මාක්ස්ගේ උපතින් දෙසිය වසර, සමාජවාදය හා ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවය

The bicentenary of Marx’s birth, socialism and the resurgence of the international class struggle

2018 ජනවාරි 3

“අපි ලෝකයට මෙසේ නොකියමු: ‘ඔබේ අරගල නවත්වන්න, ඒවා තකතිරුය; අරගලයේ සැබෑ සටන්පාඨ අපි ඔබට දෙන්නෙමු’. හුදෙක් එය තත්‍ය වශයෙන්ම සටන් වැදී සිටින්නේ කුමක් වෙනුවෙන්දැයි අපි ලෝකයට පෙන්වා දෙන්නෙමු. සවිඥානකත්වය යනු, ඊට එය අවශ්‍ය නොවන්නේ වුව ද තමා විසින්ම අත්පත් කර ගනු ලැබිය යුත්තකි.” [ආර්නෝල්ඩ් රූජ් වෙත කාල් මාක්ස්, 1843 සැප්තැම්බර්]

“ආයුධ මගින් කෙරෙන විචාරයට සත්තකින්ම, විචාරයේ ආයුධය විස්ථාපනය කල නොහැකිය. ද්‍රව්‍යමය බලය පෙරලා දැමිය යුත්තේ ද්‍රව්‍යමය බලයෙනි; එහෙත් න්‍යාය ද, එය මහජනයා ග‍්‍රහනයට නතු කර ගත් වහා, ද්‍රව්‍යමය බලයක් බවට පත්වෙයි.” [හේගල්ගේ නීතියේ දර්ශනවාදය පිලිබඳ විචාරයට සම්ප‍්‍රදානයක්, 1844]

“ජර්මනියේ විමුක්තිය යනු මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තියයි. මෙම විමුක්තියේ හිස දර්ශනවාදය වන අතර එහි හදවත වන්නේ නිර්ධන පන්තියයි. නිර්ධන පන්තිය අහෝසි කිරීමෙන් තොරව දර්ශනවාදය යථාර්ථයක් බවට පත් කල නොහැකිය, දර්ශනවාදය යථාර්ථයක් බවට පත් කිරීමෙන් තොරව නිර්ධන පන්තිය අහෝසි කල නොහැකිය.” [හේගල්ගේ නීතියේ දර්ශනවාදය පිලිබඳ විචාරයට සම්ප‍්‍රදානයක්, 1844]

“එය වූ කලී, ඒ හෝ මේ නිර්ධනයා හෝ සමස්ත නිර්ධන පන්තියම විසින් පවා, මේ මොහොතේ සිය අරමුන ලෙස සලකනු ලබන්නේ කුමක්ද යන්න පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය, නිර්ධන පන්තිය යනු කුමක්ද, මෙකී සත්තාවට අනුකූලව ඓතිහාසිකව ඊට කරන්නට සිදුවනු ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ ප‍්‍රශ්නයකි.” [ශුද්ධ වූ පවුල, 1844]

“එබැවින්, ඓතිහාසික ක්‍රියාමාර්ගයේ පරිපූර්නත්වයට අනුලෝම ලෙස, එය ස්වකීය ක්‍රියාමාර්ගය කර ගත් මහජනතානගේ විශාලත්වය ද ඉහල නැංවෙනු ඇත.” [ශුද්ධ වූ පවුල, 1844]

“මෙතෙක් පැවැති සියලු සමාජයන්හි ඉතිහාසය වූ කලී, පන්ති අරගලයන්හි ඉතිහාසයයි.” [කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය 1847]

“කොමියුනිස්ට් විප්ලවයක් හමුවේ පාලක පන්තීන් වෙවුලා සැලී ගියාවේ. තමන් බැඳ ලූ යදම් විනා නිර්ධන පන්තියට නැතිවන්නට අන් යමක් නැත. ඔවුන්ට දිනන්නට ලෝකයක් ඇත. සියලු දේශයන්හි කම්කරුවනි, එක්වව්!” [කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය 1847]

කාල් මාක්ස් 1875

1. මෙම වසර, ඉතිහාසයේ භෞතිකවාදී සංකල්පනයේ උත්පාදකයා වූ ද දාස් කැපිටාල් ග‍්‍රන්ථයේ කර්තෘවරයා වූ ද ෆ්‍රෙඞ්රික් එංගල්ස් සමග එක්ව නූතන විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය පිහිටවූ ආදිකර්තෘවරයා වූ ද කාල් මාක්ස්ගේ උපතින් 200 වන සංවත්සරය සනිටුහන් කරයි. 1818 මැයි 5 වන දින ට්‍රියර් නම් පෘසියානු නගරයේ උපත ලද මාක්ස්, ලෙනින් පැවැසූ පරිදි, “දහනවවන සියවසේ දී මනුෂ්‍ය වර්ගයාගේ වඩාත්ම දියුනු රටවල් තුන විසින් - එනම්, සම්භාව්‍ය, ජර්මානු දර්ශනවාදය, සම්භාව්‍ය ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව හා පොදුවේ ප‍්‍රන්ස විප්ලවවාදී මතවාදයන් සමග සංයෝජනය වූ ප‍්‍රන්ස සමාජවාදය විසින් - නියෝජනය කරන ලද, එවකට පැවැති ප‍්‍රධාන දෘෂ්ටිවාදී ධාරාවන් තුන පෙරට ගෙන ගිය හා පරිපූර්නත්වයට පත් කල සුධීමතා විය.” [1]

2. 1883 මාර්තු 14 වන දින, වයස 64 දී මාක්ස් අභාවප‍්‍රාප්ත විය. ඒ වනවිට මාක්ස් හා එංගල්ස් විසින් මනෝරාජික සමාජවාදී අභිලාෂයන් විද්‍යාත්මක පදනමක් මත ස්ථාපනය කරනු ලැබ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන ව්‍යපාරයක් සඳහා පදනම දමනු ලැබ පැවතිනි. 1843 හා 1847 අතරතුර මාක්ස්, න්‍යායික චින්තනයේ විප්ලවයක් කරමින්, දහඅටවන සියවසේ ආධිපත්‍යය දැරූ යාන්ත්‍රික භෞතිකවාදයේ හා හේගල්ගේ අපෝහක තර්කනය තුල පැවැති විඥානවාදී ව්‍යාකුලත්වයේ ද සීමාවන් අතික‍්‍රමනය කලේය.

3. දාර්ශනික භෞතිකවාදය ඉතිහාසයේ හා සමාජ සම්බන්ධතාවන්හි විෂය පථය කරා ප‍්‍රසාරනය කරමින්, ධනේශ්වර ක‍්‍රමයේ නෛසර්ගික ප‍්‍රතිවිරෝධයන්හි නියාම පාලිත වර්ධනය විසින් සමාජවාදයේ අත්‍යවශ්‍යතාව පැන නැගෙන බව මාක්ස් ඔප්පු කලේය. පන්ති අරගලය ඉතිහාසයේ ෙප්‍ර්රක බලයක් බව සොයා ගැනීමේ ගෞරවය සඳහා ඔහු හිමිකම් කීවේ නැත. ඉතිහාසය අවබෝධ කර ගැනීමෙහි ලා ඔහුගේ ලෝක-පරිවර්තනීය සම්ප‍්‍රදානය වූයේ, 1852 දී මාක්ස් විසින්ම පැහැදිලි කෙරුනු පරිදි“I) පන්තිවල පැවැත්ම හුදු නිෂ්පාදනයේ වර්ධනයෙහි නිශ්චිත ඓතිහාසික අවධීන් සමග පමනක් බැඳී ඇති බව ද II) පන්ති අරගලය අත්‍යවශ්‍යවම නිර්ධන පන්තියේ ආඥාදායකත්වයට මග පාදන බව ද හා III) එම ආඥාදායකත්වය සමන්විත වන්නේ, සියලූ පන්ති අහෝසි කිරීම හා පන්ති විරහිත සමාජයක් කරා පරිවර්තනය වීම කරා වන සංක‍්‍රමනයකට වැඩි යමකින් නොවන බව ද පෙන්වා දීමයි.” [2]

4.කොමියුනිස්ට් ප‍්‍රකාශනය ලිවීමෙන් පසු මාක්ස් සිය පෑන බිම තැබුවේ නම්, එයින්ම වුව ලෝකයේ ඔහු සතු ස්ථානය තහවුරු වනු ඇත. එහෙත් ලෝක ඓතිහාසික චරිතයක පෞරුෂය කරා ඔහු ඔසොවා තැබුනේ, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය සනාථ කල දාස් කැපිටාල් ග‍්‍රන්ථය රචනා කිරීමෙනි. 1867 දී එහි ප‍්‍රථම වෙලූම ප‍්‍රකාශයට පත් කෙරුනු තැන් පටන් ගෙවී ගිය 150 වසර තුල ධනේශ්වර ආර්ථිකඥයන්ගේ පරම්පරා ගනනාවක් මාක්ස්ගේ කෘතිය නිෂ්ප‍්‍රභ කිරීමට ස්වකීය මුලූමහත් වෘත්තීය ජීවිත කැප කොට ඇත්තාහ. එහෙත් එම වෑයම නිරර්ථක වී ඇත! ඔවුන්ගේ උත්සාහය වතුරේ ගොස් ඇත්තේ, හුදෙක් මාක්ස්ගේ අපෝහකවාදී විධික‍්‍රමයේ හා ඓතිහාසික දෘෂ්ටියේ බල මහිමයෙන් පමනක්ම නොවේ. ඊට අමතරව හා ඊට ද වඩා, ධනේශ්වර අර්බුදයේ යථාර්ථය ඒ සඳහා හේතුභූත වී ඇත. මහාචාර්යවරුන් කොයි හැටියෙන් කෙතරම් විරුද්ධ විය හැකි වුවත්, ධනපති ලෝකය “සංචලනය වන්නේ” මාක්ස් පැහැදිලි කල පරිදිය. දාස් කැපිටාල් වෙත එල්ල කෙරෙන සෑම ප‍්‍රහාරයකට පසුපසින්ම නොවෙනස් ලෙසම පැමිනෙන්නේ, ධනේශ්වර ක‍්‍රමයේ නොවිසඳිය හැකි ආර්ථික හා සමාජ ප‍්‍රතිවිරෝධයන් පිලිබඳ ප‍්‍රායෝගික නිරූපනයකි.

5. එවැනි පාඩම් අතරින් අද දවස දක්වාමත් නොනැවතී පවතින අවසාන පාඩම ආරම්භ වූයේ, 2008 ලෝක පරිමාන බිඳ වැටීමෙනි. කම්කරු බලය, ස්ථාවර හා විචල්‍ය ප‍්‍රාග්ධනය, අතිරික්ත වටිනාකම, හීන වන ලාභ අනුපාත, සූරාකෑම, පාරිභෝගික භාන්ඩ වන්දනාමාන කිරීම, අතිරේක කාර්මික ශ‍්‍රම බලකාය, නිර්ධන පන්තිය සාපේක්ෂ හා නිරපේක්ෂ දරිද්‍රතාවයේ හෙලීම ආදී වශයෙන් වූ මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාවේ සාරභූත ප‍්‍රවර්ග හා සංකල්ප, හුදෙක් ධනේශ්වර ක‍්‍රමය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් ලැබීමට පමනක් නොව, දෛනික දේශපාලන, ආර්ථික හා සමාජ වර්ධනයන් පිලිබඳ මූලික වැටහීමක් ලබා ගැනීමට පවා අවශ්‍ය කෙරේ.

6. මාක්ස්ගේ උපතේ ද්වි-ශත සංවත්සරය; මහාචාර්යවරුන් විසින් මාක්ස්ගේ න්‍යායන්හි එතැනින් මෙතැනින් කොනහා බලනු ලැබෙන, නොමඳ ශාස්ත‍්‍රාලීය සම්මන්ත‍්‍රන රැසකින් සලකුනු කෙරෙනු ඇති බැව් යමෙකුට නිසැකවම පැවසිය හැකිය. ඉන් බොහොමයක් ඔහුගේ දෝෂ හා අඩුපාඩු ලෙස ඔවුන් කියා සිටින දේ පිලිබඳව අවධානය යොමු කෙරෙනු ඇත. කුඩා සුලුතරයක් වන ඉන් සමහරෙක්, මාක්ස්ගේ කාර්යභාරය පසසනු ඇත. එහෙත් මාක්ස්ගේ ජීවිතය පිලිබඳ සත්‍යතම වූ ද වඩාත්ම වෛෂයික වූ ද ඇගයුම සිදු කෙරෙනු ඇත්තේ පන්ති කාමරවලින් පිටතදීය.

7. 2018 ක්වූ මෙම නව වසර - මාක්ස්ගේ උපතේ ද්වි-ශතවර්ෂ සංවත්සරය - සංලක්ෂනය කෙරෙනු ඇත්තේ, අන් සියල්ලටමත් වඩා, ලොව පුරාම සමාජ ආතතීන්හි ඉමහත් තීව‍්‍රවීමකින් හා පන්ති ගැටුම් උත්සන්නවීමකිනි. දශක ගනනාවක් පුරා, සහ විශේෂයෙන්ම 1991 දී සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන්, ධනේශ්වර සූරාකෑමට එරෙහි කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය මැඩ පවත්වනු ලැබ ඇත. එහෙත් ධනපති ක‍්‍රමයේ සාරභූත ප‍්‍රතිරෝධයන් - ගෝලීය පරිමානයකින් අන්‍යොන්‍ය වශයෙන් පරායත්ත වූ ආර්ථිකයක් හා යල් පිනූ ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද, කෝටි ගනන් මනුෂ්‍ය ප‍්‍රජාවගේ ශ‍්‍රම ශක්තිය හා වෙලී ගත් සමාජ නිෂ්පාදනයේ ලෝකව්‍යාප්ත ජාලයක් හා නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය අතර ද, බහුජන සමාජයේ අවශ්‍යතා හා තනි තනි ධනපතීන්ගේ මුදල් ගරා ගැනීමේ ආත්මාර්ථකාමී උත්සුකයන් අතර ද වන ප‍්‍රතිරෝධයන් - දැන් ලහිලහියේ ලඟා වෙමින් පවතින්නේ, ධනේශ්වර ක‍්‍රමයට එරෙහි කම්කරු පන්ති විරුද්ධත්වය තවදුරටත් මැඩ පැවැත්වීම නොකලහැකි තැනකටය.

8. ජනගහනයේ කුඩා ස්ථරයක් තුල ධන සම්පත් සංකේන්ද්‍රනයවීම ඓතිහාසිකව කිසිදා නොදුටුවිරූ ඉහල මට්ටම් කරා එලැඹී ඇත. මෙය ගෝලීය ක්‍රියාවලියකි. ලෝකයේ ධනවත්ම සියයට එකක් ලෝකයේ ධනසම්පත්වලින් අඩකට හිමිකම් කියයි. [3] ධනවත්ම පුද්ගලයන් 500 දෙනා සතු සම්පත්වල එකතුව, 2016 පැවැතියාට වඩා, 2017 දෙසැම්බර් වන විට ඩොලර් ට්‍රිලියන 5.3 ක් කරා ඩොලර් ට්‍රිලියන 1න් වැඩිවී ඇත. [4] එක්සත් ජනපදය තුල මිනිසුන් තුන් දෙනෙකු -ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස් හා වොරන් බුෆෙ- සතු ධනය, ජනගහනයේ අඩු ආදායම් ලබන අර්ධය සතු පංගුවට වඩා වැඩිය. චීනයේ කෝටිපතියෝ 38 දෙනෙක් 2017 වසර තුල ඩොලර් බිලියන 177 ක් සිය පෞද්ගලික ධනස්කන්ධයට එක් කොට ගෙන ඇත්තාහ. එක්සත් ජනපදය හා බටහිර යුරෝපය විසින් පනවන ලද ආර්ථික සම්බාධක තිබියදීම, රුසියාවේ කෝටිපතියෝ 27 දෙනෙකු සතු මුලු ධන සම්භාරයට, එම වසර තුල ඩොලර් බිලියන 29 ක් එකතුවී ඇත. මෙක්සිකෝවේ ධනවත්ම මිනිසා වන කාලෝස් ස්ලිම් තමා සතු ධනය ඩොලර් බිලියන 62.8 දක්වා වැඩි කර ගෙන ඇත්තේ පසුගිය වසර තුල ඊට ඩොලර් බිලියන 12.9 ක් එකතු කර ගනිමිනි.

9. මෙම ඉමහත් වාසනාවේ ඇති විශේෂ ලක්ෂනය වනුයේ ඒවා, පසුගිය 35 වසර පුරා, සහ විශේෂයෙන්ම 2008 වෝල් වීදියේ බිඳ වැටීමේ සිට, කොටස් වෙලඳපොලවල ඉමහත් නැගීම සමග බැඳී තිබීමයි. එක්සත් ජනපද ෆෙඩරල් ආරක්ෂන අරමුදලේ “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ” පිලිවෙත හා ලෝකය පුරා මහ බැංකුවල අඩු පොලී අනුපාත විසින් පසුගිය දශකය තුල ඩව් ජෝන්ස් සාමාන්‍යය සිව් ගුනයකට ආසන්න ප‍්‍රමානයකින් ඉහල යාමට මග පාදනු ලැබ ඇත. ඇමරිකානු කොටස් මිල ගනන්වල අගය පුපුරා යන සුලු ආකාරයෙන් ඉහල යාම බැඳී තිබුනේ, ධනවතුන්ට ඉමහත් බදු සහන සැලසීම පිලිබඳව පැවැති අපේක්ෂාවන් මතය. එවක් පටන් මෙම අපේක්ෂාවන් සැබැවින්ම සාක්ෂාත් කෙරී ඇත.

10. ධනපති කතිපයාධිකාරය මස්තකයේ සිටින්නන්ගේ සමෘද්ධියෙහි ඉදිරි වර්ධනය සමග අතිනත ගෙන එන්නේ, ලෝක ජනගහනයේ පුලූල් මහජනතාවක් අන්ත දුගී භාවයට ඇද වැටීමයි. ක්‍රෙඩිට් ස්විස් සමාගම විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු වාර්තාවකට අනුව, “වර්නාවලියේ අනෙක් කෙලවරෙහි සිටින්නේ, එක් අයෙකු සතු ධනය ඩොලර් 10,000 කට (බ්‍රිතාන්‍ය පවුම් 7,600 කට) අඩු ලෝකයේ බිලියන 3.5 ක් වූ දිලිඳුතම ජනකායයි. මේ ජනයා ලෝකයේ වැඩකරන වයසේ පසුවන ජනගහනයෙන් සියයට 70 ක් වන අතර, සමූහයක් ලෙස ගත් කල ඔවුන් සතුව ඇත්තේ ගෝලීය ධන සම්පත්වලින් යන්තම් සියයට 2.7 ක ප‍්‍රතිශතයක් පමනෙකි. [5]

11. ධන සම්පත්වල මෙම සාකල්‍ය විෂමතාව වූ කලී, වර්තමාන ධනවාදය මුහුන දී සිටින හුදු අවාසනාවන්ත හා නිවැරදි කල හැකි දෝෂයක් නොවේ. අත්‍යන්ත අසමානතාව යනු, පවත්නා සමාජ පර්යායේ බංකොලොත්භාවය පිලිබඳ පරිසමාප්ත ප‍්‍රකාශනයයි. අධ්‍යාපනය, නිවාස, වැඩිහිටියන් රැක බලා ගැනීම, සාර්වභෞමික හා ඉහල ගුනාත්මක භාවයෙන් යුත් වෛද්‍ය සේවා, දියුනු මහජන ප‍්‍රවාහන ක‍්‍රම වර්ධනය කිරීම, තර්ජනයට ලක්ව ඇති ගෝලීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම ආදී වශයෙන් වූ නූතන යුගයේ ජනසමාජයෙහි සියලු හදිසි සමාජ අවශ්‍යතා හමුවේ, සිතා ගත නොහැකි තරම් දැවැන්ත සම්පත් සුපිරි ධනපතියන්ගේ හා ඔවුන්ගේ දරු මුනුපුරු පරම්පරාවල අශිෂ්ඨ හා තකතීරු ආශාවන් සන්තර්පනය කිරීමට නැති නාස්ති කර දමනු ලැබේ. පාසැල්, ඉසිලිය හැකි මිල ගනන්වල නිවාස, ජල පවිත‍්‍රාගාර හා රෝහල් ඉදිකිරීමට හෝ, කෞතුකාගාර, වාද්‍ය වෘන්ද සහ වෙනත් අත්‍යවශ්‍ය සංස්කෘතික ආයතන සඳහා අරමුදල් සැපයීමට යෙදිය යුතු සම්පත් මන්දිර, විනෝද යාත‍්‍රා, ආභරන සහ අනෙකුත් අශිෂ්ඨ නාස්තිකාර වියදම් සඳහා කාබාසිනියා කෙරේ.

12. නූතන ධනේශ්වර පාලක ප‍්‍රභූහු, මානව සමාජයේ ප‍්‍රගතිශීලි වර්ධනයට එරෙහි පරම බාධකයක් බවට තෙමේම පත්ව ඇත්තාහ. ඔවුන්ගේ පෞද්ගලික ඓශ්චර්යයේ වර්ධනය, බහුජනයා තුල පිලිකුල අවුලුවාලීමට සහ සමස්ත පර්යායේ ඇද වැටීමෙහි පෙර නිමිති පහල කිරීමට හේතුකාරක වෙමින්, පිලිකාවක් සේ පැතිර යන කුරිරු ස්වභාවයක් අත්පත් කර ගෙන ඇත. වත්මනෙහි පවතින තතු අතාර්කිකය. මෙහිදී අප අතාර්කික යන පදය යොදා ගන්නේ නිරවද්‍යවම, ප‍්‍රභූ තන්ත්‍රීය බලයෙන් අතු ගා දැමුනු විප්ලවයේ අද්දරදී පැවැති, ප‍්‍රන්ස රාජාන්ඩුව විස්තර කිරීමට එංගල්ස් භාවිතා කල අර්ථයෙන්මය. එංගල්ස් මෙසේ ලිවීය:

1789 ප‍්‍රන්ස රාජාන්ඩුව ඒ සා අතාත්වික බවට පත්ව තුබුනේ කෙසේද යත්, එය පැවැත්මේ සියලු අවශ්‍යතාවලට ඒ සා අහිමිව, ඒ සා අතාර්කිකව, හේගල් සෑම විටෙකම මහත් උද්‍යෝගයකින් යුතුව කථා කරන මහා විප්ලවයෙන් වනසා ලිය යුතු තැනට බවට පත්ව තිබින. තවද ජරපත් යථාර්ථයට මුහුනට මුහුන ලා සම්ප‍්‍රාප්ත වන්නේ, නව්‍ය වූ ද ශක්‍ය වූ ද යථාර්ථයකි. ඉදින් පැරනි යථාර්ථයට අරගලයකින් තොරව මරනයට පත්වීමට තරම් ප‍්‍රමානවත් වැටහෙන නුවනක් ඇත්නම් සාමකාමී ලෙස ද එය මෙම අත්‍යවශ්‍යතාවයට ප‍්‍රතිරෝධය දක්වන්නේ නම් බලහත්කාරී ලෙස ද මෙය සිදු කෙරෙනු ඇත. [6]

13. සංස්ථාපිත හා මූල්‍ය කතිපයාධිකාරීන් තම යස ඉසුරු ආරක්ෂා කිරීම සඳහා නොකරනු ඇති කිසිවක් නොවෙතැයි පෙරදැකීමට එතරම් මහත් දේශපාලනික අන්තර්ඥානයක් අවශ්‍ය නොවේ. ස්වකීය චේතනාවන් සමාජය මත පැටවීමට පුරුදු වී සිටින ඔවුන්, මහජන ප‍්‍රතිරෝධයේ ඕනෑම ඇඟවීමකට ප‍්‍රතිචාර දක්වනු ඇත්තේ ප‍්‍රචන්ඩ මර්දනයෙනි. කොයිහැටිවෙතත්, අද දවසේ පවතින - මහා පරිමාන විරැකියාව, දරිද්‍රතාව, සමාජ අසමානතාව, මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත වඩවඩාත් උත්සන්න කෙරෙමින් මුදා හැරෙන ප‍්‍රහාර, පාරිසරික ව්‍යසනයක උත්සන්න වෙමින් පවත්නා අනතුර, හික්මවීමකින් තොර අධිරාජ්‍යවාදී යුදවාදය සහ න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය ද ඇතුලත් - ප‍්‍රමුඛ දේශපාලන හා සමාජ ගැටලු කිසිවක් හෝ ධනපති ක‍්‍රමයේ රාමුව තුල විසඳිය හැකි නොවේ. සත්තකින්ම, දැවෙන අවශ්‍යතා බවට පත් වී ඇති සමාජ ප‍්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමට දැරෙන ඕනෑම බැරෑරුම් ප‍්‍රයත්නයක දී, අවම වශයෙන්, දැවැන්ත පෞද්ගලික වස්තු සම්පත්වල අයිතිය උදුරා ගැනීම හා සම්පත් යලි-බෙදාහැරීමේ දිගදුර යන පියවර ගැනීම අවශ්‍ය කෙරෙනු ඇත. කෙසේවෙතත්, ධනපති පන්තිය රාජ්‍ය බලය දරන තාක් කල් එබඳු ප‍්‍රතිසංස්කරන ක්‍රියාවට දැමිය හැකි නොවේ. ඒ අනුව, තම උත්සුකයන් රැක ගැනීම සඳහා වන කම්කරු පන්තියේ සටන, මාක්ස් පෙරදුටු පරිදි, සමාජ විප්ලවයට මග පාදනු ඇත.

14. 1917 ඔක්තෝබරයේ රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම, කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල මාක්ස් හා එංගල්ස් විසින් විස්තාරනය කෙරුනු ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය සහ දේශපාලන ඉදිරි දර්ශනය සනාථ කලේය.

එහෙත් ඔක්තෝබර් විප්ලවය, හුදෙක් සරල ආකාරයේ වෛෂයික ඓතිහාසික ක්‍රියාදාමයක ස්වයංසිද්ධ ප‍්‍රතිඵලය නොවීය. කම්කරු පන්තියේ ජයග‍්‍රහනය රඳා පැවතුනේ ජාත්‍යන්තර විප්ලවවාදී මූලෝපාය මත පදනම් වී ගත්, මාක්ස්වාදී දේශපාලන පක්ෂයක නායකත්වය ලැබීම මතය. ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය කෙතරම් විශාල වුව ද එවැනි නායකත්වයකින් තොරව සමාජවාදී විප්ලවයට ජයග‍්‍රහනය ලැබිය හැකි නොවේ. 1920 පැවැති කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සම්මේලනයේ දී ලෙනින්, පාලක පන්තියට “පරම අපේක්ෂාභංග” තත්වයන් යනුවෙන් යමක් නැතැයි සමුලූ නියෝජිතයන්ට අනතුරු හැඟවීය:

“පරම” අපේක්ෂා භංගය කල් තබා “ඔප්පු කිරීමට” දැරෙන ප‍්‍රයත්නය පුහු පන්ඩිතමානීභාවය ප‍්‍රදර්ශනය කිරීමක් හෝ සංකල්ප හා වචන මගින් ඇස්බැන්දුම් පෙන්වීමකි. මෙම ප‍්‍රශ්නයට හෝ මෙයට සමාන ආකාරයේ ප‍්‍රශ්නවලට තාත්වික “ඔප්පුකිරීමක්” සම්පාදනය කල හැක්කේ අත්දැකීම්වලට පමනෙකි. ධනපති ක‍්‍රමය දැන් මුලූමහත් ලොව පුරාම සුවිශේෂී විප්ලවවාදී අර්බුදයක් තුලින් ගමන් කරමින් සිටී. දැන් අපි, විප්ලවවාදී පක්ෂවල භාවිතය හරහා, එම පක්ෂ ප‍්‍රමානවත් ලෙස සවිඥානක බවත්, ප‍්‍රමානවත් ආකාරයේ සංවිධානයක්, සූරා කනු ලැබෙන මහජනයා සමග සබඳතා සහ මෙම අර්බුදය සාර්ථක සහ ජයග‍්‍රාහී විප්ලවයක් සඳහා භාවිතා කිරීමට ප‍්‍රමානවත් තරමේ අධිෂ්ඨානයක් හා අවබෝධයක් ද ඒවා සතු බවත් “ඔප්පු කල” යුත්තෙමු. [7]

15. ලෙනින්ගේ අනතුරු ඇඟවීම ඛේදනීය ආකාරයෙන් තහවුරු විය. ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිතිව උදා වූ අවුරුදු හා දශකයන් තුල කම්කරු පන්තිය බලය ගැනීමේ ශක්‍යතාව ඉස්මතු කල විප්ලවවාදී තත්වයන්හි කිසිදු අඩුවක් නොවීය. ව්‍යසනකාරී ලෝක යුද්ධ දෙකක්, ලෝකය පුරා මහජන නැගිටීම් සහ උග‍්‍ර ආර්ථික අස්ථාවරත්වයේත් පරිපූර්න බිඳ වැටීම්වලත් අනේකවිධ කාල පරිච්ෙඡ්දයන් තිබියදීම ධනේශ්වර ක‍්‍රමය විසිවන සියවස පුරා නොනැසී පැවතීමට හේතුව ලෙස දැක්විය හැක්කේ, අවසාන විග‍්‍රහයේ දී, කම්කරු පන්තිය තුල අත්‍යවශ්‍ය විප්ලවවාදී දේශපාලන නායකත්වය නොපැවතීමයි.

16. ප‍්‍රථම ලෝක යුද්ධය පැතිර යාමත් සමග දෙවැනි ජාත්‍යන්තරයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ අධිරාජ්‍යවාදයේ පැත්තට මාරුවෙමින්, “ජාතික ආරක්ෂාවේ” වැඩපිලිවෙල පිලිගෙන, කම්කරු පන්තියේ පශ්චාත්-යුද්ධ විප්ලවවාදී නැගිටීම් පාවා දුන්හ. සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධාරිවාදයේ වැඩීම, තුන්වැනි (කොමියුනිස්ට්) ජාත්‍යන්තරයේ විනාශයට මග පෑදීය. 1924 දී එලි දැක්වූ “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී වැඩපිලිවෙල මග හෙලි කලේ, පාලක නිලධරය විසින් නිර්නිත පරිද්දෙන් සෝවියට් රාජ්‍යයේ ජාතික උත්සුකයන්ට තුන්වැනි ජාත්‍යන්තරය යටත් කිරීම කරාය.

17. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ අධිරාජ්‍යවාදයේ දේශපාලන නියෝජිතයන් බවට පත් වීම 1920 ගනන් හා 1930 ගනන්වල දී ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දුන් ව්‍යසනකාරී පරාජයන්ට පාර කැපීය. 1927 දී චීන කොමියුනිස්ට් පක්ෂය විනාශ කිරීම, 1933 නාසි ජයග‍්‍රහනය හා ජර්මනියේ සමාජවාදී ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීම, සහ ස්පාඤ්ඤ විප්ලවය පාවාදීම හා ෆ‍්‍රැන්කෝගේ ෆැසිස්ට් තන්ත‍්‍රය බලයට පත්වීම (1936-39 ) මෙම පරාජයන් අතර නරකම ඒවා වූයේය.

18. 1938 දී ලියොන් ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීය. එය, ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් සමාජවාදය ජාතිකවාදී දුරාචාරයේ හෙලනු ලැබීම, කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්දනය කරනු ලැබීම හා ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල අතහැර දමනු ලැබීමට එරෙහිව ඔහු 1923 පටන් සිදු කල දේශපාලන අරගලයේ කුලුගැන්වීම විය. නව ජාත්‍යන්තරයේ ප‍්‍රාරම්භක ලේඛනය තුල, ධනවාදයේ සිට සමාජවාදය කරා පරිවර්තනය වීමෙහි ලා පවතින ප‍්‍රධාන ගැටලුව වන්නේ “විප්ලවවාදී නායකත්වයේ අර්බුදය” බැව් ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය.

19. අවුරුදු අසූවකට පසු, ධනේශ්වර ක‍්‍රමයේ උත්සන්න වන ගෝලීය අර්බුදයක හා කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමිත්වයේ නව කාල පරිච්ෙඡ්දයක් තුල, මෙම ප‍්‍රශ්නය ඇසිය යුතුය: විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා ඇති අපේක්ෂාවන් කවරාකාර වේද? කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස්වල, සමාජ විඥානයෙන් යුත් තරුනයන්ගේ හා බුද්ධිමතුන් අතර සිටින වඩාත්ම ප‍්‍රගතිශීලි කොටස්වල පක්ෂපාතිත්වය දිනා ගැනීමට සහ කම්කරු පන්තියේ බහුජන අරගල ලෝක සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය කරා මෙහෙයවීමට හතරවැනි ජාත්‍යන්තරයට හැකි වනු ඇත්ද?

20. මෙම ප‍්‍රශ්නයට පිලිතුරු දීම සඳහා, නායකත්වයේ ගැටලුව පිලිබඳ අධ්‍යයනය වඩාත් පුලුල් ඓතිහාසික සන්දර්භයක බහා විභාග කිරීම අවශ්‍ය වේ.

21. මෙම වසරේ තවත් සංවත්සරයක් සමරනු ලැබෙනු ඇත: එනම්, 1968 මැයි-ජූනි සිදුවීම්වල; ධනපති ප‍්‍රන්සය සමාජ විප්ලවයේ මුවවිට කරාම සේන්දු කල මහා වැඩ වර්ජනයේ; පනස් වැනි සංවත්සර සැමරුමයි. 1968 සිද්ධීන් ජනතාවගේ සිත් තුල අද ද රැව්පිලිරැව් නංවයි: ප‍්‍රන්සයේ බහුජන විරෝධතා හා මහා වැඩ වර්ජනයට අමතරව, එය වියට්නාමයේ ටෙට් ප‍්‍රහාරයේ වර්ෂයයි; (දේශපාලන ඝාතන දෙකකින් හා ප‍්‍රධාන ඇමරිකානු නගරවල කැරලි පැතිර යාමෙන් ප‍්‍රකාශයට පත් වූ) එක්සත් ජනපදයේ අත්‍යන්ත අස්ථාවරත්වයේ වර්ෂයයි; තවද, අගෝස්තුවේ දී සෝවියට් රුසියානු සමූහාන්ඩුවේ හා වෝර්සෝ ගිවිසුම් සංවිධානයේ සන්නද්ධ මැදිහත්වීම මගින් මර්දනය කෙරුනු, චෙකොස්ලොවැකියාවේ ස්ටැලින්-විරෝධී ප‍්‍රාග් වසන්තයේ වර්ෂයයි.

22. 1968 සිදුවීම් ජාත්‍යන්තර කම්කරු පන්තිය රැඩිකලීකරනය වීමේ ක්‍රියාවලියකට මුල පිරීය. 1968 සිට 1975 දක්වා වූ කාල පරිච්ෙඡ්දය සනිටුහන් කෙරුනේ, ඉතාලිය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ආර්ජෙන්ටිනාව හා එක්සත් ජනපදයේ නැගුනු වර්ජන රල වේගයන් ද ඇතුලු, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පැවැති කාල පරිච්ෙඡ්දයේ දක්නට ලැබුනු විශාලතම ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයෙනි. ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු හිට්ලර්ගේ නාසි ජයග‍්‍රහනයෙන් පසු බිහි වූ සිය ප‍්‍රථම ආන්ඩුව පිහිටුවා ගත්හ. 1970 සැප්තැම්බරයේ චිලියේ ඇලන්ෙඩ් ආන්ඩුව බලයට පත් වූයේය. 1973-74 හේමන්තයේ බ්‍රිතාන්‍යයට පතල් කම්කරු වැඩ වර්ජනයක් මගින් දක්ෂිනාංශික ටෝරි ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කෙරිනි. 1974 දී ග්‍රීක මිලිටරි ජුන්ටාව පෙරලා දමන ලදී. දෝෂාභියෝගයකට මුහුන දී සිටි රිචඩ් නික්සන් 1974 අගෝස්තුවේ ඇමරිකානු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූයේය. 1926 සිට පෘතුගාලයේ බලයේ සිටි ෆැසිස්ට් තන්ත‍්‍රය 1975 අෙප්‍ර්ල් මස ඇද වැටිනි. 1975 නොවැම්බරයේ සිදු වූ ෆ‍්‍රැන්කෝගේ අභාවය, හුදෙක් පැරනි එකාධිපතිත්වයේ පමනක් නොව, ස්පාඤ්ඤයේ ධනපති පාලනයේම පැවැති බිඳෙන සුලු ස්වභාවය එලිමහනට පැමිනවීය. බලගතු අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති ව්‍යාපාර මැද පෙරදිග හා අප්‍රිකාව සිසාරා පැතිර ගියේය.

23. එහෙත්, මෙකී මහජන අරගලවල පැවැති ජාත්‍යන්තර විෂය පථය තිබියදීම, ධනේශ්වර ක‍්‍රමය එම පෙරලිකාරිතවයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූවා පමනක් නොව, (1973 දී චිලියේ ඇලන්ඬේ තන්ත‍්‍රය පෙරලා දැමීමෙහි දී මෙන්) පෙරලා පරාජයන් අත් කර දීමට ද, කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා පදනම දමා ගැනීමට ද එය සමත් විය. 1970 ගනන්වල අවසාන භාගයේ මාග‍්‍රට් තැචර් බලයට පත්වීමත් (ඉන්කෙටි කලකට පසු රොනල්ඩ් රේගන්ගේ පත්වීමත්) සමග පාලක පන්තියේ එම ප‍්‍රතිප‍්‍රහාරය ආරම්භ විය.

24. 1968 හා 1975 අතරතුර ඇති වූ සංක්ෂෝභයන් මධ්‍යයේ ධනවාදය සිය දිවි රැකගැනීම රැඳී පැවතුනේ, අන් සියල්ලටමත් වඩා, එම කාල පරිච්ෙඡ්දයේ දී ස්ටැලින්වාදී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ තවමත් බහුජන කම්කරු ව්‍යාපාරවල අධිකාරී බලයන් වශයෙන් පැවතීමේ කරුන මතය. දශ ලක්ෂ සංඛ්‍යාත සාමාජිකත්වයන්ගෙන් සැදුම් ලත් එම පක්ෂ කම්කරු පන්තියේ අරගල අවහිර කිරීමට, ඒවා පීලි පැන්නවීමට, ඒවාට යටි උගුල් මෑනීමට සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ඒවා සැබැවින්ම පරාජය කිරීම සඳහා තතු සකස් කිරීමට සිය නිලධාරිවාදී බලය යොදා ගත්හ. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රය හා චීනයේ මා ඕවාදී තන්ත‍්‍රය මාක්ස්වාදය ක‍්‍රමානුකූලව මුසාකරනයට ලක් කරමින්, එක්සත් ජනපදය හා සෙසු අධිරාජ්‍යවාදී බලයන් සමග සම්බන්ධතා ප‍්‍රවර්ධනය කර ගැනීමට දැරෙන තම උත්සාහයට තර්ජනයක් වූ විප්ලවවාදී ව්‍යාපාර අලාමුලා කිරීමට තමාට අතගසා ගත හැකි සියලූ සම්පත් භාවිත කලෝය. අඩු දියුනු රටවල් තුල විවිධාකාර ධනපති ජාතික ව්‍යාපාරවල ආනුභාවය කම්කරු පන්තිය මත පවත්වා ගෙන යාමට යත්න දැරූ ස්ටැලින්වාදී හා මා ඕවාදී තන්ත‍්‍ර, එමගින් ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට යටින් වල කැපූහ.

25. මෙම තීරනාත්මක කාල පරිච්ෙඡ්දය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා ධනපති ජාතිකවාදයේ දේශපාලන බලපෑම්වලට එරෙහිව සටන් කලේය. එහෙත් එය එසේ කලේ, හුදෙක් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ස්ටැලින්වාදීන්ගේ විශාල නිලධාරිවාදී සංවිධාන විසින් පමනක් නොව, 1950 ගනන්වල හා 1960 ගනන්වල මුල් කාලයේ ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගොස් සිටි අවස්ථාවාදී සංවිධානවල ද්‍රෝහී දේශපාලන කාර්යභාරයන් මගින් තමන් මත පනවන ලද අත්‍යන්ත දේශපාලන හුදෙකලාවේ තතු යටතේය.

26. ට්‍රොට්ස්කි විරෝධී සංශෝධනවාදයේ ප‍්‍රධාන න්‍යායාචාර්යවරයාගේ නමින් හැඳින්වෙන පැබ්ලෝවාදී සංවිධාන, හතරවැනි ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීමේ අවශ්‍යතාව නිශ්චිත ලෙස ම ප‍්‍රතික්ෂේප කලෝය. ස්ටැලින්වාදය ප‍්‍රතිවිප්ලවවාදීය යන ට්‍රොට්ස්කිගේ ගුනාංගීකරනය මයිකල් පැබ්ලෝ හා ඔහුගේ ප‍්‍රධාන දේශපාලන සහචරයා වූ අර්නස්ට් මැන්ඩෙල් ප‍්‍රතික්ෂේප කලෝය. වෛෂයික සිදුවීම්වල හා මහජනයාගේ ස්වයංසිද්ධ ව්‍යාපාරයන්හි පීඩනය මත විප්ලවකාරී පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට සෝවියට් නිලධරයට සිදුවනු ඇතැයි ද, එපරිද්දෙන්ම, වෛෂයික සිදුවීම්වල පීඩනය විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ධනේශ්වර ජාතිකවාදීන්ට ද විප්ලවකාරී කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවනු ඇතැයි ද ඔවුහු තර්ක කලහ.

27. ට්‍රොට්ස්කිවාදයට සිදු කල මෙම දිගදුර යන සංශෝධනවලින් උකහා ගත හැකි නිගමනය වන්නේ, හතරවැනි ජාත්‍යන්තරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. පැබ්ලෝවාදීහු, කියුබාවේ කස්ත්‍රෝට හා ඇල්ජීරියාවේ බෙන්බෙලා ආදී වශයෙන් ට්‍රොට්ස්කිවාදය වෙනුවට භාවිත කල හැකි නොගිනිය හැකි තරම් උත්කර්ෂවත් “විකල්ප” සොයා ගත්හ. හතරවැනි ජාත්‍යන්තරය දිය කර හැරීම ප‍්‍රතික්ෂේප කල නිසා පැබ්ලෝවාදීහු, ජාත්‍යන්තර කමිටුව “අන්ත-වාම කට්ටිවාදීන්” ලෙස හෙලා දුටුවෝය.

28. වසර පනහකට ඉහත දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු, ස්ටැලින්වාදීහු, මා ඕවාදීහු හා ධනපති ජාතිකවාදයේ විවිධ වෙස්ගත්තෝ කම්කරු පන්තිය හා අධිරාජ්‍ය-විරෝධී මහජන ව්‍යාපාර මත අතිමහත් ආනුභාවයක් පැතිරවූහ. එහෙත් මෙම සංවිධානවලින් අද ඉතිරිව ඇත්තේ කුමක්ද?

29. සෝවියට් සංගමය තවදුරටත් නොපවතින අතර, ස්ටැලින්වාදී පක්ෂවල ලෝක ව්‍යාප්ත ජාලය බොහෝසෙයින්ම අතුරුදන් වී ගොස් ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂය ධනපති පාලක පන්තියේ දේශපාලන හා රාජ්‍ය සංවිධානයයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ බොහෝ දක්ෂිනාංශික ධනපති පක්ෂවලින් කිසිසේත් වෙන්කොට දැක්විය නොහැක. ඔවුන් තම උත්සුකයන් ආරක්ෂා කරන්නන් ලෙස කම්කරුවෝ කොතැනකදී හෝ නොදකිති. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කිසියම් වංචාකාරී ආකාරයකින් තමන් වාමාංශිකයන් බවට විශ්වාසනියත්වයේ ලේශමාත‍්‍රයක්වත් ඉතිරි කර ගැනීමට තැත් කරන තාක් දුරට (උදා: බ්‍රිතාන්‍යයේ කෝර්බින්), ඔවුන් දේශපාලන බලයේ කිසියම් ස්ථානයකට නැගුනු විගසම, ග්‍රීසියේ සිදු වූ පරිදි, එම වංචාකාරී ව්‍යායාමය රැවටිල්ලක් ලෙස හෙලිදරව් වනු ඇත.

30.ධනපති ජාතිකවාදී ව්‍යාපාර සැලකිල්ලට ගත් කල, ඔවුන්ගේ අධිරාජ්‍ය-විරෝධී හා ධනේශ්වර-විරෝධී මවාපෑම්වලින් කිසිවක් හෝ ශේෂව නොපවතී. අප්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය දකුනු අප්‍රිකාවේ - ධනවතුන්ගේ උත්සුකයන් නිර්දය ලෙස රකිමින් වැඩ වර්ජනය කරන කම්කරුවන්ට වෙඩි තබන - පාලක පක්ෂය බවට පත්වීමේ පරිනාමය වූ කලී ධනපති ජාතිකවාදයේ ඓතිහාසික ගමන්මග හා එහි පන්ති හරය විදහා දක්වන සාරාත්මක දර්ශකයයි.

31. අවසාන වශයෙන් පැබ්ලෝවාදය, ව්‍යාජ-වම සමන්විත වන විවිධාකාර ව්‍යාපාර හා සමග ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුලට තමා සමෝධානය කොට ගැනීම - ග්‍රීසියේ සිරිසාව (රැඩිකල් වමේ සන්ධානය) බලයට නැගීම තුල වඩාත්ම පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත්විය. එහිදී යුරෝපා බැංකු ඉල්ලා සිටි කප්පාදු පියවර හා ආගමන විරෝධී නීති බලාත්මක කිරීමට සිරිසාව කටයුතු කලේය.

32. මෙකී සංවිධානවල දේශපාලනික දිරාපත්වීම හා ඇද වැටීම පිලිබඳව පැහැදිලි කර ගත හැක්කේ, ඔවුන්ගේ ප‍්‍රාදේශීය ජාතික-ප‍්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙල සහ ගෝලීයව සමෝධානය වූ ආර්ථික ක‍්‍රමයක් ලෙස ධනවාදය වර්ධනය වීම ද අතර ඇති, ගැඹුරට මුල් ඇදුනු පරස්පර විරෝධයන් තුලය.

33. ස්ටැලින්වාදයේ, මා ඕවාදයේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ධනපති ජාතිකවාදයේ හා පැබ්ලෝවාදී අවස්ථාවාදී සංවිධානවල පොදු දේශපාලන අංගය වූයේ, ජාතික රාජ්‍යයේ ආර්ථික රාමුව තුල ප‍්‍රතිසංස්කරන දිනාගැනීමේ ඉඩකඩ මත ඔවුන්ගේ වැඩපිලිවෙලවල් රඳා පැවතීමයි. ආර්ථික ගෝලීයකරනයේ ක්‍රියාවලිය 1980 ගනන්වල වේගවත් වීමත් සමග මෙකී ජාතික පදනමක පිහිටි සංවිධානවල ඉදිරි දර්ශනයන්හි හා වැඩ පිලිවෙලවල ශක්‍යතාව මුලූමනින්ම අහෝසිව ගියේය.

34. කම්කරු පන්තියේ නායකත්ව අර්බුදය සාර්ථක ලෙස විසඳීමේ විභවය රඳා පවතින්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ පිලිවෙල, ගෝලීය ආර්ථික වර්ධනයේ වෛෂයික ක්‍රියාදාමයත්, පන්ති අරගලයේ ජාත්‍යන්තර වර්ධනයත් සමග එකෙලි වීම තුලය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් නියෝජනය වන ට්‍රොට්ස්කිවාදය ද, මාක්ස්-විරෝධයේ හා ව්‍යාජ වාමවාදයේ සියලු දේශපාලන නියෝජිතයන් ද අතර දේශපාලන බලවේග වශයෙන් පවත්නා සබඳතාවල 1968 පටන් ඇති වී ඇති දැවැන්ත වෙනසේ සැබෑ පදනම මෙයයි.

35. අවුරුදු තිහකට ඉහත දී, පැබ්ලෝවාදී අවස්ථාවාදයේ අවසාන සුන්බුන් හතරවැනි ජාත්‍යන්තරයෙන් නෙරපා හැරීමෙන් ඉක්බිති, ජාත්‍යන්තර කමිටුව ඉදිරියට එලැඹීමට නියමිත වූ දශකවල එහි කටයුතුවලට මග පෙන්වන ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂනය වර්ධනය කලේය. 1988 දී ප‍්‍රකාශයට පත් කෙරුනු මෙම ඉදිරිදර්ශනය, කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂ වර්ධනය කල හැක්කේ ධනේශ්වර වර්ධනයේ වෛෂයික ප‍්‍රවනතාවලට අනුකූල ජාත්‍යන්තර වැඩ පිලිවෙලක පදනම මත පමනෙකැයි අවධාරනය කලේය. “අන්තර්ජාතික සංස්ථාවන්හි දැවැන්ත වර්ධනය හා එහි ප‍්‍රතිඵල ලෙස ඇතිව තිබෙන ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීය සමෝධානය විසින්, ලෝකයේ කම්කරුවන් මුහුන දෙන කොන්දේසිවල පෙර නොවූ විරූ සමරූපතාවයක් නිර්මානය කොට ඇතැ”යි එය පැහැදිලි කලේය. [8]

36. ජාත්‍යන්තර කමිටුව මෙම විශ්ලේෂනයෙන් පහත දැක්වෙන මූලෝපායාත්මක නිගමන උපුටා ගත්තේය:

පන්ති අරගලය ජාතික වන්නේ හුදෙක් එහි ආකෘතිය සැලකිල්ලට ගත් කල්හි පමනක් බව ද සාරයෙන් එය ජාත්‍යන්තර අරගලයක් වන බව ද මාක්ස්වාදයේ මූලික ප‍්‍රස්තුතයක් ලෙස දිගු කලක් පුරා පැවතී ඇත. කෙසේවෙතත්, ධනේශ්වර වර්ධනයේ නව්‍ය ලක්ෂනවලට අනුව, පන්ති අරගලයේ ආකෘතිය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතුය. කම්කරු පන්තියේ ප‍්‍රාථමිකම අරගල පවා එහි ක්‍රියාකාරිත්වයන් ජාත්‍යන්තර තලයක් මත සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාවට මුහුන දෙයි. [9]

37. (එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ) වර්කර්ස් ලීගයේ 1988 පැවැති දහතුන්වන ජාතික සම්මේලනයේ දී මෙම විශ්ලේශනයේ ප‍්‍රායෝගික ගම්‍යයන් පැහැදිලි කරන ලදී:

ජාත්‍යන්තර අර්බුදයට ජාතික විසඳුම් සෙවීම නොවැලැක්විය හැකි පරිදි මග පෙන්වනු ලබන්නේ ධනේශ්වරයේ වෙලඳ යුද්ධ පිලිවෙත්වලට එක්එක් ජාතික කම්කරු ව්‍යාපාරය යටත් කිරීම කරාය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත විනා මෙම අවුල්ජාලයෙන් පිට වී යා හැකි අන් මගක් නැත. එසේ කීමේදී අප ඉන් අදහස් කරන්නේ, නිවාඩු දිනවල භාවිතා කිරීමට වාක්‍යඛන්ඩ සම්පාදනය කිරීමක් නොවේ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පොර බදන උත්තරීතර ම මූලෝපායික කර්තව්‍යය වනුයේ, සමස්ත ලෝකයේ කම්කරු පන්තිය, වරෙක ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, “එක් ලෝක මධ්‍යස්ථානයක් හා එක් ලෝක දේශපාලනික දිශානතියකින් යුත්, විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ තනි ජාත්‍යන්තර නිර්ධන පන්ති සංවිධානයක්” තුලට එක්සත් කිරීමයි.

අපි මෙය යම් ආකාරයක මනෝරාජික පරමාර්ථයක් ලෙස වටහා නොගන්නෙමු. යුගය පිලිබඳ අපේ විද්‍යාත්මක විශ්ලේෂනය හා වර්තමාන ලෝක අර්බුදයේ ස්වභාවය අපට ඒත්තු ගන්වන්නේ, හුදෙක් නිර්ධන පන්තිය මෙසේ එක්සත් කල හැකි බව පමනක් නොවේ. වැඩිදුරටත්, තම දෛනික කටයුතු මෙම මූලෝපායාත්මක දිශානතිය මත පදනම් කෙරෙන පක්ෂයකට පමනක් කම්කරු පන්තිය තුල ගැඹුරින් මුල් බැස ගත හැකි බව එය අපට ඒත්තු ගන්වයි. වෛෂයික ආර්ථික ප‍්‍රවනතාවල හා මාක්ස්වාදීන්ගේ ආත්මීය බලපෑම්වල ඒකාබද්ධ පීඩනය යටතේ, නිර්ධන පන්තියේ අරගලවල ඊලඟ අවධිය, ජාත්‍යන්තර ගමන් පථයක් ඔස්සේ නිර්දය ලෙස වර්ධනය වෙතැයි අපි පූර්වාපේක්ෂා කරමු. නිර්ධන පන්තිය භාවිතය තුල තමන් ජාත්‍යන්තර පන්තියක් ලෙසත්, තම පිලිවෙත් මෙකී ඓන්ද්‍රීය ප‍්‍රවනතාවයේ ප‍්‍රකාශනය වන මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීන් ලෙසත්, අර්ථකථනය කර ගැනීමට වඩවඩාත් නැඹුරු වෙමින්; මෙම ක්‍රියාවලිය වර්ධනය කරමින් ඊට දැනුවත් ආකෘතියක් ලබා දෙනු ඇත. [10]

38. මෙම විශ්ලේෂනයෙහි පදනම මත ජාත්‍යන්තර කමිටුව සිය සංවිධානාත්මක හා ප‍්‍රායෝගික කටයුතු තුල සැලකිය යුතු වෙනස්කම් සිදු කොට ඇත. 1995 දක්වා ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලීග (සංගම්) වශයෙන් පැවතුනි. එම වසරේ ජූනි මස එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීය. ඒ වූ කලි, පැරනි බහුජන නිලධාරිවාදී සංවිධානවල අර්බුදය හා බිඳවැටීම මධ්‍යයේ කම්කරු පන්තිය හා විප්ලවවාදී මාක්ස්වාදී ප‍්‍රවනතාවය අතර නව සම්බන්ධතාවයක් පිබිදී ඒම සංවිධානාත්මක ආකෘතිය තුල ප‍්‍රකාශයට පත් කල වෙනසක් විය. නව පක්ෂය සඳහා එකී නම තෝරා ගැනීම සමානාත්මතාවය සඳහා අරගලය සමාජවාදයේ ශ්‍රේෂ්ඨ අරමුන ලෙස හඳුනා ගැනීමක් හා, ධනේශ්වර අසමානතාවයට එරෙහි මහජන කෝපය පූර්වාපේක්ෂා කිරීමක් විය. ඉනික්බිතිව ගත වූ මාස තුල ජාත්‍යන්තර කමිටුවේ සියලූ ශාඛා එකී දේශපාලන ප‍්‍රතිසංවිධානය කි‍්‍රයාවට ලූහ. පැරනි ලීග පක්ෂ බවට පරිවර්තනය කිරීමෙන් ඉක්බිති ජාත්‍යන්තර කමිටුව, අන්තර්ජාලයේ වර්ධනය සමග සම්බන්ධිත තොරතුරු තාක්ෂනය භාවිත කරමින් දේශපාලන කර්තව්‍යයන්හි නව ආකෘතියක් උපයෝගී කොට ගත්තේය. හරියටම විසි අවුරුද්දකටම පාහේ පෙරාතුව, 1998 පෙබරවාරියේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම ඇත්තෙන්ම විප්ලවවාදී දේශපාලන ප‍්‍රාරම්භකත්වයක් විය. ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි:

ලෝසවෙඅ දේශපාලන අධ්‍යාපනය සහ කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානයකින් එක්සත් කිරීම සඳහා පෙර නොවූ විරූ ආම්පන්නයක් බවට පත්වන බව අපට විශ්වාසය. අන්තර්ජාතික සංගත ශ‍්‍රමයට එරෙහි සිය යුද්ධය ජාතික මායිම් ඉක්මවා සංවිධානය කරන පරිද්දෙන්ම, විවිධ රටවල කම්කරු ජනයාට ප‍්‍රාග් ධනයට එරෙහි සිය අරගල සම්බන්ධීකරනය කිරීමට එය ආධාරකාරී වනු ඇත. එය සියලු ජාතීන්හි කම්කරුවන් අතර සාකච්ඡාවට පහසුකම් සම්පාදනය කරමින් හා සිය අත්දැකීම් සංසන්දනය කර බැලීමට හා පොදු මූලෝපායයක් විස්තාරනය කිරීමට ඔවුන්ට අවකාශ සලසා දෙනු ඇත.

අන්තර්ජාලය ප‍්‍රසාරනය වීම සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලොව පුරා සිටින ෙප්‍ර්ක්ක්ෂක ගනය වර්ධනය වෙතැයි හජාජාක අපේක්ෂා කරයි. සන්නිවේදනයේ ශීඝ‍්‍ර හා ලෝක ගෝලීය ආකාරයක් ලෙස අන්තර්ජාලය සතු සුවිශේෂී ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා විප්ලවකාරී ගම්‍යයන් පවතී. පුස්තකාල හා ලේඛනාගාරවල සිට කෞතුකාගාර දක්වා වූ ලෝකයේ බුද්ධිමය සම්පත් කරා ප‍්‍රවිෂ්ට වීමට බහුජන ෙප්‍ර්ක්ෂාගාරයකට අවකාශ සැලසීම සඳහා එය සමත්ය. [11]

39. අවුරුද්දක් පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දිනපතා පලකිරීම් වූ කලි, කවර වෛෂයික මිනුමකට අනුව සැලකුවත්, සුවිශේෂී දේශපාලන ජයග‍්‍රහනයකි. කාලසටහනට අනුව ප‍්‍රකාශනයට නියමිත එකදු දිනයක් හෝ නොහැර, ඒ සා දීර්ඝ කාල පරිච්ෙඡ්දයක් පුරා ප‍්‍රකාශනය පවත්වා ගෙන යාමට ජාත්‍යන්තර කමිටුවේ කාර්යධරයන්ට පැවැති හැකියාව එහි න්‍යායික හා දේශපාලනික විෂදත්වයට ද, එහි සැලකිය යුතු සංවිධානාත්මක එකමුතුකමට හා ශක්තියට ද සාක්ෂි දරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග යන්තමින් හෝ සැසඳෙන අන් ප‍්‍රකාශනයක් ලෝකයේ නොමැත. එය හුදෙක් දවසේ ප‍්‍රධාන සිදුවීම් පිලිබඳ වාර්තා, විශ්ලේෂන හා පරිකථන ගෙන එන සමාජවාදී ප‍්‍රකාශනය පමනක් නොවේ. ඊට අමතරව එය අරගලයේ යෙදී සිටින කම්කරු පන්තියේ මූලෝපායාඥයා හා උද්ඝෝෂකයා ද වෙයි.

40. පසුගිය වසර තුල ගූගල් සමාගම ලෝක සමාජවාදී වෙබ් අඩවිය අපලේඛනගත කිරීමට හා වාරනය කිරීමට මං සෙවීය. මෙම ප‍්‍රයත්න අසාර්ථක වෙමින් පවතී. ලෝසවෙඅ පාඨක සමූහය දිගටම වැඩෙමින් පවතී. එය නැගී එන කම්කරු පන්තියේ හා තරුනයින්ගේ ව්‍යාපාරයෙන් ශක්තිය උකහා ගනී.

41. අතීතය රංගයේ පූර්වකථනයයි. ජාත්‍යන්තර කමිටුවේ සියලූ න්‍යායික, දේශපාලනික හා ප‍්‍රායෝගික වැඩ කටයුතු, ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනරුත්ථානය සඳහා වූ පෙර සූදානම්වීම් ව පැවැත්තේය. අන් සියල්ල අභිභවනය කරන කර්තව්‍යය වනුයේ, විප්ලවවාදී නායකත්වයක් ක‍්‍රමානුකූලව, දැනුවත්ව සහ ආක‍්‍රමනශීලි ලෙස ගොඩ නැගීමයි. මිනිස් වර්ගයා මුහුන දී සිටින මූලික ප‍්‍රශ්නයට - එනම්, සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද යන ප‍්‍රශ්නයට- ප‍්‍රගතිශීලි විසඳුමක් ලබා දීම රඳා පවතින්නේ මෙම කර්තව්‍යයම මතය. 2018 සඳහා ඇති අභියෝගය වන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කටයුතු ප‍්‍රසාරනය කිරීම, අරගලයට ඇදෙන කම්කරුවන් හා තරුනයන් කරා එහි ශාඛාවන්ගේ බලපෑම් පරාසය විහිදුවා ලීම, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලට නව බලවේග දිනා ගැනීම හා මාක්ස්වාදයේ ඉතිහාසය සහ එහි ලෝක විද්‍යාත්මක දෘෂ්ටිය තුල ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම පවරා ගැනීමයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කාල් මාක්ස්ගේ උත්පත්තියේ ද්වි-ශතවර්ෂ සංවත්සරය සමරනු ඇත්තේ ඔහුගේ සුප‍්‍රකටම ආප්තවාක්‍යයට අනුවය:

“දාර්ශනිකයෝ ලෝකය විවිධ ක‍්‍රමවලින් අර්ථකථනය කොට ඇතුවා පමනි; කෙසේවෙතත් කාරනාව වන්නේ එය වෙනස් කිරීමයි.”

ෙඩ්විඩ් නෝර්ත්

සටහන්:

1. කාල් මාක්ස්, Collected Works, එකතුකල කෘති, වෙලුම 20 (මොස්කව්, 1964) 50 පිට

2. ජෝසෆ් වෙයිඩමියර් වෙත කාල් මාක්ස්ගේ ලිපිය, 1852 මාර්තු 5, Marx-Engels Collected Works මාක්ස්-එංගල්ස් එකතුකල කෘති, වෙලුම 39 (නිව් යෝර්ක්, 1983), පිටු 64-65

3.“පොහොසත්ම සියයට 1, ලෝකයේ ධන සම්පත් වලින් අඩක්ම හිමිකර ගනියි, බ්ලූම්බර්ග්, පහත සම්බන්ධතාවෙන් ලබාගන්න. https://www.theguardian.com/inequality/2017/nov/14/worlds-richest-wealth-credit-suisse

4.“ලෝකයේ ධනවත්ම අය 2017 වසරේදී ඩොලර් ට්‍රිලියනයක් උපයති, බ්ලූම්බර්ග්, පහත සම්බන්ධතාවෙන් ලබාගන්න, https://www.bloomberg.com/news/articles/2017-12-27/world-s-wealthiest-gain-1-trillion-in-17-on-market-exuberance

5. https://www.theguardian.com/inequality/2017/nov/14/worlds-richest-wealth-credit-suisse

6. ෆෙඩ්රික් එංගල්ස්, ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය (කම්කරු මාවත ප්‍රකාශන, දෙවන මුද්‍රනය) 100 පිට.

7.The Second Congress of the Communist International, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සමුලුව, වෙලුම 1,(ලන්ඩන්: 1977), 24 පිට.

8.ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශන යෝජනාව 1988 අගෝස්තු, (කම්කරු මාවත ප්‍රකාශන, 1988), අංක:12, 3 පි.

9. එම.,අංක 13, 3 පි.

10. ෙඩ්විඩ් නෝර්ත්, වර්කර්ස් ලීගයේ 13 වෙනි ජාතික සමුලුවට ඉදිරිපත් කල වාර්තාව, Fourth International වෙලුම. 15, නො. 3-4, 1988 ජූලි-දෙසැම්බර්, 38-39 පිටු.

11. https://www.wsws.org/en/special/about.html

Share this article: