ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා දූෂන විරෝධී යුද්ධය
වැඩකරන ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමක්
විලානි පීරිස්, සමාජවාදී සමානතා පක්ෂයේ කොලොන්නාව නගර සභා අපේක්ෂක කන්ඩායමේ නායිකාව , 2018 ජනවාරි 29
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ ) එලඹෙන පලාත්පාලන මැතිවරනයේ දී ආයතන 311කට තරඟ වදින බව නිවේදනය කර ඇත. පක්ෂයේ මැතිවරන උද්ඝෝෂන තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “ගම නගන දූෂනය පරදන ජවය” යන්නයි. මේ ඝෝෂාකාරි උද්ඝෝෂනයට මුවා වී ආන්ඩුවේ ද ධනපති පන්තියේ ද බරපතල ප්‍රහාර නිසා කම්කරුවන් හා දුගීන් ඉදිරියේ මතුවී තිබෙන සැබෑ දේශපාලන ප්‍රශ්න යට ගැසීමට ජවිපෙ අනෙකුත් ධනේශ්වර පක්ෂ සමග එක පෙලට ක්‍රියාකරන බවට අපි අනතුරු අඟවමු.
ජීවන හා සමාජ අයිතීන් තලා දැමීම, ප්රජාතන්ත්ර විරෝධී පාලනය හා කුරිරු වර්ගවාදී යුද්ධයෙන් ඇති කෙරුනු විනාශය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව මහජනයා අතර පැතිරී ගිය විරුද්ධත්වය, ඊනියා යහපාලනයක් ඇති කිරීමේ නමින් අවමංගත කොට මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට දායක වූවන් අතර ජවිපෙ පෙරමුනේම සිටියේ ය. එමතු නොව, සිරිසේන එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කොට ඇටවූ ඇමරිකානු ගැති රෙජීමය තහවුරු කිරීම සඳහා පිහිටුවූ ජාතික විධායක සභාවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හවුල් වූයේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ජීවන, සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් පාගා දමන ආන්ඩුවක් ලෙස සිරිසේන-වික්‍රමසිංහ පාලනය වැඩකරන ජනතාව හා තරුනයන් අතර අපකීර්තියට පත්වී තිබේ. සිරිසේන බලයට ගෙන ඒමට සම්මාදම් වීමෙන් ආන්ඩුවේ ප්රහාරයන්ට තමන් ද වගකිවයුතු වුවත් ජවිපෙ හොර පූසන් මෙන් ඒ ගැන නිහඬය. ආන්ඩුවට එරෙහිව නැගෙන මහජන විරෝධය දූෂන විරෝධී ව්‍යාපාරයක් තුලට හරවා පසුගිය කාලයේ බලයේ සිටි ආන්ඩුවලට මුක්කු ගැසීම නිසා ඛාදනය වී ඇති තමන්ගේ පදනම් පිරියම් කරගෙන එලෙඹෙන ජාතික මැතිවරනවලදී බලයට ඒමට කොන්දේසි හදා ගැනීමට ජවිපෙ උත්සාහ දරයි.
ගාල්ලේ දී ජනවාරි 20 දා පැවැත්වූ මැතිවරන ප්රචාරක රැස්වීමකදී “අවුරුදු හැත්තෑවක් තිස්සේ අපේ රට මුහුදු කොල්ලකරුවන් වගේ කන්ඩායමකට අහුවෙලා,” යයි සඳහන් කල ජවිපෙ නායක දිසානායක මෙසේ ප්‍රශ්න කලේය: “අපිට චන්දෙ දෙන්නෙ නැත්නම් කාටද දෙන්නෙ? එක්සත් ජාතික පක්ෂයට දෙනවාද? නැත්නම් මෛත්‍රීපාල සිරිසේනට දෙනවාද? එහෙම නැත්නම් අලුත් පක්ෂයට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට දෙනවාද?” ඉන් පසු ඔහු රාජපක්ෂ, සිරිසේන හා වික්‍රමසිංහ පාලනයන් යටතේ සිදුවූ දැවැන්ත හොරකම් ගැන වට්ටෝරුව කියා පෑවේය.
“දැන් අපේ රට රැවටිලිකාර දේශපාලනයෙන් මුදා ගැනීමේ සටන ආරම්භ කරමු” ඉල්ලා සිටි දිසානායක ඊට, හොඳම අවස්ථාව, පෙබරවාරි 10 දා මැතිවරනය බවද “ඉතා ශක්තිමත් බලයක් ලබා දෙන්න සමත් වුනොත්” විස්සේදී [2020] ආන්ඩු බලය ලබාගැනීමට සමත් ව්‍යාපාරය බවට ජනතා විමුක්ති පෙරමුන හදන” බවද කියා සිටියේය.
ජවිපෙ කුමන රැස්වීමකට කන් දුන්නත් දිසානායකගෙන් පමනක් නොව පක්ෂයේ අනෙකුත් නායකයන්ගෙන් ද ඔබට අසන්නට ලැබෙන්නේ තොරතෝංචියක් නැතිව කියන මෙම කතාවමයි.
මෙම කථාවේදී ඔහු බොහෝ දේවල් කීම මග හැරියේය. 2015 දී රාජපක්ෂගේ ඒකාධිපතිත්වය හා ඔහුගේ දූෂනය අවසන් කිරීමේ ජවිපෙ ව්‍යාපෘතියට කුමක් වූයේ ද? ජවිපෙ සහ අනෙකුන් සිරිසේන ඔසවා තැබීමට ගෙනගිය උද්ඝෝෂනය බිඳ වැටුනේ ඇයි? දිසානායකගේ පිලිතුර වූයේ හුදෙක්ම සිරිසේන හා වික්‍රමසිංහ පොරොන්දු කඩ කලා යන්නයි.
මෙම පක්ෂ හා කන්ඩායම් මහජනයාට ඒත්තු ගැන්වීමට තැත් කලේ දූෂනය හා ඤාති සංග්‍රහය රාජපක්ෂගේ සහ ඔහු වටා සිටියවුන්ගේ පුද්ගලික පාපිෂ්ඨත්වයකින් පැනනැගුනු දෙයක් ලෙසය. එහෙයින් ඔහු මාරුකොට වෙනත් අයෙක් බලයට ගෙන ඒමෙන් ප්රශ්නය විසෙඳෙන බවයි. ඔවුන් සියලූ දෙනා ආවරනය කලේ රාජපක්ෂ පාලනයේ දුෂ් ක්‍රියා කුනුවෙමින් පවතින ධනවාදයේ එක් විසකුරු ප්රකාශනයක්ය යන්නයි. ප්රජාතන්ත්ර විරෝධී පාලනය, ජීවන හා සමාජ අයිතීන් තලා දැමීම හා දූෂනය, වංචාව මෙම පද්ධතියට බැඳී ඇත. එය ජාත්‍යන්තර ප්රපංචයකි.
ජවිපෙ මෙම සත්‍යය ඉතා ප්‍රවේසමින් ආවරනය කරයි. මන්ද යත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති බැඳී ඇත්තේ ධනපති ක්‍රමය රැකීමට වන හෙයිනි. ඔවුන්ට අනුව දූෂනය, වංචාව හා නාස්තිය නතරකර දමා මෙම පද්ධතිය පිරිසිදු කර පවත්වා ගෙනයා හැකිය. මෙය ධනවාදය රැකීම සඳහා ගොතන දුෂ්ට මිත්‍යා ප්රබන්ධයකි. අර්බුද ග්රස්ත ධනවාදය එලෙස කෙලින්කර සිටවිය හැකි නොවේ.
පලාත්පාලන මැතිවරනයේ දී මේ උද්ඝෝෂනය ජවිපෙ ගෙනයන්නේ තනිවම නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නායකයා වන ජනාධිපති සිරිසේන, එජාප නායක වික්‍රමසිංහ, රාජපක්ෂ ප්රමුඛ පොදුජන පෙරමුන (පොජපෙ) ද මෙම උද්ඝෝෂනයම එකිනෙකා පරයා යාමට තැත් කරමින් ගෙන යති. විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය එම ප්‍රචාරය ඉහලින්ම පුම්බා තබයි.
මෙය වනාහි අප්රකාශිත සන්ධානයකි. ජවිපෙ, එජාපෙ, ශ්‍රීලනිප, පොජපෙ එලෙස අප්රකාශිත සන්ධානයක සිටින්නේ දූෂන විරෝධී දුමාරයකින් වැඩකරන ජනතාවට එල්ල වන්නාවූ සියලු ප්රහාරයන්හි මූලය වන ජාත්‍යන්තර ධනවාදයේ ද එහි කොටසක් ලෙස ලංකාවේ ධනේශ්වර ක්රමයේද අර්බුදය ආවරනය කිරීමටයි.
ජවිපෙ ව්‍යාපාරයේ ධනපති ගැතිකම පැහැදිලි කරන තවත් පැත්තක් ඇත. ඔවුන් සඳහන් කරන්නේ නගරය හා ගම දූෂිතයන්ගේ අතින් මුදා ගත්තොත් නාස්තිය ද නැති කර මේ ප්‍රදේශ කෙලින් කර ගත හැකිි බවයි. මීට හොඳම උදාහරනය ලෙස දක්වන්නේ කලක් ඔවුන්ගේ පාලනය යටතේ පැවති තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවයි. එහෙත්, තිස්සමහාරාමයේ ඔවුන් ගෙනගියේ ආන්ඩුවේ විමධ්‍ය ගත අයවැයෙන් ලැබුනු අරමුදල් වියදම් කරමින් ද මහජනයා ශ්රමදානවලට කැඳවා ගනිමින්ද පාලනය කිරීමක් මිස වෙනත් අරුමයක් නොවේ. මේ දිනවල ඔවුන් රට පුරා පලාත් පාලන ආයතන තමන් අතට පත්කලහොත් ඒවාද ප්‍රදේශයේ සම්පත්වලින් ගොඩනංවන සැටි පෙන්වන බව වහසි බස් දොඩති. ඔවුන් මෙලෙස පතුරුවන්නේ, රටපුරා ධනපති පන්ති පාලනය දරිද්‍රතාවයේ මහා ජනයා ගිල්වද්දී ගම සංවර්ධනය කල හැකිය යන තවත් මිථ්‍යාවකි.
ආන්ඩුවේ ඔබ්සර්වර් පුවත්පත දිසනායක සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවක් ජනවාරි 21 වැනි දා පල කලේය. එහිදී ලියුම්කරු “ජවිපෙ අතීත ප්රචන්ඩ ක්‍රියා” මැතිවරනවලදී මතුවන ප්‍රශ්නයක් හෙයින් එම අදහස් වෙනස් කිරීමට පියවර ගෙන ඇත්දැයි ප්‍රශ්න කලේ ය. මෙම විවේචන අවුරුදු 28ටත් වඩා පරන කාලයකට සම්බන්ධ බව සඳහන් කරමින් දිසානායක මෙසේ පිලිතුරු දුන්නේය: “1994 දී ජවිපෙ ආන්ඩුවේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇතුලුවීමෙන් පසු අපට විරුද්ධව සැලකියයුතු විවේචනයක් එල්ල වී නැත.”
සහතිකෙන්ම. චේගුවේරා, කැස්ත්‍රෝ ආදීන් ගැන ද ඉඳහිට මාක්ස්වාදය හා සමාජවාදය ගැන ද කල රැඩිකල් දෙඩවිලි තවමත් සැරසිල්ලක් ලෙස ගෙන ගියත් ධනපති සංස්ථාපිතයට කැපවීම 1994 පටන් ගතවූ දශක දෙක හමාර තුල වඩවඩාත් දකුනට යමින් ජවිපෙ ප්‍රදර්ශනය කල නිසා පාලක පන්තියෙන් “සැලකියයුතු විවේචනයක් එල්ලවී නැත.” දෙමල විරෝධී වර්ගවාදය අවුස්සා කම්කරුවන් වාර්ගිකව භේද කිරීමේ පාලක පන්තියේ පිලිවෙතට සහාය දුන් මෙම පක්ෂය 1983 වර්ගවාදී යුද්ධය ඇරඹු තැන් පටන් එහි මූලිකම කසකරුවා ලෙස ක්‍රියා කලේය.
ජවිපෙ අලූත් “වෙනස” පටන් ගත්තේ ශ්‍රීලනිපයේ එවක නායිකාව වූ චනද්‍රිකා කුමාරතුංගට ජනාධිපති වීමට සහයෝගය දෙමිනි. 2004 ඇගේ ආන්ඩුවට රිංගු ජවිපෙ 2005 රාජපක්ෂට සහයෝගය දී පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා හා එජාපය සමග සන්ධාන ගතව අවසානයේ සිරිසේන බලයට ගෙන ඒමට කඳවුරු බැඳ ගත්තේ ය. ඉදින් ජවිපෙ දේශපාලන සංස්තාපිතයට අන්තර්ග්රහනය වී ඇති බවට තවත් සහතික කුමට ද?
මෙම “වෙනස” ලෝක පරිමානව සිදුවූ වර්ධනයක් ලංකාවේ පක්ෂයක් තුලින් ප්‍රකාශයට පත්වූ එක ආකාරයකි. පෙර ජාතිකවාදී ව්‍යාපාර විසින් ඔජවැඩවූ ජාතිකවාදී ව්‍යාපෘති නිෂ්පාදනයේ භූගෝලීයකරනයත් සමග 1980 ගනන් වල බිඳවැටුනි. මුල්‍ය ප්රාග්ධනය සූරාකෑම සඳහා මුදාහරින ලද නව ප්‍රහාරයට ධනපති හා සුලු ධනපති ජාතිකවාදී ව්‍යාපාර අනුගතවිය. ජාතිකවාදී පිලිවෙත් බිඳවැටී 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවා දැමීමත් සමග මෙම කන්ඩායම් වල දකුනු ගමන තවත් වේගවත් විය. සිංහල වර්ගවාදය ගුවේරාවාදය සහ මාඕවාදය සමග මිශ්‍ර කෙරුනු දෘෂ්ටිවාදයක් මත පදනම්ව බිහිවූ ජවිපෙ වත්මන් ධනපති ගැති දේශපාලනය අතීතයෙන් බිඳීමක් නොව එහි තර්කානුකූල දක්ෂිනාංශික පරිවර්තනයකි.
ජවිපෙ දකුනට පැදීම, ඇමරිකානු හා යුරෝපීය බලයන් සමග සම්බන්ධකම් හදාගැනීමට දැරුනු ප්රයත්න සමග සම්බන්ධවිය. කොලඹ තිබෙන බටහිර තානාපති කාර්යාල සමග ඇතිකරගත් සම්බන්ධතා එහි කොටසකි. සිරිසේන බලයට ගෙන ඒමේ පාලන තන්ත්‍රමාරුව ලංකාව තුල ඇති කිරීම සඳහා පිටිපසින් අත දමා ක්‍රියා කලේ වොෂින්ටනයයි. ඊට හේතුව රාජපක්ෂ බෙයිජිනය සමග ගෙනගිය සම්බන්ධතාවෙන් ලංකාව ඈත්කර චීනයට එරෙහි සිය මූලෝපායට බැඳගැනීම සඳහා පැවති අවශ්‍යතාවය යි. ජවිපෙ 2015 දී සිරිසේන බලයට ගෙන ඒමට ක්‍රියා කරමින් පෙලගැසුනේ මෙම ප්රතිගාමී ව්‍යායාමය සමගයි.
ජවිපෙ ආර්ථික වැඩපිලිවෙල විදේශ ආයෝජකයන්ට සහන පුදා ගෙන්වා ගැනීමේත් ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ට කොන්දේසි හදා දීමේත් පිලිවෙතකි. 2017 සැප්තැම්බර් 14වන දා කොලඹ පැවති සම්මන්ත්‍රනයකදී මහ ව්‍යාපාරිකයන් අමතා දිසානායක මෙසේ සහතික වූයේ ය: “අපේ පක්ෂය විදේශ ආයෝජන හෙලා නොදකී. ඒවා තෝරාගත් අංශවලට අපි පිලිගනිමු... රුසියාව හා චීනය බඳු තවත් සමාජවාදී රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපගේ ප්රයත්නය නොවේ.”
රුසියාවේ සමාජවාදී විප්ලවය ස්ටලින්වාදී නිලධරය පසුව පාවා දුන්නේය. චීනය විකෘත කම්කරු රාජ්‍යයක් ලෙස පැවතී 1980 ගනන්වල සිට ධනවාදය පුනස්ථාපනය කෙරී ඇති රටකි. එහෙත්, දිසානායකට අවශ්‍යවූයේ තමන් කිසිසේත්ම සමාජවාදී නොවන බව ආයෝජකයන්ට පෙන්වා දීමයි.
දූෂන විරෝධි යුද්ධයක යෙදෙන බව පවසමින් ජවිපෙ සඟවන්නේ ධනේශ්වර ක්‍රමයට එහි කැපවීමයි. ලංකාවේ අනෙකුත් පක්ෂ මෙන්ම ජවිපෙ ද තැතිගැනී සිටින්නේ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ උද්ගමනයට සමගාමීව ලංකාවේ ද කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර වැඩෙන පෙරලිකාරිත්වය පිලිබඳවයි. වැඩකරන ජනතාව හා තරුනයන් ඉදිරියේ මතුව ඇත්තේ තීරනාත්මක ප්රශ්නයන්ය. ඔවුනගේ ජීවන හා සමාජ කොන්දේසි තලා දැමේ; ප්රජාතන්ත්රවාදී අයිතීන් උදුරාගනිමින් පොලිස් රාජ්‍ය පාලනයක් ඇති කිරීමේ කොන්දේසි සකස් කෙරෙමින් පවතී; ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද කරත්තයට ලංකාව ගැට ගසමින් සිටී.
මෙම මහජනතාවන් ජවිපෙ අනෙකුත් පක්ෂ හා කන්ඩායම් සමග පෙල ගැසී ගෙන යන දූෂන විරෝධී ඝෝෂාවේ උගුල ප්‍රතික්ෂේප කල යුතුය. මෙම පක්ෂවලින් ස්වාධීනව ඔවුන් සංවිධානය විය යුතුය. ඔවුන්ට ඇති එකම විකල්පය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාවේ සමාජවාදය සඳහා සටනට සූදානම් වීමයි.
නිෂ්පාදනය හා බෙදාහැරීම අතලොස්සක ලාභ සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා සැලසුම්ගතව ප්‍රතිසංවිධානය කල යුතුය. දෙස් විදෙස් මහා ව්‍යාපාර, බැංකු, හා විශාල වතු කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනයකට නතු කිරීමෙන් පමනක්ම එය කල හැකිය. දූෂනය පිටු දැකීම මෙයින් මිස වෙනත් ආකාරයකින් කල නොහැකිය. කම්කරු පන්තිය වාර්ගික භේදකරනය කපා හරිමින් එකමුතුව සියලූ දුගීන් හා තරුනයන්ගේ නායකත්වය ගෙන සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ක්‍රියා මාර්ගය මත මෙහෙයවීම අවශ්‍යය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන්නේ මෙම ක්‍රියා මාර්ගයයි.
කොලොන්නාව, කයිට්ස් හා අඹගමුව පලාත්පාලන ආයතනවලට අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් සසප අරගලය කරන්නේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අවධානයට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඒම සඳහාය. අප ඔබගෙන් ඉල්ලන්නේ මෙම අරගලයට එක්වෙමින් සමජවාදී විකල්පයට සටන් කිරීමට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙසයි.
Follow us on