෙයින් ඔවුන් ධනේශ්වර රාජ්‍යයට අභියෝග කරන කම්කරු පන්තියේ කවර හෝ අරගලයකට පරම ලෙසම හතුරුය.
වෘත්තීය සමිති විසින් කම්කරු පන්තියේ අරගල දුර්මුඛ කිරීමට දැනුවත් ව වැඩ කරන අතර ආන්ඩුව වඩ වඩා පොලිස් රාජ්‍ය විධික්රම යොදා ගනිමින් පන්ති අරගල මර්දනය කිරීම තීව්ර කර ඇත.
විශ්ව විද්‍යාල සේවකයන්ට හා කම්කරු පන්තියට මෙම අභියෝගයට මුහුන දිය හැක්කේ ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන් කිරීමෙන් පමනි.
එවන් ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීම ඉලක්ක කර ගනිමින් වෘත්තීය සමිතිවලින් බිඳී ගොඩ නගා ගන්නා ක්‍රියාකාරී කමිටු හරහා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට විශ්ව විද්‍යාල සේවකයන් හැරී ගත යුතු ය.
Follow us on