හම්බන්තොට වරාය කම්කරුවන්ගේ රැකියා රැක ගන්නේ කෙසේද?
නන්දන නන්නෙත්ති සහ රත්නසිරි මලලගම විසිනි, 2018 ජනවාරි 19
තම රැකියා යලි ලබාදෙන ලෙස ඉල්ලා අරගලයේ යෙදී සිටින හම්බන්තොට වරාය කම්කරුවන්, මාගම්පුර වරාය සේවක සමිතිය (මාවසේස) විසින් “මාරාන්තික උපවාසයකට” යොමුකර ඇත. ජනවාරි 9 වෙනිදා ආරම්භ කල උපවාසයට සහභාගී වූ කම්කරුවන් එකොලොස් දෙනාගෙන් හය දෙනෙකු 12 වන දා වන විට අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් රෝහල් ගත කිරීමට සිදුව තිබේ.
මාවසේස විසින් මෙම බලපෑම් දැමීමේ නිස්සාර ක්‍රියාවට කම්කරුවන් තල්ලු කොට ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආන්ඩුවේ මැති ඇමතිවරුන් සමග මෙන්ම, හිටපු ජනාධිපති රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂයේ” මන්ත්‍රීවරුන් සමග පැවැත්වූ විවිධ ආකාරයේ සාකච්ඡා සහ බලපෑම් දැමීමේ විරෝධතා වටවංගුවල කම්කරුවන් රස්තියාදු කිරීමෙන් අනතුරුවයි.
තම රැකියා අනතුරේ පවත්නා බව දැනගත් හම්බන්තොට වරාය සේවකයන් රැකියා සුරක්ෂිත කර ගැනීමේ අරගලය ආරම්භ කලේ 2016 දෙසැම්බර් තරම් ඈතදීය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එම අරගලය මර්දනය කලේ නාවික හමුදාපතිගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ නාවික සෙබල කන්ඩායමක් යොදා කම්කරුවන්ට රුදුරු ලෙස පහර දීමෙනි.
2017 අග භාගයේදී හම්බන්තොට වරාය, චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට පැවරීමත් සමග කම්කරුවන් 438 කට රැකියා අහිමි කෙරුනි. තමන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් එම කම්කරුවෝ 2017 නොවැම්බර් 21 වෙනිදා සිට අඛන්ඩ අරගලයක යෙදී සිටිති.
යලි රැකියා ලබා නොදෙන්නේනම් එක් අයෙකුට ලක්ෂ පනහ බැගින් වන්දි ලබාදෙන ලෙස විරෝධතාවය මෙහෙයවන මාවසේස ඉල්ලා සිටී. වරාය අධිකාරිය සහ ආන්ඩුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ආන්ඩුව ඒ වෙනුවට කම්කරුවන්ගේ අරගලය බිඳීම සඳහා රාජ්‍ය මර්දනය උත්සන්න කරමින් සිටී.
රැකියා අහිමි කෙරුනු කම්කරුවන් මාගම්පුර වරාය කලමනාකරන (පුද්ගලික) සමාගම ට බඳවා ගෙන ඇත්තේ “ස්ථිර” පදනම යටතේ ය. මෙම සමාගමේ ව්‍යාපාරික කොටස් වල සම්පූර්න අයිතිය වරාය අධිකාරිය සතුවිය. කම්කරුවන්ගේ සේවය තවදුරටත් “අනවශ්‍ය” බව සඳහන් කරමින් නොවැම්බර් 20 දා චක්‍රලේඛයක් නිකුත් කල සමාගම, ඔවුන් විසින් තීන්දු කෙරෙන වන්දියක් ලබා ගෙන ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන ලෙස කම්කරුවන්ට නිර්දේශ කර තිබුනි.
චක්රලේඛයෙන් නිර්දේශ කර තිබූ අවම වන්දිය රුපියල් තුන් ලක්ෂයක සොච්චමකි. උපරිම වැටුප් ලබා ගනිමින් සිටි කම්කරුවෙකුට පවා ලැබෙන වන්දිය වනුයේ රුපියල් හය ලක්ෂයකට මඳක් වැඩි අගයකි. එය ප්‍රතික්ෂේප කල සියලු කම්කරුවන් රැකියා රැකගැනීමේ උද්ඝෝෂනයක් ආරම්භ කිරීමත් සමග නොවැම්බර් 30 වෙනිදා සිට ඔවුන්ට වරාය පරිශ්‍රයට ඇතුලුවීම වරාය අධිකාරිය විසින් තහනම් කරනු ලැබීය. කම්කරුවන්ගේ සහායට ඉදිරිපත් වූ ඔවුන්ගේ දෙමව්පියෝ ද පසුදින ම වරාය පිවිසුම් මාර්ගය පසෙක වාඩිලාගෙන උද්ඝෝෂනයක් දියත් කලහ.
රාජ්‍ය මර්දනය හමුවේ සහ අනෙකුත් වෘත්තීය සමිති විසින් තම අරගලය හුදෙකලා කොට ඇති තතු යටතේ මාස දෙකකට ආසන්න කාලයක් වරාය කම්කරුවන් විසින් අඛන්ඩව ගෙනයන අරගලයෙන් පෙන්නුම් කෙරෙන්නේ තම රැකියා රැක ගැනීම සඳහා ඔවුන් තුල පවත්නා දැඩි උනන්දුවයි.
එනමුදු උනන්දුව පමනක් ප්‍රමානවත් නොවේ. අරගලය සඳහා නිරවද්‍ය ක්‍රියාමාර්ගයක් සහ නායකත්වයක් අත්‍යවශ්‍යම වෙයි. ක්‍රියා මාර්ගය නිර්නය කිරීමේදී වැදගත්ම අංශය වන්නේ ප්‍රහාරයේ මූලය කුමක්ද යන්න වටහා ගැනීමයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම අරගලය ආරම්භයේ සිටම පෙන්වා දුන් පරිදි හම්බන්තොට වරාය කම්කරුවන්ගේ රැකියා අහිමිවීම බැඳී පවත්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයෙන් නිර්නිත සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත සමගයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්රමුඛ ගෝලීය මූල්‍ය ප්රාග්ධනය විසින් රටේ සමස්ත ආර්ථිකයේම ප්රතිව්යූහකරනයක් සඳහා බලකර සිටී. රට තුල ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජනය සඳහා ඇති සියලු බාධා ඉවත් කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම, වියදම් කප්පාදු කිරීම සහ වැඩවේගවත් කිරීම අරමුනු කරගත් රාජ්‍ය ආයතනයන්හි ප්රතිව්යූහකරනය, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් දැවැන්ත ලෙස කප්පාදු කිරීම මෙම ආර්ථික ප්රතිව්යුහකරනයේ මූලිකාංගයන් ය. 2008 මූල්‍ය අර්බුදයෙන් පුපුරා ගොස් බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ආර්ථිකය තුල සෑම රටකම පාලක පන්තීන්හි පිලිවෙත බවට පත්ව ඇත්තේ මෙයයි.
හම්බන්තොට වරාය කම්කරුවන් මෙන්ම, තැපැල්, දුම්රිය, විදුලිබල සහ තෙල් කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය මුහුනදී සිටින්නේ මෙම ප්‍රහාරයටයි.
මෙම පිලිවෙත් නිර්නය කෙරෙන්නේ ධනේශ්වර ක්රමයේ ඓතිහාසික නොහැකියාවෙන් බැවින්, ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතාවන් මගින් ඒවා පරාජය කල නොහැක. එම ප්‍රහාර පරාජය කල හැක්කේ, ඒවායෙන් බැටකන සියලු කම්කරුවන් ඒකාබද්ධ කර ගනිමින්, ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ධනපති ක්රමයටත් එරෙහිව කරන දේශපාලන අරගලයක් තුලින් පමනි.
නමුත් මාගම්පුර වරාය සේවක සමිතිය ආරම්භයේ සිටම සිදුකලේ, රැකියා අහිමි වූ කම්කරුවන්ගේ අරගලය වරාය අධිකාරියට සහ ආන්ඩුවට බලපෑම් දැමීම තුල මුලුමනින්ම සිරකොට, රැකියා නැතිනම් අඩුම තරමින් සාධාරන වන්දියක් ලබා ගත හැකිය යන මිථ්‍යාවකට කොටුකර තැබීම යි. තමාට “දේශපාලනයක් නැතැ” යි මෙම සමිතිය කියා සිටියද, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනා ගැනීමේ නමින් ඔවුන් ගැලතී ගත්තේ සෙසු වෘත්තීය සමිති, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය හා ඊනියා බහුජන සංවිධාන සමග ය.
වරාය අධිකාරියෙන් විසඳුමක් බලාපොරොත්තුවූ සමිති නායකයන් එය නොලැබුන තැන ඊ ලඟට බඩගෑවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතයි. සතියක් ඇතුලත පිලිතුරක් ලබා දෙන බවට දෙසැම්බර් 21 දා සිරිසේන පොරොන්දු විය. පසුව, ගැටලූව අදාල අංශ වලට යොමු කර ඇතැයි පවසමින් ඔහු ප්‍රශ්නයෙන් අත සෝදා ගත්තේය.
ඉන්පසු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ධීවර ඇමති මහින්ද අමරවීර හමුවී කල සාකච්ඡාවකදී සමිතිය යෝජනා කර ඇත්තේ වන්දි ලබා ගෙන ඉවත්වීමට කැමති කම්කරුවන්ට ඉල්ලා සිටින වන්දිය සහ 250 දෙනෙකුට වරායේ රැකියා ලබා දෙන ලෙසය. ඇමතිවරයා සමිතියේ යෝජනාව ප්‍රතික්ෂේප කලේය.
බලපෑම් යෙදීමේ එම බංකොලොත් වැඩපිලිවෙල යටතේම ජනවාරි 12 වන දා මාවසේස විසින් පෙලපාලියක් සහ පිකට් වැටක් සංවිධානය කලේය. කම්කරුවන්, ඔවුන්ගේ පවුල් වල ඥාතීන් ඇතුලු පන්සියයක් පමන එයට සහභාගී වූහ. වරායට නුදුරු මිරිජ්ජවිල හන්දිය ආසන්නයෙන් පටන් ගත් පෙලපාලිය වැල්ලවාය කොලඹ ප්‍රධාන පාර ඔස්සේ කිලෝමීටර එකහමාරක් පමන ගමන් කර චිත්‍රාගල හංදියට ලගා වීමෙන් අනතුරුව පිකට් වැට ආරම්භ විය.
සමිතිය එම ක්‍රියාවන් සංවිධානය කලේ එදින ජනාධිපති සිරිසේන හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වීම නිමිති කරගෙන ය. “අපෙ රැකියා බේර ගන්න - අපිත් එක්ක එකතු වන්න” යයි කම්කරුවන් ලවා සිරිසේන ට ආයාචනා කරවීම මගින් යලි රැකියා ලබා ගැනීම සමිතියේ අරමුන විය. එහෙත් මින් පෙර දෙවතාවේ මෙන්ම සිරිසේන කලේ ඔවුන්ගේ ඉල්ලීම් කුනු කූඩයට දැමීම යි.
මේ අතර, 17 වන දා උපවාසකරුවන් වෙත පැමිනි කුප්‍රකට සිංහල වර්ගවාදී භික්ෂුවක් වන ඕමල්පේ සෝභිත කම්කරුවන් කෙරෙහි ව්‍යාජ කාරුනිකත්වයක් පෙන්නුම් කරමින් ඉල්ලා ඇත්තේ අවම වශයෙන් “දියර ආහාර” හෝ ගන්නා ලෙසයි. විසඳුමක් සඳහා අදාල බලධාරීන් සමග සාකච්ඡාවක් සූදානම් කරන බවද ඔහු පවසා ඇත. සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන ජාතික හෙල උරුමයේ නායකයාව සිටි සෝභිතගේ උත්සුකය වන්නේ, ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන අනෙකුත් කම්කරුවන් වරාය කම්කරු අරගලය සමග ඒකාබද්ධ වීමට පෙර එය කෙසේ හෝ නවතා දැමීමයි.
කම්කරු පන්තිය ඓතිහාසිකව වර්ධනය කරන ලද සටන් විධික්රමයන් වන වර්ජන, පෙලපාලි, පිකටිං සහ රැස්වීම් වලින් කම්කරුවන් වඩවඩාත් ඈත් කරමින්, පසුගිය දශක කීපය පුරා, සත්යග්රහ, උපවාස, පොල් ගැසීම් සහ දේව කන්නලව් වැනි අන්ත පසුගාමී ක්‍රියාවන්ට කම්කරුවන් තල්ලු කරනු ලැබුවේ වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම සංවිධාන විසිනි.
මෙය, වෘත්තීය සමිතිවල ඓතිහාසික පරිහානියේ සහ ඒවා පදනම්වී සිටින වෘත්තීයසමිතිවාදයේ ආන්තික බංකොලොත්කමේ ප්රකාශනයකි. ධනවාදයට දේශපාලනිකව අභියෝග කිරීමෙන් කම්කරුවන් වලකන සහ හුදෙක් ආර්ථික ඉල්ලීම් තුල ඔවුන් කොටුකර තබන වෘත්තීයසමිතිවාදය එහි හරයෙන්ම ජාතිකවාදීය.
ජාතික ආර්ථික සීමාව තුල, කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් අතීතයේ යම් සීමිත කාර්යභාරයක් ඉටුකල මෙම වෘත්තීය සමිති, නිශ්පාදන ආර්ථිකයේ ගෝලීයකරනයත් සමග යල්පිනූ උපකරන බවට පත්ව ඇත. වෘත්තීයසමිතිවාදයේ බංකොලොත්භාවයේ මූලය එයයි.
රැකියා අහිමි කෙරුනු වරාය කම්කරුවන් ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර වලින් බැට කන කම්කරුවන් මෙම ප්රතිගාමී වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී අරගලය තමාගේම අතට ගත යුතුය. මේ සඳහා අරගලයේ නව සංවිධානයන්, එනම් කම්කරුවන් විසින්ම පාලනය කරන ක්‍රියාකාරී කමිටු අවශ්‍ය කෙරෙයි. ලංකාවේ, ඉන්දියානු උපමහාද්වීපයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුලුල්තම දේශපාලනික බලමුලුගැන්වීමට මෙම ක්‍රියාකාරී කමිටු සටන් වැදිය යුතුයි.
වැටුප්, රැකියා සහ ජීවන කොන්දේසි රැක ගැනීම සඳහා ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් අවශ්‍ය කෙරේ. ජාත්‍යන්තර සංගත සහ බැංකු එක්ව කම්කරු පන්තියට එරෙහිව ගෙනයන යුද්ධයේ දී ඔවුන් ජාත්‍යන්තර මූලෝපායක් අනුගමනය කරයි. ඒ වනාහි, කම්කරු පන්තිය මෙතෙක් භුක්ති විඳි සියලු සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන් උදුරා ගැනෙන සමාජ ප්රතිවිප්ලවයේ මූලෝපායයි.
තම අවශ්‍යතා සඳහා ගෙනයන අරගලයේදී කම්කරු පන්තිය ද ජාත්‍යන්තර මූලෝපායක් වර්ධනය කරගත යුතුය. එය ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායයි. එම මූලෝපාය යටතේ සටන් වදින කම්කරු ක්‍රියාකාරී කමිටු, ලංකාවේ, ඉන්දු උපමහාද්වීපයේ සහ ලෝකයේ අනෙකුත් කම්කරුවන්ගේ අරගලයන්හිදී එකිනෙකාට උදව් කරමින් ඔවුුන් අතර සමීප සබඳතාවන් ගොඩනැගිය යුතුය.
Follow us on